Recent Posts

ජේසුස් වහන්ස්ගේ උත්ථානය - ඍජු බයිබලීය විමසුමක්


ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ගල්ලෙනක තැන්පත් කළ ජුදෙව් නායක පූජකවරුන්, ප්‍රජා මූලිකයන් හා හේවායන් තමන් මහා කරදරයකින් මිදුණේ යැයි සිතූහ. තමන්ට අභියෝගයක් වන කිසිම කෙනෙකුට යහතින් ජීවත් වීමට ඉඩක් නුදුන් නායක පූජකවරුන් ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානමින් සිටියහ. කුරුස ගසේ එල්ලා තමන් දෑස් ඉදිරිපට මරණයට පත් වූ මිනිසා ඊට දින තුනකට පසුව නැවත ජීවත්වන බව අසන්ට ලැබීම මොන තරම් පුදුමයක්ද? මරණයට පත් වූ කිසිවෙකු මළවුන්ගෙන් නැගිට සිටි බවක් ඔවුන් ඊට පෙර අසා නොතිබුණි. පරිසිවරුන් මරණින් පසු ජීවිතයක් ගැන විශ්වාස කළත්, එවැනි අත්දැකීමක් ඔවුන්ට නොවීය. ජේසුස් වහන්සේගේ උත්ථානය ආගමික නායකයන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවට විශේෂයෙන් ජේසුස් වහන්සේගේ ගෝලයන්ට පවා පුදුමය හා සැකය ඇති කරවන පුහේළිකාවක් විය. තෝමස් නමැති ශ්‍රාවකයා ජේසුස් වහන්සේගේ තුවාල ස්පර්ශ කිරීමට අවශ්‍ය බව කීවේ එනිසා ය. එහෙත් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්ථානයේ දර්ශනයවීම්, ස්වර්ගාරෝහණය හා ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම (ශුද්ධාත්ම ආගමනය) තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානය මිථ්‍යාවක් නොව, සැබෑවක් බවත්, උන් වහන්සේ අවතාරයක් නොව සැබවින් ම ජීවමානව වැඩ සිටින බවත් අවබෝධ කරගෙන ඊට සාක්ෂි දැරීමට යොමු වූහ.

ජේසුස් වහන්සේ මරණයට පත් වූ පසුව ඔවුන් වහන්සේ පාතාලයට (ශියොලය - මළවුන් සැතපී සිටින ස්ථානය පිළිබඳ හේබ්‍රෙව් සංකල්පය) වැඩම කළ බව අපගේ විශ්වාස ලක්ෂණයේ දැක්වේ. එතැනට වැඩම කිරීමට හේතුව ක්‍රිස්තුස් වහන්සේ (​මෙසියස්) මගින් හිමිවන ගැළවීම බලාපොරොත්තුවෙන් සිටි (ජේසුස් වහන්සේට පෙර යහපත් ජීවිත ගත කර මරණයට පත් වූ) අයගේ ආත්ම ගළවා ගැනීමට ය. ජේසුස් වහන්සේව මළවුන් කෙරෙන් උත්ථාන කළේ දෙවියන් වහන්සේ ය. 'තුන් වෙනිදා මළවුන් කෙරෙන් උත්ථානවීම' යනුවෙන් සඳහන් වන්නේ ශ්‍රාවකයන් ජේසුස් වහන්සේගේ උත්ථානය අත්දුටුවේ එතුමන්ගේ මරණයෙන් තෙදිනකට පසුව නිසාය.
ජේසුස් වහන්සේගේ උත්ථානය බයිබල් විශාරදයන් අතර විවාදයට හේතු වූවකි. ජේසුස් වහන්සේගේ උත්ථානය සම්බන්ධව ශුද්ධ බයිබලයේ සඳහන් කරුණු පදනම් කරගෙන බයිබල් විශාරදයන් විවිධ අදහස් පළ කරති. මින් ප්‍රධාන මතවාද දෙකක් නම්,
  1. නාසරෙත් හි ජීවත් වූ ඓතිහාසික ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කිසිම කුණු වීමකට හෝ දිරා පත්වීමකට පත් නොවී, මහා බලවත් තත්ත්වයකින් නොදිරන සුළු, අමරණීය ස්වභාවයකින් නැවත ප්‍රාණවත් ව නැගිට සිටි බව. එනම්, ඔවුන් වහන්සේ ශාරීරිකවත් ආධ්‍යාත්මිකවත් (ප්‍රාණ ශරීර පිටින්) නැගිට සිටි බව. 
  2.  ඓතිහාසික නාසරෙත් හි ජේසුස් වහන්සේගේ ශරීරය සොහොන් ලෙන තුළ දිරාපත් ව ගිය නමුත්, මළවුන්ගෙන් නැගිට සිටියේ ආධ්‍යාත්මික ශරීරය බව. එනිසා ඔවුන් වහන්සේ උත්ථාන වූයේ ශුද්ධ වූ සභාව තුළට ය. 
කෙසේ වුවත් කතෝලික සභාවේ පිළිගැනීම, පරම විශ්වාසය හා පරම්පරාගත සත්‍ය ඉගැන්වීම වනුයේ, ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කුණු නොවී, දිරාපත් නොවී ප්‍රාණ ශරීර පිටින් ඔවුන් වහන්සේ උත්ථානයට පත් වූ බවය. 

ඉතාලියේ ටියුරින් නුවර තැන්පත් කර ඇති, ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය වෙළන ලදැයි සැලකෙන හණ රෙදි සළුව පසු කලෙක අන්තර්ජාතික විද්‍යාඥයන් 44 දෙනෙකු විසින් නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කරන ලදි. එම පරීක්ෂණ වල දී හෙළි වූ විද්‍යාත්මක තොරතුරු හා සාක්ෂි වලට අනුව, එහි මිනිසෙකුගේ නෙගටිව් (Negative) රූපයක් සටහන්ව ඇති බවත්, එහි තැවරී ඇති ලේ පැල්ලම් ගැඹුරට උරා බී ඇති ඒ බී පොසිටිව් (AB Positive) වර්ගයට අයත් බවත් හෙළිදරව් වී ඇත. තවද,
එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් ඡායාව කුණු දූවිලි සහිත පැල්ලමක් නොව, එය එතීමට ලක් වූ පුද්ගලයාගේ (ජේසුස් වහන්සේගේ) ශරීරයෙන් නිකුත් වූ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ බැබළුණ අධි බලැති කිරණකින් හා ආලෝක ධාරාවකින් (X - Ray or Auto X - Radiation) ඇති වූවක් බව ද සනාථ කර ඇත. 
එසේම, මෙම ​සළුවෙහි සඳහන් නෙගටිව් ඡායා සටහන අනුව, මැරුණ පුද්ගලයාගේ ශරීරය සළුව ලෙහා හෝ ගළවා හෝ ඉවතට නොගෙන ඇති බවත්, එය කිසියම් වාෂ්ප වීමකට හෝ ප්‍රබල ආලෝක කිරණකට හැරී සළුව තුළින් පිට වී ගොස් තිබෙන බවත් සනාථ වී ඇත. මෙය ජේ​සුස් වහන්සේගේ උත්ථානය සම්බන්ධයෙන් අපට තිබෙන එක්තරා සාක්ෂියක් බඳුය. ​


නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව ඉදිරිපත් වන කරුණු විමසා බැලීමේ දී එය ප්‍රධාන සාධක හතරක් යටතේ දැක්විය හැකිය.
  • ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වූ බවට වන මුල් කිතුනු සභාවේ පරම සත්‍ය විශ්වාසය -
මේ පිළිබඳව ශුද්ධ වූ පාවුළු තුමා කරන ඉගැන්වීම වනුයේ,
"මා ඔබට බාර දුන්නේ මා ලබා ගත් දෙයම බව ප්‍රධාන කොට කිව යුතුය. එනම්, ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිල්ල ප්‍රකාර තුන් වෙනිදා උත්ථාන කරනු ලැබූ බවත්, කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත්," (1 කොරින්ති 15 : 3 - 5)
යන්න ය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ධර්මය හා සුභාරංචිය රට පුරා පැතිරී යාමටත්, එය ජුදෙව් සමාජය තුළ රැව් පිළිරැව් දීමටත්, බියෙන් සැඟවී සිටි අපෝස්තුළුවරුන් සේනාකුළු ශාලාවේ එක්රැස් වී පේදුරු තුමාගේ ප්‍රධානත්වයෙන් ජේසුස් වහන්සේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් බලපෑ ප්‍රධාන කරුණ වූයේ ක්‍රිස්තු උත්ථානය පිළිබඳ මෙම පරම සත්‍ය විශ්වාසයයි. එම විශ්වාසය ඔවුන්ගේ ජීවිත වල කිසියම් ආධ්‍යාත්මික පරිවර්තනයක් ඈති කිරීමටත්, ධර්මදූත සේවය කෙරෙහි යොමු කරවීමටත් බලපෑවේය.
  • ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසුව සිදු වූ විවිධ දර්ශනයවීම් -
    ජේසුස් වහන්සේ උත්ථානයෙන් පසුව අවස්ථා කිහිපයක දී විවිධ පුද්ගලයන්ට දර්ශන වූ සේක. මෙම දර්ශනයවීම් හේතුවෙන් ඔවුන් ජේසුස් වහන්සේ අවතාරයක් හෝ අශුද්ධාත්මයක් හෝ නොව, ජීවමාන තැනැන් වහන්සේ බව අවබෝධ කර ගත්හ. එසේම ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබෙන ජේසුස් වහන්සේ පිළිබඳ සියලු දිවැස්වැකි ඔවුන් වහන්සේ තුළ සම්පූර්ණත්වයට පත් වන බව තේරුම් ගත්හ. ඔවුන් තුළ තිබූ බිය සැකය හා අවිශ්වාසය දුරු වී ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දැරීමට ​ධෛර්යයමත් වූහ. ​නව ගිවිසුමේ සඳහන් වන මෙම උත්ථානයේ දර්ශනවීම් නම්,
    1. එම්මාවුස් ගමට ගිය ගෝලයන් දෙදෙනෙකුට දර්ශනය වීම (ලූක් 24 : 13 - 35/ මාර්ක් 16 : 12 - 13)
    2. ශ්‍රාවකයන් පිරිසකට දර්ශනය වීම - ( ලූක් 24 : 36 - 49/ ජොහාන් 20 : 19 - 23)
    3. මග්දලායේ මරියාට දර්ශනය වීම - (මාර්ක් 16 : 9 - 11/ ජොහාන් 20 : 11 - 18)
    4. තෝමස් නමැති ශ්‍රාවකයාට දර්ශනය වීම - (ජොහාන් 20 , 24 - 29)
    5. ශ්‍රාවකයන් සත් දෙනෙකුට දර්ශනය වීම - (ජොහාන් 21 : 1 - 14)
    6. පන්සියයකට වඩා වැඩි පිරිසකට එක වර දර්ශනය වීම - (1 කොරින්ති 15 : 6)
    7. ජාකොබ්ට හා සියලු අපෝස්තුළුවරුන්ට දර්ශනය වීම - (1 කොරින්ති 15 : 7)
    8. පාවුළු තුමාට දර්ශනය වීම - (1කොරින්ති 15 : 8/ ක්‍රියා 9 : 1 - 19)
    • හිස් වූ සොහොන පිළිබඳ වාර්තා - 
    ජේසුස් වහන්සේ තැන්පත් කළ සොහොන් ලෙන පිළිබඳ වාර්තා සකස් වූයේ, සුභාරංචි පොත් ලියවෙන අවධියේ දී ය. දින කිහිපයක් ගත වන තුරු සෙහොන් ගෙයක තැබූ මෘත ශරීරයක් සුවඳ විලේපන වලින් ආලේප කිරීමේ චාරිත්‍රය එකල ජුදෙව් සමාජයේ දක්නට ලැබුණ සාමාන්‍ය සිරිතකි. ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ද ගල්ලෙන තුළ කුණු වී දිරාපත් වෙමින් පවතින්නේ යැයි සිතූ ස්ත්‍රීන් සබත් දිනය අවසන් වී නව සතියක් උදා වන දින හිමිදිරි උදයේ සොහොන් ලෙන වෙත ඇදී ආවේ එම චාරිත්‍රය ඉටු කිරීම සඳහා ය. එහෙත් එහි දොරටුව විවෘත වී තිබෙනු දැකීම ඔවුන් පුදුමයට පත් කරවීය. එම ගල් දොරටුව විවෘත කිරීමට අවම වශයෙන් ශක්තිමත් පිරිමි තිදෙනෙකුවත් අවශ්‍ය ය. "අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් ද?"යි (මාර්ක් 15 : 3) එහි ගිය ස්ත්‍රීන් කතා වෙමින් ගියේ එනිසා ය. ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ගල්ලෙන තුළ නොමැති බව ඔවුන් අත්දුටුහ. ලූක් 24 : 12 ට අනුව පේදුරු තුමා පමණක් ද, ජොහාන් 20 : 3 - 8 අනුව පේදුරු තුමා හා අනික් ශ්‍රාවකයා ද (ප්‍රේමවන්ත ශ්‍රාවකයා - ජොහාන් යැයි මතයක් ඇත) සොහොන් ලෙන වෙත දිව ගොස් එය පරීක්ෂා කර බලා එය හිස් ව ඇති බව දුටුවෝ ය.
    හිස් වූ සොහොන් ලෙන පිළිබඳ වාර්තාව සුභාරංචි පොත් සතරේම දැකිය හැකිය. එහෙත් එම වාර්තා එකින් එක විමසා බැලීමේ දී පෙනී යන්නේ එම වාර්තා එකිනෙකෙහි වෙනස්කම් තිබෙන බවය. මෙම වෙනස්කම් වලින් කිහිපයක් පහතින් දැක්වේ.
    • සොහොන් ගෙය වෙත ගිය ස්ත්‍රීන් සංඛ්‍යාවේ හා ඔවුන්ගේ නාම ලැයිස්තුවේ පවතින වෙනස්කම් - එනම්, සොහොන් ලෙන වෙත ගිය ස්ත්‍රීන් වනාහී, මතෙව් 28 : 1 අනුව මග්දලායේ මරියා හා අනෙක් මරියා යන ස්ත්‍රීන් දෙදෙනා බවද, මාර්ක් 16 : 1 අනුව මග්දලාවේ මරියා, ජාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි යන ස්ත්‍රීන් තිදෙනා බව ද, ලූක් 24 : 10 අනුව මග්දලාවේ මරියා, ජොවන්නා හා ජාකොබ්ගේ මව වූ මරියා යන ස්ත්‍රීන් තිදෙනා බව ද, ජොහාන් 20 : 1 අනුව මග්දලාවේ මරියා පමණක් බව ද දක්වා ඇත.

    • සොහොන් ලෙනෙහි දොරටුව විවෘත වීම පිළිබඳ විස්තරයේ වෙනස - මතෙව් 28 : 2 - 7 අනුව ස්ත්‍රීන් සොහොන් ලෙන වෙත යන විට මහා භූමිකම්පාවක් සිදුවී ස්වර්ගයෙන් පහළ වූ දේවදූතයෙක් සොහොන් ගල ඉවතට පෙරළා ඒ මත වාඩි වී ස්ත්‍රීන්ට ජේසුස් වහන්සේගේ උත්ථානයේ පුවත දැනුම් දුන් බව ද, මාර්ක් 16 : 4 - 7 අනුව සොහොනේ දොර විවෘතව තිබූ අතර ස්ත්‍රීන් ඒ තුළට ගිය කල එහි සිටි දේවදූතයෙකු ජේසුස් වහන්සේගේ උත්ථානය දැනුම් දුන් බව ද, ලූක් 24 : 1 - 9 අනුව සොහොන් ලෙන විවෘත තිබූ අතර කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ (දේවදූතයන්) දෙදෙනෙකු ජේසුස් වහන්සේගේ උත්ථානය දැනුම් දුන් බව ද, ජොහාන් 20 : 1 අනුව සොහොනේ ගල ඉවත් කර තිබූ අතර ජේසුස් වහන්සේගේ ශරීරය එහි නොවූ බව මග්දලාවේ මරියා දුටු බව ද සඳහන් ව ඇත.

    • ජේසුස්  වහන්සේ ස්ත්‍රීන්ට දර්ශනය වීම පිළිබඳ දැක්වෙන වාර්තාවේ වෙනස්කම් -





      මතෙව් 28 : 8 - 9 හා ජොහාන් 20 : 11 - 17 අනුව ජේසුස් වහන්සේ සොහොන් ගෙය අසල දී ස්ත්‍රීන්ට දර්ශනය වී තම උත්ථානය ගැන ප්‍රකාශ කළ සේක. අනෙක් සුභාරංචි දෙකෙහි එවැනි වාර්තාවක් නැත.
    • ‍සොහොන් ගෙය වෙත දිව ගිය ශ්‍රාවකයන් පිළිබඳ වාර්තාව - ජේසුස් වහන්සේගේ සොහොන් ලෙන හිස්ව ඇති බව අසා ඒ ‍වෙත දිව ගොස් පරීක්ෂා කර බැලූ ශ්‍රාවකයන් ගැන සඳහන් කරන්නේ ලූක් හා ජොහාන් පමණි. ලූක් 24 : 12 ට අනුව ඒ පේදුරු තුමා පමණි. ජොහාන් 20 : 3 - 8 අනුව පේදුරු හා අනික් ශ්‍රාවකයා ය.

    • සොහොන් ගෙය අසල දී දර්ශනය වූ දේවදූතයන් ස්ත්‍රීන්ට පැවසූ දේ හා කරන්නට අණ කළ දේ අතර වෙනස්කම් - මතෙව් 28 : 7 හා මාර්ක් 16 : 6 - 7 අනුව උත්ථාන වූ ජේසුස් වහන්සේව ගලීලයේ දී හමුවිය හැකි බවට උපදෙස් දෙයි. ලූක් හා ජොහාන් යන සුභාරංචි පොත් වල එවැනි උපදෙසක් නොමැත.(1) 
    සුභාරංචි පොත් හතරටම පොදු වූ විශේෂ කාන්තා චරිතය වන්නේ, මග්දලාවේ මරියා ය. එයට හේතුව ඇය ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවය තුළ විශේෂ උපස්ථානයන් කළ ඔවුන් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තිබූ තැනැත්තියක් වීමය. මතෙව් 27 : 56 හා මාර්ක් 15 : 47 අනුව ජේසුස් වහන්සේ ව තැන්පත් කළ සොහොන් ගෙය ඇති තැන හොඳින් බලා ගත්තේ ද ඇයයි. එසේම ජේසුස් වහන්සේගේ උත්ථානයේ පණිවුඩය ලෝකය වෙත රැගෙන ගිය පළමු ධර්මදූතවරිය ද ඇයයි. ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයන්ට ප්‍රථමයෙන් ස්ත්‍රීන්ට දර්ශනය වූයේ ඇයි? ඔවුන් සොහොන් ලෙන වෙත පළමුවෙන් ගිය පිරිස වූ නිසාත් ඔවුන් තුළ වූ ශ්‍රද්ධාව (ඇදහිල්ල) නිසාත් ය. ස්ත්‍රී පක්ෂයට සුදුසු තැනක් නොවූ ජුදෙව් සමාජයේ, ක්‍රිස්තියානි ලෝකය තුළ ඇයට හිමි විය යුතු ගෞරවාන්විත තැන හා ඇයට කළ හැකි දහම් සේවාවේ උතුම් බව ‍මින් පෙන්නුම් කරයි.
    • ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වූ බවට අපෝස්තුළුවරුන් කළ විවිධ දේශනා -
    මෙම දේශනා ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. එය පහතින් දැක්වේ. එනම්, පේදුරු තුමා කළ දේශනා හා පාවුළු තුමා තම සිත් හැරීමෙන් පසුව කිතුනු සංඝ වලට කළ ඉගැන්වීම් යනා දී වශයෙනි. පේදුරු තුමාගේ දේශන හතරක් ඇති අතර ඒවා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ 2 : 24, 32/ 3 : 15/ 5 : 30/ 10 : 40 හි(2) ජේසුස් වහන්සේගේ උත්ථානයට සාක්ෂි දැරීමක් වශයෙන් දැක්වේ. මෙම දේශන හතර තුළ දැක්වෙන පොදු කරුණු කිහිපයක් තිබේ. ඒවා මුල් කිතුනු සභාවේ විශ්වාසය ලක්ෂණය වේ. ඒවා නම්,
    1. නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තෝරා පත් කළ මනුෂ්‍යයෙකු බව
    2. ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ නියමිත කැමැත්ත හා පූර්වඥානය අනුව මරණයට පාවා දීමට සැලැස්වූ බව
    3. ජුදෙව් ජනයා ජේසුස් වහන්සේව අධර්මිෂ්ඨ මිනිසුන් ලවා කුරුසියක ඇණ ගස්වා මරා දැමූ බව
    4. දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් මුදා ජේසුස් වහන්සේව උත්ථාන කළ බව
    5. අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේගේ මරණයට හා උත්ථානයට සාක්ෂිකරුවන් බව

    පාවුළු තුමා තම ඉගැන්වීම් කර ඇත්තේ කිතුනු සංඝ වලට කළ දේශන දීම් හා එම සංඝ වලට යැවූ ලිපි වලිනි. විශේෂයෙන් 1 කොරින්ති 15 පරිච්ඡේදය පුරා උත්ථානය යනු කුමක්ද? ජේසුස් වහන්සේගේ උත්ථානයේ තිබෙන සත්‍යතාවය හා උත්ථාන වූ ජේසුස් වහන්සේව අදහා ගැනීම ගැන ග්‍රීක දර්ශනය තුළින් තර්කානුකූලව පැහැදිළි කර ඇත.
    ජේසුස් වහන්සේ මළවුන් උත්ථානවීම යන්න කිතුනු අපට අති විශේෂ වූ දෙයකි. හේතුව ක්‍රිස්තියානි ජීවිතයේ පදනම හා අභිරහස රැඳී තිබෙන්නේ ඔවුන් වහන්සේගේ උත්ථානය මත වීමය. ජේසුස් වහන්සේ උත්ථාන නොවූ සේක් නම් අපගේ ඇදහිල්ල නිශ්ඵලය. කිතුනු සභාවක් ද නැත. ක්‍රිස්තුස් වහන්සේ‍ගේ උත්ථානයේ සාක්ෂිකරුවෝ කිතුනු අපම ය. එය අප ජීවිත තුළින් ලෝකය තුළ පෙන්නුම් කළ යුතුය.  
    එනිසා පාපයෙන් සම්පූර්ණයෙන්
    ඈත් වීම, දේව වචනය තුළ ජීවත්වීම, ප්‍රේමයේ ජීවිතයකට යොමු වීම හා යාච්ඤාව තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානයට සාක්ෂි දැරීම කිතුනු අපගේ පරම යුතුකම හා වගකීම වේ. 



    ------------ වැඩිදුර සටහන් ------------
    (1) සුභාරංචි පොත් වල ඉහත සඳහන් කළ ආකාරයේ වෙනස්කම් දැකිය හැක්කේ ඇයි? සුභාරංචි පොත් සකස් වූයේ ජේසුස් වහන්සේගේ මරණයෙන් වසර ගණනාවකට පසුවය. එසේ ලිවීමේ දී සුභාරංචි කතුවරුන් ජේසුස් වහන්සේ පිළිබඳ කරුණු ලබා ගත්තේ ඔවුන් සේවය කළ ක්‍රිස්තියානි සංඝ (Christian Communities) වල අත්දැකීම් හා ඒවායේ පැතිරී තිබූ ඔවුන් වහන්සේ පිළිබඳ මුඛ පරම්පරාගත සත්‍ය තොරතුරු ඇසුරෙනි. එසේම ඔවුන් ඒවා එක් කොට සුභාරංචිය රචනා කිරීමේ දී අවශ්‍ය තොරතුරු පමණක් ගෙන ඉතිරි ඒවා බැහැර කළෝය. එම තොරතුරු ද සුභාරංචියට ඇතුළත් කළේ තමන් සේවය කළ ක්‍රිස්තියානි සංඝයේ ආධ්‍යාත්මික අවශ්‍යතා වලට ගැළපෙන පරිදි දේවධාර්මික පණිවුඩයක් ගෙන දීමේ අරමුණෙනි. එනිසා ඒ ඒ සුභාරංචි කතුවරයා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තමන් ලැබූ අත්දැකීම් ඔස්සේ සුභාරංචි රචනා කිරීම හේතුවෙන් මෙවැනි වෙනස්කම් දැකිය හැකිය. එය අපගේ කිතුනු ඇදහිල්ලට, සුභාරංචියේ විශ්වාසනීයත්වයට හා එහි සත්‍යතාවයට බාධාවක් හෝ අභියෝගයක් නොවන බව තරයේ මතක තබා ගත යුතුය.
    (2) "එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය." (ක්‍රියා 2 : 24)
    "දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක" (ක්‍රියා 2 : 32)
    " මෙසේ ඔබ ජිනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක." (ක්‍රියා 3 : 15)
    " අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් කුරුසියක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක." (ක්‍රියා 5 : 30)
    " ..... ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූහ. එහෙත් දෙවියන් වහන්සේ තුන්වනදා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්ට සැලැස්සූ සේක." (ක්‍රියා 10 : 39b - 40) 

       
     
      

    ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ පණිවුඩය


    ''ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; දිව්‍ය ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක." (1 පේදුරු 3 : 18) 
    නැවත මරණයක් නොලබන ලෙස සදාකාල ජීවිතයට ශාරීරිකවත්, ආධ්‍යාත්මිකවත් මළවුන්ගෙන් උත්ථාන වූ පළමු මිනිසා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේය. මෙලොව මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේ දී ජේසුස් වහන්සේ, නායින් නුවර වැන්ඳඹුවගේ පුත්‍රයා (ලූක් 7 : 11 - 16), (පහත පළමු රූපය) ජුදෙව් ධර්මශාලා ප්‍රධානියෙකු වූ ජායිරස්ගේ දියණිය (ලූක් 8 : 40 - 42, 49 - 56), (පහත දෙවන රූපය) සහ ලාසරස් (ජොහාන් 11 : 38 - 44) (පහත තෙවන රූපය) යන මරණයට පත් වූ තිදෙනෙකුට නැවත ප්‍රාණය ද දුන් නමුත්, ඔව්හු පසුකලෙක නැවත මරණයට පත් වූහ. 
     
     ජොප්පාවේ සිටි දොර්කස් හෙවත් 'මුවදෙන' යන අර්ථය ඇති තබීතා නමැති රෝගීව මිය ගිය කන්තාවට පේදුරු තුමා නැවත ප්‍රාණය ලබා දුන්නේය (ක්‍රියා 9 : 36 - 41). ත්‍රෝවසය නමැති ප්‍රදේශයේ රාත්‍රියේ පාවුළු තුමාගේ දේශනා අසමින් සිටිය දී නිදිබරව තුන්වන මහළින් පහතට වැටී මිය ගිය යුතිකස් නමැති තරුණයාට පාවුළු තුමා ප්‍රාණය ලබා දුන්නේ ය (ක්‍රියා 20 : 7 - 12). එහෙත් මේ සියලු දෙන පසුකලෙක නැවත මරණයට පත් විය. 


    පේදුරු තුමා ​තබීතාට නැවත ප්‍රාණය දීම (වම)
    හා 
    පාවුළු තුමා යුතිකස්ට ප්‍රාණය දීම (දකුණ)


    තිෂ්බීය එලියා නම් දිවැසිවරයා වැන්ඳඹුවකගේ මරණයට පත් වූ පුත්‍රයාට ප්‍රාණය දීමක් ගැන පුරාණ ගිවිසුමේ සඳහන් වේ (1 රාජාවලිය 17 : 20 - 23). (වම් රූපය) 

    ෂුනම්මිය ස්ත්‍රිය නමැති කාන්තාවගේ මැරුණු පුත්‍රයාට එලීෂා නම් දිවැසිවරයා ප්‍රාණය දී ඇත (2 රාජාවලිය 4 : 31 - 37). (දකුණු රූපය) 


     ගල් සොහොන් ලෙනක තැන්පත් කර තිබූ එලීෂාගේ මළ සිරුර ස්පර්ශ වීමෙන් මළ මිනිසෙකුට ප්‍රාණය ලැබුණි (2 රාජාවලිය 13 : 20 - 21). (වම් රූපය) එහෙත් ඔව්හු සියල්ලෝ පසුකලෙක නැවත මරණය අත්දුටුහ. එහෙත් ජේසුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානවීම යන්න ඊට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. "උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බව අපි දනිමු" (රෝම 6 : 9). "පාපය නම් දේව නීතිය කඩ කිරීම ය" (1 ජොහාන් 3 : 4b). "එක මනුෂ්‍යයෙකු (ආදම්) නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදුව පවතී" (රෝම 5 : 12). එබැවින් ".....ආදම් පටන් මෝසස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේ ය" (රෝම 5 : 14a). මිනිසෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට ද මරණයට මුහුණ දීමට සිදු වූයේ ආදි මව්පියන්ගේ පාපයට හිමි දඬුවම හා විපාකය මරණය නිසා ය. "උන් වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මළ සේක" (රෝම 6 : 10). පාපය මෙන් ම මරණය ද දේව සම්බන්ධතාවය බිඳ දැමීය. ජේසුස් වහන්සේට ප්‍රථම මරණයට පත් වූ යහපත් පුද්ගලයන්ට ගැළවීම හෝ සදාතන ජීවනය හිමි කර ගැනීමට නොහැකි වූයේ එනිසා ය. ආදම්ගේ පාපය නිසා 'ස්වර්ගයේ දොරටුව වැසීම'(1) හෙවත් 'සදාකාලික ජීවිතය අහිමිවීම' සිදුවීම ය.  එහෙත් පව්කාර මිනිසාට ඉන් ගැළවීම ලබාගෙන, දෙවියන් වහන්සේ මිනිසාට දීමට ආශාවෙන් සිටින අමරණීය (සදාකාල) ජීවිතය ලබා දීමට තිබෙන දේව සැලැස්මේ ප්‍රධාන පියවර, ජේසුස් වහන්සේව මරණයෙන් උත්ථානයට පත් කිරීම ය. 
    උත්ථානය යනු, දිරාපත් වන සුළු දුර්වල මිනිස් ශරීරය දේව බලයෙන් හා දේව වරප්‍රසාදයෙන් පූර්ණව නොදිරන අමරණීය තත්ත්වයකට පරිවර්තනය වීමය.(2)  ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේට කීකරු වී දේව සැලැස්ම සම්පූර්ණත්වයට පත් කිරීමේ මෙසියානු කාර්යය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් වහන්සේට ලැබුණු දේව තිළිණය මළවුන්ගෙන් උත්ථාන කිරීම ය. ජේසුස් වහන්සේ ම තම බලයෙන් උත්ථාන වූවා නොව, දෙවියන් වහන්සේ එතුමන්ව උත්ථාන කළ සේක. මේ බව ඉතා පැහැදිළිව පේදුරු තුමා තම දේශන වල දී පෙන්වා දී ඇත.(3) ජේසුස් වහන්සේගේ උත්ථානය කවදා හෝ දිනක ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමේ දී අපව ද මහිමාන්විත ලෙස උත්ථාන කරන බවට හා සදාකාල ජීවිතය පිළිබඳ සහතිකයයි.(4) 
    ජේසුස් වහන්සේගේ උත්ථානය යන්න විද්‍යාත්මකව පැහැදිළි කළ හැකි දෙයක් නොවේ. හේතුව එය විද්‍යාවේ සීමාවන් ඉක්මවා යන ගැඹුරු සත්‍යයක් බැවිනි. ජේසුස් වහන්සේගේ උත්ථානය හා එහි ගැඹුරු අර්ථය අපට තේරුම් ගත හැක්කේ අපගේ ඇදහිල්ල (විශ්වාසය) තුළිනි. කිතුනු ඇදහිල්ලේ පදනම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය යි. මේ පිළිබඳව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
    "මළවුන්ගෙන් උත්ථානවීමක් නැත්නම්, ක්‍රිස්තුස් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම්, අපගේ දේශනා කිරීම නිරර්ථකය; ඔබගේ ඇදහීමත් නිරර්ථකය.....ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහුය. එපමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන මිය ගිය අය ද සදහට ම විනාශ වී ඇත....." (1 කොරින්ති 15 : 13 - 14,17 - 18)  
    කිතුනුවන් වශයෙන් අප අදහන්නේ මැරී කුණු වී පොළොවට දිරි පත් වූ පුද්ගලයෙකුව නොව, අපව ගළවා ගැනීමට තම තරුණ ජීවිතය කෲර වේදනාත්මක මරණයකට කැප කර මළවුන්ගෙන් නැවත නැගිට සිටි දෙවියන් ව ය. අපෝස්තුළුවරුන් තම ජීවිතයෙන් ඒ ගැන සාක්ෂි දැරූහ.(5) ප්‍රධාන ගෝලයා වුවත් සාක්ෂි දැරීමට ශක්තියක් නැතිව සිටි පේදුරු තුමා, මුල් කාලයේ දී කිතුනුවන්ට විරුද්ධ ව සිටි සාවුල් හෙවත් පාවුළු තුමා වැනි පුද්ගලයන් සිත් පැහැදී දේව බලයෙන් ශක්තිමත් වී තම ජීවිත පූජාවෙන් ක්‍රිස්තුස් වහන්සේ ව දේශනා කරමින් සාක්ෂි දැරුවේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දුටු නිසා ය. එනිසා එක් අතකින් කිතුනුවෙකු වීම යන්න අහිංසක ආඩම්බරයකට හේතුවකි. වඩාත් වැදගත් කරුණ වන්නේ උත්ථාන වූ ජේසුස් වහන්සේව අදහා ගැනීම ය. ජේසුස් වහන්සේ අපගේ එකම ගැළවුම්කරුවාණන් බව ද, ඔවුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව ද පිළිගෙන ඇදහීම, ගැළවීම ලබා ගැනීමේ පළමු පියවර ය.  "ඔබ 'ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ය' යි ප්‍රසිද්ධියේ පුකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය", (රෝම 10 : 9) යනුවෙන් පාවුළුතුමා පවසන්නේ එනිසා ය.
     අද උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිද? ඔවුන් වහන්සේව එදිනෙදා ජීවිතය තුළ අපට හමුවේ ද?
    • ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහස නැවත පූජාසනයක් මත සිදු කරන දිව්‍ය පූජා යාගයේ සෑම කොටසක් තුළින් ම(විශේෂයෙන් දිව්‍ය සත්ප්‍රසාදය තුළ) උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිය.
    • දිව්‍ය සත්ප්‍රසාදය ඇතුළු සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) අදහිල්ලෙන් හා සූදානමකින් යුතුව ලබන සෑම අවස්ථාවක ම අප ලබා ගන්නේ, අපට හමුවන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව ය.
    • සුභාරංචි පොත් වලින් ක්‍රිස්තු චරිතය අධ්‍යයනය කරන, ඔවුන් වහන්සේගේ ඉගැන්වීම් හදාරන සෑම විට ම එයින් අපට අනාවරණය වන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
    • ජේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් කතා කරන විට අප අසල අදෘශ්‍යමානව වැඩ සිටින්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
    • සෑම වසරකම පාස්කු මංගල්‍යය සැමරීම තුළ අප ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දකිමු.
    අයහපතෙන් ඈත් වී, සැබෑ ජීවිත වෙනසක් ඇති කරගෙන උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ බලය අත්දකින්න. ශුද්ධාත්ම බලය තුළ ජීවත් වන්න. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය හා සාමය ඔබට ලැබේවා! ආලේලුයියා! 

     

    ----------- වැඩිදුර සටහන් ----------- 
    (1) ".....එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය. (උත්පත්ති 3 : 22b)
    "......තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක." (උත්පත්ති 3 : 24b)
    (2) පාවුළු තුමාගේ මේ පිළිබඳ ඉගැන්වීම නම්, "...... වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි. වළලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි, උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වළලනු ලබන සිරුර දුබල වූවකි, උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි;" (1 කොරින්ති 15 : 42 - 43) යන්නය.
    (3) "එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක" (ක්‍රියා 2 : 24) "දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක" (ක්‍රියා 2 : 32)
    (4) " .....එහෙත් සැබවින් ම ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ." (1කොරින්ති 15 : 20)
    (5) " දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු." (ක්‍රියා 2 : 32)


    ජේසුස් වහන්සේ මුහුණ දුන් කුරුසියේ මරණය - බයිබලීය විමසුමක්

    "කුරුසියේ(1) පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තියේ මඟට පා තැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ." (1 කොරින්ති 1 : 18)
    සාතන්ගේ වහල්කමට හසුවූ මිනිසාව ඉන් ගළවා ගෙන දෙවියන් වහන්සේ සමග ස්ථිර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ජේසුස් වහන්සේට දෙවි පියාණන්ගෙන් පැවරුණ කාර්යය, "මෙසියානු කාර්යය" නම්වේ. සාතන්ගේ ග්‍රහණයෙන් මිනිසාව මුදා ගැනීම සඳහා රුධීරමය ජීවිත පූජාවක් (බිල්ලක් දීම) කිරීම අත්‍යාවශ්‍ය විය. එම බිළි පූජාව වූයේ, නොකැළැල් ස්වර්ගීය ජේසුස් වහන්සේ ය. "ඔබ මිළයකට ගත් අය වන්නහු ය" (1 කොරින්ති 6 : 21) යනුවෙන් පාවුළුතුමා මෙය පෙන්වා දෙයි. එම "මිළය" වනාහී, ජුදාස් ස්කාරියොත් නමැති ශ්‍රාවකයා ජේසුස් වහන්සේව විකුණූ රිදී කාසි 30 නොව, ඔවුන් වහන්සේගේ අති අමිල (නිර්මල) රුධිරය ය. "රුධිරය" යන්න අති වැදගත් මිනිසාට ජීවය ලබා දෙන්නකි. 
    රුධිරමය ගනුදෙනු හා සම්බන්ධතා ගැන ශුද්ධ බයිබලයේ විවිධ තැන් වල සඳහන් වී ඇත.(2) අන්තිම රාත්‍රී භෝජනයේ දී ක්‍රිස්තුස් වහන්සේ පාස්කු ආශිර්වාදිත කුසලාන රැගෙන තම ශ්‍රාවකයන්ට දෙමින්, " මේ කුසලාන ඔබ උදෙසා වගුරවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය" (ලූක් 22 : 20) යනුවෙන් පුකාශ කළේ, දෙවියන් වහන්සේ සමග කරන ගිවිසුම් වල දී තිබිය යුතු ජීවිතමය බැඳීම පෙන්වා දීමටය. 
    මිසරයේ වහල්කමින් පීඩා විඳි ඉශ්රායෙල් ජනතාව ඉන් මුදා නිදහස් කර ගැනීමේ දී කළ කුළුඳුළන් මරණයට පත් කිරීමේ සිද්ධියේ දී, එදින රාත්‍රියේ මිසරයට උඩින් ගමන් ගත් "මරණයේ දූතයා" වෙතින් ඉශ්රායෙල්වරුන්ගේ ජීවිත ආරක්ෂා වූයේ, (නික්මයාම 12 : 7, 13) ඔවුන්ගේ නිවෙස් වල දොර උළුවහු හා වහලයේ යට ලීයේ තවරා තිබූ පාස්කු බැටළුවාගේ රුධිර සළකුණ නිසයි. 
    ඉශ්රායෙල් ජනතාව මිසරයේ පැවැත්වූ පළමු පාස්කුවේ දී දොර උළුවහු හා වහලයේ යට ලීයේ තැවරූ යාග වූ කුළුඳුල් බැටළු පැටවාගේ රුධිරයේ සළකුණ නිසා ඉශ්රායෙල් ජනයා ශාරීරික මරණයෙන් නිදහස හා ගැළවීම ලැබූහ. එම බැටළුවා මරණයට පත් වූයේ ඉශ්රායෙල් ජනතාව වෙනුවෙනි. ‍එලෙසම දේව පුත්‍ර ජේසුස් වහන්සේගේ රුධිරය අපට ගැළවීම හා ජීවනය ලබා දෙන්නක් වේ. ජේසුස් වහන්සේ කුරුසිය මත හෙළූ ශ්‍රී රුධිරය, (කායින් වැගුරූ නිර්දෝෂ ආබෙල්ගේ රුධිරය මෙන්) දේව ශාපය ලත් පොළොව (3) මත වැටී පාපයෙන් කිළිටිව තිබූ මැවිල්ල පවිත්‍ර කර නවතාවයකට පත් කළ සේක. පාස්කු බැටළුවාගේ රුධිරය ඉශ්රායෙල් ජනතාවට මාංශික (ශාරීරික) වහල්කමින් හා මරණයේ දූතයාගෙන් නිදහස හා ගැළවීම අත්කර දුන් ලෙසම, ජේසුස් වහන්සේගේ රුධිරය මුළු ලෝකවාසී ජනතාවට ම පාපයේ ආධ්‍යාත්මික වහල්කමින් හා සාතන්ගේ ග්‍රහණයෙන් නිදහස හා ගැළවීම හිමි කර දුන් සේක. එනිසා ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය දෙවියන් වහන්සේ හා මිනිසාව නැවත නොබි‍ඳෙන  ගැඹුරු ගිවිසුම් සම්බන්ධතාවයකට පත් කළ සේක.   
    සීනයි පාළුකරයේ දී දෙවියන් වහන්සේ මෝසස් මගින් ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුම ස්ථිර කිරීමේ බාහිර වත් පිළිවෙතට අනුව කුළුඳුල් බැටළු පැටවෙකුගේ රුධිරය පූජාසනය හා රැස්වී සිටි ජනතාව මත ඉස ඔවුන්ගේ ජීවිතවල අයිතිය හා බලය, දෙවියන් වහන්සේ සමග තිබෙන බැඳීම ද තහවුරු කළේය.(4) ජේසුස් වහන්සේ කුරුසිය මත රුධිරය හෙළා මරණයට පත්වීමතුළින් මුළු මිනිස් වර්ගයාම දෙවියන් වහන්සේ හා සම්බන්ධ කළ අතර, මිනිස් වර්ගයාගේ ජීවිත පිළිබඳ දේව අයිතිය තම රුධිරය මගින් තහවුරු කළ සේක. එමගින් සාතන්ට අපගේ ජීවිත කෙරෙහි වූ බලය අහෝසි කළ සේක. මේ අනුව බලන කල, ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව අති අමිල වූ යාගයකි. 
    ජොහාන් සුභාරංචියේ පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේට පාස්කු භෝජනය තම ශ්‍රාවකයන් සමග වැළඳීමට නොහැකි විය.(5) ජොහාන් පෙන්වන ආකාරයට ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය පාස්කු භෝජනයක් නොව, සමුගැනීමේ භෝජනයකි. මන්ද, ජේසුස් වහන්සේ මරණයට මුහුණ දුන්නේ පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කිරීමට සිටි, පාස්කු භෝජනය අනුභව කිරීමට සූදානම් කර තිබූ දිනයේ ය. (මේ පිළිබඳ වෙන ම විග්‍රහයක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ.) සාමාන්‍යයෙන් පාස්කු මංගල්‍යයේ දී පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කරන්නේ සවස 2. 30 ත් 3. 00ත් අතර වේලාවේ දී ය. ලූක් 23 : 44 ට අනුව, ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා ඇත්තේ මද්දහන් වේලාවේ දී ය. සුභාරංචි පොත් වලට අනුව සාමාන්‍යයෙන් පැය තුනක් පමණ කාලයක් ජේසුස් වහන්සේ කුරුසියේ එල්ලී වධ විඳ මරණයට පත්ව ඇත. ජෙහාන් තුමා ‍සුභාරංචියෙන් පෙන්වන්නේ "පාස්කු මංගල්‍යයට සූදානම් වන දවසේ මද්දහනේ වේලාවේ දී පිලාත් ජේසුස් වහන්සේව මරණයට තීන්දු කළ බවය. 
    ඒ අනුව ඔහු අපට දෙන දේවධාර්මික පණිවුඩය නම්, කුළුඳුල් පාස්කු බැටළුවා ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් යාග වන මොහොතේ එම බැටළුවාගේ තැන ගෙන ජේසුස් වහන්සේ ලෝක ජනතාවගේ මිදීම වෙනුවෙන් යාග වී අපට ගැළවීම, දේව සම්බන්ධතාවය හා ජීවනය ලබා දුන් බවය. මෙය බව්තීස්මය ලැබීමට පැමිණි ජේසුස් වහන්සේ ගැන ස්නාවක ජොහාන් දැරූ සාක්ෂිය සම්පූර්ණත්වයට පත් වීමකි.(6) 
    තවද, දෙවියන් වහන්සේට හා මෝසස්ට විරුද්ධව කතා කළ සීනයි පාළුකරයේ සිටි ඉශ්රායෙල් ජනතාවට කාන්තාරයෙන් පැමිණි සර්පයන් දෂ්ඨ කළ විට, දේව මග පෙන්වීම අනුව මෝසස් විසින් සාදන ලද රිටක් මත තැබූ පිත්තල සර්පයා දෙස බැලීමෙන් රෝගීහු සුවය ලැබූහ. (ගණන් කථාව 21 : 8 - 9) එලෙසම කුරුසියක එල්ලා සිටි ජේසුස් වහන්සේගේ මරණය හා උත්ථානය මගින් අපට ගැළවීම හා ජීවනය හිමි විය.  
    මතෙව් තුමා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේ මරණයට පත් වූ අවස්ථාවේ පහළ වූ සළකුණු අතර, " දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය." (මතෙව් 27 : 51) 'දේව මාළිගාවේ තිරය ඉරීම' යන්න දෙවියන් වහන්සේ හා මිනිසා භේද කළ 'පාපය' ඉවත් වී දෙවියන් වහන්සේ හා මිනිසා සමගි වී, ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනැගීම අදහස් වේ.(7)  ගිවිසුම් කරඬුව යනු, දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුමේ බාහිර සළකුණ හා දෙවියන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටීමේ සංඛේතය විය. එය ඉදිරිපිට දොර තිරයක් තිබීම නිසා දෙවියන් වහන්සේව දර්ශනය කිරීමට හා ඔවුන් වහන්සේ සමග සම්බන්ධ වීමට මිනිසාට තිබූ බාධකයක් විය. එසේම පාපය මිනිසාට දෙවියන් වහන්සේ හා සමග ගැඹුරු සම්බන්ධතාවයට නිරන්තර බාධකය වේ. "දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරීම" යන්න, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණය මගින් දෙවියන් හා මිනිසා වෙන් කළ පාපය නමැති කඩතුරාව ඉවත් වී, දෙවියන් වහන්සේට හා මිනිසාට එකිනෙකාව දර්ශනය කිරීමට, හමුවීමට හා ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සැළසීම සංඛේතාත්මකව පෙන්වීමකි.
    ඒදන්උයනේ සිටි ආදම්ගේ ඇති වූයේ පාපය අකීකරුකම, අහංකාරය හා තෘෂ්ණාව නිසාය. ඒවා සාතන්ගේ ස්වභාවය හා ඌ සතු දුර්ගුණ වෙති. එම දුර්ගුණ අනුව ක්‍රියා කරන්නා සාතන්‍ හා සම්බන්ධ වෙයි. එහෙත් ජේසුස් වහන්සේගේ මෙසියානු කාර්යය කීකරුකම (අවනතභාවය), බැහැපත්කම හා ස්වත්‍යාජය මත පදනම් වූවකි. මැවිල්ල හා සදාතන ජීවනය පිළිබඳ දේව සැලැස්ම දෙවියන් වහන්සේ පළමුව අනාවරණය කළේ, පළමු මිනිසා වූ ආදම්ට ය. එහෙත් ඔහු (දෙවියන් වහන්සේට අකීකරු වූ දේවදූතයෙකු වූ) සාතන්ගේ රැවටීමට හසුවූ සිය භාර්යාවගේ හඬට ඇහුම්කන් දී, එය ප්‍රතික්ෂේප කර හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කළේය. එහි බියකරු ප්‍රතිඵලය වූයේ, ලෝකය මරණය හා විනාශය උරුම වීමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා දෙවි පියාණන් වහන්සේට කීකරු වීමෙන් දේව සැලැස්ම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කළ සේක. තම සොහොයුරු කායින් අතින් මරු දුටු පිරිසිඳු සිතින් දෙවිඳුන්ට යාගයක් පිදූ, කිසිඳු වරදක් නොකළ ආබෙල් (උත්පත්ති 4 : 8)
    තම පියාවූ ආබ්‍රහම් දෙවිඳුන් වෙත තිබූ පක්ෂපාතීබව හා අවනතභාවය වෙනුවෙන් යාගයක් වීමට කිසිම විරුද්ධත්වයකින් තොරව කීකරු වූ ඊසාක් (උත්පත්ති 22 : 1 - 13)
    කිසිම වරදක් නොකළත් තම සොහොයුරන් අතින් රිදී කාසි 20 කට වහලෙකු ලෙස විකිණී ගොස් (උත්පත්ති 37 : 18 - 36), නොකළ වරදකට සිර දඬුවම් ලැබූ අවිහිංසක ජෝසප් (උත්පත්ති 39 : 7 - 20), කිසිම සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නොවූ, එහෙත් නිකරුණේ දේව අපහාසය පිළිබඳ බොරු චෝදනා කර ගල් ගසා මරා දැමුණු නාබොත් (1 රාජාවලිය 21 : 8 - 14), දේව ජනතාව (ඉශ්රායෙල්වරුන්) වහල්කමින් මුදා ගැනීමට සිය ජීවිතයම කැප කළ මෝසස්, දෙවි පියාණන්ට කීකරුව, දේව කැමැත්ත මුළුමනින්ම ඉටු කළ ජේසුස් වහන්සේගේ පූර්වාදර්ශ වෙති. ජේසුස් වහන්සේගේ බැහැපත් කීකරුකම තුළින් දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කර එමගින් අපට ගැළවීම, ජීවනය හා දේව සම්බන්ධතාවය ලබා දුන් සේක. 
    දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම යනු, "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" පිළිබඳ සංකල්පය ක්‍රියාවට නැගීමකි. "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" යන්න, දෙවියන් වහන්සේට අපගේ සම්පූර්ණ අයිතිය පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, ඔවුන් වහන්සේගේ කැමැත්ත මුළුමනින්ම ඉටු කිරීමය. ජේසුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා ඉටු කළේ එයයි. ජේසුස් වහන්සේ දෙවි පියාණන්ට තමන්ව සම්පූර්ණයෙන් පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, දේව කැමැත්ත මුළුමනින් ම ඉටු කළ ප්‍රධාන අවස්ථාව වන්නේ, කුරුසියේ මරණය ස්වකැමැත්තෙන් බාර ගෙන එය ක්‍රියාවට නැගීමයි. එම කීකරු උතුම් ක්‍රියාවට දෙවියන් වහන්සේගෙන් එතුමන්ට ලැබුණු දේව තිළිණය ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයයි. 
    මේ අනුව, ජේසුස් වහන්සේ පාස්කු අභිරහස තුළින් අපට දිනා දුන් දේව වරප්‍රසාද අතර,
    1. පාපයේ වහල්බවින් අපව ගැළවීම 
    2. පාපයට හිමි දඬුවම වන නිරා ගින්නෙන් අපව මුදා ගැනීම
    3. සාතන්ගේ ග්‍රහණයෙන් අපව ගළවා ගැනීම 
    4. නැතිවී ගිය දේව සම්බන්ධතාවය නැවත හිමි වීම. එනම්, දෙවිඳුන් මිනිසා හා සමගිවීම
    5. සදාතන ස්වර්ගීය ජීවිතය හිමි කර දීම (ස්වර්ගයට නැගුණ පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ ය.)
    6. කීකරුකම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම මගින් ආදම්ගේ සිට සිදුවූ ලොව සියලු පාප වලට වන්දි ගෙවීම 
    7. ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසෙන් ඔවුන් වහන්සේ ලැබූ දේව වරප්‍රසාද සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) මාර්ගයෙන් අපට හිමි කර ගැනීමේ භාග්‍ය ලබා දීම
     යනාදිය ප්‍රධානය.  
    දෙවියන් වහන්සේ හා සමාන දේවත්වය දරමින් සිටි ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ) (8) දේවත්වය ඉවත දමා මනුෂ්‍යත්වය ගෙන මෙලොවට පැමිණ(9) පව්කාර මිනිසුන්ගේ ප්‍රතික්ෂේපයට ලක්ව, ඔවුන් අතින් පහර කා, වධ හිංසා විඳ ප්‍රසිද්ධ නීච මරණයක් හිමි කර ගැනීම(10) යන්න, මිනිස් මනසින් අවබෝධ කරගැනීමට ඉතා අපහසු දෙයකි. ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණයේ ඇති වැදගත්කම, එහි තිබෙන බලය හා ඉන් අප ලැබූ විමුක්තිය කොපමණ ද යන්න නියම ලෙස අවබෝධ කරගෙන, පිළිගෙන, එය ගැඹුරින් අදහා ගැනීමට හැකි නම් අනිවාර්යයෙන් ම අපගේ ජීවිත වෙනස් වී මීට වඩා යහපත් වනු ඇත. ජේසුස් වහන්සේ පාස්කු අභිරහසේ බලය හා මහිමය ඔබගේ ජීවිතය තුළ අත්දකින්න.  
       
     --------- වැඩිදුර සටහන් ----------
    (1) "කෘක්ස්" යන ලතින් වචනයෙන් බිඳී එන කුරුසිය යන්නට ග්‍රීක භාෂාවෙන් "ස්ටඋරොස්" යන නම යෙදේ. පුරාණ කාලයේ භයානක අපරාධකරුවන් ලෙසින් පුසිද්ධියට පත් පුද්ගලයන්ට දුන් ප්‍රසිද්ධ නින්දිත මරණ දඬුවමක් ලෙස මෙය පිළිගැනේ. පුරාණ ගිවිසුමේ ගස් වල එල්ලා මරණයට පත් කිරීමේ නීතියක් ගැන ද්විතීය නීති සංග්‍රහය 21 : 22 හි සඳහන් වුවත් එය කුරුසපත් කිරීමට සමාන කළ නොහැක. ප්‍රසිද්ධියේ කුරුසපත් කිරීම කළේ නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන්ට මරණ තර්ජනයක් ලෙසින් හා බිය ගැන්වීමට අනතුරු ඇඟවීමක් ලෙසිනි. 
         කුරුසියක එල්ලී මරණයට පත් පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ නොවේ. අපරාධකරුවන්ට ඳඬුවම් කිරීම සඳහා කුරුසිය භාවිත කළ විවිධ ජාතීන් අතර, අසිරියන්වරුන්, පර්සියන්වරු, කාර්තේජයේ ෆිනිෂියන්වරු, පැරණි මිසරවරුන් හා ග්‍රීකයෝ ද සිටිති. පසුව එය රෝමවරුන්ද පිළිගෙන විදේශික අපරාධකරුවන්ට දුන් මරණ දඬුවමක් ලෙසින් රෝම ජනපද වල භාවිත කළෝය. 
         "කුරුසය" යන වචනය නව ගිවිසුම තුළ නාමපදයක් ලෙසින් 28 වතාවක් ද, ක්‍රියා පදයක් ලෙසින් 46 වතාවක් ද සඳහන් වී ඇත. එවකට ප්‍රධාන කුරුස වර්ග තුනක් භාවිත කර ඇත. රෝම හෝඩියේ T හා X හැඩැති කුරුස හා ජේසුස් වහන්සේව ඇණ ගැසූ + හැඩැති කුරුසය වේ. 
         අපරාධකරුවා විසින් කුරුසිය උසුළානෙ යාම සිරිතය. ඔහුට ඉදිරියෙන් ඔහු කළ වරද සඳහන් පුවරුවක් ගෙන යන අතර, පසුව එය කුරුසිය මුදුනේ එල්ලා තබයි. (ජොහාන් 19 : 19 - 20 හි සඳහන් ආකාරයට ‍ජේසුස් වහන්සේ ගැන "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්" යනුවෙන් හේබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් භාෂා වලින් ලියූ පුවරුවක් තබා තිබුණේ එබැවිනි.) ජේසුස් වහන්සේව මරණයට පත් කළ ස්ථානය ජේසුස් වහන්සේ කතා කළ භාෂාව වන අරමයික භා‍ෂාවෙන් "ගොල්ගොතා" නම් වේ. 
         එය ජෙරුසලම් ප්‍රධාන නගර සීමාවෙන් පිටත තිබූ හිස්කබලක හැඩැති ගොඩැල්ලකි. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වචනය වන, Calvary යන්න ලතින් භාෂාවේ "Calvarium" යන වචනයෙන් බිඳී එන්නකි. 
         කුරුස පත් කරන්නේ නිරුවතින් හෝ කුඩා රෙදි කැබැල්ලක් ඉණ දැවටීමෙන් නින්දා අපහාස කිරීමටය. මරණයට පත් වන්නාගේ ඇඳුම ඔහුව කුරුසියේ ඇණ ගසන සෙබළාට අයිති වන්නේ ඔම මරණයට සාක්ෂියක් හා සිහිවටනයක් වශයෙනි. (ජේසුස් වහන්සේගේ සළුව කිසිම මූට්ටුවක් නැතිව තනි නූලකින් සකසා තිබූ නිසා එය නොඉරා දාදු දැමීය. මෙම සළුවට සමාන සළුවක් උත්තම පූජකයා ද ඇඳ සිටිය යුතු බව නික්මයාම 28 : 31 - 32 හා ද්විතීය නීති සංග්‍රහයේ 22 : 11 හි දැක්වේ. එය ජොහාන් 19 : 23 - 24 හි පරිදි එය ජේසුස් වහන්සේගේ උත්තම පූජකභාවය නිරූපණය කරන සංකේතයකි. එසේම ගීතාවලිය 22 : 18 හි සඳහන්, "මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති" යන දිවැසිවැකිය ඉටු වීමකි.) 
         කුරුස පත් කිරීමට ප්‍රථම වේදනාව හා පීඩාව අඩු කිරීම සඳහා වෙළඳ පොලෙන් මිළට ගත හැකි මත්ද්‍රව්‍ය (ගන්ධරස) මුසු බාල මිදියුෂ පානයක් බීමට දෙයි. මේවා දිළින්දන් හා හේවායන් භාවිත කළ මත්පැනකි. ජේසුස් වහන්සේට ඒවා පිළිගැන්වූ නමුත් ඔවුන් වහන්සේ එය "දිව ගා බලා බොන්න අකමැති වූ සේක" (මතෙව් 27 : 34). එය ගීතාවලියේ 69 : 21 හි සඳහන් "සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය" යන ශුද්ධ ලියවිලි පාඨය සම්පූර්ණත්වයට පත් වීමකි. 
         සාමාන්‍යයෙන් පොළොවෙන් අඩි 3 - 5 අතර උසකින් කුරුසියේ ඇණ ගැසීම සිරිතය. දෑත් වල අල්ලට නොව මැණික් කටුව ප්‍රදේශයට ඇණ ගසන අතර, දෙපා දණිස් අගින් නැවෙන ලෙස ඇණ ගසයි. සමහර විට මෙය ඇණ තුනක් නොව හතරක් විය හැකිය. ජේසුස් වහන්සේව ඇණ තුනකින් කුරුසියේ එල්ලීම විශේෂ කරුණකි. එසේම අධික රුධිර වහනය වැළැක්වීම සඳහාත්, මරණයට පත්වන්නා මරු විකලෙන් දැඟලීම නැවතීම සඳහාත් ලණු වලින් දෑත ලී කඳට තබා බඳති. 
         කුරුස පත්වන පුද්ගලයා දැඩි අව් රශ්මියෙන් ද , කෘමීන්ගෙන් ද, සාගින්න හා පිපාසයෙන් ද පීඩාවට පත්ව මරණයේ අත්දැකීම විඳ ගනියි. පිපාසයේ දී දෙන්නේ විනාකිරි මුසු මුද්‍රික පානයයි. එසේම කුරුස පත් පුද්ගලයා දෙස බලන්නෝ නොයෙක් උසුළු විසුළු වලින් නින්දා අපහාස කිරීම ද සිදුවේ. මතෙව් 27 : 39 - 43 හ සඳහන් පරිදි ජේසුස් වහන්සේට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු විය. කුරුස පත් වූ තැනැත්තා උසුළු විසුළු කරන්නන්ට බැණ වැදීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජේසුස් වහන්සේ කුරුසියේ සිට දෙසූ වදන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් යැදුම් හා ප්‍රාර්ථනා වෙති. ලූක් 23 : 47 ට අනුව, එතැන සිටි රෝම ශතාධිපතියා, "සැබවින්ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකි" යි කීවේ එබැවිනි. 
         කුරුස පත්වූ අයෙකු දින 2 - 3 අතර කාලයක් කුරුසියේ එල්ලී සිට බොහෝ වේදනා විඳ මරණයේ අත්දැකීම ලබයි. ජොහාන් 19 : 32 අනුව, ජේසුස් වහන්සේ දෙපස එල්ලා සිටි සොරුන් දෙදෙනා දෙස බලන විට මෙය වඩාත් පැහැදිළි වේ. (එහෙත් ජේසුස් වහන්සේ ඉක්මනින් මරණයට පත් වන්නට ඇත්තේ ඔවුන් වහන්සේට කුරුස පත් වීමට පෙර විඳන්ට සිදුවූ අධික කෲර වධ වේදනා වලින් ඇති වූ පීඩාව නිසා විය යුතුය. මරණයට නියම වන්නන්ට මෙසේ වධ හංසා පමුණුවා කුරු පත් කිරීම නිතර සිදුවන්නක් නොවේ. ජේසුස් වහන්සේට එය විඳන්නට සිදුවීම ශුද්ධ ලියවිල්ල සම්පූර්ණත්වයට පත්වීමක් බව පෙනේ.) කෙසේ වුවද ගසක එල්ලූ පුද්ගලයාව මරණයෙන් පසුව ඉන් බිමට ගැනීම ද්වීතීය නීති සංග්‍රහය 21 : 22 - 23 හි සඳහන් දේව නීතිය ඉටු කරනු වස් අරිමාතියේ ජෝසප් නමැති ජේසුස් වහන්සේ රහසිගත මිතුරෙකු වූ ජුදෙව් මන්ත්‍රීවරයා පිලාත්ගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. මාර්ක් 15 : 44 ට අනුව, "උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක්දැ" යි අසා පුදුමව ඒ ගැන ශතාධිපතියාගෙන් විමසා බැලීමෙන් ඉහත සඳහන් කළ කරුණ පැහැදිළි වේ. තවද එදින සවස 6 ට සබත ආරම්භ වීමට නියමිතව තිබුණි. සබත් දිනය හා විශේෂ ජුදෙව් මංගල්‍ය පවත්වන දින වලදී කුරුස ගස් වල මළ කඳන් එල්ලා තිබීම අසුභ හා දවස අපවිත්‍රවීමට හේතුවක් ලෙස සැලකූ හෙයින් ඔවුන්ගේ සිරුරු කුරුස වලින් බිමට බෑමට අවසර ලැබුණි. සොරුන් දෙදෙනා නොමැරී සිටි නිසා ඔවුන්ගේ දෙපා දණිස් අගින් කඩා දමා අධික වේදනාව හා රුධිර වහනය මගින් මැරෙන්නට සැලැස්වීය. ජේසුස් වහන්සේට එසේ නොකළේ ඔවුන් වහන්සේ මරණයට පත්ව සිටි නිසාය. ජොහාන් 19 : 3 හා 36 අනුව එය ගීතාවලිය 34 : 20 හි සඳහන්, " එතුමාණෝ ඔවුන්ගේ ඇ‍ඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක්වත් බි‍ඳෙන්න ඉඩ නොහරින සේක", යන ශුද්ධ ලියවිලි පාඨය ඉටුවීමක් බව පෙනේ. එක් හේවායෙක් හෙල්ල‍යකින් ජේසුස් වහන්සේගේ ඇලයට ඇන්නේ, පිලාත්ගේ නියමය පරිදි (මාර්ක් 15 : 44 - 45) ඔවුන් වහන්සේගේ මරණය සහතික කොට දැනගන්නා පිණිසය. 
         ජේසුස් වහන්සේව කුරුසියෙන් බිමට බැස්ස වූ මොහොතේ තම මෑණියන් වහන්සේගේ උකුළ මත තැබීමේ පාදනමස්කාර සිද්ධිය සම්මත කොට පිළිගත් කිසිම සුභාරංචි පොතක සගදහන් නොවේ. එය අතරට ආවේ අසම්මත යැයි පිළිගත් වෙනත් සුභාරංචි පොතක ආභාෂයෙනි.
         ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරය ගන්ධරස නමැති මත් ඖෂධය හා අගිල් නමැති සුවඳ ද්‍රව්‍ය වලින් ගල්වා ආලේප කර සිහින් හණ රෙද්දකින් වෙළා අළුත් ගල්ලෙනක තැන්පත් කර ඇත. එම ගල්ලෙන අරිමාතියේ ජෝසප් හට අයත් කිසිවෙකු ඊට පෙර තැන්පත් නොකළ ලෙනකි. මෘත ශරීර ගල්ලෙන් තුළ තැන්පත් කිරීම මිසරයේ දී ඉශ්රායෙල්වරුන් පාරාවෝවරුන්ගෙන් ලැබූ ආභාෂයකි. (2 රාජාවලිය 13 : 20 - 21). මෙම ගල්ලෙන් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්, පස් කඳු හාරා සාදාගත් ලෙන්, ස්වභාවික ගල්ලෙන් හා ගල් එකිනෙක පිට තබා සෑදූ සොහොන් ලෙන් වශයෙනි. ඒවා ඇතුළත තරමක ඉඩක් ඇත. ගෙළ සිට පාදාන්තය දක්වා එකම රෙද්දකින් වෙළූ සිරුරේ හිස කොටස වෙනම රෙදි කඩකින් වෙලා ලෙන මත තබයි. ලෙනෙහි කට රවුම් ගල් පොත්කින් වසා කූඤ්ඤ ගසා තද කර වසනු ලබයි. සතියක් පමණ ගත වනතුරු වරින් වර එය විවෘත කර දුගඳ වළකනු සඳහා සුවඳ ද්‍රව්‍ය වත් කිරිම කරයි.  
    (2) ජීවිතය හා රුධිරය අතර වන ගැඹුරු සම්බන්ධතාවය දෙවියන් වහන්සේ, කායින් තම සොහොයුරු ආබෙල්ව මැරූ මොහොතේ, ".....නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොර ගසයි....නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයා ගෙන ඇත." - (උත්පත්ති 4 : 10, 11b) යනුවෙන් පෙන්වූ සේක. මහා ජල ගැල්මෙන් පසුව දෙවියන් වහන්සේ නෝවාට මාංශ අනුභවයට අවසර දුන්න ද, "ජීව ධාතුව වන ලෙස සහිත මස් පමණක් නුඹලා නොකූ යුතුය" යි (උත්පත්ති 9 : 4) නියෝගයක් පැනවූ සේක. 
    (3) "තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: 'නොකෑ යුතුය' යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේවා!...." - උත්පත්ති 3 : 17
    (4) "මෝසස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන් වල දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින් 'සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙම්' යි කීහ. එවිට මෝසස් ලේ රැගෙන, සෙනග මත ඉසිමින්, 'මෙය වනාහී සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය' යි පැවසීය." - නික්මයාම 24 : 6 -8  
    (5) "පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූහ. එබැවින් පිලාත් පිටත ඔවුන් සිටි තැනට පැමිණ,......" - ජෙහාන් 18 : 28b - 29a
    "ඒ වනාහී පාස්කු මංගල්‍යයට සූදානම්වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු 'මෙන්න, ඔබේ රජ' යි ජුදෙව්වරුන්ට කී ය." - ජොහාන් 19 : 14 
    (6) "මෙන්න, ලෝකයේ පාපය දුර ලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ....." ජොහාන් 1 : 29 
    (7) මෙම තිරය නිල් පාට, රතු හා තද රතු පාට ලොම් වලින් හා සිහින් ව කටින ලද හණ පියෙන් සෑදූ එකකි. එහි කෙරුබ්වරුන්ගේ (දේවදූතයන් මෙන් පියාපත් ඇති ‍විශේෂයකි) රූප ගෙත්තම් කොට තිබුණි. මෙය ගිවිසුම් කරඬුව තැන්පත් කර තිබූ අති ශුදධ ස්ථානයට ඉදිරියෙන් රන් කොකු හතරකින් එල්ලා තිබී ඇත.
    (8) " ආරම්භයේ දී ධර්මයාණෝ (වාක්‍යයාණෝ) සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමග සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේව ම සිටි සේක." - ජොහාන් 1 : 1 
    (9) "උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත් සේක." - ජොහාන් 1 : 11
    " උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරෑපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබා ගත යුතු වස්තුවකැ යි නොසිතා, එය ඉවත ලා වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ මරණය, එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූ සේක...." - පිලිප්පි 2 : 6 - 8
    (10) " මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූහ; දුක හා වද වේදනා දුරූ මිනිස් කෙනෙක් වූහ. එතුමන් දුටු විට මිනිස්සු අහක බලා ගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූහ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණෝ ඉසුළුවේ අපේ දුකය; දරා ගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවිතුමන් දුන් පහර යැයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත....... සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටියහ; නිහතමානී ලෙස එය දැරූහ....... බලාත්කාරකමින් ද යුක්ති විරෝධී ලෙස ද එතුමෝ ගෙන යනු ලැබූහ; මනු ලොවින් සිඳ දමනු ලැබූහ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූහ....... එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ....... බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් ලත් දුක් වේදනාවෙන් දේව සම්බන්ධතාවට ඔවුන් පත් කරනු ලැබ ඇත...... මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමග ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි." - යෙසායා 53 : 3 - 12   
       

    DAILY DEVOTION BOX

     
    Support : Creating Website | Johny Template | Mas Template
    Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
    Template Created by Creating Website Published by Mas Template
    Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith