News Update :
ශුද්ධ ලියවිල්ල හා ශුද්ධ වූ සභා සම්ප්‍රදාය අතර බිඳිය නොහැකි ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා ශුද්ධාසන බයිබලීය කොමිසම් [Pontifical Biblical Commission] වාර්ෂික රැස්වීම අවසානයේ ප්‍රකාශ කරයි. | කිතුනු ඇදහිල්ල හා ක්‍රිස්තුස් වහන්සේ නිසා නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වන කිතුනු සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙස පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා පසුගිය ඉරුදින වතිකානයට රැස් වූ 80 දහසක් බැතිමතුන් අමතා ආයාචනය කර සිටියේ ය. | පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කාර් ජනරජයේ ජනාධිපති නිරිනා ඇන්ඩ්‍රි රජොලිනා මහතාව හමුවී වතිකානය හා මැඩගස්කරය අතර පවතින යහපත් සබඳතා පිළිබඳව සාකච්ඡා කළේ ය. | අපගේ කිතුනු ජීවිත ජේසුස් වහන්සේව හමුවීමට සදාතනික ස්වර්ගීය නිවහන වෙත යන ගමනක සූදානමක් බව පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ ය. |
Recent Posts

ජේසුස් වහන්සේව විනිශ්චය කළ පොන්තියුස් පිලාත්


පොන්තියුස් පිලාත් කවරෙක්ද?  පොන්තියුස් පිලාතුස් වනාහී, ජේසුස් වහන්සේ මිනිස් වෙසින් මෙලොව ජීවත් වූ කාලයේ රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 26 - 36 අතර කාලයේ ජුදයාව පාලනය කළ පස්වන රෝම ආණ්ඩුකාරයා ය.[1] වැලේරියස් ෆැල්සෙයුස් ග්‍රාටුස් නමැති රෝම ආණ්ඩුකාරයාගෙන් පසුව ජුදයාවේ රෝම ආණ්ඩුකාර තනතුර ඔහුට හිමි විය. රෝමානු අශ්වාරෝහක පවුලකින් පැවතෙන ඔහු, ඊට ප්‍රථම රෝම යටත් විජිත ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාර පදවිය හෙබවූ, දක්ෂ රාජකීය රෝමානු ශතාධිපතියෙකු ලෙසින් ද කටයුතු කළ ඇත්තෙකි. පිලාත් පදිංචිව සිට ඇත්තේ කායිසාරිය නමැති ජුදෙව් පෙදෙසේ ය.
[කායිසාරිය රෝමන් පාලන පෙදෙසේ නටඹුන්]

 පිලාත් පිළිබඳ ඍජු තොරතුරු ටැසිටස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆීලෝ හා ජොසෙෆස් යන ඉතිහාසඥයන්ගේ වාර්තා වල දැක්වේ. ඊට අමතරව නිකදේමුස්ගේ සුභාරංචිය හා මාර්සියන්ගේ සුභාරංචිය වැනි අසම්මත සුභාරංචි පොත් වල ද පිලාත් ගැන සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 37 මාර්තු 16 තිබේරියස් සීසර්ගේ මරණින් පසුව ඔහුව ආපසු රෝමයට කැඳවූ බව ජොසෙෆස්ගේ වාර්තාවේ දැක්වේ. ඔහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේ ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම හේතු කොට ගෙන ය.

පිලාත්ගේ සම්පූර්ණ චරිතාපදානය පිළිබඳ තොරතුරු අප්‍රකට ය. ඉපැරණි ජනප්‍රවාදයකට අනුව, ඔහු මධ්‍යම ඉතාලිය බයිසෙන්ති [Bisenti] නමැති කුඩා ග්‍රාමයක උපත ලබා ඇත.[2] ඔහු ස්කොට්ලන්තයේ ෆොටින්ගෝල් නමැති උස් බිම් ප්‍රාන්තයක උපන් බවට ද, ස්පාඤ්ඤයේ ටැරගෝනා හි උපන් බවට ද, ජර්මනියේ ෆෝර්ච්හේම් හි උපන් බවට ද විවිධ ජනප්‍රවාද ඇත.
[පිලාත් කර වූ ශිලා ලේඛනය - ක්‍රි.ව. 1961 දී ඉශ්රායෙලයේ කායිසාරිය ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත. ]
ඉශ්රායෙල් කෙෳතුකාගාරයේ ඇති පිලාත්ගේ ශිලා ලේඛනය - මෙහි ]ECTVS IUDA හෙවත්  praefectus Iudaeae යනුවෙන් දැක්වේ එහි අර්ථය නම්, ජුදයාවේ අධිපති  [prefect of Judaea] යන්න ය.
පොන්සියුස් පිලාත් ජුදයාව දුටුවේ පරිපාලනයට අසීරු ප්‍රදේශයක් ලෙසිනි. ඒ බව ඔහු ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමෙන් අනතුරුව තිබේරියස් රෝම අධිරාජ්‍යයාට යැවූ සම්පූර්ණ විස්තර වාර්තාව රැගත් ලිපියේ ආරම්භයේදී ම දක්වා ඇත. [Archko Volume Manuscripts, Constantinople & Senatorial Docket, Rome Library] ජුදෙව්වරුන්ගේ ආගමික නීති හා සම්ප්‍රදායන් ද, පරිසිවරුන් සද්දුසිවරුන් විනයධරයන් හා නායක පූජකවරුන්ගේ බලපෑම් හා ක්‍රියා කලාපයන් ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. එහෙත් පිලාත් රෝම අධිරාජ්‍යයා වෙනුවෙන් රෝම නීතිය ක්‍රියාවේ යෙදවීමටත්, තම පාලන  ප්‍රදේශය නීතිය හා සාමය පවත්වා ගැනීමටත් කටයුතු කළේ ය. පිලාත් ජුදයාවේ පැවති ඇතැම් නීති හා සම්ප්‍රදායන් වෙනස් කිරීමට ද පසුබට වූයේ නැත. පිලාත් ජුදෙව් ප්‍රාන්ත පාලනය බාර ගැනීමට පෙර වරදකරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමේ බලයක් ජුදෙව් උත්තම පූජකයාට තිබුණි. එම වරප්‍රසාදය ඔහුට අහිමි කළ පිලාත් තම පාලන ප්‍රදේශය තුළ මරණ දණ්ඩනය දීමේ තනි අයිතිය රෝම අධිරාජ්‍යයාව නියෝජනය කරන රෝම ආණ්ඩුකාරයා සතු බව ප්‍රකාශ කර නියම කළේ ය.

පිලාත්ගේ පාලන කාලය තුළ ඔහු මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ රෝම පාලනයට එරෙහිව තැනින් තැන (රෝම විරෝධී) සෙලට්වරුන් ගෙන ගිය සුලු කැරලි ගැසීම් ය. ඒවා මර්ධනය කිරීම ඔහුට එතරම් අපහසු කාර්යයක් නොවී ය. කැරලි නායකයෙකු වූ බරබ්බස් ව අත්අඩංගුවට ගෙන සිර දඬුවම් නියම කිරීමෙන් ඒ බව පැහැදිළි ය.(මාර්ක් 15 : 7, ජොහාන් 18 : 40b)

ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම
පිලාත් සිය පාලන කාලය තුළ මුහුණ දුන් අසීරු ම ප්‍රශ්නය වූයේ, නිර්දෝෂ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීමට නියම කිරීම පිළිබඳ කරුණ ය. පිලාත් ඉදිරියෙහි ජේසුස් වහන්සේට එරෙහිව නායක පූජකවරුන් හා ජුදෙව් ප්‍රධානීන් ඉදිරිපත් කළ චෝදනා තුනකි. එනම්, 
  • මොහු ජුදෙව් ජාතිය කැරලි ගැසීමට පොළඹවන බව,
  • රෝම අධිරාජ්‍යයාට අය බදු දීම තහනම් කරන බව,
  • ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියා ගන්න බව,
ය. [ලූක් 23 : 2] මෙකී චෝදනා තුනම ජේසුස් වහන්සේ අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙකු බව පෙන්වන ඒවා ය. මෙම චෝදනා උත්තම පූජක අන්නාස් ඇතුළු සැන්හෙඩ්‍රින් ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි ජේසුස් වහන්සේට එල්ල කළ චෝදනා වලට වඩා හාත්පසින් ම වෙනස් ඒවා වෙති. [මතෙව් 26 : 60 - 66] වරදකරුවන් විනිශ්චය කොට හසල අත්දැකීම් ඇති පිලාත් ජේසුස් වහන්සේ දෙස බලා ඔවුන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයෙන් ම ඔවුන් වහන්සේ නිර්දෝෂ කෙනෙකු බව වටහා ගත්තේ ය. පිලාත් දැන ගැනීමට අවශ්‍ය වූයේ එක් වැදගත් කරුණක් පමණි. එනම්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු ද" යන්න ය. [ලූක් 23 : 3] විප්ලවකාරයන්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් හා සටන්කාමීන් විනිශ්චය සභාවක් ඉදිරියෙහි හැසිරෙන හා පිළිතුරු දෙන ආකාරය පිලාත් හොඳින් දැන සිටියේ ය. “එසේ කියන්නේ ඔබ ය" [ලූක් 23 : 3] යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුරෙන් ම ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න ඔහු තේරුම් ගත්තේ ය. එසේම, නායක පූජකවරුන් ද ඊර්ෂ්‍යාවෙන් ජේසුස් වහන්සේව පිලාත් වෙතට පාවා දී මරණ දඬුවම දීමට පොළඹවන බව ඔහු තේරුම් ගෙන සිටියේ ය. [මාර්ක් 15 : 10] පිලාත් ආණ්ඩුකාර පදවිය නිල වශයෙන් බාරගැනීමේ උත්සවයට ජෙරුසලමේ සිටි ජුදෙව් උත්තම පූජකවරයා ඇතුලු නායක පූජකවරුන්ට කළ ඇරයුම නොසලකා හැර ඔවුන් ඊට සහභාගි නොවූ නිසා පිලාත් තුළ ජුදෙව් පූජකවරුන් ගැන තිබුණේ දැඩි අප්‍රසන්නතාවයකි. එබැවින් රෝමවරුන් එම පූජකවරුන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවත්, ඔවුන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවෙත වෙනුවෙන් තම මව වුව ද පාවා දෙනු ඇතැයි පිලාත් රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙත යැවූ ලිපියේ ඔහු දක්වා සඳහන් කර ඇත. 
ජේසුස් වහන්සේගෙන් පිලාත් ප්‍රශ්න කිරීම
පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමේ සිද්ධිය තුළ විශේෂ සංවාද කොටස් කිහිපයක් දැකිය හැකිය. 
  • පිලාත් ජේසුස් වහන්සේ සමග කළ සංවාදය ඔහු ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න විමසා බැලීය. ඔහු පෙෳද්ගලිකව ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය. 
  1. ‘‘ඔබ ජුදෙව්වරුන්ගේ රජ ද?" (මතෙව් 27 : 11) 
  2. ‘‘ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද්ද? බලන්න, මොවුහු ඔබට කොතරම් චෝදනා කරත් ද?" (මාර්ක් 15 : 4) 
  3. ‘‘මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කළෙහි ද?" (ජොහාන් 18 : 35)
  4. “ඔබ කොහෙන් එන්නේ ද?" (ජොහාන් 19 : 9)
  5. “ඔබ මට පිළිතුරක් දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කර හරින්ට හෝ කුරුසියේ ඇණ ගසන්ට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි ද?" (ජොහාන් 19 : 10) 
   යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් ප්‍රධානීන් සමග කළ සංවාදය - පිලාත් නායක පූජකවරුන් සමග විවාද කරමින් ජේසුස් වහන්සේව නිදහස් කිරීමට උත්සහ කළේ ය. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේව කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් හා කෝපයෙන් පසු වූ බව දැන සිටි බැවිනි. 
  1. “මේ මිනිසාට විරුද්ධව ඔබ ගෙනෙන චෝදනාව කුමක් ද?" (ජොහාන් 18 : 29)
  2. “ඔබ ම ඔහු ගෙන ගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්න" (ජොහාන් 18 : 31)
  3. “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ." (ලූක් 23 : 4)
  4. “ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලි ගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විබාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධව කළ චෝදනා වලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත; හෙරෝද්ට ද පෙනුණේ නැත. හෙරෝද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි." (ලූක් 23 : 15 - 16)
     යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් වැසියන් සමග සංවාදය - පාස්කු මංගල්‍යයට සහභාගිවීමට පැමිණි බොහෝ ජුදෙව්වන්ගෙන් ජෙරුසලම පිරී පැවතුණි. ජේසුස් වහන්සේව පිලාත් ඉදිරියෙහි විනිශ්චය කරන බව දැනගැනීමෙන් ඔවුන් එය බැලීමට එහි රැස් වූහ. 
  1. “මොහු අත කිසි වරදක් මට නොපෙනේ. පාස්කු මංගල්‍යෙය් දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමති ද?" (ජොහාන් 18 : 38b - 39)
  2. “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි." (ජොහාන් 19 : 4)
  3. “මෙන්න, ඒ මනුෂ්‍යයා." (ජොහාන් 5)
  4. “මෙන්න ඔබේ රජ." (ජොහාන් 19 : 14)
  5. “එසේ නම් ජුදෙව්වරුන්ගේ රජු යයි ඔබ කියන මොහු ගැන කුමක් කරන්ට ද?" (මාර්ක් 15 : 12)
  6. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්ට ද?" (ජොහාන් 19 : 15)
  7. “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කළේ ද?" (මාර්ක් 15 : 14)
  8. “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වග බලා ගන්න." (මතෙව් 27 : 24)
මෙකී සියලු සංවාද වලින් පෙනී යන්නේ පිලාත් ජේසුස් වහන්සේගේ නිදොස් බව පිලාත් පැහැදිලිව ම හඳුනා ගෙන සිටි බව ය. එබැවින් ඔහු ජේසුස් වහන්සේව නිදහස් කර හැරීමට නොයෙක් උපක්‍රම යෙදුවේ ය. 
[“මෙන්න මනුෂ්‍යයා" - "Acce Homo" - පිලාත් කසයෙන් තැළවූ ජේසුස් වහන්සේව ජනතාවට පෙන්වීම ]
  1. ජේසුස් වහන්සේ නිදොස් මිනිසෙකු බවට නායක පූජකවරුන්, ජුදෙව් ප්‍රධානීන් හා සාමාන්‍ය ජුදෙව් ජනතාව ඉදිරියෙහි කරුණු ගෙන හැර පෑම.
  2. තමන් මෙම විනිශ්චයට මැදහත් නොවී ඇඟ බේරා ගැනීමට ගලීලයේ පාලකයාව සිටි හෙරෝද් ඇන්ටිපස් වෙත ජේසුස් වහන්සේව යැවීම. (ලූක් 23 : 6 - 12)
  3. ජේසුස් වහන්සේට කසයෙන් තළවා ජුදෙව් ප්‍රධානීන්ගේ හා ජනතාවගේ අනුකම්පාව ලබා දීමට උත්සහ කිරීම.
  4. රාජ්‍ය විප්ලවයේ දී අත් අඩංගුවට ගෙන සිටි අපරාධකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත් බරබ්බස් සමග සංසන්දනය කොට ජේසුස් වහන්සේ කෙරෙහි මහජන ප්‍රසාදය ලබා දී නිදහස් කිරීමට උත්සහ කිරීම. 
යනාදිය ඉන් කිහිපයකි. පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කළ ජනතාවග්‍ෙ හිතුමනාපයට බව ලූක් 23 : 25 හි දැක්වේ. කෙසේ වුව ද ඔහු තම දෙඅත් ජලයෙන් සෝදා ගත්තේ තමන්ගේ නිදොස් බව ප්‍රකාශ කිරීමේ සළකුණක් වශයෙනි. (මතෙව් 27 : 24)
 
පිලාත් මුහුණ පෑ දුෂ්කරතා
ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම තුළ පිලාත් ඉතා අසීරු හා අසරණ තත්ත්වයකට පත් වූ බව පෙනේ. එනම්,
  • වරදකරුවෙකු නොවන නිර්දෝෂී පුද්ගලයෙකු ට මරණ දණ්ඩනය නියම කිරීම රෝම නීතියට හා අධිරාජ්‍යයාට අපහාස කිරීමකි.
  • නිර්දෝෂී බව දැන දැනම ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීම තම හෘදය සාක්ෂියට විරුද්ධ වූවකි.
  • වැරදි තීන්දුවක් දී නිර්දෝෂ මිනිසෙකු මරණයට පත් කිරීම නිසා පිලාත් අධිරාජ්‍යය තුළ අපකීර්තියට පත් වීමට පුළුවන. 
  • නායක පූජකවරුන් සමග ගැටුම් ඇති කර ගැනීම හා ඔවුන්ව අමනාප කර ගැනීම ජුදයාවේ පරිපාලන කටයුතු වලට ඉමහත් බාධාවකි. බොහෝ විට මෙම කරුණ මත තම ආණ්ඩුකාර පදවිය පවා අහිමි වීමට ඉඩ තිබේ.
  • නායක පූජකවරුන්ගේ ප්‍රබල ඉල්ලීම නොසලකා හැරීම තම තනතුර අහිමි වීමට ද හේතු විය හැකිය. මන්ද, මුළු පලස්තීනයේ අවසන් රජු වූ මහ හෙරෝද් රජුගේ මරණින් පසුව ජුදයාවේ පළමු යුවරජු හා තම පියා මෙන් කෘෘර පාලකයෙකු වූ මහ හෙරෝද්ගේ වැඩිමහල් පුත් හෙරෝද් අර්කෙලාවුස්ට රජකම අහිමි වූයේ, ඔහුට එරෙහිව වූ නායක පූජකවරුන් රෝම අධිරාජ්‍යයාට ගතු කේලාම් කීම නිසා ය.  “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජ්‍යයාගේ මිතුරෙක් නොවේ. යමෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජ්‍යයාගේ හතුරෙකි" [ජොහාන් 19 : 12] මෙහිදී නායක පූජකවරුන් පිලාත් ට අනතුරු හැඟවීමක් ද කළෝ ය.
  • පාස්කු මංගල්‍යයට සහභාගි වීමට විවිධ පෙදෙස් වලින් ජෙරුසලමට මහා ජනකායක් එක්රොක් වන බැවින්, සෙලට්වරුන්ට ජේසුස් වහන්සේව නිදහස් කර ගැනීමේ මුවාවෙන් රෝමවරුන්ට එරෙහිව විප්ලවයක් මෙහෙයවීමට ද මෙය අවස්ථාවක් විය හැකිය. එවිට එම අපකීර්තිය පිලාත් හට හිමිවෙනු පමණක් නොව, රෝම අධිරාජ්‍යයාට නිදහසට කරුණු කීමට සිදුවන වරදක් ද වේ.
  • [පිලාත්ගේ බිරිඳ ක්ලෝඩියා]
  • ඒ සියල්ලට ම වඩා පිලාත්ගේ බිරිඳ [වන ක්ලෝඩියා ප්‍රොකියුලා - Claudia Procula] [3] ඔහු විනිශ්චයාසනයේ දී සිටිය දී, ජේසුස් වහන්සේව නිදහස් කර හරින ලෙසින් කළ ඉල්ලීමට පිටු පෑම ද කළ නොහැක්කකි.  “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි" [මතෙව් 27 : 19] යනුවෙන් ඇය කීවා ය. මෙම සිහිනය කුමක් දැ යි සුභාරංචියෙහි නොදැක්වුන ද, පිලාත් රෝම අධිරාජ්‍ය තිබේරියස් සීසර්ට යැවූ හසුනේ එය විස්තර කර ඇත. “මම ගෝල්වරුන් අතරින් බිරිඳක සරණපාවා ගෙන සිටිමි. ඇය මා දෙපා මුල හඬා වැළපෙමින්, ‘ප්‍රවේසම් වන්න! ප්‍රවේසම් වන්න! එම ශුද්ධවත් තැනැත්තාට අත නොතබන්න. ඊයේ රාත්‍රියේ මම දර්ශනයක් දුටුවෙමි. එතුමා දිය මත ඇවිදිමින්, පවනේ තටු මතින් පියඹා යමින් සිටියේ ය. එතුමන් විල මත වූ චණ්ඩ මාරුතයට හා මත්ස්‍යයන්ට කතා කළේ ය. එවිට ඒ සියල්ලෝ එතුමන්ට අවනත වුණෝ ය. බලන්න, කීද්‍රොන් කන්දෙන්  රැධිරය සමග දිය දහරක් ගළා යයි. සීසර්ගේ පිළිරූ තබා තිබූ ශාලාවේ කුළුණු පහවී ගියෝ ය. සොහොන් ගැබක් තුළ සිටින කන්‍යාවක සේ හිරු ශෝකයෙන් වැසී ගියේ ය." [The Passion and the Glory, By Ysatis De Saint Simon, p. 313]  යනුවෙන් ඇය පිලාත්ට ප්‍රකාශ කර සිටියා ය. 

පිලාත්ගේ අවසානය

[පිලාත්ගේ මෘත ශරීරය ගිල්වන ලදැයි සැලකෙන ස්විස්ටර්ලන්තයේ පිලාතුස් කඳු ගැටය අසල පිහිටි පිලාතුස් විල]
එව්සේබියස් [Eusebius] නමැති ඉතිහාසකරුවාගේ අසම්මත වාර්තා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේව මරණයට විනිශ්චය කිරීමෙන් පසුව ගයියුස් කලිගුලා [Gaius Caligula, A.D. 37-41]නමැති රෝමයේ තුන්වන අධිරාජ්‍යයා [4] පිලාත්ව රෝමයට ගෙන්වා රෝමානු යටත් විජිත ජනපදයක් වූ වියාන් [Vienne] වලට පිටුවහල් කරන ලදුව එහිදී සිය දිවි නසා ගෙන ඇත. දස වන සියවසේ සිටි හීරාපොලිස් හි අගපියස් [Agapius of Hierapolis] නමැති ඉතිහාසකරුවාගේ වාර්තා වලට අනුව පිලාත් සිය දිවි නසාගෙන ඇත්තේ කලිගුලාගේ පාලන කාලයේ පළමු වසර (ක්‍රි.ව. 37 හෝ 38) තුළ දී බව ය. [5] එහෙත් පොදු පිළිගැනීම වන්නේ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පිලාත්ව රෝමයට ගෙන්වාගෙන ඔහුව දම්වැල් ලා සිරගත කොට දැඩි දඬුවම් නියම කළේ ඔහුව රෝමන් ආණ්ඩුකාර තනතුරට පත් කළ තිබේරියස් සීසර් බව ය.

වතිකාන පුසතකාලයේ තැන්පත් කර ඇති ඉපැරණි අත් පිටපතක සඳහන් වන ආකාරයට, තිබේරියස් සීසර් රෝමන් අධිරාජ්‍යයාට සුව නොවන දැඩි පීඩා කාරී රෝගයක් වැළඳ තිබී ඇත. තම යටත් විජිතයක් වූ ජුදයාවේ ජේසුස් නමින් වචනයෙන් ස්පර්ශයෙන් සුවය ලබා දෙන අරුම පුදුම වෛද්‍යවරයෙකු සිටින බව ඔහුට දැන ගැනීමට ලැබුණි. (එවකට ඇතැම් අය ජේසුස් වහන්සේ දුටුවේ දිව්‍යමය වෛද්‍යවරයෙකු ලෙසිනි.) පිලාත් ඔවුන් වහන්සේව මරණයට පත් කිරීමට ක්‍රියා කළ බව නොදත් තිබේරියස්, ඔහුගේ සමීප උපස්ථායකයෙකු වූ වොලුසියානුස් [Volusianus] ව පිලාත් වෙත පිටත් කර යවමින්, ‘‘යන්න, මාගේ මිත්‍ර සේවක පිලාත් වෙත ගොස් මා හට සම්පූර්ණ සුවය ලබාගැනීමට එම වෛද්‍යවරයාව වහාම මා වෙත එවන මෙන් නියම කරන්නැ"යි කීවේ ය.  වොලිසියානුස් ද පිලාත් හමුවී ‘‘ඔබගේ ස්වාමියාණන් වන තිබේරියස් සීසර් ඔහුගේ රෝගය සුව කර ගැනීම සඳහා වචනයෙන් හා ස්පර්ශයෙන් රෝග සුවකරන එම වෛද්‍යවරයාව වහාම එවන මෙන් ඔබට නියම කර සිටියි", යි දැන්වීය. මේ බව ඇසූ පිලාත් මහත් සේ බිය වී කම්පනයට පත් වූයේ, තමන් ඔවුන් වහන්සේව මේ වන විට මරා දමන්නට යෙදී සිටි නිසා ය. ‘‘මේ මනුෂ්‍යයා අපරාධකාරයෙකි; තමන් වෙතට මිනිසුන්ව ආකර්ශනය කර ගත් අයෙකි. එබැවින් මෙහි සිටින පඬිවරුන්ගේ මන්ත්‍රණ සභාව උපදෙස් මත මම ඔහුව කුරුසපත් කළෙමි," යි පිලාත් රාජ නියෝජිතයාට ප්‍රකාශ කළේ ය. වොලිසියානුස් පරාජිත සිතින් ආපසු රෝමය බලා යාමට තම නාවාතැන් පළෙහි රැඳී සිටින කල, කල්වාරි ගමනේ දී ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ රෙදි කඩකින් පිස දැමූ වෙරෝනිකාව අහඹු ලෙස හමු විය.[6] ‘‘ස්ත්‍රිය, තම වචනයෙන් බොහෝ රෝග සුව කරන වෛද්‍යවරයෙකු මෙහි සිට ඇත; ජුදෙව්වන් ඔහුව මරා දමන්නට හේතුව කුමක්ද?"යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ‘‘අනේ මා ස්වාමිනී, එතුමා මාගේ දෙවියන් ය; මාගේ ස්වාමියාණන් ය. පිලාත් ඊර්ෂ්‍යාවෙන් පාවා දුන් එතුමන්ව ප්‍රතික්ෂේප කොට, කුරුසපත් කිරීමට නියම කළේ ය,"යි ඇය පිළිවදන් දුන්නා ය. මෙය ඇසූ වොලිසියානුස් මහත් ශෝකයෙන් ඇළලී, ‘මාගේ ස්වාමියා මට බාර දුන් දේ සපුරා ගැනීමට නොහැකි වීම මම බොහෝ සේ කණගාටු වෙමි,"යි කීවේ ය. එකල වෙරෝනිකා තමා සතුව තිබූ ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ සනිටුහන් වී තිබූ රෙදි කඩ වොලිසියානුස්ට පෙන්වමින්, ‘‘ඔබගේ ස්වාමියා භක්ත්‍යාදරයෙන් මෙම රූ සටහන දෙස බලන්නේ නම්, වහාම ඔහුට සුවය අත්වනු ඇතැ"යි කීවා ය. එවිට ඔහු එම රෙදිකඩ රන් හෝ රිදී හෝ මිළට ලබා දෙන මෙන් ඉල්ලීය. එහෙත් ඊට අකමැති වූ වෙරෝනිකා, වොලිසියානුස් සමග රෝමයට ගොස් අධිරාජ්‍යයාට සුවය ලබා දී ආපසු ඒමට එකඟ වූවා ය. වොලිසියානුස් සමග රෝමයට ගොස් තිබේරියස් සීසර්ව හමු වූ වෙරෝනිකා ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණේ රූපය රැගත් රෙදි කඩ පෙන්වූවා ය. එකල අධිරාජ්‍යයා එම රෙදි කඩ සිල්ක් සළුවක් මත එළා තමන් වෙත එය ප්‍රදර්ශනය කිරීමට නියම කළේ ය. එය දෙස බැලීමෙන් තිබේරියස් නැවත සුවපත් වූයේ ය. පසුව වෙරෝනිකා ජේසුස් වහන්සේව කුරුසපත් කිරීමේ දුක්මුසු පුවත ඔහු ඉදිරියෙහි ප්‍රකාශ කළෙන්, පිලාත්ව වහාම රෝමයට ගෙන්වා මහත් ද්වේෂයකින් ඔහුට චෝදනා කළේ ය. පිලාත් එහිදී මූට්ටුවක් නැතිව වියා තිබූ දාදු දැමූ ජේසුස් වහන්සේගේ සළුව [ජොහාන් 19:23, 24] අධිරාජ්‍යයාට පෙන්වීය. දැඩි කෝපයට පත් අධිරාජ්‍යයා තම උපදේශක සෙනට් සභාව සමග සාකච්ඡා කර නිසි පියවරක් ගන්නා තුරු පිලාත්ව සිරගත කිරීමට නියම කළේ ය. ස්වල්ප දිනකට පසුව පැවැත්වූ නඩු විභාගයේ දී පිලාත් වරදකරු බව ප්‍රකාශ වූයෙන් ඉතා කෘෘර මරණයකට ඔහුව නියම විය. මේ බව දැනගත් පිලාත් (රෝමවරුන් දෙන කෘෘර වධ හිංසා වල තරම හොඳින් දැන සිටි බැවින්) තමන් සඟවා ගෙන සිටි සිරියෙන් (කුඩා කඩුව) ඇණගෙන සිය දිවි නසා ගත්තේ ය. ඔහුගේ මරණය ගැන ඇසූ තිබේරියස්, ‘‘සැබවින්ම ඔහු නින්දිත මරණයක් ලැබුවේ ය; ඔහුගේම දෙඅත් ඔහුව නොවලකා තිබේ," යි කීවේ ය. ඉන්පසුව ඔහුගේ මෘත ශරීරය රැගෙන මහ කළු ගලක ඔතා ටයිබර් [Tiber] නදියට දැමූ නමුත්, එහි ඇතිවූ තදබල ජල කැළඹීම නිසාවෙන් සිරුර නැවත ගොඩගෙන රොන් [Rhone] ගඟේ ගිල්වා දමා ඇත. එහිදී ඔහුගේ ශාප ලත් අවිවේකී භූතාත්මය ජලය දැඩි ලෙස කැළඹූ හෙයින් එතැනින් ද ගොඩගෙන ලොසානියා නමැති ප්‍රාන්තයේ මිහිදන් කිරීමට ගෙන යත් දී මහත් පීඩා ඇති වූයෙන් ඔවුන් බිය වී එම සිරුර ස්විස්ටර්ලන්තයේ ජන ශුන්‍ය පිලාතුස් කඳුගැටය අසල පිහිටි ඔබරැල්ප් නමැති කුඩා විලක පතුලේ දමා ඇත. එතැන් පටන් එම විල පිලාතුස් විල යන නමින් හඳුන්වයි. 

පිලාත්ගේ අවිවේකී ආත්මය පිළිබඳ මතය
මෙම විල මත බොහෝ විට චණ්ඩ මාරුත ඇති වන බව කියවේ. එනිසා එහි අවට පෙදෙස් වල ජීවත් වන මිනිසුන් අතර ජනප්‍රවාදයක් පැතිරී පවතී. එනම්, සෑම වසරකම මහ සිකුරාදා දින පිලාත්ගේ අවිවේකී ආත්මය නැගිට විල මැද හිඳ පැසුණු කෙස් විදහා ගෙන (විනිශ්චයාසනයේ සිටිය දී රෝමන් ආණ්ඩුකාරයෙකු අඳින) දම් පැහැති උතුරු සළුව හැඳ තම දෑත් සෝදන බව ය. ක්‍රිස්තු වර්ෂ 1585 දී එක් පූජාප්‍රසාදීවරයෙක් තවත් පිරිසක් සමග මෙම පිලාතුස් කඳුවැටියේ පිහිටි කුඩා විල වෙත ගොස් එයට ගල් විසි කරමින් එයට බැස එහි ජලය කළඹමින් පිලාත්ගේ අවිවේකී ආත්මය කැඳවීමට උත්සහ කළේ ය. එහෙත් එහිදී කිසිඳු ඵලයක් සිදු නොවීය. භූතාත්මයක් දක්නට නොවීය. පසුව ක්‍රිස්තු වර්ෂ 1594 දී තවත් පිරිසක් එම විලේ ජලය බැස යාමට කපොල්ලක් කැපූහ. එහෙත් ඉන් කිසිඳු බලපෑමක් නොවූ බැවින් ක්‍රිස්තු වර්ෂ 1980 දී එම කපොල්ල වසා දැමීමට යෙදුණි. විදේශික සංචාරකයන් තවමත් මෙම ස්ථානය නැරඹීමට යන නමුත් එම පෙදෙස ජන ශුන්‍යව පවතී. 

පිලාත් පිළිබඳ පොදු මතය වන්නේ ඔහු ආත්මාර්ථකාමී, ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති, දුර්වල හෘදය සාක්ෂියක් හිමි අයෙකු බව ය. රෝම පාලකයා වශයෙන් ජේසුස් වහන්සේව නිදොස් කොට නිදහස් කිරීමේ සම්පූර්ණ හැකියාව හා බලය ඔහු සතුව තිබිය දීත් ඔහු දුබලයෙකු ලෙසින් ක්‍රියා කළේ ය. ඔහු දුන් වැරදි තීන්දුව නිසා ඔහු මහත් සේ කම්පනයෙන් හා සිත් තැවුලෙන් ඉදිරි කාලය සිටින්නට ඇත. කෙසේ වුව ද කිතුනුවන් වැඩි දෙනා පිලාත්ව දුෂ්ඨයෙකු ලෙසින් දුටුවත් ඇතැම් කිතුනු සභා ඔහුව සාන්තුවර ස්වභාවයෙන් සලකා ඇත. ඊට හේතු වන්නේ ඔහු ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීමෙන් ලොවට ගැළවීම ලබා ගැනීමට සහය වූ නිසා යැයි සිතති. ඉතියෝපීය ඔර්තොඩොක්ස් තෙවහෙඩෝ සභාව [Ethiopian Orthodox Tewahendo Church] ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී පිලාත්ව සාන්තුවරයෙකු ලෙසින් සලකා ඇත. එසේම අසම්මත ක්‍රියා පොතක් ලෙසින් සලකන පිලාත්ගේ ක්‍රියා පොතේ [Acts of Pilate] සඳහන් ඔහු පිළිබඳ ඇතැම් වාර්තා ද ඊට පාදක වී ඇත.

---------------------------- වැඩිදුර සටහන් -------------------------
[1]  "Britannica Online: Pontius Pilate". Britannica.com. Retrieved 21 March 2012. Jona Lendering. "Judaea". Livius.org. Retrieved 21 March 2012.
[2] Marcello De Antoniis. "Cenni Storici" (in (Italian)). Bisenti.eu. Retrieved 21 March 2012.
[3] ඔර්තොඩොක්ස් කතෝලික සභාව ක්ලෝඩියාව සාන්තුවරියක් ලෙසින් සලකන්නී ය. ඇය ජේසුස් වහන්සේව අදහා ගෙන මරණිය මුදන්නට පිලාත් ඉදිරියෙහි ප්‍රබල ලෙස මැදහත්වීම ඊට හේතුව ය.
 [4]"Caligula" (Latin: Gaius Julius Caesar Augustus Germanicus;) was the popular nickname of Gaius (31 August 12 AD – 22 January 41 AD), Roman emperor from 37 AD to 41 AD. Caligula was a member of the house of rulers conventionally known as the Julio-Claudian dynasty. Caligula's father Germanicus, the nephew and adopted son of Emperor Tiberius, was a very successful general and one of Rome's most beloved public figures. The young Gaius earned the nickname Caligula (meaning "little soldier's boot", the diminutive form of caliga, hob-nailed military boot) from his father's soldiers while accompanying him during his campaigns in Germania.
[5] Agapius, Universal History trans. A. Vasiliev, 1909.   
[6] මතෙව් 9:20-22 හා ලූක් 8:43-48 හි සඳහන් වන, ජේසුස් වහන්සේ ශ්‍රී සළුව ඇදහිල්ලෙන් ස්පර්ශ කොට සුවය ලැබූ මහ ලේ රෝගී කාන්තාව මෙම වෙරෝනිකා බව එව්සේබියස්ගේ ශාසනික වාර්තා [Eusebius: Ecclesiastical History,1.7, c. 18] වල දැක්වේ. මේ බව අසම්මත සුභාරංචි ග්‍රන්ථයක් වූ නිකදේමුස්ගේ සුභාරංචි පොතේ ද [Nicodemus 5:26] සඳහන් වේ.

මිනිස් ශ්‍රමයේ වටිනාකම

හැඳින්වීම -

පසුගිය මැයි පළමු වෙනිදා අප කම්කරු (මැයි) දිනය සැමරු වෙමු. මැයි දිනයේ අපට දසතින් ඇසෙන්නේ ශ්‍රමිකයන් ජීවිත නගා සිටුවීමට ගෙනෙන යෝජනා හෝ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කරන කතා වෙනුවට දේශපාලකයන්ගේ පල් හෑලි හා කෙරුවාවල් දෙඩවීම ය. එහෙත් මැයි දිනය මුළු මහත් ලෝක ජනතාවගේ ශ්‍රමය හා සේවය ඇගයීමකට ලක් විය යුතු දිනයකි.  කිතුනුවන් වශයෙන් අප ශ්‍රමයේ වටිනාකම, එහි වැදගත්කම හා අප යෙදවිය යුතු ආකාර පිළිබඳව දේවධාර්මික විමසීමක් කිරීම මෙම ලිපියේ අරමුණ යි.

ශුද්ධ බයිබලීය දැක්ම

දෙවියන් වහන්සේ මිනිසා නිර්මාණය කිරීමෙන් පසුව ඔහුට වැඩ කිරීමේ ශක්තිය හා ප්‍රඥාව දෙමින් වගකීමක් පැවරූ සේක. එම වගකීම වනුයේ වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිර යමින් මැවිල්ල පිට සිය ආධිපත්‍යය පැතිර වීම ය. (උත්පත්ති 1 : 28 - 29)
“දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක...." (උත්පත්ති 2 : 8) “ ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු පදිංචි කරවූ සේක." (උත්පත්ති 2 : 15)
මෙයින් පෙනී යන්නේ මිනිසා අතීතයේ සිට ම අලස නොවී වැඩ කිරීම දේව අපේක්ෂාව හා සැලැස්ම වූ බව යි. එහෙත් සමහර අය සිතන්නේ දෙවියන් වහන්සේ මිනිසාව නිර්මාණය කළ අවධියේ කිසිඳු වැඩක් කිරීමට සිදු නොවූ බව හා වැඩ කිරීම මිනිසා කළ පාපයට ලැබුණු දේව දඬුවමක් බවය. එම අදහස වැරදි බව ඉහත ශුද්ධ බයිබල් පාඨයෙන් පෙනී යයි. ආදම් සහ ඒව කළ පාපයට ලැබුණු දඬුවම් අතර, වෙහෙස මහන්සි වී වැඩ කිරීම එකකි.
“දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය. නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය...." (උත්පත්ති 3 : 17b - 19a )
මෙයින් අදහස් වන්නේ වැඩ කිරීම හා ශ්‍රමය යෙදවීම දේව දඬුවමක් යන්න නොවේ. පාපයට පෙර වැඩ කිරීම ඉතා ප්‍රීතිදායක ක්‍රියාවක් විය. එය දේව මහිමය පිණිස කළ ඉතා සුන්දර දෙයක් විය. එය අන් අයගේ හා මැවිල්ලේ යහපත වෙනුවෙන් කළ උතුම් කාර්යයක් විය. මිනිසා වැඩ කළේ පරාර්ථකාමී අරමුණකින් සමස්ත මැවිල්ලට ආදරය පෙන්වීමේ ශුද්ධ වූ දෙයක් ලෙසිනි. එහෙත් පාපයත් සමගම ඒ සියල්ල වෙනස් විය. මිනිසා ආත්මාර්ථකාමී විය. වැඩ කිරීම නිශ්ඵල, කරදර, දුක්ඛිත දෙයක් ය හැඟීම ඇති විය. වැඩ කිරීමේ අරමුණ යහපත් නොවී ය. අලසකම ඉදිරියට ආවේ ය. වැඩ කිරීමේ දී සේවය නොව වාසිය, ලාභය, තන්හාව මුදුන්පත් විය. දේව මහිමය හා අන් අයගේ යහපත පිණිස වැඩ කිරීමේ උතුම් අරමුණ යටපත් විය. මේ හේතුවෙන් මිනිසාගේ ශ්‍රමයේ නියම වටිනාකම ගිලිහී ගියේ ය. මැවිල්ල තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු කර ගැනීමට යොදා ගත්තේ ය. මිනිසා තම මැවුම්කරුවාණන්ට අකීකරු වී ඔවුන් වහන්සේට එරෙහිව නැගී සිටීම නිසා සොබාදහම මිනිසාට එරෙහිව නැගී සිටියේ ය. එනිසා ඔහුට පොළොවෙන් (සොබා දහමෙන්) කටු පඳුරු, වල් පැලෑටි නමැති දුක හා වේදනාව උරුම විය. වැඩ කිරීම හා ශ්‍රමය යෙදවීම වේදනාකාරී, දුක්ඛිත අත්දැකීමක් බවට පත් විය. යහපත් පිවිතුරු පරාර්ථකාමී උතුම් හැඟීමකින් තොරව වැඩ කරන සෑම අවස්ථාවකම මිනිසාට ලැබෙන්නේ දුක, වේදනාව, පීඩනය හා වෙහෙස මහන්සිය පමණි.  මිනිසාට මේ දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්නට නම්, ඔහු තමා තුළ වැඩකිරීම පිළිබඳ යහපත් ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුය. පරාර්ථකාමී පිවිතුරු හැඟීමකින් වැඩ කළ යුතු ය. මේ පිළිබඳ පාවුළුතුමාගේ අදහස පහතින් සලකා බලමු.
“දාසයනි, ඔබ ක්‍රිස්තුස් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න. මිනිසුන් සතුටු කරන අදහසින් මූණිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න. මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිකින් සේවය කරන්න. දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න." (එපීස 6 : 5 - 8)
“දාසයෙනි, ඔබේ සමිඳාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්ඡාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න. ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේට ය...." (කොලොස්සි 3 : 22 - 24)
ඉහත ඉගැන්වීමට අනුව, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ශ්‍රමය යෙදවීම යනු ඉතා උතුම් ක්‍රියාවක් හා දෙවියන් වහන්සේට කරන සේවයක් වේ. එසේම අපගේ සේවය කිරීම, වැඩ කිරීම තුළ පැවතිය යුතු අවංකකම හා පරාර්ථකාමී හැඟීම හා ආකල්පය පෙන්වයි. වැටුපට සරිලන නියම සේවයක් කළ යුතු ය. ජීවිකාව ගෙන යාමට යහපත් රැකියාවක් කිරීමට සෑම කෙනෙකුට ම යුතුකමක් හා අයිතියක් ඇත. එය අලස නොවී යහපත් සතුටු සිතින් කළ යුතු දෙයකි. පහත දැක්වෙන පාවුළුතුමාගේ අවවාදය බලන්න.
“තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු. අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේදැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. අප මෙය කළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, ඔබට අනුගමනය කිරීමට සඳහා ආදර්ශයක් දෙන පිණිස ය. ‘වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත්වා'යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කළෙමු. ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත. එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයා ගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු." (2 තෙසලෝනික 3 : 6 - 12) 

පාලක ස්වාමි පක්ෂය ද තම සේවකයන් පිළිබඳ වඩාත් මානුෂික හැඟීමකින් හා පරාර්ථකාමී ආකල්ප ඇතිව ක්‍රියා කළ යුතු ය. මන්ද ඔවුන් ද තම ව්‍යාපාරය හෝ කාර්යාලය හෝ සේවය වෙනුවෙන් ශ්‍රමය යොදවන පිරිසක් බැවිනි.  

මිනිසාට ශ්‍රමය යෙදීමටත්, ඉන් යහපත් ඵල නෙලා ගැනීමටත් අයිතිවාසිකමක් ඇත. කිතුනු දැක්ම අනුව එම අයිතිය ඔහුට ලැබී ඇත්තේ මිනිසෙකුගෙන් නොව, දෙවියන් වහන්සේගෙනි. මෙයින් අපට පැහැදිළි වන කරුණු දෙකක් ඇත.
  • මිනිසාට දේව නියමය අනුව වැඩ කිරීමට අයිතියක් හා වගකීමක් ඇත. (උත්පත්ති 2 : 15)
  • මිනිසාට පරාර්ථකාමී යහපත් අරමුණු ඇතිව, විශ්වාසවන්ත ලෙස අවංකව සේවයේ යෙදීමට යුතුකමක් ඇත. 
මේ කරුණු දෙක බොහෝ විට සේවකයාත්, ස්වාමියාත් පිළිගන්නේ වැරදි ආකාරයෙනි. ශ්‍රමයේ වටිනාකම හා එය යොදවන මිනිසාගේ වටිනාකම අවබෝධ කරගැනීමට බොහෝ අයට නොහැකිය. සියලු දේ වල වටිනාකම මනින්නේ මුදල පෙරදැරි කරගෙන ය. අඩු වැටුප, දිගු කාලයක් සේවයේ යෙදීමට සිදු වීම, කළ යුතු වැඩ ප්‍රමාණය අධිකවීම හා එය දුෂ්කර වීම, සේවයේ අපහසුතා, සේවක සුභසාධනයක් නැතිකම, සේවක අතෘප්තිකරභාවය, ස්වාමි-සේවක දෙපක්ෂයේ අනවබෝධය, ශ්‍රමයේ හා සේවයේ වටිනාකම් පිළිබඳ වැරදි ආකල්ප සහ මානුෂික හැඟීමකින් තොරවීම යනාදිය හේතුවෙන් කම්කරු ප්‍රශ්න හා ගැටුම් ඇති වේ. බොහෝ විට ශ්‍රමිකයාගේ වැඩ කිරීමේ ශාරීරික හා මානසික ශක්ති ප්‍රමාණය ඉක්මවා යන තරම් අධික වැඩ කොටසක් තම සේවා කාලය තුළ හා ඉන් බාහිරව කරන්නට සිදුවීමෙනුත්, ඊට සරිලන සාධාරණ වේතනයක් නොගෙවීමත් හේතුවෙන් සේවක අතෘප්තිකරභාවය ලියලන්නට පටන් ගනියි. සේවයේ දී ඉටු කිරීමට තිබෙන වැඩ ප්‍රමාණය අධිකවීම, දැඩි නීතිරිති වලට යටත්වීමට සිදුවීම, සේවක අයිතීන් හා පහසුකම් කප්පාදු කිරීම, සේවක අදහස් නොසලකා හැරීම යනාදිය හේතුවෙන් අධික මානසික පීඩනය ඇතිවේ. මේ නිසා සේවයේ අවංකභාවය හා පරාර්ථකාමී හැඟීම නැතිවී ගොස් යහපත් අරමුණු වලින් තොර ක්‍රියා කිරීමට සේවකයා යොමු වේ. පාලකයා කෙරෙහි කෝපය ඇති වේ. මේ පිළිබඳව ශුද්ධ වූ පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
 “ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙසම සලකා, ඔවුන්ට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමින් වහන්සේ බව මතක තබාගන්න." [එපීස 6 : 9]
“ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න." [කොලොස්සි 4 : 1]
මෙම ඉගැන්වීම් අනුව පෙනී යන්නේ, පාලක ස්වාමිවරුන් සේවකයන්ට මනුෂ්‍යත්වයෙන් සාධාරණ ලෙස හා කිතුනු ලීලාවෙන් සැලකිය යුතු බව ය. සේවක ගරුත්වය රැකීම, සේවක අයිතීන් සුරක්ෂිත කිරීම, සේවකයාගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන සාධාරණ වැටුප් ගෙවීම, ඔහුගේ වයෝවෘද්ධභාවයේ දී හෝ අකර්මන්‍යයේ දී (වැඩ කිරීමට නොහැකියාවේ දී) ඔහුව රැක බලා ගැනීම, සේවක තෘප්තිමත්භාවය ඇති කිරීම, සුදුස්සාට නිසි තැන දීම, තරාතිරම හා කරන වැඩය නොසලකා මනුෂ්‍යත්වයෙන් සැලකීම වැනි ක්‍රියා මාර්ග වලින් ස්වාමියාට සේවකයාට හොඳින් සැලකිය හැකිය. එය දෙවියන් වහන්සේට කරන ගරුත්වයකි. දෙවිඳුන්ට ප්‍රසන්න ක්‍රියාවකි. දේව මහිමය සැළසීමකි.

ශ්‍රමය පිළිබඳ කතෝලික සභාවේ ඉගැන්වීම

මිනිස් ශ්‍රමය පිළිබඳ කතෝලික සභාවේ ඉගැන්වීම් බොහෝමයක් දක්නට ලැබෙන්නේ, පාප්තුමන්ලා ලියූ විශ්ව ලේඛන තුළ ය. මෙම විශ්ව ලේඛන අතුරින් 1891 මැයි මස 15 දින 13 වන ලියෝ නමැති පාප්තුමා නිකුත් කළ Rerum Novarum හෙවත් “වෙහෙසෙන මිනිස්සු" නමැති විශ්ව ලේඛනය හා 1981 සැප්තැම්බර් 14 දින දෙවන ජුවාම් පාවුළු පාප්තුමා නිකුත් කළ, Laborem Exercens හෙවත් “මිනිසාගේ ශ්‍රමය" නමැති විශ්ව ලේඛනයත් ඉතා වැදගත් වෙති.

“මිනිසාගේ ශ්‍රමය" නමැති විශ්ව ලේඛනයට අනුව, මිනිසාගේ එදිනෙදා ජීවිතය ගොඩ නැගෙන්නේ වැඩ කිරීම මගිනි. වැඩ කිරීම මගින් මිනිසා ජීවිතයේ සුවිශේෂ ස්ථානයක් අත්කර ගන්නා නමුදු, ජීවිතයේ දුක් වේදනා කරදර වෙහෙස මහන්සිය හා අසාධාරණකම් මිනිසා වටා ගොඩනැගී ඇත. වැඩ කරන ලෝකය තුළ මිනිසාට විවිධ ගැටුම් හා ප්‍රශ්න ඇති වන විට දී, කතෝලික සභාව තම කාර්යභාරය ලෙස සලකන්නේ වැඩ කරන ජනතාවගේ උතුම්කමත්, වෘත්තීය කෙරෙහි අවධානය යොමු කරවීමත්, වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා හෙළා දැකීමත්, වෘත්තීය ගරුත්වය සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මග පෙන්වීමත්, එමගින් පුද්ගලයාගේ පෞද්ගලික හා සමාජයීය දියුණුව හා යහපත ඇති කිරීමත් ය.

වැඩ කිරීම සම්බන්ධව කතෝලික සභාවේ වැඩි අවධානයක් යොමු වන්නේ මිනිසාව දේව ස්වරූපය ඇතිව නිර්මාණය කිරීම වෙත ය. වැඩ කිරීම මගින් මිනිසා මුළු විශ්වය මත සිය ආධිපත්‍යය තහවුරු කර ගනියි. වැඩ කිරීම මගින් මිනිසා කෙළින්ම මැවුම්කරුවාණන්ගේ ක්‍රියාවලියට සහභාගි වේ. ශුද්ධ බයිබලයේ එන “පොළොව යටත් කරගන්න" යන වචන මගින් අවබෝධ වන්නේ, මිනිසා තම බුද්ධියෙන් අත්පත් කරගත් තාක්ෂණය සමග වූ සබැඳියාව තුළින් ස්වභාව ධර්මය යටපත් කරගැනීම ය. විද්‍යාව හා තාක්ෂණය මිනිසා දෙවිඳුන්ගෙන් ලත් බුද්ධි මහිමයේ ප්‍රතිඵලයකි. එය මිනිසා ලැබූ ජයග්‍රහණයකි. එහෙත් එය ඇතැම් විට මිනිසාගේ සතුරෙකු වීමට ද පුළුවන. මිනිසාගේ වැඩ කිරීම හා ක්‍රියාකාරීත්වය යන්ත්‍රානුසාරයෙන් කිරීමට යාමේ දී වැඩ කිරීම හා සේවය මගින් ලබන තෘප්තිය, නිර්මාණශීලීත්වය හා වගකීම ගිළිහී යාමට ඉඩ ඇත. එසේම මිනිසා යන්ත්‍ර සූත්‍ර වලට ගැළී ඒවායේ වහලෙකු බවට පත් වීමට ද පුළුවන. විද්‍යාව, තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර කොපමණ මිනිසාට සහය වුවත්, වැඩ කිරීම යන මාතෘකාව ගැන කතා කිරීමේ දී ප්‍රධාන වන්නේ මිනිසා ය. වැඩකිරීම මිනිසා පිරිපුන් බවට පත් වීමට ලැබූ කැඳවීමකි. වැඩකිරීම මගින් මිනිසා තමන් ජීවත් වන දෘෂ්‍යමාන ලෝකය තමන් යටතට ගනියි. වැඩකිරීම වෙහෙස මහන්සිය ගෙන දෙන්නක් වුවත්, එය මිනිසාට යහපත් දෙයකි. වැඩකිරීම මගින් මිනිසා ස්වභාව ධර්මයේ දේවල් වෙනස්කර තමන්ට අවශ්‍ය ලෙස ඒවා සකස් කර ගනියි. එමගින් පූර්ණත්වය අත් කරගෙන අන් අයට ද යහපතක් සලසයි.

වැඩ කරන මිනිසාගේ පවුල් සංස්ථාව ඉතා වැදගත් වූවකි. පවුල යනු, වැඩකිරීම තුළින් සාමූහිකව ගොඩනැගුණ සමාජයකි. මිනිසා වැඩකිරීමේ ප්‍රථම අභ්‍යාසය ලබා ගන්නේ පවුල තුළින් ය. එසේම පවුල පෝෂණය වන්නේ ද වැඩකිරීම මගිනි. වැඩකිරීම මගින් මිනිසා මුළු මහත් සමාජය සමගම දැඩි සබඳතාවයක් ඇති කර ගනියි.

නිෂ්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රමය ප්‍රධාන ක්‍රියාකාරී සාධකයකි. මිනිසා දේව සමානත්වය හා දේව ස්වරූපය දරන උතුම් කෙනෙකු නිසා සාරධර්ම පිළිබඳව සලකා බැලීමේ දී ද මිනිස් ශ්‍රමය ඉතා වැදගත් ය. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ මිනිසා විශාල යන්ත්‍රයක පුංචි දැත්තක් ලෙස සමාන කර ඇත. වැඩවසම් සමාජ ක්‍රමය තුළ මිනිසා පන්ති වලට බෙදනු ලැබුවේ ඔවුන් කළ වැඩ වල ස්වභාවය අනුව ය. කය වෙහෙසා වැඩ කිරීම නිදහස් මිනිසුන්ට යුතු හා සුදුසු දෙයක් නොවූ අතර, වැඩ කිරීම වහලුන්ට අදාළ දෙයක් ලෙස සැලකීය. නමුත් ක්‍රිස්තියානි ධර්මයට අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද රාජකීය පරපුරකට අයත් වුවත් දිළිඳු පැළක ඉපිද, වඩු මඩුවක වැඩ කිරීමේ ආදර්ශය තුළින් සමාජය තුළ මූලික වෙනසක් ඇති කළ සේක. මිනිස් ශ්‍රමයට නව වටිනාකමක් දුන් සේක. මිනිසාගේ වැඩ කිරීමේ අගය මනින මිනුම් දණ්ඩ කරන වැඩෙහි ස්වභාවය නොව, එම වැඩය කරන්නේ මනුෂ්‍යයෙකි යන සත්‍යතාවය ය. එනම්, කරන වැඩය කුමක් වුවත් එය කරන්නේ මිනිසෙකු ය යනු හැඟීම ය. නිෂ්පාදන ක්‍රියාවලියේ දී මිනිසාව ද්‍රව්‍යමය සාධකයක් ලෙස සැලකුවහොත් මිනිසා යන්ත්‍රයක තත්ත්වයට පත් වන අතර, ඔහුගේ උතුම්භාවයට හානියක් වන අතර, ඔහුගේ ශ්‍රමාභිමානය ඉන් නැතිවී යයි. කරන වැඩෙහි හා ශ්‍රමයේ වටිනාකම රඳා ඇති මූලික පදනම මිනිසාම ය. එබැවින් අප අවබෝධ කරගත යුතු සත්‍යතාවය වන්නේ, වැඩ කිරීම මිනිසා උදෙසා මිස, මිනිසා වැඩ කිරීම සඳහා නොවන බව ය. මිනිස් ශ්‍රමය යන්ත්‍රයක්වත්, කම්කරුවා කර්මාන්ත හිමියාට විකුණන භාණ්ඩයක්වත් නොවන බව තරයේ ම සිහි තබා ගත යුත්තකි. [නමුත් වැඩවසම් හා ධනවාදී සමාජ ක්‍රමය තුළ ධනවතුන් සිතුවේ ඒ ආකාරයට ය.] ප්‍රාග්ධනයට වඩා මිනිස් ශ්‍රමය වැදගත්ය. නමුත් ප්‍රාග්ධනය මිනිස් ශ්‍රමයෙන් වෙන් කළ නොහැක. මාක්ස්වාදය තුළ ප්‍රාග්ධනය මිනිස් ශ්‍රමයෙන් වෙන් කොට ශ්‍රමයට ද්‍රව්‍යමය වටිනාකමක් දෙන බැවින් මිනිස් ශ්‍රමයට නියම වටිනාකම පැහැදිළි ව හා නිවැරදිව මාක්ස්වාදී ද්‍රව්‍යමය න්‍යාය තුළින් නොලැබෙන්නේ ය යන පදනම මත දෙවන ජුවාම් පාවුළු පාප්තුමා රැදී සිටියි. 

ස්වභාවික ලෝකය තුළ සියලු දේ දෙවියන් වහන්සේ මවා ඇත්තේ මිනිසාට ය. එහෙත් ඒවා අනිසි ලෙස හිමි කර ගෙන භුක්ති විඳීමට නොව, සාධාරණව යහපත් ලෙස සාමූහිකව ප්‍රයෝජනයට ගැනීමට ය. එහෙත් ක්‍රමයෙන් තන්හාවෙන් පිරී ගිය මිනිසා ද්‍රව්‍ය පසුපස ඇදී යාමේ ප්‍රතිඵලය කාර්මිකකරණයට මග පෑදීම ය. කාර්මිකකරණයේ උපත හා ව්‍යාප්තිය ආර්ථික සමාජයීය ක්‍ෂේත්‍රය තුළ දැකිය හැක්කේ පාරිභෝජන ද්‍රව්‍ය වල වර්ධනය තුළිනි. අවසානයේ ද්‍රව්‍ය වලින් සේවය හා සහය ලැබිය යුතු මිනිසාව ද්‍රව්‍ය විසින් ම ඉවත දමන ලදුව පාරිභෝජන භාණ්ඩයක තත්ත්වයට පත්ව ඇත. මෙම තත්ත්වයෙන් මිදෙන්නට නම් මිනිස් ශ්‍රමයට නියමිත ආර්ථික සමාජයීය හා ආධ්‍යාත්මික වටිනාකම මිනිසා විසින්ම ලබා දිය යුතු ය. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සමාජ සාධාරණත්වයේ පදනම ඇති විය යුතු ය. මේ සඳහා කුමන ආර්ථික ක්‍රමයක් තුළ වුව ද කම්කරුවන්ට සාධාරණ වැටුපක් දීමත්, ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ට නියම මනානුෂික පිළිගැනීමක් දීමත් අවශ්‍ය ය. 

ස්ත්‍රීන් රැකියාවල නියුක්ත කිරීමේ දී ඔවුන්ගේ ස්වභාවය හා ප්‍රමාණය අනුව, වනිතා ගරුත්වය හා සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා වන අන්දමේ රැකියාවන් හා පරිසරයන් ඔවුනට ලබා දිය යුතු ය. වනිතාවන්ට පුරුෂයන් හා සමතැන් දීම යන සංකල්පයට වඩා වැදගත් වන්නේ ඔවුන්ට නිසි සුදුසු තැන දීම යන පදනම ය. පවුලකට අවශ්‍ය දෑ එම පවුලට ලැබිය යුත්තේ ගෘහමූලිකයා වන පුරුෂයාගේ වැටුප තුළින් මිස ඔහුගේ භාර්යාවගේ වැඩ කිරීම තුළින් හෝ සහනාධාර දීම තුළින් නොවේ. වනිතාවක් යනු මානව සමාජයේ ජීවය ලබා දෙන උතුම් මාතෘත්වයට හිමිකම් කියන උදාර තැනැත්තිය බැවින් ඇයගේ නිදහසට හා මානසික තත්ත්වයට සමාජය ගරු කළ යුතු ව ඇත. රැකියාවන් හි නිරත වෙමින් ශ්‍රම දායකත්වය දෙන වනිතාවගේ පවුල් සංස්ථාව තුළ පැවරී ඇති යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අවකාශ තිබිය යුතු ය. ස්වාමි-පුරුෂයා හා දූ දරුවන් වෙත ඇයගේ අවධානය හා සැලකිල්ල නියම පරිදි යොමු කිරීමට හැකියාව සැලසිය යුතු ය. [එහෙත් නූතන සමාජ පරිසරය තුළ වනිතාවට නොගැළපෙන ගරුත්වයට හානි වන අන්දමේ රැකියාවල නිරත කරවීම, අඩු වැටුප, දීර්ඝ සේවා කාලය, හාම්පුතුන්ගේ අඩන්තේට්ටම් වලට පාත්‍රවීම හා වෙළඳ භාණ්ඩයක තත්ත්වයට ඇද දැමීම දැකිය හැකිය.]

ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යය පහසුකම් සැළසීම, ඔවුන්ගේ විවේකය හා නියමිත නිවාඩු ලබා දීම, වයෝවෘද්ධ වන ශ්‍රමිකයන්ගේ සමාජ සුරක්ෂිතතාවය සැළසීම හා හදිසි අනතුරු සම්බන්ධ ක්‍රියා පටිපාටිය යනාදිය පිළිබඳව ද දෙවන ජුවාම් පාවුළු පාප්තුමා සමාජයේ අවධානය යොමු කරවයි. එසේම කම්කරුවන්ට වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට අයිතිය ද තහවුරු කළ යුතු ය. වෘත්තීය සමිතියක් යනු, සමාජ සාධාරණත්වය සඳහා කරන අරගලයේ දී ද වැඩකරන ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් සරැකීමට තිබෙන මානව හඬ ශබ්දය ලෙස කතෝලික සභාව පිළිගනියි. වැඩවර්ජනය යන්න තම වෘත්තීය අයිතිවාසිකම් හා සාධාරණ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට තිබෙන අවසාන මාර්ගය ලෙස භාවිත කරන්නකි. එහෙත් එවැනි ක්‍රියා මාර්ග සාමාන්‍ය ආයුධ ලෙස භාවිත කළ නොහැක්කේ ඒවා මගින් ආර්ථික හා සමාජයීය ජීවිතය අඩපණ විය හැකි නිසා ය. එබැවින් වැඩවර්ජන සාධාරණ හේතූන් මත විය යුතු ඒවා වන අතර, කිසි විටෙකත් පුද්ගලයන්ට හා ඔවුන්ගේ එරෙහිව කරන දෙයක් නොවිය යුතු ය.

නොයෙක් සමාජ, ආර්ථික හා පෞද්ගලික හේතූන් මත රැකියා සොයා ශ්‍රමිකයන් නගරයට හා විදේශ රටවලට සංක්‍රමණය වෙති. මොවුන් හා මොවුන්ගේ සමාජ ආර්ථික ජීවන තත්ත්වය කෙරෙහි ද අවධානය යොමු කරන දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ඔවුන්ට සමාජ සුරක්ෂිතතාවය සැළසිය යුතු බව හා ඔවුන්ගේ මානව අයිතීන් සුරැකිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රම සංක්‍රමණය කිසි අයුරකින් ආර්ථික හා සමාජයීය සූරාකෑමට හේතුවක් කර නොගත යුතු බව පසක් කරයි.

වැඩ කිරීම යනු මැවුම්කරුවාණන්ගේ ක්‍රියාකාරීත්වයට සහභාගිවීමකි. මිනිසා දේව සමානත්වයට මවන ලදුව තමන්ට බාර වූ වගකීම් හා සීමාවන් අනුව ලොව නවතාවයකට පත් කරමින් පූර්ණත්වය කරා ගමන් කරයි. එමගින් මිනිසා වැඩ කිරීමෙහි වටිනාකම අවබෝධ කර ගන්නා අතර, ස්වභාවික සම්පත් හා මුළු දේව මැවිල්ල අත්පත් කරගෙන තම ජීවිත අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ඒවා යොදා ගනියි. ජේසුස් වහන්සේ ලොවට දෙසූ ගැළවීමදායක සුභාරංචිය සැමවිටම මිනිසාව මෙහෙයවන්නේ වැඩ කිරීම තුළින් නව ලොවක් ගොඩනැංවීමට ය. මන්ද ක්‍රිස්තුස් වහන්සේ සිය අවුරුදු 33 තුළ තම ජීවිතය හා ක්‍රියාවන් මගින් ප්‍රකාශ කළේ වැඩ කිරීමේ සුභාරංචිය යි. මා ඉහතින් සඳහන් කළ ආකාරයට ශුද්ධ වූ පාවුළුතුමා අලස නොවී වැඩ කරමින් ජීවනෝපායක් සළසා ගැනීමේ වටිනාකම පෙන්වා දීම [2 තෙසලෝනි 3 : 10] දෙවන ජුවාම් පාවුළු පාප්තුමා අගය කර ඇත. මේ අනුව වැඩ කිරීම මගින් මිනිසා තම ජීවිත මාර්ගය සළසා ගන්නවා පමණක් නොව මුළු මිනිස් සමාජය ගොඩනැගීම සඳහා දායක වේ. මිනිසා කරන වැඩ වලට වඩා ඔහුගේ ජීවන පැවැත්ම ඉතා අගනේ ය. ඒ අනුව මිනිසා වැඩ කිරීම තුළින් ඇති කරගන්නා සමාජ සම්බන්ධතා සහ සහෝදරත්වය ඔහු අත්කර ගන්නා තාක්ෂණික දියුණුවට වඩා අගනේ ය.

කිතුනු දැක්මට අනුව වැඩ කිරීම වඩාත් අර්ථවත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස තුළ යි. වැඩ කිරීම තුළ වෙහෙස මහන්සිය හා දුක් ගැහැට විඳීමට සිදුවීම ස්වභාවිකය. වැඩකිරීම තුළ ලබන එම වේදනාත්මක අත්දැකීම ජේසුස් වහන්සේගේ ගැළවීමදායක දුක්ප්‍රාප්තිය හා පංගුකාරකමක් ඇති කර ගැනීමටත්, උත්ථානයේ ජයග්‍රහණයට ප්‍රීතියෙන් හවුල් වීමටත් මාධ්‍යයකි. වැඩකිරීම තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ආලෝකය විනිවිද ගොස් නව ජීවනයක බලාපොරොත්තුව ඇති කර ගනියි. එමගින් නව අහසක් හා නව පොළොවක් [එළිදරව්ව 21 : 1 - 5] ප්‍රකාශ වෙයි.

වැඩ කිරීම හා ඒ තුළින් ලබන අත්දැකීම් වලට නියම වටිනාකමක් ලැබෙන්නේ එය යාච්ඤා ජීවිතය හා සම්බන්ධ කර ගන්නා තරමට ය. ජීවමාන දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයට සවන් දෙන සියලු දෙනා තම වැඩ කිරීම තම යාච්ඤාව හා සම්බන්ධ කරන මෙන් දෙවන පාවුළු පාප්තුමා ආයාචනා කරයි. වැඩ කිරීම හා එමගින් ලබන අත්දැකීම් දෙවියන් වහන්සේට යැදුම මගින් ඔප්පු කිරීම තුළින් එයට ජනවන්දනාත්මක වටිනාකමක් ලැබේ. මන්ද වැඩ කිරීම යන්න ලෞකික සංවර්ධනය සඳහා පමණක් නොව, දෙවි පියාණන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දේව රාජ්‍යය අත්කර ගැනීම සඳහා ද ඉවහල් වන්නක් බැවිනි.  

ශ්‍රමයේ දේවධාර්මික අදහස

අප වැඩ කිරීම යනුවෙන් හඳුන්වන්නේ කෙනෙකු නොයෙකුත් අරමුණු සඳහා ඇති අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තම ශ්‍රමය වෙහෙස මහන්සිය දානය කිරීමය. ශ්‍රමය යොදවන ආකාරය අනුව එය ශාරීරික ශ්‍රමය, මානසික ශ්‍රමය හා ශාරීරික-මානසික ශ්‍රමය යනුවෙන් ත්‍රිවිධාකාර ය. එය යොදවන ආකාරය අනුව, ස්වේච්ඡාවෙන් යොදවන ශ්‍රමය හා වේතනයක් පිණිස යොදවන ශ්‍රමය යනුවෙන් දෙකොටසකි. මේ දෙකොටසෙහි වෙනසක් වේ නම් ඒ එහි වන අරමුණු මත පමණි. මිනිසා ශ්‍රමය ස්වේච්ඡාවෙන් දුන්නත්, කුළියට දුන්නත්, එය මිනිසා තුළින් පැමිණේ. මිනිසාගේ වටිනාකම මැනිය නොහැකි සේ ම මිනිස් ශ්‍රමය ද මිනිසා තුළින් පැමිණෙන දෙයක් බැවින් එහි වටිනාකම තක්සේරු කිරීමට අපහසු ය. විශේෂයෙන් මිනිසා දේව සමානත්වයට මවා වැඩකර මැවිල්ල දියුණු කිරීමට බලය ලත් අයෙකි. එම බලය පුද්ගලයෙකුට පමණක් සීමා වූවක් නොව සමස්ත මිනිස් වර්ගයාටම පොදු වූවකි. මේ හේතුවෙන් ඔහු යොදවන ශ්‍රම ප්‍රමාණය කොපමණද ඒ තරමට ම ඔහු දේව මැවිල්ල ද උසස්භාවයට හා මහිමයට පත් කරයි. ශ්‍රමය නිසි ලෙස යෙදවීම මගින් උතුම් දේව මැවිල්ල වන මිනිසාගේ උසස්කම, ගාම්භීරත්වය හා බලය තව තවත් ඉස්මතුව පෙනේ. එසේම මිනිසා තමන්ගේ ශ්‍රමය දෙවියන් වහන්සේට කරන සේවයක් ලෙසින් ඔප්පු කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ගැළවීමේ කාර්යයට පංගුකාරයෙක් ද වේ.

ඇතැම් අය සිතන්නේ ශ්‍රමය යෙදවීම, වැඩ කිරීමට සිදුවීම තමන්ගේ පාප වලට දඬුවමක් හෝ වන්දි ගෙවීමක් ලෙස ය. එසේ සිතීම ශ්‍රමයේ නියම වටිනාකම අවබෝධ නොවී, ඉන් ලොවට විය යුතු මහඟු සේවය වැළලීමකි. ඇත්තෙන් ම වැඩ කිරීම වනාහී දේව මැවිල්ල ගොඩනංවා උසස්භාවයට පත් කිරීමට සහභාගිවීමකි. මිනිසා ශ්‍රමය යෙදවීමෙන් දේව මැවිල්ල අලංකාර හා දියුණු කර, ලොව ඔහුට ම සුවසේ විසීමට හැකි නිවහනක් බවට පත් කර ගනියි. වැඩ කිරීම මිනිසාට සිය මිනිසත්කම ජයගැනීමට තිබෙන ආධාරකයක් බව ඔහු අවබෝධ කරගත යුතු ය. එසේම තමන්ගේ ඉදිරි පරපුරට නව ලොවක් තැනීමක් ද වේ.

වැඩ කිරීමේ දී බුද්ධිය, චින්තනය, කායික ශ්‍රමය හා නිර්මාණ කුසලතාව වැදගත් වේ. මේවා නිසි ලෙස යෙදවීමට ඔහු මනා පුහුණුවක් ලැබිය යුතු ය. ඊට අමතරව ඔහු වැඩ කිරීම මගින් ලබන විවිධ අත්දැකීම් ද, නව සොයා ගැනීම් මගින් තමන් කරන කාර්යයට විශේෂ ප්‍රාගුන්‍යයක් ලබා ගනියි. දෙවියන් වහන්සේ මෙකී සියල්ල එනම්, ප්‍රඥාව, නිර්මාණ කුසලතාව, වැඩ කිරීමේ ශක්තිය හා බලය මිනිසාට දුන්නේ තම දියුණුව සඳහාත්, පොදු යහපත ඇති කිරීම සඳහාත් යෙදවීමට ය. යමෙකු තමන් ලද මෙම දේව දීමනා වැරදි ආකාරයට අයහපත බිහි කිරීමට යෙදවීම බරපතල පවකි. තමන් ලද බුද්ධියෙන් එය තමන්ට දුන් දෙවිඳුන්ට අභියෝග කිරීමකි. සාතන් ඒදන් උයනේ වැඩ කරමින් සිටි ආදි මව්පියන්ව රවටා ඔවුන්ගේ නිදහස් චින්තනය සිය මැවුම්කරුවාණන්ට එරෙහිව යාමට පෙළඹ වූයේ ය. එයින් ලොවට නපුර හා අයහපත බිහි විය. මිනිසා වැඩ කිරීම සඳහා දෙවිඳුන්ගෙන් ලත් ඉහත කී දීමනා හා බල ශක්තීන් අයුතු ලෙස තම ආත්මාර්ථකාමී අරමුණු උදෙසා යෙදවීම සාතන්ගේ නපුර පැතිරවීමේ ක්‍රියාවලියට දායක වීමකි. සමාජය නපුරට ම ඇද දැමීමකි. එසේම යම් පුද්ගලයෙකු අයුතු ලෙස කිසියම් පුද්ගලයෙකුගේ ශ්‍රමය සුළුවෙන් සැළකීම ද, ඊට අඩු වටිනාකමක් හා තක්සේරුවක් දීම ද, ආත්මාර්ථකාමී අයහපත් අරමුණු ඉටුකර ගැනීමට යෙදවීමෙන් ද සාතන්ගේ ක්‍රියාවන්ට දායකවීමකි. ශුද්ධ වූ පාවුළු තුමාගේ පහත ඉගැන්වීම බලන්න.
“වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ටයුතු ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමත් අපහාස ඇති වෙයි. කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. මන්ද කීවොත්, ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න" [1 තිමෝති 6 : 1 - 3] 
ශුද්ධ වූ පාවුළු තුමා ඉහත ඉගැන්වීම එතුමා සේවය කළ ග්‍රීක පරිසරය තුළ සිටි වහලුන් ඔවුන්ගේ ස්වාමිවරුන්ට දැක්වූ වෛරය හා සිත් තුළ නළියමින් තිබූ කෝපය නැති කොට ස්වාමි-සේවක දෙපාර්ශ්වය අතර අන්‍යෙන්‍ය සබැඳියාවක් ඇති කිරීමට ය. එහෙත් “සේවය" යන වචනය ඉදිරියට යොදා ගෙන මිනිසුන්ගෙන් වැඩ ගැනීමට බොහෝ ස්වාමිවරුන් දක්ෂය. මේ මගින් ශ්‍රම සූරාකෑමට ලක් විය හැකි ය. වැඩ කිරීම මගින් සේවය ඉස්මතු විය යුතු බව සැබෑ ය. එහෙත් එය ශ්‍රම සූරාකෑමට මගක් නොවිය යුතු ය. කෙනෙකුගේ අසරණකම හෝ දුගීබව ද ශ්‍රමය සූරාකෑමට මගක් වී ඇත. එසේ ශ්‍රමයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සේවය යන්නටත්, මනුෂ්‍යත්වයටත් කරන මහත් වූ නින්දාවකි. ශුද්ධ වූ පාවුළු තුමා පිළමොන්ට යැවූ හසුනේ දක්වන ආකාරයට, පිළමොන් නමැති කිතුනු ප්‍රභූවරයා යටතේ සිටි ඔනේසිමස් නමැති කිතුනු වහල් සේවකයාට නිවහල් කිතුනු සහෝදර ලීලාවෙන් සළකන ලෙස ඉල්ලා සිටියේ ද එබැවිනි. [පිළමොන් 1 : 15 - 17] තවද, සබත් දින කිතුනු සේවකයන්ගේ නිවාඩුව ලබා දීම ස්වාමිවරුන්ගේ යුතුකම හා වගකීම ය. එම සබත් දින නිවාඩුවේ අයිතිය පැහැර හරින ස්වාමිවරුන්, දින හයක් පුරා වැඩ කර සත්වන දින නිවාඩු ගෙන එදින ශුද්ධවත් දිනයක් කළ දෙවියන් වහන්සේට අපහාස කරයි. ඔවුන් වහන්සේගේ නියමයන් නොසලකා හරියි.

කිතුනුවන් වශයෙන් අපි අලස නොවී වැඩ කළ යුත්තෙමු. එය සතුටු සිතින් කිරීමට නොපැකිළිය යුතු ය. එසේම සේවයේ දී අවංකවීමත්, වගකීම් හා යුතුකම් නියමිත පරිදි ඉටු කිරීමටත් යුහුසුළු විය යුත්තෙමු. අපගේ වැඩ කිරීම දේව මහිමය සඳහාත්, පොදු යහපත ඇති කිරීම සඳහාත්, අනාගත පරපුරේ දියුණුව සඳහාත්, රටේ හා සමාජයේ සංවර්ධනය සඳහාත් විය යුතු ය. එහෙත් නිෂ්පාදන ක්‍රියාවලියේ දී සේවයට හා ශ්‍රමයට මුදල ප්‍රධාන කර ගැනීම විනාශයට මුල පිරීමක් විය හැකි ය. ශුද්ධ වූ පාවුළුතුමා මේ පිළිබඳව දැඩි මතවාදයක සිටියි.
“අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්ට ද ඕනෑ ය. කන්ට අඳින්ට ඇත්නම්, අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂා වලටත්, උගුල් වලටත්, අසු වන්නෝ ය. නාස්තියටටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිශ්ඵල තෘෂ්ණාවන්ට ඔවුහු වසඟ වන්නෝ ය. මුදල් තන්හාව සැම නපුරට ම මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාල කරගත්හ." [1 තිමෝති 6 : 8 - 10] 
ශ්‍රමය යොදවන්නා හා සේවය ලබන්නා යන දෙදෙනා ම මුදල පරමාර්ථ කරගැනීමෙන් වන විනාශය මින් පෙන්වයි. එහෙත් පවතින ආර්ථික හා සමාජයීය පරිසරය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සේවකයා හා ස්වාමියා යන දෙදෙනාට ම මුදල වැදගත් සාධකයක් ලෙසින් සැලකීමට සිදුව ඇත. ශ්‍රමයට සුදුසු ගෞරවාන්විත වැටුපක් ගෙවීමත්, වැටුපට සරිලන අවංක උතුම් සේවයක් කිරීමත් පොර්ශවයේ ම වගකීම වන්නේ මේ නිසා ය. සේවයේ ස්වභාවය, තනතුර, වැටුප, අධ්‍යාපන මට්ටම හා තරාතිරම අනුව මිනිසුන් මැනීම හා පිළිගැනීම මිනිසත්බවට කරන නිගාවකි. වඩා වැදගත් වන්නේ කරන වැඩය නොව පුද්ගලයා ය. ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා සමානත්වය දරන්නෙකි. අප යම් පුද්ගලයෙකුගේ තරාතිරම හා කරන වැඩය අනුව මිනිසෙකුව සැළකීම දෙවියන් වහන්සේට කරන අපහාසයකි. එබැවින් මිනිසා කරන වැඩය කුමක් වුවත් ඔහුව ගරුත්වයෙන් පිළිගත යුතු ය. කිසියම් අයහපතක් හෝ නපුරක් වෙනුවෙන් තම ශ්‍රමය යොදවන පුද්ගලයෙකුගේ ප්‍රතික්ෂේප කළ යුත්තේ ඔහු කරන අදමිටු ක්‍රියාව මිස පුද්ගලත්වය නොවේ. මන්ද ඔහු තුළ ද දේව සමානත්වය විද්‍යාමාන වන බැවිනි. “මිනිසාට ගරු කරන්න; මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය යි" යනුවෙන් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ප්‍රකාශ කර ඇත්තේ එබැවිනි. මිනිසාට ගරුත්වයෙන් සැලකීමත්, ශ්‍රමය උතුම් කොට සැලකීමත් කෙරෙහි මානව අවධානය යොමු විය යුත්තකි.          

      

ROSARY MEDITATION

AUDIO BIBLE PLAYER

DAILY MASS READINGS

DIVINE OFFICE

DAILY DEVOTION BOX

WORLD CATHOLIC NEWS

AROUND THE WORLD

Flag Counter

VATICAN CHANNEL

CATHOLIC TUBE

Daily Bible Quiz

ChristiansUnite.com Daily Bible Trivia

LIVE TRAFFIC COUNTER

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith