Home » » ජේසුස් වහන්සේව විනිශ්චය කළ පොන්තියුස් පිලාත්

ජේසුස් වහන්සේව විනිශ්චය කළ පොන්තියුස් පිලාත්


පොන්තියුස් පිලාත් කවරෙක්ද?  පොන්තියුස් පිලාතුස් වනාහී, ජේසුස් වහන්සේ මිනිස් වෙසින් මෙලොව ජීවත් වූ කාලයේ රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 26 - 36 අතර කාලයේ ජුදයාව පාලනය කළ පස්වන රෝම ආණ්ඩුකාරයා ය.[1] වැලේරියස් ෆැල්සෙයුස් ග්‍රාටුස් නමැති රෝම ආණ්ඩුකාරයාගෙන් පසුව ජුදයාවේ රෝම ආණ්ඩුකාර තනතුර ඔහුට හිමි විය. රෝමානු අශ්වාරෝහක පවුලකින් පැවතෙන ඔහු, ඊට ප්‍රථම රෝම යටත් විජිත ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාර පදවිය හෙබවූ, දක්ෂ රාජකීය රෝමානු ශතාධිපතියෙකු ලෙසින් ද කටයුතු කළ ඇත්තෙකි. පිලාත් පදිංචිව සිට ඇත්තේ කායිසාරිය නමැති ජුදෙව් පෙදෙසේ ය.
[කායිසාරිය රෝමන් පාලන පෙදෙසේ නටඹුන්]

 පිලාත් පිළිබඳ ඍජු තොරතුරු ටැසිටස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆීලෝ හා ජොසෙෆස් යන ඉතිහාසඥයන්ගේ වාර්තා වල දැක්වේ. ඊට අමතරව නිකදේමුස්ගේ සුභාරංචිය හා මාර්සියන්ගේ සුභාරංචිය වැනි අසම්මත සුභාරංචි පොත් වල ද පිලාත් ගැන සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 37 මාර්තු 16 තිබේරියස් සීසර්ගේ මරණින් පසුව ඔහුව ආපසු රෝමයට කැඳවූ බව ජොසෙෆස්ගේ වාර්තාවේ දැක්වේ. ඔහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේ ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම හේතු කොට ගෙන ය.

පිලාත්ගේ සම්පූර්ණ චරිතාපදානය පිළිබඳ තොරතුරු අප්‍රකට ය. ඉපැරණි ජනප්‍රවාදයකට අනුව, ඔහු මධ්‍යම ඉතාලිය බයිසෙන්ති [Bisenti] නමැති කුඩා ග්‍රාමයක උපත ලබා ඇත.[2] ඔහු ස්කොට්ලන්තයේ ෆොටින්ගෝල් නමැති උස් බිම් ප්‍රාන්තයක උපන් බවට ද, ස්පාඤ්ඤයේ ටැරගෝනා හි උපන් බවට ද, ජර්මනියේ ෆෝර්ච්හේම් හි උපන් බවට ද විවිධ ජනප්‍රවාද ඇත.
[පිලාත් කර වූ ශිලා ලේඛනය - ක්‍රි.ව. 1961 දී ඉශ්රායෙලයේ කායිසාරිය ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත. ]
ඉශ්රායෙල් කෙෳතුකාගාරයේ ඇති පිලාත්ගේ ශිලා ලේඛනය - මෙහි ]ECTVS IUDA හෙවත්  praefectus Iudaeae යනුවෙන් දැක්වේ එහි අර්ථය නම්, ජුදයාවේ අධිපති  [prefect of Judaea] යන්න ය.
පොන්සියුස් පිලාත් ජුදයාව දුටුවේ පරිපාලනයට අසීරු ප්‍රදේශයක් ලෙසිනි. ඒ බව ඔහු ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමෙන් අනතුරුව තිබේරියස් රෝම අධිරාජ්‍යයාට යැවූ සම්පූර්ණ විස්තර වාර්තාව රැගත් ලිපියේ ආරම්භයේදී ම දක්වා ඇත. [Archko Volume Manuscripts, Constantinople & Senatorial Docket, Rome Library] ජුදෙව්වරුන්ගේ ආගමික නීති හා සම්ප්‍රදායන් ද, පරිසිවරුන් සද්දුසිවරුන් විනයධරයන් හා නායක පූජකවරුන්ගේ බලපෑම් හා ක්‍රියා කලාපයන් ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. එහෙත් පිලාත් රෝම අධිරාජ්‍යයා වෙනුවෙන් රෝම නීතිය ක්‍රියාවේ යෙදවීමටත්, තම පාලන  ප්‍රදේශය නීතිය හා සාමය පවත්වා ගැනීමටත් කටයුතු කළේ ය. පිලාත් ජුදයාවේ පැවති ඇතැම් නීති හා සම්ප්‍රදායන් වෙනස් කිරීමට ද පසුබට වූයේ නැත. පිලාත් ජුදෙව් ප්‍රාන්ත පාලනය බාර ගැනීමට පෙර වරදකරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමේ බලයක් ජුදෙව් උත්තම පූජකයාට තිබුණි. එම වරප්‍රසාදය ඔහුට අහිමි කළ පිලාත් තම පාලන ප්‍රදේශය තුළ මරණ දණ්ඩනය දීමේ තනි අයිතිය රෝම අධිරාජ්‍යයාව නියෝජනය කරන රෝම ආණ්ඩුකාරයා සතු බව ප්‍රකාශ කර නියම කළේ ය.

පිලාත්ගේ පාලන කාලය තුළ ඔහු මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ රෝම පාලනයට එරෙහිව තැනින් තැන (රෝම විරෝධී) සෙලට්වරුන් ගෙන ගිය සුලු කැරලි ගැසීම් ය. ඒවා මර්ධනය කිරීම ඔහුට එතරම් අපහසු කාර්යයක් නොවී ය. කැරලි නායකයෙකු වූ බරබ්බස් ව අත්අඩංගුවට ගෙන සිර දඬුවම් නියම කිරීමෙන් ඒ බව පැහැදිළි ය.(මාර්ක් 15 : 7, ජොහාන් 18 : 40b)

ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම
පිලාත් සිය පාලන කාලය තුළ මුහුණ දුන් අසීරු ම ප්‍රශ්නය වූයේ, නිර්දෝෂ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීමට නියම කිරීම පිළිබඳ කරුණ ය. පිලාත් ඉදිරියෙහි ජේසුස් වහන්සේට එරෙහිව නායක පූජකවරුන් හා ජුදෙව් ප්‍රධානීන් ඉදිරිපත් කළ චෝදනා තුනකි. එනම්, 
  • මොහු ජුදෙව් ජාතිය කැරලි ගැසීමට පොළඹවන බව,
  • රෝම අධිරාජ්‍යයාට අය බදු දීම තහනම් කරන බව,
  • ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියා ගන්න බව,
ය. [ලූක් 23 : 2] මෙකී චෝදනා තුනම ජේසුස් වහන්සේ අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙකු බව පෙන්වන ඒවා ය. මෙම චෝදනා උත්තම පූජක අන්නාස් ඇතුළු සැන්හෙඩ්‍රින් ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි ජේසුස් වහන්සේට එල්ල කළ චෝදනා වලට වඩා හාත්පසින් ම වෙනස් ඒවා වෙති. [මතෙව් 26 : 60 - 66] වරදකරුවන් විනිශ්චය කොට හසල අත්දැකීම් ඇති පිලාත් ජේසුස් වහන්සේ දෙස බලා ඔවුන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයෙන් ම ඔවුන් වහන්සේ නිර්දෝෂ කෙනෙකු බව වටහා ගත්තේ ය. පිලාත් දැන ගැනීමට අවශ්‍ය වූයේ එක් වැදගත් කරුණක් පමණි. එනම්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු ද" යන්න ය. [ලූක් 23 : 3] විප්ලවකාරයන්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් හා සටන්කාමීන් විනිශ්චය සභාවක් ඉදිරියෙහි හැසිරෙන හා පිළිතුරු දෙන ආකාරය පිලාත් හොඳින් දැන සිටියේ ය. “එසේ කියන්නේ ඔබ ය" [ලූක් 23 : 3] යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුරෙන් ම ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න ඔහු තේරුම් ගත්තේ ය. එසේම, නායක පූජකවරුන් ද ඊර්ෂ්‍යාවෙන් ජේසුස් වහන්සේව පිලාත් වෙතට පාවා දී මරණ දඬුවම දීමට පොළඹවන බව ඔහු තේරුම් ගෙන සිටියේ ය. [මාර්ක් 15 : 10] පිලාත් ආණ්ඩුකාර පදවිය නිල වශයෙන් බාරගැනීමේ උත්සවයට ජෙරුසලමේ සිටි ජුදෙව් උත්තම පූජකවරයා ඇතුලු නායක පූජකවරුන්ට කළ ඇරයුම නොසලකා හැර ඔවුන් ඊට සහභාගි නොවූ නිසා පිලාත් තුළ ජුදෙව් පූජකවරුන් ගැන තිබුණේ දැඩි අප්‍රසන්නතාවයකි. එබැවින් රෝමවරුන් එම පූජකවරුන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවත්, ඔවුන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවෙත වෙනුවෙන් තම මව වුව ද පාවා දෙනු ඇතැයි පිලාත් රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙත යැවූ ලිපියේ ඔහු දක්වා සඳහන් කර ඇත. 
ජේසුස් වහන්සේගෙන් පිලාත් ප්‍රශ්න කිරීම
පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමේ සිද්ධිය තුළ විශේෂ සංවාද කොටස් කිහිපයක් දැකිය හැකිය. 
  • පිලාත් ජේසුස් වහන්සේ සමග කළ සංවාදය ඔහු ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න විමසා බැලීය. ඔහු පෙෳද්ගලිකව ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය. 
  1. ‘‘ඔබ ජුදෙව්වරුන්ගේ රජ ද?" (මතෙව් 27 : 11) 
  2. ‘‘ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද්ද? බලන්න, මොවුහු ඔබට කොතරම් චෝදනා කරත් ද?" (මාර්ක් 15 : 4) 
  3. ‘‘මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කළෙහි ද?" (ජොහාන් 18 : 35)
  4. “ඔබ කොහෙන් එන්නේ ද?" (ජොහාන් 19 : 9)
  5. “ඔබ මට පිළිතුරක් දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කර හරින්ට හෝ කුරුසියේ ඇණ ගසන්ට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි ද?" (ජොහාන් 19 : 10) 
   යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් ප්‍රධානීන් සමග කළ සංවාදය - පිලාත් නායක පූජකවරුන් සමග විවාද කරමින් ජේසුස් වහන්සේව නිදහස් කිරීමට උත්සහ කළේ ය. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේව කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් හා කෝපයෙන් පසු වූ බව දැන සිටි බැවිනි. 
  1. “මේ මිනිසාට විරුද්ධව ඔබ ගෙනෙන චෝදනාව කුමක් ද?" (ජොහාන් 18 : 29)
  2. “ඔබ ම ඔහු ගෙන ගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්න" (ජොහාන් 18 : 31)
  3. “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ." (ලූක් 23 : 4)
  4. “ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලි ගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විබාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධව කළ චෝදනා වලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත; හෙරෝද්ට ද පෙනුණේ නැත. හෙරෝද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි." (ලූක් 23 : 15 - 16)
     යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් වැසියන් සමග සංවාදය - පාස්කු මංගල්‍යයට සහභාගිවීමට පැමිණි බොහෝ ජුදෙව්වන්ගෙන් ජෙරුසලම පිරී පැවතුණි. ජේසුස් වහන්සේව පිලාත් ඉදිරියෙහි විනිශ්චය කරන බව දැනගැනීමෙන් ඔවුන් එය බැලීමට එහි රැස් වූහ. 
  1. “මොහු අත කිසි වරදක් මට නොපෙනේ. පාස්කු මංගල්‍යෙය් දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමති ද?" (ජොහාන් 18 : 38b - 39)
  2. “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි." (ජොහාන් 19 : 4)
  3. “මෙන්න, ඒ මනුෂ්‍යයා." (ජොහාන් 5)
  4. “මෙන්න ඔබේ රජ." (ජොහාන් 19 : 14)
  5. “එසේ නම් ජුදෙව්වරුන්ගේ රජු යයි ඔබ කියන මොහු ගැන කුමක් කරන්ට ද?" (මාර්ක් 15 : 12)
  6. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්ට ද?" (ජොහාන් 19 : 15)
  7. “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කළේ ද?" (මාර්ක් 15 : 14)
  8. “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වග බලා ගන්න." (මතෙව් 27 : 24)
මෙකී සියලු සංවාද වලින් පෙනී යන්නේ පිලාත් ජේසුස් වහන්සේගේ නිදොස් බව පිලාත් පැහැදිලිව ම හඳුනා ගෙන සිටි බව ය. එබැවින් ඔහු ජේසුස් වහන්සේව නිදහස් කර හැරීමට නොයෙක් උපක්‍රම යෙදුවේ ය. 
[“මෙන්න මනුෂ්‍යයා" - "Acce Homo" - පිලාත් කසයෙන් තැළවූ ජේසුස් වහන්සේව ජනතාවට පෙන්වීම ]
  1. ජේසුස් වහන්සේ නිදොස් මිනිසෙකු බවට නායක පූජකවරුන්, ජුදෙව් ප්‍රධානීන් හා සාමාන්‍ය ජුදෙව් ජනතාව ඉදිරියෙහි කරුණු ගෙන හැර පෑම.
  2. තමන් මෙම විනිශ්චයට මැදහත් නොවී ඇඟ බේරා ගැනීමට ගලීලයේ පාලකයාව සිටි හෙරෝද් ඇන්ටිපස් වෙත ජේසුස් වහන්සේව යැවීම. (ලූක් 23 : 6 - 12)
  3. ජේසුස් වහන්සේට කසයෙන් තළවා ජුදෙව් ප්‍රධානීන්ගේ හා ජනතාවගේ අනුකම්පාව ලබා දීමට උත්සහ කිරීම.
  4. රාජ්‍ය විප්ලවයේ දී අත් අඩංගුවට ගෙන සිටි අපරාධකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත් බරබ්බස් සමග සංසන්දනය කොට ජේසුස් වහන්සේ කෙරෙහි මහජන ප්‍රසාදය ලබා දී නිදහස් කිරීමට උත්සහ කිරීම. 
යනාදිය ඉන් කිහිපයකි. පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කළ ජනතාවග්‍ෙ හිතුමනාපයට බව ලූක් 23 : 25 හි දැක්වේ. කෙසේ වුව ද ඔහු තම දෙඅත් ජලයෙන් සෝදා ගත්තේ තමන්ගේ නිදොස් බව ප්‍රකාශ කිරීමේ සළකුණක් වශයෙනි. (මතෙව් 27 : 24)
 
පිලාත් මුහුණ පෑ දුෂ්කරතා
ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම තුළ පිලාත් ඉතා අසීරු හා අසරණ තත්ත්වයකට පත් වූ බව පෙනේ. එනම්,
  • වරදකරුවෙකු නොවන නිර්දෝෂී පුද්ගලයෙකු ට මරණ දණ්ඩනය නියම කිරීම රෝම නීතියට හා අධිරාජ්‍යයාට අපහාස කිරීමකි.
  • නිර්දෝෂී බව දැන දැනම ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීම තම හෘදය සාක්ෂියට විරුද්ධ වූවකි.
  • වැරදි තීන්දුවක් දී නිර්දෝෂ මිනිසෙකු මරණයට පත් කිරීම නිසා පිලාත් අධිරාජ්‍යය තුළ අපකීර්තියට පත් වීමට පුළුවන. 
  • නායක පූජකවරුන් සමග ගැටුම් ඇති කර ගැනීම හා ඔවුන්ව අමනාප කර ගැනීම ජුදයාවේ පරිපාලන කටයුතු වලට ඉමහත් බාධාවකි. බොහෝ විට මෙම කරුණ මත තම ආණ්ඩුකාර පදවිය පවා අහිමි වීමට ඉඩ තිබේ.
  • නායක පූජකවරුන්ගේ ප්‍රබල ඉල්ලීම නොසලකා හැරීම තම තනතුර අහිමි වීමට ද හේතු විය හැකිය. මන්ද, මුළු පලස්තීනයේ අවසන් රජු වූ මහ හෙරෝද් රජුගේ මරණින් පසුව ජුදයාවේ පළමු යුවරජු හා තම පියා මෙන් කෘෘර පාලකයෙකු වූ මහ හෙරෝද්ගේ වැඩිමහල් පුත් හෙරෝද් අර්කෙලාවුස්ට රජකම අහිමි වූයේ, ඔහුට එරෙහිව වූ නායක පූජකවරුන් රෝම අධිරාජ්‍යයාට ගතු කේලාම් කීම නිසා ය.  “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජ්‍යයාගේ මිතුරෙක් නොවේ. යමෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජ්‍යයාගේ හතුරෙකි" [ජොහාන් 19 : 12] මෙහිදී නායක පූජකවරුන් පිලාත් ට අනතුරු හැඟවීමක් ද කළෝ ය.
  • පාස්කු මංගල්‍යයට සහභාගි වීමට විවිධ පෙදෙස් වලින් ජෙරුසලමට මහා ජනකායක් එක්රොක් වන බැවින්, සෙලට්වරුන්ට ජේසුස් වහන්සේව නිදහස් කර ගැනීමේ මුවාවෙන් රෝමවරුන්ට එරෙහිව විප්ලවයක් මෙහෙයවීමට ද මෙය අවස්ථාවක් විය හැකිය. එවිට එම අපකීර්තිය පිලාත් හට හිමිවෙනු පමණක් නොව, රෝම අධිරාජ්‍යයාට නිදහසට කරුණු කීමට සිදුවන වරදක් ද වේ.
  • [පිලාත්ගේ බිරිඳ ක්ලෝඩියා]
  • ඒ සියල්ලට ම වඩා පිලාත්ගේ බිරිඳ [වන ක්ලෝඩියා ප්‍රොකියුලා - Claudia Procula] [3] ඔහු විනිශ්චයාසනයේ දී සිටිය දී, ජේසුස් වහන්සේව නිදහස් කර හරින ලෙසින් කළ ඉල්ලීමට පිටු පෑම ද කළ නොහැක්කකි.  “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි" [මතෙව් 27 : 19] යනුවෙන් ඇය කීවා ය. මෙම සිහිනය කුමක් දැ යි සුභාරංචියෙහි නොදැක්වුන ද, පිලාත් රෝම අධිරාජ්‍ය තිබේරියස් සීසර්ට යැවූ හසුනේ එය විස්තර කර ඇත. “මම ගෝල්වරුන් අතරින් බිරිඳක සරණපාවා ගෙන සිටිමි. ඇය මා දෙපා මුල හඬා වැළපෙමින්, ‘ප්‍රවේසම් වන්න! ප්‍රවේසම් වන්න! එම ශුද්ධවත් තැනැත්තාට අත නොතබන්න. ඊයේ රාත්‍රියේ මම දර්ශනයක් දුටුවෙමි. එතුමා දිය මත ඇවිදිමින්, පවනේ තටු මතින් පියඹා යමින් සිටියේ ය. එතුමන් විල මත වූ චණ්ඩ මාරුතයට හා මත්ස්‍යයන්ට කතා කළේ ය. එවිට ඒ සියල්ලෝ එතුමන්ට අවනත වුණෝ ය. බලන්න, කීද්‍රොන් කන්දෙන්  රැධිරය සමග දිය දහරක් ගළා යයි. සීසර්ගේ පිළිරූ තබා තිබූ ශාලාවේ කුළුණු පහවී ගියෝ ය. සොහොන් ගැබක් තුළ සිටින කන්‍යාවක සේ හිරු ශෝකයෙන් වැසී ගියේ ය." [The Passion and the Glory, By Ysatis De Saint Simon, p. 313]  යනුවෙන් ඇය පිලාත්ට ප්‍රකාශ කර සිටියා ය. 

පිලාත්ගේ අවසානය

[පිලාත්ගේ මෘත ශරීරය ගිල්වන ලදැයි සැලකෙන ස්විස්ටර්ලන්තයේ පිලාතුස් කඳු ගැටය අසල පිහිටි පිලාතුස් විල]
එව්සේබියස් [Eusebius] නමැති ඉතිහාසකරුවාගේ අසම්මත වාර්තා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේව මරණයට විනිශ්චය කිරීමෙන් පසුව ගයියුස් කලිගුලා [Gaius Caligula, A.D. 37-41]නමැති රෝමයේ තුන්වන අධිරාජ්‍යයා [4] පිලාත්ව රෝමයට ගෙන්වා රෝමානු යටත් විජිත ජනපදයක් වූ වියාන් [Vienne] වලට පිටුවහල් කරන ලදුව එහිදී සිය දිවි නසා ගෙන ඇත. දස වන සියවසේ සිටි හීරාපොලිස් හි අගපියස් [Agapius of Hierapolis] නමැති ඉතිහාසකරුවාගේ වාර්තා වලට අනුව පිලාත් සිය දිවි නසාගෙන ඇත්තේ කලිගුලාගේ පාලන කාලයේ පළමු වසර (ක්‍රි.ව. 37 හෝ 38) තුළ දී බව ය. [5] එහෙත් පොදු පිළිගැනීම වන්නේ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පිලාත්ව රෝමයට ගෙන්වාගෙන ඔහුව දම්වැල් ලා සිරගත කොට දැඩි දඬුවම් නියම කළේ ඔහුව රෝමන් ආණ්ඩුකාර තනතුරට පත් කළ තිබේරියස් සීසර් බව ය.

වතිකාන පුසතකාලයේ තැන්පත් කර ඇති ඉපැරණි අත් පිටපතක සඳහන් වන ආකාරයට, තිබේරියස් සීසර් රෝමන් අධිරාජ්‍යයාට සුව නොවන දැඩි පීඩා කාරී රෝගයක් වැළඳ තිබී ඇත. තම යටත් විජිතයක් වූ ජුදයාවේ ජේසුස් නමින් වචනයෙන් ස්පර්ශයෙන් සුවය ලබා දෙන අරුම පුදුම වෛද්‍යවරයෙකු සිටින බව ඔහුට දැන ගැනීමට ලැබුණි. (එවකට ඇතැම් අය ජේසුස් වහන්සේ දුටුවේ දිව්‍යමය වෛද්‍යවරයෙකු ලෙසිනි.) පිලාත් ඔවුන් වහන්සේව මරණයට පත් කිරීමට ක්‍රියා කළ බව නොදත් තිබේරියස්, ඔහුගේ සමීප උපස්ථායකයෙකු වූ වොලුසියානුස් [Volusianus] ව පිලාත් වෙත පිටත් කර යවමින්, ‘‘යන්න, මාගේ මිත්‍ර සේවක පිලාත් වෙත ගොස් මා හට සම්පූර්ණ සුවය ලබාගැනීමට එම වෛද්‍යවරයාව වහාම මා වෙත එවන මෙන් නියම කරන්නැ"යි කීවේ ය.  වොලිසියානුස් ද පිලාත් හමුවී ‘‘ඔබගේ ස්වාමියාණන් වන තිබේරියස් සීසර් ඔහුගේ රෝගය සුව කර ගැනීම සඳහා වචනයෙන් හා ස්පර්ශයෙන් රෝග සුවකරන එම වෛද්‍යවරයාව වහාම එවන මෙන් ඔබට නියම කර සිටියි", යි දැන්වීය. මේ බව ඇසූ පිලාත් මහත් සේ බිය වී කම්පනයට පත් වූයේ, තමන් ඔවුන් වහන්සේව මේ වන විට මරා දමන්නට යෙදී සිටි නිසා ය. ‘‘මේ මනුෂ්‍යයා අපරාධකාරයෙකි; තමන් වෙතට මිනිසුන්ව ආකර්ශනය කර ගත් අයෙකි. එබැවින් මෙහි සිටින පඬිවරුන්ගේ මන්ත්‍රණ සභාව උපදෙස් මත මම ඔහුව කුරුසපත් කළෙමි," යි පිලාත් රාජ නියෝජිතයාට ප්‍රකාශ කළේ ය. වොලිසියානුස් පරාජිත සිතින් ආපසු රෝමය බලා යාමට තම නාවාතැන් පළෙහි රැඳී සිටින කල, කල්වාරි ගමනේ දී ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ රෙදි කඩකින් පිස දැමූ වෙරෝනිකාව අහඹු ලෙස හමු විය.[6] ‘‘ස්ත්‍රිය, තම වචනයෙන් බොහෝ රෝග සුව කරන වෛද්‍යවරයෙකු මෙහි සිට ඇත; ජුදෙව්වන් ඔහුව මරා දමන්නට හේතුව කුමක්ද?"යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ‘‘අනේ මා ස්වාමිනී, එතුමා මාගේ දෙවියන් ය; මාගේ ස්වාමියාණන් ය. පිලාත් ඊර්ෂ්‍යාවෙන් පාවා දුන් එතුමන්ව ප්‍රතික්ෂේප කොට, කුරුසපත් කිරීමට නියම කළේ ය,"යි ඇය පිළිවදන් දුන්නා ය. මෙය ඇසූ වොලිසියානුස් මහත් ශෝකයෙන් ඇළලී, ‘මාගේ ස්වාමියා මට බාර දුන් දේ සපුරා ගැනීමට නොහැකි වීම මම බොහෝ සේ කණගාටු වෙමි,"යි කීවේ ය. එකල වෙරෝනිකා තමා සතුව තිබූ ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ සනිටුහන් වී තිබූ රෙදි කඩ වොලිසියානුස්ට පෙන්වමින්, ‘‘ඔබගේ ස්වාමියා භක්ත්‍යාදරයෙන් මෙම රූ සටහන දෙස බලන්නේ නම්, වහාම ඔහුට සුවය අත්වනු ඇතැ"යි කීවා ය. එවිට ඔහු එම රෙදිකඩ රන් හෝ රිදී හෝ මිළට ලබා දෙන මෙන් ඉල්ලීය. එහෙත් ඊට අකමැති වූ වෙරෝනිකා, වොලිසියානුස් සමග රෝමයට ගොස් අධිරාජ්‍යයාට සුවය ලබා දී ආපසු ඒමට එකඟ වූවා ය. වොලිසියානුස් සමග රෝමයට ගොස් තිබේරියස් සීසර්ව හමු වූ වෙරෝනිකා ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණේ රූපය රැගත් රෙදි කඩ පෙන්වූවා ය. එකල අධිරාජ්‍යයා එම රෙදි කඩ සිල්ක් සළුවක් මත එළා තමන් වෙත එය ප්‍රදර්ශනය කිරීමට නියම කළේ ය. එය දෙස බැලීමෙන් තිබේරියස් නැවත සුවපත් වූයේ ය. පසුව වෙරෝනිකා ජේසුස් වහන්සේව කුරුසපත් කිරීමේ දුක්මුසු පුවත ඔහු ඉදිරියෙහි ප්‍රකාශ කළෙන්, පිලාත්ව වහාම රෝමයට ගෙන්වා මහත් ද්වේෂයකින් ඔහුට චෝදනා කළේ ය. පිලාත් එහිදී මූට්ටුවක් නැතිව වියා තිබූ දාදු දැමූ ජේසුස් වහන්සේගේ සළුව [ජොහාන් 19:23, 24] අධිරාජ්‍යයාට පෙන්වීය. දැඩි කෝපයට පත් අධිරාජ්‍යයා තම උපදේශක සෙනට් සභාව සමග සාකච්ඡා කර නිසි පියවරක් ගන්නා තුරු පිලාත්ව සිරගත කිරීමට නියම කළේ ය. ස්වල්ප දිනකට පසුව පැවැත්වූ නඩු විභාගයේ දී පිලාත් වරදකරු බව ප්‍රකාශ වූයෙන් ඉතා කෘෘර මරණයකට ඔහුව නියම විය. මේ බව දැනගත් පිලාත් (රෝමවරුන් දෙන කෘෘර වධ හිංසා වල තරම හොඳින් දැන සිටි බැවින්) තමන් සඟවා ගෙන සිටි සිරියෙන් (කුඩා කඩුව) ඇණගෙන සිය දිවි නසා ගත්තේ ය. ඔහුගේ මරණය ගැන ඇසූ තිබේරියස්, ‘‘සැබවින්ම ඔහු නින්දිත මරණයක් ලැබුවේ ය; ඔහුගේම දෙඅත් ඔහුව නොවලකා තිබේ," යි කීවේ ය. ඉන්පසුව ඔහුගේ මෘත ශරීරය රැගෙන මහ කළු ගලක ඔතා ටයිබර් [Tiber] නදියට දැමූ නමුත්, එහි ඇතිවූ තදබල ජල කැළඹීම නිසාවෙන් සිරුර නැවත ගොඩගෙන රොන් [Rhone] ගඟේ ගිල්වා දමා ඇත. එහිදී ඔහුගේ ශාප ලත් අවිවේකී භූතාත්මය ජලය දැඩි ලෙස කැළඹූ හෙයින් එතැනින් ද ගොඩගෙන ලොසානියා නමැති ප්‍රාන්තයේ මිහිදන් කිරීමට ගෙන යත් දී මහත් පීඩා ඇති වූයෙන් ඔවුන් බිය වී එම සිරුර ස්විස්ටර්ලන්තයේ ජන ශුන්‍ය පිලාතුස් කඳුගැටය අසල පිහිටි ඔබරැල්ප් නමැති කුඩා විලක පතුලේ දමා ඇත. එතැන් පටන් එම විල පිලාතුස් විල යන නමින් හඳුන්වයි. 

පිලාත්ගේ අවිවේකී ආත්මය පිළිබඳ මතය
මෙම විල මත බොහෝ විට චණ්ඩ මාරුත ඇති වන බව කියවේ. එනිසා එහි අවට පෙදෙස් වල ජීවත් වන මිනිසුන් අතර ජනප්‍රවාදයක් පැතිරී පවතී. එනම්, සෑම වසරකම මහ සිකුරාදා දින පිලාත්ගේ අවිවේකී ආත්මය නැගිට විල මැද හිඳ පැසුණු කෙස් විදහා ගෙන (විනිශ්චයාසනයේ සිටිය දී රෝමන් ආණ්ඩුකාරයෙකු අඳින) දම් පැහැති උතුරු සළුව හැඳ තම දෑත් සෝදන බව ය. ක්‍රිස්තු වර්ෂ 1585 දී එක් පූජාප්‍රසාදීවරයෙක් තවත් පිරිසක් සමග මෙම පිලාතුස් කඳුවැටියේ පිහිටි කුඩා විල වෙත ගොස් එයට ගල් විසි කරමින් එයට බැස එහි ජලය කළඹමින් පිලාත්ගේ අවිවේකී ආත්මය කැඳවීමට උත්සහ කළේ ය. එහෙත් එහිදී කිසිඳු ඵලයක් සිදු නොවීය. භූතාත්මයක් දක්නට නොවීය. පසුව ක්‍රිස්තු වර්ෂ 1594 දී තවත් පිරිසක් එම විලේ ජලය බැස යාමට කපොල්ලක් කැපූහ. එහෙත් ඉන් කිසිඳු බලපෑමක් නොවූ බැවින් ක්‍රිස්තු වර්ෂ 1980 දී එම කපොල්ල වසා දැමීමට යෙදුණි. විදේශික සංචාරකයන් තවමත් මෙම ස්ථානය නැරඹීමට යන නමුත් එම පෙදෙස ජන ශුන්‍යව පවතී. 

පිලාත් පිළිබඳ පොදු මතය වන්නේ ඔහු ආත්මාර්ථකාමී, ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති, දුර්වල හෘදය සාක්ෂියක් හිමි අයෙකු බව ය. රෝම පාලකයා වශයෙන් ජේසුස් වහන්සේව නිදොස් කොට නිදහස් කිරීමේ සම්පූර්ණ හැකියාව හා බලය ඔහු සතුව තිබිය දීත් ඔහු දුබලයෙකු ලෙසින් ක්‍රියා කළේ ය. ඔහු දුන් වැරදි තීන්දුව නිසා ඔහු මහත් සේ කම්පනයෙන් හා සිත් තැවුලෙන් ඉදිරි කාලය සිටින්නට ඇත. කෙසේ වුව ද කිතුනුවන් වැඩි දෙනා පිලාත්ව දුෂ්ඨයෙකු ලෙසින් දුටුවත් ඇතැම් කිතුනු සභා ඔහුව සාන්තුවර ස්වභාවයෙන් සලකා ඇත. ඊට හේතු වන්නේ ඔහු ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීමෙන් ලොවට ගැළවීම ලබා ගැනීමට සහය වූ නිසා යැයි සිතති. ඉතියෝපීය ඔර්තොඩොක්ස් තෙවහෙඩෝ සභාව [Ethiopian Orthodox Tewahendo Church] ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී පිලාත්ව සාන්තුවරයෙකු ලෙසින් සලකා ඇත. එසේම අසම්මත ක්‍රියා පොතක් ලෙසින් සලකන පිලාත්ගේ ක්‍රියා පොතේ [Acts of Pilate] සඳහන් ඔහු පිළිබඳ ඇතැම් වාර්තා ද ඊට පාදක වී ඇත.

---------------------------- වැඩිදුර සටහන් -------------------------
[1]  "Britannica Online: Pontius Pilate". Britannica.com. Retrieved 21 March 2012. Jona Lendering. "Judaea". Livius.org. Retrieved 21 March 2012.
[2] Marcello De Antoniis. "Cenni Storici" (in (Italian)). Bisenti.eu. Retrieved 21 March 2012.
[3] ඔර්තොඩොක්ස් කතෝලික සභාව ක්ලෝඩියාව සාන්තුවරියක් ලෙසින් සලකන්නී ය. ඇය ජේසුස් වහන්සේව අදහා ගෙන මරණිය මුදන්නට පිලාත් ඉදිරියෙහි ප්‍රබල ලෙස මැදහත්වීම ඊට හේතුව ය.
 [4]"Caligula" (Latin: Gaius Julius Caesar Augustus Germanicus;) was the popular nickname of Gaius (31 August 12 AD – 22 January 41 AD), Roman emperor from 37 AD to 41 AD. Caligula was a member of the house of rulers conventionally known as the Julio-Claudian dynasty. Caligula's father Germanicus, the nephew and adopted son of Emperor Tiberius, was a very successful general and one of Rome's most beloved public figures. The young Gaius earned the nickname Caligula (meaning "little soldier's boot", the diminutive form of caliga, hob-nailed military boot) from his father's soldiers while accompanying him during his campaigns in Germania.
[5] Agapius, Universal History trans. A. Vasiliev, 1909.   
[6] මතෙව් 9:20-22 හා ලූක් 8:43-48 හි සඳහන් වන, ජේසුස් වහන්සේ ශ්‍රී සළුව ඇදහිල්ලෙන් ස්පර්ශ කොට සුවය ලැබූ මහ ලේ රෝගී කාන්තාව මෙම වෙරෝනිකා බව එව්සේබියස්ගේ ශාසනික වාර්තා [Eusebius: Ecclesiastical History,1.7, c. 18] වල දැක්වේ. මේ බව අසම්මත සුභාරංචි ග්‍රන්ථයක් වූ නිකදේමුස්ගේ සුභාරංචි පොතේ ද [Nicodemus 5:26] සඳහන් වේ.
Share this article :

4 comments:

  1. මුලින්ම ලිපිය ලිවීමට ඔබ ගත් වෙහෙස අගය කරන්නට කැමතී..මට ප්‍රශ්න කීපයක්ම මතු උනා.. ක්ලෙමන්ට් මහත්මයා ඒවා නිරාකරණය කරදෙනු ඇතැයි සිතනවා..

    …1.//ඊට අමතරව නිකදේමුස්ගේ සුභාරංචිය හා මාර්සියන්ගේ සුභාරංචිය වැනි අසම්මත සුභාරංචි පොත් වල ද පිලාත් ගැන සඳහන් වේ.// මේ විදිහට පිළිනොගන්නා සුභාරංචි පොත් කීපයක්ම ඇති බව මා අසා තිබෙනවා. මරිය මග්දලේනා පවා සුභාරංචියක් ලිවූ බව සඳහන්.. ඒත් ඇයි මේ සුභාරංචි නිල වශයෙන් පිළිගැනීමකට ලක්වෙන්නේ නැත්තෙ? ඒවායේ යම් අඩුපාඩුවක් නිසා සේ පිළිනොගන්නවා නම් ඇයි ඒවායින් කරුණු උපුටා දක්වන්නෙ? අනිත් කාරණාව තමයි ඒ කාලයේදී සාක්ෂරතාව අඩුකම නිසා මේ වගේ සුභාරංචි ලිවීමට බොහෝ අය පෙළඹෙවි කියලා හිතන්න පුළුවන්ද? ඒ වගේම මම අහලා තියෙන තවත් කතාවක් තමයි සමහර අය ප්‍රධාන සුභාරංචි වල කරුණුම යොදගෙන සුභාරංචි ලිව්වා කියන එක..

    …2.//කැරලි නායකයෙකු වූ බරබ්බස් ව අත්අඩංගුවට ගෙන සිර දඬුවම් නියම කිරීමෙන් ඒ බව පැහැදිළි ය.//බරබ්බස්ව සඳහන් වන්නේ කැරලි නායකයෙකු ලෙසද? නැතිනම් ස්ත්‍රී දූෂකයෙකු මංකොල්ලකරුවෙකු ලෙසද? මට මතක හැටියට නම් බරබ්බස් කියන්නෙ හොරෙක්.. ඇරත් ඔහු කැරලි නායකයෙකු නම් ජුදයින් අතර වීරයෙකුව ඉන්න ඇති.. එහෙම උනා නම් ජනතාව ඔහුව තෝරාගැනීමේ සම්භාවිතාව ඉහළයි නේද? පිලාත් එවැනි තීරණයක් ගනීද?

    …3. ජේසුස් වහන්සේ මරණය පිළිබඳ පිලාත් වෙත වාර්තාවක් යැවූ බව ඔබගේ ලිපියේ සඳහන් වෙලා තිබුණා.. ඒත් මට නම් හිතෙන්නෙ පිලාත් වැනි ආණ්ඩුකාරයෙකුට මේක තවත් එක් මරණ දඬුවමක් විතරක් වෙන්න ඇති කියලායි.. අති විශාල රෝම අධිරාජ්‍යයේ පුංචි පෙදෙසක් විසූ පුද්ගලයෙකුගේ මරණය අධිරාජ්‍යයාට වාර්තා කළ යුතු වීද? විශේෂයෙන් ජේසුස් වහන්සේ රෝම අධිරාජ්‍යයෙන් වරෙන්තු ලබා නොසිටි පුද්ගලයෙක්

    4. //එහෙත් පොදු පිළිගැනීම වන්නේ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පිලාත්ව රෝමයට ගෙන්වාගෙන ඔහුව දම්වැල් ලා සිරගත කොට දැඩි දඬුවම් නියම කළේ ඔහුව රෝමන් ආණ්ඩුකාර තනතුරට පත් කළ තිබේරියස් සීසර් බව ය.//… මේ කතාව නම් හුදෙක් ජනකතාවක් විදිහටයි මට නම් හැඟෙන්නෙ..

    පිලාත්ව සාන්තුවරයෙක් ලෙස අදහන් ආගමික කණ්ඩායම් සිටින බව ඇසුවේත් අදමයි..

    …ඔබට බොහෝම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මගේ ලිපිය කියවා එය ඇගයීම ගැන ඔබතුමාට බොහෝ ස්තුතියි. මා ලියන බ්ලොග් සටහන් ඔබ කවදත් අගය කිරීම ගැන ඉතා සතුටුයි.

      ශුද්ධ බයිබලයේ ඇතුළත් පොත් වල තිබෙන විශේෂත්වය වන්නේ එහි ප්‍රධාන කතුවරයා දෙවියන් වහන්සේ වීමත්, එය දේවානුභාවය නමැති අති විශේෂ ශුද්ධාත්ම මග පෙන්වීම එය රචනා කළ කතුවරුන්ට ලැබීමත් ය. ශුද්ධ බයිබලය අනෙක් පොත් වලින් වෙනස් වන එක් ප්‍රධාන කරුණක් මේක. ඇතැම් සුභාරංචි පොත් සහ ක්‍රියා පොත් අසම්මත ග්‍රන්ථ වශයෙන් සළකන්නේ ඒවා ලිවීමේ දී ඒවා ලියූ කතුවරුන්ට නිශ්චිත වශයෙන් ම දේවානුභාවය ලැබී තිබේද යන්න පිළිබඳ ගැටලුවයි. ඇතැම් සුභාරංචි පොත් වල ජේසුස් වහන්සේගේ චරිතය අතිශයෝක්තියෙන් වර්ණනය කර ඔවුන් වහන්සේගේ ක්‍රියාවන් අසාමාන්‍ය ලෙස දක්වා තිබෙනවා. බොහෝ විට ඒවායේ කතුවරුන් පවා අවිනිශ්චිතයි. එනිසයි ඒවා අසම්මත තත්ත්වයෙන් සළකන්නේ. කතෝලික සභාව කැල්සිඩෝන මන්ත්‍රණ සභාව, එපීස මන්ත්‍රණ සභාව හා ක්‍රි.ව. 1548 ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව මගින් දැනට පවතින ශුද්ධ බයිබලයට අඩංගු පොත් වල දේවානුභාවයත්, කතෘත්වයත් සම්මත තත්ත්වයෙන් පිළිගෙන තිබෙනවා. බොහෝ වෙනත් කිතුනු සභාවන් ද එය පිළිගන්නවා. එහෙත් කතෝලික හෝ ග්‍රීක ඔර්තඩොක්ස් නොවන ඇතැම් පෙරදිග කිතුනු සභා මෙම අසම්මත පොත් ද පූජනීය තත්ත්වයෙන් පිළිගන්නා අවස්ථා තිබෙනවා. නිදසුනක් ලෙස ඉන්දියාවේ නෙස්ටෝරියන් සිරියන් පෙරදිග සභාව තෝමස් තුමාගේ සුභාරංචිය නමැති පොතක් ජනවන්දනාවේ දී භාවිත කරනවා. මෙම කරුණ ඉතා සංකීර්ණ හා කෙටි පැහැදිලි කිරීමකින් විස්තර කළ නොහැකි දෙයක්. එසේම සුභාරංචි සම්පාදනය වූයේ කෙසේද යන්න විද්‍යාත්මකව හා විමර්ශනාත්මකව අධ්‍යයනය කළ යුතු සංකීර්ණ දෙයක්. කොටස් කිහිපයකින් යුත් ලිපි මාලාවක් මෙම කරුණ පැහැදිළි කිරීම සඳහා ලිවිය යුතු යි. ඉදිරියේ දී අවස්ථාවක් ලද හොත් මේ ගැන ලිපි පෙළක් පටන් ගන්නම්.

      බරබ්බස් ස්ත්‍රී දූෂකයෙකු ලෙසින් සුභාරංචි පොත් හතරේම සඳහන් නොවේ. මාර්ක් තුමා (15 : 7) හා ලූක් තුමා (23 : 19) බරබ්බස්ව හඳුන්වා ඇත්තේ, ‘‘රාජ්‍ය විප්ලවයේ දී මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවෙකු" ලෙසයි. ඒ බව ක්‍රියා 3 : 14 හි පේදුරු තුමාගේ දේශනයේ ද දැක්වෙනව. ජොහාන් තුමා (18 : 40) ඔහුව මංකොල්ලකරුවෙකු ලෙසින් දක්වා ඇත. බොහෝ බයිබල් විශාරදයන්ගේ අදහස බරබ්බස් සෙලට්වරයෙක් බවයි. සෙලට්වරු යනු රෝම විරෝධී ජුදෙව් ජාතිය පමණක් ශ්‍රේෂ්ඨ ය යන මතය දැරූ අන්තවාදී විප්ලවීය කණ්ඩායමකි. අන්ත ජාතිවාදියා නම් ලත් සීමොන් නමැති සෙලට්වරයෙක් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් ද සිටිය. බරබ්බස් සෙලට්වරු අතර ජනප්‍රිය පුද්ගලයෙකු වන්නට ඇත. එහෙත් ඔහු සාමාන්‍ය ජනතාව අතර දේශප්‍රේමියෙකු නොවූයේ ය. මන්ද, ඔහු සමාජය තුළ භයානක මිනීමරු මංකොල්ලකාරයෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටි බැවිනි.

      පිලාත් බොහෝ පුද්ගලයන්ට මරණ දඬුවම් පනවා ඇති. එහෙත් මෙය අසාමාන්‍ය සිදුවීමක්. රෝම නීතිය සාධාරණ යැයි සම්මතයක් රෝම අධිරාජ්‍යය තුළ පැවතුණා. හිතුමතේට දඬුවම් දීම රෝම පිළිවෙතට සම්පූර්ණයෙන් විරුද්ධයි. වරදකරුවන්ට මරණ ඬුවම දීමේ ජුදෙව් නායක පූජකවරුන් සතු වූ බලය පිලාත් විසින් අහෝසි කරන ලදුව තමා යටතට ගත්තේ එනිසයි. සිරගතව සිටි පාවුළු තුමා සීසර් අධිරාජ්‍යයාගේ විනිශ්චය ඉල්ලුවේත් එනිසයි. (ක්‍රියා 25 : 10 - 11) ජේසුස් වහන්සේ දඬුවමක් පැමිණවීමට තරම් කිසිඳු වරදක් නොකළ තැනැත්තෙකු වශයෙන් මරණයට තීන්දු කිරීමට සිදු වීම පිලාත්ට හිතට වද දුන් හෘදය සාක්ෂියට විරුද්ධ ක්‍රියාවක් වූයේ එනිසයි. පිලාත් රෝම අධිරාජ්‍ය තිබේරියස්ට තම ලිපිය ලියා යැව්වේ ඔහුගේ රාජ නියෝජිතයා ජේසුස් වහන්සේව සොයාගෙන ජුදයාවට පැමිණීමෙන් පසුවයි. මෙම ඔරිජිනල් ලිපිය වතිකාන පුස්තකාලයේ අත් පිටපත් එකතුවෙහි තැන්පත් කර තිබෙනවා. භාෂා කිහිපයකට පරිවර්තනය වී තිබෙනවා. මෙහි සම්පූර්ණ ලිපිය මා සතුව තිබෙනවා. එය පිටු 8 කින් යුතු යි.

      පිලාත් වැරදි තීන්දුවක් දීම යන්න රෝම අධිරාජ්‍යයාට අපහාසය කිරීමකි. රෝම නීතිය හෑල්ලුවට පත් කිරීමකි. පිලාත්ව රෝමයට ගෙන්වා දඬුවම් දුන්නේ මේ නිසයි. පිලාත්ට දඬුවම් නියම කිරීමත්, ඔහු සිය දිවි නසාගැනීමත් ගැන බෙහෝ ඉපැරණි ඉතිහාසඥයන්ගේ ලියවිලි වල සඳහන් වෙනව. ටැසිටස්, එව්සේබියස්, ෆීලෝ හා ජොසෙෆස් යන ඉතිහාසඥයන් නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මෙම ඉතිහාස වාර්තා ඇතුලේ යම් තරමක ජනප්‍රවාද තිබෙන්නත් පුළුවන්. නමුත් පිලාත් සිය දිවි නසාගත් බව බෙහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වූ කරුණක්.
      බොහෝම ස්තුති!
      ඔබට ජය, සතුට හා ජේසු පිහිට පතමි.

      Delete
  2. පිළිතුරුවලට බොහෝම ස්තුතියි..

    කතෝලික සභාව සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා සමහර සුභාරංචි සඟවන බවට සමහර කිතුනු සභා වගේම සමහර පොත්වලත් චෝදනා තිබෙන බව මා අසා තිබෙනවා. විශේෂයෙන් ජේසුස් වහන්සේගේ අවු. 12 -30ත් අතර කාලය තුළ සිද්ධීන්. ලිපි මාලාව කියවීමට බලා සිටිමි. :)

    …//මෙහි සම්පූර්ණ ලිපිය මා සතුව තිබෙනවා. එය පිටු 8 කින් යුතු යි. // මෙම ලිපිය පළ කිරීමට පුළුවන්ද?

    …ඔබටත් ජේසු පිහිටයි!

    ReplyDelete
  3. කතෝලික සභාව ජේසුස් වහන්සේ පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරනවා යනුවෙන් සමහර කිතුනු සභා චෝදනා කරන්නේ තම සභාව සහ තම සභාවේ ඉගැන්වීම් නිවැරදියි යන්න ලොවට පෙන්වීමට යි. ජේසුස් වහන්සේ ආරම්භ කළ ඔවුන් වහන්සේගේ ගෝල අපෝස්තුළුවරුන් හා අනුප්‍රාප්තිකයන්ගෙන් පැවත එකම එක සභාවයි මෙලොව තිබෙන්නේ. ඒ තමයි කතෝලික සභාව. අනෙකුත් සභාවන් කතෝලික සභාවෙන් වෙන්වී ගිය පුද්ගලයන් ආරම්භ කළ ඒවා. නිදසුනක්; එංගලන්ත සභාව.

    කතෝලික සභාව විශේෂයෙන් ශුද්ධ බයිබලයේ ඇතුළත් කරුණු වල සත්‍ය අසත්‍යතාව ප්‍රකාශ කරන්නේ බයිබල් විශාරදයන්ගේ විමර්ශනාත්මක මතවාද, හා කතෝලික සභා නායකයන්ගේ මතවාද විනිසුම් ඇසින් බලා කිසියම් අන්තර් ජාතික මන්ත්‍රණ සභාවක දී ගැඹුරු සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුව යි. ආවට ගියාට මෙවැනි කාර්යයක් කරන්න බැහැ.

    අනෙක් කරුණ නම්, කතෝලික සභාව ආරම්භ වූ දිනයේ පටන් පැවතී එන සභා සම්ප්‍රදායන් හා ඉපැරණි සභා පඬිවරුන්ගේ (කතෝලික සභා ශ්‍රේෂ්ඨයන්ගේ) ඉගැන්වීම් ද තිබෙනවා. ඒවා අප ගරුත්වයෙන් පිළිගන්නවා. කතෝලික සභාවේ ඉගැන්වීම් සකස් වී තිබෙන්නේ ශුද්ධ බයිබලය, ජේසුස්වහන්සේගේ ඉගැන්වීම්, අපෝස්තුළුවරුන්ගේ සභා සම්ප්‍රදාය හා සභා ශ්‍රේෂ්ඨයන්ගේ ඉගැන්වීම් පදනම් කරගෙනයි. සභා පියවරුන් ඉගැන්වීම් කර ඇත්තේ ශුද්ධ බයිබලය තුළිනුයි. හතු පිපෙන්නාක් මෙන් ලොවේ බිහි වී ඇති වෙනත් කිතුනු සභාවන්ට බොහෝ දුරට එවැනි පදනමක් නැහැ. එබැවින් ඔවුන් කරන ප්‍රකාශන පිළිගැනීමට අපහසුයි.

    පිලාත් ලියූ ලිපිය මා සතුව ඇත්තේ ඉංග්‍රීසි පරිවර්තනය යි. එය බ්ලොග් පිටුවට දැමීමට නම් සිංහලට පරිවර්තනය කළ යුතු වෙනව. එය ඉතා සියුම්ව සුපරික්ෂාකාරීව කළ යුතු එකක් බැවින් ටිකක් කල් ගත වෙනව. සියයට 80 ක් සිංහල භාෂාව යොදාගෙන ලිපි ලිවීමට මෙම බ්ලොග් අඩවි වලට නීතියක් තිබෙනවා නේ.

    දැක්වූ ප්‍රතිචාරයට හා ඇගයීමට ඔබතුමාට බෙහෙවින් තුති. ඔබට උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ජය සතුට හා සාමය පතමි. සුභ පාස්කු මංගල්‍යයක් වේවා!

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith