Home » » ශුද්ධවත් දිවි පෙවෙතකට අප කැඳවන සියළු සාන්තුවර මංගල්‍යය

ශුද්ධවත් දිවි පෙවෙතකට අප කැඳවන සියළු සාන්තුවර මංගල්‍යය

හැඳින්වීම
කතෝලික සභාව වාර්ෂිකව පවත්වන විශේෂ මංගල්‍ය අතර "සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යයට" හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එය නොවැම්බර් 1 වෙනිදාට යෙදෙයි. 4 වන උර්බන් පාප්තුමාගේ කාලයේ සිට මෙම මංගල්‍යය දිනයට විශේෂ ස්ථානයක් හිමි විය. එදින දී කතෝලික දෙව්මැදුරු වලට රැස්වන කතෝලික බැතිමතුන් සාන්තුවරයන්ට විශේෂ ගෞරවාදරයක් දක්වමින් ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා කරති. එම සාන්තුවරයන් මෙලොව ජීවත්ව සිටි කාලයේ දී කළ ධර්මිෂ්ඨ ක්‍රියාවන් හා ඔවුන්ගේ ධර්මගුණ සිහිකර තමන්ට ද එවන් දිවියක් ගත කිරීමට අවශ්‍ය දේව වරප්‍රසාද සඳහා සාන්තුවරයන්ගේ යාච්ඤාමය මැදහත්කම ඉල්ලා යාච්ඤා කරති. මේ සඳහා තිබෙන විශිෂ්ඨතම ක්‍රියාව වන්නේ එකම පවුලක් ලෙසින් දිව්‍ය පූජාවට සහභාගි වීමය. දිව්‍ය පූජාවට සහභාගිවීමකින් තොරව සියළු සාන්තුවර දිනය සැමරීමට නොහැකිය.


පෙරදිග කතෝලික සභා සම්ප්‍රදාය
කතෝලික සභාව මෙම මංගල්‍යය නොවැම්බර් 1 වෙනිදා පැවැත්වූව ද බයිසන්තියන් සම්ප්‍රදාය අනුගමනය කරන පෙරදිග කතෝලික සභාවන් (ශුද්ධාත්මයාණන් වහන්සේ අපෝස්තුළුවරුන් වෙත වැඩම කළ සිද්ධිය සමරණ) පෙන්තකොස්ත මංගල්‍යය දිනයට පසු ඉරුදින සියළු සාන්තුවර මංගල්‍යය පවත්වති. (Greek: Αγίων Πάντων, Agiōn Pantōn). මෙයට බලපෑ කරුණ වන්නේ,  4 වන ලියෝ (Leo VI "the Wise"886 - 911) නමැති බයිසන්තියන් අධිරාජ්‍යයාගේ ඉතා දැහැමි දිවියක් ගත කළ ප්‍රේමවන්ත රාජිණිය වූ තියෝෆානෝ මාර්ටිනියාක් (Theophano Martiniake)  ක්‍රිස්තු වර්ෂ 893 දී මරණයට පත් වීමෙන් අනතුරුව ඇයට ගරු කිරීමක් වශයෙන් දේවස්ථානයක් ඉදි කර ඇගේ නාමයට එය කැප කිරීමට කටයුතු කිරීමය. එහෙත් සාන්තුවරභාවයට නොඑසවූ අයෙකු වෙනුවෙන් දෙව්මැදුරක් කැප කිරීම පෙරදිග කතෝලික සභාව අනුමත නොකළ බැවින් එම රජු එම දෙව්මැදුර සියළු සාන්තුවරයන්ට කැප කළේය. මන්ද තම බිසොව ස්වර්ග රාජ්‍යයේ වෙසෙන්නේ නම් සියළු සාන්තුවරයන් සිහි කරන සෑම අවස්ථාවකම ඇයව ද ස්මරණය කෙරෙන බැවිනි. බයිසන්තියානු සම්ප්‍රදායයේ දැක්වෙන පරිදි පෙරදිග කතෝලික සභාව පැවැත්වූ "සියළු ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය" ඔහු "සියළු සාන්තුවරයන්ගේ දිනය" ලෙසින් ප්‍රකාශයට පත් කළ කියවේ.

රෝමානු කතෝලික සභා සම්ප්‍රදාය
අපරදිග ලතින් සම්ප්‍රදාය අනුගමනය කරන රෝමානු කතෝලික සභාව සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යය පැවැත්වීමට හේතුව ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස දක්වා විහිදී යන්නකි. ක්‍රිස්තු වර්ෂ 609 මැයි 13 දින 4 වන බොනිෆස් පාප්තුමා (Pope Boniface IV) ආසිරි ගන්වා දේව මාතාවන් වහන්සේට හා සියළු ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන්ට  කැප කිරීමට (dedicatio Sanctae Mariae ad Martyres) යෙදුණු ඉපැරණි සියළු දේවතාවුන්ගේ රෝමානු දෙවොල (Pantheon of Rome) තුළ (වම් පස රූපය) සියළු ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන් සිහිකර වාර්ෂිකව මංගල්‍යයක් පැවැත්විණි. එය පවත්වා ඇත්තේ සෑම වසරකම මැයි 13 දින දී ය. 
ජූලියස් සීසර්ගේ කැලැන්ඩරයට අනුව (දකුණු පස රූපය - ජූලියස් සීසර්ගේ රෝමානු කැලැන්ඩරය) මැයි 9, 11 හා 13 එවකට රෝමයේ සිටි මිලේච්ඡයන් ලෙසින් හැඳින්වුණු ගොත්වරුන් මිථ්‍යා දෘෂ්ඨික ආගම් අදහමින් "ලෙමුරේලියා" (Feast of Lemuralia or Lemuria) යන නමින් දේවතා මංගල්‍ය උත්සවයක් පවත්වා ඇත. මා පෙර ලිපියක සඳහන් කළ ආකාරයට ඇලෙරික්ස්, ලොම්බාර්ඩ් වැනි නායකයන් යටතේ ශුද්ධ රෝමයට ගොත්වරුන්ගේ මිලේච්ඡ ආක්‍රමණ එල්ල වීමෙන් අනතුරුව පදිංචි වූ ඔවුන් ශිෂ්ඨ සම්පන්න සදාචාරාත්මක ජීවිත ක්‍රමයකට මග පෙන්වීමේ වගකීම පැවරුණේ කතෝලික සභාවට ය. කතෝලික ධර්මය වැළඳගත් ඔවුන්ගෙන් සමහරු තම ඥාතීන්ගේ පැරණි මිථ්‍යා දෘෂ්ඨික ආගමික උත්සව පැවැත්වුණු දොවොල වලට ඇදී ගියහ. එදින දී මිසදුටුවන් කර ඇත්තේ ඔවුන්ගේ ජීවිත වලට බලපෑම් කරන බියකරු මළගිය ප්‍රාණයන් සිහිකර ඔවුන්ගෙන් තම ජීවිත වලට හා නිවෙස් වලට විය හැකි හානි වලින් ආරක්ෂා වීමට ක්‍රියා කිරීමය. එසේම ඔවුන් එම දින වල අස්වනු මංගල්‍යයක් ද පවත්වා ඇත. මෙම මිථ්‍යා දෘෂ්ටික සැමරීම් වලට කතෝලික මංගල්‍ය පිළිවෙත සම්බන්ධ නොවනු පිණිස නොවැම්බර් 1 වෙනිදා එය පැවැත්වීමේ මූලික පියවර ගත්තේ තෙවන ග්‍රෙගරි පාප්තුමා (Pope Gregory III, 731-74) ය.‍ සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යය නොවැම්බර් 1 වෙනිදා වඩාත් පුළුල් ලෙස පැවැත්වීමට කටයුතු කෙරුණේ චාර්ලිමන් (King Charlemagne, 768 - 814) ප්‍රංශ රජු‍ගේ කාලයේ පටන් ය. ඔහුගේ පුත්‍ර ලුවිස් රජුගේ කාලයේ දී 4 වන ග්‍රෙගරි පාප්තුමා (Pope Gregory IV) එවකට සිටි රදගුරුවරුන්ගේ අනුමැතිය ඇතිව නොවැම්බර් 1 වෙනිදා සියළු සාන්තුවර දිනය පැවැත්විය යුතු බවට නියම කළේය. එවක් පටන් මෙම මංගල්‍ය එදිනට පැවැත්වෙයි.


රෙපරමාදු සභා සම්ප්‍රදාය
රෙපරමාදු ක්‍රිස්තියානිය පැතිරී ඇති රටවල් කලින් කතෝලික ධර්මය ඇදහූ බැවින් මෙම මංගල්‍යය පැවැත්වූවත් රෙපරමාදු ධර්මයට හැරීමත් සමගම එය ඔවුන්ගේ ජනවන්දනා කැලැන්ඩරයෙන් ඉවත් විය. ඇතැම් රෙපරමාදු කිතුනු සභා ඔවුන්ගේ සාන්තුවරයන්ව නොවැම්බර් පළමු ඉරුදින සිහිපත් කරති. එක්සත් මෙතෝදිස්ත සභාව එවැන්නකි. ඔවුහු ඔවුන්ගේ සාන්තුවරයන් පමණක් නොව තම සභාවේ මළ ගිය සියළු දෙනාව සමරති. එහෙත් ඔවුන් සාන්තුවරයන්ට තම ජනවන්දනා වත් පිළිවෙත් තුළ විශේෂ ස්ථානයක් නොදෙන බැවින් එය සාමාන්‍ය සැමරුමකට පමණක් සීමා වේ. ඔවුන්ගේ දේවස්ථාන සාන්තුවර නම් වලින් නම් කෙරුණ ද එය සාමාන්‍ය මංගල්‍යයක් ලෙස සැලකේ.

සියළු සාන්තුවර මංගල්‍ය දිනයේ වැදගත්කම


මාර්මියන් තුමාගේ කෘතියක (Blessed Abbot Marmion's book, Christ in His Mysteries,) සඳහන් වන ආකාරයට ක්‍රිස්තුස් වහන්සේ සියළු සාන්තුවරයන්ගේ මහිමාන්විත කිරුළ ය. ("Christ the Crown of All the Saints."මන්ද සාන්තුවරයන්ට එම තත්ත්වයට පත්වීමට හැකියාව ලැබුණේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතාදර්ශය අනුව ක්‍රියා කරමින් ඔවුන් වහන්සේගේ බලය තම දිවිය තුළ අත්දැකීම නිසා ය. මා පෙර ලිපියක සඳහන් කළ පරිදි මුල් කතෝලික සභා යුගයේ ශුද්ධවරයන් තම ජීවිත පරදුවට තබා ධර්ම ප්‍රචාරයේ යෙදුණේ ද, රෝම නීතියට බිය නොවී ක්‍රියා කරමින් සිය ජීවිතය පූජා කළේ ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම බලය හා ප්‍රේමය අත්දුටු බැවිනි. ජේසුස් වහන්සේගෙන් පසුව ධර්මය උගන්වමින් ඉදිරියට ගෙන ගියේ ද, කතෝලික සභාව ගොඩ නැංවීමෙහි නිරත වූයේ ද, කතෝලික සභාව කළ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් නොයෙකුත් වේදභේදයන් හා වැරදි ඉගැන්වීම් වලින් ආරක්ෂා කළේ ද, කතෝලික සභාවට නොයෙකුත් අනුශාසනා කරමින් සභා සම්ප්‍රදායක් ගොඩ නැගවේ ද මෙම සාන්තුවරයන් වෙති. පේදුරු තුමා හා පාවුළු තුමා වැනි අපෝස්තුළුවරුන් ද, මුල් කිතුනු සභා යුගයේ සිටි බොහෝ වීරෝධාර කතෝලිකයෝ ද ප්‍රාණ පරිත්‍යාගී වෙමින් සභාව ගොඩ නගන අතර, සාන්ත අම්බ්‍රොස්, සාන්ත ඔගස්ටින්, සාන්ත තෝමස් ඇක්වයිනාස් වැනි අය කතෝලික සභාවට විවිධ ඉගැන්වීම් මගින් සභා සම්ප්‍රදායක් ගොඩ නැගීමට දායකත්වය දුන්නෝ ය. කතෝලික සභාව ගොඩ නැගුණේ ප්‍රධාන වශයෙන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය, ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ ජීවිත පූජාවෙන් කළ ක්‍රියාවන් හා පසුකාලීන ශුද්ධවරයන්ගේ අමිල ඉගැන්වීම් පදනම් කොට ගෙනය. එබැවින් මෙම සාන්තුවරයන්ගේ මංගල්‍යය දිනයක් පවත්වා ඔවුන්ට ගරු කිරීම, ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා කිරීම සෑම කතෝලිකයෙකුගේම පරම යුතුකමකි.  රෝමානු කතෝලිකයන්ට මෙදින ඉතා වැදගත් දිනයක් වශයෙන් සලකා දිව්‍ය පූජාවට සහභාගි වෙමින් ආගමානුකූලව සැමරීමට රෝමානු කතෝලික සභා නීති සංග්‍රහය (Canon Law) අංක 1247 මගින් නියම කර ඇත. මිථ්‍යා දෘෂ්ටිකයන් හා අදේවවාදීන් අද්භූත ආත්ම දිනය සමරණ අතර කතෝලිකයන් දිව්‍ය පූජාවට සහභාගි වෙමින් ස්වර්ගයෙහි වැඩ සිටින සාන්තුවරයන්ගේ ගුණ සිහිකර දෙවියන් වහන්සේට තුති පැසසුම් දෙති. එබැවින් සියළු සාන්තුවර දිනය සැමරීමට තිබෙන හොඳම මග එදින දිව්‍ය පූජාවට සහභාගි වෙමින් තම උත්මාචාරය පුදකර සිටීම ය. (God is wonderful in His saints. Praise the Lord in His angels and in His saints!) 

මෙදින පණිවුඩය
ක්‍රිස්තු වර්ෂ 2008 නොවැම්බර් 1 දින 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්තුමා දිව්‍ය පූජාව පවත්වා සාන්ත පේදුරු චතුරඝ්‍රය අසල රැස්ව සිටි බැතිමතුන් ආසිරි ගන්වමින් අනුශාසනා කළේ, කතෝලිකයන් සියළු දෙනා ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන්ගේ හා වෙනත් ආකාර වලින් තම ජීවිතය දෙවියන් වහන්සේට කැප කළ ඇදහිළිවතුන්ගේ ජීවිතාදර්ශය අනුගමනය කළ යුතු බවය. අතීතයේ සිටි බෙහෝ කතෝලිකයන්ට නොයෙකුත් හිංසා පීඩා, බාධක හා අභියෝග වලට මුහුණ පෑමට සිදුවූ බවත්, ආත්මයෙන් දුර්වල වූ ඔවුන් පාප පරීක්ෂා වලින් පහර කෑ අතර සමාජ සාධාරණත්ව‍ය සඳහා පිපාසිත වූ බවත්, අවිහිංසකයන් වූ ඔවුන්ට අවසානයේ ක්‍රෑරතර මරණයේ අත්දැකීම වැළඳගැනීමට සිදුවූ බවත් පාප්තුමා පෙන්වා දුන්නේය. එහෙත් අධෛර්යයට පත් නොවූ ඔවුන් ජේසුස් වහන්සේ වෙනුවෙන් සියල්ල දරා ගත්හ. අප සාන්තුවරයන්ට ගරු බුහුමන් දක්වන්නේ මේ නිසා ය. මාර්මියන් තුමාගේ ඉහත කී කෘතියේ මෙසේ දැක්වේ. 
"අප සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යය සමරණ විට සාන්ත ඔගස්ටින් තුමා තුළ රැව්දුන් දේව පණිවුඩය නිතර මතකයට නංවා ගැනීම වඩා සුදුසුය. එනම්, 'අප ශුද්ධවන්තභාවය අත්පත් කර නොගැනීමට හේතු කවරේද?' (Cur non poteris quod isti, quod istae?) යන්න ය. 'මට ඒ සඳහා බොහෝ බාධා තිබෙනවා, මා නොයෙකුත් පාප පරීක්ෂා වලට බැඳී හසුවී සිටිනවා, ඒනිසා මට කවදාවත් ශුද්ධවන්තභාවය කරා යාමට නොහැකියි,' යනුවෙන් කෙනෙකු කිව හැකිය. එනමුදු අප මතක තබා ගත යුතු විශේෂ කරුණක් නම්, සියළුම සාන්තුවරයන්ට ද අපට පැමිණෙන සියළු බාධක, අභියෝග හා දුෂ්කරතා පැමිණි බවත්, විවිධ පරීක්ෂා වලට මුහුණ පෑමට සිදුවූ බවත් හා බොහෝ විට ඔවුන් අපටත් වඩා දුෂ්කරතා වලට මුහුණ දුන් බවත්, එහෙත් කිසිම දිනෙක 'ශුද්ධවන්තභාවය මා සඳහා නොවේ' යැයි කිසි දිනෙක නොකී බවත් ය."
 එතුමාගේ එම අවවාදය නූතන කතෝලික පරපුරට ද මහත් අභියෝගයකි. ශුද්ධවන්තභාවය කරා යාමට සෑම කතෝලිකයෙකුට ම දෙවියන් වහන්සේගෙන් විශේෂ කැඳවීමක් හා ආරාධනයක් ඇත. සභාවක් වශයෙන් සියළු සාන්තුවර මංගල්‍යය පවත්වන අප එය එක් දිනයක සැමරීමකට සීමා නොකර, අපගේ කිතුනු ජීවිත ශුද්ධවන්ත ලෙසින් දෙවිඳුන්ට ප්‍රසන්න ලෙසින් ගත කිරීමට හැකි ආකාර සොයමින් ඒ සඳහා යොමු වීමට පියවර ගත යුතුය. ඒ සඳහා දේව වචනය දිනපතා කියවීම හා ඒ අනුව ජීවිතය ගත කිරීමට උත්සහ කිරීම, ක්‍රිස්තුස් වහන්සේ තුළ විද්‍යාමාන වූ වටිනාකම් අප තුළ ඇති කර ගැනීමට උත්සහ කිරීම, දිනපතා පෞද්ගලික යාච්ඤා කිරීම, ජන වන්දනා වත් පිළිවෙත් වලට අර්ථවත්ව සහභාගිවීම, හැකිතාක් ලෞකික ලෝකයේ තෘෂ්ණා වලින් ඈත් වීමට උත්සහ කිරීම, දේව ප්‍රසාද නිධාන අර්ථවත්ව ලබා ගැනීම, තම හෘදය සාක්ෂියට අනුව වැඩ කිරීම හා සමාජය තුළ අන් අය සමග සුහදතාවයෙන් පරාර්ථකාමී ජීවිතයක් ගත කිරීම ශුද්ධවන්තයෙකු ජීවිත මාර්ගයේ අපව ගෙන යන කරුණු වෙති.     



Share this article :

4 comments:

  1. බොහොම හොඳ වැඩක් .. දිගටම ලියන්න .. (මම මේ තීම් එකටයි.. අකුරුවල පාටටයි නන් ආස නෑ :) )

    ReplyDelete
  2. ගොඩක් වටිනා ලිපියක්!

    ReplyDelete
  3. ඇන්ටන් මහත්මාට,
    ‍මගේ බ්ලොග් අඩවියේ මෙම ලිපිය කියවා දැක්වූ ඔබතුමන්ගේ වටිනා අදහස් වලට බොහෝ ස්තුති!
    ජේසු පිහිටයි!
    ධර්මෝපදේශකයා....

    ReplyDelete
  4. සඳමාල් මහත්මාට,
    මගේ බ්ලොග් අඩවියේ මෙම ලිපිය කියවා ඔබතුමන් දැක්වූ අවංක අදහස් වලට තුති පුදන අතර, ඔබගේ අවවාදය ද උතුමි කොට සලකමි.
    ජේසු පිහිටයි!
    ධර්මෝපදේශකයා.....

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith