Home » » ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ පණිවුඩය

ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ පණිවුඩය


''ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; දිව්‍ය ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක." (1 පේදුරු 3 : 18) 
නැවත මරණයක් නොලබන ලෙස සදාකාල ජීවිතයට ශාරීරිකවත්, ආධ්‍යාත්මිකවත් මළවුන්ගෙන් උත්ථාන වූ පළමු මිනිසා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේය. මෙලොව මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේ දී ජේසුස් වහන්සේ, නායින් නුවර වැන්ඳඹුවගේ පුත්‍රයා (ලූක් 7 : 11 - 16), (පහත පළමු රූපය) ජුදෙව් ධර්මශාලා ප්‍රධානියෙකු වූ ජායිරස්ගේ දියණිය (ලූක් 8 : 40 - 42, 49 - 56), (පහත දෙවන රූපය) සහ ලාසරස් (ජොහාන් 11 : 38 - 44) (පහත තෙවන රූපය) යන මරණයට පත් වූ තිදෙනෙකුට නැවත ප්‍රාණය ද දුන් නමුත්, ඔව්හු පසුකලෙක නැවත මරණයට පත් වූහ. 
 
 ජොප්පාවේ සිටි දොර්කස් හෙවත් 'මුවදෙන' යන අර්ථය ඇති තබීතා නමැති රෝගීව මිය ගිය කන්තාවට පේදුරු තුමා නැවත ප්‍රාණය ලබා දුන්නේය (ක්‍රියා 9 : 36 - 41). ත්‍රෝවසය නමැති ප්‍රදේශයේ රාත්‍රියේ පාවුළු තුමාගේ දේශනා අසමින් සිටිය දී නිදිබරව තුන්වන මහළින් පහතට වැටී මිය ගිය යුතිකස් නමැති තරුණයාට පාවුළු තුමා ප්‍රාණය ලබා දුන්නේ ය (ක්‍රියා 20 : 7 - 12). එහෙත් මේ සියලු දෙන පසුකලෙක නැවත මරණයට පත් විය. 


පේදුරු තුමා ​තබීතාට නැවත ප්‍රාණය දීම (වම)
හා 
පාවුළු තුමා යුතිකස්ට ප්‍රාණය දීම (දකුණ)


තිෂ්බීය එලියා නම් දිවැසිවරයා වැන්ඳඹුවකගේ මරණයට පත් වූ පුත්‍රයාට ප්‍රාණය දීමක් ගැන පුරාණ ගිවිසුමේ සඳහන් වේ (1 රාජාවලිය 17 : 20 - 23). (වම් රූපය) 

ෂුනම්මිය ස්ත්‍රිය නමැති කාන්තාවගේ මැරුණු පුත්‍රයාට එලීෂා නම් දිවැසිවරයා ප්‍රාණය දී ඇත (2 රාජාවලිය 4 : 31 - 37). (දකුණු රූපය) 


 ගල් සොහොන් ලෙනක තැන්පත් කර තිබූ එලීෂාගේ මළ සිරුර ස්පර්ශ වීමෙන් මළ මිනිසෙකුට ප්‍රාණය ලැබුණි (2 රාජාවලිය 13 : 20 - 21). (වම් රූපය) එහෙත් ඔව්හු සියල්ලෝ පසුකලෙක නැවත මරණය අත්දුටුහ. එහෙත් ජේසුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානවීම යන්න ඊට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. "උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බව අපි දනිමු" (රෝම 6 : 9). "පාපය නම් දේව නීතිය කඩ කිරීම ය" (1 ජොහාන් 3 : 4b). "එක මනුෂ්‍යයෙකු (ආදම්) නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදුව පවතී" (රෝම 5 : 12). එබැවින් ".....ආදම් පටන් මෝසස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේ ය" (රෝම 5 : 14a). මිනිසෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට ද මරණයට මුහුණ දීමට සිදු වූයේ ආදි මව්පියන්ගේ පාපයට හිමි දඬුවම හා විපාකය මරණය නිසා ය. "උන් වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මළ සේක" (රෝම 6 : 10). පාපය මෙන් ම මරණය ද දේව සම්බන්ධතාවය බිඳ දැමීය. ජේසුස් වහන්සේට ප්‍රථම මරණයට පත් වූ යහපත් පුද්ගලයන්ට ගැළවීම හෝ සදාතන ජීවනය හිමි කර ගැනීමට නොහැකි වූයේ එනිසා ය. ආදම්ගේ පාපය නිසා 'ස්වර්ගයේ දොරටුව වැසීම'(1) හෙවත් 'සදාකාලික ජීවිතය අහිමිවීම' සිදුවීම ය.  එහෙත් පව්කාර මිනිසාට ඉන් ගැළවීම ලබාගෙන, දෙවියන් වහන්සේ මිනිසාට දීමට ආශාවෙන් සිටින අමරණීය (සදාකාල) ජීවිතය ලබා දීමට තිබෙන දේව සැලැස්මේ ප්‍රධාන පියවර, ජේසුස් වහන්සේව මරණයෙන් උත්ථානයට පත් කිරීම ය. 
උත්ථානය යනු, දිරාපත් වන සුළු දුර්වල මිනිස් ශරීරය දේව බලයෙන් හා දේව වරප්‍රසාදයෙන් පූර්ණව නොදිරන අමරණීය තත්ත්වයකට පරිවර්තනය වීමය.(2)  ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේට කීකරු වී දේව සැලැස්ම සම්පූර්ණත්වයට පත් කිරීමේ මෙසියානු කාර්යය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් වහන්සේට ලැබුණු දේව තිළිණය මළවුන්ගෙන් උත්ථාන කිරීම ය. ජේසුස් වහන්සේ ම තම බලයෙන් උත්ථාන වූවා නොව, දෙවියන් වහන්සේ එතුමන්ව උත්ථාන කළ සේක. මේ බව ඉතා පැහැදිළිව පේදුරු තුමා තම දේශන වල දී පෙන්වා දී ඇත.(3) ජේසුස් වහන්සේගේ උත්ථානය කවදා හෝ දිනක ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමේ දී අපව ද මහිමාන්විත ලෙස උත්ථාන කරන බවට හා සදාකාල ජීවිතය පිළිබඳ සහතිකයයි.(4) 
ජේසුස් වහන්සේගේ උත්ථානය යන්න විද්‍යාත්මකව පැහැදිළි කළ හැකි දෙයක් නොවේ. හේතුව එය විද්‍යාවේ සීමාවන් ඉක්මවා යන ගැඹුරු සත්‍යයක් බැවිනි. ජේසුස් වහන්සේගේ උත්ථානය හා එහි ගැඹුරු අර්ථය අපට තේරුම් ගත හැක්කේ අපගේ ඇදහිල්ල (විශ්වාසය) තුළිනි. කිතුනු ඇදහිල්ලේ පදනම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය යි. මේ පිළිබඳව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
"මළවුන්ගෙන් උත්ථානවීමක් නැත්නම්, ක්‍රිස්තුස් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම්, අපගේ දේශනා කිරීම නිරර්ථකය; ඔබගේ ඇදහීමත් නිරර්ථකය.....ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහුය. එපමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන මිය ගිය අය ද සදහට ම විනාශ වී ඇත....." (1 කොරින්ති 15 : 13 - 14,17 - 18)  
කිතුනුවන් වශයෙන් අප අදහන්නේ මැරී කුණු වී පොළොවට දිරි පත් වූ පුද්ගලයෙකුව නොව, අපව ගළවා ගැනීමට තම තරුණ ජීවිතය කෲර වේදනාත්මක මරණයකට කැප කර මළවුන්ගෙන් නැවත නැගිට සිටි දෙවියන් ව ය. අපෝස්තුළුවරුන් තම ජීවිතයෙන් ඒ ගැන සාක්ෂි දැරූහ.(5) ප්‍රධාන ගෝලයා වුවත් සාක්ෂි දැරීමට ශක්තියක් නැතිව සිටි පේදුරු තුමා, මුල් කාලයේ දී කිතුනුවන්ට විරුද්ධ ව සිටි සාවුල් හෙවත් පාවුළු තුමා වැනි පුද්ගලයන් සිත් පැහැදී දේව බලයෙන් ශක්තිමත් වී තම ජීවිත පූජාවෙන් ක්‍රිස්තුස් වහන්සේ ව දේශනා කරමින් සාක්ෂි දැරුවේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දුටු නිසා ය. එනිසා එක් අතකින් කිතුනුවෙකු වීම යන්න අහිංසක ආඩම්බරයකට හේතුවකි. වඩාත් වැදගත් කරුණ වන්නේ උත්ථාන වූ ජේසුස් වහන්සේව අදහා ගැනීම ය. ජේසුස් වහන්සේ අපගේ එකම ගැළවුම්කරුවාණන් බව ද, ඔවුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව ද පිළිගෙන ඇදහීම, ගැළවීම ලබා ගැනීමේ පළමු පියවර ය.  "ඔබ 'ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ය' යි ප්‍රසිද්ධියේ පුකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය", (රෝම 10 : 9) යනුවෙන් පාවුළුතුමා පවසන්නේ එනිසා ය.
 අද උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිද? ඔවුන් වහන්සේව එදිනෙදා ජීවිතය තුළ අපට හමුවේ ද?
  • ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහස නැවත පූජාසනයක් මත සිදු කරන දිව්‍ය පූජා යාගයේ සෑම කොටසක් තුළින් ම(විශේෂයෙන් දිව්‍ය සත්ප්‍රසාදය තුළ) උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිය.
  • දිව්‍ය සත්ප්‍රසාදය ඇතුළු සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) අදහිල්ලෙන් හා සූදානමකින් යුතුව ලබන සෑම අවස්ථාවක ම අප ලබා ගන්නේ, අපට හමුවන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව ය.
  • සුභාරංචි පොත් වලින් ක්‍රිස්තු චරිතය අධ්‍යයනය කරන, ඔවුන් වහන්සේගේ ඉගැන්වීම් හදාරන සෑම විට ම එයින් අපට අනාවරණය වන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
  • ජේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් කතා කරන විට අප අසල අදෘශ්‍යමානව වැඩ සිටින්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
  • සෑම වසරකම පාස්කු මංගල්‍යය සැමරීම තුළ අප ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දකිමු.
අයහපතෙන් ඈත් වී, සැබෑ ජීවිත වෙනසක් ඇති කරගෙන උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ බලය අත්දකින්න. ශුද්ධාත්ම බලය තුළ ජීවත් වන්න. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය හා සාමය ඔබට ලැබේවා! ආලේලුයියා! 

 

----------- වැඩිදුර සටහන් ----------- 
(1) ".....එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය. (උත්පත්ති 3 : 22b)
"......තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක." (උත්පත්ති 3 : 24b)
(2) පාවුළු තුමාගේ මේ පිළිබඳ ඉගැන්වීම නම්, "...... වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි. වළලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි, උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වළලනු ලබන සිරුර දුබල වූවකි, උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි;" (1 කොරින්ති 15 : 42 - 43) යන්නය.
(3) "එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක" (ක්‍රියා 2 : 24) "දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක" (ක්‍රියා 2 : 32)
(4) " .....එහෙත් සැබවින් ම ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ." (1කොරින්ති 15 : 20)
(5) " දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු." (ක්‍රියා 2 : 32)


Share this article :

0 comments:

Post a Comment

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith