Recent Posts

පාද නමස්කාරයේ වගතුග - ඍජු විමසීමක්

ජේසුස් වහන්සේගේ දක් ප්‍රාප්තිය මෙනෙහි කිරීමේ විවිධ ක්‍රම අතුරෙන් පාද නමස්කාරයට විශේෂ ස්ථානයක් හිමිවේ. පාද නමස්කාරය ලතින් භාෂාවෙන් "Via Crucis"යන නමින් හඳුන්වයි. පාද නමස්කාරයෙන් මෙනෙහි කරන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතයේ අවසන් පැය කිහිපයයි. මෙය යාච්ඤාමය භක්ති අභ්‍යාසයක් බවට පත් වූයේ, අසිසියේ සාන්ත ප්‍රැන්සිස් තුමාගේ යාච්ඤා භක්ති අභ්‍යාස සමගය. කිතුනු සභාවේ මුල්කාලයේ දී මෙය වසරේ විවිධ ඕනෑම කාලයක පැවැත්වූ නමුත්, පසුව එය චතාරික කාලයට පමණක් සීමා විය.
 කල්වාරි මාර්ගයේ වන්දනා ගමන් යාමේ හා භක්ති අභ්‍යාස පැවැත්වීමේ අරමුණ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරමින් ඊට සම්බන්ධ වෙමින් එම දුක් පීඩා වල අර්ථය අපගේ ජීවිත වලට එක්කර ගනිමින් එයින් ලැබෙන දේව වරප්‍රසාද (පූර්ණ ඵල) හිමි කර ගැනීමටය.
පාද නමස්කාරයට මූලික පදනම යෙදුණේ කොන්ස්ටන්ටයින් රෝම අධිරාජ්‍යයාගේ පාලන කාලයේ පටන් ජේසුස් වහන්සේගේ කල්වාරි ගමන සිදු වූ (පිලාත්ගේ නිවසේ සිට කල්වාරි කන්ද දක්වා) ස්ථාන නැරඹීමට රැස්වූ බැතිමතුන්ගේ භක්ති අභ්‍යාස හා වන්දනා චාරිත්‍ර තුළිනි.* ක්‍රිස්තු වර්ෂ 1458 හා 1462 දී ජෙරුසලමේ කල්වාරි මාර්ගය හා එහි ස්ථාන නැරඹීමට පැමිණි විලියම් වෙයි නමැති ඉංග්‍රීසි ජාතිකයා කිතුනු බැතිමතුන් කල්වාරි මාර්ගයේ යාච්ඤාව හා විවේකය සඳහා නැවතුණු ස්ථාන ජේසුස් වහන්සේ‍ගේ කල්වාරි ගමනේ වන්දනා ස්ථාන බවට පත්වූ බව දක්වයි.
  පසු කලක දී ජේසුස් වහන්සේගේ කල්වාරි ගමන හා සම්බන්ධ සිදුවීම් රූප, කැටයම් හා ප්‍රතිමා මගින් පිළිබිඹු කිරීමට ක්‍රියා කර ඇත.ජේසුස් වහන්සේගේ කල්වාරි ගමන රූප, කැටයම් හා ප්‍රතිමා ඇතුළත් කර කල්වාරි ආකෘති සෑදීමට බලපෑවේ ඊශ්රායෙලයට නිතර ආක්‍රමණ එල්ල කළ ඉස්ලාම් අන්තවාදී සෙල්ජුක් තුර්කිවරුන්ගෙන් වන්දනා කරුවන්ට සිදු වූ විවිධ හිරිහැර, අඩන්තේට්ටම් හා මරණ වෙති. මෙම අවාසනාවන්ත යුධමය තත්ත්වයෙන් ශුද්ධ වූ දේශය (ඊශ්රායෙලය) ආරක්ෂා කර ගැනීම සඳහා කුරුස යුද්ධ ඇති විය. එනිසාම කල්වාරි ගමන් මග වන්දනාවේ යාම හා භක්ති අභ්‍යාස පැවැත්වීම අනාරක්ෂිත, භයානක දෙයක් විය. එබැවින් බොහෝ කිතුනු රටවල් එම කල්වාරි ගමන් මාර්ගයේ ඇති විශේෂ ස්ථාන වල ආකෘති තම රටේ සකස් කිරීමට යොමු විය. * 
ජේසුස් වහන්සේගේ කල්වාරි මාර්ගයේ කැටයම් හා ප්‍රතිමා සෑදීමේ පුරෝගාමීන් වූයේ ප්‍රැන්සිස්කන්වරුන්ය. ක්‍රි.ව. 11 - 13 දක්වා සියවස් වල ඔවුන් කල්වාරි කුරුස මාර්ගයේ රූප හා කැටයම් නිර්මාණයට විශේෂ දායකත්වයක් දුන්හ. මෙම කල්වාරි කුරුස මාර්ගයට "Via Dolorosa" යන නම යෙදේ. ක්‍රි.ව. 15 සියවස වනවිට ඉතා ජනප්‍රිය වූ මෙම කැටයම් කලාව  යොදා ගෙන යුරෝපයේ වෙනත් රටවල (විශේෂයෙන් ජර්මනියේ හා නෙදර්ලන්තයේ) දේවස්ථාන ආශ්‍රිතව එළිමහනේ ජේසුස් වහන්සේගේ කල්වාරි මාර්ගයේ ආකෘති සකස් විය.* මේ අනුව ඒවා "කුරුසියේ මග" (Way of the Cross) හෙවත් "පාද නමස්කාරය" යන නමින් ප්‍රසිද්ධියට පත් විය. මෙම කල්වාරි ගමනේ ආකෘති (හෙවත් පාද නමස්කාර ස්ථාන) ඉදි කිරීමට හේතුව වන්දනාව සඳහා ජෙරුසලමට යාමට නොහැක බැතිමතුන්ට භක්ති අභ්‍යාස පැවැත්වීමට ඉඩ සලසා දීමය.  පසුකලක දී ප්‍රැන්සිස්කන්වරුන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව 1686 දී 11 වන ඉනසන්ට් පාප්තුමා (Pope Innocent XI,1667-69) ඔවුන්ගේ දෙව්මැදුරු තුළ පාද නමස්කාර ස්ථාන ඉදි කරීමට අවසර දුන්නේය. තවද, පාද නමස්කාරය සඳහා ජෙරුසලමට යාමෙන් ලැබෙන පූර්ණ ඵල ම ප්‍රැන්සිස්කන්වරුන්ගේ  දෙව්මැදුරු වල පාද නමස්කාර ආකෘති හමුවේ භක්ති අභ්‍යාස පවත්වන අයට ද ලැබෙන බව ප්‍රකාශ කළේය. ක්‍රි.ව. 1694 දී 12 වන ඉනසන්ට්  පාප්තුමා (Pope Innocent XII, 1691-1700) එම පූර්ණ ඵල තහවුරු කර ස්ථිර කළේය. ක්‍රි. ව. 1726 දී 13 වන බෙනඩික්ට් පාප්තුමා (Pope Benedict XIII, 1724-30) එම පූර්ණ ඵල  ඕනෑම පාද නමස්කාර ස්ථානයක නිසි වන්දනා භක්ති අභ්‍යාස පවත්වන සියලු  බැතිමතුන්ට ලැබෙන බව ද ප්‍රකාශ කර ඇත. ක්‍රි.ව.1731 දී 12 වන ක්ලෙමන්ට් පාප්තුමා (Pope Clement XII, 1730-40) කතෝලික සභාවේ සියලු දේවස්ථාන වල පාද නමස්කාර ස්ථාන ඉදි කිරීමට අවසර දුන් අතර, ඒවා "Custodian of the Holy Places" යන ධූරය දරන ප්‍රැන්සිස්කාන පූජකවරයෙකු විසින් සකස් කරන ලදුව, රදගුරු තුමෙකු විසින් අනුමත කරන ලද ස්ථාන 14 ක් විය යුතු බවද නියම කර ඇත. ක්‍රි.ව. 1857 දී එංගලන්තයේ රදගුරුවරයෙකුට එවකට සිටි 9 වැනි පියුස් ශුද්ධෝත්තම පාප්තුමා (Pope Pius IX, 1846-78) ප්‍රැන්සිස්කානයන්ගේ අවසරය හා අනුග්‍රහය නැතිව පාද නමස්කාර ස්ථාන තම දෙව්මැදුරු තුළ ඉදි කිරීමට අවසරය දී ඇත. 
පාද නමස්කාර ස්ථාන සංඛ්‍යාව පිළිබඳ ගැටලුක් ඇත. රෝමයේ දෙව්මැදුරක පාද නමස්කාර ස්ථාන ඉදි කිරීමට ආශවෙන් එම ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමට ක්‍රි. ව. 1515 දී ජෙරුසලමට ගිය රොමානෙට් බොෆින් (Romanet Boffin) නැමැත්තාට එහි සිටි ප්‍රැන්සිස්කාන තපස්වරුන් දෙදෙනෙකු පවසා ඇත්තේ, පාද නමස්කාර ස්ථාන 31 පමණ එහි ඇති බවත්, බැතිමතුන් ඉන් 19 - 25 අතර ස්ථාන සංඛ්‍යාවක් වන්දනා කරන බවත් ය. ක්‍රි.ව. 1584 දී රචිත "ජෙරුසලෙම් සීකුට් ක්‍රිස්ටි ටෙම්පෝරේ ෆ්ලොරුයිට්" (Jerusalem sicut Christi tempore floruit) නමැති කෘතියේ කතුවරයා වන ඒඩ්‍රිකෝමියස් (Adrichomius) එහි පාද නමස්කාර ස්ථාන 12 ක් හඳුන්වා දී ඇත.  විලියම්  වෙයි රචිත පොතක එය ස්ථාන 14 ක් ලෙසින් දක්වා ඇත. ක්‍රි. ව. 1799 දී වියනා හි රදගුරු පදවියේ විශේෂ පාද නමස්කාර ස්ථාන එකතුවක් දක්නට ලැබී ඇත. 
  1. ගෙත්සමනි උයනේ ජේසුස් වහන්සේගේ දුක්ඛිත යාච්ඤාව
  2. ජුදාස් විසින් ජේසුස් වහන්සේව පාවා දෙනු ලැබීම
  3. ජේසුස් වහන්සේට කස පහර දීම
  4. ජේසුස් වහන්සේට කටු ඔටුන්නක් පළඳවා නින්දා අපහාස කිරීම
  5. ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීම
  6. සිරිනියේ සීමෝන් ජේසුස් වහන්සේගේ කුරුසිය ගෙන යාමට උදව් වීම
  7. ජේසුස් වහන්සේ ට ජෙරුසලම් ස්ත්‍රීන් හමුවීම
  8. ජේසුස් වහන්සේට තික්ත කාඩිය පිළිගැන්වීම
  9. ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසීම
  10. ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත් වීම
  11. ජේසුස් වහන්සේගේ ශරීරය කුරුසියෙන් බෑම
මෙයින් ස්ථාන 5 ක් අපගේ සාම්ප්‍රදායක පාද නමස්කාරයේ දැකිය හැකිය. අනෙකුත් ස්ථාන කල්වාරි මාර්ගයට සම්බන්ධ නැති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ වෙනත් අවස්ථා හා සම්බන්ධ ඒවා වෙති. කෙ‍සේ වුව ද, නූතන සාම්ප්‍රදායික පාද නමස්කාරය තුළ පහත දැක්වෙන ස්ථාන දැකිය හැකිය.  
  1. ජේසුස් වහන්සේව පිලාත් විසින් මරණයට නියම කිරීම
  2. ජුදා වධකයන් ජේසුස් වහන්සේගේ ශ්‍රී කර පිට කුරුසිය තැබීම
  3. ජේසුස් වහන්සේ පළමුවනවර බිම වැටීම
  4. ජේසුස් වහන්සේට සිය මෑණියන් හමුවීම
  5. සිරිනියේ සීමොන් ජේසුස් වහන්සේට කුරුසිය ගෙන යාමට උදව් වීම
  6. වෙරෝනිකා නම් බැතිමත් ස්ත්‍රිය ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ රෙදි කඩකින් පිස දැමීම 
  7. ජේසුස් වහන්සේ දෙවනවර බිම වැටීම
  8. ජේසුස් වහන්සේ ජෙරුසලෙම් සත්‍රීන්ව සැනසීම
  9. ජේසුස් වහන්සේ තෙවනවර බිම වැටීම
  10. ජේසුස් වහන්සේව නිර්වස්ත්‍ර කිරීම
  11. ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසීම
  12. ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත් වීම
  13. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කුරුසියෙන් බා ‍දේව මාතාවන්ගේ ශ්‍රී උකුල මත තැබීම
  14. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ගල්ලෙනක තැන්පත් කිරීම
මෙම පාද නමස්කාර ස්ථාන වලින් 3, 4, 6, 7, 9 හා 13 යන ඒවා සුභාරංචි පොත් වල දැකිය නොහැකි එහෙත් පාද නමස්කාර භක්ති අභ්‍යාසයට ඇතුළත් ඒවා වෙති. මීට බලපෑ හේතු සාධකය නම්, මධ්‍යතන යුගයේ දී බොහෝ යුරෝපීය කිතුනු බැතිමතුන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට දැක් වූ ඉමහත් ගෞරවාදරය නිසාවෙන් සම්මත සුභාරංචි පොත් (වන මතෙව්, මාර්ක්, ලූක් හා ජොහාන්) වල සඳහන් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ සිදුවීම් වලට අමතරව අසම්ම්ත සුභාරංචි පොත් (Apocryphal Gospels) වල සඳහන් සිදුවීම් ද කියවා බලා පාද නමස්කාරයට ඈඳා ගත්හ. මේ අනුව, 
  • ජේසුස් වහන්සේ පළමුවනවර, ‍දෙවනවර හා තෙවනවර බිම වැටීම
  • ජේසුස් වහන්සේට තම මෑණියන් හමුවීම
  • වෙරෝනිකා නමැති ස්ත්‍රිය ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ පිස දැමීම
  • ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරය සිය මෑණියන්ගේ උකුල මත තැබීම
යන ස්ථාන වල සඳහන් සිදුවීම් මෙසේ අසම්මත සුභාරංචි හා බැඳුණු ඒවා වෙති.පාද නමස්කාර ස්ථාන සකස් වූ මුල් කාලයේ දීම ස්ථානයෙන් ස්ථානයට ගමන් කරන අතර වාරයේ දී ගායනා කිරීම සඳහා "Stabat Mater" නමැති ලතින් ගීතිකාව ලියැවුණි.* 

ඉහතින් දැක්වූ ආකාරයට බොහෝ පාප්වරුන් පාද නමස්කාර පිළිවෙතට විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත. ක්‍රිස්තු වර්ෂ 1964 ජනවාරි 4 දා 6 වන පාවුළු පාප්තුමා  ජෙරුසලමේ කල්වාරි ගමන් මග වන්දනාවේ යෙදීම විශේෂ සිදුවීමකි. එය පාප්තුමෙකු තම නිළ කාලය තුළ කල්වාරි මාර්ගයේ පාද නමස්කාර භක්ති අභ්‍යාසයක යෙදුණු ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. 

ක්‍රිස්තු වර්ෂ 1991 මහ සිකුරාදා දින දෙවන ජුවාම් පාවුළු පාප්තුමා සාම්ප්‍රදායික පාද නමස්කාර ස්ථාන වෙනුවට සුභාරංචි පොත් වලට අනුකූල පාද නමස්කාරයේ භක්ති අභ්‍යාසයක් හඳුන්වා දුණි. මෙම පාද නමස්කාර පිළිවෙත "ආධ්‍යාත්මික පාද නමස්කාරය" (Spiritual Way of the Cross) යන නමින් හැඳින් වේ. ක්‍රිස්තු වර්ෂ 2007 දී එය 16 වන බෙනඩික්ට් පාප්තුමා විසින් කිතුනු බැතිමතුන්ට පොදුවේ හෝ පෞද්ගලිකව පැවැත්විය හැකි සුභාරංචිගත භාවනාත්මක භක්ති අභ්‍යාසයක් ලෙසින් අනුමත කරන ලදි. එම පාද නමස්කාර ස්ථාන මෙසේය.
  1. ජේසුස් වහන්සේ ගෙත්සමනි උයනේ මරණාසන්න දුකින් පියාණන් වහන්සේට යාච්ඤා කිරීම (මතෙව් 26 : 36 - 46)
  2. ජුදාස් ස්කාරියොත් විසින් ජේසුස් වහන්සේව පාවා දෙනු ලැබීම හා අත්අඩංගුවට ගැනීම (මතෙව් 26 : 47 - 56)
  3. සැන්හෙඩ්‍රින් ජුදා මන්ත්‍රණ සභාව විසින් ජේසුස් වහන්සේව ප්‍රතිකේෂ කරනු ලැබීම (මතෙව් 26 : 57 - 66)
  4. පේදුරු තුමා විසින් ජේසුස් වහන්සේව ප්‍රතිකේෂ කරනු ලැබීම (මතෙව් 26 : 69 - 75)
  5. පිලාත් ජේසුස් වහන්සේව මරණයට නියම කිරීම (මතෙව් 27 : 15 - 26)
  6. ජේසුස් වහන්සේට කසයෙන් තළා කටු ඔටුන්නක් දමා නින්දා අපහාස කිරීම (මතෙව් 26 : 67 - 68, 27 : 26b, 27 - 31)
  7. ජේසුස් වහන්සේ කුරුසිය තම කර තබාගෙන කල්වාරියට ගමන් කිරීම (ජොහාන් 19 : 16 - 17)
  8. ජේසුස් වහන්සේට සිරිනියේ සීමොන් කුරුසිය ගෙන යාමට උදව් වීම (මාර්ක් 15 : 21)
  9. ජේසුස් වහන්සේ ජෙරුසලම් ස්ත්‍රීන්ව සැනසීම (ලූක් 23 : 27 - 31)
  10. ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසීම (මාර්ක් 15 : 24 - 28)
  11. ජේසුස් වහන්සේ මනස්ස්ථාපනය වූ සොරාට දේව රාජ්‍යය පොරොන්දු වීම (ලූක් 23 : 39 - 43)
  12. ජේසුස් වහන්සේ තම මව වන මරිය තුමියව තම ප්‍රේමවන්ත ශ්‍රාවකයාට (ජොහාන්) බාර දීම හා ප්‍රේමවන්ත ශ්‍රාවකයාව තම මවට බාර දීම (ජොහාන් 19 : 25 - 27)
  13. ජේසුස් වහන්සේ කුරුසිය මත මරණයට පත්වීම (උකුත් වීම) (ලූක් 23 : 44 - 46)
  14. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ගල්ලෙනක තැන්පත් කිරීම (ලූක් 23 : 50 -56)

දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පාද නමස්කාර භක්ති අභ්‍යාසයට විශේෂ ගෞරවාදරයක් දක්වා ඇත. රෝගී වීමට පෙර එතුමා සෑම වසරකම වාගේ රෝමයේ කොලෝසියමේ කුරුසියක් ඔසවා ගෙන යමින් පාද නමස්කාරය පවත්වා ඇත. එතුමා ක්‍රමයෙන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙත් දී පවා පලස්තීන කඳුකර පෙදෙසක පාද නමස්කාර ‍පිළිවෙතකට සහභාගී වී ඇත. ක්‍රි.ව. 2005 තම මරණයට දින කිහිපයකට පෙර තම පෞද්ගලික දෙව්මැදුරේ පාද නමස්කාරය සිදු කර ඇත. 
පාද නමස්කාරය පැවැත්වීමේ අරමුණ විය යුත්තේ කුරුසියක් කර තබාගෙන ජේසුස් වහන්සේ ගිය කල්වාරි ගමන සිහිපත් කිරීම හෝ සැමරීම පමණක් නොවිය යුතුය. එය තුළින් අපට ඉදිරිපත් කරන ප්‍රේමයේ පණිවුඩය අවබෝධ කරගෙන තම ජීවිතය යහපත් ලෙසින් වෙනස් කර ගනිමින් ශුද්ධවන්ත ප්‍රේමයේ ජීවිතයකට පදනමක් ඇති කර ගැනීමය. "පාද නමස්කාරය" යන්න එක් කාලයකට පමණක් සීමා වූවක් නොවිය යුතුය. ජේසුස් වහන්සේ මුහුණ දුන් දුක් ප්‍රාප්තියේ අවස්ථා අද සමාජය තුළ අපට හමුවන විවිධ පුද්ගලයන් තුළින් අප අත්දකින බව තේරුම් ගත යුතුය. නූතන මිනිසා මුහුණ දෙන එම අසාධාරණ, පීඩිත අවස්ථා වෙනස් කිරීමට කැපවීම නූතන පාද නමස්කාරයේ අර්ථය විය යුතුය.   
--------------------------------------------------------------------------------
* කිතුනු බැතිමතුන් ජෙරුසලමේ කල්වාරි මාර්ගය වැද පුදා ගැනීමට යාමට බලපෑ හේතු සාධක දෙකකි. 
  • දේව මාතාවන් වහන්සේ ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව තම පුතුගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරමින් නිතර කල්වාරි මාර්ගයේ ගමන් ගත් බවට වන සාම්ප්‍රදායික විශ්වාසය.
  • ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ විසූ සාන්ත ජෙරෝම් තුමා කල්වාරි ගමන පිළිබඳ කිතුනු බැතිමතුන්ට දුන් දේශනා.
* පස්වන සියවසේ සිටි බොලොඤ්ඤාවේ සාන්ත පෙට්‍රොනියස් රදගුරුතුමා (Saint Petronius Bishop of Bolongna) ඉදි කළේ යැයි සැලකෙන බොලොඤ්ඤාවේ සාන්ත ස්තේපන් තාපසාරාමයේ (Monastery of San Stefano at Bolongna) "හීරුසලෙම්" (Hierusalem) නම් ස්ථානයේ ජෙරුසලමේ ඇති විශේෂ ස්ථාන නිරූපණය කරන කුඩා දෙව්මැදුරු (Chapel) සමූහයේ එවැනි කැටයම් දැකිය හැකිය. ක්‍රි.ව. 1420 දී භාග්‍යවන්ත අල්වාරේස් (Blessed Alvarez) නමැති දොමිනිකාන තපස්වරයා ශුද්ධ වූ දේශයේ සිට පැමිණ කොර්දෝවා (Cordova) හි දොමිනිකාන තාපසාරාමයේ කුඩා දෙව්මැදුරු කිහිපයක් ඉදි කර ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය පෙන්නුම් කරන කැටයම් කිහිපයක් සකස් කළේය. එසේම, දිළිඳු ක්ලාරා (Poor Clare) තාපස පැවිදි පන්තියේ තපස්වරියක වූ භාග්‍යවන්ත යූස්ටෝචියා (Eustochia) මෙසීනා (Messina) ඇගේ කන්‍යාරාමයේ එවැනිම කැටයම් කිහිපයක් කර වූවාය. 

* ජේසුස් වහන්සේගේ කල්වාරි ගමන දැක්වෙන මෙම ආකෘති වලට සම්මත නිශ්චිත සිදුවීම් (පද නමස්කාර ස්ථාන) නොවීය. නිදසුනක් ලෙස දක්වතොත් ජේසුස් වහන්සේගේ කුරුසියේ බරින් බිම ඇද වැටීමේ ස්ථාන 7 ක් තිබී ඇත. පසුව ඉන් 4 ක් ම ඉවත් කර ඇත. එසේම, විවිධ පාද නමස්කාර ස්ථාන 7 - 37 අතර ප්‍රමාණයක් සළකුණු කර තිබී ඇත.  

* මෙය සිංහලයෙන් 
        "දේව කන්‍යා නිමල මවුනේ 
          ඔබගේ කුමරා දැරුව වනවල්
          මා හෘර්දයේ සන් කළ මැනව" යනුවෙන් ගායනා කෙරේ.  එසේම, ක්‍රි.ව. 1587 දී රෝමයේ සුවල්ලාර්දෝ (Zuallardo) නමැත්තා විසින් ඒ ඒ ස්ථාන වල දී කළ හැකි යාච්ඤා පොතක් සකස් කර ඇත. 

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith