Recent Posts

රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය

කිතුනු ආගමික ඉගැන්වීම් නාට්‍ය රංගනය මගින් මිනිස් මනසට කා වැද්දවීම සඳහා වේදිකාව මත රඟ දැක්වීම ශ්‍රී ලංකාවට පැමිණියේ 16 වන සියවසේ පෘතුගීසි ධර්මදූත පූජකවරුන්ගේ පැමිණීමත් සමගය. විශේෂයෙන් ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා යොදා ගත් එක් ඉගැන්වීම් ක්‍රමවේදයක් වූයේ නාට්‍ය රඟ දැක්වීමය.  "අල්ලා ගත් රටවල මිනිසුන්ගේ ආත්මය විනිවිද යාමට උචිත ආනුභාව සම්පන්න වූත්, මෘදු ගුණයෙන් සමන්විත වූත් ආයුධය වූයේ නාට්‍යය යි" යනුවෙන් ලුසියානා ස්ටේගාඤ්ඤෝ පිච්චියෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා පවසා ඇත.(1)
  
                                                                          ජේසුස් වහන්සේ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම
                                                                                           පහත රූපයෙන් පෙන්වයි
පෘතුගීසි ධර්මදූතයන් ශ්‍රී ලංකාවට ගෙන ආ නාට්‍ය සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකින් යුතු ය.
  • කිතුනු ආගමික පෙරහැර හා කිතුනු ආගමික උත්සව වල දී පෙන්වනු ලැබූ 'ජනවන්දනා නාට්‍ය' (මේවා අතර "පාස්කු නාට්‍ය" විශේෂයෙන් කැපී පෙනෙයි.)
  • කතෝලික ධර්මය ඉගැන්වීම අරමුණු කොට ගෙන රඟ දැක්වූ ධර්මෝපදේශ නාට්‍ය 
යනාදිය වෙති. මෙම නාට්‍ය අතරින් මෙම ලිපියට පදනම් කර ගන්නේ "පසං නාටක" හෙවත් "පාස්කු නාට්‍ය" පිළිබඳ විමසීමක් කිරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් Passion Play යන නමින් හඳුන්වන මෙම නාට්‍ය "පූජා කර්ම නාට්‍ය", "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නම් වලින් ද හඳුන්වයි. 13 වන කිතුනු සියවසේ සිට පෘතුගාලයේ පැවති මෙම "පාස්කු නාට්‍ය" යුරෝපයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්ප සම්ප්‍රදායක් බිහි කිරීමට සමත් වූවකි. අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා පෙන්වා දුන් අකාරයට මෙම නාට්‍ය වලට "පාස්කු" යන නම යෙදුණේ, පෘතුගීසි භාෂාවේ "පාස්සු" යන නම ඇසුරෙනි. "පාස්සු" යන වචනයේ අර්ථය "ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සුරුවම් නොහොත් ප්‍රතිමා මගින් පෙන්වීම" යන්නය.(2)

පාස්කු සංදර්ශනය සඳහා යොදා ගන්නා 
ජේසුස් වහන්සේගේ සුරුවමක ‍සේයා රුවක්
ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු සිද්ධිය (දුක්විඳීම, මරණය හා උත්ථානය) මහා ක්‍රිස්තියානි අභිරහසක් (A great Christian Mystery) හා ප්‍රාතිහාර්යක් බව මුල් කාල වල සිටම කිතුනු විශ්වාසය හා පිළිගැනීම විය. ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ එම පාස්කු සිද්ධිය දෘශ්‍ය කාව්‍ය ආකාරයෙන් පෙන්නුම් කර, කිතුනු බැතිමතුන්ගේ භක්ත්‍යාදරය හා විශ්වාසය තව තවත් වැඩි කිරීමත්, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අත්දැකීම කිතුනුවාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස ඔහුගේ ජීවිතය තුළට කා වැද්දවීමත්, එමගින් සැබෑ ජීවිත වෙනසක් ඇති කරවීමත් මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වීමේ අරමුණු විය. මෙම පාස්කු ජනවන්දනා නාට්‍ය ‍සෑම එකක්ම වාගේ ලියැවී ඇත්තේ, ශුද්ධ බයිබලය පදනම් ‍කොට ගෙනය. මන්ද, චතාරික කාලයේ ජනවන්දනාවට විශේෂයෙන් මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට කිතුනු බැතිමතුන්ව ගැඹුරින් යොමු කරවීමය. මේ නිසා ඇතැම් පාස්කු නාට්‍ය දීර්ඝ ඒවා විය. පසුකාලයේ දී මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට සරිලන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය රඟ දැක්වීම පමණක් සිදු කර ඇත. අද බොහෝ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා දින ඉදිරිපත් කරන්නේ පාස්කු නාට්‍ය වලින් ගත් සංශෝධනය කළ කොටස් ය. 
                                                                      පාස්කු නාට්‍යයක අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම
පාස්කු නාට්‍ය මගින් කතෝලික ධර්මය ඉගැන්වීමට ක්‍රියා කළ ධර්මදූතයන් අතර ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් කැපී පෙනෙති. ඔවුන් අතරින් ජේසු නිකායිකයන් නාට්‍ය පෙන්වීම පිළිබඳ ප්‍රවීණයෝ වෙති. විදේශ රටවල ධර්ම ප්‍රචාරය සඳහා යාමට බලාපොරොත්තු වන සෑම ධර්මදූතයෙක් ම නාට්‍ය පුහුණුවක් ලැබීම ඔවුන්ගේ ආගමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් විය. මේ සඳහා පෘතුගාලයේ හා ඉතාලියේ නාට්‍ය පුහුණු පාසල් පිහිටුවා තිබුණි. පෘතුගාලයේ සිට ආසියානු රටවලට නැව් වලින් යාත්‍රා කිරීමේ දී පෙර පුහුණුවක් වශයෙනුත්, එහි මගීන්ගේ රසාස්වාදය පිණිසත් ජේසු නිකායික පූජකවරුන් නාට්‍ය රඟ දක්වා ඇති බව ඔවුන් පෘතුගාලයට යැවූ ලිපි වල සඳහන්ව ඇත. 
පාස්කු නාට්‍යයක ජේසුස් වහන්සේට වධ හිංසා පැමිණවීම
මෙම පාස්කු නාට්‍ය වලින් බොහෝමයක් දෙව්මැදුරු ආශ්‍රිතව රඟ දක්වා ඇත. ඇතැම් ඒවා "පැරිෂ් පාසල්"(3) වල රඟ දක්වා ඇත. ඇතැම් කතෝලික දෙව්මැදුරු අසල ස්ථිර රංගන වේදිකා ඉදි කර තිබූ බව ලන්දේසි පූජකවරයෙකු වූ පිලිප්පුස් බල්දේයුස් තුමා ඔහුගේ කෘතියේ සඳහන් කර ඇත.(4) 
ශ්‍රී ලංකාවේ මුල්කාලීන පාස්කු නාට්‍ය සම්පූර්ණයෙන් ම වාගේ රඟ දක්වා ඇත්තේ සුරුවම් ප්‍රතිමා හා රූකඩ භාවිතයෙනි. රූකඩ නාට්‍ය කලාවේ ආරම්භය පාස්කු නාට්‍ය යැයි කිව හැකි තරමට ම මේවා ඉපැරණිය. පාස්කු නාට්‍ය රඟ දැක්වීමට යොදා ගත් රූකඩ වර්ග තුනක් (3) දක්නට ලැබී ඇත. එනම්,

  • නූල් භාවිතයෙන් නටවන රූකඩ
  • කෝටු භාවිතයෙන් චලනය කරවන රූකඩ හා 
  • නූල් හා කෝටු භාවිතයෙන් රඟ දක්වන රූකඩ 
යනුවෙනි. මෙම නූල් රූකඩ ඇද ඇත්තේ (අම්බලන්ගොඩ රූකඩ මෙන්) වේදිකාවේ ඉහළ සිට නොව වේදිකාවේ යට පිහිටි සැඟවුණු කොටසක සිටය. ජීවමාන මිනිස් ශරීර ප්‍රමාණයෙන් යුක්ත මෙම රූකඩ අලංකාර ලෙස පල්ප වලින් සකසා ඇති අතර, පහළ කොටස රඟ දැක්වීමේ පහසුව සඳහා පිදුරු පිරවූ ගෝනි රෙදි වලින් නිම කර තිබී ඇත. පසුකාලීනව ජේසුස් වහන්සේ හා මරියතුමියගේ චරිත හැර අනෙක් චරිත ජීවමාන නළු නිළියන් විසින් රඟ දක්වා ඇත. මෙසේ සුරුවම් වලින් පණ ගැන්වුණු පාස්කු නාට්‍ය තුළට ජීවමාන නළු නිළියන් එක් වීමට බලපෑ හේතු කිහිපයක් ඇත. එනම්,

  • දිගු කාලයක් භාවිත කළ සුරුවම් අබලන්වීම නිසා ඒවා නිසි ලෙස රඟ දැක්වීමට යොදා ගැනීමේ අපහසුව ඇති වීම
  • මෙම සුරුවම් ක්‍රියා කළේ නූල් සූත්තර ක්‍රමයට නිසා ඒවා නිසි ලෙස හැසිරවීමට දන්නා දක්ෂ ශිල්පීන් ක්‍රමයෙන් අඩු වී යාම
  • මෙම සුරුවම් හා එමගින් ඉදිරිපත් කළ පාස්කු කථන්දරය දිගු කලක් පෙන්වීම නිසා ප්‍රේක්ෂකයන් ඒවා හොඳින් දනියි. එනිසා බලාපොරොත්තු වූ දේව පණිවුඩය එමගින් ලබා දීමට නොහැකි වීම
  • ජීවමාන නළු නිළියන් යොදා ගැනීමෙන් වසරින් වසර කථා පිටපත අළුත් කිරීමටත්, ජවනිකා වල නවතාවයක් ඇති කිරීමටත් හැකි බව පෙනී යාම
  • සුරුවම් භාවිතයෙන් කරන පාස්කු සංදර්ශන වලට වඩා ඉතා සාර්ථක අන්දමින් හා වඩාත් සිත් කාවදින සුළු ආකාරයට ජීවමාන නළු නිළියන් මගින් කළ හැකිවීම

යනාදිය දැක්විය හැකිය. නාට්‍යයට අවශ්‍ය පසුතලය හා ඇතැම් චරිත කොටස් නිරූපණය කර ඇත්තේ පසුබිමෙන් එල්ලා තිබූ චිත්‍ර වලිනි. නිදසුනක් ලෙස ජේසුස් වහන්සේ දෙපස ඇණ ගැසූ සොරුන් දෙදෙනා හා ඈතින් පෙනෙන ජෙරුසලම් නගරය සිතුවමකින් පෙන්වා ඇත. 
පාස්කු නාට්‍යයේ අරමුණ ජන වන්දනාවට බැතිමතුන්ව සූදානම් කිරීම හා ඊට භක්ත්‍යාදරයෙන් සහභාගි කරවීම නිසා පසුකාලීන පාස්කු නාට්‍යයේ ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබුණි.
  • ජීවමාන නළු නිළියන් යොදා ගෙන කරන ජවනිකා රඟ දැක්වීම
  • සුරුවම්-ප්‍රතිමා යොදා ගෙන කරන රඟ දැක්වීම

    මීගමුව දූවේ ඓතිහාසික පාස්කු සුරුවම
පාස්කු නාට්‍යයේ මුල් අවස්ථාවේ සිට පිලාත්ගේ නඩු තීන්දුවේ අවසානය දක්වා කොටස් වලට ජීවමාන නළු නිළියන් රංගන දායකත්වය දෙන අතර, ඉන් පසුව එහි දෙවන කොටස වන කල්වාරි ගමනේ සිට ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත්වීම දක්වා සුරුවම් - ප්‍රතිමා භාවිතයෙන් රඟ දැක්වෙන ජනවන්දනා කොටස ඇරඹේ. පාස්කු නාට්‍යයේ මෙම දෙවන කොටස එහි ප්‍රධානම හා වැදගත්ම කොටස වන අතර, එය ජනවන්දනා භක්ති අභ්‍යාසයක් ලෙසින් රඟ දැක්වෙන නිසා මෙම පාස්කු නාට්‍ය "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නමින් ද හඳුන්වයි. එනිසා ජේසුස් වහන්සේ හා  මරියතුමිය යන චරිත සඳහා සුරුවම් උපයෝගී කර ගනියි. එහි අරමුණ ශ්‍රද්ධාව ඇති කිරීම හා මහ සිකුරාදා දින ජනවන්දනාවට ප්‍රවේශ වීමය. වර්තමානයේ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" මුල් කරගෙන ඉදිරිපත් කරන පාස්කු නාට්‍ය වල මෙම දෙකොටසම දැකිය හැකි නමුත්, කුරුසියේ ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ චරිතය හැර සෙසු චරිත සියල්ලම ජීවමාන නළු නිළියන් රඟ දක්වති. ජේසුස් වහන්සේගේ සුරුවම ජීවමාන මිනිස් සිරුරක ප්‍රමාණයෙන් යුක්තය. එය ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන සිහින් කඹ ආධාරයෙන් නූල් සූත්තර ක්‍රමයට ක්‍රියාත්මක කරයි. එම සුරුවමේ හිස, දෑස්, ‍දෙඅත් හා දෙපා එහා මෙහා චලනය කළ හැකි ආකාරයට වෙන වෙනම අවයව එකිනෙකට සම්බන්ධ කර ඇත.
                                                                                                                 වීදි සංචාරය කරන පාස්කු නාට්‍ය ජවනිකාවක්

මෙම පාස්කු නාට්‍ය වේදිකාවට පමණක් සීමා නොකොට එය ජීවමාන රංගන ක්‍රියාවලියක් බවට පත් කරමින්, ජේසුස් වහන්සේගේ කුරුස ගස බැතිමතුන් මාරුවෙන් මාරුවට කර තබා ගෙන යමින් එම ජනවන්දනා භක්ති අභ්‍යාසයට පූර්ණ දායකත්වය දෙමින් ජේසුස් වහන්සේගේ කුරුස ගමනේ අත්දැකීම විඳ ගනිති. එම පාස්කු පෙරහැරේ දී බැතිමතුන් කුරුසිය කර තබා ගෙන යන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නළුවාට එය ගෙන යාමට සහය වෙමින් සිරිනියේ සීමොන්, වෙරෝනිකා හා ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ චරිත වලට පණ පොවති. ඒ වටා හේවායන් මෙන් රඟපාන නළුවන් ද ගමන් කරති. අවසන් වශයෙන් කුරුසියේ ඇණ ගසූ ජේසුස් වහන්සේව නිරූපණය කරන්නේ සුරුවමය. පසුව කුරුසියෙන් බිමට බාන කුරුස පත් ජේසුස් වහන්සේගේ එම සුරුවම යහනක තබා ගෙන මළ බෙරය හඬවමින් පෙරහැරකින් දේවස්ථානය තුළ ගෙන එන අතර, එය සිපාචාර කිරීමට බැතිමතුන්ට අවස්ථාව සළසා දෙයි. මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා කුරුසියේ මරණය සුරුවම් භාවිතයෙන් හා රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරමින් එම ඓතිහාසික සිද්ධියට දුන් පණ පෙවීම නිසා පාස්කු නාට්‍ය ජීවමාන ස්වරූපයක් ගෙන ඇත. මහ සිකුරාදා දුක් ප්‍රාප්ති ජනවන්දනා මෙහෙයට සහභාගි වූ කතෝලිකයන් මෙම පාස්කු නාට්‍ය නරඹා කඳුළු සැලූ බව පැරණි වාර්තා වලින් පෙනී යයි. 

පසුකාලීනව පාස්කු නාට්‍ය වලට නව අර්ථ කථනයක් දීමටත්, එහි නාට්‍යමය ස්වරූපය වැඩි දියුණු කිරීමටත්, කතෝලික බැතිමතුන් තුළ භක්ත්‍යාදරය වැඩි දියුණු කිරීමටත් සහයක් වශයෙන් ගීතිකා හා කන්තාරු ඇතුළත් කෙරුණි. මෙම කන්තාරු ගීත ප්‍රධාන කොටස් දෙකකින් (2) යුතු විය. එනම්,
  • සාමූහික ගායනා - (උදාහරණ : සිරි මරණේ සාධුකාර ගීත ශ්‍රීය, බලනු බලනු සෙන‍ඟෙනි... වැනි ගී)
  • හුදෙකලා ගායනා - (වෙරෝනිකා ගයන "හඳපානේ පිපි වැටකෙයි මල සේ" ගීය)
යනුවෙනි. 
මෙම පාස්කු නාට්‍ය වලට මහත් කලඑළියක් හා නව පන්නරයක් ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා මගිනි. එතුමා පාස්කු නාට්‍ය කලාවට නවක අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් එතුමා එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පෙදෙස් වල සේවය කරද්දී එහි සිටි කාන්තාවන් මිය ගිය තම ස්වාමි-පුරුෂයාගේ දේහය ඉදිරියේ නැගූ විලාපය හා ලතෝනි හඬ තුළින් මතු වූ රිද්මය ඇසුරෙන් ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත "දේශනා නවයේ පසන් පොත" පාස්කු නාට්‍ය සමග සම්බන්ධ විය. 'ඔරතෝරියන් මිෂන් රිපෝට්' නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.
"ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමගින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස් වලින් ද, දෙදිනක හෝ තෙදිනක ගමනකින් බෝලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. ඔවුන් ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමතුන් දේශීයව සපයා හැකි පොල් අතු වලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, වෙැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, බෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වෙති. මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියළු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක්වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදි. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි ආර්යයාවෝ රවිකිඤ්ඤා වීනා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන්  සංගීතයට  ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරන ලදි. "(5)

මෙයින් පෙනී යන්නේ, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ "දේශනා නවයේ පසන් පොත" හා "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" කෘතිය පාස්කු නාට්‍ය වලට බලපෑ ආකාරයයි. පාස්කු නාට්‍ය රඟ දැක්වෙද් දී වේදිකාවේ කොණක සිටිගත් අර්ථ කථනය කරන්නකු මෙම සුරුවම් හා නාට්‍යයෙන් කියවෙන දේ පැහැදිළි කර බැතිමතුන්ට විස්තර කරයි. පාස්කු නාට්‍ය වල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ මෙම පුද්ගලයා තුළින් පසුකාලීන සිංහල නාට්‍ය වල "පොතේ ගුරාගේ චරිතය" බිහි විය.  

මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වුණු වේදිකාව භූමිකා තුනකින් එනම් ත්‍රිභාග වේදිකා වලින් යුක්ත විය. එමගින් එකම නාට්‍යයේ ජවනිකා අවස්ථා දෙකක් හෝ තුනක් එකවර රඟ දැක්වීමට හැකි විය. ප්‍රධාන ජවනිකාව මැද පිහිටි ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී දෙපස ඇති කුඩා වේදිකා වල වෙනත් ජවනිකා දෙකක් නිරූපණය විය. නිදසුනක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් සමග රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී, පිලාත් සිය බිරිඳ ක්ලෝඩියාව හමුවීම කුඩා වේදිකාවක ඉදිරිපත් කෙරේ. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම ප්‍රධාන වේදිකාව මත රඟපාන අතර, ජුදාස් නායක පූජක කායාපස්ව හුමවීම අනෙක් පස රඟ දැක්වේ. එසේම මෙම පාස්කු වේදිකාවක ඉදිරිපස මුහුණත අඩි 25 ක් පමණ උස්වූ අතර, පිටිපස කොටස වියළි පොල් අතු වලින් ආවරණය කර ඇත. එම නිසා මෙම වේදිකා "පාස්කු මඩු" නම්වේ. එසේම වේදිකා භූමිය පොළොවේ සිට අඩි 6 ක් පමණ උස් විය. වේදිකාව යට කොටසේ සිට රූකඩ සුරුවම්-ප්‍රතිමා මෙහෙයවමින් එහා මෙහා ගෙන යමින් රඟ දක්වන නාට්‍ය ශිල්පීන්ව නොපෙනෙන පරිදි ආවරණය කර ඇත. එහෙත් ස්ථිර පාස්කු වේදකා දැකිය හැක්කේ පිටිපන පමණි. එය පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි 
කර ඇත. 

ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය කලාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ මුහුදුබඩ ප්‍රදේශ වලය. ධර්මදූතයන් අත පැවති මෙම පාස්කු මඩු හා සංදර්ශන වල නීත්‍යානුකූල භාරකාරත්වය හා අයිතිය පසුව එම ප්‍රදේශයේ සිටි පවුල් කිහිපයකට හෝ ප්‍රදේශවාසීන්ට හිමි විය. කෙසේ වුව ද මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ "කන්ද උඩරට පාස්කු නාට්‍ය" සම්ප්‍රදායක් දැකිය හැකිය. එහෙත් මෙරට වඩාත් ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය වන්නේ, පිටිපන, මීගමු දූව, බොරලැස්ස, යන ප්‍රදේශ වල රඟ දක්වන නාට්‍ය වෙති. මීට අමතරව මග්ගොන, දියලගොඩ, පයාගල, කලමුල්ල, වාද්දුව හා මොරටුව යන පෙදෙස් වල ද, හලාවත, බෝලවත්ත, කම්මල, නයිනමඩම, පුත්තලම යන ප්‍රදේශ වල ද, මඩකලපුව, මන්නාරම- පේසාල, යාපනයේ පේනඩට්රිප්පු, අරිප්පු, වත්කාල් හා සිලාවතුරෙයි යන පුදේශ වලද ද්‍රවිඩ පාස්කු නාට්‍ය රඟ දක්වා ඇත.

ශ්‍රී ලංකේය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා පාස්කු නාට්‍ය වලින් ලැබුණු සහය අප්‍රමාණය. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවක් බිහි කිරීමටත්, වර්ධනය වීමටත් පාස්කු නාට්‍ය වලින් විශාල දායකත්වයක් ලැබී ඇත. එහෙත් පාස්කු නාට්‍ය කලාව ක්‍රමයෙන් අප සමාජයෙන් වැළලී යන බවක් පෙනේ. එබැවින් මෙම ශ්‍රී ලාංකේය පාස්කු නාට්‍ය කලාව ගැන පර්යේෂණ පවත්වමින් එය රැක ගනිමින් ඒ තුළින් ඉස්මතු වන වටිනාකම් අනාගත පරපුර වෙත රැගෙන යාම කිතුනු අප සැමගේ යුතුකම නොවන්නේ ද?  


--------------------------------------------------------------------------------
(1) Luciana Stegagno Picchio, Historia do teatro Portuguese, Edicao Portugues, Lisboa, 1964, page 160 
(2) අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය, පිටුව 34
(3) "පැරිෂ් පාසල්" යනු, ‍කතෝලික දෙව්මැදුරු වලට යාබදව ඉදි කර තිබූ කතෝලික පාසල්ය. මේවා ඉංග්‍රීසි භාෂාවෙන් Parish Schools නම්වේ. මේවායේ කතෝලික ධර්මය, සංගීතය, ගණිතය, පෘතුගීසි හා ලතින් භාෂා, සාරධර්ම වැනි විෂයයන් පෘතුගීසි පූජකවරුන් විසින් උගන්වනු ලැබ ඇත. 
(4) "There are Stages attached to almost all their Churches there being a spacious for the Church of Telipole  (Tellippalai - Jaffna) built by Portugesche Padres, Jesuiten where some Spiritual dramas are wont to be represented to the people on their holy days." - Phillipus Baldaeus, A true and exact description of the great island of Ceylon, The Ceylon Historical Journal, Vol. VIII, July 1958 - April 1959, page 320 
(5) Rev. S.G. Perera, Orathorian Mission Report, 1957, page 16. ඉංග්‍රීසියෙන් සිංහලයට නැගීම ක්ලෙමන්ට් විසිනි.        

ගොබ් ඉරු දින සම්ප්‍රදාය

ගොබ් ඉරු දිනය වනාහී, ශුද්ධ වූ සතිය (Holy Week) ආරම්භ කරන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට(1) සම්බන්ධ වීමට අපව යොමු කරවන චතාරික කාලයේ අවසන් ඉරු දිනයයි. මේ අනුව ශුද්ධ වූ සතිය ආරම්භ වන චතාරිකයේ 6 වන ඉරු දිනය ගොබ් ඉරු දිනය වේ. එය "දුඛෝත්සව ඉරු දින" (Passion Sunday) (2) නමින් ද, ඇතැම් රටවල ‍(ජේසුස් වහන්සේව ජෙරුසලම් නුවරට "හෝසන්නා" කියමින් පිළිගත් නිසා) "හෝසන්නා ඉරු දින" (Hosanna Sunday) යන නමින් ද හඳුන්වයි. මෙය ක්‍රිස්තු වර්ෂ 1513 දී මෙක්සිකෝ මුහුදු බොකු අර්ධද්වීපයේ "ෆ්ලොරිඩා ඉරුදින" (Florida Sunday) යන නමින් ද හඳුන්වා ඇත.  

ගොබ් ඉරු දින සිදුවන වත් පිළිවෙත් හා සාම්ප්‍රදායික කිතුනු ආගමික ක්‍රියාවන් අතර, 
  • පූජාප්‍රසාදිතුමා විසින් ගොබ් කොළ ආසිරි ගැන්වීම 
  • ආසිරි ගැන්වූ ගොබ් කොළ රැගෙන බැතිමතුන් පූජාප්‍රසාදීතුමා හා සමග ගීතිකා ගයමින් දේවස්ථානය වටා පෙරහරින් ගමන් කිරීම 
  • ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය රැගත් දීර්ඝ සුභාරංචිය සංවාද - දෙබස් ආකාරයෙන් ප්‍රකාශ කිරීම 
  • කිතුනුවන් ආසිරි ගැන්වුණු ගොබ් කොළ මගින් කුරුස සාදා ඒවා තම නිවසේ විවිධ ස්ථාන වල සවි කිරීම
යනාදිය කැපී පෙනෙයි. ගොබ් ඉරු දිනය තුළ මෙම ගොබ් අතු (ඇතැම් රටවල ෆාම් අතු හෝ ඔලිව් අතු) රැගෙන පෙරහැරකින් වීදි සංචාරය කිරීම ඇරඹුණේ ජෙරුසලමට වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අනුගමනය කළ චාරිත්‍රයක් නිසාවෙනි. පසුව එය කතෝලික සභාවේ පිළිවෙතක් බවට පත් විය. පසුව එම ආසිරි ගැන්වූ ගොබ් කොළයෙන් කුරුස ලාංඡනයක් සාදා නිවසේ සුදුසු ස්ථානයක සවි කෙරේ.(3)
 
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී ඒජීරියා (Egeria) නමැති ප්‍රදේශයේ බැතිමතුන් ගොබ් ඉරු දින ජෙරුසලම් දෙව්මැදුරට පෙරහැරකින් ගමන් කිරීමේ චාරිත්‍රයක් පැවතී ඇත. ක්‍රිසතු වර්ෂ 8 වන සියවසේ දී භාවිත වූ "ගැලිකන් ජූජා පොතේ" (Gallican Bobbio Missal) ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීය විජයග්‍රහණය සංකේතවත් කිරීම පිණිස ගොබ් අතු ආසිරි ගැන්වීමේ පිළිවෙතක් ඇතුළත් ව තිබී ඇත. 
  
මධ්‍යතන යුගය වන විට යුරෝපයේ පැවති ගොබ් ඉරු දින පිළිවෙතකට අනුව, ගොබ් ආසිරි ගැන්වූ වහාම නගරය වටා යන පෙරහැරේ ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන පිණිස ශුද්ධ වූ සුභාරංචි පොත් ඉතා ගරු ගාම්භීරව රැගෙන ගොස් ඇත. පෙරහැරේ එක් වන්දනා ස්ථානයක දී නැවතී තේවාචාර්යවරයෙකු (Deacon) එම සුභාරංචි ග්‍රන්ථය පෙරලා ජේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් ජෙරුසලමට ඇතුළුවීමේ සිද්ධිය කියවා එහි කොටස් ගායනය කරයි. මෙය සිදු කරන්නේ කුරුස ප්‍රතිමාවක් ඉදිරිපිටය. රෙදි කඩකින් ඔතා ඇති එම කුරුස ප්‍රතිමාවේ එකී රෙදි කඩ විවර කර, සියලු පැවිදි හා පූජකවරුන් පැමිණ එය සිපාචාර කර, එම කුරුසිය පාමුල ඔවුන් රැගෙන ආ ෆාම් අතු රිකිල්ලක් තබා වන්දනා කරති. නැවත එම පෙරහැර දේවස්ථානයට ළඟාවන තුරු එම කුරුස ප්‍රතිමාව විවෘතව තබයි.(4)
   
වර්තමානයේ ජෙරුසලමේ සිටි ප්‍රැන්සිස්කාන පැවිදි පූජකවරුන් සියලු දෙනා උදෑසන දී ජේසුස් වහන්සෙ කොටළු නාම්බාව සොයා ගත් බෙත්පාගය නමැති ප්‍රදේශයට රැස්වී, කොටළු නාම්බෙකු මත පූජා වස්ත්‍රයක් (Pontifical Robe) අතුරා ජෙරුසලමේ සිටින සියලු කතෝලික බැතිමතුන් සමග ෆාම් අතු රැගෙන ජෙරුසලමට ඇතුළු වී, ජේසුස් වහන්සේගේ සොහොන් ගෙය රැගත් දේවස්ථානයට (The Church of the Holy Sepulcher) පෙරහැරකින් පැමිණ දිව්‍ය පූජාව සිදු කරයි. එම දේවස්ථානයට ළඟාවන විට එහි ප්‍රධාන දොරටුව වසා තිබෙන අතර, පෙරහැර දොර ඉදිරිපිට නතර වී බැතිමතුන් ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගායනය කරයි. ඒ අතරතුර තේවාචාර්යවරයෙකු කුරුසියක් රැගෙන වසා ඇති ප්‍රධාන දොරටුව වෙත ගොස් එයට පහර දී දොර විවෘත කිරීමෙන් පසුව නැවත පෙරහැර ප්‍රශංසා ගීත ගයමින් දේවස්ථානය තුළට පැමිණේ. දේවස්ථානයේ ප්‍රධාන දොරටුව වසා තැබීමෙන් අපේ ආදි මව්පියන්ගේ පාපය නිසා ස්වර්ගයේ දොරටු වැසී ගිය බවත්, ක්‍රිස්තුස් වහන්සේ සිය කුරුසිය මගින් ස්වර්ගයේ දොරටුව විවෘත කර අපට ගැළවීම හා සදාතන ජීවනය ලබා දුන් බවත් සංඛේතාත්මකව සිහිකර ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම මේ පිළිවෙත මගින් සිදුවේ.

ගොබ් කොළ භාවිත කිරීම ශ්‍රී ලාංකේය කතෝලික අපට හඳුන්වා දුන්නේ පෘතුගීසි ධර්මදූතයන් විදේශ රටවල භාවිත වන ෆාම් අතු වෙනුවට විකල්පයක් වශයෙනි. ආසිරි ගන්වන ගොබ් කොළයෙන් කුරුස ලාංඡනය සකස් කර ඒවා අපගේ නිවෙස් වල සවි කිරීමේ චාරිත්‍රය අපට ඉගැන්වූයේ ලන්දේසි පීඩන සමයේ (ක්‍රි.ව. 1705) මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් (ක්‍රි.ව. 1676 - 1741) පියතුමා ය. මේ මගින් කිතුනු අපගේ ගැළවීමේ සළකුණ වන ශුද්ධ වූ කුරුසියට ගරු බුහුමන් දැක්වීමත්, මැවිල්ලේ දායාදයක් වන ගොබ් කොළයට දේවධාර්මික වටිනාකමක් ලබා දීමත් සිදු කිරීමකි.(5)
  
වියලී ගිය (පසුගිය වසරේ) ගොබ් කුරුසිය පුළුස්සා (අළු බදාදා) හිස මත එම අළු තවරා ගත් කතෝලික අපට ආසිරි ගැන්වූ නව ගොබ් කොළය මගින් චතාරික කාලය දින කිහිපයකින් අවසන් වන බවත්, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස ගරුගාම්භීරව සැමරීමට විය යුතු සූදානමත්, එමගින් අපට ලැබෙන ගැළවීම හා නව ජීවනයත් සංඛේතාත්මකව මතක් කර දෙයි. ගොබ් කොළයෙන් සාදන කුරුසියෙන් අපට පෙන්නුම් කරන්නේ, කුරුසිය මගින් අපට හිමිවන ගැළවීම හා නව ජීවනයයි.    


------ ----------------------------------෴
(1) ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස යනු, ඔවුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානයයි.
(2) Passion යන වචනය ලතින් භාෂාවෙන් බිඳී එන "දුක්විඳීම" හා "ඉවසීම" යන අරුත් දෙන වචනයකි. 
(3) ප්‍රංශයේ හා ඉතාලියේ මේ සඳහා යොදා ගන්නේ ෆාම් හෝ ඔලිව් අතුය. ඔවුන් එම ෆාම් හෝ ඔලිව් අතු රිකිල්ල මහා විනාශකාරී ස්වභාවික විපත් හා අනතුරු වලින් ඔවුන්ව ආරක්ෂා කරන ලෙස ඉල්ලා සාන්ත බාබරා තුමියට භාර හාර ද වෙති. 
(3) මෙම පිළිවෙත 11 වන සියවසේ දී එංගලන්තයේ හා නෝමැන්ඩි හි ද දක්නට ලැබී ඇත. 
(4) ආසිරි ගැන්වූ ගොබ් කොළයෙන් සාදන කුරුස ලාංඡනය නිවෙස් වල සවි කරන කතෝලිකයා, ඊළඟ වසරේ අළු බදාදා දින දී එය ‍තම දේවස්ථානයට රැගෙන ගොස් බාර දෙයි. එම පැරණි ගොබ් කුරුස පුළුස්සා එම අළු ආසිරි ගන්වා අළු බදාදා දින බැතිමතුන්ගේ නළල මත කුරුසියේ ලකුණින් ආලේප කෙරේ.  

ජේසු සමිඳුන් ජෙරුසලමට පිවිසීම - ඍජු බයිබලීය අර්ථ කථනයක්

ජේසුස් වහන්සේ තම ජීවිතයේ අවසන් සතිය ගත කිරීම සඳහාත්, පාස්කු මංගල්‍යයට සහභාගි වීම සඳහාත්, තම දුක්විඳීම හා මරණයට මුහුණ දී දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම සඳහාත් රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පිවිසීම සුභාරංචි පොත් හතරේම සඳහන් වේ.(1) ජේසුස් වහන්සේ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට ඇතුළුවීමේ සිද්ධිය ලූක් සුභාරංචියේ සඳහන් වන්නේ මෙසේය.
"ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත් තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳ වූහ. උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මග එලාලූහ. උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හී, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත්, තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්ටත් පටන් ගෙන, 'සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේවා! ස්වර්ගයෙහි සාමය ද අත් උසස් තැන්හී මහිමය ද වේ' යි කීහ" - (ලූක් 19 : 35 - 38)

‍‍ජේසුස් වහන්සේ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට 
ඇතුලු වූ "ස්වර්ණමය දොරටුව" (Golden Gate) අද
පෙනෙන ආකාරය ‍මෙම පහත රූපයේ දැක්වේ. 
 මෙම සිද්ධිය දෙස බලන කල, එහි විශේෂ කරුණු දෙකක් කැපී පෙනෙයි. 
  1. ජේසුස් වහන්සේගේ මෙලොව ජීවිතයේ අවසන් දින කිහිපය ශුද්ධ වූ නගරය වන ජෙරුසලමේ නැවතී සිටීමට එහි පැමිණීමකි. පාස්කු මංගල්‍යය පැවැත්වීමට සූදානම් වෙමින් තිබූ එම කාලයේ උන් වහන්සේ සිරිත් පරිදි ආගමික වත් පිළිවෙත් වලට සහභාගි වීමට යොමු වීමකි.
  2. ඉශ්රායෙල් ජන නායකයන් (වන නායක පූජකවරුන්, සද්දුසිවරුන්, පරිසිවරුන් හා විනයධරයන්) තුළ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැඩි ‍ඊර්ෂ්‍යාවක් ඇති වීමට මෙය හේතුවකි.
 ජේසුස් වහන්සේ කොටළුවෙකු පිට නැගී රජ කෙනෙකුගේ ස්වභාවයෙන් ජෙරුසලමට මිනිසුන් පිරිවරාගෙන පැමිණීම පුරාණ ගිවිසුමේ සෙකරියා 9 : 9 හි සඳහන් දිවැස්වැකිය ඉටු වීමකි.(2) එහෙත් එය අවබෝධ කරගැනීමට හෝ පිළිගැනීමට ජුදා නායකයන් තුළ කැමැත්තක් නොවීය. ජුදා නායකයන් ජේසුස් වහන්සේ දෙස බැලුවේ සාමාන්‍ය ගුරුවරයෙකු (රබ්බිවරයෙකු) ලෙසින් විනා දෙවියන් වහන්සේගේ පුග්‍රයාණෝ හා ගැළවුම්කරුවාණන් යන හැඟීමෙන් නොවේ. වඩුවෙකු ලෙසින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ ජේසුස් වහන්සේ, යුද්ධයක් ජයගත් මහා රජකෙනෙකු ප්‍රීති ඝෝෂා මැද මහා තේජශ්‍රීයෙන් තම නුවරට ඇතුළු ආකාරයෙන් පැමිණීම ඔවුන්ගේ නොසතුටට හේතුවීම පුදුමයක් නොවේ. 
බොහෝ කලක් රෝමවරුන්ගේ පාලනය යටතේ පීඩාවට පත්වී සිටි ජුදා - ඉශ්රායෙල් ජනතාව දේශපාලනය විමුක්තියක් බලාපොරොත්තුවෙන් සිටියහ. එබැවින් සාමාන්‍ය ජනතාව ක්‍රිස්තුස් වහන්සේ දෙස බැලුවේ රෝමවරුන්ගේ පාලනයෙන් තමන්ව බේරාගෙන රට නිදහස් කරගෙන ලෞකික රාජ්‍යයක් ගොඩනැගීමට පැමිණි රජකෙනෙකු ලෙසිනි. ඉශ්රායෙලය ඇන්ටිඕකස් එපිපානෙස්ගේ කෲර ග්‍රීක පාලනයෙන් බේරා ගත් ජුදාස් මකබේයුස් නමැති දේශප්‍රේමී නායකයාගේ ජයග්‍රහණය සැමරීමට තාල වර්ගයේ අතු රැගෙන දෙවියන් වහන්සේට තුති ගී ගායනා කර ඇත. (3) එලෙස ජේසුස් වහන්සේ ද රෝමවරුන්ව පන්නා දමා රට නිදහස් කරගෙන ජනතාවට දේශපාලන විමුක්තියක් තබා දෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ජොහාන්ගේ සුභාරංචියට අනුව, පන්දහසකට ආහාර දීමේ සිද්ධියෙන් පසුව ජේසුස් වහන්සේව අල්ලා රජකමට පත් කිරීමට සූදානම් වූ ආකාරය සඳහන් වේ.(4) "උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මේ සිද්ධිය කලින් තේරුම් නොගත්" බව පෙනේ. (ජොහාන් 12 : 16) ඊට සුදුසුම අවස්ථාව උදා වූ බව දුටු ‍(පාස්කු මංගල්‍යයට සහභාගි වීමට ජෙරුසලමට පැමිණ සිටි) ජුදා - ඉශ්රායෙල් ජනයා, ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩින බව දැන, 
'තල් අතු රැගෙන: "හෝසන්නා!(5) සමිඳාණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේවා! ඉශ්රායෙල් රජු හට ආසිරි වේවා!"යි' (ජොහාන් 12 : 13) 
ඔල්වර හඬ නගමින් ඔවුන් වහන්සේව පිළිගැනීමට පෙරමගට පැමිණියේ එනිසාය. මෙය ගීතාවලියේ සඳහන් 118 : 25 - 26 දිවැස්වැකිය ඉටු වීමකි.(6) මන්ද රජ කෙනෙකු පිළිබඳ බලාපොරොත්තුවක් පුරාණ ගිවිසුමේ යෙසායා 32 : 1, 9 : 7, ගීතාවලිය 2 : 6, ජෙරමියා 23 : 5, දානියෙල් 7 : 14 වැනි ශුද්ධ ලියවිලි කොටස් වලින් ලැබී තිබුණි.(7) නතානියෙල් නමැති යහපත් ඉශ්රායෙල් ගුරුවරයා ද ජේසුස් වහන්සේව දුටු පළමු දිනයේ කීවේ, "ගුරු දේවයිනි, ඔබ වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල් හි රජිඳාණෝ ය" කියා ය. (ජොහාන් 1 : 49) ශුද්ධ ලියවිල්ලට අනුව ජේසුස් වහන්සේට එවැනි රාජකීය පිළිගැනීමක් හා ගරු බුහුමන් සුදුසුකමක් හා අයිතියක් ඇත. මන්ද, ඔවුන් වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ රාජ පෙළපතිනි.(8) ජුදා - ඉශ්රායෙල් ජනතාවගේ රජතුමා වන දෙවියන් වහන්සේ (නික්මයාම 15 : 18 / 1 සාමුවෙල් 8 : 7 - 8) (9)  ඔවුන් වහන්සේගේ ජනතාවට විමුක්තිය උදා කිරීම පිණිස සිය දේශයට රාජකීය ලීලාවෙන් වැඩම කිරීමක් ලෙස මෙම සිද්ධිය සුවිශේෂකවරුන් පෙන්වා ඇත.
කිසියම් රජකෙනෙකු විජයග්‍රාහී ලෙසින් ඔහුගේ නුවරට ඇතුලු වන විට මග දෙපස රැස්වන රටවැසියා රෙදි වලින් පාවඩ එලා හෝ කොළ අතු මග අතුරා ජය ඝෝෂා කිරීම සාමාන්‍ය සිරිතකි. ශුද්ධ බයිබලයේ විවිධ අවස්ථා වල යොදා ගත් තාල වර්ගයට අයත් ගස් අතු ගැන විවිධ ස්ථාන වල දැක්වේ. ඇතැම් ඉංග්‍රීසි බයිබල් පරිවර්තන වල මෙම කොළ අතු "ෆාම් අතු" (Palm Tree) ලෙසින් දක්වා ඇත. මෙම ගසට යෙදෙන විද්‍යාත්මක නාමය Phoenix dactylifera ය. එය බිඳී එන්නේ, ක්‍රියා 11 : 19 හි සදහන්, පැරණි ග්‍රිකයන් "ෆාම් ගස් නුවර" යන අර්ථය ඇතිව භාවිත කළ "පිනීසිය" යන නාමයෙනි. (10) මෙම ෆාම් ගසට හේබ්‍රෙව් භාෂාවෙන් "තමාර්" (Tamar) යන නම යෙදේ.(11)  ගීතාවලිය 92 : 12 එය "තාල වෘක්ෂ" ලෙසින් යෙදී ඇත. (12) ද්වීතීය නීති සංග්‍රහය ජෙරිකෝව නමැති නගරය, "ඉඳිගස් නගරය" යන අර්ථයෙන් හඳුන්වා ඇත. (13) කූඩාරම් මංගල්‍යය පැවැත්වෙන දින 7 න් පළමු දිනයේ දී "තල් අතු" ගෙන ප්‍රීති ප්‍රමෝද විය යුතු බවට වූ නියමයක් ලෙවි ව්‍යවස්ථාව 23 : 40 හි සඳහන් වේ. (14) පැල්පත් සාදනු සඳහා කඳුකරයට ගොස් ගෙන ඒමට නියම වූ ඔලීව අතු, මරඳ අතු හා තල් අතු ගැන නෙහෙමියා 8 : 15 දක්වයි. (15) මිසරයේ වහල්කමින් නිදහස ලැබූ ඉශ්රායෙල් ජනතාව ඉද ගස් 70 ක් තිබූ "ඒලීම්" නම් ස්ථානයක කඳවුරු බැඳ ගෙන සිටි බව නික්මයාම 15 : 27 හි දැක්වේ.(16) 
කෙසේ වුව ද 'කොළ අතු වැනීම' යන්න පුරාණ ගිවිසුමේ නෝවා හා ජලගැල්ම සම්බන්ධ එක්තරා සිදුවීමක් වෙත අපගේ අවධානය ගෙන යයි. 
"ඔහු (නෝවා) තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවීය. සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටේ අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේය." (උත්පත්ති 8 : 10 - 11)
දින 150 කටත් වඩා වැඩි කාලයක් ජලය මත පාවෙමින් තිබූ නැව තුළ බියෙන්, අසහනයෙන් හා මහත් බලාපොරොත්තුවෙන් සිරවී සිටි නෝවා තුළ ප්‍රීතිය, සාමය හා ගැළවීමේ නව බලාපොරොත්තුව පරෙවියාගේ හොටේ රැඳී තිබූ අමු ඔලීව දළුව රැගෙන ආවේය. එලෙසම දින 40 ක දුක්බර චතාරික කාලයක් ගත කරන කිතුනුවාට ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කුව තුළින් ගැළවීමේ හා ජීවනයේ ප්‍රීතිය ළඟාවන බව ගොබ් කොළය සංඛේතාත්මකව පෙන්වයි.
සාමාන්‍ය ජුදා හා ඉශ්රායෙල් ජනයා තම ගමන් බිමන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත් සතුන් අතර, බූරුවා හා කොටළුවා කැපී පෙනෙයි. ශුද්ධ බයිබලය අර්ථය අනුව බලන කල,
  •    බූරුවා වනාහී, ජුදා නීතියේ පීඩනයට හසුවී සිටි (york of the Jewish Law) ජුදා - ඉශ්රායෙල් ජනතාව නියෝජනය කරන සංඛේතයකි.
  • ජේසුස් වහන්සේ ජෙරුසලම් ගමනට යොදා ගත් "කිසිවෙකුත් පිට මත නොනැගුණු කොටළුවා" වනාහී, ඒ වන විට ගැළවීමේ අභිරහසට (Mystery of Salvation) සම්බන්ධ නොවී සිටි විදේශික - විජාතික - ජනතාව (Gentile World) පිළිබද සංඛේතයකි. 
මෙම (ජුදා - ඉශ්රායෙල් හා විජාතික යන) ජන කණ්ඩායම් දෙක අතරින් ජුදා - ඉශ්රායෙල්වරුන් ජේසුස් වහන්සේව ජෙරුසලමේ රජු, ඉශ්රායෙලයේ රජු ලෙසින් "හෝසන්නා" යැයි ප්‍රශංසා කරමින් පිළිගෙන, ඊළඟ සතියේ "කුරුසියෙහි ඇණ ගසන්නැ" (මාර්ක් 15 : 13), "ඔහු මරව, ඔහු මරව, කුරුසියෙහි ඇණ ගසව" (ජොහාන් 19 : 15) යැයි කෑ ගැසීම තේරුම් ගැනීමට අපහසු අභිරහසකි. 
මිනිස් ස්වරූපයක් ගෙන තමන් ‍වෙත පැමිණි ඔවුන්ගේ රජතුමාව (මෙසියස්ව - දේව පුත්‍රයාණන්ව) ප්‍රතික්‍ෂේප කොට වධ හිංසා පමුණුවා මරන බවටත්,(17) පසුව විජාතිකයන් ඔවුන් වහන්සේව තම රජාණන් ලෙසින් පිළිගන්නා බවටත් මෙය ඉඟි කිරීමකි. පැරණි කෘතියක් වූ බැබිලෝනියන් තල්මුඩ් (The Babylonian Talmud) නමැති පොතේ, පර්සියන් රජෙකු වූ ශෙවර් (Shevor) අසන ප්‍රශ්නයක් නම්, "ඔබේ රජතුමා (මෙසියස් තුමා) අශ්වයෙකු මත නොයන්නේ මන්ද? ඔහුට අශ්වයෙකු නැතිනම් මගේ අශ්වයන්ගෙන් හොඳම එකෙකු සැපයීමට කැමැත්තෙමි" යන කියමනක් දැකිය හැකිය. ජේසුස් වහන්සේ මෙසේ වෙනත් රජවරුන් මෙන් අශ්වයෙකු මත නොව කොටළු නාම්බෙකු පිට නැගී යන්නේ ඇයි? පෙරදිග කිතුනු සම්ප්‍රදායට (Eastern Christian Tradition) අනුව, කොටළුවා සාමයේ හා අවිහිංසකත්වයේ සංඛේතයකි. අශ්වයා අසමගියේ හා යුද්ධයේ සංඛේතයකි. ජේසුස් වහන්සේ කොටළුවා මත නැගී ජෙරුසලමට පැමිණිමෙන් ජනතාවට සංඛේතවත් කොට පෙන්වූයේ ඔවුන් වහන්සේ ලෞකික රාජ්‍යයක් නොව මිනිස් සිත් තුළ සාමයේ ආධ්‍යාත්මික රාජ්‍යයක් පිහිටුවීමට පැමිණෙන බවය. දේශපාලන විමුක්තියක් නොව, ආධ්‍යාත්මික විමුක්තියක් උදා කරන බවය.
 
-------------------------------------------෴

(1) මතෙව් 21 : 1 - 11, මාර්ක් 11 : 1 - 11, ලූක් 19 : 28ඉ - 38, ජොහාන් 12 : 12 - 19  
(2) "සියොන් පුරඟන ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නගන්න. ඔබේ රජතුමා‍ණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැග, එසේය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැග පැමිණෙන සේක." - සෙකරියා 9 : 9 
(3) "මෙසේ ඔව්හු ශුද්ධස්ථානය පවිතු කිරීමේ උත්සවය සාර්ථක ලෙස ඉටු කිරීමට සැලැස්වූ හ. ඔව්හු කොළ අතු හා තාල වර්ගයේ අතු රැගෙන දෙවියන් වහන්සේට තුති ගී ගායනා කළහ." (2 මකබි 10 : 7)
(4)"තමන් බලාත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්ට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනිව ම කන්දට වැඩිය සේක." (ජොහාන් 6 : 15)
(5) "හෝසන්නා" යනු, "අප ගැළෙව්ව මැනව" යන්නය.
(6) "සමිඳුනි, දැන් අප ගැළෙව්ව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාළිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු" (ගීතාවලිය 118 : 25 - 26) 
(7)"අවංක රජ කෙනෙකු ද යුක්තියෙන් පාලනය කරන අධිපතීන් ද ඇතිවන කාලයක් පැමිණෙන්නේ ය." (යෙසායා 32 : 1)
"එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක....." (යෙසායා 9 : 7)
"මාගේ ශුද්ධ සියොන් ගිරි මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි" (ගීතාවලිය 2 : 6)
".....දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැගී එන කාලයක් පැමිණෙන්නේ ය. එතුමාණන් නැණ නුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත. එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෙහි ය. ඉශ්රායෙල්වරු සුරැකිව වසන්නෝ ය. 'අපේ දැහැමිතාව' යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ." (ජෙරමියා 23 : 5)
"සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය." (දානියෙල් 7 : 14) 
(8)"දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය. සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හාබලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය." (යෙසායා 11 : 1 - 2)  ගවහලක උපන් ජේසුස් වහන්සේව රෙදි වලින් එතූ බව ලූක් 2 : 7, 12 හි දැක්වේ. අලුත උපන් දරුවෙකු රෙදි වලින් එතීම ජුදා රජවරුන් අතර පැවති රාජකීය සම්ප්‍රදායකි.   
(9)"සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක" (නික්මයාම 15 : 18)
" ......ඔවුන් ප්‍රතිකේෂප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කළෝ ය." (1 සාමුවෙල් 8 : 7 - 8) 
(10) "ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම පුකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ." (ක්‍රියා 11 : 19)
(11) "තමාර්" යන්න ස්ත්‍රියකගේ නමක් ලෙස උත්පත්ති 38 : 6, 2 සාමුවෙල් 13 : 1, හා 14 : 27 හි දැක්වේ. එසකියෙල් 47 : 19 හි එය නගරයක නාමයක් ලෙස දැක්වේ. සාමාන්‍යයෙන් අඩි 40 - 50 අතර උසකින් වැඩෙන මෙම ෆාම් ගස් තාල වර්ගයට අයත් වේ. පැරණි ග්‍රිකයන් හා රෝමානුවන් මෙම ගස "තල් ගස" ලෙසින් අර්ථ දක්වා ඇත.  
(12) "දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය......." (ගීතාවලිය 92 : 12)  
(13) " දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියා‍වතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක." (ද්වීතීය නීති සංග්‍රහය 34 : 3)
(14) " පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තාල අතු කොළ පිරුණු අතු ද ගංතෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්වි යුතුය." (ලෙවි ව්‍යවස්ථාව 23 : 40)
(15) "....ඒ මෙසේය: 'පෙතේ ලියා තිබෙන ලෙස, පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස්, ඔලීව අතු ද වල් ඔලීව අතු ද මරද අතු ද තල් අතු ද අතු ඝන ව ;ිබෙන ගස වල අතු ද ගෙනෙන්න." (නෙහෙමියා  : 15)
(16) " ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ." (නික්මයාම 15 : 27) 
(17) "උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ." (ජොහාන් 1 : 11)     

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith