Recent Posts
Showing posts with label Religious Ceremonies. Show all posts
Showing posts with label Religious Ceremonies. Show all posts

ආධ්‍යාත්මික සූදානමකට අප කැඳවන ආගමන කාලය

හැඳින්වීම 
''ආගමන කාලය" වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාල පරිච්ඡේදයකි. "ආගමනය" යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් Advent යන්න භාවිත වේ. මෙය ලතින් භාෂාවේ "ඇඩ්වෙන්ටුස්" [Adventus] යන්නෙන් බිඳී එන්නකි. මෙම වචනයේ අර්ථය නම් "සම්ප්‍රාප්තිය" හෙවත් "පැමිණීම" [Coming] යන්නය. මෙම "ඇඩ්වෙන්ටුස්" නමැති ලතින් වචනය බිහිවීමට බලපෑවේ සාන්ත පාවුළු තුමා නිතර භාවිත කර ඇති "පරූසියා" [Parousia] [1]යන ග්‍රීක වචනයයි. මෙහි අර්ථය ද "නැවත වැඩම කිරීම" යන්න ය. මේ අනුව කිතුනුවෙකුට ආගමන කාලය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අපේක්ෂාවේ කාල පරිච්ඡේදයකි. එම පැමිණීම ගෞරවාන්විතව පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වන කාලයකි.

ආගමන කාලයේ ඉතිහාසයෙන් බිඳක්
ක්‍රි.ව. 70 දී සිදු වූ ජෙරුසලමේ විනාශය
අපෝස්තුළුවරුන්ගේ මුල් කිතුනු සභා යුගයේ සිට ම ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳව මහත් බලාපොරොත්තුවක් කිතුනු ජනතාව තුළ තිබේ. ජේසුස් වහන්සේ ද ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන පැමිණීම ගැන වරින් වර ප්‍රකාශ කර තිබේ. ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ක්‍රිස්තු අනුගාමිකයෝ ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීම බොහෝ ඉක්මනින් සිදුවේ යැයි අපේක්ෂා කළහ. ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමවරුන් අතින් ජෙරුසලම විනාශ වූවත් [2] ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදු නොවූ බැවින් එය තමන් නොදන්න අනාගතයක දී සිදු වන්නක් බව අවබෝධ කර ගෙන ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය සිහිපත් කරමින් ඒ සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම පිණිස නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙන් කළහ. ආගමන කාලය බවට පත් වූයේ මෙම කාලයයි. එහෙත්, බෙහෝ විද්වතුන්ගේ මතවාද වලට අනුව, "ආගමන කාලයට" පෙර ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට සූදානම් වීමේ දින 40 මහා උපවාස සමය පැවතී ඇත. "ආගමන කාලය" ජනවන්දනාවට සම්බන්ධ වී ඇත්තේ අවසාන වශයෙනි.  
ඓතිහාසික වාර්තාවන්ට අනුව, ආගමන කාලය සැමරීමේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දෙවන භාගයේ දී පමණ ගෝල් දේශයේ [නූතන ප්‍රංශය] හා ස්පාඤ්ඤයේ සිදු වී ඇත. එකල එම රටවල් නත්තල් මංගල්‍ය පවත්වා ඇත්තේ ජනවාරි 6 වෙනි දා ය. එම නත්තල් මංගල්‍යය පැවැත්වීම සඳහා පාස්කු මංගල්‍යයට මෙන් දැඩි උපවාස සමයක් පැවැත්විය යුතු බවට කතෝලික තපස්වරුන් අතර පොදු පිළිගැනීමක් තිබුණි. ආගමන කාලයේ නිරාහාරශීලය රැකීම පිළිබඳ මුල්ම ඓතිහාසික කරුණු අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ 490 දී ප්‍රංශයේ ටුඅර්ස් [Touars] නගරයේ සාන්ත පර්පේතුස් රදගුරු තුමා නිකුත් කළ නිර්දේශයක ය. එම නිර්දේශයට අනුව, ටුඅර්ස් හි සාන්ත මාර්ටින් මුනිතුමාගේ මංගල්‍ය දිනය වන නොවැම්බර් 11 දින සිට නත්තල් මංගල්‍යය දින තෙක් සතියකට දින 3 ක් නිරාහාර උපවාසශීලය රැකීම සිදු කර ඇත. පසුව සෙල්ටික් තපස්වරුන් [Celtic Monks - Click Here] රෝමයට පැමිණීමෙන් පසුව එය සති 3 - 8 ක කාලයක නිරාහාර උපවාස සමයක් බවට පත් වුණි. පසුකාලීනව චතාරික සමයේ දීර්ඝ උපවාසයට සමාන්තරව දින 40 දක්වා සංශෝධනය කෙරුණි. මෙවැනි කාලයක් පැවැත්වී‍ම ඇරඹීමට බලපෑ හේතු සාධකය වන්නේ (පහතින් දැක්වෙන පළමු කරුණ පරිදි) මුල් කිතුනුවන්ගේ ආධ්‍යාත්මික ජීවිත පිළිවෙල හා පසුව රෝමය ආක්‍රමණය කළ (මෙලේච්ඡයන් ලෙස සැලකූ) ගොත්වරුන්ව සදාචාරාත්මක කිතුනු ජීවිත පිළිවෙලකට හැඩගැස්වීමේ කිතුනු ආගමික ක්‍රියා පිළිවෙතය. එකල පෙරදිග යුරෝපා රටවල කතෝලික සභාව මෙම ගොත්වරුන්ට නිසි අධ්‍යාපනයක් හා සදාචාරාත්මක වටිනාකම් ප්‍රගුණ කිරීමෙන් පසුව ඔවුන්ට බව්තීස්මය දානය කර කිතුනුවන් බවට පත් කළා ය.[3] පෙරදිග කතෝලික සභාව ජනවාරි 6 වෙනිදා (නූතනයේ රෝමානු කතෝලික සභාව මෙන්) දිව්‍ය බිළිඳාණන් ශාස්ත්‍රවන්තයන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍යය පවත්වා ඇත. එම මංගල්‍යය දිනය පෙරදිග කතෝලික සභාවල මහා බව්තීස්ම දිනය වශයෙන් ගෙන ඇත. එබැවින් නත්තල, බව්තීස්මය දානය කිරීම හා තපස්වරුන්ගේ ඉගැන්වීම් සියල්ලේ සංකලනයක් ලෙසින් ආගමන කාලය බිහි වී ඇති බව පෙනේ. මෙකල යුරෝපයේ 
ආගමන කාලය ආකාර දෙකකට සැමරීම සිදු කර ඇත.

  1. රෝමානු කතෝලික සභාව - බටහිර යුරෝපයේ මුල්කාලීන කිතුනුවන් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමට මුහුණ දීම සඳහා සූදානම් වූ ආකාරයක් තිබුණි. එකල ඔවුනට විඳින්ට සිදුවූ විවිධ දේශපාලනික, සමාජයීය හා ආගමික දුක් පීඩා හා අභියෝග ක්‍රිස්තුස් වහන්සේගේ "යුගාන්තය" පිළිබඳ ඉගැන්වීම්[4] වලට අනුකූල වූ බැවින් ඔවුන් වහන්සේගේ දෙවන ආගමනය තම ජීවිත කාලය තුළ සිදුවේ යැයි සිතා එයට මුහුණ දීමට හැකි අන්දමේ ජීවිත ක්‍රියා පිළිවෙලකට සූදානම් වූහ. පසුකාලීනව සෙල්ටික් තපස්වරුන් ‍අපරදිග යුරෝපයට ගෙන ආ උපවාසයේ ජීවිත පිළිවෙත හා ජනවන්දනා වත් පිළිවෙත් නිසා ආගමන කාලයේ වාරිත්‍ර හා කිතුනු ආගමික ක්‍රියාවන් වලට නවෝදයක් ලබා දුණි. මේ අනුව අපරදිග ‍කතෝලික සභා ආගමනයේ ජනවන්දනා වත් පිළිවෙතක් පිළිබඳ මුල් ම තොරතුරු හමු වන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මැද භාගයේ ඉතාලියේ 'රවෙන්තා' නමැති ප්‍රදේශයෙනි. රෝමයට මෙය පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී පමණ යැයි සැලකේ. පළමුවන ග්‍රෙගරි පාප්තුමා [Pope Gregory 1] ආගමන කාලයේ කිතුනු ආධ්‍යාත්මික සූදානම සඳහා ඉරිදාවන් 4 ක කාල පරිච්ඡේදයක් ඇතුළත් වන පරිදි ජනවන්දනා යැදුම් හා පිළිවෙත් රෝමානු කතෝලික සභාවේ ජනවන්දනා පිළිවෙතට හඳුන්වා දෙන ලදි. මෙහි මූලික අරුත වූයේ ජේසුස් වහන්සේගේ "මාංශගතවීමේ අභිරහස" [Mystery of Incarnation] සැමරීමය. එහෙත් ප්‍රංශයේ ආගමන කාලය "යුගාන්තය" හෙවත් "ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය" යන සංකල්පය ප්‍රධාන අර්ථය වශයෙන් ගෙන පැවැත්වී ඇත.ඊට බලපෑ හේතු සාධකය වූයේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනිතුමා [Saint Colombanus] ඇතුළු තපස්වරුන්ගේ බලපෑමය.[5] එනිසා කතෝලික දේවස්ථාන වල අලංකාර සැරසිළි ඉවත් කෙරුණි. මනස්ස්ථාපනය හා ශෝකය ප්‍රකාශ කරන වර්ණ ලෙසින් එකල යුරෝපයේ පිළිගැනීමට ලක්ව තිබූ දම් වර්ණය අල්තාර රෙදිපිළි, පූජක ඇඳුම් හා වෙනත් සැරසිළි සඳහා යොදා ගැනුණි. දිව්‍ය පූජාවේ දී ගැයෙන මහිම ප්‍රශංසා ගීය [Gloria] හා අලේලුයියා ගායනය සිදු නොකළහ. මෙකල සියලු ප්‍රීති උත්සව හා විවාහ මංගලෝත්සව පැවැත්වීම ද සිදු නොකළහ. යැදුම, නිරාහාර උපවාසය රැකීම හා මර්ධන ක්‍රියා කිරීම වැනි දේට මුල් තැනක් දුණි. එහෙත් මෙම ආගමන ජනවන්දනා පිළිවෙත තපස්වරුන් මාර්ගයෙන් රෝමයට පැමිණ විට එකල සිටි සභා ප්‍රධානීන් ඉන් ඇතැම් ඒවා උකහා ගෙන අනෙක් කොටස් අත්හැර දැමූහ. නිදසුනක් ලෙසින් මහිම ප්‍රශංසා ගීය ගායනා නොකිරීම, දම් පැහැය භාවිතයට ගැනීම වැනි දේ පිළිගත් නමුත් ආලේලුයියා ගීය ගැයීම සිදු කිරීම දැක්විය හැකිය.[6] ආගමන කාලයේ දී පැවැත්වූ දැඩි නිරාහාරශීලී උපවාසය ක්‍රිස්තු වර්ෂ 1917 කතෝලික සභා නීති සංග්‍රහයෙන් අත්හැර දැමුණි. එයට හේතුව වූයේ පසුකාලීනව පෙරදිග යුරෝපයෙන් පැමිණි නත්තල් මංගල්‍යයට සූදානම් වීමේ බාහිර උත්සව සිරියේ බලපෑම ය. පසුකාලීනව පෙරදිග යුරෝපයේ ජේසුස් වහන්සේගේ උපන් මංගල්‍යය පැවැත්වීමට වන බාහිර සූදානමක් වශයෙන් පැවැත්වීම - මෙය බොහෝ දුරට බාහිරව වශයෙන් ප්‍රීතියේ හා විනෝදයේ උත්සව සමයක් ලෙසින් ගැණුනි. දෙසැම්බරය වන විට ඇතිවන ඍතු විපර්යාසය නිසා ශිශිර ඍතුව ආරම්භ වන කල පරිසරයේ ඇතිවන අමුතුම වෙනස මේ සඳහා වඩාත් හොඳ පරිසරයක් ඇති කෙරුණි.
  2. පෙරදිග කතෝලික සභාව - ඔර්තඩොක්ස් පෙරදිග කතෝලික සභාව "උත්පත්ති උපවාසය" [Nativity Fast]යන නමින්, නොවැම්බර් 14 සාන්ත පිළිප් අපෝස්තුළු තුමාගේ මංගල්‍යය දින සිට දෙසැම්බර් 24 වෙනිදා දක්වා දින 40 ක පමණ කාලයක් නිරාහාර උපවාසශීල කාලයක් පවත්වති. මෙහි මූලික අරමුණ මනස්ස්ථාපනය හා දැහැමි ජීවිත පරිවර්තනය යි. මෙම කාලය තුළ ප්‍රණීත ආහාර පානයෙන් වැළකීම, විවිධ පශ්චාත්තාපික ක්‍රියා කිරීම කරති. දෙවස්ථාන වල දිව්‍ය පූජා හා යාච්ඤා මෙහෙයයන් තුළ හා නිවෙස් වල මනස්ස්ථාපනය වෙත මිනිස් සිත් කැඳවන "උත්පත්ති ගීතිකා" [Nativity Hymns] ගායනා කිරීම ද කරති. මෙහිදී දැඩි නිරාහාර උපවාසයේ හා මනස්ස්ථාපනයේ දිනය ලෙස සැලකෙන්නේ, දෙසැම්බර් 24 වෙනිදා ය. එදින නිරාහාරශීලය රකින ඔවුන් එදින සන්ධ්‍යාවේ වෙස්පර්ස් යැදුම් මෙහෙයයක් පවත්වා එම කාලය අවසන් කරති.
ආගමන කාලයේ ආරම්භය හා අවසානය
ජනවන්දනා වර්ෂයක්[7] අවසන් කර නව ජනවන්දනා වර්ෂයක් ආරම්භ කරන්නේ "ආගමන කාලය" පටන් ගන්නා පළමු ඉරු දිනයේ සිට ය. ආගමන කාලය [ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය ඉරු දිනට පසු] නොවැම්බර් 30 සාන්ත අන්ද්‍රේ මුනිතුමාගේ මංගල්‍යයට [Feast of Saint Andrew] ආසන්න ඉරු දිනට පෙර දින සවස යාම යැදුම [Prayers of Hours - Divine Office Prayers] සමගින් ආරම්භ වේ. එබැවින් එය නොවැම්බර් 27 හා දෙසැම්බර් 3 අතර සතිය තුළ උදා වේ. ආගමන කාලය අවසන් වන්නේ දෙසැම්බර් 24 වෙනිදා සවස 6 ට යාම යැදුම උච්චාරණය කිරීම ඇරඹීමත් සමග ය. මෙය ඉරු දින 4 කින් යුත් සති 4 ක ආධ්‍යාත්මික සූදානම් වීමේ කාලයකි.

අප ආගමන කාලයේ සිහිපත් කරන්නේ කුමක්ද?
මෙම සති 4 ක සූදානම් වීමේ කාලය තුළ අප සිහිපත් කරන්නේ, 
  • පළමු නත්තල එනම්, ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ වන ජේසුස් වහන්සේ පාපී මිනිසා ගළවා ගැනීම පිණිස දේවත්වය අත්හැර මනුෂ්‍යත්වය ගෙන දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද මිනිස් දුවණියක වන මරිය තුමිය මගින් බෙත්ලෙහෙම් ග්‍රාමයේ දී ඉපදීම ආවර්ජනය කරන උත්සවාකාර හා ගරුගාම්භීර සැමරුම,
  • ජේසුස් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙන ආකාරයට සිදුවීමට නියමිත ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය වෙත කතෝලිකයන්ගේ අවධානය යොමු කර ආධ්‍යාත්මිකව ජීවිත සූදානමක් ඇති කර ගැනීමට යොමු වන කාලය, ["නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; මනස්ස්ථාපනය වන්න්, සුභ අස්න අදහා ගන්න." - මාර්ක් 1 : 15]
  • එහි ප්‍රතිඵලයක් වශයෙන් ජේසුස් ස්වාමින් වහන්සේව අප හදවත් තුළට පෞද්ගලිකව වැඩමවා ගනිමින් ඇතුළාන්ත සාමය, සුවය හා නත්තලේ ආධ්‍යාත්මික ප්‍රීතිය අත්දැකීමට යොමු වීම ය.
මේ සඳහා කිතුනු අපට දේව වචනය තුළින් ආධ්‍යාත්මික සූදානමකට හා දැහැමි ජීවිත පරිවර්තනයකට ලැබෙන දේව මග පෙන්වීමත්, සමගි සන්ධනයේ (පාපොච්චාරණයේ) ප්‍රසාද නිධානය හා දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීම තුළින් ලැබෙන ඇතුළාන්ත සුව සහනය අත්කර දීමත්, විවිධ සාංඝික ක්‍රියාවන් හා දිළිඳුන් සමග බෙදා ගැනීමේ පරිත්‍යාගශීලී ක්‍රියාවන්ට මග පෙන්වීමත් ලැබේ.[Season of Advent -Click Here]

ආගමන කාලයේ භාවිත වන වර්ණ 
ඉතා ඈත අතීතයේ සිට ම ආගමන කාලයේ දී භාවිත වන වර්ණය වන්නේ, දම් පැහැය යි. එයට බලපෑවේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනි තුමා ය. දම් පැහැය මනස්ස්ථාපනයේ, පසුතැවිල්ලේ හා ශෝකයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම විය. මෙම වර්ණය තුළින් ප්‍රකාශ කරන්නේ හා අපට මතක් කර දෙන්නේ සැබෑ මනස්ස්ථාපනය තුළින් විය යුතු දැහැමි ජීවිත පරිවර්තනය යි.
තවද, යුරෝපයේ බොහෝ දේවස්ථාන වල ජනේල, දොරවල්, බිත්ති හා අල්තාරය දෙපස සදා හරිත (කොළ) වර්ණයෙන් සකස් කළ සැරසිළි හා රෙදි පිළි වලින් අලංකාර කරති. කොළ පැහැය සෞභාග්‍යයේ, නවතාවයේ හා සදාතනිකත්වයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම වේ. එමගින් ක්‍රිස්තු උපත මගින් කළ දෙවියන් වහන්සේගේ දිව්‍ය අනාවරණය කෙරෙහි ශ්‍රද්ධාව හා ගැළවීමේ ආනන්දීය අපේක්ෂාව කිතුනුවන් තුළ ජනිත කරවීම අරමුණ ය. දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ මගින් අත් කර දුන් ජීවනය හා ගැළවීම පෞද්ගලිකව තමන් අත්පත් කර ගැනීමට හා අත්දැකීමට කිතුනුවා යොමු විය යුතු බව පසක් කරන්නකි.

ආගමන ඉටි පහන් කළඹ  - [Advent Candle Wreath]

ආගමන ඉටි පහන් කළඹ
සදා හරිත වර්ණ තුරු වැල් වලින් හෝ කෘත්‍රිම තුරු වැල් ඔතා මල් වලින් සැරසූ වෘත්තාකාර හැඩයකින් සෑදූ කළඹක හරි මැද සුදු ඉටි පහනක් ද, ඒ වටා දම් පැහැති ඉටි පහන් 3 ක් හා රෝස පැහැති ඉටි පහනක් ද වශයෙන් (ඉටි පහන් 5 ක්) සවිකර සකසන අලංකාර කුඩා සැරසිල්ල "ආගමන ඉටි පහන් කළඹ" [Advent Candle Wreath] නම්වේ. මෙය සාමාන්‍යයෙන් ආගමන කාලයේ පළමු ඉරු දින කතෝලික දෙව්මැදුරු සෑම එකකම සකස් කර පූජාසනය අසළ තබා ඉරු දින 4 ක් පුරා හා දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තුළ ඉටි පහන බැගින් දැල්වීම කරන්නකි. මෙම ඉටි පහන් කළඹ නව ජනවන්දනා වර්ෂයක ආරම්භය ප්‍රකාශ කරන අතර, මනස්ස්ථාපනය හා ගැළවීමේ අපේක්ෂාව සංඛේතවත් කරයි.
ඉටි පහන් දැල්වීමේ අර්ථය නම්, ජේසුස් ස්වාමින් වහන්සේ මිනිසත්බව ගැනීම මගින් පාපයෙන් හා නපුරෙන් අඳුරු වී ගිය ලෝකයට ආලෝකයක් වූ බව සංඛේතවත්ව ප්‍රකාශ කිරීම ය. එම ක්‍රිස්තු ආලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කර ගෙන අප ජීවත් වන සමාජයට අප ආලෝකයක් විය යුතු බව ද පසක් කරයි.[8] සති 4 ක් පුරා ඉටි පහන් දැල්වීම තුළින් පාපී අඳුර, පාපයේ භිතිය, අපේක්ෂා භංගත්වය හා නපුරේ බල සිඳ බිඳ දැමීම සඳහා ජේසුස් වහන්සේ ලොවට මානව විමුක්තියේ ආලෝකය වූ බව බව ප්‍රකාශ කරයි.

පළමුවන ඉටි පහන -  
දිවැසිබවේ හා අපේක්ෂාවේ ඉටි පහන - [The Candle of Prophecy and Hope] 
ඉහත නමින් හඳුන්වන දම් පැහැති මෙම ඉටි පහන මෙසියස් තුමාගේ (ජේසුස් ස්වාමින් වහන්සේගේ) පැමිණීම පිළිබඳව දෙවියන් වහන්සේ දිවැසිවරුන් ලවා කියවූ අනාවැකි අනාවරණය කරන්නකි. එනිසා ඔවුන් වහන්සේගේ පැමිණීම කෙරෙහි මහත් බලාපොරොත්තුවක් අප තුළ ගොඩ නගයි. [යෙසායා 60 : 1 - 3 අනාවැකිය මතෙව් 24 : 44 තුළින් ඉටු වූ බව පෙන්වයි.]
  
දෙවන ඉටි පහන -
ක්‍රිස්තු මාර්ගයේ ඉටි පහන - [The Candle of the Christ the Way]   
දම් පැහැති මෙම ඉටි පහන ක්‍රිස්තුස් වහන්සේ "ගැළවීමේ, සදාතන ජීවනයේ හා පරිපූර්ණත්වයේ මාර්ගය" බව අපට අනාවරණය කරයි. [මතෙව් 3 : 1 - 2 / ජොහාන් 14 : 6]

තෙවන ඉටි පහන - 
ආනන්දයේ ඉටි පහන - [The Candle of Joy]  
රෝස පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙසින් තම හදවතට පිළිගැනීම තුළින් අත් වන ආධ්‍යාත්මික ප්‍රීතිය අනාවරණය කරයි. [යෙසායා 35 : 10 අනාවැකිය ලූක් 19 : 37 - 38 තුළින් ඉටු වීම පෙන්වයි.] 
ආගමන කාලයේ දල්වන ඉටි පහන්

සිව්වන ඉටි පහන -
සාමයේ ඉටි පහන - [The Candle of Peace]  
දම් පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේ මිනිස් ශිෂ්ටාචාරය තුළ මිනිසත්බව ගැනීම මගින් ලෝකයටත්, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් හිමි වන සාමය හා සංහිඳියාව අපට අනාවරණය කරයි. [යෙසායා 9 : 6 - 7 අනාවැකිය ලූක් 1 : 78b - 79 මගින් ඉටු වී බව පෙන්වයි.]  

පස්වන ඉටි පහන -
ක්‍රිස්තු ඉටි පහන හෙවත් නත්තල් ඉටි පහන - [The Christ Candle or Christmas Candle]  
ආගමන ඉටි පහන් කළඹේ හරි මැද පිහිටි සුදු පැහැති මෙම ඉටි පහන දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ ආරම්භයත් සමගම දල්වන්නකි. මෙය මිනිස් පාප නසාලීමට හා අපව ගළවා ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙකු ලෙසින් බෙත්ලෙහෙමේ උපත ලැබීම අනාවරණය කරයි. එය පළමු ඉටි පහනින් අනාවරණය කළ දිවැසිවැකි හා ජනතාවගේ මෙසියානික බලාපොරොත්තු සම්පූර්ණත්වයට පත් කිරීමකි. එසේම එය යුගාන්තයේ දී ජේසුස් ස්වාමින් වහන්සේ මහිමාන්විතව හා ජයාන්විතව නැවත මෙලොවට වැඩම කර, දේව රාජ්‍යය පරිපූර්ණත්වයට පත් කිරීමත් අනාවරණය කරයි. [යෙසායා 9 : 2 - 7 අනාවැකිය ලූක් 2 : 11 න් ඉටු වූ බව පෙන්වයි.]

ආගමන කාලයේ කිතුනු චාරිත්‍ර 
ආගමන කාලයත් සමග බැඳුනු කිතුනු චාරිත්‍ර හා වත් පිළිවෙත් බොහෝ තිබේ. මින් සමහර ඒවා රටින් රට ට වෙනස් වේ. ඒසේම ඇතැම් රටවල් වලට ආවේනික චාරිත්‍ර ද වෙති. පොදුවේ ගත් කල සෑම රටක ම වාගේ කතෝලිකයන් අතර පවතින ආගමන සමයේ කිතුනු චාරිත්‍ර කිහිපයක් පහතින් දැක්වේ. 
දොරක එල්ලන ලද ආගමන සැරසිල්ලක්
  • බොහෝ කතෝලික නිවෙස් වල උළුවහු, ‍දොර, ‍ජනේල, බිත්ති සිවිලිම සදා හරිත වර්ණ මල් කළඹ, ඉටි පහන් යනාදිය වලින් අලංකාර ලෙස සැරසිළි කිරීම කරති. මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කතෝලික ජනගහණය වැඩි වශයෙන් සිටින රටවල ය. ශ්‍රී ලංකාවේ කොළඹ හා ඒ අවට නාගරික පරිසරය තුළ කතෝලික නිවෙස් වල මෙම සදා හරිත වර්ණ මල් කළඹ දැකිය හැකිය. මෙහි අර්ථය ඉදිරියේ දී උදාවන නත්තල හෙවත් ක්‍රිස්තු උත්පත්තිය මගින් එම නිවසට, එහි සාමාජිකයන්ට හා ප්‍රදේශයට ‍ක්‍රිස්තු සෞභාග්‍යය හා දිව්‍ය වරප්‍රසාද හිමි වීම ය. (එහෙත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මෙය කරන්නේ එහි සැබෑ අර්ථය හඳුනා නොගෙන හුදෙක් ගෘහස්ත අලංකාරය පදනම් කර ගෙන ය.)
කෑම මේසය මත තබන ආගමන සැරසිල්ලක්
  • ආගමන ඉටි පහන් කළඹ සකස් කර මලින් හා සදාහරිත තුරු වැල් වලින් සරසා කෑම මේසය මත තැබීම ද කරති. මෙම චාරිත්‍රය විදේශික කතෝලික පවුල් වල දැකිය හැකි නමුත්, ශ්‍රී ලාංකිකයන් අතර දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහි අර්ථය පෙර කී පරිදි ජේසුස් වහන්සේව පිළිගැනීමට මනස්සථාපනයෙන් හා යාච්ඤාවෙන් සූදානම් විය යුතු බව පසක් කර දීමය.
  • පෙර සඳහන් කළ එම ආගමන ඉටි පහන් කළඹ ආහාර ගැනීමට පෙර දල්වා දේව වචනයෙන් කොටසක් කියවා, යාච්ඤා කර ආහාර පාන බෙදා ගෙන අනුභව කිරීමේ චාරිත්‍රය ද බොහෝ කතෝලික රටවල දැකිය හැකි දෙයකි.
නිවසක එල්ලන ආගමන කාලයේ ජනවන්දනා ලිත
  • ආගමනයේ ජනවන්දනා ලිතක් [Advent Liturgical Calender] සාදා, නිවෙසේ හොඳින් පෙනෙන තැනක (බොහෝ විට අලංකාර ජනේලයක හෝ දොරක) එල්ලා තැබීම කරයි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 25 දින දක්වා එහි දින එම ලිතේ සළකුණු කර, ගළවා දැමිය හැකි ආකාරයේ කොළ කැබැලි වලින් එම දින වසා තබයි. දිනෙන් දින ඒය විවෘත කර එම දිනය මත සඳහන් කර තිබෙන බයිබල් පාඨයක් හෝ යාච්ඤා වගන්තියක් කියවීම කරයි. කුඩා දරුවන් තුළ මේ සඳහා උනන්දුවක් ඇති කිරීමට කුඩා රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ඊට සවි කර තබයි. මෙහි අර්ථය නම් නත්තල සඳහා යැදුමෙන් හා දේව වචනයෙන් සූදානම් කරවීම හා කිතු උපතට ඇති දින සංඛ්‍යාව මතක් කර දීමය. ඉතා අගය කළ යුතු වටිනාකමකින් යුත් මෙම චාරිත්‍රය ශ්‍රී ලාංකේය කතෝලිකයන් අතර බොහෝ දුරට දක්නට නැත. 
  • සෑම කතෝලික දෙව්මැදුරක ම වාගේ ආගමන කාලයේ දිව්‍ය පූජාව ආරම්භයේ දී "වඩිනු දෙව්මැසීයා" [O Come Divine Messiah] ගීතිකාව ගායන කරයි. මෙය ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහිපත් කරමින් අපගේ හදවත් තුළට වැඩම කිරීමට ඔවුන් වහන්සේට කරන සාදර ගෞරවාන්විත ඇරයුමකි. මෙය ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූවකි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 24 වෙනි දින දක්වා කාලය තුළ මෙම ගීතිකාව ගායනය කෙරේ. ලතින් භාෂාවෙන් ලියැවී ඇති මෙය විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. මෙහි මූලික අර්ථය වනුයේ ‍ගැළවුම්කාර මෙසියස් තුමාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටින දේව ජනතාව ඔවුන් වහන්සේට අප අතරට වැඩම කිරීමට කරන ගෞරවාන්විත ආරාධනාවකි.      
 ආගමන කාලයේ අරුත
කතෝලික ජනවන්දනා වසර පිළිබඳ නිළ උපදෙස් මාලාව මෙය හඳුන්වා ඇත්තේ ශ්‍රද්ධාවේ හා ආනන්දයේ (ප්‍රීතියේ) අපේක්ෂාවක කාල පරිච්ඡේදයක් ලෙස ය. එබැවින් "ආගමන කාලය" මනස්ස්ථාපනය තුළින් මහිමාන්විතව වඩින විමුක්තිදායකයාණන්ව පිළිගැනීමට යොමු වන, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් ඔවුන් වහන්සේ සමග ගොඩනැගෙන ඇතුළාන්ත සාමයේ සවුයේ හා ප්‍රීතියේ සංහිඳයාව ලබන කාලයකි. මෙකී පරමාර්ථය අත්කර ගැනීමට ආගමන කාලය ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදා ඇත.
  1. ආගමන කාලය පටන් ගන්නා දින සිට දෙසැම්බර් 16 දක්වා කාලය - මෙහිදී ජේසුස් වහන්සේගේ ‍මහිමාන්විත දෙවන ආගමනය පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම,
  2. දෙසැම්බර් 17 දින සිට දෙසැම්බර් 24 වන දින දක්වා කාලය - මෙහිදී ජේසුස් වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙසින් කළ පළමු ආගමනය ගරුගාම්භීරව ආවර්ජනය කිරීම,
සඳහා අවධානය යොමු කෙරේ. එබැවින් ආගමන කාලය දෙවියන් වහන්සේ ගැළවීමේ ඉතිහාසයට බැස කළ මහා බැහැපත්කමේ දේව අනාවරණය ලොවට ප්‍රකාශ කිරීමක් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය අප අතරට සම්ප්‍රාප්ත වීම පිළිබඳව සාක්ෂි දැරීමකි. ජේසුස් වහන්සේ බැහැපත්කමින් හා ස්වකීය පියාණන් වහන්සේට වූ අවනතභාවය තුළින් දුන් මහා ආදර්ශය අනුව අපගේ ජීවිත ද සමාජය තුළ බැහැපත්කමේ හා සේවයේ ක්‍රියාවලියකට යොමු කර වන කාලයකි. 





෴ වැඩිදුර සටහන් ෴
[1]1 තෙසලෝනි 2 : 19/ 2 තෙසලෝනි 2 : 2
[2] මෙය ක්‍රිස්තුස් වහන්සේගේ අනාවැකියක් ඉටු වීමකි. - ලූක් 21 : 5 - 6, 20, 23 - 24
[3] එම බව්තීස්ම ස්නාපන සූදානම් වීමේ පිළිවෙතේ ප්‍රධානම ආධ්‍යාත්මික ක්‍රියාව වූයේ (තම ශරීරයට දුක් වේදනා පමුණුවා ගැනීම, ආශාවන් මර්ධනය කර ගැනීම, මාංශ භක්ෂණය හා ප්‍රණීත ආහාරයෙන් ඈත්වීම, ප්‍රීති සාද වලින් වැළකී සිටීම වැනි) පශ්චාත්තාපික ක්‍රියාවන් කිරීම, නිරාහාරශීලය රැකීම හා තම පාප වලට මනස්ස්ථාපනය වීමය. 
[4] මතෙව් 24 : 3 - 14, 29 - 31/ ලූක් 21 : 12 - 18, 25 - 28, 34 - 36
[5] විශේෂයෙන් අයර්ලන්ත ජාතික සාන්ත කොලුම්බානුස් මුනිතුමා ප්‍රංශයට පැමිණ කතෝලික ජනවන්දනා පිළිවෙත් වලට නවෝදයක් ලබා දෙමින් ආගමන සමයේ මූලික පරමාර්ථය, "ජේසුස් වහන්සේගේ දෙවනවර වැඩම කිරීමට ආධ්‍යාත්මිකව සූදානම් වීම" බව පෙන්වා දුන්නේ ය. එනිසා මෙම කාලය විනෝදය නොව පාපී ජීවිත මනස්ස්ථාපනයෙන් වෙනස් කර ගෙන මහා ජීවිත පරිවර්තනයකට යොමු විය යුතු සමයක් බව අවධාරණය කළේ ය. [saint columbanus - Click Here]

[6] නූතනයේ ආගමන කාලයේ දී මහිම ප්‍රශංසා ගීය ගායනා නො කරන්නේ දැඩි මනස්ස්ථාපනය සංඛේතවත් කිරීමට නොව, නත්තල් පූර්ව රාත්‍රී - (දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී) - දිව්‍ය පූජා මෙහෙයේ දී  ඉතා ගරුගාම්භීරව හා ජයෝත්සවයෙන් ගායනා කිරීමට අවස්ථාව සලස්වනු සඳහා ය.
[7] කතෝලිකයන් ඒකරාශී වී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට කරන වන්දනා නමස්කාරය ජනවන්දනාව යන නමින් හඳුන්වයි. සාමාන්‍යයෙන් ජනවන්දනාව පවත්වන පිළිවෙත වර්ෂ තුනකට බෙදා ඇත. එය පිළිවෙලින්,
  • ජනවන්දනා පළමු වසර
  • ජනවන්දනා දෙවන වසර
  • ජනවන්දනා තෙවන වසර
යනුවෙන් නම් කෙරේ. මෙම ජනවන්දනා තෙවර්ෂ අනුපිළිවෙල හා ක්‍රමවේදය ජනවන්දනා චක්‍රය යන නමින් හඳුන්වයි. එයට හේතුව මෙම තෙවර්ෂ කරත්ත රෝදයක් මෙන් චක්‍රාකාරව නොකඩවා  යොදා ගැනීමය. සියලු මංගල්‍ය, කාල වකවානු, කතෝලික ආගමික උත්සව හා පිළිවෙත් සියල්ල මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අයත් වෙති. එසේම, දිනපතා පවත්වන දිව්‍ය පූජා වල දී උච්චාරණය කරන යැදුම්, කියවීම් සඳහා යොදා ගන්නා බයිබලීය කොටස්, මෙනෙහි කිරීමේ ගීතිකා කොටස් පමණක් නොව, ඒ ඒ දිනයේ දී සිහිපත් කරන මංගල්‍ය කුමක්ද? අල්තාරය සැරසීමට හා පූජාප්‍රසාදි තුමා භාවිත කළ යුතු පූජා ඇඳුම් වල වර්ණය යනාදිය පවා මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අනුව සකස් කර ඇත. එබැවින් මුළු ලෝකයේම කතෝලික සභාව භාෂාව කුමක් වුව ද  මෙම එකම ජනවන්දනා පිළිවෙත භාවිත කරයි. එනිසා මෙය කතෝලික සභාවේ සුලක්ෂණයක් වන ඒකත්වය යන්න අපට පසක් කර දෙයි.
[8] "ඔබ ලෝකයේ ආලෝකය ය......ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි බබළවන්න" - මතෙව් 5 : 14, 16
"යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවා ගතිමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, නුඹ සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කළෙමි" - යෙසායා 42 : 6

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

හැඳින්වීම
කතෝලික බැතිමතුන්ගේ දේව වන්දනාව වර්ෂ තුනකින් යුක්ත කතෝලික ලිතකින් සකස් වී ඇත. එක් එක් වර්ෂය "ජනවන්දනා වසර" 1,2 හා 3 යන යනාදී වශයෙන් නම් කෙරේ. එම කතෝලික ජනවන්දනා ලිතට අනුව විවිධ මංගල්‍ය උත්සව සැමරීම සිදුවේ. ජනවන්දනා ලිතේ 3 වන වර්ෂය අවසන් වූ විට නැවත 1 වන වර්ෂය ආරම්භ වේ. මේ අනුව මෙම ජනවන්දනා වර්ෂ තුන චක්‍රාකාර ස්වභාවයක් ගනියි. එබැවින් එය "ජනවන්දනා චක්‍රය" යන නමින් ඇතැම් අය හඳුන්වති. සාමාන්‍යයෙන් ජනවන්දනා වර්ෂයක් ආරම්භ වන්නේ "ආගමන කාලය" යන නමින් හඳුන්වන සති හතරකින් යුත් ආධ්‍යාත්මික සූදානම් වීමේ විශේෂ කාලයක (පළමුවන) ඉරු දිනක දී ය. (1) ජනවන්දනා වර්ෂයක් අවසන් වන්නේ "ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය"යන නමින් හඳුන්වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ සැමරුමකිනි.  මිනිස් වර්ගයාට ගැළවීම හා විමුක්තිය අත්කර දුන් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට විශේෂාකාරයෙන් ගෞරව නමස්කාර කිරීම මෙම මංගල්‍යය සැමරීමෙන් සිදු කෙරේ.

ක්‍රිස්තු රජාණන් පිළිබඳ ශුද්ධ බයිබලීය ඉගැන්වීම්
ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට දැනුම් දීම පිලිබඳ සිද්ධියේ දී, "දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරේ සදහට ම රජකම් කරන සේක, උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොවන්නේ ය" යනුවෙන් ලූක් තුමා පෙන්වා දී ඇත. (ලූක් 1 : 32 - 33) 
දාවිත් රජුගේ නුවර වූ බෙත්ලෙහෙම හි "ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණන් කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, උන් වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු" යි පෙරදිගින් පැමිණි ශාස්ත්‍රවන්තයෝ මහ හොරෝද් රජුට කීහ. (මතෙව් 2 : 1 - 2) 
"වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ ද?" යි ප්‍රශ්න කළ අවංකයෙකු වූ නතානියෙල් නමැති පරිසිවරයා ජේසුස් වහන්සේව දැක, "....ඔබ වහන්සේ නම් ඉශ්රායෙල් හී රජිඳාණෝ ය" යි පිළිතුරු දුන්නේ පුරාණ ගිවිසුමේ ජනතාව බලාපොරොත්තු වූ ස්වර්ගයෙන් මෙලොවට වඩින ස්වර්ගීය රජාණන් ජේසුස් වහන්සේ බව පසක් කර ගැනීම නිසා ය. ජේසුස් වහන්සේ රාජ තේජසින් ජෙරුසලම් නුවරට කොටළුවෙකු පිට නැගී සම්ප්‍රාප්ත වීම පිළිබඳ සිද්ධිය මතෙව් තුමා සෙකරියස් (9 : 9) දිවැසිවරයාගේ දිවැස්වැකිය උපුටා දක්වමින්, 
"බලන්න, ඔබේ රජ
කොටළුවෙකු පිට,
එසේය, කොටළු වස්සෙකු පිට නැගී,
යටහත් පහත් ලෙස
ඔබ වෙත එන්නේ යයි 
සියොන් වැසියන්ට දන්වන්න" (මතෙව් 21 : 5) 
යනුවෙන් ඔවුන් වහන්සේගේ රාජකීයත්වය පෙන්නුම් කර ඇත. සියොනය යනු පුරාණ ගිවිසුමේ මිනිසුන් ජෙරුසලමට භාවිත කළ නාමයකි. බොහෝ විශාරදයන් මෙහිදී සියොනය යන්න පැමිණීමට නියමිත නව දේව රාජ්‍යය අදහස් කරන බව දක්වති. නව දේව රාජ්‍යය වනාහී අවසාන විනිශ්චයෙන් පසුව උදාවන යහපතුන්ගේ රාජ්‍යය ය. එහි රජාණන් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. සම්පූර්ණත්වයට පත් වීමට නියමිත දේව රාජ්‍යය කරා තේජශ්‍රීයෙන් වැඩම කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ව සලකුණක් ලෙස මෙම ජෙරුසලමට කොටළුවෙකු පිට වැඩම කිරීම දක්වා ඇත. ජොහාන් තුමාගේ සුභාරංචි පොතේ මෙය,

 "හෝසන්නා !
ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩනා
තැනැන් වහන්සේට ආසිරි වේවා!
ඉශ්රායෙල් රජු හට ආසිරි වේවා" 
යි, ඔල්වර හඬ නගමින් උන් වහන්සේ පෙරමගට පැමිණි' බවය. (ජොහාන් 12 : 13)
පිළාත් ‍නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේව විනිශ්චය කරමින්, "එසේ නම් නුඹ රජෙක් ද" යි ඇසූ ප්‍රශ්නයට, "මම රජෙක් යැයි ඔබ ම කියන්නෙහි ය" යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුර තුළ ඔවුන් වහන්සේගේ රාජකීයත්වය ප්‍රකාශ වේ. පිලාත් ජේසුස් වහන්සේව ජුදෙව් ජනතාවට හඳුන්වා දුන්නේ, "මෙන්න ඔබේ රජ" යනුවෙනි. (ජොහාන් 19 : 14) එසේම ඔහු ජේසුස් වහන්සේගේ කුරුසිය මුදුනේ එල්ලා තැබූ පුවරුවේ "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්" යැයි ලියවීය. (ජොහාන් 19 : 19)
  ක්‍රෑර සෙබළුන් ජේසුස් වහන්සේට වධ හිංසා පමුණුවමින් නින්දා අපහාස කළේ, "ජුදෙව් රජතුමෙනි, සැරදේ!" යැයි කියමිනි. (ජොහාන් 19 : 3) ජේසුස් වහන්සේ කුරුසිය මත සිටිනු දුටු ජුදා ශ්‍රේෂ්ඨයන් අපහාස කරමින් කීවේ, "...මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේද? එසේ නම් දැන් කුරුසියෙන් බසීවා..." යනුවෙනි. (මතෙව් 27 : 42) 
මතෙව් 25 : 31 - 46 හි දැක්වෙන "ජාතීන්ගේ විනිශ්චය දවස" පිළිබඳ ඉගැන්වීමෙහි ජේසුස් වහන්සේව "රජ්ජුරුවන් වහන්සේ" ලෙසින් හඳුන්වා ඇත. (මතෙව් 25 : 31, 34) ජේසුස් වහන්සේ ස්වකීය උත්ථානයෙන් පසුව ස්වර්ගාරෝහණයට පෙර ඔලීව කන්ද වෙතට කැඳවා ගෙන ගිය තම ශ්‍රාවකයන්ට කීවේ, "ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා දී ඇත" යනුවෙනි. (මතෙව් 28 : 17) ජේසුස් වහන්සේ නැවත රාශ්‍රීයෙන් මෙලොවට වැඩම කරන තුරු ලෝකය තුළ ධර්මදූත කාර්යයෙහි නිරත වෙමින් දේව රාජ්‍යය සම්පූර්ණත්වය කරා ගෙන යාමේ වගකීම හා බලය ශුද්ධ සභාවට පැවරූ සේක. ඒ අනුව කිතුනු සභාවට ඇතුළුවීම යන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි කොටස්කරුවන් වීමකි. ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වයට පංගුකාර වීමකි. 
ශුද්ධ වූ පාවුළු තුමා පෙන්වා දෙන පරිදි  ‍ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ "වනාහී භාග්‍යවත්, අසහාය, අධිපති රාජති රාජ, දේවාති දේව තැනැන් වහන්සේ ය."(1 තිමෝති 6 : 15) ".....කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුස් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය" (එපීස 5 : 5)  යනුවෙන් ද දක්වයි. එළිදරව්ව 1 : 5 හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ "මිහි පිට රජුන්ගේ අධිපතියාණන්" ලෙසින් හඳුන්වන අතර, 19 : 16 හි "අන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කළවයෙහි ද 'රජවරුන්ගේ රජ ය, ස්වාමිවරුන්ගේ ස්වාමිය' යන නාමය ලියා තිබේ" යැයි දැක්වේ.
   
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ ඉතිහාසය
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට වැඳ නමස්කාර කිරීම කතෝලික සභාව විසින් පවත්වනු ලැබිය යුතු මංගල්‍යයක් වශයෙන් නියම කළේ ක්‍රිස්තු වර්ෂ 1925 දී 11 වන පියුස් පාප්තුමා ය. [Pope Pius XI, - Click Here] ඊට හේතුව යුරෝපීය සමාජයෙන් ආර්මභ වී පසුව වෙනත් රටවල් තුළ ව්‍යාප්ත වෙමින් තිබූ නොයෙකුත් ජාතිවාදී සංකල්ප හා ලෝකයත්තවාදය [Secularism] යි. එම පාප්තුමා ක්‍රිස්තු වර්ෂ 1925 දෙසැම්බර් 11 දින නිකුත් කළ, "Quas Primas" (ලතින් භාෂාවෙන් "පළමුවෙන්" යන අදහස දෙන) විශ්ව හසුන් පතේ, ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය විශේෂ මංගලෝත්සවයක් ලෙසින් විස්තර කර ඇත. ඊට පෙර 13 වන ලියෝ පාප්තුමා  රචිත "අන්නුම් සේකෘම්" [Annum Sacrum - ශුද්ධ වූ වසර] නම් වූ විශ්ව හසුන් පතේ ද, "ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය සමස්ත මානව වර්ගයාව පිළිගෙන වැළඳ ගන්නා බව" සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1960 දී 23 වන ජුවාම් පාප්තුමා [Pope John XXIII, - Click Here] සංශෝධනය කර සකස් කළ කැලැන්ඩරයේ ද මෙම ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය පළමු පෙළ මංගලෝත්සවයක් ලෙසින් ඇතුළත්ව තිබේ.(2) ක්‍රිස්තු වර්ෂ 1969 දී 6 වන පාවුළු පාප්තුමා "මිස්ටරී පාස්කාලිස්" [Mysterii Paschalis] නමින්, කතෝලික ජනවන්දනා කැලැන්ඩරය පාදක කොට ගෙන නිකුත් කළ ලේඛනයේ, "අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණෝ ය" ["D. N. Iesu Christi universorum Regis"] යන විශ්වාසයේ සත්‍යතා වගන්තියක් ප්‍රකාශයට පත් කළේ ය. එය මංගලෝත්සවයක් වශයෙන් නොවැම්බර් මස දී, ආගමන කාලයේ පළමු ඉරු දිනට පෙර ඉරුදින(3) පැවැත්විය යුතු බවට ද නියම කළේ ය. 

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ වැදගත්කම
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය වනාහී දේවධාර්මික වශයෙන් වැදගත්කමක් උසුළන සැමරුමක් වන්නේ, එමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වය ලොවට ප්‍රකාශ කරන අතර, (කතෝලික විශ්වාසය පරිදි) එය ඔවුන් වහන්සේගේ රාජශ්‍රීය දෙවන ආගමනය හා සම්බන්ධ වූවක් වන බැවිනි. එසේම මෙම මංගල්‍යය වෙනත් කිතුනු සභාවන් ද විශේෂ කොට සළකන්නකි. 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්තුමා පෙන්වා දෙන ආකාරයට, "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රජකම මෙලොව මනුෂ්‍ය බලයක් හෝ අධිකාරයක් මත නොව, ලෝකය තුළ සේවය කිරීම හා ප්‍රේමය දැක්වීම මත ගොඩනැගුණු දෙයක්" බව ප්‍රකාශ කර ඇත. එසේම කිතුනුවා එය පිළිගෙන එය තම ජීවිත ආදර්ශය තුළින් ප්‍රකාශ කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. ජේසුස් වහන්සේගේ රාජකීයත්වය ලෞකික දේශපාලනමය රාජ්‍යයක් බිහි කිරීම සම්බන්ධයෙන් නොව, එය ඔවුන් වහන්සේව අදහන මිනිස් හදවත් තුළ ගොඩනැගුණකි. පිලාත් නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේගෙන් ඇසූ, "නුඹ ජුදෙව්වරුන්ගේ රජ ද?" යන ප්‍රශ්නයට ඔවුන් වහන්සේ දුන් දුන් පිළිතුර වන, ".....මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත, .....මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ" යන්නෙන් එය පැහැදිලි ය. ක්‍රිස්තුස් වහන්සේ රජාණන් වන්නේ අපගේ හදවත තුළය. කතෝලික සභාව ඇගේ අදෘෂ්‍යමාන නායකයාණන් වන ජේසුස් වහන්සේව ස්වකීය රජාණන් ලෙසින් සළකන්නීය.  16 වන බෙනඩික්ට් පාප්තුමා 2009 වසරේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය දින කළ දේශනයට අනුව,(4) ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දුන් මොහොතේ ඔවුන් වහන්සේ දාවිත් රජුගේ පරපුරෙන් පැමිණෙන බවත් ඔවුන් වහන්සේගේ රාජ්‍යය කිසිදා කෙළවර නොවන බවත් කී අතර, මරිය තුමිය ජේසුස් වහන්සේ උපත ලබන්නට පෙර සිට එය පිළිගෙන අදහා ගත්තා ය. මෙම නව රාජකීයත්වය වනාහී, ජේසුස් වහන්සේගේ වචනයට සවන් දීම එය වටහා ගෙන, විශේෂයෙන් ඔවුන් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානයට (පාස්කු අභිරහසට) වඩාත් සමීපව ජීවත්වීම තුළ අත්දැකිය යුත්තක් බව ඇය අවබෝධ කරගත්තා ය. 
 දෙවියන් වහන්සේ ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තිලොව රජාණන් ලෙස පත් කර ඇති බව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
"එබැවින් දෙවියන් වහන්සේ  
උන් වහන්සේ අති උසස් තැනට නංවා,
සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය 
උන් වහන්සේට දුන් සේක. 
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, 
පාතාල ලොකයෙහි ද සියල්ලන්,
'ජේසුස්' යන නාමයට දණ නමන පිණිසත්,
  ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි
දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා,
සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය" (පිලිප්පි 2 : 9 - 11) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටමෙම රාජකීයත්වයේ උරුමය ස්වර්ගයේ දී ම හිමිව තිබූවකි. ඔවුන් වහන්සේ මෙලොවට වැඩම කළේ එම රාජකීය දේවත්වය ඉවත ලා මනුෂ්‍ය ස්වභාවය ගෙන මිනිස් සංහතියට ගැළවීම හා විමුක්තිය උදා කරනු සඳහා ය. දේව කැමැත්ත හා සැලැස්මට සම්පූර්ණයෙන් අවනත වෙමින් කළ උදාර ප්‍රේමයේ ජීවිත පූජාවට ඔවුන් වහන්සේට ලැබුනු දේව තිළිණය වන්නේ මහිමාන්විත උත්ථානය හා නැවත එම රාජශ්‍රීයයේ උරුමය යි.  
ක්‍රිස්තු රජාණන්ගේ මෙම මංගල්‍යය කිතුනු අප උත්සවාකාරයෙන් සැමරීම යනු, ක්‍රිස්තුස් වහන්සේව අප ජීවිත තුළට රාජකීයත්වයෙන් පිළිගැනීමක් වන අතර ඔවුන් වහන්සේගේ රාජකීයත්වයට ලොවට ප්‍රකාශ කිරීමකි. යහපත් ශුද්ධවන්ත ජීවිත ගත කිරීම මගින් ඔවුන් වහන්සේගේ අනාගත දිව්‍යමය රාජ්‍යයට ඇතුළත් වීමේ වරම හිමිකර ගැනීමට අප සැමට දිව්‍යමය කැඳවීමක් හිමි ය.එම කැඳවීම තුළ ජීවත් වෙමින් එම රාජ්‍යය අත්පත් කර ගැනීමට කිතුනු සැම දෙන උත්සහ කළ යුතුය.    


෴ වැඩිදුර සටහන් ෴
(1) "ආගමන කාලය" පිළිබඳව පසුව ලිපියක් ඉදිරිපත් කිරීමට නියමිතය.  
(2) Movable (General Catholic Liturgical Calendar)
  • Sunday after Epiphany or, if Epiphany is celebrated on 7 or 8 January, the following Monday: Baptism of the Lord – Feast
  • Sunday after the first full moon occurring after 20 March: Easter – Solemnity
  • Fortieth day from Easter (Thursday of the Sixth Week of Easter): Ascension of the Lord – Solemnity
  • Fiftieth day from Easter: Pentecost – Solemnity
  • First Sunday after Pentecost: Holy Trinity – Solemnity
  • Thursday after Holy Trinity: Body and Blood of Christ – Solemnity
  • Friday following the second Sunday after Pentecost: Sacred Heart of Jesus – Solemnity
  • Saturday following the second Sunday after Pentecost: Immaculate Heart of Mary – Memorial (if the date coincides with that of another Memorial, both become optional)
  • Last Sunday in Ordinary Time (last Sunday before 27 November): Christ the King – Solemnity
  • Sunday within the Octave of Christmas or, if there is no such Sunday, 30 December: Holy Family – Feast
Epiphany is celebrated on the Sunday after 1 January, the Ascension of the Lord on the Seventh Sunday of Easter, and the Body and Blood of Christ (Corpus Christi) on the Sunday after Holy Trinity in countries where the Episcopal Conference, with the prior approval of the Apostolic See, has decided that they are not treated as Holy Days of Obligation.
"For the pastoral advantage of the people, it is permissible to observe on the Sundays in Ordinary Time those celebrations that fall during the week and have special appeal to the devotion of the faithful, provided the celebrations take precedence over these Sundays in the Table of Liturgical Days" (General Norms for the Liturgical Year and the Calendar, 58).
(3) 2010 වසරේ එය නොවැම්බර් 21 ඉරු දින යෙදී ඇත.
(4) Dear brothers and sisters, when the Angel Gabriel brought the announcement to Mary, he predicted that her Son would inherit the throne of David and reign forever (cf. Lk 1: 32-33). And even before she gave him to the world, the Blessed Virgin believed. Thus she must certainly have wondered what new kind of kingship Jesus' would be; she came to understand by listening to his words, and especially by closely participating in the mystery of his death on the Cross and in his Resurrection. Let us ask Mary to help us too to follow Jesus, our King, as she did, and to bear witness to him with our entire existence.
— Pope Benedict XVI, Angelus Address, November 22, 2009
   
 

මළවුන් සිහි ගන්වන නොවැම්බරය

හැඳින්වීම
නොවැම්බරය කතෝලිකයන්ට විශේෂ වූ මාසයකි. එයට හේතුව කතෝලිකයන් සිහිපත් කරන මංගල්‍යයන් කිහිපයක් හා ජනවන්දනා කාල පරිච්ඡේදයක ආරම්භයක් මෙම මාසය තුළ යෙදී තිබීමය. එනම්, 
  • සියළු සාන්තුවර මංගල්‍යය
  • සියළු මළවුන්ගේ මංගල්‍යය
  • ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය හා
  • ආගමන කාලයේ පළමු ඉරු දිනය
යනාදිය වෙති. නොවැම්බර් මාසය කතෝලිකයන්ට වඩාත් වැදගත් වන්නේ මළාවූ කිතුනු සැදැහැවතුන්ව සිහි ගන්වා ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඤා කරන නිසා ය. ‍මළාවූ කිතුනු බැතිමතුන්ව සිහිපත් කිරීම "මෙලොවින් නික්ම ගිය සියලු ඇදහිලිවතුන්ගේ ස්ම‍රණෝත්සවය" (The Commemoration of All the Faithful Departed) යනුවෙන් හඳුන්වයි. එම නිසා කතෝලිකයන් නොවැම්බර් මාසය "මළවුන්ගේ මාසය" යනුවෙන් හඳුන්වයි. 
මිනිසෙකු ලෙසින් උපදින සෑම දෙනාටම නියත වශයෙන් උරුම වන, කිසිවෙකුටත් බේරී පළා යාමට නොහැකි දෙයකි, මරණය.(1) පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් මරණය ලොවට උරුම වූ බව පාවුළු තුමා රෝමවරුන්ට ලියූ ලිපියේ දැක්වේ. 
"එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට පොදුව පවතියි" (රෝම 5 : 12)
යනුවෙන් විස්තර වේ. මරණය පාපයේ ප්‍රතිඵලයක් බව මින් පැහැදිළි වේ.
එනිසා ලොකු කුඩා, බාල තරුණ මහළු සෑම දෙනාට ම භේදයකින් තොරව කෙදිනක හෝ මරණයේ අත්දැකීම විඳ ගැනීමට සිදුවේ.(2) ජීවත්වන අයට තම නෑ හිතවතුන්ගේ මරණය ශෝකය උපදවන දෙයකි. ලෞකික ජීවිතයේ තෘෂ්ණාවන් හි ඇලී ගැළී ජීවත්වන අයට මෙලොවින් සමුගැනීමට සිදුවීම වේදනාත්මක අත්දැකීමකි.(3) කිතුනු ඉගැන්වීම් වලට අනුව, මරණය යන්න කිතුනුවා මෙලොවෙහි තාවකාලික ජීවිතයට සමු දී සදාතන ජීවිතයට යාමකි.(4) එබැවින් දැහැමි ජීවියක් ගත කරන අයෙකුට මරණය යන්න ප්‍රීතිදායක අත්දැකීමක් ලෙස විස්තර වේ. එසේම කතෝලික සභාව අපට උගන්වන ආකාරයට කිතුනුවෙකු දිනපතා සිහි කළ යුතු කාරණා අතර, තමන් කෙදිනක හෝ මරණයට පත්වන බව මතකයට නංවා ගත යුත්තකි.(5) එම සිතුවිල්ල තමන්ට මෙලොවෙහි දැහැමි ජීවිතයක් ගත කිරීමට උදව් වේ. 


මළවුන්ගේ මංගල්‍යයේ ඉතිහාසය
පුරාණ මැක්සිකානු කියමනකට අනුව, මනුෂ්‍යයෙකුට මරණ තුනක් හිමිය. ඉන් පළමුවැන්න නම්, එම පුද්ගලයා ශාරීරිකව මරණයට පත් වීම ය. දෙවැන්න ඔහුගේ ශරීරය පොළොව යට මිහිදන් කොට සම්පූර්ණයෙන් පසින් වසා දැමීම ය. තෙවැන්න ඔහුගේ ඥාතීන්ට හා හිතවතුන්ට ඔහුව ක්‍රමයෙන් අමතක වී යාම ය. මළවුන් සිහි කිරීම විවිධ රටවල විවිධ ජාතීන් හා ආගමිකයන් විවිධාකාරයෙන් සිදු කරති. එය ලෝක සංස්කෘතිය තුළ සාදචාරාත්මක වටිනාකමකින් යුත් උතුම් ක්‍රියාවක් ලෙසින් බොහෝ දෙනා සළකති. තමන්ගෙන් වියෝ වූ අයව අවම වශයෙන් වසරකට වතාවක් වත් සිහිකර ඔවුන්ගේ ආත්ම වලට සැනසීම හා ප්‍රීතිය ප්‍රාර්ථනය කිරීම මිනිසුන්ගේ ජීවිත හා බැඳුණු ක්‍රියාවක් බවට පත් වී තිබේ. බෙහෝ ආගම් වලද මළවුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් ඇත. මනුෂ්‍යයෙකුට මරණින් මතු ජීවිතයක් ඇති බව පැරණි ශිෂ්ටාචාර වල විසූවන් පවා විශ්වාස කර ඇත. පැරණි රෝමානුවන් මරණයට පත් තම ඥාතීන් වෙනුවෙන් රෝම දෙවිවරුන්ට තෙවන දින, සත්වන දින හා දසතුන්වන දින යාග පුද පූජා පවත්වා ඇත. පැරණි ‍ජුදෙව්වරුන් ද තම මිය ගිය ඥාතීන්ව ආගමික උත්සවයකින් සිහි කරති. 
ජුදාස් මකබේයුස් නමැති වීර ජුදෙව්වා, ඉඳුමියාවේ ගොර්ජියස්ගේ සේනාවන් සමග සටන් කොට මිය ගිය ජුදෙව්වරුන් කර ඇති පාප වලින් නිදොස්වීමට ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් පාප පූජාවක් ඔප්පු කිරීමක් ගැන 2 මකබි 12 : 42 - 46 හි සඳහන් වේ.(6) මළා වූ සියලු ඇදහිලිවතුන්ගේ ආත්ම වෙනුවෙන් මංගල්‍යයක් පවත්වා ඔවුන් යාච්ඤාවෙන් සිහි කිරීම ආරම්භ වූයේ අතීතයේ යුරෝපයේ පැවති මළවුන් නැමදීමේ මිථ්‍යා දෘෂ්ඨික ආගමික වත් පිළිවෙත් වලින් ඊට ඇබ්බැහි වී සිටි නවක කිතුනුවන් ගළවා ගැනීමේ එක් පියවරක් වශයෙන් බව ඇතමුන්ගේ මතයකි. මා පෙර ලිපියක (ඉපැරණි උමං සොහොන් වලින් ප්‍රකාශ වන මුල් කිතුනු සභාව - I, 2010.6.12) සඳහන් කළ පරිදි කිතුනු පීඩන සමයේ දී රොමයේ ජීවත් වූ කිතුනුවෝ ප්‍රාණ පරිත්‍යාගී කිතුනුවන්ගේ මෘත ශරීර උමං සොහොන් වල සඟවා තබා, එම සොහොන් බිම්වල හා ශරීර තැන්පත් කර තිබූ පීඨක මත ඉටි පහන් දල්වා දිව්‍ය පූජාව හා යාච්ඤා මෙහෙයයන් පැවැත්වූහ. මළවුන් සිහි ගැන්වීමේ හා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමේ ඉතිහාසය ඇරඹෙන්නේ එමගිනි. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී බෙනඩිකාන තාපසාරාම වල විසූ තාපස පූජකවරුන් රෝගී ව සිටි ඔවුන්ගේ අ‍නික් තාපස පූජකවරුන්ට සුවය පතා පෙන්තකොස්ත මංගල්‍යය දිනට පසු දින දිව්‍ය පූජාවක් පවත්වා යාච්ඤා පුද කර ඇත. නොවැම්බර් 2 වෙනිදාට මෙම මළවුන්ගේ මංගල්‍යය සැමරීම ආරම්භ කරනු ලැබ ඇත්තේ, ‍ක්‍රිස්තු වර්ෂ 998 දී බෙනඩිකාන තාපසයෙකු වූ ප්‍රංශයේ ක්ලූනි හි සාන්ත ඕඩිලෝ [Odilo of Cluny - Click Here] විසිනි. නොබෝ කලකින් එය ප්‍රංශයේ කතෝලික රදගුරු පදවි පුරා ව්‍යාප්තව ගිය අතර, බටහිර කිතුනු සභාවල වැදගත් මංගල්‍යයක් ලෙසින් පිළිගැනීමට හා අනුස්මරණයට පාත්‍ර විය.  කතෝලික සභාව පැවැත්විය යුතු මංගල්‍යයක් ලෙසින් මෙය ප්‍රකාශයට පත් කෙරුණේ 14 වන සියවසේ දී පමණ ය. 
   
ශුධිකාගිනිස්ථානය යනු කුමක්ද? 
මෙලොවෙහි ජීවත් වී සුළු පව් ඇතිව මිය යන අය තම පාප වලට වන්දි ගෙවා ශුද්ධවන්තභාවය හා ස්වර්ගයට පිවිසීමේ සුදුසුකම ලබා ගැනීමට තාවකාලිකව රැඳී සිටින පීඩිත ස්ථානයක් ලෙස ශුධිකාගිනිස්ථානය (Purgatory) විස්තර වේ. මෙහි අර්ථය "ශුද්ධවත් කරන ගිනි ස්ථානය" යන්නය. මෙහි රැඳී සිටින ආත්ම වලට මුහුණ දීමට සිදුවන දරුණුම වේදනාව ලෙසින් විස්තර වන්නේ, දෙවියන් වහන්සේව දක්නට නොලැබීමෙන් හා ඔවුන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රීතිය භුක්ති විඳීමට නොහැකි වීමෙන් ඇති වන ආත්මයේ දැඩි පිපාසිත බවයි. එය මිනිස් වචන වලින් විස්තර කිරීමට අපහසු තරම් වේදනාවක් ලෙස කතෝලික සභාවේ පඬිවරුන්ගේ ඉගැන්වීම් වල සඳහන් වේ. ශුධිකාගිනිස්ථානයේ රැඳී සිටින ආත්මයන් අසරණ හා කිසිවක් කළ නොහැකි පිරිසක් ලෙස පිළිගැනේ. ඔවුන්ට එම ස්ථානයෙන් ගැළවී ස්වර්ගය කරා යාමට දේව වරප්‍රසාද අත්‍යාවශ්‍ය ය. එම දේව වරප්‍රසාද ඔවුනට ලබා දී ඔවුන්ගේ පීඩා විඳීමේ කාලය අවම කරන ලෙසත්, ඔවුන්ට සැනසීම ලබා දෙන ලෙසත්, හැකි විගස එම ආත්ම ශුද්ධවත් කර එතැනින් මුදා ස්වර්ගය කරා කැඳවා ගන්නා ලෙසත් ඉල්ලා කිතුනුවන් දෙවියන් වහන්සේට යාච්ඤා කරන අතර, විවිධ පුණ්‍ය ක්‍රියා කරති.  
  

සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයෙන් හිමිවන සහනය 
කතෝලික බැතිමතුන් විශ්වාස කරන කිතුනු ආගමික සත්‍යතාවයන් ඇතුළත් වන "විශ්වාස ලක්ෂණය" නමැති යාච්ඤාවේ "සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය"  (Communion of Saints) හා "මාංශෝත්ථානය" (Resurrection of the Body) (7) යනුවෙන් සඳහන් වන වගන්ති දෙකක් ඇතුළත්ව ඇත. සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය යන්නෙන් අදහස් කරන්නේ, 
  • මෙලොවෙහි ජීවත්වන කිතුනුවන් (ඇදහිල්ලේ සභාව),
  • ස්වර්ගයෙහි වැඩ සිටින ශුද්ධවත් ආත්මයන් (ජයග්‍රාහී සභාව),
  • ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්මයන් (දුක් විඳින සභාව)

යන තුන් කොටස අතර යාච්ඤා කිරීම හා ආත්මික පිහිටාධාර ලබා දීම මගින් ඇති වන ගැඹුරු ආධ්‍යාත්මික සම්බන්ධතාවයයි. මෙම ගැඹුරු ආධ්‍යාත්මික බැඳීම නිසා මෙලොවෙහි සිටින කිතුනුවන් ද, ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්මයන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම, යාච්ඤා කිරීම හා දාන පින්කම් කිරීම කරති. ස්වර්ගයේ වැඩ සිටින ශුද්ධවත් ආත්මයන් ද එම අසරණ ආත්ම වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි මැදහත් වෙති. 
කතෝලික සභාවේ ඉගැන්වීම් වලට අනුව, කිතුනුවෙකු යනු දෙවියන් වහන්සේ වෙතින් මෙලොවට පැමිණි වන්දනාකරුවෙකි. ඔහුගේ ස්ථිර වාසභවනය මෙලොව නොව ස්වර්ගය යි. ඔහු මෙලොවට පැමිණියේ තාවකාලික ජීවිතයක් ගත කරමින් දෙවියන් වහන්සේගෙන් ලත් විශේෂ කැඳවීමකට අනුව කිසියම් දූත කාර්යයක් ඉටු කිරීම සඳහා ය. දෙවියන් වහන්සේගෙන් ඔහු ලැබූ එම දිව්‍යමය කැඳවීම වනුයේ තමන් ජීවත් වන සමාජය යහපත කරා ගෙන යමින් ශුද්ධවත් කිරීම ය. කිතුනුවා තමන්ට බාර වූ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කරමින් සමාජය ශුද්ධවත් කරන අතර තමන් ද ශුද්ධවන්තභාවය කරා ගමන් ගත යුතුය. එය අවසන් වූ විගස ඔහු නැවත දෙවියන් වහන්සේ වෙත යා යුතුය. කිතුනුවාට නැවත ස්වකීය ස්වර්ගීය වාසභවනය වෙත යාමට හැකි වන්නේ, ඔහු මෙලොවේ දී ක්‍රියා කළ ආකාරයත්, තමන්ට බාර වූ දේව කාර්යභාරය ඉටු කළ ප්‍රමාණය හා එය ඉටු කළ අන්දමත් අනුව ය. මෙලොවේ දී තම දේව කාර්යය සම්පූර්ණත්වයට පත් කිරීමට අසමත්වූවන්ට තමන්ගේ සදාතන වාසභවනය වන ස්වර්ගය වෙත කරා යාමට නොහැකි වීමට ද පුළුවන. බොහෝ දෙනාගේ මෙලොව දූත කාර්යයෙහි පවතින අඩුලුහුඩුතා නිසා ‍ශුද්ධවන්තභාවය හා ස්වර්ගයට පිවිසීමේ සුදුසුකම ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ශුධිකාගිනිස්ථානයට යාමට සිදුවේ. තමන් මෙලොවේ දී කළ සියලු පාප වලට වන්දි ගෙවීම පිණිස තාවකාලික දඬුවමින් පීඩා විඳීමට සිදුවේ. එහිදී ශුද්ධවත් කරනු ලබන එම ඇදහිලිවතුන්ගේ ආත්ම ස්වර්ගය කරා යාමට භාග්‍යය හිමිකර ගනියි. 
මෙලොවෙහි ජීවත්වන කිතුනුවෝ දිව්‍ය පූජා පැවැත්වීම, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම හා දාන පින්කම් කිරීම මගින් ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින එම ආත්ම වලට දේව කරුණාව හා සැනසීම ළඟාකර දීමට ක්‍රියා කරති. අපගේ මිය ගිය ඥාතීන් හා හිතවතුන්ගේ ආත්ම රැඳී සිටින්නේ ස්වර්ගයේ ද, ශුධිකාගිනිස්ථානයේ ද නැතහොත් නිරය හෙවත් සාතන්ගේ ලෝකයේ යන්න අප නොදන්නා බැවින් අප කරන යාච්ඤා වලින් කිසිඳු ප්‍රතිඵලයක් අත් නොවීමට පුළුවනැයි කෙනකුට සිතිය හැකිය. කතෝලික සභාව අපට පෙන්වා දෙන ආකාරයට අප යාච්ඤා පිහිට ප්‍රාර්ථනය කරන ආත්මය ස්වර්ගයේ හෝ නිරයේ සිටින්නේ නම්, අපගේ එම යැදුම් ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින අනිකුත් ආත්ම වලට සැනසීම උදා කරන දෙන පිණිස යෙදේ. එබැවින් කිසිම දිනක අපගේ එම යැදුම් අපතේ නොයයි.  


මළවුන් සම්බන්ධ කතෝලික සභාවේ ඉගැන්වීම
කතෝලික විශ්වාසය හා ඉගැන්වීම අනුව, මනුෂ්‍යයෙකුට ස්වභාවික ශරීරය හා අමරණීය ආත්මය යනුවෙන් දෙකොටසක් ඇත. මෙම දෙකොටස එකිනෙක හා දැඩිව සම්බන්ධ වී ඇත. අමරණීය ආත්මය අදෘෂ්‍යමාන ය. මනුෂ්‍යයෙකු මරණයට පත් වූ විගස අමරණීය ආත්මය ඔහුගේ ශරීරයෙන් වෙන්වී දෙවියන් වහන්සේ ඉදිරියට පමුණුවයි. ශරීරය පොළොවට දිරා පත් වේ. එම පුද්ගලයා මෙලොව ජීවිතයේ දී තමන් කළ කී ‍සියලු දේ අනුව, දෙවියන් වහන්සේගේ සාධාරණ කාරුණික විනිශ්චයට භාජනය වේ. මෙම විනිශ්චය "තනි නඩුව" යන නමින් හඳුන්වයි. මනුෂ්‍යයාගේ එම අමරණීය ආත්මය පත්වන තත්ත්වය හා ඉන්පසු එය යන ස්ථානය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ ය. මෙලොවේ දී දේව කැමැත්ත ඉටු කරමින් ඉතා ශුද්ධවන්ත දැහැමි නිදොස් ජීවිතයක් ගත කළ පුද්ගලයාට ස්වර්ගය ද, සුළු පව් ඇත්තාට තාවකාලික දඬුවමකින් ශුද්ධවන්තභාවය ලබා ගැනීම සඳහා ශුධිකාගිනිස්ථානයට ද, බරපතල පව් ඇතිව (අවම වශයෙන් මරණ මංඤ්චකයේ දී වත් මනස්ස්ථාපනය - පසුතැවිලි - නොවී) මිය යන්නාට කිසිදා ගැළවීමක් හෝ සැනසීමක් නැති සාතන්‍ ඇතුළු නිරාදූතයන්ගේ බලය ඇති නිරය හෙවත් සදාතන විනාශයට ද යාමට සිදුවේ. 
ස්වර්ගයේ දී ශුද්ධවන්ත ආත්මයන්ට හිමිවන පරම සතුට වන්නේ දෙවියන් වහන්සේව නිරතුරු දර්ශනය කරමින් ඔවුන්ගේ වහන්සේගේ අමිල ප්‍රේමය හා සුවය භුක්ති විඳීමේ වාසනාවට උරුමකරුවන් වීමය. නිරයේ දී අශුද්ධ ආත්මයන්ට හිමිවන දැඩි වේදනාව වන්නේ, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ හා කරුණා වරප්‍රසාදයේ මිහිර අත්විඳීමට නොහැකි වීමෙන් ආත්මයේ ඇති කරවන වචනයෙන් කිව නොහැකි තරම් වූ දැඩි සාපිපාසාවත්, තමන් හා සමග මෙලොවෙහි ජීවත් වූ දැහැමි අය ස්වර්ගීය සුවය අත් විඳින ආකාරය දර්ශනය කිරීමෙන් වන දැඩි ඊර්ෂ්‍යාවත් ය. (ධනපතියා ලාසරස්ගේ උපමාව - ලූක් 16 : 19 - 31. විශේෂයෙන් 22 - 23 වගන්ති) එසේම දැඩි දුක් විඳීමකට හා දඬුවමකට භාජනය වී සිටින සාතන් ඇතුළු නිරා දූතයන්ගේ නිරන්තර පීඩාවට ද භාජනය වීමට සිදුවේ. ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම වලට මීට බොහෝ සමාන තත්ත්වයක් පැවතුණ ද, කෙදිනක හෝ තමන්ට ඉන් නිදහස් වී ස්වර්ගය කරා යාමට හැකිවේ යන බලාපොරොත්තුවත්, දේව කරුණා වරප්‍රසාදයත් නිසා සුළු සැනසීමක් අත්විඳමට හැකියාව ලැබේ. කිසියම් ආත්මයක් මෙම ස්වර්ගය හෝ නිරය හෝ ශුධිකාගිනිස්ථානයට හෝ පත් කිරීමේ සම්පූර්ණ බලය, අයිතිය හා හැකියාව ඇත්තේ දෙවියන් වහන්සේට පමණි. එබැවින් අප බිය විය යුත්තේ මෙලොව මිනිස් බලවේග වලට හෝ සාතන්ගේ බලයට හෝ නොව, අප "....... නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට (දෙවිඳුන්ට)....." පමණක් බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කර ඇත. (ලූක් 12 : 4 - 5) 
දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ "කතෝලික සභාවේ ධර්මෝපදේශය"
[Catechism of the Catholic Church (No. 1030-1032)]නමැති කෘතියේ ශුධිකාගිනිස්ථානයේ කෙරෙන ආත්ම පිවිතුරුකරණය පිළිබඳව විස්තර කර ඇත. 
"දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා සබැඳියාව තුළ විශ්වාසයේ සැතපෙන, එහෙත් තවමත් අසම්පූර්ණ පවිත්‍රතාවයෙන් ජීවත්ව සිටින අයට සදාතන ගැළවීම ස්ථිරව සහතික ‍කර ඇති නමුදු, ඔවුන්ගේ මරණින් පසුව ස්වර්ග රාජ්‍යයට ඇතුළත් වීමට නම්, පවිත්‍ර වී ශුද්ධවන්තභාවය ලබා ගත යුතු වේ." 
"කතෝලික සභාව මෙම තෝරාගත්තවුන්ගේ අවසන් පිවිතුරුකරණයට 'ශුධිකාගිනිස්ථානය' යන නාමය දෙන අතර, එය නිරයට වඩා මුළුමනින්ම වෙනස් වූ දඬුවමකි."
"කතෝලික සභාව ශුධිකාගිනිස්ථානය පිළිබඳ ඇයගේ විශ්වාසයේ ධර්මවේදීය ඉගැන්වීම ගෙන ඇත්තේ ෆ්ලොරෙන්ස් හි හා ත්‍රිදෙන්තීන (ට්‍රෙන්ට්) ධර්ම සංඝායනා වලිනි. කතෝලික සභා සම්ප්‍රදායයේ හා නිශ්චිත ශුද්ධ ලියවිලි වල සඳහන් ප්‍රකාර මෙය ශුද්ධවත් කරන ගිනි ස්ථානයකි."
"අවසාන විනිශ්චයට පෙර, අපගේ සුළු ඇදවැටීම් (පාප) උදෙසා වන අග්නිමය පිවිතුරුකරණය විශ්වාස කළ යුත්තකි. "යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කතා කරන්නේ ද එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ වත් කමා කරනු නොලබන"(මතෙව් 12 : 32) බව සත්‍යය වන ඔවුන් (ජේසුස්) වහන්සේ ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශනයෙන් අප අවබෝධ කර ගත යුත්තේ, ඇතැම් පාපයන් මෙම යුගයේ දී කමා කළ ද, ඇතැම් ඒවා ට කමාව හිමි වන්නේ මතු යුගයේ දී බවය."        
"මෙම ඉගැන්වීම වුව ද ශුද්ධ වූ ලියවිල්ලේ සඳහන් කර ඇති පරිදි, මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම මත පදනම් වී ඇත. (ජුදාස් මකබේයුස් මළවුන්ගේ පාප කමා කිරීම පිණිස පිළිවෙතක් පැවැත්වීමට ක්‍රියා කළේය. - 2 මකබ් 12 : 41 - 46 ) එබැවින් කතෝලික සභාව ආරම්භයේ සිට ම මළවුන්ට ගරු කිරීමට හා ඔවුන්ගේ ගැළවීම වෙනුවෙන් යාච්ඤා කිරීම හා සියල්ලට වඩා දිව්‍ය යාගය (දිව්‍ය පූජාව) ඔප්පු කිරීම මගින් දෙවියන් වහන්සේගේ අලංකාර දර්ශනය දැකීමේ භාග්‍යය හිමි කර දීමට ක්‍රියා කරන්නීය. එසේම කතෝලික සභාව මළවුන් උදෙසා දාන පින්කම් කිරීම, පූර්ණ ඵල දානය කිරීම හා (පාප වලට වන්දියක් වශයෙන් දුක් පීඩා විඳීම, නිරාහාරශීලය රැකීම වැනි) පශ්චාත්තාපික ක්‍රියා කිරීම කරන්නීය."
"ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ විසූ සාන්ත ජෝන් ක්‍රිසොස්තම් තුමා කී පරිදි, 'අපි ඔවුන්ව (මළවුන්ව) සිහිකර ඔවුනට පිහිට වෙමු. (පුරාණ ගිවිසුමේ) ජෝබ්ගේ දැහැමි පරිත්‍යාගයන් මගින් ඔහුගේ පුත්‍රයන් පවිත්‍ර වූවාක් මෙන් අපගේ පරිත්‍යාගයන් මගින් මළවුන්ට කිසියම් සහනයක් ලැබ දිය නොහැකි යැයි අනුමාන කරන්නේ මන්ද? මළවුන් උදෙසා පිහිට වීමට මැළි නොවී, අපගේ යැදුම් ඔවුන් වෙනුවෙන් පුද කරමු.' (8)  
ක්‍රිස්තු වර්ෂ 211 දී පමණ "ඔටුන්න" [The Crown 3 : 3] යන නමින් කළ කෘතියක ටූර්ටලියන් [Tertullian], "අප මළවුන්ගේ උපන් දින සාංවත්සර උත්සව වල දී ඔවුන් වෙනුවෙන් පරිත්‍යාගයන් පුද කරන්නෙමු," යනුවෙන් සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 253 දී කාර්තේජ් හි සිප්‍රියන් තුමා [Cyprian], කළ පුකාශනයකට අනුව, "බොහෝ දෙනෙකුට තම මහත් වූ පාප නිසා වෙන් දිගු කලක් ගින්නෙන් දුක් විඳීමට සිදු‍වීම එක් දෙයකි." ක්‍රිස්තු වර්ෂ 419 දී සාන්ත ඔගස්ටින් තුමා කළ ප්‍රකාශනයකට අනුව, "‍ඇතැම් අයට මෙලොවේ දී පමණක් ද, ඇතැමුන්ට ස්වකීය මරණයෙන් පසුව ද, සමහරුන්ට මෙලොවේ දී හා තම මරණයෙන් පසුව ද, තමන් කළ පාප වලට තාවකාලික දඬුවම් විඳීමට සිදුවූවත්, ඒ සියල්ල අවසාන විනිශ්චයට පෙර සිදු වන්නකි. සමහර අය තාවකාලික දඬුවමින් නිදහස ලැබුවත් ඔවුන්ගේ මරණින් පසුව අවසාන විනිශ්චයේ දී සදාකාලික දඬුවමට පාත්‍රවීමට සිදුවේ." (9)    

කිතුනු අප මළවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නේ ඇයි?
කිතුනුවන් මළවුන් සිහිකර යාච්ඤා කරන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇත. එමගින් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එයට හේතු කිහිපයක් පහතින් දැක්විය හැකිය. 
  • බෙහෝ අය යාච්ඤා හා දාන පින්කම් පුද කරන්නේ තමන් දන්නා හඳුනන අයගේ ආත්ම වෙනුවෙන් වුව ද, ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින සියලු අසරණ ආත්ම වෙනුවෙන් යාච්ඤා කිරීම කිතුනු යුතුකමක් හා දයාවේ ධර්ම ගුණයක් වේ. 
  • මනුෂ්‍ය ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලත් දේව තිළිණයකි. එබැවින් මිනිස් දිවියට ගරු කිරීම යුතුකමය. මළාවූ අය ද කලින් මිනිසුන් ලෙසින් අප අතර ජීවත් වූ අය බැවින් ඔවුන්ගේ ආත්ම ගැළවීම පිණිස සහයවීම අවශ්‍ය ය. 
  • දෙවියන් වහන්සේ මැවූ සියලු මිනිසුන් ගැළවීම හා ස්වර්ග රාජ්‍යයේ සදාතන ජීවනය හිමිකර ගැනීම දේව අභිමතය වේ. එහෙත් මිනිස් ජීවිතයේ පවතින ඇතැම් දුබලතා හා සාතන්ගේ පරීක්ෂා වලට හසුවීම හේතුවෙන් ඔවුන්ට ගැළවීම ලබා ගැනීමට බාධා පැමිණ ශුධිකාගිනිස්ථානයේ දුක් විඳීමට සිදුවේ. එබැවින් ඔවුන්ගේ ආත්ම ඉන් ගැළවීම පිණිස සහය වීම උතුම් ක්‍රියාවක් හා දේ අභිමතය ඉටු කිරීමකි.
  • ශුධිකාගිනිස්ථානයේ සිටින ආත්ම අසරණ හා කිසිත් කළ නොහැකි වූ පිරිසකි. මෙලොව ජීවත් වන අපට ඔවුන්ගේ ගැළවීම පිණිස යාච්ඤා හා විවිධ පුණ්‍ය ක්‍රියා මගින් සහය වීමට හැකියාවක් තිබේ.
  • සභාවක් ලෙසින් ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම වෙනුවෙන් යාච්ඤා කිරීම කිතුනු යුතුකම හා දැහැමි ක්‍රියාවක් බව කතෝලික සභාවේ ධර්මෝපදේශය හා පැරණි සභා පියවරුන්ගේ ද ඉගැන්වීම වේ. 
  • මළවුන් ද පෙර කී සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයෙහි සාමාජිකයන් වෙති. අප ද එම සමාජයේ කොටස්කරුවන් වන බැවින් එම ආත්ම වෙනුවෙන් දෙවිඳුන් යැදීම ආගමික යුතුකමක් සේ සැලකේ.
  • ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම යම් දිනක එතැනින් නිදහස් වී ගැළවීම ලබා ස්වර්ග රාජ්‍යය කරා ගිය කල ඔවුන්ගේ යාච්ඤා පිහිට හා ජේසුස් වහන්සේ ඉදිරියෙහි මධ්‍යස්ථභාවය අපට ලබා ගැනීමට හැකිවේ.    

    මෙවැනි හේතු රාශියක් නිසා කතෝලිකයන් මළවුන් සිහිපත් කිරිම කරති. 

    මළවුන් සම්බන්ධ කතෝලික සභාවේ යැදුම් 
    කතෝලික සභාව ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම වෙනුවෙන් විශේෂයෙන් යාච්ඤා කරයි. [Purgatory - Click Here]  කතෝලික සභාව දෙවියන් වහන්සේට වන්දනා නමස්කාර කිරීම පිණිස පවත්වන දිව්‍ය පූජාව [Holy Mass]තුළ දී මළාවූ ඇදහිලිවතුන් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඤා කරයි.
    "උත්ථානයේ බලාපොරොත්තුව ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන් ද (සියළු ඇදහිලිවතුන්) ඔබගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන් ද සිහිකර, ඔබගේ ශ්‍රී මුහුණේ ආලෝකය වෙතට ඔවුන් කැඳවා ගත මැනව." (10)
    එසේම මළවුන් වෙනුවෙන් පවත්වන දිව්‍ය පූජා වල දී (විශේෂයෙන් නොවැම්බර් මාසයේ දී) පහත සඳහන් යැදුම් උච්චාරණය කරයි.
    "මෙලොවින් ඔබගෙන් කැඳවා ගත් ............... (නම) නමැති දාසයා (දාසිය) සිහි කළ මැනව. ප්‍රසාද ස්නානයේ දී ඔහු (ඇය) ඔබගේ පුත්‍රයාණන්ගේ මරණයේ ස්වරූපයෙන් පාපය මකා හැරියේ ය (හැරියා ය). මළවුන් නැගිටුවනු ලබන දිනයේ දී, හෙවත් අපගේ නොවටිනා ශරීර උන් වහන්සේගේ ශරීරයට සමානව ප්‍රභාවත් වන දිනයේ දී, උන් වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට ඔහුට (ඇයට) පිහිට වුව මැනව. නැසී ගිය අපගේ සොහොයුරන් ද සොහොයුරියන් ද ඔබට ප්‍රසන්නව දිවි ගෙවා මෙලොවින් වියෝ වූ සියල්ලන් ද ඔබගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවා ගත මැනව. අපිඳු ඒ රාජ්‍යයට පැමිණ ඔවුන් හා සමග සෑම කල්හි ඔබගේ මහිමයෙන් තෘප්තිමත් වී සිටින්නට බලපොරොත්තු වෙමු. එවිට ඔබ වහන්සේ අපගේ දෑසින් සෑම කඳුළු පොදක් ම පිස දමන සේක. මක්නිසාද යත්, අපගේ දෙවියන් වන ඔබ වහන්සේ වැඩ සිටින සැබෑ තත්ත්වය ලෙසට අපිඳු ඔබ දර්ශනය කරමින්, සෑම කල්හි ඔබට අනුරූප වී, සදහට ම ඔබට ප්‍රශංසා කරමු. 
    අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් යහපත් සියල්ල ලොවට දානය කන ඔබ, උන් වහන්සේ මගින් එය අපට ලැබෙන්නට සලසනු මැනව."(11)
    එසේම, ක්‍රිස්තු වර්ෂ 1917 දී පෘතුගාලයේ පාතිමා නගරයේ දී කුඩා දිළිඳු දරුවන් තිදෙනෙකුට දර්ශනය වූ ජේසුස් වහන්සේගේ මෑණියන් වන මරිය තුමිය ඔවුනට දිනපතා කීමට දුන් "පාතිමා යැදුම" තුළ ද මළවුන් සිහි කිරීමක් ඇත.
    "අහෝ මාගේ ජේසුනී, අපගේ පාප වලට සමාව දුන මැනව. නිරා ගින්නේ අප ගළවා ගත මැනව. සියලු ආත්මයන් ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයන් ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව"
    යන්න එම යැදුම වේ. මීට අමතරව කතෝලිකයෙකු ආහාර ගැනීමට පෙර හා පසුව කිව යුතු යාච්ඤා දෙකක් තිබේ. ඉන් ආහාර ගැනීමට පසුව කියන "භෝජන ස්තෝත්‍රය" නමැති යැදුමේ, "......අපට ආධාරවූවන්ට ඔබ ආධාරව, සියලු ජීවතුන්ට දිවි රැක්ම දී, මළවුන්ට ද සැනසීම දුන මැනව," යනුවෙන් සඳහන්ව ඇත. මේ අනුව, මළා වූ සියලු ආත්මයන් දිනපතා සිහි කොට ඔවුන්ගේ ආත්ම වලට සැනසීම හා ගැළවීම පතා යාච්ඤා කෙරේ.

    මළවුන්ගේ සිහි කිරීමේ කිතුනු චාරිත්‍ර
    අතීතයේ යුරෝපයේ සිටි ඇතැම් මිථ්‍යා දෘෂ්ඨික ආගම් ඇදහූවන් හා ඉපැරණි ශිෂ්ටාචාර වල සිටි අය ද මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළ නිසා මළවුන් සම්බ්න්ධ විවිධ චාරිත්‍ර පවත්වා ඇත. 
    (ඉහළ රූපය - චීන ජාතිකයන් මිය ගිය තම ඥාතීන් සැතපී සිටින සොහොන් බිමක) 
    මේ අනුව, අතීතයේ සිටි බොහෝ චීන ජාතිකයන්  "භූතාත්ම     මංගල්‍යය"[Ghost Festival] නමින් මළවුන් සිහි කිරීම සඳහා උත්සවයක් පවත්වති. 
    (ඉහළ රූපය - පිලිපීන කතෝලිකයෝ තම මළ ගිය ඥාතීන් පහන් දල්වා යාච්ඤා කර සිහිපත් කරති. 
    මැක්සිකානුවන් "මළවුන්ගේ දවස"  [Day of the Dead] යන නමින් මළාවූ ආත්මයන් වෙනුවෙන් ආගමික වතාවත් පවත්වති. 
    පැරණි රෝමානුවන් "ලෙමුරියා" [Lemuria] යන නමින් ද මළවුන් සිහි කිරීමේ උත්සව පවත්වා ඇත. 
    පැරණි ඔස්ට්‍රියානු නගරයක් වූ ටිරෝල් [Tirol] හි කේක් ගෙඩියක් සාදා එය උණුසුම් කාමරයක තබා තම මළගිය ඥාතීන්ට ආරාධනා කර එහි දොර වසා  තබා දෙවියන් යදිති. 
    වයඹ දිග ප්‍රංශයේ ප්‍රදේශයක් වූ බ්‍රිටනි [Brittany] හි පවතින චාරිත්‍රයකට අනුව, එරට වැසියෝ නෙවැම්බර් මස දිනක රාත්‍රියේ දී සොහොන පිටියට ගොස් තම ඥාතීන්ගේ සොහොන් ඉදරියෙහි දණින් වැටී ආසිරි පැන් ඉස, කිරි වත්කර යාච්ඤා කරති. 
    බ්‍රසීලයේ කිතුනුවන් දිව්‍ය පූජාවට සහභාගිවීම මළවුන් සිහි කිරීම උතුම්ම ක්‍රියාව ලෙස සළකති. එම දිව්‍ය පූජාවෙන් අනතුරුව සොහොන් පිටිය වෙත ගොස් ආසිරි පැන් ඉස, මල් පූජා කර, ඉටි පහන් දල්වා තම ඥාතීන් වෙනුවෙන් යාච්ඤා කරති. 
    අතීත ඔස්ට්‍රියාවේ කිතුනුවන් නොවැම්බර් 2 වෙනිදා කුඩා වන රොදක් අසලට ගොස් ඉටි පහන් දල්ව තම ඥාතීන්ගේ ආත්ම වලට සැනසීම හා ගැළවීම පතා යාච්ඤා කරති. නූතනයේ ඔවුන් දේවස්ථානයට ගොස් දිව්‍ය පූජාවට සහභාගි වී ඒ අසල පිහිටි සොහොන් බිම වෙත ක්‍රිසන්තමුස් (වම් පස මල්) හා මෙරිගෝල්ඩ් (දකුණු පස මල) යන මල් රැගෙන ගොස් ඉටි පහන් දල්වා යාච්ඤා කරති.
    (පෝලන්තයේ කතෝලික සොහොන් බිමක රාත්‍රී දර්ශනය)
     පෝලන්තයේ නොවැම්බර් මාසය පුරා දේවස්ථාන අසල පිහිටි සොහොන් බිම් විදුලි පහන් දල්වා ආලෝක කර උයනක අලංකාරය ලබා දෙයි. එහි කිතුනුවන් මධ්‍යම රාත්‍රියේ දී ඒවාට ගොස් ඉටි පහන් දල්වා, ආසිරි පැන් ඉස, මල් කළඹක් තබා යාච්ඤා කරති. ආහාර පාන ද අනුභව කරති. මළාවු අය සිටින තම ඥාතීන්ගේ නිවෙස් කරා යති.
    (පෘතුගාලයේ කතෝලික සොහොන් බිමක බැතිමතෙක් තම මළ ගිය ඥාතීන් සිහිපත් කරන අයුරු)  
    පෘතුගාලයේ කතෝලිකයන් නොවැම්බර් 2 දින මළවුන් වෙනුවෙන් දිව්‍ය පූජාව පවත්වා පෙරහැරකින් සොහොන් භූමිය වෙත ගොස් මල් තබා ඉටි පහන් දල්වා යාච්ඤා කරති. ඉන් පසුව තම නිවෙස් පිහිටි වීදි ඔස්සේ කුඩා පහන් රැගෙන පෙරහැරකින් ගමන් කරති. "මාගුස්තෝස්"  [magustos] යන නමින් හඳුන්වන පෘතුගාල මළවුන්ගේ උත්සවයේ දී එළිමහන් ස්ථානයක දිව්‍ය පූජාව පවත්වා රැස්ව සිටින අයට වයින් හා ආහාර වලින් සංග්‍රහ කරති. "බොලාස් ද ෆෙස්තා"  [bolas de festa] යන නමින් හඳුන්වන සීනි කේක් සාදා කුඩා දරුවන්ට දෙති. 
    (ඉහළ රූපය - ඉන්දියානු කතෝලික බැතිමතුන් තම මළ ගිය ඥාතීන් සිහිපත් කිරීම රැස්වන අයුරු)
      ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ මළවුන්ගේ දිනය සැමරීම බොහෝ දුරට එක සමාන වුවත්, ඉන්දියානු කතෝලිකයන් එය සන්ධ්‍යාවේ සැමරීම විශේෂය. ඔවුන් ද පෝලන්තයේ මෙන් දේවස්ථාන අසල පිහිටි සොහොන් බිම් විදුලි ආලෝකයෙන් හා පහන් වලින් සරසා මල් වර්ග වලින් අලකාර කරති. ඉන්දියානුවන් හා ශ්‍රී ලාංකේය කතෝලිකයන්ගේ මළවුන් සැමරීමේ ප්‍රධාන ක්‍රියාව වන්නේ දිව්‍ය පූජාව පැවැත්වීමය. දේවස්ථාන අසල පිහිටි සොහොන් භූමිය පවිත්‍ර කර දිව්‍ය පූජාව එම භූමියේ ම පවත්වයි. පසුව පූජකතුමා සෑම සොහොන් කොතක් වෙත ම ගමන් කර ඒවා ආසිරි පැන් වලින් ආශිර්වාද කර යාච්ඤා කරන අතර, කතෝලිකයන් තම ඥාතීන්ගේ සොහොන් කොත් අසල රැඳී සිට මල් තබා ඉටි පහන් දල්වා යාච්ඤා කරති. පසුව තම මළවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් දාන පින්කම් කරති.   
    (ඉහළ රූපය - මීගමුව ප්‍රදේශයේ කතෝලික දෙව්මැදුරක් අසල පිහිටි සොහොන් බිමක්)
    මළවුන් වෙනුවෙන් අපට කළ හැකි ක්‍රියාවන්    
    1. කිතුනුවෙකුට මළවුන් වෙනුවෙන් කළ හැකි වඩාත් ම ශ්‍රෙෂ්ඨ ක්‍රියාව වන්නේ දිව්‍ය පූජාවක් ඔවුන් වෙනුවෙන් පවත්වා යාච්ඤා කිරීමය. මන්ද දිව්‍ය පූජාව තරම් මළවුන්ට සහනය හා දේව කරුණාව ලබා දිය හැකි වෙනත් යැදුමක් නැති තරම් ය.
    2. මළවුන් සිහිකර විවිධ දාන පින්කම් කිරීම ඉතා වැදගත් ය. එම පුණ්‍ය ක්‍රියාවල බලයෙන් ඔවුන්ගේ ආත්ම වලට කිසියම් සහනයක් ලබා දිය හැකි බව කිතුනු පිළිගැනීම ය. මේ මගින් මෙලොව ජීවත් වන අසරණයන්ට ද යහපතක් සිදුවේ.
    3. දිනපතා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම මගින් දේව කරුණාව ඔවුන් වෙත හිමි කර දීමටත්, ශුධිකාගිනිස්ථානයේ රැඳී සිටින කාලය අවම කර ගැනීමටත් අපට සහය විය හැකිය.
    4. පවුලක් ලෙස එකමුතු වී තම දරුවන් සමග සොහොන් බිම් වෙත ගොස් තම ඥාතීන් වෙනුවෙන් යාච්ඤා කිරීමත්, එසේ කිරීම අත්‍යාවශ්‍ය යහපත් ක්‍රියාවක් මෙන් ම කිතුනු යුතුකමක් බව මතක් කර දීමත් ඉතා අගනේ ය. 






    ෴ වැඩිදුර සටහන් ෴
    (1) "මිනිසා අන්තිම හුස්ම හෙළයි. පසට ආපසු හැරෙයි. එදින ම ඔහුගේ යෝජනා සුන්වී යයි." - ගීතාවලිය 
          146 : 4
    (2) "සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමානය" - ජෝබ් 3 : 19a
    (3) " දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා හැකි ද?" - 
          ජෝබ් 17 : 16
    (4) "පාපයේ විපාකය මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමින් වන ජේසුස් 
          වහන්සේ තුළ සදාතන ජීවනය යි" - රෝම 6 : 23
    (5) "අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය." - 1 තිමෝති 6 : 7
    (6) "ඉන්පසු සියල්ලෝ ම අඳුරෙහි සඟවන ලද දේවල් ආලෝකයට ගෙන එන සාධාරණ
          විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේගේ ක්‍රියා පිලිවෙල ගැන උන් වහන්සේට ප්‍රශංසා කොට
          කරන ලද පාපය සම්පූර්ණයෙන් ම මකා දමන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න පටන් ගත්හ. තවද,
          වීරවික්‍රම  ජූදස් සෙනඟට කතා කොට, 'මියගිය අයගේ පාපයේ විපාකය ඔවුන්ට තමන්ගේ නෙත්වලින් 
          ම  දක්නට ලැබුණ නිසා, ඔවුන් පාපයෙන් වැළකී සිටිය යුතුය' යි කීවේ ය. ඉන්පසු ඔහු ඔවුන්ගෙන්
          පෞද්ගලික වශයෙන් මුදල් සම්මාදම් කර රිදී කාසි දෙදහසක් පමණ එකතු කර පාප පූජාවක් ඔප්පු
          කරනු පිණිස එය ජෙරුසලමට යැවීය. සැබවින් ම මෙය වනාහී අනගි උතුම් ක්‍රියාවකි. මෙහිදී ඔහු 
          මළවුන්ගේ උත්ථාන වීම ගැන හොඳින් සලකාබැලී ය. මන්ද, මළාවූ අය යළි උත්ථාන වීම ගැන ඔහු
          බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඤා කිරීම අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි. එහෙත්
          භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා
          කළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු
          කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපාවලින් ඔවුන් නිදහස් වන
          බැවිනි." - 2 මකබ් 12 : 41 - 46 

    (7) කිතුනුවාගේ මාංශෝත්ථානය
         මාශෝත්ථානය යනු, ජේසුස් වහන්සේ දේව තේජස්ශ්‍රීයයෙන් දෙවන වර මෙලොවට වැඩම කිරීමෙන් 
         (දෙවන ආගමනය හෙවත් දෙවන පැමිණීම), අනතුරුව ඔවුන් වහන්සේ පවත්වන "පොදු නඩුව" හෙවත් 
         අවසාන විනිශ්චයට මුහුණ දීම සඳහා මළවුන් පොළොවට දිරා පත් ව ගිය තම තමන්ගේ ශරීර රැගෙන 
         මරණයෙන් නැවත නැගිටීම ය. 
    "පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය" - දානියෙල් 12 : 2
    ජේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත් වූ අවස්ථාවේ, "සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවල් වලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළුව, බොහෝ දෙනෙකුට පෙනුණා හ." - මතෙව් 27 : 52 - 52

    (8) "All who die in God's grace and friendship, but still imperfectly purified, are indeed assured of their eternal  salvation; but after death they undergo purification so as to achieve the holiness necessary to enter heaven."
    "The Church gives the name Purgatory to this final purification of the elect, which is entirely different from the punishment of the damned. The Church formulated her doctrine of faith on Purgatory especially at the Councils of Florence and Trent. The tradition of the Church, by reference to certain texts of  Scripture, speaks of a cleansing fire"
    "As for certain lesser faults, we must believe that, before the Final Judgment, there is a purifying fire. He  who is truth says that whoever utters blasphemy against the Holy spirit will be pardoned neither in this age nor in  the age to come. From this sentence we understand that certain offenses can be forgiven in this age, but certain others in the age to come."
    "This teaching is also based on the practice of prayer for the dead, already mentioned in Sacred Scripture:     ''Therefore [Judas Maccabeus' made atonement for the dead, that they might be delivered from their sin.]'      From the beginning the Church has honored the memory of the dead and offered prayers in suffrage for them, above all the Eucharistic sacrifice, so that, thus purified, they may attain the beatific vision of God. The Church also commends almogiving, indulgences, and works of penance undertaken on behalf of the dead"
    "Let us help and commemorate them. If Job's sons were purified by their father's sacrifice, why would we     doubt that our offerings for the dead bring them some consolation? Let us not hesitate to help those who have died and to offer our prayers for them." [Saint John Chrysostom - 4th century]

    (11) We also ask those who have died to pray for us. While those whom the Church has deemed to be of 
           the Church Triumphant (the canonized Saints) are in Heaven for certain and are, therefore, in no need of 
           our prayers for them, we have always asked for them to pray for us. As to the Church Suffering in 
           purgatory, St. Thomas Aquinas teaches that they are not able to know, by themselves, our prayers; 
           however, it is piously believed, and taught by St. Alphonsus Liguori, that God makes our prayers known 
           to them – not directly, as they are deprived of the beatific vision until they enter Heaven, but by infusing 
           this knowledge into their souls. St. Bellarmine teaches that because the Church Suffering is so close to 
           God – much closer than we are and having the great consolation of knowing they are saved – their 
           prayers for us are very effective. So, as you pray for your dead loved ones and all the holy souls in 
           purgatory, ask them to pray for you, too!
    (9) දිව්‍ය පූජා නියමය අංක 2
    (10) දිව්‍ය පූජා නියමය අංක 3


    DAILY DEVOTION BOX

     
    Support : Creating Website | Johny Template | Mas Template
    Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
    Template Created by Creating Website Published by Mas Template
    Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith