Recent Posts

ඉපැරණි උමං සොහොන් වලින් ප්‍රකාශ වන මුල් කිතුනු සභාව - I

ඈත අතීතයේ සිට ම මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළේය. එබැවින් මිනිසා මරණයට පත් අයගේ මෘත ශරීර ආරක්ෂා කර තැබීමට විවිධ උපක්‍රම භාවිත කරමින් පියවර ගත්තේ ය. මෙම මෘත ශරීර තැන්පත් කිරීමට හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත සොහොන් ගෙවල් සකස් කර ගත්හ. මුල්කාලීන කිතුනුවන් ද ස්වකීය කිතුනු සභාවේ සාමාජිකයන්ගේ හා ශුද්ධවරයන්ගේ මෘත ශරීර ආරක්ෂා කිරීම සඳහා රහසිගත බිම්ගෙවල් හා උමං යොදා ගත්හ. මෙම උමං සොහොන් ගෙවල් ඉංග්‍රීසි භාෂාවෙන් "කැටකෝම්බ්ස් " (Catacombs) යන නමින් හඳුන්වයි. මෙම උමං සොහොන් වලින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ රෝම පුරවරය තුළය. එහෙත් ප්‍රංශය, මෝල්ටාව, කපදෝසියාව වැනි ප්‍රදේශ වල ද උමං සොහොන් තිබේ. මෙම උමං සොහොන් බිහි වීමට බලපෑ මූලික සාධක තුනක් ඇත. 
උමං සොහොනක ප්‍රාණ පරිත්‍යාගී ජූලියස් එව්ජින්තුමාගේ 
මෘත ශරීරය තැන්පත් කිරීම
එනම්,
  1. කිතුනුවන් මරණයට පත් වූ විට මෘත ශරීරය දිරා යන නමුත්, ලෝකාවසානයේ දී පැවැත්වෙන්නේ යැයි විශ්වාස කරන මහා විනිශ්චය දිනයේ දී, නැවත තම ශරීරය රැගෙන මළවුන්ගෙන් උත්ථාන (මාංශෝත්ථානය) වන බව විශ්වාස කළ නිසා ඔවුන් සිරුර දවා එහි අළු තැන්පත් කිරීමේ පැරණි රෝමවරුන්ගේ අවමගල්‍ය චාරිත්‍රය ප්‍රතික්ෂේප කොට මෘත ශරීර මිහිදන් කිරීමත්,
  2. ඇතැම් ශුද්ධවරයන්ගේ සිරුරු නොදිරා පවතින්නේ නම්, එය එම තැනැත්තා ශුද්ධවන්තයෙකු බවට නිසැක සාක්ෂියක් ලෙස සැලකූ බැවින් ඒ පිළිබඳ දැනගැනීම සඳහාත්,
  3. වහලුන්, දිළින්දන් හා මානව අයිතිවාසිකම් අහිමි කළවුන් වැනි අයට ඔවුන්ගේ පිරිවර මරණයට පත්වූ පසුව මිහිදන් කිරීමට සුදුසු ස්ථානයක් නොවූ නිසාත්, රෝම පුරවරය තුළ මෘත ශරීර මිහිදන් කිරීම තහනම් කොට තිබූ නිසාත්,
උමං සෙ‍හොනක මෘත ශරීර තැන්පත් කරන අයුරු
හේතුවෙන් ගල්ගුහා, බිම් ගෙවල් හෝ කැණූ උමං මාර්ග තුළ සොහොන් බිම් තැනීම සිදුකර ඇත. එසේම, මළ සිරුරු ඒ ආකාරයෙන් ම මිහිදන් කිරීමට වඩා ඉඩකඩ ඇති භූමි ප්‍රමාණයක් හා සුදුසු ස්ථානයක් අවශ්‍යය. රෝම අධිරාජ්‍යය තුළ ඇදහීමට තහනම් කළ ආගමක් වූ 'ක්‍රිස්තියානිය' ඇදහූ මුල් කිතුනුවන්ට එවැනි ඉඩකඩම් නොමැති වූයෙන් ද, රෝමානු චරපුරුෂයන්ගෙන් කිතුනුවන්ගේ මෘත ශරීර සඟවා මිහිදන් කිරීම සඳහාත්, කිතුනුවන් තෝරා ගත්තේ මෙම උමං සොහො‍න් ය. මේවායින් බොහෝමයක් ජනාකීර්ණ පෙදෙස් වලින් බැහැරව සැඟවුණු හා ආරක්ෂිත ස්ථාන වල පිහිටා තිබේ. රෝමානු නගර සීමාව තුළ මෘත ශරීර මිහිදන් කිරීම තහනම් වූ බැවින් මේවා නගරයෙන් පිටත දක්නට ලැබේ. 
රෝමයේ දක්නට ලැබෙන බොහෝ කිතුනු උමං සොහොන් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට හා ඉන්පසු කාලයට අයත් ඒවා වෙති. ක්‍රිස්තු වර්ෂ 380 න් පසුව කිතු දහම රෝම අධිරාජ්‍යයේ රාජ්‍යාගම වූ පසුව, මෙම උමං සොහොන් පිහිටි ස්ථාන කිතුනු වන්දනා ස්ථාන බවට පත්වූ අතර, ඒවායේ තැන්පත් කර ඇති ශුද්ධවර මෘත ශරීර හා ශුද්ධ වූ වස්තු කිතුනුවන්ගේ වන්දනා ගෞරවාදරයට පාත්‍ර විය. පසුකාලීනව ඇතැම් උමං සොහොන් ඇති ස්ථාන ආරක්ෂා වනසේ, ඊට ඉහළින් අලංකාර දේවස්ථාන හා බැසිලිකා ඉදි විය. 
ක්‍රිස්තු වර්ෂ 380 න් පසුව ඩැමේසස් පාප්තුමා (Pope Damasus, 366-384.) (දකුණු පස රූපය) [Click  Here] ශුද්ධවන්තයන්ගේ මෘත ශරීර හා ඒවායේ කොටස් උමං සොහොන් වලින් පිටතට ගෙන බැසිලිකා හා ආසන දෙව්මැදුරු වල ස්ථාපිත කළ විශේෂ සොහොන් බිම් වල තැන්පත් කිරීමට කටයුතු යෙදීය. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ පටන් මෙම උමං සොහොන් භාවිත කෙරුණේ ප්‍රාණ පරිත්‍යාගී ශුද්ධවරයන්ගේ මංගල්‍ය හා සංවත්සර උත්සව පැවැත්වීම සඳහා ය. පසුකාලීනව රෝමයට එල්ල වූ මිලේච්ඡ ආක්‍රමණ වල දී, විශේෂයෙන් 'ඔස්ට්‍රෝගොත්වරු' (Ostrogoths) 'වැන්ඩල්වරු' (Vandals) හා 'ලොම්බාඩ්වරු' (Lombards) යනාදීන් උමං සොහොන් ‍බොහෝමයක් විනාශ කර ඒවායේ තිබූ වටිනා භාණ්ඩ හා ශුද්ධ වූ වස්තු පැහැර ගැනීම නිසා විනාශයට ලක් විය. 
 වැන්ඩර්සිල් ශුද්ධ වූ වස්තු පැහැර ගැනීම (වම)


ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සිට උමං සොහොන් වලට විය හැකි හානි වැලැක්වීමට හා එම ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතු හේතුවෙන් වැඳුම් පිදුම් කටයුතු සඳහා තහනම් ස්ථාන ලෙස නම් කෙරුණි. එමනිසා උමං සො‍හොන් පිළිබඳ කිතුනු උනන්දුව හා අවධානය ක්‍රමයෙන් අඩුවී ගියේ ය. එහෙත් අහම්බෙන් මෙන් ක්‍රිස්තු වර්ෂ 1578 දී හමුවූ උමං සොහොනක් නිසාවෙන් කිතුනු බැතිමතුන්ගේ අවධානය නැවත ඒ කරා යොමු විය.



ඔස්ට්‍රොගොත්වුන්ගේ මිලේච්ඡ ආක්‍රමණ (දකුණ)
ක්‍රිස්තු වර්ෂ 1632 දී අන්තෝනියෝ බොසියෝ (Antonio Bosio, 1575-1629) නමැත්තා දස වසක් පර්යේෂණ කටයුතු වල යෙදී උමං සොහොන් පිළිබඳව ගවේෂණාත්මක දත්ත ඇතුළත් 'Roma Sotterranea' නමැති ග්‍රන්ථය එළිදැක්වීය. ඉන් සියවස් දෙකකට පසුව ගියොවානි බැටිස්ටා ද රොස්සි (Giovanni Battista de Rossi, 1822-1894) නමැති පුරා විද්‍යාඥයා උමං සොහොන් පිළිබඳ පුළුල් විවරණයක් ඉදිරිපත් කළේය. ගියොවානි තවත් පුරා විද්වතුන් කිහිප දෙනෙකු සමග එක් වී කළ මෙම පර්යේෂණ වලින් උමං සොහොන් හා පොළොව යට පිහිටි බිම් ගෙවල් වල ජීවිත ක්‍රමය පිළිබඳ බෙහෝ කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.                                                  
ගියොවානි  බැටිස්ටා                                                                      හඳුනා නොගත් උමං සොහොන් ඇටකටු 
මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බොහෝ විද්වතුන්ට ක්‍රිස්තු වර්ෂ 1956 - 1959 කාලය තුළ රෝමයට නුදුරුව උමං සොහොන් රාශියක් සොයා ගැනීමට හැකි විය. මෙසේ දැනට රෝමයේ උමං සොහොන් 40 ක් පමණ සොයා ගෙන ඇත. ක්‍රිස්තු වර්ෂ 70 පමණ සිට 312 පමණ වනතුරු මරණයට පත් වූ කිතුනුවන් පන් ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ මෘත ශරීර මේවායේ තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඇතැම් උමං සොහොන් වලට පසුකාලීනව සිදුවී ඇති විවිධ අලාභහානි හා විනාශවීම් නිසා විසිරී ගිය ඇටසැකිලි කොටස් හඳුනා ගැනීමේ දුෂ්කරතා නිසා ගොඩවල් වශයෙන් එක් තැනක තැන්පත් කර ඇත. ඉහත දකුණු පස රූපය දෙස බැලීමේ දී මෙම උමං සොහොන් වල තැන්පත් ව තිබූ මෘත ශරීර සංඛ්‍යාව කෙතරම් දැ යි අවබෝධ කරගත හැකිය. ‍තවද, මෙසේ කිතුනුවන්ගේ මෘත ශරීර සුරක්ෂිතව උමං සොහොන් වල තැන්පත් කර තැබීමට බලපෑ එක් හේතුවක් නම්, ජේසුස් වහන්සේගේ දෙවන ආගමනයේ දී සිදුවන මාංශෝත්ථානයට සහභාගිවීමේ අපේක්ෂාවය. (1) "මෙන්න, මම ඔබට අභිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල, මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මිය ගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු. දිරන සුලු මේ සිරුර නොදිරන සුලු බවට පත්විය යුතු ය. මැරෙන සුලු මේ සිරුර අමරණීයත්වයට පත්විය යුතු ය. දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හී, 'මරණය පැරදිණි, ජය අත්විණි' ය ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ" (1 කොරින්ති 15 : 51 - 34) යනුවෙන් ශුද්ධ වූ පාවුළු තුමා කළ ඉගැන්වීමට අනුව මරණය තාවකාලික වේදනාවකි. මළ තැනැත්තා ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානය සහභාගි වීමකි. එනිසා උමං සොහොනේ දුෂ්කර වේදනාත්මක ජීවිත පිළිවෙල තාවකාලික අත්දැකීමක් පමණකි. ප්‍රාණ පරිත්‍යාගී වන කිතුනුවන්ගේ ජීවිතාදර්ශය ජීවත් වන කිතුනුවන්ගේ මෙම ජීවිත ‍පිළිවෙලට ශක්තියක් ගෙන දීමකි. 

මෙකී ඇතැම් ඒවා පොළොව යට පිහිටි උමං හා බිම් ගෙවල් තුළ දිගු පටු උමං මාර්ග දිගේ දිවෙන තට්ටු වශයෙන් සකස් කළ උමං සොහොන් වෙති. ඒ අතර මීටර් 7 - 19 (අඩි 22 - 65) දක්වා උසැති ප්‍රමාණ වලින් තට්ටු වශයෙන් විහිදී ගිය උමං සොහොන් ද දැකිය හැකිය. පටු උමං මාර්ග දිගින් මීටර් 3 සිට 8 දක්වා පමණ වෙති. ඒ ඒ තට්ටු විවිධ මට්ටම් වල දී සම්බන්ධ වන සේ පියගැට පෙළ වලින් සම්බන්ධ කර ඇත. 
මෙම උමං මාවත් 'ambulacra' යන නමින් හඳුන්වයි. (ඉහළ වම් පස රූපය) මෙම උමං සොහොන් ඉශ්රායෙලයේ සිට රෝමයට සංක්‍රමණය වූ ජුදෙව් කිතුනුවන්ගේ සොහොන්, කිතු දහම වැළඳගත් රෝමානු කිතුනුවන්ගේ සොහොන්, ප්‍රාණ පරිත්‍යාගී කිතුනුවන්ගේ සොහොන්, මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ සොහොන්, විවිධ පූජ්‍ය නිකායන්ට අයත් පැවිදිවරුන්ගේ සොහොන් හා පාප්වරුන්ගේ සොහොන් වශයෙන් විවිධ වෙති. (ඉහත දකුණු පස රූපය අම්බ්‍රොසියුස් පාප්තුමාගේ නවීකරණය කළ සොහොනය.) පාප්වරුන්ගේ ඇතැම් සොහොන් පසුකාලීනව නවීකරණය කොට බැතිමතුන්ට නැරඹීමට ද අවකාශ ලැබෙන පරිදි සකස් කර ඇත.
ලාවා පාෂාණ උමං සොහොනක්
මුල්කාලීන රෝමානු කිතුනු බැතිමතුන් මෘත ශරීර ලිනන් රෙදි වලින් ඔතා උමං බිම් ගෙවල් තුළ මෘදු ලාවා පාෂාණ (Volcanic Rocks) හෝ ඝන පස් කඳු බිත්ති කුහරයක් සේ තිරස් අතට හාරා ලිනන් රෙදි වලින් එතූ මෘත ශරීර ඒ තුළ තැන්පත් කරයි. ඉන්පසුව එම උමං සොහොන් කුහරය ඉදිරිපස හුණු බදාමයකින් හෝ පැතළි ගල් ලෑල්ලකින් වසා දමති. 
මෙම පාෂාණ ලෑල්ලේ හෝ හුණු බදාමයේ එහි සැතපී සිටින පුද්ගලයාගේ නම, වයස හා මරණය සිදු වූ දිනය ද කොටා හෝ සිතුවම් කර ඇත. (දකුණු පස රූපය) ධනවත් හා වංශවත් කිතුනුවන්ගේ මෘත ශරීර තැන්පත් කර ඇති උමං සොහොන් ඝන චතුරඝ්‍රාකාර කුඩා කාමරයක ස්වභාවයක් උසුලන අතර, ඒවායේ සිවිලිමෙහි හා බිත්ති වල අලංකාර බිතු සිතුවම් දැකිය හැකිය. මෙම බිතු සිතුවම් වලින් බොහෝමයක් කිතුනු ආගමික සංකල්ප, විශ්වාසයන් හා ශුද්ධ බයිබලයේ සඳහන් සිද්ධීන් සම්බන්ධ ඒවා වෙති. ආදම් සහ ඒවා නමැති ආදි මව්පියන්, ජේසුස් වහන්සේගේ බව්තීස්ම ස්නාපනය, දිව්‍ය පූජාව පැවැත්වීම, අන්තිම රාත්‍රී භෝජනය හා සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) වල රූප සටහන් මෙම බිතු සිතුවම් අතර වේ. 
ක්‍රිස්තු වර්ෂ 302 දී පමණ ප්‍රාණ පරිත්‍යාගී වූ සාන්ත ඇග්නස් (වම් පස රූපය) කන්‍යා මුනිවරියගේ උමං සොහොන මෙබඳු කුඩා දෙව්මැදුරකි. මේවා කිතුනු ලෝකයේ ඉපැරණි බිතු සිතුවම් ලෙස පුරා විද්‍යාඥයන් හඳුන්වා දෙති. ඒවා අතර රෝමයට සංක්‍රමණය වූ මුල්කාලීන ජුදෙව් කිතුනුවන්ගේ බිතු සිතුවම් රැගත් උමං සොහොන් ද වෙති. ධනවතුන්ගේ නිවෙස් හා ‍විවිධ රාජකීය ගොඩනැගිලි තැනීම සඳහා අවශ්‍ය විවිධ පාෂාණ වර්ග කැණීමේ කටයුතු වල නියැලී සිටි කිතුනු වහල්ලු, පොළොව ගර්භයෙහි පිහිටි මෘදු ලාවා පාෂාණ කැණීමෙන් අනතුරුව එම ස්ථානයෙහි ඇති වන කුහර උමං සොහොන් සඳහා යොදා ගත්හ. 

විඤ්ඤාකාසියා උමං සොහොන                                                               පහන් ආලෝකය ලබා ගත් අයුරු
මෙම භූ ගර්භ කුටි හා උමං සඳහා අවශ්‍ය වාතාශ්‍රය හා ආලෝකය ලබාගෙන ඇත්තේ, භූ ගර්භයෙහි සිට පොළොව මතුපිටට කැණු පටු වා කවුළු තුළිනි. (වම් පස රූපය) ඒසේම ඔවුන් එම උමං කැණීමේ දී ඇතුළත ආලෝකය ලබා ගැනීම පිණිස පන්දම්, සත්ත්ව තෙල් වලින් තැණූ පහන් හෝ තැටියක ආකාර බිත්ති මත එල්ලූ පහන් බඳුන් යොදා ගත් බව එම උමං සොහොන් වල බිත්ති මත ඇඳ බිතු සිතුවම් වලින් පෙනී යයි. (ඉහත දකුණු පස රූපය)
රෝමයේ උමං සොහොන් පිළිබඳ තොරතුරු සෙවීමේ දී ඒවා විද්වතුන්ගේ මතවාද අනුව පහත සඳහන් අයුරින් වර්ගීකරණය කළ හැකිය. එනම්, 
මෘදු ලාවා පාෂාණ හෝ ඝන පස් කඳු බිත්තියක කුහරයක් සේ තිරස් අතට හාරා මෘත ශරීර තිරස් අතට තබා තැන්පත් කර ඇති 'Loculiයන නමින් හඳුන්වන උමං සොහොන් විශේෂයක් ඇත. (දකුණු පස රූපය- සාන්ත කැලික්ස්ටස් උමං සොහොන් සංකීර්ණය) මේවා සකස් කර ඇත්තේ ලාවා ගැළීම මගින් ඝන වූ පාෂාණ තිරස් අතට හාරා ගැනීමෙනි. මෙම උමං සොහොන් කැණීම ඉතා ප්‍රවේශමෙන් සියුම් ලෙස කළ යුතුව ඇත. මන්ද සුළු අත් වරදකින් සියල්ල කඩා වැටී විනාශ වීමටත් ජීවිත හානි පවා සිදුවීමටත් ඉඩකඩ ඇති බැවිනි. එහෙත් මෙම කාර්යයෙහි නිරත වූ කිතුනු වහලුන් මෙම උමං සොහොන් නිර්මාණයෙහි නිපුණ පිරිසක් බව ඒවා අදටත් හොඳ තත්ත්වයෙන් පැවතීම තුළින් මනාව පැහැදිළි වේ.
පොළොවට සමාන්තරව කිරිගරුඬ පාෂාණයෙන් කැණූ 'Arcosolium' යන නමින් හඳුන්වන උමං සොහොන් තවත් වර්ගයකි. (වම් පස රූපය) මේවා පොළොවට සමාන්තරව මෘත ශරීරය තැබීම සඳහා කිරිගරුඬ පාෂාණයෙන් කැණූ හෝ තැනූ උමං සොහොන් වෙති. සාමාන්‍යයෙන් මෙවැනි සොහොන් භාවිත කර ඇත්තේ ධනවත් අයගේ මෘත ශරීර තැන්පත් කිරීම සඳහාය. එය ද කුටියක ආකාරයක් ගෙන ඇති අතර බිතු සිතුවම් වලින් ද අලංකාර කර ඇත. මෙම වම් පස රූපයෙහි මෘත ශරීරය තැන්පත් කර තිබූ ස්ථානයේ බිත්තිය මත මොනරුන් දෙදෙනෙකුගේ බිතු සිතුවමක් දැකිය හැකිය. විශාරදයන්ගේ මතවාදය අනුව නම් මොනරාගේ තෙල් මෘත ශරීර කල් තබා ගැනීම පිණිස පැරැන්නන් භාවිත කර ඇත. නොදිරා ගිය සිරුරක් පිළිබඳ ඉඟියක් මෙහි දැක්වෙන බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.

පවුලේ සොහොනක් ලෙසින් භාවිත කිරීම සඳහා කුඩා කාමරයක ආකාරයෙන් මෘදු ලාවා පාෂාණ හාරා සෑදූ 'Cubicula' යන නමින් හඳුන්වන උමං සොහොන් ද ‍රෝමයේ දැකිය හැකිය. (දකුණු පස රූපය) මෙය තරමක් විශාල කාමරයක් තුළ සකස් කර ඇති ඝනාකාර කුටියක ආකාරයෙන් නිර්මාණය ඇති අතර එකම පවුලේ කිහිප දෙනෙකුව මිහිදන් කිරීම සඳහා භාවිත කර ඇත. මෙම කුටිය දැක ගැනීමට වෙන ම කාමරයක් තුළට උමං දොරටුවකින් ඇතුළුවීම අවශ්‍යය. මෙම උමං සොහොන් කුටි වල සිවිලිම පවා පාෂාණයෙන් සකස් කර ඇති අතර එහි රළු අඳුරු ස්වභාවය දුරු කිරීම පිණිස සුදු පැහැති හෝ මෘදු වර්ණ ආලේප කර විවිධ බිත්ති රූප සිතුවම් කර ඇත. එම කාමරයේ බිත්ති සතර වටා උමං සොහොන් කුටි සකස් ඇත. ඇතැම් උමං සොහොන් වල පොළොව පාෂාණයෙන් සකස් කර තිබේ. උණුසුම හා වාතාශ්‍රය නිසි පරිදි ලැබෙන ලෙස ඒවා සාදා තිබීම මෙහි එක් විශේෂත්වයකි. 
කුඩා දෙව්මැදුරක ආකාරයෙන් සකස් කොට අලංකාර බිතු සිතුවම් වලින් වහලය හා බිත්ති සැරසිළි කර ඇති 'Cryptae' යන නමින් හඳුන්වන උමං සොහොන් අලංකාරත්වයෙන් අනූන ය. (වම් පස රූපය) මෙම උමං සොහොන් වඩාත් ප්‍රචලිත වී ඇත්තේ සාන්තුවර ජීවිත ගත කළ අයගේ මෘත ශරීර තැන්පත් කිරීම සම්බන්ධයෙනි. තවද, මෙම වර්ගයේ උමං සොහොන් සෞන්දර්යාත්මක වටිනාකමින් ඉහළ ය. මන්ද, මුල් කිතුනු ලෝකයේ බිතු සිතුවම් කලාව හා පැරණි ජුදාවරුන්ගේ සිතුවම් කලාව පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට එය ඉවහල් වන බැවිනි. ලෝකයේ ඉපැරණි කිතුනු බිතු සිතුවම් ඇත්තේ මෙම උමං සොහොන් වල යැයි පිළිගැනීමක් ඇත. මෙම වර්ගය ඉශ්රායෙලයේ සිට රෝමයට සංක්‍රමණය වූ ජුදා සම්භවයක් ඇති අයගේ හා රෝමානුවන්ගේ උමං සොහොන් වශයෙන් දෙකොටසක් ලෙස දැකිය හැකිය.  
උමං සොහොනේ තවදුරටත් මෘත ශරීර තැන්පත් කිරීමට ඉඩකඩ මදි වීම නිසා උමං පටු මග යට හාරා සකස් කර ඇති 'Formae' යන නමින් හඳුන්වන උමං සොහොන් ද කැපී පෙනෙන වර්ගයකි. (දකුණු පස රූපය) සීමිත ඉඩකඩ තුළ පැතිරී ඇති උමං සොහොන් අතර මෙම වර්ගයේ ඒවා දැකිය හැකිය. උමං සොහොන තුළ ඉඩ කඩ ප්‍රමාණවත් නොවූ විට පැරණි මෘත ශරීර ඒවා තැන්පත් කර ඇති ස්ථාන වලින් ඉවත් නොකර, පිහිටි පොළොවෙන් එම අවශ්‍යතාව ඉටු කර ගැනීම මෙහි ඇති වි‍ශේෂත්වයයි. මෙම උමං සොහොන් වර්ගය තුළ ඉඩ ඇහිරී ගිය බිම් ගෙයක ස්වභාවයක් පෙන්නුම් කළත්, තිබෙන ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගෙන තිබීම වැදගත් දෙයකි. 
මීට අමතරව පාෂාණයෙන් සකස් කළ පෙට්ටියක ස්වභාවයක් ගන්නා සොහොන් ද දැකීමට පිළිවන. මින් ඇතැම් ඒවා කිරිගරුඬයෙන් නෙළා සකසා ඇත. (වම් පස රූපය - සාන්ත සෙබස්තියන් උමං සොහොන) මෙම සොහොන් වර්ගය කිතුනු ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුළයි. මන්ද, අපගේ කිතුනු ඇදහිල්ලට මෙම සොහොන් වර්ගයේ ඇති සම්බන්ධතාවය යි. බෙහෝ විශාරදයන්ගේ මතයට අනුව, මෙම සොහොන් වර්ගය අඳුරු කිතුනු පීඩන සමයේ දී රහසිගත ආගමික හා ජනවන්දනා කටයුතු පිණිස යොදා ගෙන ඇත. පාෂාණයෙන් සෑදූ පෙට්ටිය තුළ මෘත ශරීරය බහා එය හොඳින් ඔප මට්ටම් කර තැනූ ගල් ලෑල්ලකින් වසා ඇත. එම ගල් ලෑල්ල පූජාසනයක් ලෙසින් ගෙන මුල් කාලීන කිතුනුවන් ඒ මත "රොටි කැඩීමේ පිළිවෙත" හෙවත් දිව්‍ය පූජාව පවත්වා තිබේ. එම චාරිත්‍රය හා පිළිවෙත කරණකොටගෙන වර්තමාන කතෝලික දෙව්මැදුරු වල පූජාසනය මත සාන්තුවරයෙකුගේ ශුද්ධ වූ ධාතුවක් හෝ සළු ධාතුවක් තැන්පත් කළ කිරිගරුඬ ඵළකයක් සවි කර ඇත. පූජාප්‍රසාදිතුමා පූජාසනය වෙත පැමිණි විගස දෙකට නැමී පූජාසනය සිපාචාරය කිරීමෙන් ගෞරවය හා නමස්කාරය ඊට පුද කිරීම සාමාන්‍ය කිතුනු සිරිත ය. 
                               ඩොමිටිල්ලා උමං සොහොන අයත් දෙව්මැදුරේ ඇතුළත
ඇතැම් උමං සොහොන් සංකීර්ණයක් ලෙසින් ඉදි වී ඇත. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් යැයි සැලකෙන ඉපැරණි  ඩොමිටිල්ලා උමං සොහොන (Catacombs of Domitilla) මෙසේ කිලෝමීටර් 15 ක් පුරා විහිදී ගිය මෘදු ලාවා පාෂාණ වල කැණ ඇති එවැනි උමං සොහොන් ගෙවල් සංකීර්ණයකට නිදසුනකි.  බෙහෝ උමං සොහොන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා විවෘත කිරීමත්, (වම් පස රූපය) ඒවායේ තැන්පත් කර ඇති මෘත ශරීර හා ශුද්ධ වූ වස්තූන් එතැනින් ඉවත් කර ගැනීමත් හේතුවෙන් ඒවාට බරපතල හානි සිදු වී ඇත. මේ නිසා ඓතිහාසික වටිනාකමින් අනූනවූ ශුද්ධ වූ වස්තූන් හා බොහෝ වන්දනීය ස්ථාන බැතිමතුන්ට නැරඹීමට ඉඩකඩ ඇහිරී ඇත. බොහෝ උමං සොහොන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ විශේෂ අවසරයක් රැගෙන එන අයට පමණි. ඒවා නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වි‍ශේෂ නීති රෙගුලාසි කිහිපයකට යටත් විය යුතුව ඇත. (2)
ලේසර් කිරණින් දිස්වෙන ඩොමිටිල්ලා උමං සොහොන

එනිසා නූතන පුරා විද්‍යාඥයන් උමං සොහොන් සම්පූර්ණයෙන් විවෘත නොකොට කුඩා සිදුරක් තුළින් සියුම් කැමරාවක් හෝ ලෙසර් කිරණයක් යැවීම තුළින් එහි ඇතුළත ස්වභාවය හා තත්ත්වය පරීක්ෂාවට ලක් කරයි. මේ මගින් උමං සොහොනට හා එහි තැන්පත්ව ඇති ශුද්ධ වූ වස්තූන් වලට සිදුවිය හැකි හානි බොහෝ දුරට අවම කර ගැනීමට හැකි වී තිබේ. විද්‍යා තාක්ෂණය නිසාවෙන් මෙවැනි පියවරයන් ගැනීමට හැකි වනු පමණක් නොව භූ තලය යට කාලාන්තරයක් පුරා පැවති අභිරහස්‍යමය ජීවිත පිළිබඳ බොහෝ සැඟවුණු ‍තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.     
මෙම උමං සොහොන් පුරාණය කිතුනු අපට වැදගත් වන්නේ ඇයිදැ යි සලකා බැලීම කළ යුත්තකි. මේවා පහත දැක්වෙන හේතු සාධක නිසා විශේෂ වැදගත්කමක් උසුළයි. 
උමං සොහොනක නූතන දිව්‍ය පූජාව පැවැත්වීම
මුල්කාලීන ‍ජුදෙව් හා රෝමානු කිතුනුවන්ගේ සැඟවුණු ශුද්ධ වූ දුෂ්කර ජීවිත ක්‍රමය හඳුනා ගැනීමට උමං සොහොන් හා බැඳුණු ‍තොරතුරු වැදගත් වේ.  අඳුරු කිතුනු පීඩන සමයේ දී රෝමයේ සිටි කිතුනුවන්ට ආගමික නිදහසක් නොවීය. එබැවින් එකල කිතුනුවන් ගත කළ එම දුෂ්කර පීඩිත තත්ත්වය පිළිබඳ සාධක හා තොරතුරු මෙම උමං සොහොන් තුළ සැඟවී ඇත. මුල්කාලීන කිතුනු සංඝය මෙම උමං සොහොන් තුළ ගත කර ඇත්තේ ක්‍රිස්තු කේන්ද්‍රීය ආධ්‍යාත්මිකත්වයකින් (Christocentric Spirituality) යුතු ජීවිතයකි. ඒ බව එම උමං සොහොන් තුළ ඇඳ ඇති බිතු සිතුවම් වලින් මනාව පිළිබිඹු වේ. කොපමණ දුෂ්කර වුවත් ඔවුන් සිය ආගම පාවා නොදී ක්‍රිස්තුස් වහන්සේ නියම සාක්ෂි දැරීමක් කළ බැවින් රෝම අධිරාජ්‍ය්‍ය තුළ ක්‍රිස්තියානි ධර්මය නොනැසී දියත් විය. සාන්ත සිසිලියා උමං සොහොන
බොහෝ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ හා ශුද්ධවරයන්ගේ නොදිරා ගිය ශරීර හා ශුද්ධ වූ වස්තූන් මෙහි තැන්පත්ව ඇති නිසා විශේෂ ආගමික  වටිනාකමකින් යුක්තය.  උමං සොහොන් වල තැන්පත් වී ඇති මෘත ශරීර වලින් බොහෝමයක් අඳුරු කිතුනු පීඩන කාලයේ දී ප්‍රාණ පරිත්‍යාගී වූ අයගේ ඒවා යැයි සැලකේ. ඇතැම් පුද්ගලයන් සාන්තුවරයන් ය. සාන්ත ඇග්නස්, සාන්ත සෙබස්තියන්, සාන්ත එව්ජින්, සාන්ත සිසිලියා වැනි ශුද්ධවරයන් ඒ අතර සිටිති. මුල් කිතුනු සභාව ගොඩනැගුණේ ද, මෙම ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ රුධිරයේ අත්තිවාරම මතය. එබැවින් ශාසනික වශයෙන් මෙම උමං සොහොන් වලට විශේෂ වටිනාකමක් හිමිය. මෙම ප්‍රාණ පරිත්‍යාගීවරුන් අතර පේදුරුතුමාගේ පටන් රෝමයේ සාන්ත මාර්සලීනස් (ක්‍රි.ව. 296 - 304) දක්වා පාප්වරුන් 26 කට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රාණ පරිත්‍යාගී වී ඇත. ඇතැම් ප්‍රාණ පරිත්‍යාගී පාප්වරුන්ගේ උමං සොහොන් (මේවා ඉංග්‍රීසි බසින් Crypt නම්වේ.) වසා ඇති ගල් ලෑලි වල, "Gerusale, civitas et ornamentum martyru(m) D(e)i ..." - "ජෙරුසලම, දෙවියන් වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ පුරවරය හා ආභරණය..." යනුවෙන් සඳහන් කර ඇත. නැරඹීම හා ගෞරවය සඳහා පැමිණෙන බොහෝ බැතිමතුන්ට අදටත් සාමාන්‍ය ජීවිත ගත කළ වීරෝධාර කිතුනු ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ උමං සොහොන් ඵලක වල, "Tàuta o bìos" -  ( "Such is our life") යන්න අදටත් දැකිය හැකිය. එය ඔවුන්ගේ දුක්ඛිත මෙන් ම ශුද්ධවන්ත අභිමානවත් ජීවිත ක්‍රමය පිළිබඳ ඉඟි කිරීමකි.  
සාන්ත කැලිස්ටස් උමං සොහොනේ 
මංගල්‍ය පෙරහැර පැවැත්වීම
මෙම උමං සොහොන් බොහෝමයක් කිතුනු ශුද්ධවරයන්ගේ මංගල්‍ය හා සංවත්සර උත්සවයන් පැවැත්වූ මුල්කාලීන ආගමික සිද්ධස්ථාන වෙති. අඳුරු කිතුනු පීඩන සමයේ කිතුනුවන්ට දේවස්ථාන නොවීය. රෝමය පුරා වැඩි වශයෙන් දක්නට ලැබුණේ සූර්ය දෙවියන්ට හා "සීසර් දෙවියන්ට" වන්දනා කරන දේවාල පමණි. එම දේවාල වලට ගොස් වන්දනා කිරීමට රෝමානු පුරවැසියන්ට හා වහලුන්ට නියම වී තිබුණි. එහෙත් කිතුනුවන් ඊට විරුද්ධ අදහසක් දෑරූහ. මන්ද, එය දස පණතේ පළමු වගන්තිය වන "සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න", යන ශුද්ධ වූ දේව නියමය නිසා සූර්ය දේව වන්දනාව හා "සීසර් අභිවන්දනය" ඔවුන් ප්‍රතික්ෂේප කළහ. එබැවින් කිතුනු මංගල්‍ය හා සාන්තුවර සංවත්සර උත්සව පැවැත්වීමට ඔවුන්ට ස්ථානයක් නොවීය. මේ සඳහා තිබූ ආරක්ෂිත ස්ථානය වූයේ මෙම උමං සොහොන් වෙති. රාත්‍රී කාලයේ දී මෙම රහසිගත උමං සොහොන් කරා රැස්වන කිතුනු සභා ශ්‍රේෂ්ඨයන් ගිනි පන්දම් ආලෝකයෙන් ආගමික පෙරහැර පවත්වමින් එම මංගල්‍ය හා සංවත්සර උත්සව පවත්වා ඇත.                     කපදෝසියාවේ කිතුනුවන් සැඟවී සිටි උමං සොහොනක්
රෝමානු අධිරාජ්‍යයන් විසින් ගෙන යන ලද කිතුනු ආගමික අඳුරු පීඩන සමයේ දී කිතුනුවන් ආරක්ෂාව සොයා සැඟවී සිටි ස්ථාන අතර උමං සොහොන් ප්‍රධාන වෙති. කිතුනු සභා නායකයන් හා මුල් සභා යුගයේ ධර්මදූතයන් රෝමානු සෙබළුන්ගෙන් හා චර පුරුෂයන්ගෙන් ආරක්ෂා වීම පිණිස සැඟවී සිට ඇත්තේ මෙම උමං සොහොන් වලය. පරීක්ෂණයන් සඳහා විවෘත කළ උමං සොහොන් තුළ තිබී හමුවී ඇති විවිධ පෞරාණික වස්තූන් වලින් හා ඒවා තුළ සිතුවම් කර ඇති චිත්‍ර රූ සටහන් වලින් මෙය හොඳින් පැහැදිළි වේ. මෙවැනි බාහිර ලෝකයෙන් සැඟවුණු ජීවිත ක්‍රමයක් ගෙවූ මුල් යුගයේ කිතුනුවන්ට ජීවිත සාක්ෂි දැරීමක් කිරීමට බලපෑ හේතු සාධකය කුමක්ද? එය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ය. "මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය", (ජොහාන් 15 : 10) යන්න ක්‍රිස්තුස් වහන්සේගේ ඉල්ලීම ය. එය ඔවුන් තම සැඟවුණු ශුද්ධ වූ ජීවිත පිළිවෙල තුළින් ප්‍රකාශ කළහ. "ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද? විපතටවත්, දුක් වේදනාවටත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුගී දුකටවත්, උවදුරටවත්, කඩුවටවත් අප වෙන් කළ හැකිද?....." (රෝම 8 : 35) යන ශුද්ධ වූ පාවුළු තුමාගේ ඉගැන්වීම තුළින් එවකට කිතුනුවන් තුළ වූ එම ශක්තිමත් හැඟීම පැහැදිළි වේ.  
මුල කිතුනු සභාවේ ජනවන්දනාව
උමං සොහොන් වල ති‍බෙන තවත් වැදගත්කමක් වන්නේ, ඒවා තුළ දිස්වෙන ජනවන්දනාමය හා සක්‍රමේන්තුමය ජීවිත (Liturgical and Sacramental Life) පිළිවෙල ය. බාහිර රෝමානු සමාජය තුළ ජනවන්දනාව පිණිස ඔවුන්ට ඉඩ ප්‍රස්ථා නොවූ නිසා, එම කිතුනු පීඩන සමයේ දී දිව්‍ය පූජාව වැනි ජනවන්දනා පිළිවෙත්, සක්‍රමේන්තු දානය කිරීමේ පිළිවෙත් හා කිතුනු ආගමික රැස්වීම් පැවැත්වූ ස්ථාන වශයෙන් උමං සොහොන් ඉතා වැදගත්කමක් උසුළයි.  මුල්කාලීන කිතුනු සංඝය දිව්‍ය පූජාව "රොටි කැඩීම" හා "අගාපේ භෝජනය" යන නම් වලින් හඳුන්වා ඇත.   

මුල්කාලීන කිතුනු සංඝය 
ජනවන්දනාව පිණිස රැස්‍වීම
    "ස්වාමින් වහන්සේගේ දිනය" යනුවෙන් හඳුන්වන්නට යෙදුණු "සබත් දිනය" හෙවත් ඉරු දිනය මිථ්‍යා දෘෂ්ඨික ලෝකය තුළ "ඉරුගේ දිනය" ලෙස නම් විය. සූර්ය දේව වන්දනාව සඳහා මිථ්‍යා දෘෂ්ඨිකයන් ඔවුන්ගේ දේවාල වලට රැස්වන කල, කිතුනු සංඝය මෙසේ බිම් ගෙවල් තුළ හා උමං සොහොන් තුළ රැස් වෙමින් ඔවුන්ගේ ජනවන්දනා කටයුතු සිදු කළහ. ක්‍රිස්තු වර්ෂ මුල් සියවස තුළ කිතුනුවන් තුළ වූ එක් අපේක්ෂාවක් වූයේ ජේසුස් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය පිළිබඳ බලාපොරොත්තුව ය. ".... අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ, අප ගළවන පිණිස ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු", (පිලිප්පි 3 : 20) යනුවෙන් ශුද්ධ වූ පාවුළු තුමා පුකාශ කර ඇත. එය කිතුනු සංඝයේ මූලික අපේක්ෂාවය. එය උමං සොහොන් හා බිම් ගෙවල් තුළ දිවි ගෙවූ බොහෝ කිතුනුවන්ට ඔවුන් විඳි පීඩිත තත්ත්වය ඉවසීමෙන් දරා ගැනීමට රුකුලක් හා මහත් සැනසිලිදායක හැඟීමක් විය. ජේසුස් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය සඳහා නිරතුරු සූදානමින් සිටීම ඉතා වැදගත් දෙයක් විය. ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය සිදුවන තුරු මෙලෙස "රොටි කැඩීමේ පිළිවෙත" පැවැත්වීමට  ක්‍රිස්තුස් වහන්සේ කළ නියමය පිළිපැදීම මේ මගින් සිදු විය. 
    සාන්ත ඇගතා උමං සොහොනේ ජනවන්දනා ස්ථානය
    ".... දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වන තුරු මම එය තවත් නොවළඳමි", ".... මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදි යුෂ පානය නොකරන්නෙමි", යි (ලූක් 22 : 16, 18) ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේ දී සිය ශ්‍රාවකයන්ට ප්‍රකාශ කර තිබුණි. එනිසා ස්වකීය මරණයෙන් පසුව ජේසුස් වහන්සේ සමග ස්වර්ගීය භෝජනයකට (එනම් ස්වර්ගීය සැපතට) සහභාගිවීමේ ආශාව ඔවුන් තුළ තිබුණි. එසේම, ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධ වූ සභාව හා පිවිතුරු ක්‍රිස්තියානි ධර්මවේදය වෙනුවෙන් වීරෝධාර ලෙස තම ජීවිතය පූජා කළ ශුද්ධවරයන්ගේ සාක්ෂි දැරීම ඔවුන්ට ජීවිතාදර්ශයක් විය. එම ශුද්ධවරයන්ට ගරු කිරීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට තුති ප්‍රශංසාව පිණිසත් මෙසේ ජනවන්දනාව පැවැත්වීම තවත් හේතුවකි.    

    "අගාපේ රොටි කැඩීමේ පිළිවෙත" පැවැත්වීම 
    පිළිබඳ පැරණි බිතු සිතුවමක් - (ක්‍රි.ව. 4 වන සියවස)
    මෙම උමං සොහොන් වල දක්නට ලැබෙන බිතු සිතුවම් කිතුනු ලෝකයේ ඉපැරණි ඒවා ලෙසින් සැලකෙන නිසාත්, විශ්මයජනක සොහොන් ගෙවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය නිසාත් උමං සොහොන් ඉතා කැපී පෙනෙන නිර්මාණයකි.  මෙම බිතු සිතුවම් පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ චිත්‍ර කලාව පිළිබඳ මනා අවබෝධයක් හා ප්‍රවීණත්වයක් තිබූ පුද්ගලයන් එකල කිතුනු සංඝය තුළ සිට ඇති බවත්, ඔවුන්ගේ චින්තන රටාව ඉන් විදහා දැක්වෙන බවත් ය. රළු අඳුරු උමං හා බිම් ගෙවල් තුළ පවතින අමිහිරි බව දුරු කිරීමට සමත් වී ඇති මෙම සිතුවම් එම උමං මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට සමත් වී ඇත. උමං සොහොන් බොහෝමයක දැක්වෙන ‍බිතු සිතුවම් වල ශුද්ධ බයිබලීය සිදුවීම් හා එකල කිතුනුවන් බිම් ගෙවල් තුළ ගත කළ ජීවිත පිළිවෙල නිරූපණය කරයි. එවකට මුල් කිතුනු සංඝයේ පැවති විශ්වාසයන් ඉගැන්වීම් හා මුල් කිතුනු සභාවේ මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේවා ඉතා වැදගත් වේ. එහෙත් පෙර කී පරිදි මෙම උමං සොහොන් විවෘත කිරීමෙන් හා විවිධ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් හේතුවෙන් මේවාට බොහෝ හානි සිදු විය. එබැවින් ඒවා සංරක්ෂණය කිරීමට විද්වතුන් විවිධ පියවර ගෙන ඇත.     
        "කයි-රෝ" හා "ඉක්ත්හුස්" සළකුණ 
        බොහෝ කිතුනුවන්ගේ උමං සොහොන් වසා ඇති ඉදිරිපස ගල් ලෑල්ලෙහි 'Chi-Rho' (Christogram) යන නමින් හඳුන්වන ලාංඡනය හෝ මත්ස්‍ය සළකුණ ඇඳ හෝ ‍උළුප්පා කොටා තිබෙනු දැකිය හැකිය. 'Chi-Rho' [කයි-රෝ] යනු උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව සංඛේතාත්මකව පෙන්නුම් කරන P හා X යන අකුරු දෙකෙහි එකතුවකි. බොහෝ උමං සොහොන් වල මෙම ලාංඡනය කොටා තිබෙනු දැකිය හැකිය. 
        ඇතැම් සොහොන් වල මෙම ලාංඡනය සෙන්ටිමීටර් 40 - 60 (අඟල් 16 - 24) දක්වා උසින් හා සෙන්ටිමීටර් 120 - 150 (අඟල් 47 - 59) දක්වා දිගින් යුතු වූවකි. මෙම ලාංඡනය දිස්වෙන සොහොනේ කිතුනු ඇදහිළිවන්තයෙකු සැතපී සිටින බව පෙන්නුම් කිරීම මෙහි අදහසය. 
        මීට අමතරව බොහෝ උමං සොහොන් වල මත්ස්‍ය සළකුණක් දැකිය හැකිය. මෙම මත්ස්‍ය සළකුණ "ඉක්ත්හුස්"  (Ichthus) යන නමින් හඳුන්වයි. "ඉක්ත්හුස්" යනු ග්‍රීක භාෂාවෙන් මත්ස්‍යයාට යෙදෙන නාමයයි. රෝමානු අදහස හැටියට මත්ස්‍යයා උපත් හා විපතේ සංඛේතයකි. මෙම "ඉක්ත්හුස්" සළකුණෙහි ඇති අර්ථය කුමක්ද? මෙහි ඇති වැදගත්කම කුමක්ද? මෙය ක්‍රිස්තියානි ලෝකයට සම්බන්ධ වූයේ කෙසේද? යන්න සොයා බැලීම වඩා උචිතය. ජේසුස් වහන්සේ පන්දහසකට ආහාර දුන්‍ අවස්ථාවේ මසුන් දෙදෙනෙකු ද ආසිරි ගන්වා බෙදා දුන් බව (ලූක් 9 : 13 - 16) සුභාරංචි පොත් වල සඳහන් ‍වී ඇත. එසේම ජේසුස් වහන්සේගේ ශ්‍රාවකත්වයට කැඳවීම ලැබූ ප්‍රථම ශ්‍රාවකයන් තිදෙනා ධීවරයන් බව ද සඳහන් වී ඇත. (ලූක් 5 : 1 - 11) එම නිසා කිතුනු ලෝකයට මෙම මත්ස්‍ය සළකුණ සම්බන්ධ වී යැයි සමහරු කල්පනා කරති. එසේ සිතන්නේ නම් එය වැරදි සංකල්පනාවකි. "ඉක්ත්හුස්" සළකුණ කිතුනු ලෝකයට සම්බන්ධ වූයේ කිතුනු සභාවේ මුල් කාලයේ ඇති මහා කිතුනු පීඩනය හා ප්‍රාණ පරිත්‍යාගී සමයත් සමගය. "ඉක්ත්හුස්" යන්න ග්‍රීක භාෂාවේ වචන කිහිපයකින් යුත් වාක්‍යයක මුල් අකුරු කිහිපය එකට එකතු කිරීමෙන් සෑදුණ වචනයකි. එය මෙසේය.
            I             X(ch)          O(th)           U                  S 
        Iesous  Christos   Theou    Uious      Soter
        'ඉයෙසුස්'      'ක්‍රිස්තොස්'       'තෙයු'         'හුයියොස්'           'සෝතෙර්'
         ජේසුස්    ක්‍රිස්තුස්     දේව     පුත්‍රයාණෝය,       ගැළවුම්කරුවාණෝය

        මෙම සංකල්පය මතෙව් 16 : 16 හි දැක්වෙන පේදුරු තුමාගේ මහා ප්‍රකාශනය වේ. මෙහි දැක්වෙන I X O U S යන අකුරු එකතු කළ විට "ඉක්ත්හුස්" යන වචනය සෑදේ. එහි අර්ථය "මත්ස්‍යයා" යන්නය. මෙම සළකුණ රැගත් උමං සොහොන් රාශියක් හමුවීම නිසා එය පිළිබඳව පුරා විද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව කළ පර්යේෂණ වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව එය මුල්කාලීන කිතුනුවන් තම කිතුනු අනන්‍යතාවය රහස්‍යමය ලෙස එකිනෙකාට ප්‍රකාශ කිරීමට යොදා ගත් අභිරහස් සංඛේතයක් බව හඳුනා ගැණිනි. මෙම සළකුණ ඉපැරණි කිතුනු උමං සොහොන් වල පමණක් නොව, ඇතැම් නිවෙස් වල ඉදිරිපස බිත්ති වල ද දැකීමට හැකිය. ඔවුන් මෙවැනි සංඛේතයක් යොදා ගැනීමට හේතුව කුමක්ද?  මුල්කාලීන රෝමානු සමාජය තුළ ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් වූවක් නිසා, තම කිතුනු ආගමික සළකුණ වශයෙන් කුරුසිය භාවිත කිරීමට නොහැකි විය. එනිසා කිතුනුවන් තම ඇදහිල්ල ප්‍රකශ කිරීමටත්, තමන්ගේ කිතුනු අනන්‍යතාවය අන් අයට හඳුන්වා දීමටත් මෙම මත්ස්‍ය සළකුණ යොදා ගත්හ. පහත දැක්වෙන රූප සටහන දෙස බලන විට පෙනී යන්නේ, එහි ඇතුළත් P X සළකුණ හා "ඉක්ත්හුස්" සංඛේතයයි.

        මෙම "ඉක්ත්හුස්" සළකුණ ආදිකාලීන කිතුනුවන් ලබාගෙන ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව හා පැරණි රෝමයේ මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ ඇදහිළිවල ආභාෂයෙන් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය යි. (3) නමුත් කිතුනුවන් මෙම 'ඉක්ත්හුස්' සළකුණ යොදා ගත්තේ පැරණි මිථ්‍යා දෘෂ්ඨික සංකල්පය සම්පූර්ණයෙන් බැහැර කර කිතුනු සංකල්පය වන "ජේසුස් ක්‍රිස්තුස් දේව පුත්‍රයාණෝ, ගැළවුම්කරුවාණෝ" යන්න ප්‍රකාශ කිරීමට ය. පොදුවේ මෙම මත්ස්‍ය සංඛේතය විවිධ මිථ්‍යා දෘෂ්ඨික ආගමිකයන් අතර ඉතා ප්‍රසිද්ධව පැවති නිසා, එය කිතුනු සංඛේතයක් හැටියට යොදා ගැනීමෙන් කිතුනු විරෝධී පීඩකයන්ගෙන් ආරක්ෂා වීමට සුදුසු පිළියමක් හා ක්‍රමයක් විය. උමං සොහොන් වල 'ඉක්ත්හුස්' සළකුණ යොදා තිබීමෙන් ඒවා මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ සොහොන් විය නොහැකිදැයි කෙනෙකුට ප්‍රශ්නයක් පැන නැගීමට පිළිවන. මෙම 'ඉක්ත්හුස්' සළකුණ මිථ්‍යා දෘෂ්ඨික ආගම් වල ශුද්ධ වූ සළකුණක් ලෙස සැලකූ බැවින් ඔවුන් එය කිසිසේත් ම සොහොන් කොත් සඳහා නොයෙදූහ. එනිසා එය කිතුනුවන්ගේ ආගමික අනන්‍යතාවය නිරූපණය කිරීමට යෙදූ රහස්‍ය සංඛේතයක් බව බොහෝ විද්‍යාඥයන්ගේ මතය හා පිළිගැනීම වේ.      

          'ඉක්ත්හුස්' සළකුණ යෙදීමට බලපෑ හේතු සාධක
        ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ජුදෙව්වරුන්ට බියෙන් සැඟවී සිටි අපෝස්තුළුවරුන් වෙත පෙන්තකොස්ත දින දී ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩම කිරීමන් පසුව ඔවුන් වඩාත් ධෛර්යයමත්ව, බිය ,සැකය හා අවිශ්වාසය දුරුවී ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය ලොවපුරා ව්‍යාප්ත කිරීමට උත්සහ දැරූහ. එහෙත් ඔවුන්ට මෙම ධර්මදූත කාර්යයේ යෙදීම පහසු දෙයක් නොවීය. බොහෝ තාඩන පීඩන,  
        අභියෝග හා බාධක මැද ඔවුන්ට ධර්ම ප්‍රචාරයේ යෙදීමට සිදුවිය. ඊට බලපෑ ප්‍රධන හේතු සාධකය වූයේ, රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය තහනම් වූ ආගමක් බවට පත්වීමය. විශේෂයෙන් නීරෝ (ක්‍රි.ව.  54 - 68) (දකුණු රූපය) නැමති රෝම අධිරාජ්‍යයාගේ කාළයේ පටන්, දියොක්ලේෂියන් අධිරාජ්‍යයා (පහත රූපය)  (ක්‍රි.ව. 284 - 305) දක්වා කාළය තුළ "ක්‍රිස්තියානි ධර්ම‍යේ අදුරු පීඩන යුගය " ලෙස හැඳින්වීමට පිළිවන. මෙම කාල පරිච්ඡේදය තුළ අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කිතුනුවන් සංඛ්‍යාව අපමණය. ක්‍රිස්තියානි ධර්මය තහනම් වූ ආගමක් බැවින් එය ඇදහීම
        • සිරගත කරනු ලැබීමට හෝ
        • රටින් පිටුවහල් කිරීමට හෝ
        • කුරුසපත් කිරීමට හෝ
        • ඒ සියළු දඩුවම් සමඟ දේපල රාජසන්තක කිරීමට 
        තරම්වූ බරපතල වරදක් ලෙස සළකූහ. රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය තහනම් ආගමක් වීමට බලපෑ ප්‍රධාන හේතු සාධක කිහිපයක් විය. 
        1. ඊජිප්තුව ජය ගත් ජුලියස් සීසර් විසින් මිසරයේ තිබූ රටේ රජතුමාව දෙවියන් සේ සැලකීමේ ඉපැරණි සංකල්පය රෝමයට හඳුන්වා දෙන ලද්දේ ය. සීසර්ව ''අනභිභවනීය දෙවියන්'' ලෙසින් සැලකීම හෙවත් ''අධිරාජ්‍යය දේව වන්දනාව '' (අධිරාජ්‍යයාව දෙවියන් ලෙස සැළකීම ) තවදුරටත් රෝම අධිරාජ්‍යය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරූ නීරෝ වැනි රාජ්‍ය පාලකයන්ගේ "සීසර් අභිවන්දනය" කිරීමේ නියෝගය දස පණතේ පළමු වගන්තියට විරුද්ධ වූ පාපී ක්‍රියාවක් වූ බැවින් කිතුනුවන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය. රාජ නියෝගයට අකීකරුවීමේ ප්‍රතිඵලය මරණය හිමිවීම ය.
        2. ක්‍රිස්තියානි ධර්මය හා කිතුනුවන් පිළිබඳව රෝම සමාජය පුරා පැතිරී ගිය විකෘති, වැරදි කටකතා නිසා ඔවුන්ව පිටු වහලුන්  හා මිලේච්ඡයන් ලෙසින් සැලකීමට හේතු විය. නීරෝගේ පාලන කාලයේ දී රෝම සෙබළුන් නගරය පුරා චර පුරුෂ සේවයේ යෙදෙමින් රජුට විරුද්ධ කුමන්තුණකරුවන් හා අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවන් ගැන රෝම අධිකාරියට වාර්තා කළ යුතු විය. නිවෙස් තුළ රහසිගතව දිව්‍ය පූජාව පැවැත්වූ කිතුනුවන්, "මේ මාගේ ශරීරය" ය, "මේ මාගේ රුධීරය" ය වැනි වචන ප්‍රකාශ කරන කල ඒ ගැන කිසිත් නොදත් චර පුරුෂයන් නිවස තුළ සිදුවන ක්‍රියාව නොදැක කල්පනා කළේ එතැන මිනී මැරීමක් සිදුකර හා මිනිස් මාංශ අනුභව කර , මිනිස් රුධිරය පානය කරන ම්ලේච්චයන් පිරිසක් සිටින බව ය. එනිසා ශිඨාචාරවත් රෝම සමාජයට කිතුනුවන්ව පෙනී ගියේ ඔවුන්ගේ දේව ඇදහිළි වලට පටහැනි දේ අදහන මිථ්‍යා දෘෂ්ඨික අමනුස්සයන් පිරිසක් ලෙසිනි.
        3. ‍රෝම සෙනෙට් සභාවේ සිටි සභිකයන් කවදත් ප්‍රිය කළේ කොන්සල් ධූරයට ය. ඊජිප්තුවේ දේශපාලනික ආභාෂය ලත් ජූලියස් සීසර් අධිරාජ්‍යයෙකු වීමට ප්‍රිය කළේ ය. එහෙත් තම බලතල හා අයිතිවාසිකම් අහිමිවන එම අධිරාජ්‍යය ක්‍රමයට සෙනෙට් සභිකයන් විරුද්ධ වූහ. එවැනි අධිරාජ්‍යවාදී ආකල්ප වලින් විකෘති මනසක් ඇතිව සිටි ‍නීරෝ වැනි රෝම අධිරාජ්‍යයන්ට එරෙහිව රහසිගත කුමන්ත්‍රණ මෙහෙය වූහ. එහෙත් රජුගෙන් ඔවුන් තමන්ගේ ආරක්ෂාව තකා මෙම කුමන්ත්‍රණ වලට වගකිව යුත්තෝ කිතුනුවන් ලෙසින් පෙන්වා දුන්හ. එනිසා කිතුනුවන් යනු නීරෝ රජුට ඉතා අප්‍රසන්න වූ පිරිසක් විය.
        4. ඇතැම් රෝම අධිරාජ්‍යයන් කිතුනුවන්ට තම සතුරන් ලෙසින් සැළකූ අතර, තම පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු සාක්ෂාත් කර ගැනීමට කිතුනුවන් පිට වරද පටවමින් ඔවුන්ට දඩුවම් කළහ. තම නමින් නව පුරවරයක් ඉදි කිරීමේ ආශාවෙන් පෙළී, ක්‍රිස්තු වර්ෂ 64 දී රෝමයට ගිනි තැබීමට සැලැස්වූ නීරෝ සෙනෙට් සභාවෙන් එය සැඟවීමට එම වරද කිතුනුවන් පිට පැටවීය.(4) මැක්සිමියන්, වැලේරියන් හා දියොක්ලේෂියන් වැනි රෝම අධිරාජ්‍යයන් කිතුනුවන් වහල්කමට, යුධ කටයුතු වලට හා ග්ලැඩියේටර් මාරාන්තික සටන් ක්‍රීඩාව සඳහා යොදා ගත්හ. දියෝක්ලේෂියන්ගේ පාලන කාලය තුළ මරණයට පත් කිතුනුවන් සංඛ්‍යාව කොපමණ ද යත්, ටූර්ටලියන් නමැති ඉතිහාසඥයා පෙන්වා දෙන පරිදි කිතුනුවන්ව ඝාතනය කිරීමෙන් රෝම සෙබළුන්ගේ කඩු හා පොරෝ තල මොට්ට වූ බව කියයි. සාන්ත සෙබස්තියන් නමැති රෝමානු සෙන්පති කිතුනුවා ප්‍රාණ පරිත්‍යාගී වූයේ මේ කාලයේ දී ය.  
        මෙවැනි හේතු සාධක නිසාවෙන් රෝමයේ සිටි කිතුනුවන් දැඩි හිංසනයට හා පීඩිත කෲර මරණයට මුහුණ දුන්හ. කුසගින්නේ තැබූ සිංහයන් හා ව්‍යාඝ්‍රයන් වැනි වන සතුන්ට පණ පිටින් ඉරා මරාගෙන කෑමට සැලැස්වීම, ග්ලැඩියේටර් මාරාන්තික සටන් සඳහා කිතුනු පුරුෂයන්ව යෙදවීම, කුරුසපත් කිරීම, ගෙළ සිඳීම, ගිනි පෝරණුවේ පිළිස්සීම හා රාත්‍රියේ නගර හා නෘත්‍යශාලා ආලෝකකරණය සඳහා ගිනි පන්දම් ලෙසින් තෙල් වැගිර වූ කිතුනුවන්ගේ ශරීර දැවීම යනාදිය මෙකල කිතුනුවන්ට දුන් වධ හිංසා අතර ප්‍රධාන වෙති. 
        ලෝක ප්‍රසිද්ධ රෝමයේ කොලෝසියම කිතුනුවන් දහස් ගණනින් ඝාතනය ලක් වූ ස්ථානයකි. (පාද නමස්කාරය පිළිබඳ බ්ලොග් ලිපියේ පෙන්වා දුන් පරිදි, දෙවන ජුවාම් පාවුළු පාප්තුමා මෙම ස්ථානයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවන් හා ශුද්ධවරයන්ගේ ගෞරවය පිණිස දිව්‍ය පූජාවක් ද පවත්වා ඇත.) මේ හේතුවෙන් බොහෝ කිතුනුවන්ට තම ආගම ධර්මය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගීවීමට සිදු විය. එවකට කිතුනුවන් කොපමණ දුක් ගිනි මැද ජීවත් වන්නට ඇත්ද යන්නත්, තම අඹු දරුවන් හා නෑ හිතවතුන් අමානුෂික ලෙස අධිරාජ්‍යයා ඉදිරියෙහි ඝාතනයට ලක් වන විට ඔවුන් පත්වූ මානසික පීඩාකාරී තත්ත්වය නූතන අපට අවබෝධ කර ගැනීමට අපහසු තරම් ය.  
        කිතුනු සභාව නූතන තත්ත්වයට පා තබා ඇත්තේ මල් මැදින් වන පහසු මෘදු මාවතක් ඔස්සේ නොවන බව අමතක නොකළ යුතුය. පළමුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් කළ ජීවිත පූජාව ය. ඉන්පසුව අපෝස්තුළුවරුන් ඇතුළු ප්‍රාණ පරිත්‍යාගීවරුන් ය. ජේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් මගින් ශුද්ධ වූ සභාවට දායාද කළ පිවිතුරු කතෝලික ධර්මය විනාශ කිරීමට හා විකෘති කිරීමට උත්සහ දැරූ පුද්ගලයන්ගෙන් ද පසුකාලීනව ශද්ධ වූ සභාවට විවිධ අභියෝග එල්ල විය. සිය ජීවිත පූජාවෙන් හා බොහෝ දුෂ්කර ක්‍රියා මාර්ග තුළින් ආරක්ෂා කළ කිතුනු සභාවේ සාමාජිකයන් වන අප අපගේ පිවිතුරු ධර්මය නිසි‍ ලෙස පිළිපදිමින් කිතුනු සභාවේ අභිවෘද්ධිය පිණිස ඇප කැප විය යුතු නොවේද?   





        ------------- වැඩිදුර සටහන් --------------
        (1) මාශෝත්ථානය යනු ‍ජේසුස් වහන්සේගේ දේවන ආගමනයේ දී මහා විනිශ්දයට මුහුණ දීම සඳහා මළාවුන් තමන්ගේ ශරීර රැගෙන නැවත උත්ථානයට පත්වීම ය. මෙහි ශුද්ධ වූ සභාවේ පරම විශ්වාසයකි.  
        (2) Catacombs of Rome open to the public
        INFORMATION FOR THE VISIT*
        Visiting hours:
        9:00 – 12:00; 2:00-5:00 p.m. (5:30 during daylight saving time)
        Admission fee:
        Full price € 6 - Reduced price € 3
        The admission fee includes a guided visit.
        The reduction is for school groups with a letter of presentation from the principal of their Institution, and groups of catechetical instruction and preparation for the sacraments as well as children under 15 years of age and military personnel in uniform or with a military ID card.
        To celebrate Mass at the catacombs, please contact directly the Directors of the respective catacombs.
        *Valid for the catacombs of St. Callixtus, St. Sebastian, Domitilla, Priscilla and St. Agnes. The latter has slightly different visiting hours than the others 

        The Pontifical Commission for Sacred Archaeology (when the conditions of the monument permit this) also offers the possibility to students, individual scholars and Cultural Associations to have access to the catacombs that are normally closed to the public only if such visits have a real and exclusive cultural purpose, and so no profit motive is admitted. Moreover, the dissemination by the Associations - through the press, radio or other media - of the visits requested gives this Pontifical Commission the faculty to revoke the permit granted immediately. For access to these monuments it is necessary to adhere scrupulously to the following instructions:
        a) The request, which must arrive at least 20 days before the date of the visit, has to be sent in writing to the attention of the Secretary of the Pontifical Commission for Sacred Archaeology, and specify the monument one intends to visit, the date, the time, the possible presence of an archaeological guide, and the number of persons. The authorization is granted at the sole discretion of the Secretary.
        b) For these visits, the presence of a grave-digger designated by this Pontifical Commission and assigned to the service of custodianship and assistance is compulsory. The applicant is wholly responsible for the fees for this person’s presence at the following rate:
        1. The grave-digger’s fee for being called, which includes a 75-minute visit for each group, is € 100. This fee must be paid - after previous phone agreement - in the days preceding the visit at the office of the Commission (from Monday to Friday from 8:00 a.m. to 2:00 p.m.), or by bank transfer:
        From abroad to
        Banca Monte dei Paschi di Siena S.p.A.
        AG. 41 ROME
        (IBAN) IT 16 S 01030 03241 000000098035
        (BIC) PASCITM1R41
        In the name of the Pontifical Commission for Sacred Archaeology
        In the reason for payment, the protocol number of the document must be indicated.

        From Italy to
        Banca Monte dei Paschi di Siena
        AG. 41 ROME
        c/c No. 98035
        cod. ABI 01030; cod. CAB 03241; cod. CIN S
        In the name of the Pontifical Commission for Sacred Archaeology
        In the reason for payment, the protocol number of the document must be indicated.

        2. for each hour or fraction of an hour over the 75-minute visit, the sum of € 25 must be paid as compensation, which will be calculated after the day of the visit.
        c) for guided visits with an explanatory lesson by an archaeological guide, in addition to the costs in point 1.b.1, there is a fee of € 120 for each group which must be paid together with the cost of the visit.
        We remind you that:
        1. The group of visitors allowed into the catacombs must not exceed 15 persons.
        2. If any damage to places or persons should occur during the visit, the applicant is required to compensate for the damages caused.
        3. It is strictly forbidden to introduce photographic machines and video cameras into the catacomb. Any transgression of this rule will result in the immediate suspension of the visit.
        4. The visit can be cancelled by sending a written communication by fax or e-mail within and no later than 3 working days before the date of the visit. If no cancellation is received, the obligation to pay for the visit remains.
        5. In the event that the visit is cancelled by the Pontifical Commission for reasons beyond its control and with no possibility to notify the applicant in good time, it is understood that the Pontifical Commission for Sacred Archaeology will grant another visit on another date agreed upon with the applicant. Therefore, the Pontifical Commission for Sacred Archaeology is exonerated from compensating any payment made by the applicant.
        The participants are also asked to wear comfortable shoes and to each bring a flashlight for illumination.

        (3) චීනයේ මහා මාතාව (Great Mother - 'Kwan-Yin') මත්ස්‍යයෙකුගේ විලාශයෙන් දක්වයි. ඉන්දියාවේ කාලි දේවතාවිය 'මත්ස්‍ය ඇස' යන අරුත දෙයි. ඊජිප්තුවේ 'අයිසිස්' (Isis) 'පාතාලයේ මහා දෙවියන්' මත්ස්‍ය සළකුණෙන් දක්වයි. පැරණි ස්කැන්ඩිනේවියානු දේවතාවියක වූ 'ෆ්‍රෙයා' (Freya) නම් දෙවඟනගේ ගෞරවය පිණිස ඇගේ බැතිමතුන් මංගල්‍ය දින දී මසුන් අනුභව කරති. සුළු ආසියාවේ එපීසය නම් ප්‍රදේශයේ දේවිතාවියක්ව මත්ස්‍ය සළකුණ රැගත් සුරයක් ඇගේ ජනනේද්‍රිය හරහා දමා තිබේ.
        (4) Roman historian Cornelius Tacitus recorded information pertaining to Jesus, thus removing the only supporting source for His existence as being in the New Testament. In 115 A.D., Tactius wrote about the great fire in Rome; "Consequently, to get rid of the report, Nero fastened the guilt and inflicted the most exquisite tortures on a class hated for their abominations, called Christians by the populace. Christus, from whom the name had its origin, suffered the extreme penalty during the reign of Tiberious at the hands of one of our procurators, Pontius Pilatus, and a most mischievous superstition, thus checked for the moment, again broke out not only in Judea, the first source of the evil, but even in Rome, where all things hideous and shameful from every part of the world find their center and become popular. Accordingly, an arrest was first made of all who pleaded guilty; then upon their information, an immense multitude was convicted, not so much of the crime of firing the city, as of hatred against mankind. Mockery of every sort was added to their deaths, Covered with the skins of beasts, they were torn by dogs and perished, or were nailed to crosses, or were doomed to the flames and burnt, to serve as a nightly illumination, when daylight had expired. Nero offered his gardens for the spectacle, and was exhibiting a show in the circus, while he mingled with the people in the dress of charioteer or stood aloft on a car. Hence, even for criminals who deserved extreme and exemplary punishment, there arose a feeling of compassion; for it was not, as it seemed, for the public good, but to glut one man's cruelty, that they were being destroyed.
             

        DAILY DEVOTION BOX

         
        Support : Creating Website | Johny Template | Mas Template
        Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
        Template Created by Creating Website Published by Mas Template
        Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith