ක්‍රිස්තු වර්ෂ පස්වන හා හයවන සියවස් වල දී රෝමයට එල්ල වූ මිලේච්ඡ ආක්‍රමණ වලින් අනතුරුව බිඳ වැටුණු රෝම සභ්‍යත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම පැවරුණේ ශුද්ධ වූ කතෝලික සභාවටය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 7 - 8 වන සියවස් වල දී මෙම මිලේච්ඡ පව්කාරයන්ව සුමගට ගැනීම සඳහා පශ්චාත්තාපික ක්‍රමවේදයක් අනුගමනය කෙරුණි. එනම්, ඔවුන්ට යහපත් කිතුනු වැඩිහිටියන්ගේ භාරකාරත්වය හා පූර්ණ සුපරික්ෂාව යටතේ ධර්මය, සුචරිතය හා නීතිගරුක ජීවිත පැවතුම් ඉගෙනීමට සලස්වා, ඉන්පසුව තම පව් වලට මනස්ස්ථාපනය වීමට සැලැස්වීමය. විශේෂයෙන් රෝමයේ හා ප්‍රංශයේ තපස්වරයන්ගේ බලපෑම් මත මෙම පිළිවෙත සිදු කිරීම සඳහා චතාරික කාලය යොදා ගැනිණ. චතාරිකය පටන් ගන්නා දවස ලෙසින් සැලකූ බදාදා දින එම පව්කාරයන්ව දේවස්ථාන ප්‍රධාන දොරටුව වෙත කැඳවා ගෝනි වැනි රළු ඇඳුම් අන්දවා හිස මත අළු හෝ දූවිලි තවරා ජන ශුන්‍ය පෙදෙසකට ගොස් යාච්ඤාශීලීව ජීවත්වීමට සැලැස්වීය. පසුකාලීනව ප්‍රසිද්ධ පව්කාරයන්ට පමණක් නොව සාමාන්‍ය කිතුනුවන් සඳහා ද මෙම ක්‍රම පිළිවෙත භාවිත කෙරුණි.
මුල් කාලයේ දී චතාරිකය ආරම්භ වූ බදාදා දවස සාමාන්‍ය කිතුනුවන්ට නිරාහාර ශීලය රැකීමේ දවසක් ලෙසින් පැවතුණි. නළල මත අළු තැවරීමේ පිළිවෙත සාමාන්‍ය කිතුනුවන්ට ද භාවිත කිරීම ඇරඹීමත් සමගම එදවස "අළු බදාදා" ලෙසින් නම් කිරීමට යෙදුණි. මේ අනුව එදවසට අළු තැවරීම, නිරාහාරශීලය රැකීම, මාංශ අනුභවයෙන් වැළකිය යුතු හා මර්ධනාවේ පශ්චාත්තාපික ක්‍රියා කිරීම් කළ යුතු දවසක් ලෙසින් පිළිගැනුණි.
නූතන නව ජනවන්දනා විශාරදයන්ට අනුව "අළු බදාදා" යනුවෙන් දවසක් අනවශ්‍ය බව කියති. මුල් කාලයේ දී මෙන් චාතාරිකය ඉරු දිනකින් ඇරඹීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ මතයය. ඔවුන් මෙම අදහස සනාථ කිරීමට හේතු සාධක දෙකක් ඉදරිපත් කරති.
- ඉරු දිනය ජේසුස් ස්වාමින් වහන්සේගේ උත්ථානයේ දවසවීම.
- කිතුනුවා උත්ථානය කරා ගමන් කරන්නෙකු වීම.
ඒ අනුව, ඉරු දිනය චතාරිකයේ වැදගත්ම දවස වන්නේ නම්, අළු බදාදා සිට එම සතියේ ම සෙනසුරාදා දක්වා කාලය "පූර්ව චතාරික කාලය" ලෙසින් නම් කිරීම සුදුසු බව ද ප්‍රකාශ කරති.