"මට පිපාසය'' - ජොහාන් 19 : 28
‘‘ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, ‘මට පිපාස ය'යි වදාළ සේක. එහි විනාකිරි පිරු භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ." (ජොහාන් 19 : 28 - 29)දැඩි දුක්වේදනා මැද මරණය අත්දකින අයෙකුට අවසන් මොහොතේ දැනෙන ශාරීරික අවශ්‍යතාවය පිපාසය යි. ජේසුස් වහන්සේ ද පිපාසයෙන් පෙළුණ සේක.ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේ දී ආහාරපාන ගැනීමෙන් පසු මරණයට පත්වනතුරු කිසිඳු ආහාරයක් නොලැබූ සේක. ශාරීරික පිපාසාවක් එතුමන්ට තිබෙන්නට ඇත. ජේසුස් තුළ ඇති වූ මෙම පිපාසය ගීතාවලියේ පූර්ව දිවැස්වැකියක් ලෙස දැකිය හැකිය. “මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත." (ගීතාවලිය 22 : 15) මෙය ජේසුස් වහන්සේගේ පිපාසිත ප්‍රකාශනයත් සමග පූර්ණත්වයට පත්ව ඇත. රෝම සෙබළුන්ට මෙය සාමාන්‍ය දෙයකි. මන්ද, බොහෝ කුරුසපත් වූවන් ජල පිපාසයෙන් කෑමොර ගැසීම ඔවුන් අත්දැක ඇති බැවිනි. ජේසුස් වහන්සේගේ ප්‍රකාශනය ද ඔවුන් සාමාන්‍ය දෙයක් ලෙසින් සලකා, “.........මූදුහත්තක් ගෙන ඇඹුල් මිදියුස වල පොඟවා, බට දණ්ඩක ගසා උන් වහන්සේට බොන්න දුන්නේ ය." (මතෙව් 27 : 48) මතෙව් හා මාර්ක් සුභාරංචි පොත් වල දැක්වෙන පරිදි, ජේසුස් වහන්සේව කුරුසියේ ඇණගැසීමට පෙර පවා ඔව්හු “තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන් වහන්සේට බොන්න දුන්හ. උන් වහන්සේ එය දිව ගා බලා බොන්ට අකමැති වූ සේක" (මතෙව් 27 : 34).
සුවඳලාටු මිශ්‍ර කළ මිදියුස |
සුවඳලාටු මිශ්‍ර මිදියුස සෑදීම |
කුරුසියේ එල්ලී සිටිය දී ජේසුස් වහන්සේට බොන්න දුන්නේ විනාකිරි හෙවත් ලූක්තුමා දක්වන ආකාරයට, ‘කාඩිය' නමැති පානයකි. මෙම කාඩිය ලවණ, අම්ල, තිත්ත හා විනාකිරි මුසුකර සකස් කළ අමිහිරි පානයකි. මේවා යොදා ගත්තේ අපරාධකරුවන්ට වධ හිංසා පැමිණවීමේ දී විනෝදජනක ක්‍රියාවන් සඳහා බොන්ට දීමට ය. මෙය වනාහී, “පිපාසයේ දී ඔව්හු මට තික්ත කාඩි බොන්න දුන්නෝ ය" (ගීතාවලිය 69 : 21b) යන දිවැස්වැකිය පරිපූර්ණත්වයට පත් වීමකි.
ජේසුස් වහන්සේගේ මෙම පිපාසය ගැන බයිබල් විශාරදයන් අතර විවිධ මත තිබේ.
- ජේසුස් වහන්සේ දෙවි පියාණන් වහන්සේ සමග තිබූ ගැඹුරු සම්බන්ධතාවය නිසා ඔවුන් වහන්සේ කෙරෙහි වූ දැඩි ආශාව මින් පිළිබිඹු කරන බව.
- ජේසුස් වහන්සේ පුරාණ ගිවිසුමේ සඳහන් ඔවුන් වහන්සේ පිළිබඳ දිවැස්වැකියක් පරිපූර්ණත්වයට පත් කරමින් කී පුරාණ යැදුමක කොටසක් බව.
- සැබවින්ම ජේසුස් වහන්සේ තුළ ඇති වූ දැඩි ශාරීරික පිපාසිතබව පෙන්නුම් කිරීමක් බව.
- “ඥානවාදය"නමැති වේදභේදය මගින් පිරිසිඳු කිතු දහමට එල්ල වූ අහිතකර බලපෑමට එරෙහිව ජොහාන් සුභාරංචි කතුවරයා ඉදිරිපත් කළ ඉගැන්වීමක් බව.
ජොහාන් තුමා සුභාරංචි පොත තුළ "ජලය" "ජීවනය" වැනි දේවධාර්මික සංකල්ප ජේසුස් වහන්සේ හා සම්බන්ධ කොට ඉදිරිපත් කිරීම දැකිය හැකිය. “........එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇත...... මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය," (ජොහාන් 4 : 10, 14) යනුවෙන් සමාරීය ස්ත්‍රියට වදාළ සේක. තවද, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා! ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහාගන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය," (ජොහාන් 7 : 37 - 38) යනුවෙන් දැක්වේ. මෙයින් පෙනී යන්නේ ජේසුස් වහන්සේ තුළ ජීවනය ඇති බවත්, ඔවුන් වහන්සේව අදහාගෙන අනුගාමීවන්නාට ජීවනය හා පූර්ණ තෘප්තිය හිමිවන බවය.
පුරාණ ගිවිසුමේ, “මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපා ගත්හ" (ජෙරමියා 2 : 13) යනුවෙන් දැක්වේ. මින් පෙනී යන්නේ, ඉශ්රායෙල්වරුන්ගේ සැබෑ ජීවන ජල උල්පත දෙවියන් වහන්සේ බව ය. “..... ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලිමත ලියූ නම් ලෙසින් නියතින් පහවී යනු ඇත" (ජෙරමියා 17 : 13) ජීවනයේ උල්පත වන දෙවියන් වහන්සේව අත්හරින්නාට පැවැත්මක් නැති බව මින් පෙනී යයි. “දේශය මුළුල්ලේ මහා සාගතයක් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන පිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමින් වන මම ය." (ආමෝස් 7 : 8 -11) මෙයින් පෙනී යන්නේ ජීවිතයට ජීවය දෙන ජීවන ජලධාරාව දෙවි සමිඳුන් බව ය. ජුදෙව් රබ්බිවරුන් (ආගමික ගුරුවරුන්) ඉශ්රායෙල් දරුවන්ට “ජීවනයේ ජලය" ලෙස ඉගැන්වූයේ “ටෝරා" හෙවත් "පංච පුස්තකය" නමැති දිව්‍ය ව්‍යවස්ථාව ය. එහෙත් ජොහාන් තුමා ජේසුස් වහන්සේගේ පිපාසයේ ප්‍රකාශනය තුළින් පෙන්වන්නේ, සැබෑ ජීවනය ඇත්තේ ජුදෙව් ව්‍යවස්ථාව තුළ නොව, එහි පරිසමාප්තිය වන ජේසුස් වහන්සේ තුළ බවය. එසේ නම් ජේසුස් වහන්සේ තුළ ඇතිවූ පිපාසය අපට පැහැදිළි ය. එම පිපාසය නම්, ජලය පානය කිරීමට ඇති වූ ශාරීරික පිපාසයක් නොව, දෙවියන් වහන්සේ හා සමග තමන් වහන්සේ ඒකාබද්ධ වීමට තිබෙන දැඩි අවශ්‍යතාවය ය.
තවද, ජොහාන් සුභාරංචි පොත ලියවුණේ ක්‍රිස්තු වර්ෂ 90 - 100 අතර කාලයේ දී බව පිළිගැනීමක් ඇත. මේ කාලය වන විට කිතුදහම විකෘති කිරීමට විවිධ වැරදි මතවාද (වේදභේද) පැතිර ගියෝ ය. ඉන් එක් මතවාදයක් නම් “ඥානවාදය"[Gnosticism] යි. මේ ඥානවාදය නමැති වේදභේදය ජේසුස් වහන්සේගේ මනුෂ්‍යත්වය පිළිගත්තේ නැත.[1] ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් ඔවුන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන අප හා සමාන මිනිසෙකු වූ සේක. ඔවුන් වහන්සේට අප හා සමාන සිතුම් පැතුම්, හැඟීම් තිබූ අතර, ශාරීරික දුක් වේදනා හා මරණය දැනුණු සේක. පිපාසය මිනිස් ජීවිතයේ ශාරීරික අවශ්‍යතාවයකි. ජේසුස් වහන්සේ කුරුසියේ සිට,"මට පිපාසය'' යනුවෙන් ප්‍රකාශ කිරීම ජොහාන් තුමා ඉදිරිපත් කරන්නේ ජේසුස් වහන්සේ සැබවින්ම මනුෂ්‍යෙයකු ලෙසින් දුක් වේදනා විඳ මරණයට පත්ව අපව ගළවා ගත් බව පසක් කිරීමට ය.
අපට ලැබෙන දේව පණිවුඩය
ජේසුස් වහන්සේ පිපාසිත වූයේ ශාරීරිකව පමණක් නොව දෙවි පියාණන් වහන්සේ සමග තිබූ ගැඹුරු බැඳීම තුළ දෙවි ස්වාමින් වහන්සේට ය. මිනිසා ලෞකික සුප සම්පත් හා සුඛවිහරණයන් සොයා දුව යයි. කොපමණ ලෞකික ද්‍රව්‍යමය දේ හිමි කර ගත්තත් සෑහීමට පත් නොවෙයි. ඔහුට සදාතන තෘප්තිය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණි. “ඔබ වහන්සේ සමග මා සම්පූර්ණයෙන් ම එක් වූ විට දුක් දුක් වේදනා හෝ දුර්පරීක්ෂා හෝ මට ඇති නොවේ. ඔබ වහන්සේ මා සම්පූර්ණයෙන් වෙළා ගත් විට මාගේ ජීවිතය සර්ව සම්පූර්ණ වේ."යනුවෙන් සාන්ත ඔගස්ටින් තුමා පවසා ඇත. මිනිසා තම මැවුම්කාර දෙවියන් වහන්සේ තුළ තෘප්තියට හා සෑහීමට පත්වන තුරු ඔහු සදාකාලික සතුටක් නොලැබෙන දේ පසුපස හඹා යයි. ලෞකික සතුටේ අවසානය දුක ය. සැබෑ තෘප්තිය හා සැනසීම ඇත්තේ ජේසුස් වහන්සේව අදහාගෙන දෙවියන් වහන්සේව සොයා යාම තුළ ය. එමගින් ‘නැවත පිපාසය ඇති නොවන' සදාතන තෘප්තිය හා සැනසීම හිමි වනු ඇත. (ජොහාන් 4 : 13)
---------------------------------------- ෴ වැඩිදුර සටහන් ෴ ----------------------------------------
[1] “ආත්මය
සැමවිට ම යහපත් බවත්, ද්‍රව්‍යමය දේ සැමවිට ම අයහපත් බවත්, ජේසුස් වහන්සේ
මෙලොවේ දී දැරුවේ ආත්මය පමණක් බවත් ඥානවාදීන්ගේ මතය විය. දෙවියන් වහන්සේ
සැමවිටම ශුද්ධවන්ත ආත්මය බැවින් ඔවුන් වහන්සේට ශරීරයක් දැරිය නොහැකිය.
මන්ද, ශරීරය ද්‍රව්‍යමය දෙයකි. ද්‍රව්‍යමය දේ අයහපත් ය. එබැවින් දේවපුත්‍ර
ජේසුස් වහන්සේ ස්වභාවික ශරීරයක් දැරුවේ නැත. ඔවුන් වහන්සේ මිනිස් ශරීරය ගත්තේ අවතාරයක් ලෙසිනි. එබැවින් ඔවුන් වහන්සේ ගමන් කරන විට බිම පා සටහන් නොරැඳුණි. ජේසුස් වහන්සේ නියම මිනිස් සිරුරක් නොදැරූ නිසා, කුරුසිය මත නියම දුක්වේදනාවක් නොලැබූ අතර, මරණයේ අත්දැකීම සත්‍ය වේදනාවෙන් තොර වූවකි. මෙම ඥානවාදී ඉගැන්වීම සම්පූර්ණයෙන් කිතුනු විශ්වාසයට හා සභා ඉගැන්වීම් වලට විරුද්ධ නිසා එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරයි."