Recent Posts
Showing posts with label History. Show all posts
Showing posts with label History. Show all posts

ජේසුස් වහන්සේව විනිශ්චය කළ පොන්තියුස් පිලාත්


පොන්තියුස් පිලාත් කවරෙක්ද?  පොන්තියුස් පිලාතුස් වනාහී, ජේසුස් වහන්සේ මිනිස් වෙසින් මෙලොව ජීවත් වූ කාලයේ රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 26 - 36 අතර කාලයේ ජුදයාව පාලනය කළ පස්වන රෝම ආණ්ඩුකාරයා ය.[1] වැලේරියස් ෆැල්සෙයුස් ග්‍රාටුස් නමැති රෝම ආණ්ඩුකාරයාගෙන් පසුව ජුදයාවේ රෝම ආණ්ඩුකාර තනතුර ඔහුට හිමි විය. රෝමානු අශ්වාරෝහක පවුලකින් පැවතෙන ඔහු, ඊට ප්‍රථම රෝම යටත් විජිත ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාර පදවිය හෙබවූ, දක්ෂ රාජකීය රෝමානු ශතාධිපතියෙකු ලෙසින් ද කටයුතු කළ ඇත්තෙකි. පිලාත් පදිංචිව සිට ඇත්තේ කායිසාරිය නමැති ජුදෙව් පෙදෙසේ ය.
[කායිසාරිය රෝමන් පාලන පෙදෙසේ නටඹුන්]

 පිලාත් පිළිබඳ ඍජු තොරතුරු ටැසිටස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆීලෝ හා ජොසෙෆස් යන ඉතිහාසඥයන්ගේ වාර්තා වල දැක්වේ. ඊට අමතරව නිකදේමුස්ගේ සුභාරංචිය හා මාර්සියන්ගේ සුභාරංචිය වැනි අසම්මත සුභාරංචි පොත් වල ද පිලාත් ගැන සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 37 මාර්තු 16 තිබේරියස් සීසර්ගේ මරණින් පසුව ඔහුව ආපසු රෝමයට කැඳවූ බව ජොසෙෆස්ගේ වාර්තාවේ දැක්වේ. ඔහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේ ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම හේතු කොට ගෙන ය.

පිලාත්ගේ සම්පූර්ණ චරිතාපදානය පිළිබඳ තොරතුරු අප්‍රකට ය. ඉපැරණි ජනප්‍රවාදයකට අනුව, ඔහු මධ්‍යම ඉතාලිය බයිසෙන්ති [Bisenti] නමැති කුඩා ග්‍රාමයක උපත ලබා ඇත.[2] ඔහු ස්කොට්ලන්තයේ ෆොටින්ගෝල් නමැති උස් බිම් ප්‍රාන්තයක උපන් බවට ද, ස්පාඤ්ඤයේ ටැරගෝනා හි උපන් බවට ද, ජර්මනියේ ෆෝර්ච්හේම් හි උපන් බවට ද විවිධ ජනප්‍රවාද ඇත.
[පිලාත් කර වූ ශිලා ලේඛනය - ක්‍රි.ව. 1961 දී ඉශ්රායෙලයේ කායිසාරිය ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත. ]
ඉශ්රායෙල් කෙෳතුකාගාරයේ ඇති පිලාත්ගේ ශිලා ලේඛනය - මෙහි ]ECTVS IUDA හෙවත්  praefectus Iudaeae යනුවෙන් දැක්වේ එහි අර්ථය නම්, ජුදයාවේ අධිපති  [prefect of Judaea] යන්න ය.
පොන්සියුස් පිලාත් ජුදයාව දුටුවේ පරිපාලනයට අසීරු ප්‍රදේශයක් ලෙසිනි. ඒ බව ඔහු ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමෙන් අනතුරුව තිබේරියස් රෝම අධිරාජ්‍යයාට යැවූ සම්පූර්ණ විස්තර වාර්තාව රැගත් ලිපියේ ආරම්භයේදී ම දක්වා ඇත. [Archko Volume Manuscripts, Constantinople & Senatorial Docket, Rome Library] ජුදෙව්වරුන්ගේ ආගමික නීති හා සම්ප්‍රදායන් ද, පරිසිවරුන් සද්දුසිවරුන් විනයධරයන් හා නායක පූජකවරුන්ගේ බලපෑම් හා ක්‍රියා කලාපයන් ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. එහෙත් පිලාත් රෝම අධිරාජ්‍යයා වෙනුවෙන් රෝම නීතිය ක්‍රියාවේ යෙදවීමටත්, තම පාලන  ප්‍රදේශය නීතිය හා සාමය පවත්වා ගැනීමටත් කටයුතු කළේ ය. පිලාත් ජුදයාවේ පැවති ඇතැම් නීති හා සම්ප්‍රදායන් වෙනස් කිරීමට ද පසුබට වූයේ නැත. පිලාත් ජුදෙව් ප්‍රාන්ත පාලනය බාර ගැනීමට පෙර වරදකරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමේ බලයක් ජුදෙව් උත්තම පූජකයාට තිබුණි. එම වරප්‍රසාදය ඔහුට අහිමි කළ පිලාත් තම පාලන ප්‍රදේශය තුළ මරණ දණ්ඩනය දීමේ තනි අයිතිය රෝම අධිරාජ්‍යයාව නියෝජනය කරන රෝම ආණ්ඩුකාරයා සතු බව ප්‍රකාශ කර නියම කළේ ය.

පිලාත්ගේ පාලන කාලය තුළ ඔහු මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ රෝම පාලනයට එරෙහිව තැනින් තැන (රෝම විරෝධී) සෙලට්වරුන් ගෙන ගිය සුලු කැරලි ගැසීම් ය. ඒවා මර්ධනය කිරීම ඔහුට එතරම් අපහසු කාර්යයක් නොවී ය. කැරලි නායකයෙකු වූ බරබ්බස් ව අත්අඩංගුවට ගෙන සිර දඬුවම් නියම කිරීමෙන් ඒ බව පැහැදිළි ය.(මාර්ක් 15 : 7, ජොහාන් 18 : 40b)

ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම
පිලාත් සිය පාලන කාලය තුළ මුහුණ දුන් අසීරු ම ප්‍රශ්නය වූයේ, නිර්දෝෂ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීමට නියම කිරීම පිළිබඳ කරුණ ය. පිලාත් ඉදිරියෙහි ජේසුස් වහන්සේට එරෙහිව නායක පූජකවරුන් හා ජුදෙව් ප්‍රධානීන් ඉදිරිපත් කළ චෝදනා තුනකි. එනම්, 
  • මොහු ජුදෙව් ජාතිය කැරලි ගැසීමට පොළඹවන බව,
  • රෝම අධිරාජ්‍යයාට අය බදු දීම තහනම් කරන බව,
  • ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියා ගන්න බව,
ය. [ලූක් 23 : 2] මෙකී චෝදනා තුනම ජේසුස් වහන්සේ අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙකු බව පෙන්වන ඒවා ය. මෙම චෝදනා උත්තම පූජක අන්නාස් ඇතුළු සැන්හෙඩ්‍රින් ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි ජේසුස් වහන්සේට එල්ල කළ චෝදනා වලට වඩා හාත්පසින් ම වෙනස් ඒවා වෙති. [මතෙව් 26 : 60 - 66] වරදකරුවන් විනිශ්චය කොට හසල අත්දැකීම් ඇති පිලාත් ජේසුස් වහන්සේ දෙස බලා ඔවුන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයෙන් ම ඔවුන් වහන්සේ නිර්දෝෂ කෙනෙකු බව වටහා ගත්තේ ය. පිලාත් දැන ගැනීමට අවශ්‍ය වූයේ එක් වැදගත් කරුණක් පමණි. එනම්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු ද" යන්න ය. [ලූක් 23 : 3] විප්ලවකාරයන්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් හා සටන්කාමීන් විනිශ්චය සභාවක් ඉදිරියෙහි හැසිරෙන හා පිළිතුරු දෙන ආකාරය පිලාත් හොඳින් දැන සිටියේ ය. “එසේ කියන්නේ ඔබ ය" [ලූක් 23 : 3] යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුරෙන් ම ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න ඔහු තේරුම් ගත්තේ ය. එසේම, නායක පූජකවරුන් ද ඊර්ෂ්‍යාවෙන් ජේසුස් වහන්සේව පිලාත් වෙතට පාවා දී මරණ දඬුවම දීමට පොළඹවන බව ඔහු තේරුම් ගෙන සිටියේ ය. [මාර්ක් 15 : 10] පිලාත් ආණ්ඩුකාර පදවිය නිල වශයෙන් බාරගැනීමේ උත්සවයට ජෙරුසලමේ සිටි ජුදෙව් උත්තම පූජකවරයා ඇතුලු නායක පූජකවරුන්ට කළ ඇරයුම නොසලකා හැර ඔවුන් ඊට සහභාගි නොවූ නිසා පිලාත් තුළ ජුදෙව් පූජකවරුන් ගැන තිබුණේ දැඩි අප්‍රසන්නතාවයකි. එබැවින් රෝමවරුන් එම පූජකවරුන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවත්, ඔවුන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවෙත වෙනුවෙන් තම මව වුව ද පාවා දෙනු ඇතැයි පිලාත් රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙත යැවූ ලිපියේ ඔහු දක්වා සඳහන් කර ඇත. 
ජේසුස් වහන්සේගෙන් පිලාත් ප්‍රශ්න කිරීම
පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කිරීමේ සිද්ධිය තුළ විශේෂ සංවාද කොටස් කිහිපයක් දැකිය හැකිය. 
  • පිලාත් ජේසුස් වහන්සේ සමග කළ සංවාදය ඔහු ජේසුස් වහන්සේ කවරෙක් ද යන්න විමසා බැලීය. ඔහු පෙෳද්ගලිකව ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය. 
  1. ‘‘ඔබ ජුදෙව්වරුන්ගේ රජ ද?" (මතෙව් 27 : 11) 
  2. ‘‘ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද්ද? බලන්න, මොවුහු ඔබට කොතරම් චෝදනා කරත් ද?" (මාර්ක් 15 : 4) 
  3. ‘‘මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කළෙහි ද?" (ජොහාන් 18 : 35)
  4. “ඔබ කොහෙන් එන්නේ ද?" (ජොහාන් 19 : 9)
  5. “ඔබ මට පිළිතුරක් දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කර හරින්ට හෝ කුරුසියේ ඇණ ගසන්ට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි ද?" (ජොහාන් 19 : 10) 
   යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් ප්‍රධානීන් සමග කළ සංවාදය - පිලාත් නායක පූජකවරුන් සමග විවාද කරමින් ජේසුස් වහන්සේව නිදහස් කිරීමට උත්සහ කළේ ය. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේව කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් හා කෝපයෙන් පසු වූ බව දැන සිටි බැවිනි. 
  1. “මේ මිනිසාට විරුද්ධව ඔබ ගෙනෙන චෝදනාව කුමක් ද?" (ජොහාන් 18 : 29)
  2. “ඔබ ම ඔහු ගෙන ගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්න" (ජොහාන් 18 : 31)
  3. “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ." (ලූක් 23 : 4)
  4. “ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලි ගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විබාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධව කළ චෝදනා වලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත; හෙරෝද්ට ද පෙනුණේ නැත. හෙරෝද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි." (ලූක් 23 : 15 - 16)
     යනාදිය ඉන් සමහරකි.
  •  පිලාත් ජුදෙව් වැසියන් සමග සංවාදය - පාස්කු මංගල්‍යයට සහභාගිවීමට පැමිණි බොහෝ ජුදෙව්වන්ගෙන් ජෙරුසලම පිරී පැවතුණි. ජේසුස් වහන්සේව පිලාත් ඉදිරියෙහි විනිශ්චය කරන බව දැනගැනීමෙන් ඔවුන් එය බැලීමට එහි රැස් වූහ. 
  1. “මොහු අත කිසි වරදක් මට නොපෙනේ. පාස්කු මංගල්‍යෙය් දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමති ද?" (ජොහාන් 18 : 38b - 39)
  2. “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි." (ජොහාන් 19 : 4)
  3. “මෙන්න, ඒ මනුෂ්‍යයා." (ජොහාන් 5)
  4. “මෙන්න ඔබේ රජ." (ජොහාන් 19 : 14)
  5. “එසේ නම් ජුදෙව්වරුන්ගේ රජු යයි ඔබ කියන මොහු ගැන කුමක් කරන්ට ද?" (මාර්ක් 15 : 12)
  6. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්ට ද?" (ජොහාන් 19 : 15)
  7. “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කළේ ද?" (මාර්ක් 15 : 14)
  8. “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වග බලා ගන්න." (මතෙව් 27 : 24)
මෙකී සියලු සංවාද වලින් පෙනී යන්නේ පිලාත් ජේසුස් වහන්සේගේ නිදොස් බව පිලාත් පැහැදිලිව ම හඳුනා ගෙන සිටි බව ය. එබැවින් ඔහු ජේසුස් වහන්සේව නිදහස් කර හැරීමට නොයෙක් උපක්‍රම යෙදුවේ ය. 
[“මෙන්න මනුෂ්‍යයා" - "Acce Homo" - පිලාත් කසයෙන් තැළවූ ජේසුස් වහන්සේව ජනතාවට පෙන්වීම ]
  1. ජේසුස් වහන්සේ නිදොස් මිනිසෙකු බවට නායක පූජකවරුන්, ජුදෙව් ප්‍රධානීන් හා සාමාන්‍ය ජුදෙව් ජනතාව ඉදිරියෙහි කරුණු ගෙන හැර පෑම.
  2. තමන් මෙම විනිශ්චයට මැදහත් නොවී ඇඟ බේරා ගැනීමට ගලීලයේ පාලකයාව සිටි හෙරෝද් ඇන්ටිපස් වෙත ජේසුස් වහන්සේව යැවීම. (ලූක් 23 : 6 - 12)
  3. ජේසුස් වහන්සේට කසයෙන් තළවා ජුදෙව් ප්‍රධානීන්ගේ හා ජනතාවගේ අනුකම්පාව ලබා දීමට උත්සහ කිරීම.
  4. රාජ්‍ය විප්ලවයේ දී අත් අඩංගුවට ගෙන සිටි අපරාධකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත් බරබ්බස් සමග සංසන්දනය කොට ජේසුස් වහන්සේ කෙරෙහි මහජන ප්‍රසාදය ලබා දී නිදහස් කිරීමට උත්සහ කිරීම. 
යනාදිය ඉන් කිහිපයකි. පිලාත් ජේසුස් වහන්සේව විනිශ්චය කළ ජනතාවග්‍ෙ හිතුමනාපයට බව ලූක් 23 : 25 හි දැක්වේ. කෙසේ වුව ද ඔහු තම දෙඅත් ජලයෙන් සෝදා ගත්තේ තමන්ගේ නිදොස් බව ප්‍රකාශ කිරීමේ සළකුණක් වශයෙනි. (මතෙව් 27 : 24)
 
පිලාත් මුහුණ පෑ දුෂ්කරතා
ජේසුස් වහන්සේව විනිශ්චය කිරීම තුළ පිලාත් ඉතා අසීරු හා අසරණ තත්ත්වයකට පත් වූ බව පෙනේ. එනම්,
  • වරදකරුවෙකු නොවන නිර්දෝෂී පුද්ගලයෙකු ට මරණ දණ්ඩනය නියම කිරීම රෝම නීතියට හා අධිරාජ්‍යයාට අපහාස කිරීමකි.
  • නිර්දෝෂී බව දැන දැනම ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීම තම හෘදය සාක්ෂියට විරුද්ධ වූවකි.
  • වැරදි තීන්දුවක් දී නිර්දෝෂ මිනිසෙකු මරණයට පත් කිරීම නිසා පිලාත් අධිරාජ්‍යය තුළ අපකීර්තියට පත් වීමට පුළුවන. 
  • නායක පූජකවරුන් සමග ගැටුම් ඇති කර ගැනීම හා ඔවුන්ව අමනාප කර ගැනීම ජුදයාවේ පරිපාලන කටයුතු වලට ඉමහත් බාධාවකි. බොහෝ විට මෙම කරුණ මත තම ආණ්ඩුකාර පදවිය පවා අහිමි වීමට ඉඩ තිබේ.
  • නායක පූජකවරුන්ගේ ප්‍රබල ඉල්ලීම නොසලකා හැරීම තම තනතුර අහිමි වීමට ද හේතු විය හැකිය. මන්ද, මුළු පලස්තීනයේ අවසන් රජු වූ මහ හෙරෝද් රජුගේ මරණින් පසුව ජුදයාවේ පළමු යුවරජු හා තම පියා මෙන් කෘෘර පාලකයෙකු වූ මහ හෙරෝද්ගේ වැඩිමහල් පුත් හෙරෝද් අර්කෙලාවුස්ට රජකම අහිමි වූයේ, ඔහුට එරෙහිව වූ නායක පූජකවරුන් රෝම අධිරාජ්‍යයාට ගතු කේලාම් කීම නිසා ය.  “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජ්‍යයාගේ මිතුරෙක් නොවේ. යමෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජ්‍යයාගේ හතුරෙකි" [ජොහාන් 19 : 12] මෙහිදී නායක පූජකවරුන් පිලාත් ට අනතුරු හැඟවීමක් ද කළෝ ය.
  • පාස්කු මංගල්‍යයට සහභාගි වීමට විවිධ පෙදෙස් වලින් ජෙරුසලමට මහා ජනකායක් එක්රොක් වන බැවින්, සෙලට්වරුන්ට ජේසුස් වහන්සේව නිදහස් කර ගැනීමේ මුවාවෙන් රෝමවරුන්ට එරෙහිව විප්ලවයක් මෙහෙයවීමට ද මෙය අවස්ථාවක් විය හැකිය. එවිට එම අපකීර්තිය පිලාත් හට හිමිවෙනු පමණක් නොව, රෝම අධිරාජ්‍යයාට නිදහසට කරුණු කීමට සිදුවන වරදක් ද වේ.
  • [පිලාත්ගේ බිරිඳ ක්ලෝඩියා]
  • ඒ සියල්ලට ම වඩා පිලාත්ගේ බිරිඳ [වන ක්ලෝඩියා ප්‍රොකියුලා - Claudia Procula] [3] ඔහු විනිශ්චයාසනයේ දී සිටිය දී, ජේසුස් වහන්සේව නිදහස් කර හරින ලෙසින් කළ ඉල්ලීමට පිටු පෑම ද කළ නොහැක්කකි.  “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි" [මතෙව් 27 : 19] යනුවෙන් ඇය කීවා ය. මෙම සිහිනය කුමක් දැ යි සුභාරංචියෙහි නොදැක්වුන ද, පිලාත් රෝම අධිරාජ්‍ය තිබේරියස් සීසර්ට යැවූ හසුනේ එය විස්තර කර ඇත. “මම ගෝල්වරුන් අතරින් බිරිඳක සරණපාවා ගෙන සිටිමි. ඇය මා දෙපා මුල හඬා වැළපෙමින්, ‘ප්‍රවේසම් වන්න! ප්‍රවේසම් වන්න! එම ශුද්ධවත් තැනැත්තාට අත නොතබන්න. ඊයේ රාත්‍රියේ මම දර්ශනයක් දුටුවෙමි. එතුමා දිය මත ඇවිදිමින්, පවනේ තටු මතින් පියඹා යමින් සිටියේ ය. එතුමන් විල මත වූ චණ්ඩ මාරුතයට හා මත්ස්‍යයන්ට කතා කළේ ය. එවිට ඒ සියල්ලෝ එතුමන්ට අවනත වුණෝ ය. බලන්න, කීද්‍රොන් කන්දෙන්  රැධිරය සමග දිය දහරක් ගළා යයි. සීසර්ගේ පිළිරූ තබා තිබූ ශාලාවේ කුළුණු පහවී ගියෝ ය. සොහොන් ගැබක් තුළ සිටින කන්‍යාවක සේ හිරු ශෝකයෙන් වැසී ගියේ ය." [The Passion and the Glory, By Ysatis De Saint Simon, p. 313]  යනුවෙන් ඇය පිලාත්ට ප්‍රකාශ කර සිටියා ය. 

පිලාත්ගේ අවසානය

[පිලාත්ගේ මෘත ශරීරය ගිල්වන ලදැයි සැලකෙන ස්විස්ටර්ලන්තයේ පිලාතුස් කඳු ගැටය අසල පිහිටි පිලාතුස් විල]
එව්සේබියස් [Eusebius] නමැති ඉතිහාසකරුවාගේ අසම්මත වාර්තා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේව මරණයට විනිශ්චය කිරීමෙන් පසුව ගයියුස් කලිගුලා [Gaius Caligula, A.D. 37-41]නමැති රෝමයේ තුන්වන අධිරාජ්‍යයා [4] පිලාත්ව රෝමයට ගෙන්වා රෝමානු යටත් විජිත ජනපදයක් වූ වියාන් [Vienne] වලට පිටුවහල් කරන ලදුව එහිදී සිය දිවි නසා ගෙන ඇත. දස වන සියවසේ සිටි හීරාපොලිස් හි අගපියස් [Agapius of Hierapolis] නමැති ඉතිහාසකරුවාගේ වාර්තා වලට අනුව පිලාත් සිය දිවි නසාගෙන ඇත්තේ කලිගුලාගේ පාලන කාලයේ පළමු වසර (ක්‍රි.ව. 37 හෝ 38) තුළ දී බව ය. [5] එහෙත් පොදු පිළිගැනීම වන්නේ ජේසුස් වහන්සේව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පිලාත්ව රෝමයට ගෙන්වාගෙන ඔහුව දම්වැල් ලා සිරගත කොට දැඩි දඬුවම් නියම කළේ ඔහුව රෝමන් ආණ්ඩුකාර තනතුරට පත් කළ තිබේරියස් සීසර් බව ය.

වතිකාන පුසතකාලයේ තැන්පත් කර ඇති ඉපැරණි අත් පිටපතක සඳහන් වන ආකාරයට, තිබේරියස් සීසර් රෝමන් අධිරාජ්‍යයාට සුව නොවන දැඩි පීඩා කාරී රෝගයක් වැළඳ තිබී ඇත. තම යටත් විජිතයක් වූ ජුදයාවේ ජේසුස් නමින් වචනයෙන් ස්පර්ශයෙන් සුවය ලබා දෙන අරුම පුදුම වෛද්‍යවරයෙකු සිටින බව ඔහුට දැන ගැනීමට ලැබුණි. (එවකට ඇතැම් අය ජේසුස් වහන්සේ දුටුවේ දිව්‍යමය වෛද්‍යවරයෙකු ලෙසිනි.) පිලාත් ඔවුන් වහන්සේව මරණයට පත් කිරීමට ක්‍රියා කළ බව නොදත් තිබේරියස්, ඔහුගේ සමීප උපස්ථායකයෙකු වූ වොලුසියානුස් [Volusianus] ව පිලාත් වෙත පිටත් කර යවමින්, ‘‘යන්න, මාගේ මිත්‍ර සේවක පිලාත් වෙත ගොස් මා හට සම්පූර්ණ සුවය ලබාගැනීමට එම වෛද්‍යවරයාව වහාම මා වෙත එවන මෙන් නියම කරන්නැ"යි කීවේ ය.  වොලිසියානුස් ද පිලාත් හමුවී ‘‘ඔබගේ ස්වාමියාණන් වන තිබේරියස් සීසර් ඔහුගේ රෝගය සුව කර ගැනීම සඳහා වචනයෙන් හා ස්පර්ශයෙන් රෝග සුවකරන එම වෛද්‍යවරයාව වහාම එවන මෙන් ඔබට නියම කර සිටියි", යි දැන්වීය. මේ බව ඇසූ පිලාත් මහත් සේ බිය වී කම්පනයට පත් වූයේ, තමන් ඔවුන් වහන්සේව මේ වන විට මරා දමන්නට යෙදී සිටි නිසා ය. ‘‘මේ මනුෂ්‍යයා අපරාධකාරයෙකි; තමන් වෙතට මිනිසුන්ව ආකර්ශනය කර ගත් අයෙකි. එබැවින් මෙහි සිටින පඬිවරුන්ගේ මන්ත්‍රණ සභාව උපදෙස් මත මම ඔහුව කුරුසපත් කළෙමි," යි පිලාත් රාජ නියෝජිතයාට ප්‍රකාශ කළේ ය. වොලිසියානුස් පරාජිත සිතින් ආපසු රෝමය බලා යාමට තම නාවාතැන් පළෙහි රැඳී සිටින කල, කල්වාරි ගමනේ දී ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ රෙදි කඩකින් පිස දැමූ වෙරෝනිකාව අහඹු ලෙස හමු විය.[6] ‘‘ස්ත්‍රිය, තම වචනයෙන් බොහෝ රෝග සුව කරන වෛද්‍යවරයෙකු මෙහි සිට ඇත; ජුදෙව්වන් ඔහුව මරා දමන්නට හේතුව කුමක්ද?"යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ‘‘අනේ මා ස්වාමිනී, එතුමා මාගේ දෙවියන් ය; මාගේ ස්වාමියාණන් ය. පිලාත් ඊර්ෂ්‍යාවෙන් පාවා දුන් එතුමන්ව ප්‍රතික්ෂේප කොට, කුරුසපත් කිරීමට නියම කළේ ය,"යි ඇය පිළිවදන් දුන්නා ය. මෙය ඇසූ වොලිසියානුස් මහත් ශෝකයෙන් ඇළලී, ‘මාගේ ස්වාමියා මට බාර දුන් දේ සපුරා ගැනීමට නොහැකි වීම මම බොහෝ සේ කණගාටු වෙමි,"යි කීවේ ය. එකල වෙරෝනිකා තමා සතුව තිබූ ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ සනිටුහන් වී තිබූ රෙදි කඩ වොලිසියානුස්ට පෙන්වමින්, ‘‘ඔබගේ ස්වාමියා භක්ත්‍යාදරයෙන් මෙම රූ සටහන දෙස බලන්නේ නම්, වහාම ඔහුට සුවය අත්වනු ඇතැ"යි කීවා ය. එවිට ඔහු එම රෙදිකඩ රන් හෝ රිදී හෝ මිළට ලබා දෙන මෙන් ඉල්ලීය. එහෙත් ඊට අකමැති වූ වෙරෝනිකා, වොලිසියානුස් සමග රෝමයට ගොස් අධිරාජ්‍යයාට සුවය ලබා දී ආපසු ඒමට එකඟ වූවා ය. වොලිසියානුස් සමග රෝමයට ගොස් තිබේරියස් සීසර්ව හමු වූ වෙරෝනිකා ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණේ රූපය රැගත් රෙදි කඩ පෙන්වූවා ය. එකල අධිරාජ්‍යයා එම රෙදි කඩ සිල්ක් සළුවක් මත එළා තමන් වෙත එය ප්‍රදර්ශනය කිරීමට නියම කළේ ය. එය දෙස බැලීමෙන් තිබේරියස් නැවත සුවපත් වූයේ ය. පසුව වෙරෝනිකා ජේසුස් වහන්සේව කුරුසපත් කිරීමේ දුක්මුසු පුවත ඔහු ඉදිරියෙහි ප්‍රකාශ කළෙන්, පිලාත්ව වහාම රෝමයට ගෙන්වා මහත් ද්වේෂයකින් ඔහුට චෝදනා කළේ ය. පිලාත් එහිදී මූට්ටුවක් නැතිව වියා තිබූ දාදු දැමූ ජේසුස් වහන්සේගේ සළුව [ජොහාන් 19:23, 24] අධිරාජ්‍යයාට පෙන්වීය. දැඩි කෝපයට පත් අධිරාජ්‍යයා තම උපදේශක සෙනට් සභාව සමග සාකච්ඡා කර නිසි පියවරක් ගන්නා තුරු පිලාත්ව සිරගත කිරීමට නියම කළේ ය. ස්වල්ප දිනකට පසුව පැවැත්වූ නඩු විභාගයේ දී පිලාත් වරදකරු බව ප්‍රකාශ වූයෙන් ඉතා කෘෘර මරණයකට ඔහුව නියම විය. මේ බව දැනගත් පිලාත් (රෝමවරුන් දෙන කෘෘර වධ හිංසා වල තරම හොඳින් දැන සිටි බැවින්) තමන් සඟවා ගෙන සිටි සිරියෙන් (කුඩා කඩුව) ඇණගෙන සිය දිවි නසා ගත්තේ ය. ඔහුගේ මරණය ගැන ඇසූ තිබේරියස්, ‘‘සැබවින්ම ඔහු නින්දිත මරණයක් ලැබුවේ ය; ඔහුගේම දෙඅත් ඔහුව නොවලකා තිබේ," යි කීවේ ය. ඉන්පසුව ඔහුගේ මෘත ශරීරය රැගෙන මහ කළු ගලක ඔතා ටයිබර් [Tiber] නදියට දැමූ නමුත්, එහි ඇතිවූ තදබල ජල කැළඹීම නිසාවෙන් සිරුර නැවත ගොඩගෙන රොන් [Rhone] ගඟේ ගිල්වා දමා ඇත. එහිදී ඔහුගේ ශාප ලත් අවිවේකී භූතාත්මය ජලය දැඩි ලෙස කැළඹූ හෙයින් එතැනින් ද ගොඩගෙන ලොසානියා නමැති ප්‍රාන්තයේ මිහිදන් කිරීමට ගෙන යත් දී මහත් පීඩා ඇති වූයෙන් ඔවුන් බිය වී එම සිරුර ස්විස්ටර්ලන්තයේ ජන ශුන්‍ය පිලාතුස් කඳුගැටය අසල පිහිටි ඔබරැල්ප් නමැති කුඩා විලක පතුලේ දමා ඇත. එතැන් පටන් එම විල පිලාතුස් විල යන නමින් හඳුන්වයි. 

පිලාත්ගේ අවිවේකී ආත්මය පිළිබඳ මතය
මෙම විල මත බොහෝ විට චණ්ඩ මාරුත ඇති වන බව කියවේ. එනිසා එහි අවට පෙදෙස් වල ජීවත් වන මිනිසුන් අතර ජනප්‍රවාදයක් පැතිරී පවතී. එනම්, සෑම වසරකම මහ සිකුරාදා දින පිලාත්ගේ අවිවේකී ආත්මය නැගිට විල මැද හිඳ පැසුණු කෙස් විදහා ගෙන (විනිශ්චයාසනයේ සිටිය දී රෝමන් ආණ්ඩුකාරයෙකු අඳින) දම් පැහැති උතුරු සළුව හැඳ තම දෑත් සෝදන බව ය. ක්‍රිස්තු වර්ෂ 1585 දී එක් පූජාප්‍රසාදීවරයෙක් තවත් පිරිසක් සමග මෙම පිලාතුස් කඳුවැටියේ පිහිටි කුඩා විල වෙත ගොස් එයට ගල් විසි කරමින් එයට බැස එහි ජලය කළඹමින් පිලාත්ගේ අවිවේකී ආත්මය කැඳවීමට උත්සහ කළේ ය. එහෙත් එහිදී කිසිඳු ඵලයක් සිදු නොවීය. භූතාත්මයක් දක්නට නොවීය. පසුව ක්‍රිස්තු වර්ෂ 1594 දී තවත් පිරිසක් එම විලේ ජලය බැස යාමට කපොල්ලක් කැපූහ. එහෙත් ඉන් කිසිඳු බලපෑමක් නොවූ බැවින් ක්‍රිස්තු වර්ෂ 1980 දී එම කපොල්ල වසා දැමීමට යෙදුණි. විදේශික සංචාරකයන් තවමත් මෙම ස්ථානය නැරඹීමට යන නමුත් එම පෙදෙස ජන ශුන්‍යව පවතී. 

පිලාත් පිළිබඳ පොදු මතය වන්නේ ඔහු ආත්මාර්ථකාමී, ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති, දුර්වල හෘදය සාක්ෂියක් හිමි අයෙකු බව ය. රෝම පාලකයා වශයෙන් ජේසුස් වහන්සේව නිදොස් කොට නිදහස් කිරීමේ සම්පූර්ණ හැකියාව හා බලය ඔහු සතුව තිබිය දීත් ඔහු දුබලයෙකු ලෙසින් ක්‍රියා කළේ ය. ඔහු දුන් වැරදි තීන්දුව නිසා ඔහු මහත් සේ කම්පනයෙන් හා සිත් තැවුලෙන් ඉදිරි කාලය සිටින්නට ඇත. කෙසේ වුව ද කිතුනුවන් වැඩි දෙනා පිලාත්ව දුෂ්ඨයෙකු ලෙසින් දුටුවත් ඇතැම් කිතුනු සභා ඔහුව සාන්තුවර ස්වභාවයෙන් සලකා ඇත. ඊට හේතු වන්නේ ඔහු ජේසුස් වහන්සේව මරණයට තීන්දු කිරීමෙන් ලොවට ගැළවීම ලබා ගැනීමට සහය වූ නිසා යැයි සිතති. ඉතියෝපීය ඔර්තොඩොක්ස් තෙවහෙඩෝ සභාව [Ethiopian Orthodox Tewahendo Church] ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී පිලාත්ව සාන්තුවරයෙකු ලෙසින් සලකා ඇත. එසේම අසම්මත ක්‍රියා පොතක් ලෙසින් සලකන පිලාත්ගේ ක්‍රියා පොතේ [Acts of Pilate] සඳහන් ඔහු පිළිබඳ ඇතැම් වාර්තා ද ඊට පාදක වී ඇත.

---------------------------- ෴ වැඩිදුර සටහන් ෴ -------------------------
[1]  "Britannica Online: Pontius Pilate". Britannica.com. Retrieved 21 March 2012. Jona Lendering. "Judaea". Livius.org. Retrieved 21 March 2012.
[2] Marcello De Antoniis. "Cenni Storici" (in (Italian)). Bisenti.eu. Retrieved 21 March 2012.
[3] ඔර්තොඩොක්ස් කතෝලික සභාව ක්ලෝඩියාව සාන්තුවරියක් ලෙසින් සලකන්නී ය. ඇය ජේසුස් වහන්සේව අදහා ගෙන මරණිය මුදන්නට පිලාත් ඉදිරියෙහි ප්‍රබල ලෙස මැදහත්වීම ඊට හේතුව ය.
 [4]"Caligula" (Latin: Gaius Julius Caesar Augustus Germanicus;) was the popular nickname of Gaius (31 August 12 AD – 22 January 41 AD), Roman emperor from 37 AD to 41 AD. Caligula was a member of the house of rulers conventionally known as the Julio-Claudian dynasty. Caligula's father Germanicus, the nephew and adopted son of Emperor Tiberius, was a very successful general and one of Rome's most beloved public figures. The young Gaius earned the nickname Caligula (meaning "little soldier's boot", the diminutive form of caliga, hob-nailed military boot) from his father's soldiers while accompanying him during his campaigns in Germania.
[5] Agapius, Universal History trans. A. Vasiliev, 1909.   
[6] මතෙව් 9:20-22 හා ලූක් 8:43-48 හි සඳහන් වන, ජේසුස් වහන්සේ ශ්‍රී සළුව ඇදහිල්ලෙන් ස්පර්ශ කොට සුවය ලැබූ මහ ලේ රෝගී කාන්තාව මෙම වෙරෝනිකා බව එව්සේබියස්ගේ ශාසනික වාර්තා [Eusebius: Ecclesiastical History,1.7, c. 18] වල දැක්වේ. මේ බව අසම්මත සුභාරංචි ග්‍රන්ථයක් වූ නිකදේමුස්ගේ සුභාරංචි පොතේ ද [Nicodemus 5:26] සඳහන් වේ.

2011 නව වසර - ජනවාරිය

හැඳින්වීම 
නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝ වැසි සියලු දෙනා තුළ නව අපේක්ෂාවන්, අධිෂ්ඨානයන්, ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ජනවාරි පළමුවන දිනය උදාව ලෝ වැසි සියල්ලෝ උත්සවාකාරයෙන් සමරති. ඇතමුන් මෙදින "ජනේරුව" යන නමින් හඳුන්වති. සිංහලයේ සමහර අය ජනවාරියට "බෝතල් මාසය" යන නම හාස්‍යයට භාවිත කරති. මන්ද, දෙසැම්බර් මාසය පුරා විවිධ මධුපානෝත්සව පවත්වා හා ලෞකික අවශ්‍යතා සඳහා අධික ලෙස මුදල් නාස්ති කර, අවසානයේ ජනවාරි මාසය ගෙවා ගැනීමට නොහැකිව මත්පැන් බෝතල් විකිණීමට සිදු වීම නිසා විය යුතුය. පින්ලන්ත භාෂාවෙන් ජනවාරිය සඳහා "ඔර්ක් මාසය" යන අරුතැති "ටැමික්කු" [tammikuu] යන වචනය යෙදේ. [එහෙත් එහි නියම අරුත "ශිශිරයේ මධ්‍යභාගය" යන්න ය.] වෙක් රාජ්‍යයේ ජනවාරිය "අයිස් මාසය" යන අරුතැතිව "ලේඩන්" [leden] යන නමින් හඳුන්වයි. කොරේෂියන් භාෂාවෙන් "කැපීම" යන අර්ථය ඇතිව "සිජේකාන්ජ්" [siječanj] යන වදන යෙදේ. කෙසේ වුවද, ජනවාරිය බොහෝ ජාතීන්ට විශේෂ වූ මාසයකි. එසේම ලෝකයේ සෑම රටක්ම වාගේ ජනවාරි පළමු වෙනිදා මහත් ජයශ්‍රීයෙන් හා ප්‍රීති උත්සවයෙන් සමරති. එසේම, ලෝක ඉතිහාසය තුළ ද විවිධ සිදුවීම් ගණනාවක් ජනවාරි පළමුවෙනිදා ඉතිහාස පොතට එක් කර ඇත.[1]


සංක්ෂිප්ත ඉතිහාසය 
නව අවුරුදු උදාව හා ඒ සමග බැඳුණු උත්සව වල ඉපැරණි ඉතිහාසයක් ඇත. නව වසරක උදාව ප්‍රීති උත්සවකාරයෙන් පැවැත්වීම පිළිබඳ ඉපැරණි වාර්තා අපට හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ බැබිලෝනියන් ශිෂ්ඨාචාරයෙනි. ඔවුන් නව අවුරුදු උදාව වසන්ත ඍතුවේ පළමු දින ලෙස සැලකෙන මාර්තු 21 වෙනිදා මහා විෂුවයට [දහවල හා රාත්‍රිය එක සමානව පවතින දිනය - Vernal Equinox] පසුව එන පළමු නව සඳ උදාවත් සමග දින 11 ක් පුරා පවත්වා ඇත. මුල් ම රෝමානුවන් නව අවුරුදු උදාව මාර්තු මාසයේ දී සමරා ඇත. ක්‍රිස්තු වර්ෂ 153 දී රෝමානු සෙනෙට් සභාව ජනවාරි 1 වෙනිදා නව අවුරුද්දක් ආරම්භ වන දිනය ලෙස නම් කළ ද රෝමානු කොන්සල්වර ගයියුස් ජූලියස් සීසර් [ක්‍රි.පූ. 100 ජූලි 13 – 44 මාර්තු 15 March] ක්‍රිස්තු වර්ෂ 46 දී එය සම්මත භාවිතයට ගන්නා තුරු ප්‍රසිද්ධියට පත් නොවීය. 
World Book Encyclopedia  නමැති විශ්ව කෝෂයේ මෙය දක්වා ඇත්තේ මෙසේ ය. 
"The Roman ruler Julius Caesar established January 1 as New Year's Day in 46 BC The Romans dedicated this day to Janus, the god of gates, doors, and beginnings. The month of January was named after Janus, who had two faces - one looking forward and the other looking backward." [2]
‍‍මෙම වාර්තා කොටස අනුව පෙනී යන්නේ ජනවාරි මාසය හා එහි පළමු දිනය ඇරඹෙන්නේ මිථ්‍යා දේව විශ්වාසයක් පදනම් කර ගෙන බවය. පුරාණ රෝමයේ පළමුව භාවිත වී ඇත්තේ "රෝමානු කැලැන්ඩරය" යි. එය ක්‍රිස්තු වර්ෂ 713 දී පමණ රෝමය ගොඩ නැගුවේ යැයි සැලකෙන රොමියුලස් [Romulus] හා "නියුමා පොම්පිලීයස්" රජු [King Numa Pompilius] විසින් සකස් කර ඇතැයි රෝම ඉතිහාස රචකයන්ගේ පිළිගැනීමය. රොමියුලස්ගේ කැලැන්ඩරයට දින 304 ක මාස දහයක් ඇතුළත්ව තිබූ බව පෙනේ. එය පහතාකර වෙති.  

ක්‍රිස්තු පූර්ව 60 දී භාවිත වූ රෝමානු කැලැන්ඩරය
Calendar of Romulus
Martius       (31 days)
Aprilis          (30 days)
Maius          (31 days)
Iunius          (30 days)
Quintilis      (31 days)
Sextilis        (30 days)
September (30 days)
October      (31 days)
November  (30 days)
December  (30 days)
ග්‍රීසියේ චන්ද්‍ර මාස කැලැන්ඩරය ආශ්‍රයෙන් චන්ද්‍රයාගේ භ්‍රමණය [ලූනර් කැලැන්ඩරය - lunar calendar] පදනම් කොටගෙන සැකසුණ මෙම රෝමානු කැලැන්ඩරයේ පළමු මාසය වූයේ මාර්තු ය. පොම්පීලියස්ගේ කැලැන්ඩරයේ දින 355 ක චන්ද්‍ර මාස 12 ක් ඇතුළත්ව තිබූ අතර, ජනවාරි [Januarius] හා පෙබරවාරි [Februarius] මාස දෙක ද දක්නට ලැබුණි. එය පහතාකර ‍විය.
Calendar of Numa
Civil calendar                                       Religious Calender
මැක්‍රෝබියස්
(Macrobius) හා

ප්ලූටාර්ක් (Plutarch)
අනුව 
        ඕවිඩ් (Ovid)                  ෆ්ලවර් ට (Flower) අනුව
        ක්‍රි.පූ. දෙසැම්බර්
        450 (Decemviri) 

        තෙක්


Januarius   (29)
      Januarius                   Martius
Februarius (28)       Martius                     Aprilis    
Martius     (31)       Aprilis                       Maius
Aprilis       (29)       Maius                       Junius
Maius        (31)       Iunius                       Quintilis
Iunius        (29)       Quintilis                    Sextilis
Quintilis     (31)       Sextilis                     September
Sextilis       (29)       September               October
September (29)       October                   November
October    (31)       November               December
November (29)       December               Januarius
Decemviri  (29)       Februarius               Februarius

ඊජිප්තුව ජය ගත් ජූලියස් සීසර් රෝමයට පිවිසීමෙන් පසුව "ජානුස්" [Janus / Januarius] යන නමින් හඳුන්වන ඉදිරිපසට හා පිටු පසට දෙමුහුණක් ඇති රෝමානු දේවතාවාට විශේෂ ස්ථානයක් දුන්නේ ය.[3] ජූලියස් සීසර් ස්වකීය මරණයට පෙර රෝමානු කැලැන්ඩරය සංශෝධනය කිරීමට ක්‍රියා කිරීමේ දී තම "ජූලියස්" නමින් මාසයක් නම් කළ අතර, "ජානුස්" දේවතාවාට ගරු කිරීමක් වශයෙන් රෝමානු කැලැන්ඩරයේ 11 වන ස්ථානයේ තිබූ "ජනේරියස්" හෙවත් "ජනවාරි" මාසය වසරේ පළමු මාසය වශයෙන් නම් කළේ ය. ඒ අනුව "ජූලියස් කැලැන්ඩරය" නම් වූ එහි පහතාකාරයෙන් මාස සකස් විය.

මාසය
 ලතින්
මූලාරම්භය
January
 Januarius
 ජානුස් (Janus) දේවතාවා රෝමානු ජාතික දෙවියෙකු ලෙස පිළිගැනීමෙන් පසු
February
 Februarius
 ෆෙබෘආ (Februa) නමැති ශුද්ධවත්බවේ මංගල්‍යයෙන් පසු
March
 Martius
 මාර්ස් (Mars) නමැති දේවතාවා රෝමානු දෙවියෙකු ලෙස පිළිගත් පසු.
April
 Aprilis
 ඒප්‍රෝඩයිට් (Aphrodite) රෝමානු ජාතික දේවතාවියක ලෙස පිළිගත් පසු
May
 Maius
මේයියා (Maia) නම් දේවතාවියගේ නාමය යෙදේ
June
 Junius      
ජූනෝ (Juno) නම් වූ දේවතාවියට ගරු කිරීමක් ලෙස  යෙදීය.
July
 Julius
"පහ" යන අරුතැති "Quintilis" නම්වූ මාසයට ක්‍රි.පූ. 44 දී ජූලියස් සීසර් තම නම දුණි.
August
 Augustus
"හය" යන අරුතැති "Sextilis" නම් වූ මාසයට ක්‍රි.පූ. 8 දී ඔගස්ටස් සීසර් තම නම දුණි.
September
 September
"හත" යන අරුතැති "Septem" පැරණි රෝම ලිතේ 7 වන මාසය යි.
October
 October
"අට" යන අරුතැති "Octo" පැරණි රෝම ලිතේ 8 වන මාසය යි.
November
 November
"නවය" යන අරුතැති "Novem" පැරණි රෝම ලිතේ 9 වන මාසය යි.
December
 December
"දහය" යන අරුතැති "Decem" පැරණි රෝම ලිතේ 10 වන මාසය යි.
13 වන ග්‍රෙගරි පාප්තුමා
පසුකාලීනව 13 වන ග්‍රෙගරි පාප්තුමා [Pope Gregory XIII 1502 - 1585] සකස් කළ කැලැන්ඩරයේ ද ජනවාරි මාසය වසරේ මුල් ම මාසය වශයෙන් පිළිගෙන ඇතුළත් කර තිබේ. නූතනයේ එය බොහෝ දෙනා "අපරදිග කැලැන්ඩරය", "කතෝලික කැලැන්ඩරය" යනා දී නම් වලින් හඳුන්වති. අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති නූතනයේ අප භාවිත කරන ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරය එය යි. ක්‍රිස්තු වර්ෂ 1582 පෙබරවාරි 24 දින එම පාප්තුමා නිකුත් කළ "ඉන්ටර් ග්‍රැවිසිමස්" [ Inter gravissimas] නමැති ශුද්ධාසන හසුන් පතින් එය කිතුනු ලෝකය තුළ භාවිතයට ගැණුනි. 


"ජානුස්" දෙවියන් පිළිබඳ මිථ්‍යා සංකල්පය
Forum Romanum
"ජානුස්" දේවතා පිදීම පැරණි රෝමය නුවරක් වශයෙන් ගොඩනැගීමේ පටන් රෝමානුවන් අතර පැවති ඉපැරණි මිථ්‍යා ඇදහිල්ලක් විය. බොහෝ රෝමානු දේවතා ඇදහිළි වලට ග්‍රීක සම්භවයක් තිබුණ ද "ජානුස්" ඊට අයත් නොවේ. එම දේවතාවාගේ විශේෂත්වය නම්, හිසේ ඉදිරිපස හා පිටුපස යන දෙකොටසෙහි ම මුහුණ බැගින් තිබීම ය. එබැවින් "ඇතුළුවීම" හා "පිටවීම" ද, "ආරම්භය" හා "අවසානය" ද දැකිය හැකි යැයි විශ්වාසයක් පැරණි රෝමානුවන් තුළ විය. මෙයට පැරණි රෝම-ලතින් භාෂාවෙන් "Lanus" හා "Geminus" යන වචන භාවිත කෙරේ. "ජානුස්" දෙවොලේ ඉදි කර තිබූ එකිනෙකට මුහුණ ලා පිහිටි ද්වාර මණ්ඩපයේ (දොරටු) [Forum Romanum] එක් දොරටුවක් සූර්ය උදාවට ද, අනෙක සූර්ය අවරයට (හිරු බැසීමට) ද මුහුණ ලා පිහිටා තිබේ. මෙම දොරටු වසා තිබීම යන්න, රෝම රාජ්‍යය තුළ "සාමය" පවතින බවට සලකුණ විය. එහි දොරටු විවර කර තිබීම යන්න, රෝමය "යුද්ධයට" මුහුණ පා තිබෙන බවට සලකුණ විය. ඉතිහාසඥයන්ගේ වාර්තාවන්ට අනුව නියුමා හා ඔගස්ටස් සීසර් යන දෙපළගේ රාජ්‍ය පාලන කාලය අතරතුර මෙම ද්විත්ව දොරටු වසා තිබී ඇත්තේ එක් වරක් පමණි. 
"ජානුස්" දේව හිස රැගත් කාසියක්
"ජානුස්" දෙවියාගේ රූපය රැගත් ‍ඉපැරණි රෝම කාසි හා ඉබි යතුරු ද තිබේ. එහි සඳහන් ඉදිරිපස මුහුණ නව යොවුන් වියේ සිටින්නෙකුගේ පෙනුම ද, පිටුපස මුහුණ රැවුලක් ඇති මහළු පෙනුමක් ද දක්වයි. පසුකාලීන කාසි වල මුහුණු දෙකම රැවුල සහිතව, දකුණතේ යතුරක් ඇතිව දක්වා ඇත. රෝම-ලතින් රාජ්‍යයේ සමෘද්ධියට හා රාජ්‍ය පාලනයට "ජානුස්" දෙවියාගේ ආශිර්වාදයේ අවශ්‍යතාවය රජවරුන් උදක්  ම අපේක්ෂා කළ බව පෙනේ.[5]

"ජානුස්" ඉබි යතුර
        
ජනවාරි මාසයේ කිතුනු වැදගත්කම 
කිතුනු ආගමික මංගල්‍ය කිහිපයක් සැමරීමට ලක් වන නිසා ජනවාරි මාසය කිතුනු අපට වැදගත්කමක් උසුළයි. එනම්,
  • පරිශුද්ධ දේවමාතා මංගල්‍යය (ජේසුස් වහන්සේගේ මෑණියන් වහන්සේ ස්වකීය දරු ප්‍රසූතියෙන් පසුව ද ශුද්ධවන්ත තැනැත්තියක් වශයෙන් දෙවිඳුන් ඉදිරියෙහි පිළිගැනීමට පාත්‍රවීම ය.) මෙය ජනවාරි පළමුවන දින පවත්වන (අනිවාර්යෙන් ජනවන්දනාවට සහභාගිවිය යුතු) කිතුනු ණය මංගල්‍යයක් වේ.
  • ජනවාරි 2 - 6 අතර කාලය තුළ ඉරු දිනක දී ශාස්ත්‍රවන්තයන් (රජවරුන්) බිළිඳු ජේසු සමිඳුන්ට ප්‍රත්‍යක්ෂවීමේ (බැහැදැකීමේ) මංගල්‍යය පැවැත්වීම සිදුවේ. මෙය ද ණය මංගල්‍යයක් ලෙසින් සැලකේ.
  • යථෝක්ත මංගල්‍යයට පසු ඉරු දින ජේසුස් ස්වාමින් වහන්සේ‍ගේ බව්තීස්ම ස්නාපන මංගල්‍යය සමරන අතර, එයින් "නත්තල් සමය" නමැති ජනවන්දනා කාල පරිච්ඡේදය අවසන් වී "සාමාන්‍ය සමය" නමැති ජනවන්දනා කාල පරිච්ඡේදය ආරම්භ වේ.
  • එසේම, ශ්‍රී ලාංකේය කිතුනු අපට වැදගත් වන, ශ්‍රී ලංකාවේ නාම සාන්තුවරයා ලෙසින් සැලකෙන භාග්‍යවන්ත ජෝසප් වාස් පියතුමාණන්ගේ මංගල්‍යය ද යෙදී තිබෙන්නේ ජනවාරි 16 වෙනිදා ට ය. 
මෙවැනි හේතු කිහිපයක් නිසා ජනවාරි මාසය කිතුනුවාට සුවිශේෂී වෙයි. සාමාන්‍යයෙන් කිතුනුවන් ජනවාරි මස නව වසරේ උදාව දේවස්ථාන වල මධ්‍ය රාත්‍රී දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවට හා දිව්‍ය පූජාවට සහභාගිවීම තුළ සමරති. ඉන් අනතුරුව එකිනෙකාට සුභ ප්‍රාර්ථනය කරති. ඕලන්දය වැනි ඇතැම් යුරෝපා රටවල කිතුනුවන් ඉපැරණි චාරිත්‍රයකට අනුව මෙදින තෑගි බෝග යනාදිය හුවමාරු කර ගනිති. නෑ හිතවතුන් බැහදැකීමට යති. නිවසට පැමිණෙන අමුත්තන්ව හා නෑදෑයන්ව මහත් හරසරින් පිළිගෙන සංග්‍රහ කරති.   

එහෙත් ජනවාරි මස පළමු වෙනිදා උදාව බොහෝ දෙනා සමරන්නේ මධුපානෝත්සව, මහා හෝටල් වල නර්තන ප්‍රීති උත්සව හා සංගීත සැදෑවන් තුළ ය. ඇතැමුන් මෙය දුරාචාරයට ද මහඟු අවස්ථාවක් කර ගනිති. එය සැබවින්ම ඉතා කණගාටුවට කරුණකි. එහෙත් විය යුත්තේ ආගමානුකූල ක්‍රියාවකින් නව ජවයක් හා ජීවයක් ලබා පසුගිය වසරේ වූ ජීවිත දුබලතා නිවැරදි කරගෙන නව ජීවිතයක් ආරම්භ කිරීමට අධිෂ්ඨානයකින් යොමු වීම ය. 
ලැබුවා වූ 2011 නව වසර තුළ ඔබට එවැනි නව ජීවනයක් කරා යොමු වීමට අවශ්‍ය දේව බලය, ශක්තිය හා ‍මග පෙන්වීම ලැබී, ශුද්ධාත්ම ගමනක යෙදීමට අවැසි දේව වරම් ලැබේවා යි නිරතුරුවම ප්‍රාර්ථනය කරමි.  එසේම, නිරෝගී සුව සම්පත හිමි වූ පැතුම් ප්‍රාර්ථනා හා අපේක්ෂා සියල්ල ඉටු වුණු සෞභාග්‍යමත් නව වසරක් වේවා යි පතමි.  



Free Glitter Graphics



෴  වැඩිදුර සටහන් ෴

[1] January 1
New Year's Day - The most celebrated holiday around the world.
January 1, 1502 - Portuguese explorers landed at Guanabara Bay on the coast of South America and named it Rio de Janeiro (River of January). Rio de Janeiro is currently Brazil's second largest city.
January 1, 1660 - Samuel Pepys began his famous diary in which he chronicled life in London including the Great Plague of 1664-65 and the Great Fire of 1666.
January 1, 1776 - During the American Revolution, George Washington unveiled the Grand Union Flag, the first national flag in America.
January 1, 1801 - Ireland was added to Great Britain by an Act of Union thus creating the United Kingdom of Great Britain and Ireland.
January 1, 1863 - The Emancipation Proclamation by President Abraham Lincoln freed the slaves in the states rebelling against the Union.
January 1, 1877 - Queen Victoria was proclaimed Empress of India.
January 1, 1892 - Ellis Island in New York Harbor opened. Over 20 million new arrivals to America were processed until its closing in 1954.
January 1, 1901 - The Commonwealth of Australia was founded as six former British colonies became six states with Edmund Barton as the first prime minister.
January 1, 1915 - During World War I, the British Battleship Formidable was hit by a torpedo in the English Channel, killing 547 crewmen.
January 1, 1942 - Twenty six countries signed the Declaration of the United Nations, in Washington, D.C., reaffirming their opposition to the Axis powers and confirming that no single nation would make a separate peace.
January 1, 1958 - The EEC (European Economic Community) known as the Common Market was formed by Belgium, France, West Germany, Italy, Luxembourg and The Netherlands in order to remove trade barriers and coordinate trade policies.
January 1, 1959 - Fidel Castro seized power in Cuba after leading a revolution that drove out Dictator Fulgencio Batista. Castro then established a Communist dictatorship.
January 1, 1973 - Britain, Ireland and Denmark became members of the Common Market (EEC).
January 1, 1975 - During the Watergate scandal, former top aides to President Nixon including former Attorney General John Mitchell, Domestic Affairs Advisor John Ehrlichman and Chief of Staff H.R. Haldeman, were found guilty of obstruction of justice.
January 1, 1979 - China and the U.S. established diplomatic relations, 30 years after the foundation of the People's Republic.
January 1, 1993 - Czechoslovakia broke into separate Czech and Slovak republics.
January 1, 1999 - Eleven European nations began using a new single European currency, the Euro, for electronic financial and business transactions. Participating countries included; Austria, Belgium, Finland, France, Germany, Ireland, Italy, Luxembourg, Netherlands, Portugal and Spain.
Birthday - American Patriot Paul Revere (1735-1818) was born in Boston, Massachusetts. Best known for his ride on the night of April 18, 1775, warning Americans of British plans to raid Lexington and Concord.
Birthday - Betsy Ross (1752-1836) was born in Philadelphia, Pennsylvania. She was a seamstress credited with helping to originate and sew the Stars and Stripes flag of America in 1776.
[2] 1984, volume 14, page 252
[3] "ජානුස්" යන්නෙහි අර්ථය "දොරටුව" යන්න ය. මෙම දේවතාවාට හිමි මුහුණු දෙක නිසා අතීතය හා අනාගතය දෙස බැලීමේ හැකියාව හිමි බව පැවසේ. එනිසා සියලු දෙයෙහි අවසානය හා ආරම්භය එම දෙවියන් ලෙස සැලකේ. 
[4]Calendar Name Origins - Names of Months

January      - ME Januari(us), OE Januarius, translation of Latin Januarius, named after JANUS, 
                    god of beginnings.
February
     - ME OE Februarius from Latin Februarius, named for Februa, the feast of 
                    purification.
March         - ME March(e), from Latin Martius, (month of) Mars.
April           - ME Averil, OF Avril, Latin Aprilis mensis (month). The name may derive from the 

                    Greek goddess of love, Aphrodite.
May            - ME OE Maius, Latin Maius mensis (month), from the Greek Maia, goddess of spring 

                    (growth).
June           - ME Jun(e), OE Iunius, from Latin mensis Junius, named after the goddess Juno, 

                    Queen of the gods.
July            - ME Julie, OE Julius, from Latin Julius (Caesar) after whom it was named in 44 BC. 

                    The original name was quintilis, fifth month in the early Roman calendar.
August       - ME OE Agustus from Latin Augustus (Caesar) 8 BC. The original name was sextilis, 
                    sixth month in the early Roman calendar.
September
- ME Septembre from Latin September, seventh month in the early Roman calendar
October     - ME OE from Latin October, eighth month in the early Roman calendar
November  - ME OE from Latin November, ninth month of the early Roman calendar, from 

                   novem NINE
December  - ME Decembre from OF and Latin December, tenth month of the early Roman 

                   calendar (decem TEN + membri from mens MONTH + ri suffix).

ME   =  Middle English
OE   =  Old English
OF   =  Old French
OHG =  Old High German

[5] රෝමයේ කතෝලික සභා පීඩන (ප්‍රාණ පරිත්‍යාගී) සමයේ "ජනේරියස්" හෙවත් "ජානුස්" නමින් ප්‍රාණ පරිත්‍යාගීවරයෙකු ද සිට ඇත. එතුමාව සාන්ත ජනේරියස් යන නමින් හඳුන්වයි.

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith