Recent Posts

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයේ ඓතිහාසික වගතුග

හැඳින්වීම
අපෝස්තුළුවරුන්ගේ කාලයේ දී "රොටි කැඩීමේ මෙහෙය" තුළින් ඇරඹී ලතින් රෝමානු පිළිවෙත අනුව හැඩගැසුණු කතෝලික ජනවන්දනාව  උමං සොහොන් හා බිම් ගෙවල් ආශ්‍රිතව නොකඩවා පැවැත්වුණි. විවිධ ශුද්ධෝත්තම පියවරුන්ගේ ද, සභා පියවරුන්ගේ හා දේවධර්මවාදීන්ගේ ඉගැන්වීම්, සම්ප්‍රදායයන් හා සංස්කරණයන්ට අනුකූලව එය ක්‍රමයෙන් සැකසුණි. දිව්‍ය පූජා පිළිවෙත කතෝලික බැතිමතුන්ගේ ජීවිත අංගයක් බවට පත් විය. එහෙත් ක්‍රමයෙන් කතෝලික සභාවට නිදහස හා ස්වාධීනත්වය හිමි වී විවිධ ජන සංස්කෘතීන් තුළ ව්‍යාප්තව යන කල රෝමයේ ඇතිවූ විවිධ දේශපාලනික හා සමාජමය වෙනස්කම් හමුවේ ක්‍රමක්‍රමයෙන් ජනවන්දනා පිළිවෙත් වල ඇල්මැරුණු ස්වභාවයක් ඇති විය. මේ පිළිබඳව අවදියෙන් පසුවූ ඇතැම් තාපස හා පැවිදි නිකායන් හි සාමාජිකයන් ජනවන්දනා පිළිවෙත් වඩාත් සංකීර්ණ හා ප්‍රායෝගික කිරීමේ අරමුණින් විවිධ වන්දනා පිළිවෙත් සකස් කිරීමට උත්සුක වූහ.

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයේ උපත
ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසෙන් පසුව රෝම ජනවන්දනාවේ අභාග්‍ය සම්පන්න යුගයක් උදා විය. ප්‍රංශය, ජර්මනිය හා අයර්ලන්තය වැනි රටවල ස්ථාපිත වී තිබූ විවිධ තාපස නිකායන්ට අයත් තපස්වරුන් හා පැවිදිවරුන් රෝමයට සම්ප්‍රාප්ත වූහ. ඔවුන් රෝමයේ ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබූ රෝමානු ජනවන්දනා පිළිවෙත් පණ ගැන්වීමට විවිධ භක්ති අභ්‍යාස රැගෙන ආහ. කතෝලික බැතිමතුන්ගේ සිත් ගත් මෙම භක්ති අභ්‍යාස ක්‍රමයෙන් ජනප්‍රිය වන විට ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය පිළිබඳව වැඩි අවධානයක් යොමු වී, ස්වාමින් වහන්සේගේ ගැළවීමේ අභිරහස පිළිබඳ අවධානය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. සමාජයේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට හා අගෞරවයට පත් වන ජේසුස් වහන්සේට ප්‍රතිකාර කිරීමේ අරමුණින් මෙම භක්ති අභ්‍යාස හඳුන්වා දීම සිදු විය. 

මේ කාලය වන විට කතෝලික බැතිමතුන් දිව්‍ය පූජාවට සහභාගි වූයේ ඉතා ස්වල්ප වශයෙනි. එවකට කතෝලික බැතිමතුන් තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත තිබෙන ගරුත්වය ද භක්තිය ද පිරිහී යමින් තිබූ බැවින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ලබා ගැනීමට ද එතරම් උනන්දුවක් නොදැක්වූහ. මේ හේතුවෙන් මුල් කාලයේ සිට ම දිව්‍ය පූජාවේ දී ලබා දුන් පූපය හා මිදිරස යන දෙක වෙනුවට පූපය පමණක් දානය කිරීමට යෙදුණි.  එබැවින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට තිබූ ගරුත්වය තව තවත් අඩු විය. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ලබා ගැනීමට වඩා එය දෙස බැලීම වඩාත් යෝග්‍ය බවට ද, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි භක්ති අභ්‍යාස කිරීම වඩාත් උචිත බවට ද වැරදි මතයක් පැතිර ගියේ ය. මේ කාලය වන විට පෙර කී යුරෝපා රටවලින් රෝමයට පැමිණි තපස්වරුන් හා පැවිදිවරුන් රෝමානු ජනවන්දනාවට දැඩි බලපෑමක් එල්ල කොට තිබුණි. එබැවින් ඔවුන්ගේ ඉගැන්වීම් හා උපදෙස් වලට අනුකූලව ජනවන්දනාව සකස් වීමට ද දැකිය හැකි විය. මේ අනුව, ක්‍රිස්තු වර්ෂ 1220 පමණ වන විට දිව්‍ය පූජාවේ දී දිව්‍ය පූපය ඔසවා පෙන්වීම ඇරඹුණු අතර, එයට හේතුව වූයේ එදෙස බැති සිතින් බැලීම ය. [කතෝලික සභාවේ මුල් යුග වල මෙවැනි දිව්‍ය සත්ප්‍රසාදීය එසවීමක් තිබී නැත.] මුලදී ආශිර්වාදිත පූපය පමණක් ඔසවා පෙන්වීමට යෙදුණු නමුත් ක්‍රිස්තු වර්ෂ 1320 න් පසුව ආශිර්වාදිත මිදි යුෂ කුසලානය ද පූපය සමග ඔසවා පෙන්වීමට යෙදුණි. එසේම, ආශිර්වාදිත පූපය ඔසවා පෙන්වූ අවස්ථාවේ සිට ම ජේසුස් වහන්සේ එහි ජීවමානව වැඩ සිටින බව අවධාරණය කෙරුණි. මෙම දේවධාර්මික සන්දර්භය තුළ දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ නිරන්තර ජීවමාන වැඩ සිටීම පිළිබඳ ඉතා තදින් කරුණු තහවුරු කෙරුණි. ක්‍රිස්තු වර්ෂ 725 දී පමණ ඉතාලියේ ලැන්සියානෝ හි සිදුවූ දිව්‍ය සත්ප්‍රසාදීය හාස්කම ඇතුළු විවිධ ප්‍රාතිහාර්ය කිහිපයක් ද මේ සඳහා බල පැවැත්වී ය.

ප්‍රංශයේ ලියෙච් නමැති ප්‍රදේශයේ සිටි ජුලියානා මොංකොර්නිලෝ නමැති පැවිදි සොයුරිය ක්‍රිස්තු වර්ෂ 1208 - 1209 අතර කාලයේ දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේ පිළිබඳ දර්ශන කිහිපයක් දුටුවා ය. එම දර්ශන වලට අනුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ වැඩ වසන ජේසුස් ස්වාමින් වහන්සේට ගරු බුහුමන් දැක්වීමේ හා නමස්කාර කිරීමේ අරමුණින් දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවයක් පැවැත්වීමට ජේසුස් වහන්සේගෙන් නියෝගයක් ලැබුවා ය. ඇය මේ පිළිබඳව කතෝලික සභා ශ්‍රේෂ්ඨයන්ට දැන් වූ නමුත් එය නොපිළිගැනීමට හා ප්‍රති‍ක්ෂේපයට ලක් විය. එහෙත් ජුලියානා පැවිදි සොයුරියගේ දැඩි ඇවිටිල්ල නිසා ම ක්‍රිස්තු වර්ෂ 1246 දී ඇයගේ ආධ්‍යාත්මික පියතුමා වූ රොබර්ට් නමැති රදගුරුතුමා විසින් පළමුවරට එතුමාගේ දෙව්මැදුරේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයක් පවත්වනු ලැබීය. 

බොල්සේනා හි හාස්කම සිදු වූ ශුද්ධ වූ ලේන්සුව
ක්‍රිස්තු වර්ෂ 1264 දී ඉතාලියේ බොල්සේනා නම් වූ පෙදෙසේ එක්තරා දෙව්මැදුරක දිව්‍ය පූජාව පවත්වමින් සිටි පේදුරු නමැති පූජාප්‍රසාදීතුමා, ශුද්ධ වූ ලේන්සුව [Corpral] පූජාසනය මත එළා ආශිර්වාදිත පූපය ඔසවන විට එයින් ලේ බින්දු කිහිපයක් ගළා විත් ශුද්ධ වූ ලේන්සුව මත වැගිරී ප්‍රාතිහාර්යක් සිදු විය. මේ හේතුව නිසා මුළු ඉතාලිය පුරා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට රදගුරුතුමෙකු පත් කෙරුණි. එහි සත්‍යතාවය විද්‍යාත්මකව තහවුරු විය. මේ අනුව 4 වන උර්බන් ශුද්ධෝත්තම පියතුමා සමස්ත කතෝලික සභාව වාර්ෂිකව දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය පැවැත්විය යුතු බවට නියම කෙරුණි. නූතනයේ මෙම ශුද්ධ වූ ලේන්සුව ඉතාලියේ බොල්සේනා හි "ඔර්බියේතෝ" නම් වූ දේවස්ථානයේ ආරක්ෂිතව තැන්පත් කර ඇත. මෙම ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් නූතනයේ පවා සාම්පුදායක ක්‍රමයට හැඳ පැළඳ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය පෙරහැරේ දී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගත් කරඬුව සමග එම ශුද්ධ වූ ලේන්සුව ද රැගෙන යාම සිරිතක්ව පවතී.

සාන්ත තෝමස් ඇක්වයිනාස් තුමා
එවකට ඉතාලියේ සිටි සුප්‍රසිද්ධ සාන්ත තෝමස් ඇක්වයිනස් තුමා ඉහත කී ජුලියානා සොයුරියගේ ආධ්‍යාත්මික මිතුරෙකු විය. ජුලියානා සොයුරියගේ ඉල්ලීම මත සාන්ත තෝමස් ඇක්වයිනාස් තුමා දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය සඳහා නියමිත යාච්ඤා සකස් කළේ ය. එම යාම යැදුමේ [Prayers of Hours / Divine Office] පළමු සන්ධ්‍යා යාච්ඤාවට නියමිත ගීතිකාව වන "ආ උතුම් මේ අභිරහස" [Tantum Egrom Sacramentum] නමැති ලතින් ගීතිකාව ද සකස් කළේ එතුමා ය. 

9 වන පියුස් පාප්තුමා
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය, මංගල්‍යයක් ලෙසින් ලෝක ව්‍යාප්තවීම ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 1317 න් පසුව ය. මුල්කාල වකවානුවේ දී එය හැඳින්වූයේ "ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයේ මංගල්‍යය" [Corpus Christi] යන නමිනි. නූතනයේ එය "ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධීරයේ මංගල්‍යය" යන නමින් හඳුන්වයි. පෙර සඳහන් කළ පරිදි එකල ආශිර්වාදිත පූපය පමණක් කතෝලික බැතිමතුන්ට දුන් නිසා ක්‍රිස්තු වර්ෂ 1849 දී 9 වැනි පියුස් පාප්තුමා "ශ්‍රී රුධිරයේ මංගල්‍යය" නමින් මංගල්‍යයක් හඳුන්වා දුන්නේ ය. එය ජූලි 1 වන දින පැවැත්වුණි. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1969 පටන් ශ්‍රී ශරීරයේ මංගල්‍ය හා ශ්‍රී රුධිරයේ මංගල්‍ය යන දෙකම ඒකාබද්ධ කොට එකම මංගල්‍යයක් ලෙසින් පවත්වයි. මෙය සාමාන්‍යයෙන් ශුද්ධ වූ ත්‍රිත්වයික ඉරු දිනට පසු ඉරු දින සමරන නමුත්, මීසම් මට්ටමින් මහා මංගලෝත්සවයක් ලෙසින් වාර්ෂික ජනවන්දනා‍ ලිතේ මෙම මංගල්‍ය දිනයෙන් පසු ඕනෑම ඉරු දිනක පැවැත්වීමට අවසර ඇත. 

දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයත් සමග අත්වැල් බැඳගත් කතෝලික වන්දනා අභ්‍යාසය වන්නේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය යි. ක්‍රිස්තු වර්ෂ 1274 - 1279 අතර කාලයේ ජර්මනියේ ක්ලෝන් නගරයේ සාන්ත ගෙරෙසොන් නමැති දෙව්මැදුරේ ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙරුගාම්භීර ලෙස පෙරහැරක ‍ගෙන ගිය බව වාර්තා වේ. ඉතාලියේ බොල්සේනා හි මීට ප්‍රථම දිව්‍ය සත්පුසාද පෙරහැර පවත්වා ඇති නමුත් එහිදී පෙරහැරේ ගෙන ගොස් ඇත්තේ ශ්‍රී රුධිරය වැගිරුණු ශුද්ධ වූ ලේන්සුව පමණි. ක්ලො‍්න් නුවර දිව්‍ය සත්ප්‍රසාද පෙරහැරේ දී බාර්ලි, තිරිඟු හා වෙනත් වගා ගොවිපල අසල දී පෙරහැර නවත්වා ඒවාට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගත් කරඬුවෙන් ආශිර්වාද කිරීම ද සිදු විය. දිව්‍ය සත්ප්‍රසාද පෙරහැරේ ගමන් මාර්ගයේ ස්ථාන 4 ක විශේෂ පීඨක මණ්ඩප සාදා එහි දිව්‍ය සත්ප්‍රසාද කරඬුව වැඩමවා විශේෂ වන්දනා නමස්කාර පැවැත්වීම සිදු කර ඇත. 
ක්ලෝන් හි එම විශේෂ පීඨක මණ්ඩප 4 අසළ දී එම ප්‍රදේශයේ දිසා 4 දෙස‍ට හැරී සුභාරංචි හතරෙන් පාඨ හතරක් කියවා, කතෝලික සභාව වෙනුවෙන් යාච්ඤා කර,  දිව්‍ය සත්ප්‍රසාද කරඬුවෙන් ආසිරි ගැන්වීම ද කරයි. මෙහි අරමුණ ජේසුස් ස්වාමින් වහන්සේගේ සුභාරංචිය හා ආශිර්වාදය ලොව පුරා ගෙන යා යුතු බව අවධාරණය කිරීම ය. පසුකාලීනව මෙම දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර වඩාත් ගරුගාම්භීර හා අලංකාරවත් විය. විශේෂයෙන් "බරොක් යුගයේ" දී අලංකාර ලෙස සැරසූ කරත්ත, සාම්ප්‍රදායික නැටුම් වැයුම් හා රංගන වලින් අලංකෘත වී ඇත.

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයේ අරමුණ
කතෝලික සභාව දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය පවත්වන්නේ විශේෂ අරමුණු කිහිපයක් ඇතිව ය. එනම්,
  • දිව්‍ය සත්ප්‍රසාදය කතෝලික සභාවේ ක්‍රිස්තු කේන්ද්‍රීය වන්දනා මූලය බව බව ප්‍රකාශ කිරීම
  • දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩ සිටින ජේසුස් ස්වාමින් වහන්සේට විශේෂාකාරයෙන් වන්දනා නමස්කාර කිරීම
  • දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩ සිටින ජේසුස් ස්වාමින් වහන්සේට නිර්භයව සාක්ෂි දැරීම
  • ජේසුස් ස්වාමින් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය තුළින් නිරන්තරයෙන් අප සමග වැඩ සිටිමින් අප සමග ගමන් කරන බව ප්‍රකාශ කිරීම
  • දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වටා එකමුතු කතෝලික දේව ජනතාව වන්දනා ගමනක යෙදෙන ජනතාවක් බව සිහිගැන්වීම  
යනාදිය වෙති. නූතනයේ එය ශ්‍රී ලංකාවේ ද විශේෂ මංගලෝත්සවයක් බවට තිබේ. එයට ගරුත්වයෙන් හා බැති සිතින් සහභාගි වෙමින් දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේට වන්දනා නමස්කාර කිරීම කතෝලික අපගේ යුතුකම ය.

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith