Recent Posts

ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව I


ක්‍රිස්තු වර්ෂ 544 සිට විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, මතවාද හා විවිධ අනතුරු වලට ලක් වෙමින් ඉතාලියේ ටියුරින් නුවර සාන්ත ස්නාවක ජොහාන් තුමාගේ දෙව්මැදුරේ තැන්පත් කර තිබෙන ශ්‍රී සළුව යනු, මීට වසර 1980 කට පමණ පෙර ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය භූමදානය කිරීම සඳහා එතීමට යොදා ගත් දිගු රෙදිකඩය. ශ්‍රී සළුව තරම් විද්‍යාඥයන්ගේ විවිධ විද්‍යාත්මක පරීක්ෂණ හා මතවාද වලට ලක් වූ තවත් ශුද්ධ වූ වස්තුවක් නොමැති තරම්ය. මේ දිනවල මෙම ශ්‍රී සළුව බැතිමතුන්ගේ වන්දනාව සඳහා ටියුරින් නුවර ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 න් පසුවය. මේ පිළිබඳ ප්‍රවෘත්තිය "Priests' Secretary" නමැති කිතුනු බ්ලොග් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.
Shroud of Turin (San Francisco Sentinal)
Shroud of Turin (San Francisco Sentinal)
ROME (CNS) — The Italian Archdiocese of Turin has announced that the Shroud of Turin, which many believe is the burial cloth of Christ, will be on public display April 10-May 23, 2010. The public exposition in Turin’s cathedral will offer members of the public their first opportunity to see the shroud since it underwent major cleaning and restoration in 2002. The work involved removing 30 fabric patches and a fabric backing, known as the Holland Cloth, sewn onto the shroud in 1534 after a fire. At the time of the work, Cardinal Severino Poletto of Turin said trapped particles of dirt and scorched fabric had darkened parts of the Shroud of Turin and eventually could have made it difficult to see the shroud’s image of a crucified man. The removal of the Holland Cloth also permitted experts to photograph and digitally scan the back of the shroud. The last public exposition of the Shroud of Turin was in 2000.
මෙම ශ්‍රී සළුවේ ඇති විශේෂත්වය වන්නේ එය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතීමට භාවිත කළ රෙදිකඩ වීමත්, එහි ක්‍රිස්තුස් වහන්සේගේ යැයි සැලකෙන(1) රූප සටහන් දෙකක් සටහන් වී තිබීමත් නිසා ය. මතෙව්, මාර්ක් හා ලූක් යන සුභාරංචි පොත් වල ජේසුස් වහන්සේව තැන්පත් කර තිබූ සොහොන් ගෙය හිස්ව තිබීම පිළිබඳව වාර්තා දැක්වූවත්, ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතා තිබූ රෙදිකඩ පමණක් සොහොන් ගෙය තුළ දක්නට ලැබීම සම්බන්ධයෙන් අපට හොඳම ලිඛිත වාර්තා හමුවන්නේ ජොහාන් තුමාගේ සුභාරංචියෙනි. 
"ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ගෝලයෙකු වූ අරිමාතියේ ජෝසප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලීය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.
       
මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකදේමුස් ද, කිලෝ ග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ." (ජොහාන් 19 : 38 - 42)
"සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් ‍කොට තිබෙන බව දුටුවා ය. එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, 'ඔවුන් ස්වාමින් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු' යි කීවා ය. එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමග නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත." (ජොහාන් 20 : 1 - 10)
සොහොන් ගෙය වෙත දිව ගිය පේදුරු තුමා හා අනික් ශ්‍රාවකයා ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය නො දැක, එය ඔතා තිබූ සළුව පමණක් එහි තිබෙනු දැක පුදුමයට පත් විය. එහෙත් ඔවුන් හිස් අතින් ආපසු ගියේ යැයි සිතිය නොහැක. අනිවාර්යයෙන් ම ඔවුන් අනික් ශ්‍රාවකයන්ට පෙන්වීම පිණිස එම සළුව රැගෙන යන්නට ඇත.(2) දැනට අනාවරණය කරගෙන නොමැති වුවත්, කිනම් හෝ ආකාරයකින් මෙම ශ්‍රී සළුව අපෝස්තුළුවරුන්ගේ කාලයේ පටන් ශුද්ධ වූ වස්තුවක් ලෙසින් ආරක්ෂා වී, පැවතුණි. මුල් කිතුනු සියවස් තුන පුරා තිබූ කතෝලික ධර්මය මුලිනුපුටා දැමීමේ කිතුනු සංහාරය පැවති කතෝලික සභාවේ මහා අඳුර පීඩන යුගයේ දී මෙම ‍සළුව සතුරන් අතට පත් වුවහොත් විනාශ කර දැමීමට ඉඩකඩ ඇති බැවින් එය කිසියම් ආරක්ෂිත ස්ථානයක සඟවා තබන්ට ඇත. එනිසා මුල්කාලීන කිතුනු ලේඛන වල ද මේ පිළිබඳව සඳහන් වී නැත.(3) අතීතයේ දී කිතුනු බැතිමතුන් කල්පනා කළේ, ශුද්ධ වූ වස්තුවක් යැයි ගෞරවාදරයට පත් හැම දෙයක් ම සත්‍යයක් බවය.එහෙත් නූතනයේ ඒවායේ සත්‍යතාවය විද්‍යාත්මකව පැහැදිළි කර සනාළු කළ යුතුය. ඊට නිසි ගෞරවය දිය හැක්කේ එවිටය. මෙම ශ්‍රී සළුව සත්‍ය එකක් නොව, කිසියම් පුද්ගලයෙකුගේ පසුකාලීන සිතුවමක් බවට ඇතැම් අය කරුණු ඉදිරිපත් කරති. ශ්‍රී සළුව ද නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කොට එහි නියම සත්‍යය ඉස්මතු කර ගැනීමට කතෝලික සභාව විද්‍යාඥයන්ට සම්පූර්ණ අවසරය දුන්නේ එනිසා ය. විද්‍යාඥයන්ගේ හා නිරීක්ෂකයන්ගේ පර්යේෂණ හා විමසුමට ලක් වූ මෙවන් ශුද්ධ වූ වස්තුවක් ලොව තවත් නොමැති තරම් ය.(4) 
මෙම ශ්‍රී සළුව අඩි 14 අඟල් 3 ක් දිග වන අතර, අඩි 3 අඟල් 7 ක් පළල ය. මෙයට ගෞරවාදරය හා භක්ත්‍යාදරය දැක්වීම ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 544 දී එදෙස්සා (නූතන තුර්කිය) ප්‍රදේශයේ තිබිය දී, එහි මිනිස් මුහුණක හැඩයක් ඇති රූපයක් දක්නට ලැබෙන බව ප්‍රථම වරට සොයා ගැනීමත් සමගය. (එවකට මෙම ශ්‍රී සළුව දිග හැර නොව, කිහිප අතකට නවා තිබී ඇත.) ක්‍රිස්තු වර්ෂ 944 දී පමණ කොන්ස්තන්තිනෝපලය (නූතන ඉස්තාන්බුල්) නගරයට ගෙනැවිත් එහි බ්ලැචර්නෙස් නම් දෙව්මැදුරක තැන්පත් කර තිබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1147 දී ප්‍රංශයේ 7 වන ලුවී රජු එය බැහැදැක ඊට වන්දනාමාන කළේ ය. එහෙත් ශුද්ධ වූ දේශය හෙවත් ඉශ්රායෙලය අන්තවාදී සෙල්ජුක් තුර්කිවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව පැවති කුරුස යුද්ධ නිසා කොන්ස්තන්තිනෝපලය අනාරක්ෂිත ප්‍රදේශයක් විය. එනිසා ක්‍රිස්තු වර්ෂ 1204 දී බෙසන්කොන් හි රදගුරුතුමා විසින් එය බයිසන්තියන් ආසන දෙව්මැදුරේ තැන්පත් කර තැබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1349 දක්වා ම සෑම වසරකම පාස්කු ඉරුදින වල දී මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 
ක්‍රිස්තු වර්ෂ 1349 දී එම ආසන දෙව්මැදුරේ හටගත් ගින්නකින් ශ්‍රී සළුව බේරා ගෙන එතැනින් ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යද්දී, කිසියම් පිරිසක් විසින් එය පැහැර‍ ගනු ලැබ, ප්‍රංශයේ පිලිප් රජු වෙත බාර දී ඇත. එම රජු ද ඔහුගේ මිතුරෙකු වූ චාර්නි හි කවුන්ට්වරයා හා ලීරි හි සාමිවරයා වූ ජෙෆ්රි වෙත බාර දී ඇත. මෙම සාමිවරයා සැබෑ ශ්‍රී සළුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස එහි ආකෘතියක් චිත්‍ර ශිල්පියෙකු ලවා සිතුවම් කර ඇත. බෙසන්කොන් හි රදගුරුතුමා ද එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ එය රහසිගතව සඟවා තබා තිබූ බැවිනි. මේ හේතුවෙන් රදගුරුතුමා ද සැබෑ ශ්‍රී සළුවේ අනුරුවක් සකස් කරවා බැතිමතුන්ට ප්‍රදර්ශනය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1353 දී ප්‍රංශයේ ලීර් හි සඟවා තිබිය දී සොයා ගත් ශ්‍රී සළුව ඒ වන විට තිබූ එහි අනුරූ සිතුවම් වලින් වෙන්කර සැබෑ සත්‍ය සළුව බවට හඳුනා ගත්තේ, ක්‍රිස්තු වර්ෂ 1375 දී මළ මිනිසෙකුගේ මෘත ශරීරය මත එය පෙරවීමෙන් සිදු වූ හාස්කම මගිනි. මේ සම්බන්ධයෙන් දොම් චමාර්ඩ් නමැත්තා මෙසේ වාර්තා කර ඇත.
"13 වන සියවසේ සිට ශ්‍රී සළුව බෙසන්කොන් හි සාන්ත එටයිනිගේ ආසන දෙව්මැදුරේ ආරක්ෂිතව තැන්පත් කර ඇති බව ඩොනොඩ් (එවකට සිටි කතුවරයෙකි) ඔහුගේ 'History of the Church of Besancon' නමැති කෘතියේ සඳහන් කර ඇත. එසේම ක්‍රිස්තු වර්ෂ 1349 මාර්තුවේ දී ශ්‍රී සළුව බහාලූ කරඬුව තැන්පත් කර තිබූ එකී දෙව්මැදුර ගින්නකින් විනාශ වීමත් සමගම එය අතුරුදහන් විය. එහෙත් වාසනාවකට මෙන්, වසර කිහිපයකට පසුව එම ශුද්ධ වූ ධාතුව නැවත සොයා ගැනුණු අතර, එය සාන්ත එටයිනි හි තිබූ නියම සළුව බවට හඳුනා ගත්තේ, මිය ගිය තැනැත්තෙකුගේ සිරුර මත එය වැතිරීමෙන් ඒ මිනිසා නැවත ප්‍රාණය ලැබීම මගිනි. මේ හාස්කම පිළිබඳව තොරතුරු බෙසන්කොන් හි ආසන දෙව්මැදුරේ ආරක්ෂිත ඓතිහාසික වාර්තා වල පමණක් නොව, ක්‍රිස්තු වර්ෂ 1375 දී තමන්ගේ දෙනෙත් වලින් එය දැක ඊට සාක්ෂි දරමින් බෙසන්කොන් හි දෙව්මැදුරේ ‍ශ්‍රේෂ්ඨ පියතුමා වූ රිචර්ඩ් ලා පී ලියූ අත්පිටපත් (Manuscripts) වල ද මේ බව සඳහන්ව ඇත."(5) 
 බෙල්ජියමේ බාර්නෙස් මාහිමිපාණන්ගේ වාර්තාවක දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 1516 දී සකස් කළ ශ්‍රී සළුවේ තවත් ආකෘතියක් බෙල්ජියමේ සාන්ත ගොමායිර් දෙව්මැදුරේ තිබී හමුවී ඇත. එහෙත් එහි ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා චොම්බරි නම් දේවස්ථානයේ රිදී කරඬුවක් තුළ තැන්පත් කර තිබිය දී හසු වූ ගින්නේ දී රිදී උණු වී සළුව මත වැටීමෙන් වූ පිළිස්සීම් ස්ථාන දක්නට නැත. එයින් විද්වතුන් පසක් කර ගත්තේ, එය ක්‍රිස්තු වර්ෂ 1204 සිට බෙසන්කොන් හි තැන්පත් කර තිබූ ශ්‍රී සළුව නොවන බවය.
සියක් අවුරුදු යුධ සමයේ ලීර් හි ජෙෆ්රි නම් සාමිවරයා‍ගේ මිණිපිරියක වූ මාගරට් නැමැත්තිය කතෝලික සභාවේ අවසරය ඇතිව ශ්‍රී සළුව ලබාගෙන ලීර් රදගුරු පදවියෙන් පිටත තම ස්වාමි පුරුෂයාගේ ආරක්ෂාව යටතේ, රාජ මන්දිරයක තැන්පත් කර තැබුවා ය. ක්‍රිස්තු වර්ෂ 1452 දී ලීර් හි රදගුරුතුමා එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර, සැවෝයි හි ආදිපාද පළමුවන ලුවීගේ භාර්යාව වූ ඇනා නමැති තම ඥාතිවරියට එය ලබා දී තිබූ නිසයි. ක්‍රිස්තු වර්ෂ 1454 දී සතරවන සික්ස්ටස් පාප්තුමා පළමුවන ලුවී ආදිපාදවරයා හට චොම්බරි හි දේවස්ථානයේ ශ්‍රී සළුව තැන්පත් කිරීම පිණිස ශුද්ධස්ථානයක් (Sanctuary) ඉදි කිරීමට අවසර දුන්නේ ය.   
ක්‍රිස්තු වර්ෂ 1503 මහ සිකුරාදා දින ශ්‍රී සළුව චොම්බරි නුවරට අසල්වාසී වූ බොර්ග්-එන්-බ්‍රෙස්සේ නුවරට ගෙන ආවේ ඔස්ට්‍රියාවේ පිලිප් නමැති අග්‍ර ආදිපාදවරයාගේ අවමංගල්‍යය නිමිති කොට ගෙනය. එහිදී එය මහජන වන්දනාමානය පිණිස ප්‍රදර්ශනය කෙරුණි. මෙහිදී විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විණ. එනම්, මෙම ශ්‍රී සළුව ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සැබෑ සළුව ද නැතිනම් සිතුවම් කළ අනුරුවක් ද යන්න සොයා බැලීමය. පළමුව ඔවුන් මෙම සළුව උණු කළ තදින් රත් වූ තෙල් වල දමා, පසුව උණු කළ ජලයේ බහා හොඳින් තම්බා, කිහිප වතාවක් සිසිල් ජලයෙන් සේදීම කළහ. මෙවැනි පරීක්ෂණයකින් සිතුවමක් නම් එය සේදී යාම හෝ දුර්වර්ණවීම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. පසුව ක්‍රිස්තු වර්ෂ 1506 දී දෙවන ජූලියස් පාප්තුමා නිකුත් කළ "Romanus Pontifex" නම් විශ්ව ලේඛනය මගින් මෙම ශ්‍රී සළුවට වන්දනාමාන කිරීම සඳහා ජනවන්දනා පිළිවෙතක් සැකසීමට කටයුතු යෙදීය. 
(මීට ඉහත ක්‍රිස්තු වර්ෂ 313 දී පළමුවන සිල්වෙස්ටර් පාප්තුමා දිව්‍ය පූජාව සිදු කරන පූජාසනය හෝ අල්තාරය මත මෙම ශ්‍රී සළුව සිහිපත් කර ගෞරව කිරීම සඳහා දිගු හණ රෙද්දක් දැමීමට නියම කර ඇත. නූතන දිව්‍ය පූජාව පවත්වන පූජාසනය මත සුදු අල්තාර රෙද්දක් දැමීම ආරම්භ වූයේ එසේය. එසේම පූජාප්‍රසාදීතුමා දිව්‍ය පූජාවේ දී පළඳින "කොර්පොරල් " (Corporal) හෙවත් "ශුද්ධ වූ ශරීර වස්ත්‍රය" මගින් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව නිරූපණය කරයි.) 
රටේ දේශපාලන කැළඹීම් පැවති සමයේ මෙම ශ්‍රී සළුව ප්‍රංශයේ ස්ථාන කිහිපයකට මාරු කර යවමින් ආරක්ෂා කිරීමට පියවර ගැනුණි. පසුව මෙය නැවත චොම්බරි දේවස්ථානයට ගෙන ඒමට කටයුතු යෙදිණි. ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා රාත්‍රියේ දී එම දේවස්ථානයේ ඇති වූ මහා ගින්නකට හසුවූ, රිදී කරඬුවක බහා තිබූ ශ්‍රී සළුව බේරා ගත්තේ වහා එහි පැමිණි ප්‍රැන්සිස්කාන පූජකවරුන් දෙදෙනෙකු, එම නුවර ආදිපාදවරයාගේ ප්‍රධාන මෙහෙකරු හා කම්මල්කරුවෙකු විසින් යකඩ ඉබි දොරගුළු කඩා ජලය වත් කිරීමෙනි. දොළොස් අතකට නවා තිබූ මෙම ශ්‍රී සළුව මතට ගින්නේ රශ්මිය නිසා උණු වී දියවී තිබූ රිදී වැගිරීමෙන් සැලකිය යුතු ප්‍රමාණයේ සිදුරු 16 ක්, කුඩා ප්‍රමාණයේ සිදුරු 12 ක් ද ඇති වී තිබූ නමුත්, වාසනාවකට එහි තිබෙන ජේසුස් වහන්සේගේ රූපයට කිසිඳු හානියක් සිදු නොවී තිබිණ. පසුව ක්‍රිස්තු වර්ෂ 1534 අප්‍රේල් 15 සිට මැයි 2 දින දක්වා කාලය තුළ චොම්බරි හි දිළිඳු ක්ලාරා තාපසිකාවන් (Sisters of Poor Clare) එම සිදුරු හැකි පමණින් අලුත්වැඩියා කර ඇත. එහෙත් ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසුය. මන්ද එවකට පැවති තාක්ෂණය එවැනි කාර්යයක් සාර්ථක ලෙස කිරීමට ප්‍රමාණවත් නොවීම ය. එපමණක් නොව ඒවා අළුත්වැඩියා කරන්නට යාමේ දී එයට කිසියම් හානියක් ද විය හැකි අවස්ථා ද තිබේ. නූතනයේ නවීන තාක්ෂණය යොදා ගෙන එයට පිළියම් යොදන්නට යාමෙන් එය මිනිස් අතින් නිර්මාණය වූවක් බවට හේතු පාඨ දක්වන්නන්ට එය රුකුලක් වීමට ඉඩ ඇත.    
ශ්‍රී සළුවට වූ භාරයකින් ඉතාලියේ පැතිරී ගිය භයානක වසංගත රෝගයක් නවතාලීමට හැකි වූ නිසා ක්‍රිස්තු වර්ෂ 1578 දී එය ටියුරින් නුවරට ගෙන එන ලදුව, සාන්ත චාර්ල්ස් බොරෝමියෝ මුනිතුමාගේ වන්දනාමානයට ලක් විය. එසේම එය ක්‍රිස්තු වර්ෂ 1613 දී සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමා හා ක්‍රිස්තු වර්ෂ 1639 දී සාන්ත ජේන් ප්‍රැන්සෙස් ද චන්ටල් මුනිවරියගේ වන්දනාමානයට ද පාත්‍ර වී ඇත. පසුව ටියුරින් නුවර විශේෂ දෙව්මැදුරක් ඉදි කොට ක්‍රිස්තු වර්ෂ 1694 ජුනි 1 වෙනිදා සිට ශ්‍රී සළුව එහි තැන්පත් කර තැබුණි. එතැන් පටන් ක්‍රිස්තු වර්ෂ 1800 වනතුරු සෑම වසරක ම ශුද්ධ වූ කුරුසිය සොයා ගැනීමේ මංගල්‍ය දින දී මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කර ඇත. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1800 - 1900 දක්වා සියවස තුළ එය ප්‍රදර්ශනය කර ඇත්තේ 6 වතාවක් පමණි.(6)  
ශ්‍රී සළුව පිළිබඳව බොහෝ දෙනාගේ විශේෂයෙන් විද්‍යාඥයන්ගේ අවධානය හා කතාබහට ලක්වීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 1898 මැයි 25 - 28 දක්වා කාලය තුළ කළ මහජන ප්‍රදර්ශනයේ දී, සෙකුන්ඩෝ පියා නමැති නීතිඥයා විසින් කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් අනතුරුවය. මෙම කළු-සුදු ඡයාරූපයේ වූ විශේෂත්වය වූයේ, නෙගටිව් (Negative) රූපයක් වෙනුවට සජීවි පොසිටිව් (Positive) ඡයාරූපයක් ඔහුගේ දළ සේයා පටයේ සටහන්වීම ය. මේ පිළිබඳව අදහස් දැක්වූ විද්වතුන් කියා සිටියේ, ශ්‍රී සළුව මත ඇඳී ඇති නෙගටිව් රූපය නිසා, ඡයාරූපය පොසිටිව් වූ බවත්, එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් රූපය කිසියම් බලගතු ආලෝක ධාරාවක් මගින් සළුවට කා වැදී ඇති බවත් ය.(7) එසේම එම ශ්‍රී සළුවේ රූප දෙකක් එනම්,
  • රුධිර පැල්ලම් මගින් ඇති වූ රූප සටහන හා
  • පියවි ඇසට නිසි ලෙස නොපෙනෙන නෙගටිව් රූප සටහන
වශයෙන් මෙම කළු-සුදු ඡයාරූපය නිසා සොයා ගැනීමට හැකි විය. 
මෙම ශ්‍රී සළුවේ දැක්වෙන නෙගටිව් රූපය ඒ මත සටහන් වූයේ කෙසේ දැයි සොයා බැලීමට විද්‍යාඥයන්ට කතෝලික සභ ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසර ලැබුණි. එම නෙගටිව් රූපය, ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරයේ ආලේප කළ ගන්ධරස හා අගිල් මිශ්‍රණයෙන් (ජොහාන් 19 : 39 - 40) ඇති වූවක් නොවන බවත්,(8) චිත්‍ර ශිල්පියෙකුට පියවි ඇසට දැකීමට අපහසු නෙගටිව් රූපයක් එවකට පැවති තාක්ෂණය තත්ත්වය මගින් නිර්මාණය කිරීමට අපහසු බවත් ප්‍රකාශ විය. ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1931 - 33 දක්වා කාලය තුළ දෙවතාවක් පමණක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ක්‍රිස්තු වර්ෂ 1931 දී හෙන්රි ජුසෙප්පේ නමැත්තා විසින් එහි වර්ණ ඡායාරූපයක් ගන්නා ලදි. මෙම වර්ණ ඡායාරූපයේ ද පෙර සඳහන් කළ ආකාරයට නෙගටිව් හා පොසිටිව් වශයෙන් රූප සටහන් දෙක දක්නට ලැබුණි. 11 වන පියුස් පාප්තුමාගේ අවසරය ඇතිව ක්‍රිස්තු වර්ෂ 1933 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 15 දින දක්වා පැවැත් වූ ප්‍රදර්ශනයේ දී එය ඡයාරූපගත කිරීමටත්, ඒ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමටත් අවස්ථා සළසා දී ඇත. නැවත වතාවක් ක්‍රිස්තු වර්ෂ 1969 ජුනි 16 - 18 දක්වා කාලය තුළ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන, අපක්ෂපාතී කිසිඳු ආගමක් නො අදහන කොමිසමකට බාර දුණි. මෙහිදී මහාචාර්ය ජී. බී. ජුඩිකා කෝර්දිග්ලියෝ විසින් විසින් නැවත වර්ණ ඡායාරූපගත කර පර්යේෂණ වලට භාජනය කෙරුණි. එකල එම කණ්ඩායමේ ඇතැම් විද්වතුන්ගේ අදහස වූයේ, එම නෙගටිව් රූපය වාෂ්පීකරණයක් නිසා ඇති වූවක් බවය. එහෙත් මහාචාර්ය ජුඩිකාගේ මතය වූයේ, එය ඔක්සිඩයිකරණයක් (Oxidization) මගින් සිදුව ඇති බවය.(9) 
ක්‍රිස්තු වර්ෂ 1978 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පාප් පදවියට පත් වූ විගස ශ්‍රී සළුව වන්දනාමාන කිරීමට ගිය අතර, එය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමට විද්‍යාඥයන් එතුමාගෙන් අවසර පැතූහ. ක්‍රිස්තු වර්ෂ 1978 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 8 වෙනිදා දක්වා කාලය තුළ ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ මෙම ශ්‍රී සළුව පිළිබඳ වාර්තා වැඩසටහනක් ප්‍රථමවරට රූපවාහිනිය මගින් විකාශනය කෙරුණි. මෙය ඡයාරූපගත කිරීමටත්, විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමටත් අවසර දුණි. ඒ අනුව අන්තර්ජාතික විද්‍යාඥයන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පැය 120 ක් පුරා මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කර ඇත. තවද, බොහෝ කලක පටන් මෙම ශ්‍රී සළුව ආදිපාදවරුන්ගේ භාරකාරත්වය යටතේ පවතුණි. ක්‍රිස්තු වර්ෂ 1983 දී එහි භාරකාරත්වය දැරූ අවසන් ආදිපාදවරයා වූ උම්බේර්ටෝර් ගේ අවසන් කැමැත්ත පරිදි ශ්‍රී සළුව කතෝලික සභාවට අයත් ශුද්ධ වූ වස්තුවක් බවට පත් විය.
ක්‍රිස්තු වර්ෂ 1988 දී මෙම ශ්‍රී සළුව කාබන් C14 පරීක්ෂණයට භාජනය කෙරුණ අතර, එය ක්‍රිස්තු වර්ෂ 13 - 14 සියවස් වලට අයත් යැයි මතයක් පළ විය. මේ සම්බන්ධයෙන් වෙනත් විද්‍යාඥයන්ගේ මතය වූයේ, එම කාබන් පරීක්ෂණය එවකට නිවැරදි ලෙස කර නැති බැවින් එහි ප්‍රතිඵල වැරදි සහගත බවය. ක්‍රිස්තු වර්ෂ 1992 සැප්තැම්බර් 7 දින නවීන තාක්ෂණය යොදා ගෙන නැවත පරීක්ෂාවට ලක් කෙරුණු ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1997 අප්‍රේල් 11 දින නැවත මහා ගින්නකට භාජනය විය. එය තැන්පත් කර තිබූ දේවස්ථානය ගින්නෙන් විනාශ වුවත්, මරියෝ ට්‍රිමටෝරේ ඇතුලු ආරක්ෂක භට කණ්ඩායමක් විසින් ශ්‍රී සළුව නිරුපද්‍රිතව බේරා ගනු ලැබීය. 
                                                                                          (ශ්‍රී සළුව තැන්පත් කර ඇති ටියුරින් හි දෙව්මැදුර)
ක්‍රිස්තු වර්ෂ 1898 දී කළ කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් එහි සටහන්ව ඇති නෙගටිව් රූපය හඳුනාගෙන වසර සියයක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1998 අප්‍රේල් 16 සිට ජුනි 4 දක්වා නැවත ප්‍රසිද්ධ වන්දනාව හා මහජන ප්‍රදර්ශනයට තැබුණි. එහිදී ද එය නැවත ඡයාරූපගත කිරීමට හා විද්‍යඥයන්ගේ පරීක්ෂාවට ලක් විය.  දෙවන ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභාවේ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම නිමිති කොටගෙන ක්‍රිස්තු වර්ෂ 2000 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 22 දක්වා මෙම ශ්‍රී සළුව ප්‍රදර්ශනය කෙරුණු අතර, නැවත මෙය ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2025 දී බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා පසුව මෙය ක්‍රිස්තු වර්ෂ 2010 අප්‍රේල් 10 සිට මැයි 23 දක්වා දිනවල එය ඉතාලියේ ටියුරින් හි ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ යුතු යැයි තීරණය කළේ ය.  ඒ අනුව මේ දිනවල මෙය නැඹීම සඳහා විනාඩියකට බැතිමතුන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පමණ පැමිණෙන බව වාර්තා වේ.

(http://www.shroud.in/)ජේසුස් වහන්සේගේ මෙම ශ්‍රී සළුව සම්බන්ධයෙන් විවිධ මතවාද තිබේ. බොහෝ විද්‍යාඥයන් මෙය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සළුව බව විද්‍යාත්මකව සනාථ කර පෙන්වන අතර, තවත් සුළු පිරිසක් එය මිනිස් නිර්මාණයක් බවට තර්ක කරති. දැනට මෙම ශ්‍රී සළුවේ පහත ලක්ෂණ හඳුනාගෙන ඇත.                                               
  • ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන ආකාරයට දකුණු හස්තයේ අංශක 45 ක ඇද ස්වභාවයක් හා වම් හස්තයට වඩා කෙටි ස්වභාවයක් දක්නට ලැබේ. මේ සම්න්ධයෙන් විද්‍යාඥ මතය වන්නේ කුරුසියේ ඇණ ගැසීමේ දී ජේසුස් වහන්සේගේ දකුණු හස්තය ඇදීමකට ලක්ව ඇති බවය. 
  • හස්ත වල ඇණ සළකුණු දැක්වෙන්නේ මැණික් කටුව ප්‍රදේශයේ ය. නෙගටිව් රූපයෙන් හඳුනා ගන්නා තුරු ම ලෝක සම්මත පිළිගැනීම වූයේ ඇණ ගැසුවේ අත්ල මැදින් බවය.
  • නෙගටිව් රූපයට අනුව, අත් දෙකෙහි ම මහපට ඇඟිලි දෙක පෙනෙන්නට නැත. එයට හේතුව මැණික් කටුව අසලින් ඇණ ගැසීමේ දී මහපට ඇඟිල්ලට යන නහරය හසුවී එම ඇඟිලි දෙක අප්‍රාණිකව අල්ල තුළට නැමී දරඳඬු වී යාම ය.
  • වම් කකුල දකුණු කකුළට වඩා කෙටි ස්වභාවයක් පෙන්වයි. එයට හේතුව දකුණු කකුල මත වම් කකුල තබා ඇණ ගැසීමත්, එම කකුල දණ හිසෙන් නැමී දරඳඬු වී තිබීමත් ය.
  • මුහුණේ විශේෂ තුවාල ලකුණු පෙන්නුම් කරයි. මේවා කම්මුල් පහර, සීරීම් හා වැටීම් වලින් වූ ලකුණු වෙති.
  • ශ්‍රී සළුවේ පෙන්වන රූප සටහන් දෙකෙන් නෙගටිව් රූපය අනුව ජේසුස් වහන්සේගේ උස අඩි 6 ක පමණ පෙන්වන නමුත් සජීවී පොසිටිව් රූපය අනුව උස අඩි 5 අඟල් 11 ක් පමණ වේ. එයට හේතු වී ඇත්තේ කුරුසියේ එල්ලී සිටිය දී පිට කොන්ද මදක් නැමී තිබීමත්, ගල්ලෙනෙහි තැන්පත් කරන විට ද ශරීරය ඒ ආකාරයෙන් ම දරඳඬු වී තිබීමත් ය.
  • ශ්‍රී සළුවේ පැහැදිළි පොසිටිව් රූපයේ මිනිස් රුධිර සලකුණු තිබේ. ඒවා ඇණ සලකුණු, කටු ඔටුන්නේ සලකුණු, කස පහර වලින් ඇති වූ තුවාල හා හෙල්ලයෙන් සිදුරු වූ ඇලයෙහි තුවාලයෙන් ගැලූ රුධීරය වේ. එම රුධීරය AB පොසිටිව් වර්ගයේ රුධිරය බව ද හඳුනා ගෙන ඇත.(10)
  •  ශ්‍රී සළුවෙහි දැක්වෙන රූප දෙකෙන් නෙගටිව් රූපය පියවි ඇසින් දැකීමට අපහසුය.
(මෙම සළුවේ ඡායාරූප නිරීක්ෂණය සඳහා පහත වෙබ් අඩවිය මත "ක්ලික් " කරන්න.) http://www.shroud.com/examine.htm 
මෙම සාධක පරීක්ෂා කිරීමෙන් බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය ලිනන් රෙද්දක කළ සිතුවමක් නොවන බවය. මෙය සිතුවමක් වේ නම් එය කළ චිත්‍ර ශිල්පියා ඉහතින් දැක්වූ රෙදිකඩෙහි වන විශේෂ ලක්ෂණ ගැන නොදැන එය කිසිඳු ඇද කුදයක් නැතිව නිර්මාණය කරනු ඇත. එසේම එය සිතුවමක් වේ නම්, මෙය ගින්නට භාජනයවීම, ජලයෙන් සේදීම හා බොහෝ ඉපැරණිබව නිසා දුර්වර්ණවීම, වර්ණ සේදීයාම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. අතීතයේ තිබූ ස්වභාවයෙන් ම තවමත් එය දිස්වේ. කෙසේ වුව ද, මේ පිළිබඳව වමත් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් බී. බී. සී. ආයතනයේ මාධ්‍යවේදිනියක් පැවසූවේ එය විසඳීමට අපහසු අභිරහසක් බවය.
(දෙවන ලිපිය මතුවට.....)                 



------------ වැඩි දුර අධ්‍යයන සටහන් -----------
(1) දැනට මේ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධ මතවාද ඇත. එහෙත් දැනට කර ඇති බොහෝ නවීන විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් සාධක හා සාක්ෂි වලට අනුව, එය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එතූ රෙදි කඩ බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම ය. 
(2) දොම් නිරංජන් විජේරත්න, සා.බෙ.නි., "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන පියවරුන්ගේ ප්‍රකාශන, අම්පිටිය, 2001, පිටු 1 හා 2 මෙතැන් සිට "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් " යනුවෙන් යෙදේ.
(3) Rev. Patrick O'Connell, B.D. & Rev. Charles Carty, "The Holy Shroud and Four Visions", Tan Books and Publishers, Inc., Rockford, Illinois, U.S.A., 1974, page 5. Hereafter The Holy Shroud and Four Visions.
(4) ගරු හර්බට් ටයිටස් රුද්‍රිගෝ, සා.බෙ.නි., "උත්ථානයට සාක්ෂි දෙන අසිරිමත් රෙදි කඩ ", ඥානාර්ථ ප්‍රදීපය, 
(5) The Holy Shroud and Four Visions, page 8. 
(6) The Holy Shroud and Four Visions, page 10
(7) අසිරිමත් සිරි සළුවෙන් බිඳක්, පිටුව 9
(8) The Holy Shroud and Four Visions, pages 11 - 12
(9) The Holy Shroud and Four Visions, page 13 
(10) Analysis of Blood Stains
The blood on the Sudarium has been identified as human, and as type AB. There is very little blood actually remaining on the shroud. It is degraded, and most of it has been replaced by bacteria and fungi. However, Dr Baima Ballone has analysed samples taken from the cloth with adhesive tape, and reported that the blood on the shroud is also type AB. Interestingly, type AB is quite rare in Europe and most of the world, at of the 3.2% of population. However it is quite common (18%) among Jews from Northern Palestine. If these stains are Jesus' blood, does that indicate that Jesus had a biological father? Well, not if you believe in the miracle of the virgin birth as presented in the Gospels. Apart from the Y sex chromosome, all of Jesus' genetic material would have come from his mother Mary. The gene for blood type is not on the Y chromosome, and therefore came from Mary, who also would have blood type AB.
For those who doubt that blood residue this old could yield the information above, consider the evidence of Dr. Gaza-Valdes of the University of Texas. In 1995 he released the results of a DNA analysis of shroud blood samples in his book "The DNA of God?" (read Further details). The PCR laboratory at his university tested for and identified three key genes. The betaglobin gene on chromosome 11 yielded a sequence of 268 base pairs. The first 80 of these are:
AGCCAAGGAC AGGT-CCAAT GTCATCACTT TCCTAAGCCA GTGCCA AGACCTCACC CTGTGGAGCC ACACCCTAGG GTTGGCCAAT CTACTCCCAG
Apart from the short underlined string above, all 268 base pairs matched the control (HUMHBB221) used for testing for this gene. Of course, there are always small differences when comparing DNA of different individuals. That is the whole basis of DNA identification. It would be interesting, wouldn't it, if further testing identified sequences unique to, or prevelant among, Jewish populations?
උපුටා ගැනීම The Shroud of Turin: Ultimate Physical Evidence of Jesus?
By Alan Marshall B.Sc.  –  20 October 2003
 
 

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර කතෝලිකයාට අකැපද?

සිංහල අළුත් අවුරුද්ද සිංහල හා ද්‍රවිඩ ජනතාව විසින් පවත්වනු ලබන ජාතික හා සංස්කෘතික උත්සවයකි. අපගේ ජාතික සිරිත් විරිත් හා ජාතික අනන්‍යතාවය ලොවට පෙන්නුම් කරන මෙවැනි මහෝත්සවයක් තවත් නොමැති තරම් ය. අප ලෝකයේ කොතැන ජීවත් වුවත්, කුමන තරාතිරමකට අයත් වුවත් සිංහල හා ද්‍රවිඩ වශයෙන් මෙම සිංහල අළුත් අවුරුද්ද සැමරීම තුළ අපගේ ජාතික සිරිත් විරිත් රැක ගන්නවා මෙන් ම ඒවා තුළින් ඉස්මතු වන සාරධර්ම ලොවට කියා දෙයි. එනිසා සිංහල හා ද්‍රවිඩ අළුත් අවුරුද්ද යන්න ජාතික වශයෙන් ඉතා වැදගත් වූවකි.
සිංහල කතෝලිකයන් බොහෝ දෙනා සිංහල අළුත් අවුරුද්ද සැමරීමට මැළිකමක් දක්වන බව පෙනේ. "අපි ඉතින් ආගමේ නේ", "අපි කතෝලික නිසා අපිට අවුරුදු නැහැ", යනුවෙන් හේතු පාඨ දක්වන හෙළ කතෝලිකයෝ එමට සිටිති. එහෙත් සිංහල අළුත් අවුරුද්ද යන්න ආගමික උත්සවයක් නොව ජාතික උත්සවයක් බව අප සිහි තබා ගත යුතුය. එනිසා ජාතියක් වශයෙන් එය සැමරීම අපගේ යුතුකමය. අපේ සිංහල ජාතික සිරිත් විරිත් කෙරෙහි දක්වන ඇල්මැරුණ ස්වභාවය නිසා ඇතැම් අන්තවාදී පුද්ගලයන් "ක්‍රිස්තියානිකාරයන්ට කිසිම ජාතික හැඟීමක් නැහැ" කියා අයුතු චෝදනා කරති. කතෝලිකයන් පරගැති ජන කණ්ඩායමක් ලෙසින් සලකති. එහෙත් ශ්‍රී ලාංකේය කතෝලිකයන් යනු, ආසියාවේ උපන් (ආසියාතිකයෙකු වූ) ජේසුස් වහන්සේව අනුගාමී වන, මෙරට ජාතික සටන් හා නිදහස් අරගල වල දී බෞද්ධ, හින්දු හා ඉස්ලාම් බැතිමතුන් සමග එකමුතු වී මූලිකත්වය ගෙන ක්‍රියා කළ පිරිසක් බව අවධාරණය කරමි. 
කිතුනුවන් බොහෝ දෙනෙකු සිංහල අළුත් අවුරුද්ද සැමරීමට මැළි වන්නේ ඔවුන් තුළ ඒ සම්බන්ධයෙන් පවතින අනවබෝධය නිසාය. මන්ද සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර සියල්ලම "නැකත් වේලාවන්" හා බැඳී තිබීම ය. "නැකත" යන්න නක්ෂත්‍රය හා බැඳුණු දෙයකි. නක්ෂත්‍රය ඇදහීම හා ඒ අනුව ක්‍රියා කිරීම දස පණතේ පළමු පණතට විරුද්ධ පවකි. එහෙත් කතෝලික අප සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වල දී "නැකත" යන්න ගත යුත්තේ "දේව මොහොත" (ග්‍රීක බසින් "Kairos") යන අදහස ඇතිවය. "........මාගේ මොහොත තවම පැමිණ නැත" (ජොහාන් 2 : 4) යනුවෙන් කානා නුවර දී ජේසුස් වහන්සේ තම මෑණියන්ට වදාළ සේක. "නැකත" යනු "යමක් කිරීමට සුදුසු වෙලාව" ය. "දේව මොහොත" හෙවත් "මොහොරත" යන්න, දෙවියන් වහන්සේගේ මහිමය හා ප්‍රශංසාව පිණිස ශුද්ධාත්ම මෙහෙයවීම මත යහපත් කාර්යයක යෙදීමට නියමිත කාලය ය. එනිසා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වලට කිතුනු මුහුණුවරක් දෙමින් දේව වචනය හා යාච්ඤාව මුල් කරගෙන පැවැත්වීම තුළින් කිසිඳු ආකාරයකින් දේව පණතක් කඩ නොවේ. තවද, "වෙලාවට වැඩ කිරීම" මිනිස් අපට ඉතා වැදගත් දෙයකි. එමගින් කිතුනුවා කාලයේ ස්වාමියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසාව ගෙන දෙයි. කාලය ඉතා වැදගත් දෙයකි. ජාතියක් වශයෙන් අප සියලු දෙනා එකම වෙලාවකට එකම දෙයක් කරන්නේ සිංහල අළුත් අවුරුද්දේ ය. එය ජාතික සමගිය, එකමුතුකම හා එක්සත්භාවය ලොවට පෙන්නුම් කරන්නකි. 
ජාතික සිරිත් විරිත් හා සංස්කෘතිකාංග කතෝලික ජනවන්දනාවට නිවැරදි හා සුදුසු ලෙස යොදා ගැනීමට විශ්ව කතෝලික සභාව දේශීය කතෝලික සභාවන්ට අවසර දී ඇත. වතිකානයේ විශ්වාසය ප්‍රවර්ධන සංසදය විසින් ක්‍රිස්තු වර්ෂ 1659 දී සියලුම (මිෂනාරී) ධර්මදූතවරුන් වෙත යැවූ නිර්දේශයකට අනුව, "ඒ ඒ රටවල පවතින සිරිත් විරිත් හැසිරීම් රටා සහ පුරුදු වාරිත්‍ර නියත වශයෙන් කතෝලික අභිධර්මයට (Catholic Dogma) හා කිතුනු සදාචාරයට (Catholic Morals) පටහැනි නොවන්නේ නම්, ඒවාට කිසිඳු හානියක් නොකර යොදා ගැනීමේ හැකියාව" අවධාරණය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1965 දෙසැම්බර් 7 දිනැති කතෝලික සභාවේ ධර්මදූතික ක්‍රියාකාරීත්වය පිළිබඳ දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශනය (Ad Gentes Divinitus) අංක 22 හි දැක්වෙන ආකාරයට, "තමන් අයිති ජාතීන්ගේ සිරිත් විරිත් වලින් හා සම්ප්‍රදායයන්ගෙන් ද ඔවුන්ගේ (එම ජාතීන්ගේ) ප්‍රඥාවෙන් හා පාණ්ඩිත්‍යයෙන් ද ඔවුන්ගේ කලාවන්ගෙන් හා විද්‍යාවන්ගෙන් ද නව කිතුනු සභාවන් (විවිධ රටවල පැතිරී ඇති දේශීය කතෝලික සභා) මැවුම්කරුවාණන්ගේ දේව මහිමය ප්‍රකාශ කිරීමට ගැළවුම්කරුවාණන්ගේ වරප්‍රසාද බෙදා දීමට හා කිතුනු ජීවිතය නිසි ලෙස සකස් කර ගැනීමට අවශ්‍ය දේවල් සොයා ගන්නා බව" පෙන්වා දෙයි. මේ අනුව අපට පෙනී යන්නේ, අපගේ පරම සත්‍ය ක්‍රිස්තියානි ඇදහිල්ල විකෘති හා හානි නොකරන, අපගේ කිතුනු සාරධර්ම වඩාත් ඉස්මතු කරන දේශීය චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිකාංග ක්‍රිස්තියානි මුහුණුවරකින් අනුගමනය කිරීමේ වරදක් හෝ පාපයක් නොමැති බවය.
කිතුනුවා සිංහල අළුත් අවුරුද්ද සැමරීමේ දී විශේෂයෙන් මතකයේ තබා ගත යුතු අති වැදගත් කරුණ හා නීතිය වන්නේ, දේශීය චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිකාංග වලට කිතුනු මුහුණුවරක් ලබා දීමය. එනම්, "ක්‍රිස්තියානිකම" යන පදනම මත සිට ඒවා පැවැත්වීම හා අනුගමනය කිරීම ය. එසේ නොකර හුදු චාරිත්‍රයට වාරිත්‍රයට පමණක් මුල් තැන දුනහොත් එය දේව පණත සම්බන්ධ ගැටලුවක් වනු ඇත. සිංහල හා දමිල අළුත් අවුරුදු චාරිත්‍ර සියල්ල ම සකස් වී තිබෙන්නේ බෞද්ධ හා හින්දු ආගම් පදනම් කොට ගෙනය. එනිසා අප කළ යුත්තේ එම චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායයන් පැවැත්වීමේ දී ඒවා ක්‍රිස්තියානි ධර්මයට අනුකූල කර ගැනීමය. ඒවාට ක්‍රිස්තියානි වටිනාකම් කා වැද්දවීම ය. 
සිංහල අළුත් අවුරුද්ද හා එහි චාරිත්‍ර වාරිත්‍ර තුළින් ප්‍රකාශ වන වටිනාකම් මගින් ක්‍රිස්තියානි ධර්මයේ හා සුභාරංචියේ වටිනාකම් වඩාත් ඉස්මතු කර පෙන්වයි. (සියලු අමනාපකම් අමතක කර) සමාව දීම, (වැරදි නිවැරදි කර ගැනීම හෙවත්) මනස්ස්ථාපනය, එකිනෙකාව සුහුද සිතින් පිළිගැනීම, (ආහාරපාන යනාදිය) බෙදාගැනීම, (එකම ආහාරපාන අනුභව කරමින්) එකමුතු සහෝදරත්වයකින් හැසිරීම, ගනුදෙනු කිරීම මගින් අනු අය සමග සම්බන්ධතා තහවුරු කර ගැනීම, පුණ්‍ය කාලය තුළ තම ආගමික වතාවත් වල යෙදීම වැනි ජාතික සිරිත් විරිත් සුභාරංචිය තුළ කියවෙන ක්‍රිස්තු වටිනාකම් වෙති. මෙම ක්‍රිස්තු වටිනාකම් ක්‍රියාවට නැංවීම එක් දිනකට පමණක් සීමා වූවක් නොවිය යුතු වුවද සිංහල අළුත් අවුරුද්ද තුළ එය ජාතික ප්‍රතිපදාවන් ලෙසින් ලොවට පෙන්වයි. 
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර ක්‍රිස්තුකරණය කිරීම
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට අප ක්‍රිස්තියානි මුහුණවරක් දෙන්නේ කෙසේද? අවුරුදු චාරිත්‍ර කිතුනු ඇහිල්ලට පටහැනි නොවී කිතුනු ලීලාවෙන් සමරන්නේ කෙසේද? මෙහිදී කිතුනුවාට වැදගත් වන උපකරණ හතරක් තිබේ. එනම්, 
  1. ශුද්ධ බයිබලය
  2. යාච්ඤාව
  3. පාස්කු ඉටි පහන
  4. ආසිරි පැන්
යනාදිය වෙති. 
ලිප් ගිනි මෙළවීම
සිංහල අළුත් අවුරුදු චාරිත්‍රය පටන් ගන්නේ, ලිප් ගිනි මෙළවීමේ චාරිත්‍රය මගිනි. "ගින්දර" යන්න මානව ශිෂ්ඨාචාරය ශිෂ්ඨ සම්පන්න කිරීමට බලපෑ සාධකයයි. ශුද්ධ බයිබලය තුළ "ගින්දර" යන්න දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තකමේ සංඛේතය යි.(1) ආලේලුයියා සෙනසුරාදා දින රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයේ දී ගින්දර ආසිරි ගන්වයි. අපගේ නිවෙස් වල හා දේවස්ථාන වල පහන් හා ඉටි පහන් ගින්නෙන් දැල්වේ. පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණන් අපෝස්තුළුවරුන් වෙත වැඩම කළේ ද ගිනි දිව් ආකාරයෙනි. එනිසා කිතුනු ඇසින් බලන කල ගින්දර යන්න වඩාත් වැදගත් වන්නේ කිතු දහමටය. ඒ අනුව සිංහල අළුත් අවුරුද්දේ ලිප් ගිනි මෙළවීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා කිතුනු නිවෙස් වල ඇති පාස්කු ඉටි පන්දම(2) යොදා ගැනීම වඩාත් උචිත ය. 
පළමුව දැල්විය යුත්තේ පාස්කු ඉටි පහනය. මව පාස්කු ඉටි පහනෙන් ලිප් ගිනි මොළවන අතර නිවසේ පියා හෝ වැඩිමහල් තැනැත්තා අන් අය සමගින් එක්වී කුඩා යැදුමක් කිව හැකිය. එසේම ආසිරි පැන් ස්වල්පයක් කිරිබත් මුට්ටියට දැමීම සුදුසුය. එමගින් එම ආහාරයට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කෙරේ. ආහාර අනුභවය අවසන් වනතුරු  පාස්කු ඉටි පහන නොනිවී දැල්විය යුතුය. එය කෑම මේසය මත දැල්වෙමින් තිබිය යුතුය. මේ මගින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ බලය හා ශුද්ධාත්මානුභාවය නව වසර පුරා එම නිවසටත් එහි වැසියන්ටත් රටවාසීන්ටත් නොඅඩුව ලැබීම ප්‍රාර්ථනය කෙරේ. 
ආහාර අනුභවය  
එකමුතු ආහාරය නිවසේ සමගිය,ප්‍රේමය, සහෝදරත්වය සංඛේතවත් කරයි. එකම ආහාරපාන බෙදාගැනීම මගින් පවුල තුළ ප්‍රීතිය හා එකමුතුකම ඇතිවේ. ජේසුස් වහන්සේ ද විවිධ අවස්ථා වල දී එකල මිනිසුන් සමග ආහාරපාන අනුභව කළ සේක. අන්තිම රාත්‍රී භෝජනයේ දී රොටි හා මිදි යුෂ කුසලාන තම ගෝලයන්ට බෙදා දුන් සේක (ලූක් 22 : 14 - 20). එම පිළිවෙත අප මතකයට නංවා ගනිමින් සිංහල අළුත් අවුරුදු මේසයට සහභාගි විය හැකිය. ඉන්පසුව භෝජන ආශිර්වාදය (Prayer Before Meals) නමැති යාච්ඤාව හෝ තමන් නිර්මාණය කළ කෙටි යැදුමක් එහිදී උච්චාරණය කළ හැකිය. ආහාරපාන මත ආසිරි පැන් ඉසීම යාච්ඤාවෙන් අනතුරුව කළ හැකිය. කිරිබත් අනුභවය සිදු විය යුත්තේ ඉන් අනතුරුවය. කෑම මේසය මත කුරුසියක් හෝ ආගමික පින්තූරයක් හෝ ප්‍රතිමාවක් තැබිය හැකිය. එහෙත් දල්වන ලද පාස්කු ඉටි පහන හා ශුද්ධ බයිබලය නම් අනිවාර්යයෙන් ම කෑම මේසය මත තිබිය යුතුය.
ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීම  
ගනුදෙනු කිරීමේ චාරිත්‍රය විවිධ ආකාරයෙන් සිදු කරනු දැකිය හැකිය. ගම්බද පළාත් වල ගෘහණියන් තමන් ජලය ලබා ගන්නා ළිඳට පිරිසිඳු කළ කාසියක් දමා අළුත් කලයකට ජලය ගෙන වසරක් පුරා එය තබා ගනිති. ව්‍යාපාරික ජනතාව තම ගනුදෙනුකරුවන් සමග මෙම කාර්යයෙහි නිරත වෙති. එහෙත් කිතුනුවා ගනුදෙනු කළ යුත්තේ දෙවියන් වහන්සේ සමගය. කලින් පිරිසිඳු කර ගත් කාසියක් ආසිරි පැනින් ආශිර්වාදකර එය තමන්ගේ නිවසේ යාච්ඤා ස්ථානයේ තබා පසුව දේවස්ථානයේ පඬුරු පෙට්ටියට දැමීම කළ හැකිය. ඇතැම් අය ගනුදෙනු කිරීමෙන් පසුව මන්නයක් වැනි කැපෙන උපකරණයකින් කොස් වැනි කිරි ගසකට කොටති. කිතුනුවා ට ගැළවීම උදා කර දුන් ජීවනයේ ගස කුරුසියයි. ඔබගේ කෑම මේසය මත තැබූ කුරුසිය අතිනත යවමින් සිපාචාර කිරීම හොඳම ක්‍රියාවකි. (එය රූප වන්දනාවක් නොවේ. ඊට ගරු කිරීමක් පමණි.) එසේ කිරීමේ දී රූප වැඳීමක් නොවන පරිද්දෙන් අදෘශ්‍යමානව අප අතර වැඩ සිටින උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ අපට ගැළවීම ගෙන දුන් කුරුසියට කරන ගෞරවය පිළිබඳ හැඟීමෙන් එය කළ යුතුව ඇත. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයට
කළ හැකි සුදුසුම ක්‍රියාව වන්නේ, දේව වචනය කියවීමය. අවස්ථාවට ගැළපෙන හා තමන් කැමති දේව වාක්‍ය කොටසක් වේලාසනින් තෝරා තබාගෙන සිට ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමේ චාරිත්‍රයෙන් පසුව එම බයිබල් පාඨ කොටස කියවා එය යැදුමක් බවට පරිවර්තනය කර ගත හැකිය. දේව වචනය පෙරදැරි කර ගත් ශුද්ධාත්ම ගමනක යෙදෙන්නට අවශ්‍ය දේව බලය හා මෙහෙයවීම පවුල තුළට ප්‍රාර්ථනය කර ගන්න. 
හිස තෙල් ගැල්වීම
මෙම අවුරුදු පිළිවෙත ඉටු කිරීමට තිබෙන වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මා දකින්නේ දේවස්ථානයයි. පූජාප්‍රසාදිතුමා දේව වාක්‍ය පිළිවෙතක් පවත්වා ශුද්ධ වූ තෛලයෙන් බැතිමතුන් කුරුසියේ ලකුණින් ආලේප කළ හැකිය. (ඇතැම් දේවස්ථාන වල මෙම පිළිවෙත සිදු කරයි.) දේවස්ථානයකට යාමට අවස්ථාව නොමැති විටක කිතුනුවෙකුට පාස්කු ඉටි පහන දල්වා 1 සාමුවෙල් 16 : 13 කියවා යාච්ඤා කිරීමෙන් පසුව තමන් නිවසේ යාච්ඤා කරන ස්ථානයේ දල්වන පොල්තෙල් පහනේ තෙල් වලින් ස්වල්පයක් ගෙන කුරුසියේ ලකුණින් හිස ගැල්විය හැකිය. එමගින් දෙවියන් වහන්සේට තම කැපවීම තහවුරු කර, ශුද්ධාත්ම බලය හා මග පෙන්වීම තම ජීවිතයට ප්‍රාර්ථනය කළ හැකිය. දේව වරප්‍රසාද තම දිවියට ළඟා වේ.                    
මේ ආකාරයට  ශ්‍රී ලාංකේය කිතුනුවන් වශයෙන් අප රටේ සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට කිතුනු මුහුණවරක් හා වටිනාකමක් ලබා දීමෙන් ඒවා වඩාත් අර්ථවත්ව හා ක්‍රිස්තියානි ඉගැන්වීම් වලට ගැළපෙන අයුරින් කළ හැකි වේ. එමගින් අපගේ ඉපැරණි ජාතික සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීමට ද හැකිවේ. එහෙත් ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට සිංහල අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සුදුසු කිතුනු වත් පිළිවෙතක් සැකසීමේ ශාසනික අවශ්‍යතාවයක් ඇත. එවැනි අවස්ථා වලදී ගැයීමට සුදුසු ගීතිකා, කීමට සුදුසු යාච්ඤා යනාදිය සකස් කිරීමත්, කියවීමට සුදුසු බයිබල් වගන්ති මාලාවක් පිළිබඳව සොයා බැලීමත් අවශ්‍යය. කතෝලික ජනවන්දනාව දේශානුරූපීකරණය කිරීමට කැමැත්තක් දක්වන හා උනන්දු වන අය මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඉතා අගනේ ය.



 ----------- වැඩිදුර සටහන් ----------
(1)"......තවද ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක." - උත්පත්ති 3 : 24b
"තවද ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නගින උඳුනක් ද දිළිසෙන ගිනි හුළක් ද පෙනේ." - උත්පත්ති 15 : 17
"එවිට සමිඳණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස් වූ සේක." - උත්පත්ති 19 , 24
"සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට (මෝසස්ට) දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නේ ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දිටීය." - නික්මයාම 3 : 2
"තවද දවල් කාලයේ දී වලා ටැඹ ද රාත්‍රී කාලයේ දී ගිනි ටැඹ ද සෙනඟ ඉදිරියෙන් පහ නොවීය." - නික්මයාම 13 : 22
"කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය." - ද්විතීය නීති සංග්‍රහය 5 : 22
"එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, එය මාගේ මුඛයෙහි තවරා, 'මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය' යි කී ය." - යෙසායා 6 : 6 - 7
"සමිඳුන්ගේ කටහඬ ගිනි දළු බෙදා ලයි." - ගීතාවලිය 29 : 7
"ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක." - යෙසායා 10 : 17
"එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක." - ලූක් 3 : 16d
"පොළොව මත ගිනි ලන්ට ආවෙමි; ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද!" - ලූක් 12 : 49
"ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි." - ක්‍රියා 2 : 3         
(2) පාස්කු ඉටි පහන උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ සංඛේතයයි. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය ය.

ජේසුස් වහන්ස්ගේ උත්ථානය - ඍජු බයිබලීය විමසුමක්


ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ගල්ලෙනක තැන්පත් කළ ජුදෙව් නායක පූජකවරුන්, ප්‍රජා මූලිකයන් හා හේවායන් තමන් මහා කරදරයකින් මිදුණේ යැයි සිතූහ. තමන්ට අභියෝගයක් වන කිසිම කෙනෙකුට යහතින් ජීවත් වීමට ඉඩක් නුදුන් නායක පූජකවරුන් ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානමින් සිටියහ. කුරුස ගසේ එල්ලා තමන් දෑස් ඉදිරිපට මරණයට පත් වූ මිනිසා ඊට දින තුනකට පසුව නැවත ජීවත්වන බව අසන්ට ලැබීම මොන තරම් පුදුමයක්ද? මරණයට පත් වූ කිසිවෙකු මළවුන්ගෙන් නැගිට සිටි බවක් ඔවුන් ඊට පෙර අසා නොතිබුණි. පරිසිවරුන් මරණින් පසු ජීවිතයක් ගැන විශ්වාස කළත්, එවැනි අත්දැකීමක් ඔවුන්ට නොවීය. ජේසුස් වහන්සේගේ උත්ථානය ආගමික නායකයන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවට විශේෂයෙන් ජේසුස් වහන්සේගේ ගෝලයන්ට පවා පුදුමය හා සැකය ඇති කරවන පුහේළිකාවක් විය. තෝමස් නමැති ශ්‍රාවකයා ජේසුස් වහන්සේගේ තුවාල ස්පර්ශ කිරීමට අවශ්‍ය බව කීවේ එනිසා ය. එහෙත් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්ථානයේ දර්ශනයවීම්, ස්වර්ගාරෝහණය හා ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම (ශුද්ධාත්ම ආගමනය) තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානය මිථ්‍යාවක් නොව, සැබෑවක් බවත්, උන් වහන්සේ අවතාරයක් නොව සැබවින් ම ජීවමානව වැඩ සිටින බවත් අවබෝධ කරගෙන ඊට සාක්ෂි දැරීමට යොමු වූහ.

ජේසුස් වහන්සේ මරණයට පත් වූ පසුව ඔවුන් වහන්සේ පාතාලයට (ශියොලය - මළවුන් සැතපී සිටින ස්ථානය පිළිබඳ හේබ්‍රෙව් සංකල්පය) වැඩම කළ බව අපගේ විශ්වාස ලක්ෂණයේ දැක්වේ. එතැනට වැඩම කිරීමට හේතුව ක්‍රිස්තුස් වහන්සේ (​මෙසියස්) මගින් හිමිවන ගැළවීම බලාපොරොත්තුවෙන් සිටි (ජේසුස් වහන්සේට පෙර යහපත් ජීවිත ගත කර මරණයට පත් වූ) අයගේ ආත්ම ගළවා ගැනීමට ය. ජේසුස් වහන්සේව මළවුන් කෙරෙන් උත්ථාන කළේ දෙවියන් වහන්සේ ය. 'තුන් වෙනිදා මළවුන් කෙරෙන් උත්ථානවීම' යනුවෙන් සඳහන් වන්නේ ශ්‍රාවකයන් ජේසුස් වහන්සේගේ උත්ථානය අත්දුටුවේ එතුමන්ගේ මරණයෙන් තෙදිනකට පසුව නිසාය.
ජේසුස් වහන්සේගේ උත්ථානය බයිබල් විශාරදයන් අතර විවාදයට හේතු වූවකි. ජේසුස් වහන්සේගේ උත්ථානය සම්බන්ධව ශුද්ධ බයිබලයේ සඳහන් කරුණු පදනම් කරගෙන බයිබල් විශාරදයන් විවිධ අදහස් පළ කරති. මින් ප්‍රධාන මතවාද දෙකක් නම්,
  1. නාසරෙත් හි ජීවත් වූ ඓතිහාසික ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කිසිම කුණු වීමකට හෝ දිරා පත්වීමකට පත් නොවී, මහා බලවත් තත්ත්වයකින් නොදිරන සුළු, අමරණීය ස්වභාවයකින් නැවත ප්‍රාණවත් ව නැගිට සිටි බව. එනම්, ඔවුන් වහන්සේ ශාරීරිකවත් ආධ්‍යාත්මිකවත් (ප්‍රාණ ශරීර පිටින්) නැගිට සිටි බව. 
  2.  ඓතිහාසික නාසරෙත් හි ජේසුස් වහන්සේගේ ශරීරය සොහොන් ලෙන තුළ දිරාපත් ව ගිය නමුත්, මළවුන්ගෙන් නැගිට සිටියේ ආධ්‍යාත්මික ශරීරය බව. එනිසා ඔවුන් වහන්සේ උත්ථාන වූයේ ශුද්ධ වූ සභාව තුළට ය. 
කෙසේ වුවත් කතෝලික සභාවේ පිළිගැනීම, පරම විශ්වාසය හා පරම්පරාගත සත්‍ය ඉගැන්වීම වනුයේ, ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කුණු නොවී, දිරාපත් නොවී ප්‍රාණ ශරීර පිටින් ඔවුන් වහන්සේ උත්ථානයට පත් වූ බවය. 

ඉතාලියේ ටියුරින් නුවර තැන්පත් කර ඇති, ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය වෙළන ලදැයි සැලකෙන හණ රෙදි සළුව පසු කලෙක අන්තර්ජාතික විද්‍යාඥයන් 44 දෙනෙකු විසින් නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කරන ලදි. එම පරීක්ෂණ වල දී හෙළි වූ විද්‍යාත්මක තොරතුරු හා සාක්ෂි වලට අනුව, එහි මිනිසෙකුගේ නෙගටිව් (Negative) රූපයක් සටහන්ව ඇති බවත්, එහි තැවරී ඇති ලේ පැල්ලම් ගැඹුරට උරා බී ඇති ඒ බී පොසිටිව් (AB Positive) වර්ගයට අයත් බවත් හෙළිදරව් වී ඇත. තවද,
එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් ඡායාව කුණු දූවිලි සහිත පැල්ලමක් නොව, එය එතීමට ලක් වූ පුද්ගලයාගේ (ජේසුස් වහන්සේගේ) ශරීරයෙන් නිකුත් වූ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ බැබළුණ අධි බලැති කිරණකින් හා ආලෝක ධාරාවකින් (X - Ray or Auto X - Radiation) ඇති වූවක් බව ද සනාථ කර ඇත. 
එසේම, මෙම ​සළුවෙහි සඳහන් නෙගටිව් ඡායා සටහන අනුව, මැරුණ පුද්ගලයාගේ ශරීරය සළුව ලෙහා හෝ ගළවා හෝ ඉවතට නොගෙන ඇති බවත්, එය කිසියම් වාෂ්ප වීමකට හෝ ප්‍රබල ආලෝක කිරණකට හැරී සළුව තුළින් පිට වී ගොස් තිබෙන බවත් සනාථ වී ඇත. මෙය ජේ​සුස් වහන්සේගේ උත්ථානය සම්බන්ධයෙන් අපට තිබෙන එක්තරා සාක්ෂියක් බඳුය. ​


නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව ඉදිරිපත් වන කරුණු විමසා බැලීමේ දී එය ප්‍රධාන සාධක හතරක් යටතේ දැක්විය හැකිය.
  • ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වූ බවට වන මුල් කිතුනු සභාවේ පරම සත්‍ය විශ්වාසය -
මේ පිළිබඳව ශුද්ධ වූ පාවුළු තුමා කරන ඉගැන්වීම වනුයේ,
"මා ඔබට බාර දුන්නේ මා ලබා ගත් දෙයම බව ප්‍රධාන කොට කිව යුතුය. එනම්, ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිල්ල ප්‍රකාර තුන් වෙනිදා උත්ථාන කරනු ලැබූ බවත්, කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත්," (1 කොරින්ති 15 : 3 - 5)
යන්න ය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ධර්මය හා සුභාරංචිය රට පුරා පැතිරී යාමටත්, එය ජුදෙව් සමාජය තුළ රැව් පිළිරැව් දීමටත්, බියෙන් සැඟවී සිටි අපෝස්තුළුවරුන් සේනාකුළු ශාලාවේ එක්රැස් වී පේදුරු තුමාගේ ප්‍රධානත්වයෙන් ජේසුස් වහන්සේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් බලපෑ ප්‍රධාන කරුණ වූයේ ක්‍රිස්තු උත්ථානය පිළිබඳ මෙම පරම සත්‍ය විශ්වාසයයි. එම විශ්වාසය ඔවුන්ගේ ජීවිත වල කිසියම් ආධ්‍යාත්මික පරිවර්තනයක් ඈති කිරීමටත්, ධර්මදූත සේවය කෙරෙහි යොමු කරවීමටත් බලපෑවේය.
  • ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසුව සිදු වූ විවිධ දර්ශනයවීම් -
    ජේසුස් වහන්සේ උත්ථානයෙන් පසුව අවස්ථා කිහිපයක දී විවිධ පුද්ගලයන්ට දර්ශන වූ සේක. මෙම දර්ශනයවීම් හේතුවෙන් ඔවුන් ජේසුස් වහන්සේ අවතාරයක් හෝ අශුද්ධාත්මයක් හෝ නොව, ජීවමාන තැනැන් වහන්සේ බව අවබෝධ කර ගත්හ. එසේම ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබෙන ජේසුස් වහන්සේ පිළිබඳ සියලු දිවැස්වැකි ඔවුන් වහන්සේ තුළ සම්පූර්ණත්වයට පත් වන බව තේරුම් ගත්හ. ඔවුන් තුළ තිබූ බිය සැකය හා අවිශ්වාසය දුරු වී ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දැරීමට ​ධෛර්යයමත් වූහ. ​නව ගිවිසුමේ සඳහන් වන මෙම උත්ථානයේ දර්ශනවීම් නම්,
    1. එම්මාවුස් ගමට ගිය ගෝලයන් දෙදෙනෙකුට දර්ශනය වීම (ලූක් 24 : 13 - 35/ මාර්ක් 16 : 12 - 13)
    2. ශ්‍රාවකයන් පිරිසකට දර්ශනය වීම - ( ලූක් 24 : 36 - 49/ ජොහාන් 20 : 19 - 23)
    3. මග්දලායේ මරියාට දර්ශනය වීම - (මාර්ක් 16 : 9 - 11/ ජොහාන් 20 : 11 - 18)
    4. තෝමස් නමැති ශ්‍රාවකයාට දර්ශනය වීම - (ජොහාන් 20 , 24 - 29)
    5. ශ්‍රාවකයන් සත් දෙනෙකුට දර්ශනය වීම - (ජොහාන් 21 : 1 - 14)
    6. පන්සියයකට වඩා වැඩි පිරිසකට එක වර දර්ශනය වීම - (1 කොරින්ති 15 : 6)
    7. ජාකොබ්ට හා සියලු අපෝස්තුළුවරුන්ට දර්ශනය වීම - (1 කොරින්ති 15 : 7)
    8. පාවුළු තුමාට දර්ශනය වීම - (1කොරින්ති 15 : 8/ ක්‍රියා 9 : 1 - 19)
    • හිස් වූ සොහොන පිළිබඳ වාර්තා - 
    ජේසුස් වහන්සේ තැන්පත් කළ සොහොන් ලෙන පිළිබඳ වාර්තා සකස් වූයේ, සුභාරංචි පොත් ලියවෙන අවධියේ දී ය. දින කිහිපයක් ගත වන තුරු සෙහොන් ගෙයක තැබූ මෘත ශරීරයක් සුවඳ විලේපන වලින් ආලේප කිරීමේ චාරිත්‍රය එකල ජුදෙව් සමාජයේ දක්නට ලැබුණ සාමාන්‍ය සිරිතකි. ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ද ගල්ලෙන තුළ කුණු වී දිරාපත් වෙමින් පවතින්නේ යැයි සිතූ ස්ත්‍රීන් සබත් දිනය අවසන් වී නව සතියක් උදා වන දින හිමිදිරි උදයේ සොහොන් ලෙන වෙත ඇදී ආවේ එම චාරිත්‍රය ඉටු කිරීම සඳහා ය. එහෙත් එහි දොරටුව විවෘත වී තිබෙනු දැකීම ඔවුන් පුදුමයට පත් කරවීය. එම ගල් දොරටුව විවෘත කිරීමට අවම වශයෙන් ශක්තිමත් පිරිමි තිදෙනෙකුවත් අවශ්‍ය ය. "අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් ද?"යි (මාර්ක් 15 : 3) එහි ගිය ස්ත්‍රීන් කතා වෙමින් ගියේ එනිසා ය. ජේසුස් වහන්සේගේ මෘත ශරීරය ගල්ලෙන තුළ නොමැති බව ඔවුන් අත්දුටුහ. ලූක් 24 : 12 ට අනුව පේදුරු තුමා පමණක් ද, ජොහාන් 20 : 3 - 8 අනුව පේදුරු තුමා හා අනික් ශ්‍රාවකයා ද (ප්‍රේමවන්ත ශ්‍රාවකයා - ජොහාන් යැයි මතයක් ඇත) සොහොන් ලෙන වෙත දිව ගොස් එය පරීක්ෂා කර බලා එය හිස් ව ඇති බව දුටුවෝ ය.
    හිස් වූ සොහොන් ලෙන පිළිබඳ වාර්තාව සුභාරංචි පොත් සතරේම දැකිය හැකිය. එහෙත් එම වාර්තා එකින් එක විමසා බැලීමේ දී පෙනී යන්නේ එම වාර්තා එකිනෙකෙහි වෙනස්කම් තිබෙන බවය. මෙම වෙනස්කම් වලින් කිහිපයක් පහතින් දැක්වේ.
    • සොහොන් ගෙය වෙත ගිය ස්ත්‍රීන් සංඛ්‍යාවේ හා ඔවුන්ගේ නාම ලැයිස්තුවේ පවතින වෙනස්කම් - එනම්, සොහොන් ලෙන වෙත ගිය ස්ත්‍රීන් වනාහී, මතෙව් 28 : 1 අනුව මග්දලායේ මරියා හා අනෙක් මරියා යන ස්ත්‍රීන් දෙදෙනා බවද, මාර්ක් 16 : 1 අනුව මග්දලාවේ මරියා, ජාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි යන ස්ත්‍රීන් තිදෙනා බව ද, ලූක් 24 : 10 අනුව මග්දලාවේ මරියා, ජොවන්නා හා ජාකොබ්ගේ මව වූ මරියා යන ස්ත්‍රීන් තිදෙනා බව ද, ජොහාන් 20 : 1 අනුව මග්දලාවේ මරියා පමණක් බව ද දක්වා ඇත.

    • සොහොන් ලෙනෙහි දොරටුව විවෘත වීම පිළිබඳ විස්තරයේ වෙනස - මතෙව් 28 : 2 - 7 අනුව ස්ත්‍රීන් සොහොන් ලෙන වෙත යන විට මහා භූමිකම්පාවක් සිදුවී ස්වර්ගයෙන් පහළ වූ දේවදූතයෙක් සොහොන් ගල ඉවතට පෙරළා ඒ මත වාඩි වී ස්ත්‍රීන්ට ජේසුස් වහන්සේගේ උත්ථානයේ පුවත දැනුම් දුන් බව ද, මාර්ක් 16 : 4 - 7 අනුව සොහොනේ දොර විවෘතව තිබූ අතර ස්ත්‍රීන් ඒ තුළට ගිය කල එහි සිටි දේවදූතයෙකු ජේසුස් වහන්සේගේ උත්ථානය දැනුම් දුන් බව ද, ලූක් 24 : 1 - 9 අනුව සොහොන් ලෙන විවෘත තිබූ අතර කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ (දේවදූතයන්) දෙදෙනෙකු ජේසුස් වහන්සේගේ උත්ථානය දැනුම් දුන් බව ද, ජොහාන් 20 : 1 අනුව සොහොනේ ගල ඉවත් කර තිබූ අතර ජේසුස් වහන්සේගේ ශරීරය එහි නොවූ බව මග්දලාවේ මරියා දුටු බව ද සඳහන් ව ඇත.

    • ජේසුස්  වහන්සේ ස්ත්‍රීන්ට දර්ශනය වීම පිළිබඳ දැක්වෙන වාර්තාවේ වෙනස්කම් -





      මතෙව් 28 : 8 - 9 හා ජොහාන් 20 : 11 - 17 අනුව ජේසුස් වහන්සේ සොහොන් ගෙය අසල දී ස්ත්‍රීන්ට දර්ශනය වී තම උත්ථානය ගැන ප්‍රකාශ කළ සේක. අනෙක් සුභාරංචි දෙකෙහි එවැනි වාර්තාවක් නැත.
    • ‍සොහොන් ගෙය වෙත දිව ගිය ශ්‍රාවකයන් පිළිබඳ වාර්තාව - ජේසුස් වහන්සේගේ සොහොන් ලෙන හිස්ව ඇති බව අසා ඒ ‍වෙත දිව ගොස් පරීක්ෂා කර බැලූ ශ්‍රාවකයන් ගැන සඳහන් කරන්නේ ලූක් හා ජොහාන් පමණි. ලූක් 24 : 12 ට අනුව ඒ පේදුරු තුමා පමණි. ජොහාන් 20 : 3 - 8 අනුව පේදුරු හා අනික් ශ්‍රාවකයා ය.

    • සොහොන් ගෙය අසල දී දර්ශනය වූ දේවදූතයන් ස්ත්‍රීන්ට පැවසූ දේ හා කරන්නට අණ කළ දේ අතර වෙනස්කම් - මතෙව් 28 : 7 හා මාර්ක් 16 : 6 - 7 අනුව උත්ථාන වූ ජේසුස් වහන්සේව ගලීලයේ දී හමුවිය හැකි බවට උපදෙස් දෙයි. ලූක් හා ජොහාන් යන සුභාරංචි පොත් වල එවැනි උපදෙසක් නොමැත.(1) 
    සුභාරංචි පොත් හතරටම පොදු වූ විශේෂ කාන්තා චරිතය වන්නේ, මග්දලාවේ මරියා ය. එයට හේතුව ඇය ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවය තුළ විශේෂ උපස්ථානයන් කළ ඔවුන් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තිබූ තැනැත්තියක් වීමය. මතෙව් 27 : 56 හා මාර්ක් 15 : 47 අනුව ජේසුස් වහන්සේ ව තැන්පත් කළ සොහොන් ගෙය ඇති තැන හොඳින් බලා ගත්තේ ද ඇයයි. එසේම ජේසුස් වහන්සේගේ උත්ථානයේ පණිවුඩය ලෝකය වෙත රැගෙන ගිය පළමු ධර්මදූතවරිය ද ඇයයි. ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයන්ට ප්‍රථමයෙන් ස්ත්‍රීන්ට දර්ශනය වූයේ ඇයි? ඔවුන් සොහොන් ලෙන වෙත පළමුවෙන් ගිය පිරිස වූ නිසාත් ඔවුන් තුළ වූ ශ්‍රද්ධාව (ඇදහිල්ල) නිසාත් ය. ස්ත්‍රී පක්ෂයට සුදුසු තැනක් නොවූ ජුදෙව් සමාජයේ, ක්‍රිස්තියානි ලෝකය තුළ ඇයට හිමි විය යුතු ගෞරවාන්විත තැන හා ඇයට කළ හැකි දහම් සේවාවේ උතුම් බව ‍මින් පෙන්නුම් කරයි.
    • ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වූ බවට අපෝස්තුළුවරුන් කළ විවිධ දේශනා -
    මෙම දේශනා ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. එය පහතින් දැක්වේ. එනම්, පේදුරු තුමා කළ දේශනා හා පාවුළු තුමා තම සිත් හැරීමෙන් පසුව කිතුනු සංඝ වලට කළ ඉගැන්වීම් යනා දී වශයෙනි. පේදුරු තුමාගේ දේශන හතරක් ඇති අතර ඒවා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ 2 : 24, 32/ 3 : 15/ 5 : 30/ 10 : 40 හි(2) ජේසුස් වහන්සේගේ උත්ථානයට සාක්ෂි දැරීමක් වශයෙන් දැක්වේ. මෙම දේශන හතර තුළ දැක්වෙන පොදු කරුණු කිහිපයක් තිබේ. ඒවා මුල් කිතුනු සභාවේ විශ්වාසය ලක්ෂණය වේ. ඒවා නම්,
    1. නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තෝරා පත් කළ මනුෂ්‍යයෙකු බව
    2. ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ නියමිත කැමැත්ත හා පූර්වඥානය අනුව මරණයට පාවා දීමට සැලැස්වූ බව
    3. ජුදෙව් ජනයා ජේසුස් වහන්සේව අධර්මිෂ්ඨ මිනිසුන් ලවා කුරුසියක ඇණ ගස්වා මරා දැමූ බව
    4. දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් මුදා ජේසුස් වහන්සේව උත්ථාන කළ බව
    5. අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේගේ මරණයට හා උත්ථානයට සාක්ෂිකරුවන් බව

    පාවුළු තුමා තම ඉගැන්වීම් කර ඇත්තේ කිතුනු සංඝ වලට කළ දේශන දීම් හා එම සංඝ වලට යැවූ ලිපි වලිනි. විශේෂයෙන් 1 කොරින්ති 15 පරිච්ඡේදය පුරා උත්ථානය යනු කුමක්ද? ජේසුස් වහන්සේගේ උත්ථානයේ තිබෙන සත්‍යතාවය හා උත්ථාන වූ ජේසුස් වහන්සේව අදහා ගැනීම ගැන ග්‍රීක දර්ශනය තුළින් තර්කානුකූලව පැහැදිළි කර ඇත.
    ජේසුස් වහන්සේ මළවුන් උත්ථානවීම යන්න කිතුනු අපට අති විශේෂ වූ දෙයකි. හේතුව ක්‍රිස්තියානි ජීවිතයේ පදනම හා අභිරහස රැඳී තිබෙන්නේ ඔවුන් වහන්සේගේ උත්ථානය මත වීමය. ජේසුස් වහන්සේ උත්ථාන නොවූ සේක් නම් අපගේ ඇදහිල්ල නිශ්ඵලය. කිතුනු සභාවක් ද නැත. ක්‍රිස්තුස් වහන්සේ‍ගේ උත්ථානයේ සාක්ෂිකරුවෝ කිතුනු අපම ය. එය අප ජීවිත තුළින් ලෝකය තුළ පෙන්නුම් කළ යුතුය.  
    එනිසා පාපයෙන් සම්පූර්ණයෙන්
    ඈත් වීම, දේව වචනය තුළ ජීවත්වීම, ප්‍රේමයේ ජීවිතයකට යොමු වීම හා යාච්ඤාව තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානයට සාක්ෂි දැරීම කිතුනු අපගේ පරම යුතුකම හා වගකීම වේ. 



    ------------ වැඩිදුර සටහන් ------------
    (1) සුභාරංචි පොත් වල ඉහත සඳහන් කළ ආකාරයේ වෙනස්කම් දැකිය හැක්කේ ඇයි? සුභාරංචි පොත් සකස් වූයේ ජේසුස් වහන්සේගේ මරණයෙන් වසර ගණනාවකට පසුවය. එසේ ලිවීමේ දී සුභාරංචි කතුවරුන් ජේසුස් වහන්සේ පිළිබඳ කරුණු ලබා ගත්තේ ඔවුන් සේවය කළ ක්‍රිස්තියානි සංඝ (Christian Communities) වල අත්දැකීම් හා ඒවායේ පැතිරී තිබූ ඔවුන් වහන්සේ පිළිබඳ මුඛ පරම්පරාගත සත්‍ය තොරතුරු ඇසුරෙනි. එසේම ඔවුන් ඒවා එක් කොට සුභාරංචිය රචනා කිරීමේ දී අවශ්‍ය තොරතුරු පමණක් ගෙන ඉතිරි ඒවා බැහැර කළෝය. එම තොරතුරු ද සුභාරංචියට ඇතුළත් කළේ තමන් සේවය කළ ක්‍රිස්තියානි සංඝයේ ආධ්‍යාත්මික අවශ්‍යතා වලට ගැළපෙන පරිදි දේවධාර්මික පණිවුඩයක් ගෙන දීමේ අරමුණෙනි. එනිසා ඒ ඒ සුභාරංචි කතුවරයා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තමන් ලැබූ අත්දැකීම් ඔස්සේ සුභාරංචි රචනා කිරීම හේතුවෙන් මෙවැනි වෙනස්කම් දැකිය හැකිය. එය අපගේ කිතුනු ඇදහිල්ලට, සුභාරංචියේ විශ්වාසනීයත්වයට හා එහි සත්‍යතාවයට බාධාවක් හෝ අභියෝගයක් නොවන බව තරයේ මතක තබා ගත යුතුය.
    (2) "එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය." (ක්‍රියා 2 : 24)
    "දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක" (ක්‍රියා 2 : 32)
    " මෙසේ ඔබ ජිනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක." (ක්‍රියා 3 : 15)
    " අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් කුරුසියක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක." (ක්‍රියා 5 : 30)
    " ..... ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූහ. එහෙත් දෙවියන් වහන්සේ තුන්වනදා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්ට සැලැස්සූ සේක." (ක්‍රියා 10 : 39b - 40) 

       
     
      

    DAILY DEVOTION BOX

     
    Support : Creating Website | Johny Template | Mas Template
    Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
    Template Created by Creating Website Published by Mas Template
    Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith