Recent Posts

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර කතෝලිකයාට අකැපද?

සිංහල අළුත් අවුරුද්ද සිංහල හා ද්‍රවිඩ ජනතාව විසින් පවත්වනු ලබන ජාතික හා සංස්කෘතික උත්සවයකි. අපගේ ජාතික සිරිත් විරිත් හා ජාතික අනන්‍යතාවය ලොවට පෙන්නුම් කරන මෙවැනි මහෝත්සවයක් තවත් නොමැති තරම් ය. අප ලෝකයේ කොතැන ජීවත් වුවත්, කුමන තරාතිරමකට අයත් වුවත් සිංහල හා ද්‍රවිඩ වශයෙන් මෙම සිංහල අළුත් අවුරුද්ද සැමරීම තුළ අපගේ ජාතික සිරිත් විරිත් රැක ගන්නවා මෙන් ම ඒවා තුළින් ඉස්මතු වන සාරධර්ම ලොවට කියා දෙයි. එනිසා සිංහල හා ද්‍රවිඩ අළුත් අවුරුද්ද යන්න ජාතික වශයෙන් ඉතා වැදගත් වූවකි.
සිංහල කතෝලිකයන් බොහෝ දෙනා සිංහල අළුත් අවුරුද්ද සැමරීමට මැළිකමක් දක්වන බව පෙනේ. "අපි ඉතින් ආගමේ නේ", "අපි කතෝලික නිසා අපිට අවුරුදු නැහැ", යනුවෙන් හේතු පාඨ දක්වන හෙළ කතෝලිකයෝ එමට සිටිති. එහෙත් සිංහල අළුත් අවුරුද්ද යන්න ආගමික උත්සවයක් නොව ජාතික උත්සවයක් බව අප සිහි තබා ගත යුතුය. එනිසා ජාතියක් වශයෙන් එය සැමරීම අපගේ යුතුකමය. අපේ සිංහල ජාතික සිරිත් විරිත් කෙරෙහි දක්වන ඇල්මැරුණ ස්වභාවය නිසා ඇතැම් අන්තවාදී පුද්ගලයන් "ක්‍රිස්තියානිකාරයන්ට කිසිම ජාතික හැඟීමක් නැහැ" කියා අයුතු චෝදනා කරති. කතෝලිකයන් පරගැති ජන කණ්ඩායමක් ලෙසින් සලකති. එහෙත් ශ්‍රී ලාංකේය කතෝලිකයන් යනු, ආසියාවේ උපන් (ආසියාතිකයෙකු වූ) ජේසුස් වහන්සේව අනුගාමී වන, මෙරට ජාතික සටන් හා නිදහස් අරගල වල දී බෞද්ධ, හින්දු හා ඉස්ලාම් බැතිමතුන් සමග එකමුතු වී මූලිකත්වය ගෙන ක්‍රියා කළ පිරිසක් බව අවධාරණය කරමි. 
කිතුනුවන් බොහෝ දෙනෙකු සිංහල අළුත් අවුරුද්ද සැමරීමට මැළි වන්නේ ඔවුන් තුළ ඒ සම්බන්ධයෙන් පවතින අනවබෝධය නිසාය. මන්ද සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර සියල්ලම "නැකත් වේලාවන්" හා බැඳී තිබීම ය. "නැකත" යන්න නක්ෂත්‍රය හා බැඳුණු දෙයකි. නක්ෂත්‍රය ඇදහීම හා ඒ අනුව ක්‍රියා කිරීම දස පණතේ පළමු පණතට විරුද්ධ පවකි. එහෙත් කතෝලික අප සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වල දී "නැකත" යන්න ගත යුත්තේ "දේව මොහොත" (ග්‍රීක බසින් "Kairos") යන අදහස ඇතිවය. "........මාගේ මොහොත තවම පැමිණ නැත" (ජොහාන් 2 : 4) යනුවෙන් කානා නුවර දී ජේසුස් වහන්සේ තම මෑණියන්ට වදාළ සේක. "නැකත" යනු "යමක් කිරීමට සුදුසු වෙලාව" ය. "දේව මොහොත" හෙවත් "මොහොරත" යන්න, දෙවියන් වහන්සේගේ මහිමය හා ප්‍රශංසාව පිණිස ශුද්ධාත්ම මෙහෙයවීම මත යහපත් කාර්යයක යෙදීමට නියමිත කාලය ය. එනිසා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වලට කිතුනු මුහුණුවරක් දෙමින් දේව වචනය හා යාච්ඤාව මුල් කරගෙන පැවැත්වීම තුළින් කිසිඳු ආකාරයකින් දේව පණතක් කඩ නොවේ. තවද, "වෙලාවට වැඩ කිරීම" මිනිස් අපට ඉතා වැදගත් දෙයකි. එමගින් කිතුනුවා කාලයේ ස්වාමියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසාව ගෙන දෙයි. කාලය ඉතා වැදගත් දෙයකි. ජාතියක් වශයෙන් අප සියලු දෙනා එකම වෙලාවකට එකම දෙයක් කරන්නේ සිංහල අළුත් අවුරුද්දේ ය. එය ජාතික සමගිය, එකමුතුකම හා එක්සත්භාවය ලොවට පෙන්නුම් කරන්නකි. 
ජාතික සිරිත් විරිත් හා සංස්කෘතිකාංග කතෝලික ජනවන්දනාවට නිවැරදි හා සුදුසු ලෙස යොදා ගැනීමට විශ්ව කතෝලික සභාව දේශීය කතෝලික සභාවන්ට අවසර දී ඇත. වතිකානයේ විශ්වාසය ප්‍රවර්ධන සංසදය විසින් ක්‍රිස්තු වර්ෂ 1659 දී සියලුම (මිෂනාරී) ධර්මදූතවරුන් වෙත යැවූ නිර්දේශයකට අනුව, "ඒ ඒ රටවල පවතින සිරිත් විරිත් හැසිරීම් රටා සහ පුරුදු වාරිත්‍ර නියත වශයෙන් කතෝලික අභිධර්මයට (Catholic Dogma) හා කිතුනු සදාචාරයට (Catholic Morals) පටහැනි නොවන්නේ නම්, ඒවාට කිසිඳු හානියක් නොකර යොදා ගැනීමේ හැකියාව" අවධාරණය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1965 දෙසැම්බර් 7 දිනැති කතෝලික සභාවේ ධර්මදූතික ක්‍රියාකාරීත්වය පිළිබඳ දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශනය (Ad Gentes Divinitus) අංක 22 හි දැක්වෙන ආකාරයට, "තමන් අයිති ජාතීන්ගේ සිරිත් විරිත් වලින් හා සම්ප්‍රදායයන්ගෙන් ද ඔවුන්ගේ (එම ජාතීන්ගේ) ප්‍රඥාවෙන් හා පාණ්ඩිත්‍යයෙන් ද ඔවුන්ගේ කලාවන්ගෙන් හා විද්‍යාවන්ගෙන් ද නව කිතුනු සභාවන් (විවිධ රටවල පැතිරී ඇති දේශීය කතෝලික සභා) මැවුම්කරුවාණන්ගේ දේව මහිමය ප්‍රකාශ කිරීමට ගැළවුම්කරුවාණන්ගේ වරප්‍රසාද බෙදා දීමට හා කිතුනු ජීවිතය නිසි ලෙස සකස් කර ගැනීමට අවශ්‍ය දේවල් සොයා ගන්නා බව" පෙන්වා දෙයි. මේ අනුව අපට පෙනී යන්නේ, අපගේ පරම සත්‍ය ක්‍රිස්තියානි ඇදහිල්ල විකෘති හා හානි නොකරන, අපගේ කිතුනු සාරධර්ම වඩාත් ඉස්මතු කරන දේශීය චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිකාංග ක්‍රිස්තියානි මුහුණුවරකින් අනුගමනය කිරීමේ වරදක් හෝ පාපයක් නොමැති බවය.
කිතුනුවා සිංහල අළුත් අවුරුද්ද සැමරීමේ දී විශේෂයෙන් මතකයේ තබා ගත යුතු අති වැදගත් කරුණ හා නීතිය වන්නේ, දේශීය චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිකාංග වලට කිතුනු මුහුණුවරක් ලබා දීමය. එනම්, "ක්‍රිස්තියානිකම" යන පදනම මත සිට ඒවා පැවැත්වීම හා අනුගමනය කිරීම ය. එසේ නොකර හුදු චාරිත්‍රයට වාරිත්‍රයට පමණක් මුල් තැන දුනහොත් එය දේව පණත සම්බන්ධ ගැටලුවක් වනු ඇත. සිංහල හා දමිල අළුත් අවුරුදු චාරිත්‍ර සියල්ල ම සකස් වී තිබෙන්නේ බෞද්ධ හා හින්දු ආගම් පදනම් කොට ගෙනය. එනිසා අප කළ යුත්තේ එම චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායයන් පැවැත්වීමේ දී ඒවා ක්‍රිස්තියානි ධර්මයට අනුකූල කර ගැනීමය. ඒවාට ක්‍රිස්තියානි වටිනාකම් කා වැද්දවීම ය. 
සිංහල අළුත් අවුරුද්ද හා එහි චාරිත්‍ර වාරිත්‍ර තුළින් ප්‍රකාශ වන වටිනාකම් මගින් ක්‍රිස්තියානි ධර්මයේ හා සුභාරංචියේ වටිනාකම් වඩාත් ඉස්මතු කර පෙන්වයි. (සියලු අමනාපකම් අමතක කර) සමාව දීම, (වැරදි නිවැරදි කර ගැනීම හෙවත්) මනස්ස්ථාපනය, එකිනෙකාව සුහුද සිතින් පිළිගැනීම, (ආහාරපාන යනාදිය) බෙදාගැනීම, (එකම ආහාරපාන අනුභව කරමින්) එකමුතු සහෝදරත්වයකින් හැසිරීම, ගනුදෙනු කිරීම මගින් අනු අය සමග සම්බන්ධතා තහවුරු කර ගැනීම, පුණ්‍ය කාලය තුළ තම ආගමික වතාවත් වල යෙදීම වැනි ජාතික සිරිත් විරිත් සුභාරංචිය තුළ කියවෙන ක්‍රිස්තු වටිනාකම් වෙති. මෙම ක්‍රිස්තු වටිනාකම් ක්‍රියාවට නැංවීම එක් දිනකට පමණක් සීමා වූවක් නොවිය යුතු වුවද සිංහල අළුත් අවුරුද්ද තුළ එය ජාතික ප්‍රතිපදාවන් ලෙසින් ලොවට පෙන්වයි. 
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර ක්‍රිස්තුකරණය කිරීම
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට අප ක්‍රිස්තියානි මුහුණවරක් දෙන්නේ කෙසේද? අවුරුදු චාරිත්‍ර කිතුනු ඇහිල්ලට පටහැනි නොවී කිතුනු ලීලාවෙන් සමරන්නේ කෙසේද? මෙහිදී කිතුනුවාට වැදගත් වන උපකරණ හතරක් තිබේ. එනම්, 
  1. ශුද්ධ බයිබලය
  2. යාච්ඤාව
  3. පාස්කු ඉටි පහන
  4. ආසිරි පැන්
යනාදිය වෙති. 
ලිප් ගිනි මෙළවීම
සිංහල අළුත් අවුරුදු චාරිත්‍රය පටන් ගන්නේ, ලිප් ගිනි මෙළවීමේ චාරිත්‍රය මගිනි. "ගින්දර" යන්න මානව ශිෂ්ඨාචාරය ශිෂ්ඨ සම්පන්න කිරීමට බලපෑ සාධකයයි. ශුද්ධ බයිබලය තුළ "ගින්දර" යන්න දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තකමේ සංඛේතය යි.(1) ආලේලුයියා සෙනසුරාදා දින රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයේ දී ගින්දර ආසිරි ගන්වයි. අපගේ නිවෙස් වල හා දේවස්ථාන වල පහන් හා ඉටි පහන් ගින්නෙන් දැල්වේ. පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණන් අපෝස්තුළුවරුන් වෙත වැඩම කළේ ද ගිනි දිව් ආකාරයෙනි. එනිසා කිතුනු ඇසින් බලන කල ගින්දර යන්න වඩාත් වැදගත් වන්නේ කිතු දහමටය. ඒ අනුව සිංහල අළුත් අවුරුද්දේ ලිප් ගිනි මෙළවීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා කිතුනු නිවෙස් වල ඇති පාස්කු ඉටි පන්දම(2) යොදා ගැනීම වඩාත් උචිත ය. 
පළමුව දැල්විය යුත්තේ පාස්කු ඉටි පහනය. මව පාස්කු ඉටි පහනෙන් ලිප් ගිනි මොළවන අතර නිවසේ පියා හෝ වැඩිමහල් තැනැත්තා අන් අය සමගින් එක්වී කුඩා යැදුමක් කිව හැකිය. එසේම ආසිරි පැන් ස්වල්පයක් කිරිබත් මුට්ටියට දැමීම සුදුසුය. එමගින් එම ආහාරයට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කෙරේ. ආහාර අනුභවය අවසන් වනතුරු  පාස්කු ඉටි පහන නොනිවී දැල්විය යුතුය. එය කෑම මේසය මත දැල්වෙමින් තිබිය යුතුය. මේ මගින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ බලය හා ශුද්ධාත්මානුභාවය නව වසර පුරා එම නිවසටත් එහි වැසියන්ටත් රටවාසීන්ටත් නොඅඩුව ලැබීම ප්‍රාර්ථනය කෙරේ. 
ආහාර අනුභවය  
එකමුතු ආහාරය නිවසේ සමගිය,ප්‍රේමය, සහෝදරත්වය සංඛේතවත් කරයි. එකම ආහාරපාන බෙදාගැනීම මගින් පවුල තුළ ප්‍රීතිය හා එකමුතුකම ඇතිවේ. ජේසුස් වහන්සේ ද විවිධ අවස්ථා වල දී එකල මිනිසුන් සමග ආහාරපාන අනුභව කළ සේක. අන්තිම රාත්‍රී භෝජනයේ දී රොටි හා මිදි යුෂ කුසලාන තම ගෝලයන්ට බෙදා දුන් සේක (ලූක් 22 : 14 - 20). එම පිළිවෙත අප මතකයට නංවා ගනිමින් සිංහල අළුත් අවුරුදු මේසයට සහභාගි විය හැකිය. ඉන්පසුව භෝජන ආශිර්වාදය (Prayer Before Meals) නමැති යාච්ඤාව හෝ තමන් නිර්මාණය කළ කෙටි යැදුමක් එහිදී උච්චාරණය කළ හැකිය. ආහාරපාන මත ආසිරි පැන් ඉසීම යාච්ඤාවෙන් අනතුරුව කළ හැකිය. කිරිබත් අනුභවය සිදු විය යුත්තේ ඉන් අනතුරුවය. කෑම මේසය මත කුරුසියක් හෝ ආගමික පින්තූරයක් හෝ ප්‍රතිමාවක් තැබිය හැකිය. එහෙත් දල්වන ලද පාස්කු ඉටි පහන හා ශුද්ධ බයිබලය නම් අනිවාර්යයෙන් ම කෑම මේසය මත තිබිය යුතුය.
ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීම  
ගනුදෙනු කිරීමේ චාරිත්‍රය විවිධ ආකාරයෙන් සිදු කරනු දැකිය හැකිය. ගම්බද පළාත් වල ගෘහණියන් තමන් ජලය ලබා ගන්නා ළිඳට පිරිසිඳු කළ කාසියක් දමා අළුත් කලයකට ජලය ගෙන වසරක් පුරා එය තබා ගනිති. ව්‍යාපාරික ජනතාව තම ගනුදෙනුකරුවන් සමග මෙම කාර්යයෙහි නිරත වෙති. එහෙත් කිතුනුවා ගනුදෙනු කළ යුත්තේ දෙවියන් වහන්සේ සමගය. කලින් පිරිසිඳු කර ගත් කාසියක් ආසිරි පැනින් ආශිර්වාදකර එය තමන්ගේ නිවසේ යාච්ඤා ස්ථානයේ තබා පසුව දේවස්ථානයේ පඬුරු පෙට්ටියට දැමීම කළ හැකිය. ඇතැම් අය ගනුදෙනු කිරීමෙන් පසුව මන්නයක් වැනි කැපෙන උපකරණයකින් කොස් වැනි කිරි ගසකට කොටති. කිතුනුවා ට ගැළවීම උදා කර දුන් ජීවනයේ ගස කුරුසියයි. ඔබගේ කෑම මේසය මත තැබූ කුරුසිය අතිනත යවමින් සිපාචාර කිරීම හොඳම ක්‍රියාවකි. (එය රූප වන්දනාවක් නොවේ. ඊට ගරු කිරීමක් පමණි.) එසේ කිරීමේ දී රූප වැඳීමක් නොවන පරිද්දෙන් අදෘශ්‍යමානව අප අතර වැඩ සිටින උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ අපට ගැළවීම ගෙන දුන් කුරුසියට කරන ගෞරවය පිළිබඳ හැඟීමෙන් එය කළ යුතුව ඇත. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයට
කළ හැකි සුදුසුම ක්‍රියාව වන්නේ, දේව වචනය කියවීමය. අවස්ථාවට ගැළපෙන හා තමන් කැමති දේව වාක්‍ය කොටසක් වේලාසනින් තෝරා තබාගෙන සිට ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමේ චාරිත්‍රයෙන් පසුව එම බයිබල් පාඨ කොටස කියවා එය යැදුමක් බවට පරිවර්තනය කර ගත හැකිය. දේව වචනය පෙරදැරි කර ගත් ශුද්ධාත්ම ගමනක යෙදෙන්නට අවශ්‍ය දේව බලය හා මෙහෙයවීම පවුල තුළට ප්‍රාර්ථනය කර ගන්න. 
හිස තෙල් ගැල්වීම
මෙම අවුරුදු පිළිවෙත ඉටු කිරීමට තිබෙන වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මා දකින්නේ දේවස්ථානයයි. පූජාප්‍රසාදිතුමා දේව වාක්‍ය පිළිවෙතක් පවත්වා ශුද්ධ වූ තෛලයෙන් බැතිමතුන් කුරුසියේ ලකුණින් ආලේප කළ හැකිය. (ඇතැම් දේවස්ථාන වල මෙම පිළිවෙත සිදු කරයි.) දේවස්ථානයකට යාමට අවස්ථාව නොමැති විටක කිතුනුවෙකුට පාස්කු ඉටි පහන දල්වා 1 සාමුවෙල් 16 : 13 කියවා යාච්ඤා කිරීමෙන් පසුව තමන් නිවසේ යාච්ඤා කරන ස්ථානයේ දල්වන පොල්තෙල් පහනේ තෙල් වලින් ස්වල්පයක් ගෙන කුරුසියේ ලකුණින් හිස ගැල්විය හැකිය. එමගින් දෙවියන් වහන්සේට තම කැපවීම තහවුරු කර, ශුද්ධාත්ම බලය හා මග පෙන්වීම තම ජීවිතයට ප්‍රාර්ථනය කළ හැකිය. දේව වරප්‍රසාද තම දිවියට ළඟා වේ.                    
මේ ආකාරයට  ශ්‍රී ලාංකේය කිතුනුවන් වශයෙන් අප රටේ සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට කිතුනු මුහුණවරක් හා වටිනාකමක් ලබා දීමෙන් ඒවා වඩාත් අර්ථවත්ව හා ක්‍රිස්තියානි ඉගැන්වීම් වලට ගැළපෙන අයුරින් කළ හැකි වේ. එමගින් අපගේ ඉපැරණි ජාතික සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීමට ද හැකිවේ. එහෙත් ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට සිංහල අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සුදුසු කිතුනු වත් පිළිවෙතක් සැකසීමේ ශාසනික අවශ්‍යතාවයක් ඇත. එවැනි අවස්ථා වලදී ගැයීමට සුදුසු ගීතිකා, කීමට සුදුසු යාච්ඤා යනාදිය සකස් කිරීමත්, කියවීමට සුදුසු බයිබල් වගන්ති මාලාවක් පිළිබඳව සොයා බැලීමත් අවශ්‍යය. කතෝලික ජනවන්දනාව දේශානුරූපීකරණය කිරීමට කැමැත්තක් දක්වන හා උනන්දු වන අය මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඉතා අගනේ ය.



 ----------- වැඩිදුර සටහන් ----------
(1)"......තවද ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක." - උත්පත්ති 3 : 24b
"තවද ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නගින උඳුනක් ද දිළිසෙන ගිනි හුළක් ද පෙනේ." - උත්පත්ති 15 : 17
"එවිට සමිඳණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස් වූ සේක." - උත්පත්ති 19 , 24
"සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට (මෝසස්ට) දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නේ ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දිටීය." - නික්මයාම 3 : 2
"තවද දවල් කාලයේ දී වලා ටැඹ ද රාත්‍රී කාලයේ දී ගිනි ටැඹ ද සෙනඟ ඉදිරියෙන් පහ නොවීය." - නික්මයාම 13 : 22
"කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය." - ද්විතීය නීති සංග්‍රහය 5 : 22
"එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, එය මාගේ මුඛයෙහි තවරා, 'මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය' යි කී ය." - යෙසායා 6 : 6 - 7
"සමිඳුන්ගේ කටහඬ ගිනි දළු බෙදා ලයි." - ගීතාවලිය 29 : 7
"ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක." - යෙසායා 10 : 17
"එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක." - ලූක් 3 : 16d
"පොළොව මත ගිනි ලන්ට ආවෙමි; ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද!" - ලූක් 12 : 49
"ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි." - ක්‍රියා 2 : 3         
(2) පාස්කු ඉටි පහන උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ සංඛේතයයි. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය ය.

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith