Home » » ජේසුස් වහන්සේ මුහුණ දුන් කුරුසියේ මරණය - බයිබලීය විමසුමක්

ජේසුස් වහන්සේ මුහුණ දුන් කුරුසියේ මරණය - බයිබලීය විමසුමක්

"කුරුසියේ(1) පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තියේ මඟට පා තැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ." (1 කොරින්ති 1 : 18)
සාතන්ගේ වහල්කමට හසුවූ මිනිසාව ඉන් ගළවා ගෙන දෙවියන් වහන්සේ සමග ස්ථිර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ජේසුස් වහන්සේට දෙවි පියාණන්ගෙන් පැවරුණ කාර්යය, "මෙසියානු කාර්යය" නම්වේ. සාතන්ගේ ග්‍රහණයෙන් මිනිසාව මුදා ගැනීම සඳහා රුධීරමය ජීවිත පූජාවක් (බිල්ලක් දීම) කිරීම අත්‍යාවශ්‍ය විය. එම බිළි පූජාව වූයේ, නොකැළැල් ස්වර්ගීය ජේසුස් වහන්සේ ය. "ඔබ මිළයකට ගත් අය වන්නහු ය" (1 කොරින්ති 6 : 21) යනුවෙන් පාවුළුතුමා මෙය පෙන්වා දෙයි. එම "මිළය" වනාහී, ජුදාස් ස්කාරියොත් නමැති ශ්‍රාවකයා ජේසුස් වහන්සේව විකුණූ රිදී කාසි 30 නොව, ඔවුන් වහන්සේගේ අති අමිල (නිර්මල) රුධිරය ය. "රුධිරය" යන්න අති වැදගත් මිනිසාට ජීවය ලබා දෙන්නකි. 
රුධිරමය ගනුදෙනු හා සම්බන්ධතා ගැන ශුද්ධ බයිබලයේ විවිධ තැන් වල සඳහන් වී ඇත.(2) අන්තිම රාත්‍රී භෝජනයේ දී ක්‍රිස්තුස් වහන්සේ පාස්කු ආශිර්වාදිත කුසලාන රැගෙන තම ශ්‍රාවකයන්ට දෙමින්, " මේ කුසලාන ඔබ උදෙසා වගුරවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය" (ලූක් 22 : 20) යනුවෙන් පුකාශ කළේ, දෙවියන් වහන්සේ සමග කරන ගිවිසුම් වල දී තිබිය යුතු ජීවිතමය බැඳීම පෙන්වා දීමටය. 
මිසරයේ වහල්කමින් පීඩා විඳි ඉශ්රායෙල් ජනතාව ඉන් මුදා නිදහස් කර ගැනීමේ දී කළ කුළුඳුළන් මරණයට පත් කිරීමේ සිද්ධියේ දී, එදින රාත්‍රියේ මිසරයට උඩින් ගමන් ගත් "මරණයේ දූතයා" වෙතින් ඉශ්රායෙල්වරුන්ගේ ජීවිත ආරක්ෂා වූයේ, (නික්මයාම 12 : 7, 13) ඔවුන්ගේ නිවෙස් වල දොර උළුවහු හා වහලයේ යට ලීයේ තවරා තිබූ පාස්කු බැටළුවාගේ රුධිර සළකුණ නිසයි. 
ඉශ්රායෙල් ජනතාව මිසරයේ පැවැත්වූ පළමු පාස්කුවේ දී දොර උළුවහු හා වහලයේ යට ලීයේ තැවරූ යාග වූ කුළුඳුල් බැටළු පැටවාගේ රුධිරයේ සළකුණ නිසා ඉශ්රායෙල් ජනයා ශාරීරික මරණයෙන් නිදහස හා ගැළවීම ලැබූහ. එම බැටළුවා මරණයට පත් වූයේ ඉශ්රායෙල් ජනතාව වෙනුවෙනි. ‍එලෙසම දේව පුත්‍ර ජේසුස් වහන්සේගේ රුධිරය අපට ගැළවීම හා ජීවනය ලබා දෙන්නක් වේ. ජේසුස් වහන්සේ කුරුසිය මත හෙළූ ශ්‍රී රුධිරය, (කායින් වැගුරූ නිර්දෝෂ ආබෙල්ගේ රුධිරය මෙන්) දේව ශාපය ලත් පොළොව (3) මත වැටී පාපයෙන් කිළිටිව තිබූ මැවිල්ල පවිත්‍ර කර නවතාවයකට පත් කළ සේක. පාස්කු බැටළුවාගේ රුධිරය ඉශ්රායෙල් ජනතාවට මාංශික (ශාරීරික) වහල්කමින් හා මරණයේ දූතයාගෙන් නිදහස හා ගැළවීම අත්කර දුන් ලෙසම, ජේසුස් වහන්සේගේ රුධිරය මුළු ලෝකවාසී ජනතාවට ම පාපයේ ආධ්‍යාත්මික වහල්කමින් හා සාතන්ගේ ග්‍රහණයෙන් නිදහස හා ගැළවීම හිමි කර දුන් සේක. එනිසා ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය දෙවියන් වහන්සේ හා මිනිසාව නැවත නොබි‍ඳෙන  ගැඹුරු ගිවිසුම් සම්බන්ධතාවයකට පත් කළ සේක.   
සීනයි පාළුකරයේ දී දෙවියන් වහන්සේ මෝසස් මගින් ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුම ස්ථිර කිරීමේ බාහිර වත් පිළිවෙතට අනුව කුළුඳුල් බැටළු පැටවෙකුගේ රුධිරය පූජාසනය හා රැස්වී සිටි ජනතාව මත ඉස ඔවුන්ගේ ජීවිතවල අයිතිය හා බලය, දෙවියන් වහන්සේ සමග තිබෙන බැඳීම ද තහවුරු කළේය.(4) ජේසුස් වහන්සේ කුරුසිය මත රුධිරය හෙළා මරණයට පත්වීමතුළින් මුළු මිනිස් වර්ගයාම දෙවියන් වහන්සේ හා සම්බන්ධ කළ අතර, මිනිස් වර්ගයාගේ ජීවිත පිළිබඳ දේව අයිතිය තම රුධිරය මගින් තහවුරු කළ සේක. එමගින් සාතන්ට අපගේ ජීවිත කෙරෙහි වූ බලය අහෝසි කළ සේක. මේ අනුව බලන කල, ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව අති අමිල වූ යාගයකි. 
ජොහාන් සුභාරංචියේ පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේට පාස්කු භෝජනය තම ශ්‍රාවකයන් සමග වැළඳීමට නොහැකි විය.(5) ජොහාන් පෙන්වන ආකාරයට ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය පාස්කු භෝජනයක් නොව, සමුගැනීමේ භෝජනයකි. මන්ද, ජේසුස් වහන්සේ මරණයට මුහුණ දුන්නේ පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කිරීමට සිටි, පාස්කු භෝජනය අනුභව කිරීමට සූදානම් කර තිබූ දිනයේ ය. (මේ පිළිබඳ වෙන ම විග්‍රහයක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ.) සාමාන්‍යයෙන් පාස්කු මංගල්‍යයේ දී පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කරන්නේ සවස 2. 30 ත් 3. 00ත් අතර වේලාවේ දී ය. ලූක් 23 : 44 ට අනුව, ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා ඇත්තේ මද්දහන් වේලාවේ දී ය. සුභාරංචි පොත් වලට අනුව සාමාන්‍යයෙන් පැය තුනක් පමණ කාලයක් ජේසුස් වහන්සේ කුරුසියේ එල්ලී වධ විඳ මරණයට පත්ව ඇත. ජෙහාන් තුමා ‍සුභාරංචියෙන් පෙන්වන්නේ "පාස්කු මංගල්‍යයට සූදානම් වන දවසේ මද්දහනේ වේලාවේ දී පිලාත් ජේසුස් වහන්සේව මරණයට තීන්දු කළ බවය. 
ඒ අනුව ඔහු අපට දෙන දේවධාර්මික පණිවුඩය නම්, කුළුඳුල් පාස්කු බැටළුවා ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් යාග වන මොහොතේ එම බැටළුවාගේ තැන ගෙන ජේසුස් වහන්සේ ලෝක ජනතාවගේ මිදීම වෙනුවෙන් යාග වී අපට ගැළවීම, දේව සම්බන්ධතාවය හා ජීවනය ලබා දුන් බවය. මෙය බව්තීස්මය ලැබීමට පැමිණි ජේසුස් වහන්සේ ගැන ස්නාවක ජොහාන් දැරූ සාක්ෂිය සම්පූර්ණත්වයට පත් වීමකි.(6) 
තවද, දෙවියන් වහන්සේට හා මෝසස්ට විරුද්ධව කතා කළ සීනයි පාළුකරයේ සිටි ඉශ්රායෙල් ජනතාවට කාන්තාරයෙන් පැමිණි සර්පයන් දෂ්ඨ කළ විට, දේව මග පෙන්වීම අනුව මෝසස් විසින් සාදන ලද රිටක් මත තැබූ පිත්තල සර්පයා දෙස බැලීමෙන් රෝගීහු සුවය ලැබූහ. (ගණන් කථාව 21 : 8 - 9) එලෙසම කුරුසියක එල්ලා සිටි ජේසුස් වහන්සේගේ මරණය හා උත්ථානය මගින් අපට ගැළවීම හා ජීවනය හිමි විය.  
මතෙව් තුමා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේ මරණයට පත් වූ අවස්ථාවේ පහළ වූ සළකුණු අතර, " දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය." (මතෙව් 27 : 51) 'දේව මාළිගාවේ තිරය ඉරීම' යන්න දෙවියන් වහන්සේ හා මිනිසා භේද කළ 'පාපය' ඉවත් වී දෙවියන් වහන්සේ හා මිනිසා සමගි වී, ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනැගීම අදහස් වේ.(7)  ගිවිසුම් කරඬුව යනු, දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුමේ බාහිර සළකුණ හා දෙවියන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටීමේ සංඛේතය විය. එය ඉදිරිපිට දොර තිරයක් තිබීම නිසා දෙවියන් වහන්සේව දර්ශනය කිරීමට හා ඔවුන් වහන්සේ සමග සම්බන්ධ වීමට මිනිසාට තිබූ බාධකයක් විය. එසේම පාපය මිනිසාට දෙවියන් වහන්සේ හා සමග ගැඹුරු සම්බන්ධතාවයට නිරන්තර බාධකය වේ. "දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරීම" යන්න, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණය මගින් දෙවියන් හා මිනිසා වෙන් කළ පාපය නමැති කඩතුරාව ඉවත් වී, දෙවියන් වහන්සේට හා මිනිසාට එකිනෙකාව දර්ශනය කිරීමට, හමුවීමට හා ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සැළසීම සංඛේතාත්මකව පෙන්වීමකි.
ඒදන්උයනේ සිටි ආදම්ගේ ඇති වූයේ පාපය අකීකරුකම, අහංකාරය හා තෘෂ්ණාව නිසාය. ඒවා සාතන්ගේ ස්වභාවය හා ඌ සතු දුර්ගුණ වෙති. එම දුර්ගුණ අනුව ක්‍රියා කරන්නා සාතන්‍ හා සම්බන්ධ වෙයි. එහෙත් ජේසුස් වහන්සේගේ මෙසියානු කාර්යය කීකරුකම (අවනතභාවය), බැහැපත්කම හා ස්වත්‍යාජය මත පදනම් වූවකි. මැවිල්ල හා සදාතන ජීවනය පිළිබඳ දේව සැලැස්ම දෙවියන් වහන්සේ පළමුව අනාවරණය කළේ, පළමු මිනිසා වූ ආදම්ට ය. එහෙත් ඔහු (දෙවියන් වහන්සේට අකීකරු වූ දේවදූතයෙකු වූ) සාතන්ගේ රැවටීමට හසුවූ සිය භාර්යාවගේ හඬට ඇහුම්කන් දී, එය ප්‍රතික්ෂේප කර හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කළේය. එහි බියකරු ප්‍රතිඵලය වූයේ, ලෝකය මරණය හා විනාශය උරුම වීමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා දෙවි පියාණන් වහන්සේට කීකරු වීමෙන් දේව සැලැස්ම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කළ සේක. තම සොහොයුරු කායින් අතින් මරු දුටු පිරිසිඳු සිතින් දෙවිඳුන්ට යාගයක් පිදූ, කිසිඳු වරදක් නොකළ ආබෙල් (උත්පත්ති 4 : 8)
තම පියාවූ ආබ්‍රහම් දෙවිඳුන් වෙත තිබූ පක්ෂපාතීබව හා අවනතභාවය වෙනුවෙන් යාගයක් වීමට කිසිම විරුද්ධත්වයකින් තොරව කීකරු වූ ඊසාක් (උත්පත්ති 22 : 1 - 13)
කිසිම වරදක් නොකළත් තම සොහොයුරන් අතින් රිදී කාසි 20 කට වහලෙකු ලෙස විකිණී ගොස් (උත්පත්ති 37 : 18 - 36), නොකළ වරදකට සිර දඬුවම් ලැබූ අවිහිංසක ජෝසප් (උත්පත්ති 39 : 7 - 20), කිසිම සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නොවූ, එහෙත් නිකරුණේ දේව අපහාසය පිළිබඳ බොරු චෝදනා කර ගල් ගසා මරා දැමුණු නාබොත් (1 රාජාවලිය 21 : 8 - 14), දේව ජනතාව (ඉශ්රායෙල්වරුන්) වහල්කමින් මුදා ගැනීමට සිය ජීවිතයම කැප කළ මෝසස්, දෙවි පියාණන්ට කීකරුව, දේව කැමැත්ත මුළුමනින්ම ඉටු කළ ජේසුස් වහන්සේගේ පූර්වාදර්ශ වෙති. ජේසුස් වහන්සේගේ බැහැපත් කීකරුකම තුළින් දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කර එමගින් අපට ගැළවීම, ජීවනය හා දේව සම්බන්ධතාවය ලබා දුන් සේක. 
දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම යනු, "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" පිළිබඳ සංකල්පය ක්‍රියාවට නැගීමකි. "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" යන්න, දෙවියන් වහන්සේට අපගේ සම්පූර්ණ අයිතිය පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, ඔවුන් වහන්සේගේ කැමැත්ත මුළුමනින්ම ඉටු කිරීමය. ජේසුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා ඉටු කළේ එයයි. ජේසුස් වහන්සේ දෙවි පියාණන්ට තමන්ව සම්පූර්ණයෙන් පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, දේව කැමැත්ත මුළුමනින් ම ඉටු කළ ප්‍රධාන අවස්ථාව වන්නේ, කුරුසියේ මරණය ස්වකැමැත්තෙන් බාර ගෙන එය ක්‍රියාවට නැගීමයි. එම කීකරු උතුම් ක්‍රියාවට දෙවියන් වහන්සේගෙන් එතුමන්ට ලැබුණු දේව තිළිණය ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයයි. 
මේ අනුව, ජේසුස් වහන්සේ පාස්කු අභිරහස තුළින් අපට දිනා දුන් දේව වරප්‍රසාද අතර,
  1. පාපයේ වහල්බවින් අපව ගැළවීම 
  2. පාපයට හිමි දඬුවම වන නිරා ගින්නෙන් අපව මුදා ගැනීම
  3. සාතන්ගේ ග්‍රහණයෙන් අපව ගළවා ගැනීම 
  4. නැතිවී ගිය දේව සම්බන්ධතාවය නැවත හිමි වීම. එනම්, දෙවිඳුන් මිනිසා හා සමගිවීම
  5. සදාතන ස්වර්ගීය ජීවිතය හිමි කර දීම (ස්වර්ගයට නැගුණ පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ ය.)
  6. කීකරුකම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම මගින් ආදම්ගේ සිට සිදුවූ ලොව සියලු පාප වලට වන්දි ගෙවීම 
  7. ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසෙන් ඔවුන් වහන්සේ ලැබූ දේව වරප්‍රසාද සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) මාර්ගයෙන් අපට හිමි කර ගැනීමේ භාග්‍ය ලබා දීම
 යනාදිය ප්‍රධානය.  
දෙවියන් වහන්සේ හා සමාන දේවත්වය දරමින් සිටි ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ) (8) දේවත්වය ඉවත දමා මනුෂ්‍යත්වය ගෙන මෙලොවට පැමිණ(9) පව්කාර මිනිසුන්ගේ ප්‍රතික්ෂේපයට ලක්ව, ඔවුන් අතින් පහර කා, වධ හිංසා විඳ ප්‍රසිද්ධ නීච මරණයක් හිමි කර ගැනීම(10) යන්න, මිනිස් මනසින් අවබෝධ කරගැනීමට ඉතා අපහසු දෙයකි. ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණයේ ඇති වැදගත්කම, එහි තිබෙන බලය හා ඉන් අප ලැබූ විමුක්තිය කොපමණ ද යන්න නියම ලෙස අවබෝධ කරගෙන, පිළිගෙන, එය ගැඹුරින් අදහා ගැනීමට හැකි නම් අනිවාර්යයෙන් ම අපගේ ජීවිත වෙනස් වී මීට වඩා යහපත් වනු ඇත. ජේසුස් වහන්සේ පාස්කු අභිරහසේ බලය හා මහිමය ඔබගේ ජීවිතය තුළ අත්දකින්න.  
   
 --------- වැඩිදුර සටහන් ----------
(1) "කෘක්ස්" යන ලතින් වචනයෙන් බිඳී එන කුරුසිය යන්නට ග්‍රීක භාෂාවෙන් "ස්ටඋරොස්" යන නම යෙදේ. පුරාණ කාලයේ භයානක අපරාධකරුවන් ලෙසින් පුසිද්ධියට පත් පුද්ගලයන්ට දුන් ප්‍රසිද්ධ නින්දිත මරණ දඬුවමක් ලෙස මෙය පිළිගැනේ. පුරාණ ගිවිසුමේ ගස් වල එල්ලා මරණයට පත් කිරීමේ නීතියක් ගැන ද්විතීය නීති සංග්‍රහය 21 : 22 හි සඳහන් වුවත් එය කුරුසපත් කිරීමට සමාන කළ නොහැක. ප්‍රසිද්ධියේ කුරුසපත් කිරීම කළේ නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන්ට මරණ තර්ජනයක් ලෙසින් හා බිය ගැන්වීමට අනතුරු ඇඟවීමක් ලෙසිනි. 
     කුරුසියක එල්ලී මරණයට පත් පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ නොවේ. අපරාධකරුවන්ට ඳඬුවම් කිරීම සඳහා කුරුසිය භාවිත කළ විවිධ ජාතීන් අතර, අසිරියන්වරුන්, පර්සියන්වරු, කාර්තේජයේ ෆිනිෂියන්වරු, පැරණි මිසරවරුන් හා ග්‍රීකයෝ ද සිටිති. පසුව එය රෝමවරුන්ද පිළිගෙන විදේශික අපරාධකරුවන්ට දුන් මරණ දඬුවමක් ලෙසින් රෝම ජනපද වල භාවිත කළෝය. 
     "කුරුසය" යන වචනය නව ගිවිසුම තුළ නාමපදයක් ලෙසින් 28 වතාවක් ද, ක්‍රියා පදයක් ලෙසින් 46 වතාවක් ද සඳහන් වී ඇත. එවකට ප්‍රධාන කුරුස වර්ග තුනක් භාවිත කර ඇත. රෝම හෝඩියේ T හා X හැඩැති කුරුස හා ජේසුස් වහන්සේව ඇණ ගැසූ + හැඩැති කුරුසය වේ. 
     අපරාධකරුවා විසින් කුරුසිය උසුළානෙ යාම සිරිතය. ඔහුට ඉදිරියෙන් ඔහු කළ වරද සඳහන් පුවරුවක් ගෙන යන අතර, පසුව එය කුරුසිය මුදුනේ එල්ලා තබයි. (ජොහාන් 19 : 19 - 20 හි සඳහන් ආකාරයට ‍ජේසුස් වහන්සේ ගැන "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්" යනුවෙන් හේබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් භාෂා වලින් ලියූ පුවරුවක් තබා තිබුණේ එබැවිනි.) ජේසුස් වහන්සේව මරණයට පත් කළ ස්ථානය ජේසුස් වහන්සේ කතා කළ භාෂාව වන අරමයික භා‍ෂාවෙන් "ගොල්ගොතා" නම් වේ. 
     එය ජෙරුසලම් ප්‍රධාන නගර සීමාවෙන් පිටත තිබූ හිස්කබලක හැඩැති ගොඩැල්ලකි. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වචනය වන, Calvary යන්න ලතින් භාෂාවේ "Calvarium" යන වචනයෙන් බිඳී එන්නකි. 
     කුරුස පත් කරන්නේ නිරුවතින් හෝ කුඩා රෙදි කැබැල්ලක් ඉණ දැවටීමෙන් නින්දා අපහාස කිරීමටය. මරණයට පත් වන්නාගේ ඇඳුම ඔහුව කුරුසියේ ඇණ ගසන සෙබළාට අයිති වන්නේ ඔම මරණයට සාක්ෂියක් හා සිහිවටනයක් වශයෙනි. (ජේසුස් වහන්සේගේ සළුව කිසිම මූට්ටුවක් නැතිව තනි නූලකින් සකසා තිබූ නිසා එය නොඉරා දාදු දැමීය. මෙම සළුවට සමාන සළුවක් උත්තම පූජකයා ද ඇඳ සිටිය යුතු බව නික්මයාම 28 : 31 - 32 හා ද්විතීය නීති සංග්‍රහයේ 22 : 11 හි දැක්වේ. එය ජොහාන් 19 : 23 - 24 හි පරිදි එය ජේසුස් වහන්සේගේ උත්තම පූජකභාවය නිරූපණය කරන සංකේතයකි. එසේම ගීතාවලිය 22 : 18 හි සඳහන්, "මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති" යන දිවැසිවැකිය ඉටු වීමකි.) 
     කුරුස පත් කිරීමට ප්‍රථම වේදනාව හා පීඩාව අඩු කිරීම සඳහා වෙළඳ පොලෙන් මිළට ගත හැකි මත්ද්‍රව්‍ය (ගන්ධරස) මුසු බාල මිදියුෂ පානයක් බීමට දෙයි. මේවා දිළින්දන් හා හේවායන් භාවිත කළ මත්පැනකි. ජේසුස් වහන්සේට ඒවා පිළිගැන්වූ නමුත් ඔවුන් වහන්සේ එය "දිව ගා බලා බොන්න අකමැති වූ සේක" (මතෙව් 27 : 34). එය ගීතාවලියේ 69 : 21 හි සඳහන් "සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය" යන ශුද්ධ ලියවිලි පාඨය සම්පූර්ණත්වයට පත් වීමකි. 
     සාමාන්‍යයෙන් පොළොවෙන් අඩි 3 - 5 අතර උසකින් කුරුසියේ ඇණ ගැසීම සිරිතය. දෑත් වල අල්ලට නොව මැණික් කටුව ප්‍රදේශයට ඇණ ගසන අතර, දෙපා දණිස් අගින් නැවෙන ලෙස ඇණ ගසයි. සමහර විට මෙය ඇණ තුනක් නොව හතරක් විය හැකිය. ජේසුස් වහන්සේව ඇණ තුනකින් කුරුසියේ එල්ලීම විශේෂ කරුණකි. එසේම අධික රුධිර වහනය වැළැක්වීම සඳහාත්, මරණයට පත්වන්නා මරු විකලෙන් දැඟලීම නැවතීම සඳහාත් ලණු වලින් දෑත ලී කඳට තබා බඳති. 
     කුරුස පත්වන පුද්ගලයා දැඩි අව් රශ්මියෙන් ද , කෘමීන්ගෙන් ද, සාගින්න හා පිපාසයෙන් ද පීඩාවට පත්ව මරණයේ අත්දැකීම විඳ ගනියි. පිපාසයේ දී දෙන්නේ විනාකිරි මුසු මුද්‍රික පානයයි. එසේම කුරුස පත් පුද්ගලයා දෙස බලන්නෝ නොයෙක් උසුළු විසුළු වලින් නින්දා අපහාස කිරීම ද සිදුවේ. මතෙව් 27 : 39 - 43 හ සඳහන් පරිදි ජේසුස් වහන්සේට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු විය. කුරුස පත් වූ තැනැත්තා උසුළු විසුළු කරන්නන්ට බැණ වැදීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජේසුස් වහන්සේ කුරුසියේ සිට දෙසූ වදන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් යැදුම් හා ප්‍රාර්ථනා වෙති. ලූක් 23 : 47 ට අනුව, එතැන සිටි රෝම ශතාධිපතියා, "සැබවින්ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකි" යි කීවේ එබැවිනි. 
     කුරුස පත්වූ අයෙකු දින 2 - 3 අතර කාලයක් කුරුසියේ එල්ලී සිට බොහෝ වේදනා විඳ මරණයේ අත්දැකීම ලබයි. ජොහාන් 19 : 32 අනුව, ජේසුස් වහන්සේ දෙපස එල්ලා සිටි සොරුන් දෙදෙනා දෙස බලන විට මෙය වඩාත් පැහැදිළි වේ. (එහෙත් ජේසුස් වහන්සේ ඉක්මනින් මරණයට පත් වන්නට ඇත්තේ ඔවුන් වහන්සේට කුරුස පත් වීමට පෙර විඳන්ට සිදුවූ අධික කෲර වධ වේදනා වලින් ඇති වූ පීඩාව නිසා විය යුතුය. මරණයට නියම වන්නන්ට මෙසේ වධ හංසා පමුණුවා කුරු පත් කිරීම නිතර සිදුවන්නක් නොවේ. ජේසුස් වහන්සේට එය විඳන්නට සිදුවීම ශුද්ධ ලියවිල්ල සම්පූර්ණත්වයට පත්වීමක් බව පෙනේ.) කෙසේ වුවද ගසක එල්ලූ පුද්ගලයාව මරණයෙන් පසුව ඉන් බිමට ගැනීම ද්වීතීය නීති සංග්‍රහය 21 : 22 - 23 හි සඳහන් දේව නීතිය ඉටු කරනු වස් අරිමාතියේ ජෝසප් නමැති ජේසුස් වහන්සේ රහසිගත මිතුරෙකු වූ ජුදෙව් මන්ත්‍රීවරයා පිලාත්ගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. මාර්ක් 15 : 44 ට අනුව, "උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක්දැ" යි අසා පුදුමව ඒ ගැන ශතාධිපතියාගෙන් විමසා බැලීමෙන් ඉහත සඳහන් කළ කරුණ පැහැදිළි වේ. තවද එදින සවස 6 ට සබත ආරම්භ වීමට නියමිතව තිබුණි. සබත් දිනය හා විශේෂ ජුදෙව් මංගල්‍ය පවත්වන දින වලදී කුරුස ගස් වල මළ කඳන් එල්ලා තිබීම අසුභ හා දවස අපවිත්‍රවීමට හේතුවක් ලෙස සැලකූ හෙයින් ඔවුන්ගේ සිරුරු කුරුස වලින් බිමට බෑමට අවසර ලැබුණි. සොරුන් දෙදෙනා නොමැරී සිටි නිසා ඔවුන්ගේ දෙපා දණිස් අගින් කඩා දමා අධික වේදනාව හා රුධිර වහනය මගින් මැරෙන්නට සැලැස්වීය. ජේසුස් වහන්සේට එසේ නොකළේ ඔවුන් වහන්සේ මරණයට පත්ව සිටි නිසාය. ජොහාන් 19 : 3 හා 36 අනුව එය ගීතාවලිය 34 : 20 හි සඳහන්, " එතුමාණෝ ඔවුන්ගේ ඇ‍ඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක්වත් බි‍ඳෙන්න ඉඩ නොහරින සේක", යන ශුද්ධ ලියවිලි පාඨය ඉටුවීමක් බව පෙනේ. එක් හේවායෙක් හෙල්ල‍යකින් ජේසුස් වහන්සේගේ ඇලයට ඇන්නේ, පිලාත්ගේ නියමය පරිදි (මාර්ක් 15 : 44 - 45) ඔවුන් වහන්සේගේ මරණය සහතික කොට දැනගන්නා පිණිසය. 
     ජේසුස් වහන්සේව කුරුසියෙන් බිමට බැස්ස වූ මොහොතේ තම මෑණියන් වහන්සේගේ උකුළ මත තැබීමේ පාදනමස්කාර සිද්ධිය සම්මත කොට පිළිගත් කිසිම සුභාරංචි පොතක සගදහන් නොවේ. එය අතරට ආවේ අසම්මත යැයි පිළිගත් වෙනත් සුභාරංචි පොතක ආභාෂයෙනි.
     ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරය ගන්ධරස නමැති මත් ඖෂධය හා අගිල් නමැති සුවඳ ද්‍රව්‍ය වලින් ගල්වා ආලේප කර සිහින් හණ රෙද්දකින් වෙළා අළුත් ගල්ලෙනක තැන්පත් කර ඇත. එම ගල්ලෙන අරිමාතියේ ජෝසප් හට අයත් කිසිවෙකු ඊට පෙර තැන්පත් නොකළ ලෙනකි. මෘත ශරීර ගල්ලෙන් තුළ තැන්පත් කිරීම මිසරයේ දී ඉශ්රායෙල්වරුන් පාරාවෝවරුන්ගෙන් ලැබූ ආභාෂයකි. (2 රාජාවලිය 13 : 20 - 21). මෙම ගල්ලෙන් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්, පස් කඳු හාරා සාදාගත් ලෙන්, ස්වභාවික ගල්ලෙන් හා ගල් එකිනෙක පිට තබා සෑදූ සොහොන් ලෙන් වශයෙනි. ඒවා ඇතුළත තරමක ඉඩක් ඇත. ගෙළ සිට පාදාන්තය දක්වා එකම රෙද්දකින් වෙළූ සිරුරේ හිස කොටස වෙනම රෙදි කඩකින් වෙලා ලෙන මත තබයි. ලෙනෙහි කට රවුම් ගල් පොත්කින් වසා කූඤ්ඤ ගසා තද කර වසනු ලබයි. සතියක් පමණ ගත වනතුරු වරින් වර එය විවෘත කර දුගඳ වළකනු සඳහා සුවඳ ද්‍රව්‍ය වත් කිරිම කරයි.  
(2) ජීවිතය හා රුධිරය අතර වන ගැඹුරු සම්බන්ධතාවය දෙවියන් වහන්සේ, කායින් තම සොහොයුරු ආබෙල්ව මැරූ මොහොතේ, ".....නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොර ගසයි....නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයා ගෙන ඇත." - (උත්පත්ති 4 : 10, 11b) යනුවෙන් පෙන්වූ සේක. මහා ජල ගැල්මෙන් පසුව දෙවියන් වහන්සේ නෝවාට මාංශ අනුභවයට අවසර දුන්න ද, "ජීව ධාතුව වන ලෙස සහිත මස් පමණක් නුඹලා නොකූ යුතුය" යි (උත්පත්ති 9 : 4) නියෝගයක් පැනවූ සේක. 
(3) "තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: 'නොකෑ යුතුය' යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේවා!...." - උත්පත්ති 3 : 17
(4) "මෝසස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන් වල දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින් 'සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙම්' යි කීහ. එවිට මෝසස් ලේ රැගෙන, සෙනග මත ඉසිමින්, 'මෙය වනාහී සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය' යි පැවසීය." - නික්මයාම 24 : 6 -8  
(5) "පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූහ. එබැවින් පිලාත් පිටත ඔවුන් සිටි තැනට පැමිණ,......" - ජෙහාන් 18 : 28b - 29a
"ඒ වනාහී පාස්කු මංගල්‍යයට සූදානම්වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු 'මෙන්න, ඔබේ රජ' යි ජුදෙව්වරුන්ට කී ය." - ජොහාන් 19 : 14 
(6) "මෙන්න, ලෝකයේ පාපය දුර ලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ....." ජොහාන් 1 : 29 
(7) මෙම තිරය නිල් පාට, රතු හා තද රතු පාට ලොම් වලින් හා සිහින් ව කටින ලද හණ පියෙන් සෑදූ එකකි. එහි කෙරුබ්වරුන්ගේ (දේවදූතයන් මෙන් පියාපත් ඇති ‍විශේෂයකි) රූප ගෙත්තම් කොට තිබුණි. මෙය ගිවිසුම් කරඬුව තැන්පත් කර තිබූ අති ශුදධ ස්ථානයට ඉදිරියෙන් රන් කොකු හතරකින් එල්ලා තිබී ඇත.
(8) " ආරම්භයේ දී ධර්මයාණෝ (වාක්‍යයාණෝ) සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමග සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේව ම සිටි සේක." - ජොහාන් 1 : 1 
(9) "උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත් සේක." - ජොහාන් 1 : 11
" උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරෑපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබා ගත යුතු වස්තුවකැ යි නොසිතා, එය ඉවත ලා වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ මරණය, එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූ සේක...." - පිලිප්පි 2 : 6 - 8
(10) " මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූහ; දුක හා වද වේදනා දුරූ මිනිස් කෙනෙක් වූහ. එතුමන් දුටු විට මිනිස්සු අහක බලා ගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූහ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණෝ ඉසුළුවේ අපේ දුකය; දරා ගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවිතුමන් දුන් පහර යැයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත....... සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටියහ; නිහතමානී ලෙස එය දැරූහ....... බලාත්කාරකමින් ද යුක්ති විරෝධී ලෙස ද එතුමෝ ගෙන යනු ලැබූහ; මනු ලොවින් සිඳ දමනු ලැබූහ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූහ....... එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ....... බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් ලත් දුක් වේදනාවෙන් දේව සම්බන්ධතාවට ඔවුන් පත් කරනු ලැබ ඇත...... මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමග ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි." - යෙසායා 53 : 3 - 12   
   
Share this article :

0 comments:

Post a Comment

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith