“ස්ත්රිය, මෙන්න ඔබේ පුත්‍රයා....මෙන්න ඔබේ මෑණියෝ...” - ජොහාන් 19 : 26 – 27
ජේසුස් වහන්සේ කුරුසිය මත වැඩ සිට දෙසූ තෙවන ශ්‍රී වාක්‍යය වන මෙය, ඔවුන් වහන්සේ සිය මව වෙනුවෙන් කළ යුතුව තිබූ අවසන් යුතුකම පවා ඉටු කිරීමට ක්‍රියා කළ ආකාරය පෙන්වයි. අපෝස්තුළුවරුන්ගේ මාතාවන් හා මාර්ගෝපදේශිකාව ලෙසින් කිතුනු සංඝයට පිළිගත් ඇය කිතුනු අපගේ ද දිව්‍ය මාතාවන් ය.
“එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ‘ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය’ යි සිය මෑණියන් හට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ‘මෙන්න ඔබේ මෑණියෝ ය’යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.” (ජොහාන් 19 : 26 – 27)

ප්‍රේමවන්ත ආදර්ශමත් දේව පුත්‍රෙයකු වශයෙන් ජේසුස් වහන්සේ තම මරණ මොහොතේ සිය මව වෙනුවෙන් ඉටු කළ යුතු පරම යුතුකම සම්පූර්ණ කිරීමට යොමු වූ සේක. වනිතාවක් අවිවාහකව හෝ තනිව හෝ ජීවත්වීමට සිදුවීම දේවශාපයක් ලෙස ඉපැරණි ජුදෙව්වන් සැළකූහ. තම මරණින් පසුව ස්වකීය මෑණියන් තනි වී සිටිනු දැකීමට අකමැති වූ ජේසුස් වහන්සේ තමන් ප්‍රේම කළ ශ්‍රාවකයාට එතුමියගේ භාරකාරත්වය හා රැකවරණය බාර දුන් සේක.
- ප්‍රේම කළ ශ්‍රාවකයාව තම මෑණියන්ගේ මාතෘත්වයට බාර කිරීම
- ප්‍රේම කළ ශ්‍රාවකයාට තම මෑණියන්ගේ භාරකාරත්වය පවරා දීම ය.
මවක හා පුත්‍රයා අතර ගොඩනැගෙන නිර්මල මාතෘක-පුත්‍ර ප්‍රේමය
මින් ඉස්මතු කර ඇත. ජේසුස් වහන්සේ ද තම මෑණියන්ව බාර දෙන්නේ, තමන් ප්‍රේම කළ ශ්‍රාවකයාට
ය. මන්ද, ජේසුස් වහන්සේගේ මෑණියන්ගේ මාතෘක ප්‍රේමයට හිමිකාරත්වය ලැබෙන්නේ ද, ඔවුන්
වහන්සේගේ මෑණියන්ව අයිති කරගැනීමට හැකි වන්නේ ද ජේසුස් වහන්සේව තම හදවතට ප්‍රේමයෙන්
පිළිගෙන, ඔවුන් වහන්සේව අදහාගෙන, ඔවුන් වහන්සේට ප්‍රේම කරන්නාට ය.[1]
ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ මෙම ප්‍රකාශනයේ සඳහන්
“ස්ත්‍රිය” යන වචනය බොහෝ දෙනෙකුගේ මතභේදයට හා
ආන්දෝලනයට පාත්‍ර වූවකි. ජොහාන් 2 : 4 හි (කානා නුවර ජලය මිදිරසට හැරවීමේ
සිද්ධියේ) ද ‘ස්ත්‍රිය’යන වචනය සිය මෑණියන්ට භාවිත කර
තිබෙනු දැකිය හැකිය. විශාරදයන් පෙන්වා දෙන ආකාරයට ‘ස්ත්‍රිය’ යන්න නිගරු හෝ අපහාසාත්මක වදනක් නොව අරමීය [Aramaic] භාෂාවෙන් ජේසුස් වහන්සේ ගරුත්වයෙන් හා භක්ත්‍යාදරයෙන් සිය මෑණියන්ට කළ
ආමන්ත්‍රණයකි. (අපේ ගැමි සිංහල බස් වහරේ මවට ඇගේ පුතු ‘උඹ’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම මීට නිදසුනකි.) ජේසුස් වහන්සේ වෙනත්
වනිතාවන්ට ද ‘ස්ත්‍රිය’ යනුවෙන්
ඇමතූ අවස්ථා මතෙව් 15 : 28, ලූක් 13 : 12, ජොහාන් 4 : 21, 8 : 10, 20 : 13 යනාදී
ස්ථාන වල ද දැකිය හැකිය. ජොහාන් තම සුභාරංචි කෘතිය තුළ ‘ස්ත්‍රිය’ යන වචනය භාවිත කර ඇත්තේ වෙනත් දේවධාර්මික සංකල්පයක් ඉදිරිපත් කිරීමට
ය. ස්ත්‍රිය යන වචනයට හේබ්‍රෙව් භාෂාවෙන් ma-li walak යන වදන යෙදේ. එහි අරුත “උතුම් තැනැත්තිය”
යන්න ය. පැරණි ස්ත්‍රිය වන ‘පැරණි ඒව’ හා නව ස්ත්‍රිය වන ‘නව ඒව’ යන සංකල්පය ඔහු ගෙන හැර දක්වයි. පුරාණ ගිවිසුමේ පළමු ස්ත්‍රිය ඒව ය. “ඒව” යන වචනයට හේබ්‍රෙව් බසින් “හවාහ්” [Hawah] යන වදන යොදා ඇත. එහි අර්ථය “ජීවත්වීම” යන්න ය. සෙප්ටුවාජින්ට් ග්‍රීක පුරාණ ගිවිසුමේ “ස්ත්‍රිය” යන්නට “සොයි”
[Zoe] යන වදන යොදා ඇත. එහි අර්ථය “ජීවිතය” යන්න ය. පළමු ඒව අහංකාරයෙන් පෙළී,
දෙවියන් වහන්සේට අකීකරු වී, ලොවට පාපය හා විනාශය රැගෙන ඒමට දායක වූවා ය. එහෙත්
දෙවියන් වහන්සේ ස්ත්‍රියගේ වංශය හා නපුරේ බලවේගය අතර ප්‍රබල වෛරයක් තැබූ සේක. “තා
සහ ස්ත්‍රිය අතර ද, තගේ වංශය හා ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි” (උත්පත්ති 3 : 15) යන දේව වාක්‍යය පරිපූර්ණත්වයට පත් කිරීමකි. මෙහි
සඳහන් “ස්ත්‍රිය” වනාහී, මිනිස්
ස්වරූපයෙන් බිහිවන දිව්‍ය ගැළවුම්කරුවාණන් (ඔහු) ලොවට බිහි කරන ස්ත්‍රිය යි. “ඇගේ වංශය” යනු දැහැමි දේව ජනතාවගේ නියෝජනය යි.
නූතනයේ එය ශුද්ධ වූ සභාව වශයෙන් පිළිගැනේ. මෙම සංකල්පයට අනුව, ජොහාන් තුමා “ස්ත්‍රිය” යන්න යෙදුවේ, මරිය තුමිය නව මිනිසා හෙවත් නව ආදම් වන ජේසුස්
වහන්සේව ලොවට බිහි කළ නව ස්ත්‍රිය හෙවත් “නව ඒව” බව පෙන්වීමට ය.
- පැරණි ස්ත්‍රිය - ඒව - “ජීවමාන සියල්ලන්ගේ මාතාව” අහංකාරය හා අකීකරුකම තුළින් ලොවට විනාශය ගෙන ආවා ය. එහෙත් නව ස්ත්රිය - මරියාවන් - “ප්‍රේමවන්ත ශ්‍රාවකයාගේ මාතාව” දෙවියන් වහන්සේ ඉදිරියෙහි බැහැපත්කම හා කීකරුකම තුළින් ලොවට ජීවනය හා ගැළවීම රැගෙන ආවා ය.
- පැරණි ස්ත්‍රිය - ඒව - තෘෂ්ණාවන්ට වහල් වූවා ය. නව ස්ත්‍රිය වන මරියාවන් දේව සැළැස්ම හා දේව කැමැත්ත ඉටු කිරීමට සියලු ආශාවන් ත්‍යාජ කළා ය.
- පැරණි ස්ත්‍රිය - ඒව - දෙවියන් වහන්සේට අකීකරු වූවා ය. එහෙත් නව ස්ත්රිය - මරියාවන් සෑම කරුණක දී ම දෙවිඳුන්ට අවනත වූවා ය.
ජොහාන් සුභාරංචි පොතේ මරිය තුමියට භාවිත වන ස්ත්‍රිය යන
වදනේ ගැඹුරු අර්ථය මෙය වේ.
ලන්දේසි පීඩන සමයේ ශ්‍රී ලංකාවට පැමිණ ධර්මදූත සේවයෙහි
යෙදුණු ශ්‍රී ලාංකේය කිතුනු සාහිත්‍යෙය් නිර්මාතෘවර ගෞරවණීය ජාකොමේ ගොන්සාල්වේස්
පියතුමා, ‘ස්ත්‍රිය’ යන වදන භාවිත කිරිමට හේතුව දක්වන්නේ
මෙසේ ය. “එසේ නමුත් ක්‍රිස්තියානිවරුණි, අපේ ස්වාමිදරුවෝ මෑණියන් වහන්සේට ස්ත්‍රිය
කියා අඬගැසුවේ මන්ද කීවොත්, උන් වහන්සේ උකුත් වෙන (මරණයට පත් වන )වෙලේ, අම්මා කියා
අඬගැසුවොත් ඒ ආදර අකම්පාලයෙන් මෑණියන්ගේ ජීවිත හානි වෙන්ට පුළුවන කියන කාරණාවෙන්
අම්මා කීවේ නැතැයි දැනගන්නේ ය.” (දුක් ප්‍රාප්ති ප්‍රසංගය, පිටුව 56, 1979,)
අපට
හිමිවන දේව පණිවුඩය
මරිය තුමිය ලොවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මාතාව ය. එතුමිය ශ්‍රේෂ්ඨ
වන්නේ දේව පුත්‍රයාව මෙලොවට බිහි කිරීමේ ප්‍රීතිදායක අත්දැකීම ද, එතුමියගේ පුත්‍රයාව
අමානුෂික ලෙස ඝාතනය කිරීමේ දුක් පීඩාව ඉවසීමෙන් දරා ගත් නිසා ය. ජේසුස් වහන්සේ ම
පෙන්වා දෙන පරිදි, මරිය තුමිය දෙවියන් වහන්සේගේ වචනය අසා පිළිපැද්ද නිසා ය. එනිසා
මරිය තුමියගේ මාතෘකත්වයට පංගුකාරවීමට නම් දෙවිඳුන්ගේ වචනය අසා එය සතුටින් පිළිගෙන ඒ
අනුව ජීවත් විය යුතු ය. අපගේ මෙලොව දේව නියෝජිතයන් වන දෙමව්පියන්ට ද ගරු බුහුමන්
දක්වා ඔවුන්ට ප්‍රේම කළ යුතු ය. සෑම වනිතාවක් ම මව් පදවිය සඳහා කැඳවීමක් ලබා ඇති
බව සිහිකර තම ජීවිත ගරුත්වය හා පිවිතුරුබව රැකගෙන උතුම් ජීවිතයක් ගත කළ යුතු ය.
.........................................෴ වැඩිදුර සටහන් ෴................................
[1] ජොහාන්තුමා ලියූ සුභාරංචියේ ස්ථාන කිහිපයක සඳහන් වන මෙම “ප්‍රේමවන්ත ශ්‍රාවකයා” පිළිබඳ සංකල්පය බොහෝ දේවධර්ම හා බයිබල් විශාරදයන්ගේ මතවාද වලට ලක් වූවකි. ඇතැමුන් ඉන් ජොහාන් අපෝස්තුළුතුමාව අදහස් කරන බව පිළිගනිති. මන්ද, එම “ප්‍රේමවන්ත ශ්‍රාවකයා” යන වචන යුගලය සඳහන් කරන්නේ ජොහාන්තුමා පමණක් වීම ය. මෙම “ප්‍රේමවන්ත ශ්‍රාවකයා” සංකල්පය ජොහාන් 13 ( 23, 19 : 26, 21 : 7 හා 20, යන ස්ථාන වල පැහැදිළිව දැකිය හැකි ය. මෙම ප්‍රේමවන්ත ශ්‍රාවකයාව, “අනික් ශ්‍රාවකයා” යන නමින් ද ජොහාන් 20 : 2, 4, 8 යන ස්ථාන වල හඳුන්වා ඇත. ඔස්කාර් පුල්මන් නමැති බයිබල් විශාරදයා පෙන්වා දෙන ආකාරයට, “ප්‍රේමවන්ත ශ්‍රාවකයා” යනු ජේසුස් වහන්සේව තම හදවතට ප්‍රේමයෙන් පිළිගෙන ඔවුන් වහන්සේව අදහාගත්, ඔවුන් වහන්සේගේ ප්‍රේමයේ පණත අනුව ජීවත්වන ඕනෑම අයෙක් ය. අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ජේසුස් වහන්සේගේ ළයෙහි සැතපී සිටීමට හැකි වන්නේ ද (ජොහාන් 13 : 23), ඔවුන් වහන්සේව හඳුනා ගැනීමට හැකි වන්නේ ද (ජොහාන් 21 : 7), සදාතන ජීවනය හිමිකර ගැනීමට වාසනාව ලැබන්නේ ද (ජොහාන් 6 : 47, 11 : 25 – 26, 21 : 20 – 23) එවැන්නෙකුට ය.

0 comments:
Post a Comment