Recent Posts

ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ පණිවුඩය


''ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; දිව්‍ය ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක." (1 පේදුරු 3 : 18) 
නැවත මරණයක් නොලබන ලෙස සදාකාල ජීවිතයට ශාරීරිකවත්, ආධ්‍යාත්මිකවත් මළවුන්ගෙන් උත්ථාන වූ පළමු මිනිසා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේය. මෙලොව මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේ දී ජේසුස් වහන්සේ, නායින් නුවර වැන්ඳඹුවගේ පුත්‍රයා (ලූක් 7 : 11 - 16), (පහත පළමු රූපය) ජුදෙව් ධර්මශාලා ප්‍රධානියෙකු වූ ජායිරස්ගේ දියණිය (ලූක් 8 : 40 - 42, 49 - 56), (පහත දෙවන රූපය) සහ ලාසරස් (ජොහාන් 11 : 38 - 44) (පහත තෙවන රූපය) යන මරණයට පත් වූ තිදෙනෙකුට නැවත ප්‍රාණය ද දුන් නමුත්, ඔව්හු පසුකලෙක නැවත මරණයට පත් වූහ. 
 
 ජොප්පාවේ සිටි දොර්කස් හෙවත් 'මුවදෙන' යන අර්ථය ඇති තබීතා නමැති රෝගීව මිය ගිය කන්තාවට පේදුරු තුමා නැවත ප්‍රාණය ලබා දුන්නේය (ක්‍රියා 9 : 36 - 41). ත්‍රෝවසය නමැති ප්‍රදේශයේ රාත්‍රියේ පාවුළු තුමාගේ දේශනා අසමින් සිටිය දී නිදිබරව තුන්වන මහළින් පහතට වැටී මිය ගිය යුතිකස් නමැති තරුණයාට පාවුළු තුමා ප්‍රාණය ලබා දුන්නේ ය (ක්‍රියා 20 : 7 - 12). එහෙත් මේ සියලු දෙන පසුකලෙක නැවත මරණයට පත් විය. 


පේදුරු තුමා ​තබීතාට නැවත ප්‍රාණය දීම (වම)
හා 
පාවුළු තුමා යුතිකස්ට ප්‍රාණය දීම (දකුණ)


තිෂ්බීය එලියා නම් දිවැසිවරයා වැන්ඳඹුවකගේ මරණයට පත් වූ පුත්‍රයාට ප්‍රාණය දීමක් ගැන පුරාණ ගිවිසුමේ සඳහන් වේ (1 රාජාවලිය 17 : 20 - 23). (වම් රූපය) 

ෂුනම්මිය ස්ත්‍රිය නමැති කාන්තාවගේ මැරුණු පුත්‍රයාට එලීෂා නම් දිවැසිවරයා ප්‍රාණය දී ඇත (2 රාජාවලිය 4 : 31 - 37). (දකුණු රූපය) 


 ගල් සොහොන් ලෙනක තැන්පත් කර තිබූ එලීෂාගේ මළ සිරුර ස්පර්ශ වීමෙන් මළ මිනිසෙකුට ප්‍රාණය ලැබුණි (2 රාජාවලිය 13 : 20 - 21). (වම් රූපය) එහෙත් ඔව්හු සියල්ලෝ පසුකලෙක නැවත මරණය අත්දුටුහ. එහෙත් ජේසුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානවීම යන්න ඊට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. "උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බව අපි දනිමු" (රෝම 6 : 9). "පාපය නම් දේව නීතිය කඩ කිරීම ය" (1 ජොහාන් 3 : 4b). "එක මනුෂ්‍යයෙකු (ආදම්) නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදුව පවතී" (රෝම 5 : 12). එබැවින් ".....ආදම් පටන් මෝසස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේ ය" (රෝම 5 : 14a). මිනිසෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට ද මරණයට මුහුණ දීමට සිදු වූයේ ආදි මව්පියන්ගේ පාපයට හිමි දඬුවම හා විපාකය මරණය නිසා ය. "උන් වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මළ සේක" (රෝම 6 : 10). පාපය මෙන් ම මරණය ද දේව සම්බන්ධතාවය බිඳ දැමීය. ජේසුස් වහන්සේට ප්‍රථම මරණයට පත් වූ යහපත් පුද්ගලයන්ට ගැළවීම හෝ සදාතන ජීවනය හිමි කර ගැනීමට නොහැකි වූයේ එනිසා ය. ආදම්ගේ පාපය නිසා 'ස්වර්ගයේ දොරටුව වැසීම'(1) හෙවත් 'සදාකාලික ජීවිතය අහිමිවීම' සිදුවීම ය.  එහෙත් පව්කාර මිනිසාට ඉන් ගැළවීම ලබාගෙන, දෙවියන් වහන්සේ මිනිසාට දීමට ආශාවෙන් සිටින අමරණීය (සදාකාල) ජීවිතය ලබා දීමට තිබෙන දේව සැලැස්මේ ප්‍රධාන පියවර, ජේසුස් වහන්සේව මරණයෙන් උත්ථානයට පත් කිරීම ය. 
උත්ථානය යනු, දිරාපත් වන සුළු දුර්වල මිනිස් ශරීරය දේව බලයෙන් හා දේව වරප්‍රසාදයෙන් පූර්ණව නොදිරන අමරණීය තත්ත්වයකට පරිවර්තනය වීමය.(2)  ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේට කීකරු වී දේව සැලැස්ම සම්පූර්ණත්වයට පත් කිරීමේ මෙසියානු කාර්යය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් වහන්සේට ලැබුණු දේව තිළිණය මළවුන්ගෙන් උත්ථාන කිරීම ය. ජේසුස් වහන්සේ ම තම බලයෙන් උත්ථාන වූවා නොව, දෙවියන් වහන්සේ එතුමන්ව උත්ථාන කළ සේක. මේ බව ඉතා පැහැදිළිව පේදුරු තුමා තම දේශන වල දී පෙන්වා දී ඇත.(3) ජේසුස් වහන්සේගේ උත්ථානය කවදා හෝ දිනක ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමේ දී අපව ද මහිමාන්විත ලෙස උත්ථාන කරන බවට හා සදාකාල ජීවිතය පිළිබඳ සහතිකයයි.(4) 
ජේසුස් වහන්සේගේ උත්ථානය යන්න විද්‍යාත්මකව පැහැදිළි කළ හැකි දෙයක් නොවේ. හේතුව එය විද්‍යාවේ සීමාවන් ඉක්මවා යන ගැඹුරු සත්‍යයක් බැවිනි. ජේසුස් වහන්සේගේ උත්ථානය හා එහි ගැඹුරු අර්ථය අපට තේරුම් ගත හැක්කේ අපගේ ඇදහිල්ල (විශ්වාසය) තුළිනි. කිතුනු ඇදහිල්ලේ පදනම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය යි. මේ පිළිබඳව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
"මළවුන්ගෙන් උත්ථානවීමක් නැත්නම්, ක්‍රිස්තුස් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම්, අපගේ දේශනා කිරීම නිරර්ථකය; ඔබගේ ඇදහීමත් නිරර්ථකය.....ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහුය. එපමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන මිය ගිය අය ද සදහට ම විනාශ වී ඇත....." (1 කොරින්ති 15 : 13 - 14,17 - 18)  
කිතුනුවන් වශයෙන් අප අදහන්නේ මැරී කුණු වී පොළොවට දිරි පත් වූ පුද්ගලයෙකුව නොව, අපව ගළවා ගැනීමට තම තරුණ ජීවිතය කෲර වේදනාත්මක මරණයකට කැප කර මළවුන්ගෙන් නැවත නැගිට සිටි දෙවියන් ව ය. අපෝස්තුළුවරුන් තම ජීවිතයෙන් ඒ ගැන සාක්ෂි දැරූහ.(5) ප්‍රධාන ගෝලයා වුවත් සාක්ෂි දැරීමට ශක්තියක් නැතිව සිටි පේදුරු තුමා, මුල් කාලයේ දී කිතුනුවන්ට විරුද්ධ ව සිටි සාවුල් හෙවත් පාවුළු තුමා වැනි පුද්ගලයන් සිත් පැහැදී දේව බලයෙන් ශක්තිමත් වී තම ජීවිත පූජාවෙන් ක්‍රිස්තුස් වහන්සේ ව දේශනා කරමින් සාක්ෂි දැරුවේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දුටු නිසා ය. එනිසා එක් අතකින් කිතුනුවෙකු වීම යන්න අහිංසක ආඩම්බරයකට හේතුවකි. වඩාත් වැදගත් කරුණ වන්නේ උත්ථාන වූ ජේසුස් වහන්සේව අදහා ගැනීම ය. ජේසුස් වහන්සේ අපගේ එකම ගැළවුම්කරුවාණන් බව ද, ඔවුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව ද පිළිගෙන ඇදහීම, ගැළවීම ලබා ගැනීමේ පළමු පියවර ය.  "ඔබ 'ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ය' යි ප්‍රසිද්ධියේ පුකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය", (රෝම 10 : 9) යනුවෙන් පාවුළුතුමා පවසන්නේ එනිසා ය.
 අද උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිද? ඔවුන් වහන්සේව එදිනෙදා ජීවිතය තුළ අපට හමුවේ ද?
  • ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහස නැවත පූජාසනයක් මත සිදු කරන දිව්‍ය පූජා යාගයේ සෑම කොටසක් තුළින් ම(විශේෂයෙන් දිව්‍ය සත්ප්‍රසාදය තුළ) උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපට අත්දැකිය හැකිය.
  • දිව්‍ය සත්ප්‍රසාදය ඇතුළු සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) අදහිල්ලෙන් හා සූදානමකින් යුතුව ලබන සෑම අවස්ථාවක ම අප ලබා ගන්නේ, අපට හමුවන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව ය.
  • සුභාරංචි පොත් වලින් ක්‍රිස්තු චරිතය අධ්‍යයනය කරන, ඔවුන් වහන්සේගේ ඉගැන්වීම් හදාරන සෑම විට ම එයින් අපට අනාවරණය වන්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
  • ජේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් කතා කරන විට අප අසල අදෘශ්‍යමානව වැඩ සිටින්නේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ ය.
  • සෑම වසරකම පාස්කු මංගල්‍යය සැමරීම තුළ අප ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දකිමු.
අයහපතෙන් ඈත් වී, සැබෑ ජීවිත වෙනසක් ඇති කරගෙන උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ බලය අත්දකින්න. ශුද්ධාත්ම බලය තුළ ජීවත් වන්න. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය හා සාමය ඔබට ලැබේවා! ආලේලුයියා! 

 

----------- ෴ වැඩිදුර සටහන් ෴ ----------- 
(1) ".....එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය. (උත්පත්ති 3 : 22b)
"......තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක." (උත්පත්ති 3 : 24b)
(2) පාවුළු තුමාගේ මේ පිළිබඳ ඉගැන්වීම නම්, "...... වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි. වළලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි, උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වළලනු ලබන සිරුර දුබල වූවකි, උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි;" (1 කොරින්ති 15 : 42 - 43) යන්නය.
(3) "එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක" (ක්‍රියා 2 : 24) "දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක" (ක්‍රියා 2 : 32)
(4) " .....එහෙත් සැබවින් ම ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ." (1කොරින්ති 15 : 20)
(5) " දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු." (ක්‍රියා 2 : 32)


ජේසුස් වහන්සේ මුහුණ දුන් කුරුසියේ මරණය - බයිබලීය විමසුමක්

"කුරුසියේ(1) පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තියේ මඟට පා තැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ." (1 කොරින්ති 1 : 18)
සාතන්ගේ වහල්කමට හසුවූ මිනිසාව ඉන් ගළවා ගෙන දෙවියන් වහන්සේ සමග ස්ථිර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ජේසුස් වහන්සේට දෙවි පියාණන්ගෙන් පැවරුණ කාර්යය, "මෙසියානු කාර්යය" නම්වේ. සාතන්ගේ ග්‍රහණයෙන් මිනිසාව මුදා ගැනීම සඳහා රුධීරමය ජීවිත පූජාවක් (බිල්ලක් දීම) කිරීම අත්‍යාවශ්‍ය විය. එම බිළි පූජාව වූයේ, නොකැළැල් ස්වර්ගීය ජේසුස් වහන්සේ ය. "ඔබ මිළයකට ගත් අය වන්නහු ය" (1 කොරින්ති 6 : 21) යනුවෙන් පාවුළුතුමා මෙය පෙන්වා දෙයි. එම "මිළය" වනාහී, ජුදාස් ස්කාරියොත් නමැති ශ්‍රාවකයා ජේසුස් වහන්සේව විකුණූ රිදී කාසි 30 නොව, ඔවුන් වහන්සේගේ අති අමිල (නිර්මල) රුධිරය ය. "රුධිරය" යන්න අති වැදගත් මිනිසාට ජීවය ලබා දෙන්නකි. 
රුධිරමය ගනුදෙනු හා සම්බන්ධතා ගැන ශුද්ධ බයිබලයේ විවිධ තැන් වල සඳහන් වී ඇත.(2) අන්තිම රාත්‍රී භෝජනයේ දී ක්‍රිස්තුස් වහන්සේ පාස්කු ආශිර්වාදිත කුසලාන රැගෙන තම ශ්‍රාවකයන්ට දෙමින්, " මේ කුසලාන ඔබ උදෙසා වගුරවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය" (ලූක් 22 : 20) යනුවෙන් පුකාශ කළේ, දෙවියන් වහන්සේ සමග කරන ගිවිසුම් වල දී තිබිය යුතු ජීවිතමය බැඳීම පෙන්වා දීමටය. 
මිසරයේ වහල්කමින් පීඩා විඳි ඉශ්රායෙල් ජනතාව ඉන් මුදා නිදහස් කර ගැනීමේ දී කළ කුළුඳුළන් මරණයට පත් කිරීමේ සිද්ධියේ දී, එදින රාත්‍රියේ මිසරයට උඩින් ගමන් ගත් "මරණයේ දූතයා" වෙතින් ඉශ්රායෙල්වරුන්ගේ ජීවිත ආරක්ෂා වූයේ, (නික්මයාම 12 : 7, 13) ඔවුන්ගේ නිවෙස් වල දොර උළුවහු හා වහලයේ යට ලීයේ තවරා තිබූ පාස්කු බැටළුවාගේ රුධිර සළකුණ නිසයි. 
ඉශ්රායෙල් ජනතාව මිසරයේ පැවැත්වූ පළමු පාස්කුවේ දී දොර උළුවහු හා වහලයේ යට ලීයේ තැවරූ යාග වූ කුළුඳුල් බැටළු පැටවාගේ රුධිරයේ සළකුණ නිසා ඉශ්රායෙල් ජනයා ශාරීරික මරණයෙන් නිදහස හා ගැළවීම ලැබූහ. එම බැටළුවා මරණයට පත් වූයේ ඉශ්රායෙල් ජනතාව වෙනුවෙනි. ‍එලෙසම දේව පුත්‍ර ජේසුස් වහන්සේගේ රුධිරය අපට ගැළවීම හා ජීවනය ලබා දෙන්නක් වේ. ජේසුස් වහන්සේ කුරුසිය මත හෙළූ ශ්‍රී රුධිරය, (කායින් වැගුරූ නිර්දෝෂ ආබෙල්ගේ රුධිරය මෙන්) දේව ශාපය ලත් පොළොව (3) මත වැටී පාපයෙන් කිළිටිව තිබූ මැවිල්ල පවිත්‍ර කර නවතාවයකට පත් කළ සේක. පාස්කු බැටළුවාගේ රුධිරය ඉශ්රායෙල් ජනතාවට මාංශික (ශාරීරික) වහල්කමින් හා මරණයේ දූතයාගෙන් නිදහස හා ගැළවීම අත්කර දුන් ලෙසම, ජේසුස් වහන්සේගේ රුධිරය මුළු ලෝකවාසී ජනතාවට ම පාපයේ ආධ්‍යාත්මික වහල්කමින් හා සාතන්ගේ ග්‍රහණයෙන් නිදහස හා ගැළවීම හිමි කර දුන් සේක. එනිසා ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය දෙවියන් වහන්සේ හා මිනිසාව නැවත නොබි‍ඳෙන  ගැඹුරු ගිවිසුම් සම්බන්ධතාවයකට පත් කළ සේක.   
සීනයි පාළුකරයේ දී දෙවියන් වහන්සේ මෝසස් මගින් ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුම ස්ථිර කිරීමේ බාහිර වත් පිළිවෙතට අනුව කුළුඳුල් බැටළු පැටවෙකුගේ රුධිරය පූජාසනය හා රැස්වී සිටි ජනතාව මත ඉස ඔවුන්ගේ ජීවිතවල අයිතිය හා බලය, දෙවියන් වහන්සේ සමග තිබෙන බැඳීම ද තහවුරු කළේය.(4) ජේසුස් වහන්සේ කුරුසිය මත රුධිරය හෙළා මරණයට පත්වීමතුළින් මුළු මිනිස් වර්ගයාම දෙවියන් වහන්සේ හා සම්බන්ධ කළ අතර, මිනිස් වර්ගයාගේ ජීවිත පිළිබඳ දේව අයිතිය තම රුධිරය මගින් තහවුරු කළ සේක. එමගින් සාතන්ට අපගේ ජීවිත කෙරෙහි වූ බලය අහෝසි කළ සේක. මේ අනුව බලන කල, ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව අති අමිල වූ යාගයකි. 
ජොහාන් සුභාරංචියේ පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේට පාස්කු භෝජනය තම ශ්‍රාවකයන් සමග වැළඳීමට නොහැකි විය.(5) ජොහාන් පෙන්වන ආකාරයට ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය පාස්කු භෝජනයක් නොව, සමුගැනීමේ භෝජනයකි. මන්ද, ජේසුස් වහන්සේ මරණයට මුහුණ දුන්නේ පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කිරීමට සිටි, පාස්කු භෝජනය අනුභව කිරීමට සූදානම් කර තිබූ දිනයේ ය. (මේ පිළිබඳ වෙන ම විග්‍රහයක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ.) සාමාන්‍යයෙන් පාස්කු මංගල්‍යයේ දී පාස්කු බැටළුවා ජෙරුසලම් දේවස්ථානයේ යාග පූජා කරන්නේ සවස 2. 30 ත් 3. 00ත් අතර වේලාවේ දී ය. ලූක් 23 : 44 ට අනුව, ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා ඇත්තේ මද්දහන් වේලාවේ දී ය. සුභාරංචි පොත් වලට අනුව සාමාන්‍යයෙන් පැය තුනක් පමණ කාලයක් ජේසුස් වහන්සේ කුරුසියේ එල්ලී වධ විඳ මරණයට පත්ව ඇත. ජෙහාන් තුමා ‍සුභාරංචියෙන් පෙන්වන්නේ "පාස්කු මංගල්‍යයට සූදානම් වන දවසේ මද්දහනේ වේලාවේ දී පිලාත් ජේසුස් වහන්සේව මරණයට තීන්දු කළ බවය. 
ඒ අනුව ඔහු අපට දෙන දේවධාර්මික පණිවුඩය නම්, කුළුඳුල් පාස්කු බැටළුවා ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් යාග වන මොහොතේ එම බැටළුවාගේ තැන ගෙන ජේසුස් වහන්සේ ලෝක ජනතාවගේ මිදීම වෙනුවෙන් යාග වී අපට ගැළවීම, දේව සම්බන්ධතාවය හා ජීවනය ලබා දුන් බවය. මෙය බව්තීස්මය ලැබීමට පැමිණි ජේසුස් වහන්සේ ගැන ස්නාවක ජොහාන් දැරූ සාක්ෂිය සම්පූර්ණත්වයට පත් වීමකි.(6) 
තවද, දෙවියන් වහන්සේට හා මෝසස්ට විරුද්ධව කතා කළ සීනයි පාළුකරයේ සිටි ඉශ්රායෙල් ජනතාවට කාන්තාරයෙන් පැමිණි සර්පයන් දෂ්ඨ කළ විට, දේව මග පෙන්වීම අනුව මෝසස් විසින් සාදන ලද රිටක් මත තැබූ පිත්තල සර්පයා දෙස බැලීමෙන් රෝගීහු සුවය ලැබූහ. (ගණන් කථාව 21 : 8 - 9) එලෙසම කුරුසියක එල්ලා සිටි ජේසුස් වහන්සේගේ මරණය හා උත්ථානය මගින් අපට ගැළවීම හා ජීවනය හිමි විය.  
මතෙව් තුමා පෙන්වා දෙන ආකාරයට ජේසුස් වහන්සේ මරණයට පත් වූ අවස්ථාවේ පහළ වූ සළකුණු අතර, " දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය." (මතෙව් 27 : 51) 'දේව මාළිගාවේ තිරය ඉරීම' යන්න දෙවියන් වහන්සේ හා මිනිසා භේද කළ 'පාපය' ඉවත් වී දෙවියන් වහන්සේ හා මිනිසා සමගි වී, ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනැගීම අදහස් වේ.(7)  ගිවිසුම් කරඬුව යනු, දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව සමග කළ සීනයි ගිවිසුමේ බාහිර සළකුණ හා දෙවියන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටීමේ සංඛේතය විය. එය ඉදිරිපිට දොර තිරයක් තිබීම නිසා දෙවියන් වහන්සේව දර්ශනය කිරීමට හා ඔවුන් වහන්සේ සමග සම්බන්ධ වීමට මිනිසාට තිබූ බාධකයක් විය. එසේම පාපය මිනිසාට දෙවියන් වහන්සේ හා සමග ගැඹුරු සම්බන්ධතාවයට නිරන්තර බාධකය වේ. "දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරීම" යන්න, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණය මගින් දෙවියන් හා මිනිසා වෙන් කළ පාපය නමැති කඩතුරාව ඉවත් වී, දෙවියන් වහන්සේට හා මිනිසාට එකිනෙකාව දර්ශනය කිරීමට, හමුවීමට හා ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සැළසීම සංඛේතාත්මකව පෙන්වීමකි.
ඒදන්උයනේ සිටි ආදම්ගේ ඇති වූයේ පාපය අකීකරුකම, අහංකාරය හා තෘෂ්ණාව නිසාය. ඒවා සාතන්ගේ ස්වභාවය හා ඌ සතු දුර්ගුණ වෙති. එම දුර්ගුණ අනුව ක්‍රියා කරන්නා සාතන්‍ හා සම්බන්ධ වෙයි. එහෙත් ජේසුස් වහන්සේගේ මෙසියානු කාර්යය කීකරුකම (අවනතභාවය), බැහැපත්කම හා ස්වත්‍යාජය මත පදනම් වූවකි. මැවිල්ල හා සදාතන ජීවනය පිළිබඳ දේව සැලැස්ම දෙවියන් වහන්සේ පළමුව අනාවරණය කළේ, පළමු මිනිසා වූ ආදම්ට ය. එහෙත් ඔහු (දෙවියන් වහන්සේට අකීකරු වූ දේවදූතයෙකු වූ) සාතන්ගේ රැවටීමට හසුවූ සිය භාර්යාවගේ හඬට ඇහුම්කන් දී, එය ප්‍රතික්ෂේප කර හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කළේය. එහි බියකරු ප්‍රතිඵලය වූයේ, ලෝකය මරණය හා විනාශය උරුම වීමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා දෙවි පියාණන් වහන්සේට කීකරු වීමෙන් දේව සැලැස්ම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කළ සේක. තම සොහොයුරු කායින් අතින් මරු දුටු පිරිසිඳු සිතින් දෙවිඳුන්ට යාගයක් පිදූ, කිසිඳු වරදක් නොකළ ආබෙල් (උත්පත්ති 4 : 8), 
තම පියාවූ ආබ්‍රහම් දෙවිඳුන් වෙත තිබූ පක්ෂපාතීබව හා අවනතභාවය වෙනුවෙන් යාගයක් වීමට කිසිම විරුද්ධත්වයකින් තොරව කීකරු වූ ඊසාක් (උත්පත්ති 22 : 1 - 13), 
කිසිම වරදක් නොකළත් තම සොහොයුරන් අතින් රිදී කාසි 20 කට වහලෙකු ලෙස විකිණී ගොස් (උත්පත්ති 37 : 18 - 36), නොකළ වරදකට සිර දඬුවම් ලැබූ අවිහිංසක ජෝසප් (උත්පත්ති 39 : 7 - 20), කිසිම සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නොවූ, එහෙත් නිකරුණේ දේව අපහාසය පිළිබඳ බොරු චෝදනා කර ගල් ගසා මරා දැමුණු නාබොත් (1 රාජාවලිය 21 : 8 - 14), දේව ජනතාව (ඉශ්රායෙල්වරුන්) වහල්කමින් මුදා ගැනීමට සිය ජීවිතයම කැප කළ මෝසස්, දෙවි පියාණන්ට කීකරුව, දේව කැමැත්ත මුළුමනින්ම ඉටු කළ ජේසුස් වහන්සේගේ පූර්වාදර්ශ වෙති. ජේසුස් වහන්සේගේ බැහැපත් කීකරුකම තුළින් දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කර එමගින් අපට ගැළවීම, ජීවනය හා දේව සම්බන්ධතාවය ලබා දුන් සේක. 
දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම යනු, "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" පිළිබඳ සංකල්පය ක්‍රියාවට නැගීමකි. "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" යන්න, දෙවියන් වහන්සේට අපගේ සම්පූර්ණ අයිතිය පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, ඔවුන් වහන්සේගේ කැමැත්ත මුළුමනින්ම ඉටු කිරීමය. ජේසුස් වහන්සේ උපතේ සිට මරණය දක්වා ඉටු කළේ එයයි. ජේසුස් වහන්සේ දෙවි පියාණන්ට තමන්ව සම්පූර්ණයෙන් පවරා දී, ඔවුන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වී, දේව කැමැත්ත මුළුමනින් ම ඉටු කළ ප්‍රධාන අවස්ථාව වන්නේ, කුරුසියේ මරණය ස්වකැමැත්තෙන් බාර ගෙන එය ක්‍රියාවට නැගීමයි. එම කීකරු උතුම් ක්‍රියාවට දෙවියන් වහන්සේගෙන් එතුමන්ට ලැබුණු දේව තිළිණය ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයයි. 
මේ අනුව, ජේසුස් වහන්සේ පාස්කු අභිරහස තුළින් අපට දිනා දුන් දේව වරප්‍රසාද අතර,
  1. පාපයේ වහල්බවින් අපව ගැළවීම 
  2. පාපයට හිමි දඬුවම වන නිරා ගින්නෙන් අපව මුදා ගැනීම
  3. සාතන්ගේ ග්‍රහණයෙන් අපව ගළවා ගැනීම 
  4. නැතිවී ගිය දේව සම්බන්ධතාවය නැවත හිමි වීම. එනම්, දෙවිඳුන් මිනිසා හා සමගිවීම
  5. සදාතන ස්වර්ගීය ජීවිතය හිමි කර දීම (ස්වර්ගයට නැගුණ පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ ය.)
  6. කීකරුකම හා දේව කැමැත්ත සම්පූර්ණත්වයට පත් කිරීම මගින් ආදම්ගේ සිට සිදුවූ ලොව සියලු පාප වලට වන්දි ගෙවීම 
  7. ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසෙන් ඔවුන් වහන්සේ ලැබූ දේව වරප්‍රසාද සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) මාර්ගයෙන් අපට හිමි කර ගැනීමේ භාග්‍ය ලබා දීම
 යනාදිය ප්‍රධානය.  
දෙවියන් වහන්සේ හා සමාන දේවත්වය දරමින් සිටි ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ) (8) දේවත්වය ඉවත දමා මනුෂ්‍යත්වය ගෙන මෙලොවට පැමිණ(9) පව්කාර මිනිසුන්ගේ ප්‍රතික්ෂේපයට ලක්ව, ඔවුන් අතින් පහර කා, වධ හිංසා විඳ ප්‍රසිද්ධ නීච මරණයක් හිමි කර ගැනීම(10) යන්න, මිනිස් මනසින් අවබෝධ කරගැනීමට ඉතා අපහසු දෙයකි. ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණයේ ඇති වැදගත්කම, එහි තිබෙන බලය හා ඉන් අප ලැබූ විමුක්තිය කොපමණ ද යන්න නියම ලෙස අවබෝධ කරගෙන, පිළිගෙන, එය ගැඹුරින් අදහා ගැනීමට හැකි නම් අනිවාර්යයෙන් ම අපගේ ජීවිත වෙනස් වී මීට වඩා යහපත් වනු ඇත. ජේසුස් වහන්සේ පාස්කු අභිරහසේ බලය හා මහිමය ඔබගේ ජීවිතය තුළ අත්දකින්න.  
   
 --------- ෴ වැඩිදුර සටහන් ෴ ----------
(1) "කෘක්ස්" යන ලතින් වචනයෙන් බිඳී එන කුරුසිය යන්නට ග්‍රීක භාෂාවෙන් "ස්ටඋරොස්" යන නම යෙදේ. පුරාණ කාලයේ භයානක අපරාධකරුවන් ලෙසින් පුසිද්ධියට පත් පුද්ගලයන්ට දුන් ප්‍රසිද්ධ නින්දිත මරණ දඬුවමක් ලෙස මෙය පිළිගැනේ. පුරාණ ගිවිසුමේ ගස් වල එල්ලා මරණයට පත් කිරීමේ නීතියක් ගැන ද්විතීය නීති සංග්‍රහය 21 : 22 හි සඳහන් වුවත් එය කුරුසපත් කිරීමට සමාන කළ නොහැක. ප්‍රසිද්ධියේ කුරුසපත් කිරීම කළේ නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන්ට මරණ තර්ජනයක් ලෙසින් හා බිය ගැන්වීමට අනතුරු ඇඟවීමක් ලෙසිනි. 
     කුරුසියක එල්ලී මරණයට පත් පළමු පුද්ගලයා ජේසුස් වහන්සේ නොවේ. අපරාධකරුවන්ට ඳඬුවම් කිරීම සඳහා කුරුසිය භාවිත කළ විවිධ ජාතීන් අතර, අසිරියන්වරුන්, පර්සියන්වරු, කාර්තේජයේ ෆිනිෂියන්වරු, පැරණි මිසරවරුන් හා ග්‍රීකයෝ ද සිටිති. පසුව එය රෝමවරුන්ද පිළිගෙන විදේශික අපරාධකරුවන්ට දුන් මරණ දඬුවමක් ලෙසින් රෝම ජනපද වල භාවිත කළෝය. 
     "කුරුසය" යන වචනය නව ගිවිසුම තුළ නාමපදයක් ලෙසින් 28 වතාවක් ද, ක්‍රියා පදයක් ලෙසින් 46 වතාවක් ද සඳහන් වී ඇත. එවකට ප්‍රධාන කුරුස වර්ග තුනක් භාවිත කර ඇත. රෝම හෝඩියේ T හා X හැඩැති කුරුස හා ජේසුස් වහන්සේව ඇණ ගැසූ + හැඩැති කුරුසය වේ. 
     අපරාධකරුවා විසින් කුරුසිය උසුළානෙ යාම සිරිතය. ඔහුට ඉදිරියෙන් ඔහු කළ වරද සඳහන් පුවරුවක් ගෙන යන අතර, පසුව එය කුරුසිය මුදුනේ එල්ලා තබයි. (ජොහාන් 19 : 19 - 20 හි සඳහන් ආකාරයට ‍ජේසුස් වහන්සේ ගැන "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්" යනුවෙන් හේබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් භාෂා වලින් ලියූ පුවරුවක් තබා තිබුණේ එබැවිනි.) ජේසුස් වහන්සේව මරණයට පත් කළ ස්ථානය ජේසුස් වහන්සේ කතා කළ භාෂාව වන අරමයික භා‍ෂාවෙන් "ගොල්ගොතා" නම් වේ. 
     එය ජෙරුසලම් ප්‍රධාන නගර සීමාවෙන් පිටත තිබූ හිස්කබලක හැඩැති ගොඩැල්ලකි. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වචනය වන, Calvary යන්න ලතින් භාෂාවේ "Calvarium" යන වචනයෙන් බිඳී එන්නකි. 
     කුරුස පත් කරන්නේ නිරුවතින් හෝ කුඩා රෙදි කැබැල්ලක් ඉණ දැවටීමෙන් නින්දා අපහාස කිරීමටය. මරණයට පත් වන්නාගේ ඇඳුම ඔහුව කුරුසියේ ඇණ ගසන සෙබළාට අයිති වන්නේ ඔම මරණයට සාක්ෂියක් හා සිහිවටනයක් වශයෙනි. (ජේසුස් වහන්සේගේ සළුව කිසිම මූට්ටුවක් නැතිව තනි නූලකින් සකසා තිබූ නිසා එය නොඉරා දාදු දැමීය. මෙම සළුවට සමාන සළුවක් උත්තම පූජකයා ද ඇඳ සිටිය යුතු බව නික්මයාම 28 : 31 - 32 හා ද්විතීය නීති සංග්‍රහයේ 22 : 11 හි දැක්වේ. එය ජොහාන් 19 : 23 - 24 හි පරිදි එය ජේසුස් වහන්සේගේ උත්තම පූජකභාවය නිරූපණය කරන සංකේතයකි. එසේම ගීතාවලිය 22 : 18 හි සඳහන්, "මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති" යන දිවැසිවැකිය ඉටු වීමකි.) 
     කුරුස පත් කිරීමට ප්‍රථම වේදනාව හා පීඩාව අඩු කිරීම සඳහා වෙළඳ පොලෙන් මිළට ගත හැකි මත්ද්‍රව්‍ය (ගන්ධරස) මුසු බාල මිදියුෂ පානයක් බීමට දෙයි. මේවා දිළින්දන් හා හේවායන් භාවිත කළ මත්පැනකි. ජේසුස් වහන්සේට ඒවා පිළිගැන්වූ නමුත් ඔවුන් වහන්සේ එය "දිව ගා බලා බොන්න අකමැති වූ සේක" (මතෙව් 27 : 34). එය ගීතාවලියේ 69 : 21 හි සඳහන් "සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය" යන ශුද්ධ ලියවිලි පාඨය සම්පූර්ණත්වයට පත් වීමකි. 
     සාමාන්‍යයෙන් පොළොවෙන් අඩි 3 - 5 අතර උසකින් කුරුසියේ ඇණ ගැසීම සිරිතය. දෑත් වල අල්ලට නොව මැණික් කටුව ප්‍රදේශයට ඇණ ගසන අතර, දෙපා දණිස් අගින් නැවෙන ලෙස ඇණ ගසයි. සමහර විට මෙය ඇණ තුනක් නොව හතරක් විය හැකිය. ජේසුස් වහන්සේව ඇණ තුනකින් කුරුසියේ එල්ලීම විශේෂ කරුණකි. එසේම අධික රුධිර වහනය වැළැක්වීම සඳහාත්, මරණයට පත්වන්නා මරු විකලෙන් දැඟලීම නැවතීම සඳහාත් ලණු වලින් දෑත ලී කඳට තබා බඳති. 
     කුරුස පත්වන පුද්ගලයා දැඩි අව් රශ්මියෙන් ද , කෘමීන්ගෙන් ද, සාගින්න හා පිපාසයෙන් ද පීඩාවට පත්ව මරණයේ අත්දැකීම විඳ ගනියි. පිපාසයේ දී දෙන්නේ විනාකිරි මුසු මුද්‍රික පානයයි. එසේම කුරුස පත් පුද්ගලයා දෙස බලන්නෝ නොයෙක් උසුළු විසුළු වලින් නින්දා අපහාස කිරීම ද සිදුවේ. මතෙව් 27 : 39 - 43 හ සඳහන් පරිදි ජේසුස් වහන්සේට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු විය. කුරුස පත් වූ තැනැත්තා උසුළු විසුළු කරන්නන්ට බැණ වැදීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජේසුස් වහන්සේ කුරුසියේ සිට දෙසූ වදන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් යැදුම් හා ප්‍රාර්ථනා වෙති. ලූක් 23 : 47 ට අනුව, එතැන සිටි රෝම ශතාධිපතියා, "සැබවින්ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකි" යි කීවේ එබැවිනි. 
     කුරුස පත්වූ අයෙකු දින 2 - 3 අතර කාලයක් කුරුසියේ එල්ලී සිට බොහෝ වේදනා විඳ මරණයේ අත්දැකීම ලබයි. ජොහාන් 19 : 32 අනුව, ජේසුස් වහන්සේ දෙපස එල්ලා සිටි සොරුන් දෙදෙනා දෙස බලන විට මෙය වඩාත් පැහැදිළි වේ. (එහෙත් ජේසුස් වහන්සේ ඉක්මනින් මරණයට පත් වන්නට ඇත්තේ ඔවුන් වහන්සේට කුරුස පත් වීමට පෙර විඳන්ට සිදුවූ අධික කෲර වධ වේදනා වලින් ඇති වූ පීඩාව නිසා විය යුතුය. මරණයට නියම වන්නන්ට මෙසේ වධ හංසා පමුණුවා කුරු පත් කිරීම නිතර සිදුවන්නක් නොවේ. ජේසුස් වහන්සේට එය විඳන්නට සිදුවීම ශුද්ධ ලියවිල්ල සම්පූර්ණත්වයට පත්වීමක් බව පෙනේ.) කෙසේ වුවද ගසක එල්ලූ පුද්ගලයාව මරණයෙන් පසුව ඉන් බිමට ගැනීම ද්වීතීය නීති සංග්‍රහය 21 : 22 - 23 හි සඳහන් දේව නීතිය ඉටු කරනු වස් අරිමාතියේ ජෝසප් නමැති ජේසුස් වහන්සේ රහසිගත මිතුරෙකු වූ ජුදෙව් මන්ත්‍රීවරයා පිලාත්ගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. මාර්ක් 15 : 44 ට අනුව, "උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක්දැ" යි අසා පුදුමව ඒ ගැන ශතාධිපතියාගෙන් විමසා බැලීමෙන් ඉහත සඳහන් කළ කරුණ පැහැදිළි වේ. තවද එදින සවස 6 ට සබත ආරම්භ වීමට නියමිතව තිබුණි. සබත් දිනය හා විශේෂ ජුදෙව් මංගල්‍ය පවත්වන දින වලදී කුරුස ගස් වල මළ කඳන් එල්ලා තිබීම අසුභ හා දවස අපවිත්‍රවීමට හේතුවක් ලෙස සැලකූ හෙයින් ඔවුන්ගේ සිරුරු කුරුස වලින් බිමට බෑමට අවසර ලැබුණි. සොරුන් දෙදෙනා නොමැරී සිටි නිසා ඔවුන්ගේ දෙපා දණිස් අගින් කඩා දමා අධික වේදනාව හා රුධිර වහනය මගින් මැරෙන්නට සැලැස්වීය. ජේසුස් වහන්සේට එසේ නොකළේ ඔවුන් වහන්සේ මරණයට පත්ව සිටි නිසාය. ජොහාන් 19 : 3 හා 36 අනුව එය ගීතාවලිය 34 : 20 හි සඳහන්, " එතුමාණෝ ඔවුන්ගේ ඇ‍ඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක්වත් බි‍ඳෙන්න ඉඩ නොහරින සේක", යන ශුද්ධ ලියවිලි පාඨය ඉටුවීමක් බව පෙනේ. එක් හේවායෙක් හෙල්ල‍යකින් ජේසුස් වහන්සේගේ ඇලයට ඇන්නේ, පිලාත්ගේ නියමය පරිදි (මාර්ක් 15 : 44 - 45) ඔවුන් වහන්සේගේ මරණය සහතික කොට දැනගන්නා පිණිසය. 
     ජේසුස් වහන්සේව කුරුසියෙන් බිමට බැස්ස වූ මොහොතේ තම මෑණියන් වහන්සේගේ උකුළ මත තැබීමේ පාදනමස්කාර සිද්ධිය සම්මත කොට පිළිගත් කිසිම සුභාරංචි පොතක සගදහන් නොවේ. එය අතරට ආවේ අසම්මත යැයි පිළිගත් වෙනත් සුභාරංචි පොතක ආභාෂයෙනි.
     ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරය ගන්ධරස නමැති මත් ඖෂධය හා අගිල් නමැති සුවඳ ද්‍රව්‍ය වලින් ගල්වා ආලේප කර සිහින් හණ රෙද්දකින් වෙළා අළුත් ගල්ලෙනක තැන්පත් කර ඇත. එම ගල්ලෙන අරිමාතියේ ජෝසප් හට අයත් කිසිවෙකු ඊට පෙර තැන්පත් නොකළ ලෙනකි. මෘත ශරීර ගල්ලෙන් තුළ තැන්පත් කිරීම මිසරයේ දී ඉශ්රායෙල්වරුන් පාරාවෝවරුන්ගෙන් ලැබූ ආභාෂයකි. (2 රාජාවලිය 13 : 20 - 21). මෙම ගල්ලෙන් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්, පස් කඳු හාරා සාදාගත් ලෙන්, ස්වභාවික ගල්ලෙන් හා ගල් එකිනෙක පිට තබා සෑදූ සොහොන් ලෙන් වශයෙනි. ඒවා ඇතුළත තරමක ඉඩක් ඇත. ගෙළ සිට පාදාන්තය දක්වා එකම රෙද්දකින් වෙළූ සිරුරේ හිස කොටස වෙනම රෙදි කඩකින් වෙලා ලෙන මත තබයි. ලෙනෙහි කට රවුම් ගල් පොත්කින් වසා කූඤ්ඤ ගසා තද කර වසනු ලබයි. සතියක් පමණ ගත වනතුරු වරින් වර එය විවෘත කර දුගඳ වළකනු සඳහා සුවඳ ද්‍රව්‍ය වත් කිරිම කරයි.  
(2) ජීවිතය හා රුධිරය අතර වන ගැඹුරු සම්බන්ධතාවය දෙවියන් වහන්සේ, කායින් තම සොහොයුරු ආබෙල්ව මැරූ මොහොතේ, ".....නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොර ගසයි....නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයා ගෙන ඇත." - (උත්පත්ති 4 : 10, 11b) යනුවෙන් පෙන්වූ සේක. මහා ජල ගැල්මෙන් පසුව දෙවියන් වහන්සේ නෝවාට මාංශ අනුභවයට අවසර දුන්න ද, "ජීව ධාතුව වන ලෙස සහිත මස් පමණක් නුඹලා නොකූ යුතුය" යි (උත්පත්ති 9 : 4) නියෝගයක් පැනවූ සේක. 
(3) "තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: 'නොකෑ යුතුය' යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේවා!...." - උත්පත්ති 3 : 17
(4) "මෝසස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන් වල දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින් 'සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙම්' යි කීහ. එවිට මෝසස් ලේ රැගෙන, සෙනග මත ඉසිමින්, 'මෙය වනාහී සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය' යි පැවසීය." - නික්මයාම 24 : 6 -8  
(5) "පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූහ. එබැවින් පිලාත් පිටත ඔවුන් සිටි තැනට පැමිණ,......" - ජෙහාන් 18 : 28b - 29a
"ඒ වනාහී පාස්කු මංගල්‍යයට සූදානම්වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු 'මෙන්න, ඔබේ රජ' යි ජුදෙව්වරුන්ට කී ය." - ජොහාන් 19 : 14 
(6) "මෙන්න, ලෝකයේ පාපය දුර ලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ....." ජොහාන් 1 : 29 
(7) මෙම තිරය නිල් පාට, රතු හා තද රතු පාට ලොම් වලින් හා සිහින් ව කටින ලද හණ පියෙන් සෑදූ එකකි. එහි කෙරුබ්වරුන්ගේ (දේවදූතයන් මෙන් පියාපත් ඇති ‍විශේෂයකි) රූප ගෙත්තම් කොට තිබුණි. මෙය ගිවිසුම් කරඬුව තැන්පත් කර තිබූ අති ශුදධ ස්ථානයට ඉදිරියෙන් රන් කොකු හතරකින් එල්ලා තිබී ඇත.
(8) " ආරම්භයේ දී ධර්මයාණෝ (වාක්‍යයාණෝ) සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමග සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේව ම සිටි සේක." - ජොහාන් 1 : 1 
(9) "උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත් සේක." - ජොහාන් 1 : 11
" උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරෑපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබා ගත යුතු වස්තුවකැ යි නොසිතා, එය ඉවත ලා වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ මරණය, එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූ සේක...." - පිලිප්පි 2 : 6 - 8
(10) " මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූහ; දුක හා වද වේදනා දුරූ මිනිස් කෙනෙක් වූහ. එතුමන් දුටු විට මිනිස්සු අහක බලා ගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූහ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණෝ ඉසුළුවේ අපේ දුකය; දරා ගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවිතුමන් දුන් පහර යැයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත....... සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටියහ; නිහතමානී ලෙස එය දැරූහ....... බලාත්කාරකමින් ද යුක්ති විරෝධී ලෙස ද එතුමෝ ගෙන යනු ලැබූහ; මනු ලොවින් සිඳ දමනු ලැබූහ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූහ....... එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ....... බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් ලත් දුක් වේදනාවෙන් දේව සම්බන්ධතාවට ඔවුන් පත් කරනු ලැබ ඇත...... මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමග ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි." - යෙසායා 53 : 3 - 12   
   

මහ සිකුරාදාව පිළිබඳ විමසුමක්

ක්‍රිස්තු වර්ෂ 30 අප්‍රේල් මස 07 සිකුරාදා දින ජේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත්වී ඇතැයි ඉතිහාසඥයන් හා බයිබල් විශාරදයන් ඓතිහාසික තොරතුරු හා පුරා විද්‍යාත්මක සාධක විමර්ශනය කිරීමෙන් අනතුරුව සොයා ගෙන ඇත. ඒ අනුව එකල සිටම කිතුනු බැතිමතුන් ජේසුස් වහන්සේගේ මරණය වාර්ෂිකව පිළිවෙතක් ලෙසින් සැමරීම කළහ. එබැවින් ජේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය මහ සිකුරාදා යනුවෙන් නම් කෙරුණි. මුල් යුගයේ සිට ම එදින මනස්ස්ථාපනයේ, ශෝකයේ හා දැඩි නිරාහාරශීලයේ දිනයක් ලෙසින් සැලකුණි. එම නිරාහාරය පැය 40 ක් පමණ එනම්, මහ සිකුරාදා සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පුජාවේ අවසානය දක්වා නොකඩවා පැවැත්වුණි. එකල කුඩා දරුවන්, ගැබිණියන්, කිරි දෙන මව්වරුන් හා රෝගීන් හැර අනෙකුත් සියලු දෙනා කිසිඳු කෑමකින් හෝ බීමකින් (අවම වශයෙන් ජලය පානය කිරීමෙන් පවා) තොරව ගත කළහ. කුඩා දරුවන්ට, රෝගීන්ට හා ගැබිණි මව්වරුන්ට පමණක් පාන් කැබැල්ලක් අනුභවකර ජලය පානය කිරීමට අවසර තිබුණි. සාන්ත අයිරේනියස් තුමා ද තම ලිපි වල මේ ගැන සඳහන් කර ඇත. මෙම නිරාහාරශීලයේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දුන් පළමුවන ඉනසන්ට් පාප්තුමා එය සභා අනුමත කර ඇත. පසුකලක මෙම ශෝකී කාලය හා නිරාහාරශීලය දින 3 ක් බවට හැරුණි. තවත් කලක සතියක කාලයක් බවට පත්ව තිබූ එය පසුව දින 40 දක්වා වර්ධනය විය. චතාරික කාලයේ දින 40 ට බලපෑවේ ද එයයි.(1)
 ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ ජාතික පැවිදි කාන්තාවක් වූ ඒජේරියා තම පැවිදි නිකායෙන් අවසර ගෙන ජෙරුසලමට ගොස් වසර 3 ක් ම දින පොතක් තබා ගෙන, සම්පූර්ණ කතෝලික වන්දනා පිළිවෙත් පිළිබඳව ඈ දුටු දේ ලියා තැබුවාය. ඇගේ දින පොතට අනුව, 
"ජෙරුසලමේ නිරාහාරශීලය ඉතා දැඩිව පවත්වයි. කිතුනු බැතිමතුන් මහ සිකුරාදාවේ ගොල්ගොතා (කල්වාරි) කන්දට ගොස් කුරුසියට වන්දනා කරති. එදින සවස 3 ට පමණ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ඇතුළත් සුභාරංචිය කියවීමත්, ඉන්පසු කුරුසිය සිපාචාර කිරීමත් සිදුවේ."
මහ සිකුරාදා පවත්වන කිතුනු ආගමික වත් පිළිවෙත් හා වන්දනා මෙහෙයයන් ඇරඹුණේ මේ ආකාරයෙන් බව ඇගේ මෙම සටහන දෙස බලන කල අපට පෙනීයයි.
"මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා කිතුනු බැතිමතුන් ගොල්ගොතාවේ සිට ජේසුස් වහන්සේ තැන්පත් කර තිබූ සොහොන් ගෙය දක්වා පෙරහැරකින් යති."
සාමාන්‍යයෙන් ඇතැම් දේවස්ථාන වල එළිමහනේ මහ සිකුරාදා මෙහෙය පැවැත්වෙන විට කුරුසියේ ප්‍රතිමාව පෙරහැරකින් වධක බෙරය හඬවමින් දේවස්ථානය තුළට රැගෙන ඒමේ සිරිත හා පිළිවෙත ඇති වූයේ මේ ආකාරයෙන් බව අපට පෙනේ.
මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය "Paschal Triduum" හෙවත් "පාස්කු තෙදින වන්දනා මෙහෙයය" නම්වේ. මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප "මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්" - (Missa Freesanctificatorum) නම්වේ. මෙහි අර්ථය නම්, "පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප" යන්නය.
මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය. 
  1. දේව වාක්‍යය මෙහෙයය   : අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට පැවතෙන දේව වාක්‍ය කියවීමේ චාරිත්‍රයකි.
  2. ශ්‍රී කුරුසියේ වන්දනාව     : පෙරහැරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වීම්ත්, එය සිපාචාර කිරීමත් කරයි. මෙය එවකට ජෙරුසලමේ කිතුනු බැතිමතුන් අතර පැවති චාරිත්‍රයකි. 
  3. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම: මෙම පිළිවෙත මුල්කාලයේ මහ  සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්ත්‍යාදරය හා එවකට සිටි සාන්තුවරයන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇති වූ පිළිවෙතකි.
මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ මළ ගෙය නොවන බව කිතුනු අප විශේෂයෙන් මතක තබා ගත යුත්තකි. ජේසුස් වහන්සේ මරණයට පත්වී උත්ථාන වී නැවත ස්වර්ගයට ගොස් අවසන්ය. ගැළවීමේ අභිරහස තුළ තව ඉටු වීමට ඇති එකම දෙය වන්නේ ජේසුස් වහන්සේගේ තේජාන්විත දෙවන ආගමනයයි. එබැවින් මහ සිකුරාදාව ජේසුස් වහන්සේගේ මළගමට සහභාගිවීමට යාමක් ලෙසින් සැලකීම දේවධාර්මිකව වැරදි සංකල්පයකි. මහ බ්‍රහස්පතින්දායින් ඇරඹෙන දිව්‍ය පූජා මෙහෙය පාස්කු ඉරු දින දක්වා එකම වන්දනා පිළිවෙතක් ලෙසින් පවත්වන්නේ ද එනිසාය. මෙම තෙදින තුළ අප දේවස්ථානයට යන්නේ අනෙක් කිතුනුවන් සමග එක්වී ජේසුස් වහන්සේගේ මහා පාස්කු අභිරහස මංගල්‍යයක් වශයෙන් අති උත්කර්ෂවත් ලෙස සැමරීමටය. 
මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත "දේශනා නවයේ පසන් පොත" හා "දුක්ප්‍රාප්ති ප්‍රසංගය" යන ‍පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත "තුන් පැය ධ්‍යානය" යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් "තුන් පැය ධ්‍යානය" වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.
දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 -  17/ 3 : 1 - 7 හි දැක්වෙන "හොඳ නරක අවබෝධ කිරීමේ ගස"(2) වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.
මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ.        
 
----------- ෴ වැඩිදුර සටහන් ෴ -----------
(1) 2010.03.02 දිනැති "චතාරික කාලය බදාදා දිනක පටන් ගන්නේ ඇයි?" යන ලිපියෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර සාකච්ඡා කර ඇත.
(2) සමහරුන් මෙයට "තහනම් ගස" යැයි නම් කරති. "ජීවන වෘක්ෂය" (උත්පත්ති 2 : 9, 3 : 22 - 24) නමැති ගසෙන් ගෙඩි කෑ යුතු මිනිසා තමන්ට තහනම් වූ දෙයක රස බැලීමට ප්‍රිය වීම මහා අභිරහසකි. සාතන්ගේ ප්‍රයෝගයට හසුවූ බුද්ධිය ලද මිනිසා පාපය නිසා දේව සම්බන්ධතාවය නැති කරගෙන මරණය හා සදාකල විනාශය අත්පත් කරගත්තේය. ඉන් අසරණ වූ මිනිසාව ගළවා ගැනීමට දෙවිඳුන් දුන් පොරොන්දුව ඉටු කරමින් මෙලොවට පැමිණි දේව පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ "කුරුසිය" නමැති ලී ක‍ඳෙන් අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන් සේක.  

මහ බ්‍රහස්පතින්දාවේ වගතුග


"මහ බ්‍රහස්පතින්දා" යන්න ශුද්ධ වූ සතියේ අපට හමුවන ඉතා වැදගත් දින කිහිපයෙන් එකකි. "මහ බ්‍රහස්පතින්දා" යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් "Moundy Thursday" යන්න යෙදේ. එම "Moundy" යන වචනය ලතින් භාෂාවේ "Mandatum" යන වචනයෙන් බිඳී එයි. පැරණි ප්‍රංශ භාෂාවේ "Mande" යනුවෙන් යෙදේ. විලියම් බ්ලේක් (ක්‍රි.ව. 1794) නමැත්තා පෙන්වා දෙන ආකාරයට මෙම වචන වල අර්ථය, "ප්‍රේමයේ පණත" හෙවත් "ආඥාව" යන්නය.  ("Mandatum novum do vobis ut diligat is invicem sicut dilexi vos" - John 13 : 34)
"මම ඔබට අළුත් ආඥාවක් දෙමි; එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න." (ජොහාන් 13 : 34)
යනුවෙන් ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රී භෝජනයේ දී තම ශ්‍රාවකයන්ගේ පාද දෝවනය කිරීමෙන් පසුව දුන් ඉහත සඳහන් ආඥාව ලතින් භාෂාවේ "මන්ඩාටුම්" යන වචනය බිහිවීමට හේතුවය. එසේම තවත් මතයකට අනුව, "Moundy" යන්න ලතින් භාෂාවේ ම යෙදෙන "Mundo" යන වචනයට ද සම්බන්ධකමක් ඇත. එම "මුන්ඩෝ" යන වචනය "දෝවනය" යන අර්ථය දෙයි. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ පාද සේදීම තුළින් බැහැපත් සේවයකට කළ ආදර ආරාධනය ඊට බලපෑ හේතුව වේ. ඇතැම් රටවල් වල ඉංග්‍රීසි භාෂාවෙන් "Sheer Thursday" යන වචනය ද භාවිත කරයි. "Shere"යන වචනයෙන් බිඳී එන මෙහි අර්ථය නම්, "පවිත්‍රවීම" නොහොත් "සුපිරිසිඳුවීම" යන්නය. ජර්මන් භාෂාවෙන් එය "Grundonnerstag" නම්වේ. එහි අර්ථය "වැළපෙන බ්‍රහස්පතින්දාව" හා "හරිත බ්‍රහස්පතින්දාව" යන්නය. චෙක් ජනරජය හා ස්ලෝවැකියාව "හරිත බ්‍රහස්පතින්දාව" යන අර්ථය ඇතිව "Zeleny ctvrtek" හෝ "Zeleny stvrtok" යන වචන යොදයි. මෝල්ටාවේ මහ බ්‍රහස්පතින්දා දිනය "සත්ප්‍රසාදීය දිනය" යන අර්ථය ඇතිව "Hamis ix-Xirka" (Communion Thursday) යන වචනය භාවිත කරයි. බල්ගේරියාවේ එදින හඳුන්වන්නේ "Veliki Chetvurtuk"යන වචනයෙනි. එහි අර්ථය "මහ බ්‍රහස්පතින්දා" ය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිටින සිරියානු සම්භවයක් ඇති නෙස්ටෝරියානු කිතුනුවන් "සත්ප්‍රසාදීය භෝජනය" යන අර්ථය ඇතිව "Pesaha" යන වචනය භාවිත කරයි.  එයට හේතුව මහ බ්‍රහස්පතින්දා දින ජේසුස් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ස්ථාපිත කිරීමය.



මහ බ්‍රහස්පතින්දා දින සංඛේතාත්මකව අප සිහිපත් කරන සුභාරංචි පොත් වල සඳහන්ව ඇති ජේසුස් වහන්සේ කළ ක්‍රියාවන් කිහිපයක් තිබේ.
  • පාස්කු භෝජනය පිළියෙල කිරීමට තම ශ්‍රාවකයන් දෙදෙනෙකුව පිටත් කර හැරීම හා ඔවුන් උඩුමහල් මැදුරක එය සූදානම් කිරීම (ලූක් 22 : 7 - 13)
  • ජේසුස් වහන්සේ නියමිත වේලාවට එම ස්ථානයට තම ශ්‍රාවකයන් සමග වැඩම කර, ඔවුන්ගේ පාද දෝවනය කිරීම (ජොහාන් 13 : 4 - 11) 
  • ප්‍රේමයේ නව පණත ප්‍රකාශ කිරීම (ජොහාන් 13 : 34)
  • තම ශ්‍රාවක ජුදාස් ස්කාරියොත් විසින් තමන්ව පාවා ‍දෙනු ලැබීම ගැන ඉඟි කිරීම (ජොහාන් 13 : 21 - 30)
  • සැබෑ ශ්‍රාවකයන් මෙන් ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව සාක්ෂි දැරීම ගැන අවවාදානුශාසනා දීම  (ජොහාන් 14 : 1 - 16 : 33)
  • පාස්කු අන්තිම රාත්‍රී භෝජනයේ දී ආසිරි ගැන්වූ රොටිය හා මිදියුෂ කුසලානය තම ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ලෙසින් තම ශ්‍රාවකයන්ට බෙදා දීම (ලූක් 22 : 14 - 20) 
  • මෙම අභිරහස්‍යමය පිළිවෙත (Sacred Rite) එනම්, "රොටි කැඩීමේ පිළිවෙත" තුළ පාස්කු භෝජනය අර්ථවත් හා ජීවමාන කරමින් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම තෙක් සිදු කිරීමට අවශ්‍ය පූජක බලතල තම ශ්‍රාවකයන්ට පවරා දීම (ලූක් 22 : 19)




  • අන්තිම රාත්‍රී භෝජනයෙන් පසුව ගීතිකාවක් ගායනා කර ගෙත්සෙමනියට (ඔලීව කන්දට) යාච්ඤාව පිණිස වැඩම කිරීම (මාර්ක් 14 : 26)
  • ජේසුස් වහන්සේ මරණසන්න දුකින් දෙවි පියාණන් වහන්සේට යාච්ඤා කිරීම හා යාච්ඤාව පිළිබඳව තම ශ්‍රාවකයන්ට අවවාදානුශාසනා දීම (මාර්ක් 14 : 32 - 42)
  • ජූදස් ස්කාරියොත් නමැති ශ්‍රාවකයා සිපාචාර කිරීමේ සළකුණෙන් ජේසුස් වහන්සේව ජුදෙව් මූලිකයන්ට පාවා දීම (ලූක් 22 : 47 - 48/ මතෙව් 26 : 51 - 56)
  • ජේසුස් වහන්සේව අන්නාස් නමැති උත්තම පූජකවරයාගේ නිවසේ දී සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාව විසින් ප්‍රති‍ක්ෂේප කොට මරණයට සුදුසු යැයි තීන්දු කිරීම (මතෙව් 26 : 57 - 66)
යනාදිය ඉන් ප්‍රධානය.   
----------------------- ෴ වැඩිදුර සටහන් ෴ --------------------
(1) ඊට අමතරව Hoher, Heiliger, Weiber Donnerstag වැනි වචන ද භාවිත වේ.  

රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය

කිතුනු ආගමික ඉගැන්වීම් නාට්‍ය රංගනය මගින් මිනිස් මනසට කා වැද්දවීම සඳහා වේදිකාව මත රඟ දැක්වීම ශ්‍රී ලංකාවට පැමිණියේ 16 වන සියවසේ පෘතුගීසි ධර්මදූත පූජකවරුන්ගේ පැමිණීමත් සමගය. විශේෂයෙන් ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා යොදා ගත් එක් ඉගැන්වීම් ක්‍රමවේදයක් වූයේ නාට්‍ය රඟ දැක්වීමය.  "අල්ලා ගත් රටවල මිනිසුන්ගේ ආත්මය විනිවිද යාමට උචිත ආනුභාව සම්පන්න වූත්, මෘදු ගුණයෙන් සමන්විත වූත් ආයුධය වූයේ නාට්‍යය යි" යනුවෙන් ලුසියානා ස්ටේගාඤ්ඤෝ පිච්චියෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා පවසා ඇත.(1)
  
                                                                          ජේසුස් වහන්සේ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම
                                                                                           පහත රූපයෙන් පෙන්වයි
පෘතුගීසි ධර්මදූතයන් ශ්‍රී ලංකාවට ගෙන ආ නාට්‍ය සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකින් යුතු ය.
  • කිතුනු ආගමික පෙරහැර හා කිතුනු ආගමික උත්සව වල දී පෙන්වනු ලැබූ 'ජනවන්දනා නාට්‍ය' (මේවා අතර "පාස්කු නාට්‍ය" විශේෂයෙන් කැපී පෙනෙයි.)
  • කතෝලික ධර්මය ඉගැන්වීම අරමුණු කොට ගෙන රඟ දැක්වූ ධර්මෝපදේශ නාට්‍ය 
යනාදිය වෙති. මෙම නාට්‍ය අතරින් මෙම ලිපියට පදනම් කර ගන්නේ "පසං නාටක" හෙවත් "පාස්කු නාට්‍ය" පිළිබඳ විමසීමක් කිරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් Passion Play යන නමින් හඳුන්වන මෙම නාට්‍ය "පූජා කර්ම නාට්‍ය", "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නම් වලින් ද හඳුන්වයි. 13 වන කිතුනු සියවසේ සිට පෘතුගාලයේ පැවති මෙම "පාස්කු නාට්‍ය" යුරෝපයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්ප සම්ප්‍රදායක් බිහි කිරීමට සමත් වූවකි. අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා පෙන්වා දුන් අකාරයට මෙම නාට්‍ය වලට "පාස්කු" යන නම යෙදුණේ, පෘතුගීසි භාෂාවේ "පාස්සු" යන නම ඇසුරෙනි. "පාස්සු" යන වචනයේ අර්ථය "ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සුරුවම් නොහොත් ප්‍රතිමා මගින් පෙන්වීම" යන්නය.(2)

පාස්කු සංදර්ශනය සඳහා යොදා ගන්නා 
ජේසුස් වහන්සේගේ සුරුවමක ‍සේයා රුවක්
ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු සිද්ධිය (දුක්විඳීම, මරණය හා උත්ථානය) මහා ක්‍රිස්තියානි අභිරහසක් (A great Christian Mystery) හා ප්‍රාතිහාර්යක් බව මුල් කාල වල සිටම කිතුනු විශ්වාසය හා පිළිගැනීම විය. ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ එම පාස්කු සිද්ධිය දෘශ්‍ය කාව්‍ය ආකාරයෙන් පෙන්නුම් කර, කිතුනු බැතිමතුන්ගේ භක්ත්‍යාදරය හා විශ්වාසය තව තවත් වැඩි කිරීමත්, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අත්දැකීම කිතුනුවාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස ඔහුගේ ජීවිතය තුළට කා වැද්දවීමත්, එමගින් සැබෑ ජීවිත වෙනසක් ඇති කරවීමත් මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වීමේ අරමුණු විය. මෙම පාස්කු ජනවන්දනා නාට්‍ය ‍සෑම එකක්ම වාගේ ලියැවී ඇත්තේ, ශුද්ධ බයිබලය පදනම් ‍කොට ගෙනය. මන්ද, චතාරික කාලයේ ජනවන්දනාවට විශේෂයෙන් මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට කිතුනු බැතිමතුන්ව ගැඹුරින් යොමු කරවීමය. මේ නිසා ඇතැම් පාස්කු නාට්‍ය දීර්ඝ ඒවා විය. පසුකාලයේ දී මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට සරිලන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය රඟ දැක්වීම පමණක් සිදු කර ඇත. අද බොහෝ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා දින ඉදිරිපත් කරන්නේ පාස්කු නාට්‍ය වලින් ගත් සංශෝධනය කළ කොටස් ය. 
                                                                      පාස්කු නාට්‍යයක අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම
පාස්කු නාට්‍ය මගින් කතෝලික ධර්මය ඉගැන්වීමට ක්‍රියා කළ ධර්මදූතයන් අතර ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් කැපී පෙනෙති. ඔවුන් අතරින් ජේසු නිකායිකයන් නාට්‍ය පෙන්වීම පිළිබඳ ප්‍රවීණයෝ වෙති. විදේශ රටවල ධර්ම ප්‍රචාරය සඳහා යාමට බලාපොරොත්තු වන සෑම ධර්මදූතයෙක් ම නාට්‍ය පුහුණුවක් ලැබීම ඔවුන්ගේ ආගමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් විය. මේ සඳහා පෘතුගාලයේ හා ඉතාලියේ නාට්‍ය පුහුණු පාසල් පිහිටුවා තිබුණි. පෘතුගාලයේ සිට ආසියානු රටවලට නැව් වලින් යාත්‍රා කිරීමේ දී පෙර පුහුණුවක් වශයෙනුත්, එහි මගීන්ගේ රසාස්වාදය පිණිසත් ජේසු නිකායික පූජකවරුන් නාට්‍ය රඟ දක්වා ඇති බව ඔවුන් පෘතුගාලයට යැවූ ලිපි වල සඳහන්ව ඇත. 
පාස්කු නාට්‍යයක ජේසුස් වහන්සේට වධ හිංසා පැමිණවීම
මෙම පාස්කු නාට්‍ය වලින් බොහෝමයක් දෙව්මැදුරු ආශ්‍රිතව රඟ දක්වා ඇත. ඇතැම් ඒවා "පැරිෂ් පාසල්"(3) වල රඟ දක්වා ඇත. ඇතැම් කතෝලික දෙව්මැදුරු අසල ස්ථිර රංගන වේදිකා ඉදි කර තිබූ බව ලන්දේසි පූජකවරයෙකු වූ පිලිප්පුස් බල්දේයුස් තුමා ඔහුගේ කෘතියේ සඳහන් කර ඇත.(4) 
ශ්‍රී ලංකාවේ මුල්කාලීන පාස්කු නාට්‍ය සම්පූර්ණයෙන් ම වාගේ රඟ දක්වා ඇත්තේ සුරුවම් ප්‍රතිමා හා රූකඩ භාවිතයෙනි. රූකඩ නාට්‍ය කලාවේ ආරම්භය පාස්කු නාට්‍ය යැයි කිව හැකි තරමට ම මේවා ඉපැරණිය. පාස්කු නාට්‍ය රඟ දැක්වීමට යොදා ගත් රූකඩ වර්ග තුනක් (3) දක්නට ලැබී ඇත. එනම්,

  • නූල් භාවිතයෙන් නටවන රූකඩ
  • කෝටු භාවිතයෙන් චලනය කරවන රූකඩ හා 
  • නූල් හා කෝටු භාවිතයෙන් රඟ දක්වන රූකඩ 
යනුවෙනි. මෙම නූල් රූකඩ ඇද ඇත්තේ (අම්බලන්ගොඩ රූකඩ මෙන්) වේදිකාවේ ඉහළ සිට නොව වේදිකාවේ යට පිහිටි සැඟවුණු කොටසක සිටය. ජීවමාන මිනිස් ශරීර ප්‍රමාණයෙන් යුක්ත මෙම රූකඩ අලංකාර ලෙස පල්ප වලින් සකසා ඇති අතර, පහළ කොටස රඟ දැක්වීමේ පහසුව සඳහා පිදුරු පිරවූ ගෝනි රෙදි වලින් නිම කර තිබී ඇත. පසුකාලීනව ජේසුස් වහන්සේ හා මරියතුමියගේ චරිත හැර අනෙක් චරිත ජීවමාන නළු නිළියන් විසින් රඟ දක්වා ඇත. මෙසේ සුරුවම් වලින් පණ ගැන්වුණු පාස්කු නාට්‍ය තුළට ජීවමාන නළු නිළියන් එක් වීමට බලපෑ හේතු කිහිපයක් ඇත. එනම්,

  • දිගු කාලයක් භාවිත කළ සුරුවම් අබලන්වීම නිසා ඒවා නිසි ලෙස රඟ දැක්වීමට යොදා ගැනීමේ අපහසුව ඇති වීම
  • මෙම සුරුවම් ක්‍රියා කළේ නූල් සූත්තර ක්‍රමයට නිසා ඒවා නිසි ලෙස හැසිරවීමට දන්නා දක්ෂ ශිල්පීන් ක්‍රමයෙන් අඩු වී යාම
  • මෙම සුරුවම් හා එමගින් ඉදිරිපත් කළ පාස්කු කථන්දරය දිගු කලක් පෙන්වීම නිසා ප්‍රේක්ෂකයන් ඒවා හොඳින් දනියි. එනිසා බලාපොරොත්තු වූ දේව පණිවුඩය එමගින් ලබා දීමට නොහැකි වීම
  • ජීවමාන නළු නිළියන් යොදා ගැනීමෙන් වසරින් වසර කථා පිටපත අළුත් කිරීමටත්, ජවනිකා වල නවතාවයක් ඇති කිරීමටත් හැකි බව පෙනී යාම
  • සුරුවම් භාවිතයෙන් කරන පාස්කු සංදර්ශන වලට වඩා ඉතා සාර්ථක අන්දමින් හා වඩාත් සිත් කාවදින සුළු ආකාරයට ජීවමාන නළු නිළියන් මගින් කළ හැකිවීම

යනාදිය දැක්විය හැකිය. නාට්‍යයට අවශ්‍ය පසුතලය හා ඇතැම් චරිත කොටස් නිරූපණය කර ඇත්තේ පසුබිමෙන් එල්ලා තිබූ චිත්‍ර වලිනි. නිදසුනක් ලෙස ජේසුස් වහන්සේ දෙපස ඇණ ගැසූ සොරුන් දෙදෙනා හා ඈතින් පෙනෙන ජෙරුසලම් නගරය සිතුවමකින් පෙන්වා ඇත. 
පාස්කු නාට්‍යයේ අරමුණ ජන වන්දනාවට බැතිමතුන්ව සූදානම් කිරීම හා ඊට භක්ත්‍යාදරයෙන් සහභාගි කරවීම නිසා පසුකාලීන පාස්කු නාට්‍යයේ ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබුණි.
  • ජීවමාන නළු නිළියන් යොදා ගෙන කරන ජවනිකා රඟ දැක්වීම
  • සුරුවම්-ප්‍රතිමා යොදා ගෙන කරන රඟ දැක්වීම

    මීගමුව දූවේ ඓතිහාසික පාස්කු සුරුවම
පාස්කු නාට්‍යයේ මුල් අවස්ථාවේ සිට පිලාත්ගේ නඩු තීන්දුවේ අවසානය දක්වා කොටස් වලට ජීවමාන නළු නිළියන් රංගන දායකත්වය දෙන අතර, ඉන් පසුව එහි දෙවන කොටස වන කල්වාරි ගමනේ සිට ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත්වීම දක්වා සුරුවම් - ප්‍රතිමා භාවිතයෙන් රඟ දැක්වෙන ජනවන්දනා කොටස ඇරඹේ. පාස්කු නාට්‍යයේ මෙම දෙවන කොටස එහි ප්‍රධානම හා වැදගත්ම කොටස වන අතර, එය ජනවන්දනා භක්ති අභ්‍යාසයක් ලෙසින් රඟ දැක්වෙන නිසා මෙම පාස්කු නාට්‍ය "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නමින් ද හඳුන්වයි. එනිසා ජේසුස් වහන්සේ හා  මරියතුමිය යන චරිත සඳහා සුරුවම් උපයෝගී කර ගනියි. එහි අරමුණ ශ්‍රද්ධාව ඇති කිරීම හා මහ සිකුරාදා දින ජනවන්දනාවට ප්‍රවේශ වීමය. වර්තමානයේ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" මුල් කරගෙන ඉදිරිපත් කරන පාස්කු නාට්‍ය වල මෙම දෙකොටසම දැකිය හැකි නමුත්, කුරුසියේ ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ චරිතය හැර සෙසු චරිත සියල්ලම ජීවමාන නළු නිළියන් රඟ දක්වති. ජේසුස් වහන්සේගේ සුරුවම ජීවමාන මිනිස් සිරුරක ප්‍රමාණයෙන් යුක්තය. එය ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන සිහින් කඹ ආධාරයෙන් නූල් සූත්තර ක්‍රමයට ක්‍රියාත්මක කරයි. එම සුරුවමේ හිස, දෑස්, ‍දෙඅත් හා දෙපා එහා මෙහා චලනය කළ හැකි ආකාරයට වෙන වෙනම අවයව එකිනෙකට සම්බන්ධ කර ඇත.
                                                                                                                 වීදි සංචාරය කරන පාස්කු නාට්‍ය ජවනිකාවක්

මෙම පාස්කු නාට්‍ය වේදිකාවට පමණක් සීමා නොකොට එය ජීවමාන රංගන ක්‍රියාවලියක් බවට පත් කරමින්, ජේසුස් වහන්සේගේ කුරුස ගස බැතිමතුන් මාරුවෙන් මාරුවට කර තබා ගෙන යමින් එම ජනවන්දනා භක්ති අභ්‍යාසයට පූර්ණ දායකත්වය දෙමින් ජේසුස් වහන්සේගේ කුරුස ගමනේ අත්දැකීම විඳ ගනිති. එම පාස්කු පෙරහැරේ දී බැතිමතුන් කුරුසිය කර තබා ගෙන යන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නළුවාට එය ගෙන යාමට සහය වෙමින් සිරිනියේ සීමොන්, වෙරෝනිකා හා ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ චරිත වලට පණ පොවති. ඒ වටා හේවායන් මෙන් රඟපාන නළුවන් ද ගමන් කරති. අවසන් වශයෙන් කුරුසියේ ඇණ ගසූ ජේසුස් වහන්සේව නිරූපණය කරන්නේ සුරුවමය. පසුව කුරුසියෙන් බිමට බාන කුරුස පත් ජේසුස් වහන්සේගේ එම සුරුවම යහනක තබා ගෙන මළ බෙරය හඬවමින් පෙරහැරකින් දේවස්ථානය තුළ ගෙන එන අතර, එය සිපාචාර කිරීමට බැතිමතුන්ට අවස්ථාව සළසා දෙයි. මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා කුරුසියේ මරණය සුරුවම් භාවිතයෙන් හා රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරමින් එම ඓතිහාසික සිද්ධියට දුන් පණ පෙවීම නිසා පාස්කු නාට්‍ය ජීවමාන ස්වරූපයක් ගෙන ඇත. මහ සිකුරාදා දුක් ප්‍රාප්ති ජනවන්දනා මෙහෙයට සහභාගි වූ කතෝලිකයන් මෙම පාස්කු නාට්‍ය නරඹා කඳුළු සැලූ බව පැරණි වාර්තා වලින් පෙනී යයි. 

පසුකාලීනව පාස්කු නාට්‍ය වලට නව අර්ථ කථනයක් දීමටත්, එහි නාට්‍යමය ස්වරූපය වැඩි දියුණු කිරීමටත්, කතෝලික බැතිමතුන් තුළ භක්ත්‍යාදරය වැඩි දියුණු කිරීමටත් සහයක් වශයෙන් ගීතිකා හා කන්තාරු ඇතුළත් කෙරුණි. මෙම කන්තාරු ගීත ප්‍රධාන කොටස් දෙකකින් (2) යුතු විය. එනම්,
  • සාමූහික ගායනා - (උදාහරණ : සිරි මරණේ සාධුකාර ගීත ශ්‍රීය, බලනු බලනු සෙන‍ඟෙනි... වැනි ගී)
  • හුදෙකලා ගායනා - (වෙරෝනිකා ගයන "හඳපානේ පිපි වැටකෙයි මල සේ" ගීය)
යනුවෙනි. 
මෙම පාස්කු නාට්‍ය වලට මහත් කලඑළියක් හා නව පන්නරයක් ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා මගිනි. එතුමා පාස්කු නාට්‍ය කලාවට නවක අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් එතුමා එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පෙදෙස් වල සේවය කරද්දී එහි සිටි කාන්තාවන් මිය ගිය තම ස්වාමි-පුරුෂයාගේ දේහය ඉදිරියේ නැගූ විලාපය හා ලතෝනි හඬ තුළින් මතු වූ රිද්මය ඇසුරෙන් ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත "දේශනා නවයේ පසන් පොත" පාස්කු නාට්‍ය සමග සම්බන්ධ විය. 'ඔරතෝරියන් මිෂන් රිපෝට්' නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.
"ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමගින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස් වලින් ද, දෙදිනක හෝ තෙදිනක ගමනකින් බෝලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. ඔවුන් ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමතුන් දේශීයව සපයා හැකි පොල් අතු වලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, වෙැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, බෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වෙති. මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියළු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක්වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදි. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි ආර්යයාවෝ රවිකිඤ්ඤා වීනා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන්  සංගීතයට  ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරන ලදි. "(5)

මෙයින් පෙනී යන්නේ, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ "දේශනා නවයේ පසන් පොත" හා "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" කෘතිය පාස්කු නාට්‍ය වලට බලපෑ ආකාරයයි. පාස්කු නාට්‍ය රඟ දැක්වෙද් දී වේදිකාවේ කොණක සිටිගත් අර්ථ කථනය කරන්නකු මෙම සුරුවම් හා නාට්‍යයෙන් කියවෙන දේ පැහැදිළි කර බැතිමතුන්ට විස්තර කරයි. පාස්කු නාට්‍ය වල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ මෙම පුද්ගලයා තුළින් පසුකාලීන සිංහල නාට්‍ය වල "පොතේ ගුරාගේ චරිතය" බිහි විය.  

මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වුණු වේදිකාව භූමිකා තුනකින් එනම් ත්‍රිභාග වේදිකා වලින් යුක්ත විය. එමගින් එකම නාට්‍යයේ ජවනිකා අවස්ථා දෙකක් හෝ තුනක් එකවර රඟ දැක්වීමට හැකි විය. ප්‍රධාන ජවනිකාව මැද පිහිටි ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී දෙපස ඇති කුඩා වේදිකා වල වෙනත් ජවනිකා දෙකක් නිරූපණය විය. නිදසුනක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් සමග රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී, පිලාත් සිය බිරිඳ ක්ලෝඩියාව හමුවීම කුඩා වේදිකාවක ඉදිරිපත් කෙරේ. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම ප්‍රධාන වේදිකාව මත රඟපාන අතර, ජුදාස් නායක පූජක කායාපස්ව හුමවීම අනෙක් පස රඟ දැක්වේ. එසේම මෙම පාස්කු වේදිකාවක ඉදිරිපස මුහුණත අඩි 25 ක් පමණ උස්වූ අතර, පිටිපස කොටස වියළි පොල් අතු වලින් ආවරණය කර ඇත. එම නිසා මෙම වේදිකා "පාස්කු මඩු" නම්වේ. එසේම වේදිකා භූමිය පොළොවේ සිට අඩි 6 ක් පමණ උස් විය. වේදිකාව යට කොටසේ සිට රූකඩ සුරුවම්-ප්‍රතිමා මෙහෙයවමින් එහා මෙහා ගෙන යමින් රඟ දක්වන නාට්‍ය ශිල්පීන්ව නොපෙනෙන පරිදි ආවරණය කර ඇත. එහෙත් ස්ථිර පාස්කු වේදකා දැකිය හැක්කේ පිටිපන පමණි. එය පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි 
කර ඇත. 

ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය කලාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ මුහුදුබඩ ප්‍රදේශ වලය. ධර්මදූතයන් අත පැවති මෙම පාස්කු මඩු හා සංදර්ශන වල නීත්‍යානුකූල භාරකාරත්වය හා අයිතිය පසුව එම ප්‍රදේශයේ සිටි පවුල් කිහිපයකට හෝ ප්‍රදේශවාසීන්ට හිමි විය. කෙසේ වුව ද මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ "කන්ද උඩරට පාස්කු නාට්‍ය" සම්ප්‍රදායක් දැකිය හැකිය. එහෙත් මෙරට වඩාත් ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය වන්නේ, පිටිපන, මීගමු දූව, බොරලැස්ස, යන ප්‍රදේශ වල රඟ දක්වන නාට්‍ය වෙති. මීට අමතරව මග්ගොන, දියලගොඩ, පයාගල, කලමුල්ල, වාද්දුව හා මොරටුව යන පෙදෙස් වල ද, හලාවත, බෝලවත්ත, කම්මල, නයිනමඩම, පුත්තලම යන ප්‍රදේශ වල ද, මඩකලපුව, මන්නාරම- පේසාල, යාපනයේ පේනඩට්රිප්පු, අරිප්පු, වත්කාල් හා සිලාවතුරෙයි යන පුදේශ වලද ද්‍රවිඩ පාස්කු නාට්‍ය රඟ දක්වා ඇත.

ශ්‍රී ලංකේය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා පාස්කු නාට්‍ය වලින් ලැබුණු සහය අප්‍රමාණය. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවක් බිහි කිරීමටත්, වර්ධනය වීමටත් පාස්කු නාට්‍ය වලින් විශාල දායකත්වයක් ලැබී ඇත. එහෙත් පාස්කු නාට්‍ය කලාව ක්‍රමයෙන් අප සමාජයෙන් වැළලී යන බවක් පෙනේ. එබැවින් මෙම ශ්‍රී ලාංකේය පාස්කු නාට්‍ය කලාව ගැන පර්යේෂණ පවත්වමින් එය රැක ගනිමින් ඒ තුළින් ඉස්මතු වන වටිනාකම් අනාගත පරපුර වෙත රැගෙන යාම කිතුනු අප සැමගේ යුතුකම නොවන්නේ ද?  


--------------------------------------------------------------------------------෴
(1) Luciana Stegagno Picchio, Historia do teatro Portuguese, Edicao Portugues, Lisboa, 1964, page 160 
(2) අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය, පිටුව 34
(3) "පැරිෂ් පාසල්" යනු, ‍කතෝලික දෙව්මැදුරු වලට යාබදව ඉදි කර තිබූ කතෝලික පාසල්ය. මේවා ඉංග්‍රීසි භාෂාවෙන් Parish Schools නම්වේ. මේවායේ කතෝලික ධර්මය, සංගීතය, ගණිතය, පෘතුගීසි හා ලතින් භාෂා, සාරධර්ම වැනි විෂයයන් පෘතුගීසි පූජකවරුන් විසින් උගන්වනු ලැබ ඇත. 
(4) "There are Stages attached to almost all their Churches there being a spacious for the Church of Telipole  (Tellippalai - Jaffna) built by Portugesche Padres, Jesuiten where some Spiritual dramas are wont to be represented to the people on their holy days." - Phillipus Baldaeus, A true and exact description of the great island of Ceylon, The Ceylon Historical Journal, Vol. VIII, July 1958 - April 1959, page 320 
(5) Rev. S.G. Perera, Orathorian Mission Report, 1957, page 16. ඉංග්‍රීසියෙන් සිංහලයට නැගීම ක්ලෙමන්ට් විසිනි.        

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith