Recent Posts

ශ්‍රී සළුව තුළින් අනාවරණය වන ක්‍රිස්තු දුක් ප්‍රාප්තිය (2)

ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුවේ සංක්ෂිප්ත ඉතිහාසය "ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව" යන මැයෙන් අප්‍රේල් 28 දිනැති පළමු කොටසින් විස්තර කර ඇත. මෙම ශ්‍රී සළුව විද්‍යාත්මක පර්යේෂණ හා නිරීක්ෂණයන්ට භාජනය කිරීමෙන් අනාවරණය කර ගැනීමට හැකි වූ ප්‍රධාන තොරතුරු වන්නේ,
  • ජේසුස් වහන්සේගේ දේහ ලක්ෂණ කෙබඳු වී ද?
  • ජේසුස් වහන්සේට විඳින්ට සිදුවූ අධික වධවේදනා වල ස්වභාවය
  • ජේසුස් වහන්සේව ඇණ ගැසීමට ලක් කළ ආකාරය හා එම කුරුසියේ ස්වභාවය
  • ජේසුස් වහන්සේගේ මරණය සිදු වූ ආකාරය
  • ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සළුව කුමක්ද යන්න හා එහි අඩංගු දේ මොනවාද යන්න
  • ජේසුස් වහන්සේගේ උත්ථානය සිදුවී ඇත්තේ කෙසේද යන්න
යනාදිය මේ මගින් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ, මරණයේ හා මහිමාන්විත උත්ථානයේ නියම ස්වරූපය සොය ගැනීමට හැකි විය. මෙම කරුණු විමසා බැලීමේ දී ජේසුස් වහන්සේ තරම් කඨුක, කෲර වධගාවිනා වලට ලක්වී මරණයට පත් වූ තවත් අයෙකු ලොව සිටියේ දැ යි සැක සිතේ.

ජේසුස් වහන්සේගේ දේහ ලක්ෂණ ෴ 
ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව පරීක්ෂා කළ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් පිරිසක් පැවසුවේ, මෙම සළුව තුළ රැඳී සිටි පුද්ගලයා කවරෙකු වුවත්, ඔහු අඩි 6 ක් පමණ උසැති අයෙකු බවත්, ශරීරය බර රාත්තල් 175 ක් පමණ වන බවත් ය. පෙරදී මෙම ලිපියේ පළමු කොටසෙහි දැක්වූ ආකාරයට ශ්‍රී සළුවෙහි සටහන්ව ඇති පියවි ඇසට දැකීමට අපහසු නෙගටිව් රූපයේ මෙම අඩි 6 ක උස පෙනෙන නමුත්, රුධිර පැල්ලම් වලින් සෑදුණ පියවි ඇසට පෙනෙන රූපයේ අඩි 5 අඟල් 11 ක උස ප්‍රමාණයක් නිරූපණය වේ. (එයට හේතුව පළමු ලිපියේ දක්වා ඇත.) තවද නෙගටිව් රූපයේ පෙන්වන ශාරීරික ලක්ෂණ වලට අනුව, ඔහුගේ මුහුණ පුරා රැවුළ වැවී, උරහිස තෙක් කොණ්ඩය දිගුව තිබී ඇත. එනිසා ඔහු ජුදෙව් ජාතිකයෙකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.(1) 

ජේසුස් වහන්සේ ලැබූ වධහිංසා වල ස්වභාවය ෴ 
ශ්‍රී සළුවෙන් එතීමට ලක්වූ පුද්ගලයා කවරෙකු වුවත් ඉතා අමානුෂික වධ හිංසා වලට ලක්වී, දැඩි පීඩාවකින් මරණයට පත්ව ඇති බව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් තිදෙනෙකු වූ පෝල් විග්නොන්, වෛද්‍ය බාර්බෙට් හා මහාචාර්ය ජූඩිකා කොර්ඩිග්ලියෝ යනාදීන් විසින් සොයා ගනු ලැබ ඇත.  (2) ඔවුන්ගේ වාර්තා වලට අනුව, ජේසුස් වහන්සේ මුහුණ දුන් වධ හිංසා වල ස්වභාවය පහතින් සළකා බලමු.

**ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ **
 ශ්‍රී සළුව පරීක්ෂා කිරීමෙන් සොයා ගත් ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණේ දක්නට ලැබුණ වධ හිංසා වල සළකුණු ශුද්ධ බයිබලයේ සඳහන් දුක් ප්‍රාප්ති වාර්තා වල අන්තර්ගත කරුණු අතර සමානත්වයක් දක්නට ලැබේ. ශුද්ධ බයිබලයේ ස්ථාන කිහිපයක ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණට දුන් වධ හිංසා පිළිබඳව මෙසේ සඳහන්ව ඇත.
"මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි." (යෙසායා 50 : 6b)
"පෙනුමෙන් එතුමාණෝ බොහෝ අවලක්ෂණ ය. මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැතිවී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත." (යෙසායා 52 : 14)
"එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, උන් වහන්සේට අතුල් පහර දුන්හ. සමහරෙක් අතුල් පහර දී, 'ක්‍රිස්තුවරයාණෙනි, ඔබටගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ' යි කීහ." (මතෙව් 26 : 67 - 68)
"එකල ඇතමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද, උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, 'ඉතින් දිවැසින් කියන්නැ' යි උන් වහන්සේට කියන්නට ද පටන් ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ බාරගෙන, අතුල් පහර දෙමින් ගෙන ගියහ." (මාර්ක් 14 : 65)
"එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවටකම් කරමින්, පහර දුන්හ. ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, 'ඔබට ගැසුවේ කවරෙක් දැ යි කියා දිවැසින් කියන්නැ' යි උන් වහන්සේට කීහ." (ලූක් 22 : 63 - 64)
"උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් එකෙක්: 'නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?' කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසීය." (ජොහාන් 18 : 22)
"......'ජුදෙව් රජතුමෙනි, සැරදේ!' කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ." (ජොහාන් 19 : 3)
ශ්‍රී සළුවේ සටහන් වී ඇති රූපය ඇසුරෙන් ඩිජිටල් 3D තාක්ෂණය 
භාවිතයෙන් සැකසූ ජේසුස් වහන්සේගේ මුහුණ
ඉහත සඳහන් ශුද්ධ බයිබල් කොටස් වලින් ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ කෙබඳු ස්වභාවයකට පත් වන්නට ඇත්දැ යි අපට අවබෝධ කරගත හැකිය. ශ්‍රී සළුවේ සඳහන් ව ඇති ශ්‍රී මුහුණේ රූපය විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කර ක්‍රිස්තු දුක් ප්‍රාප්තියේ ස්වභාවය ඉස්මතු කරගැනීම පමණක් නොව, ඩිජිටල් 3D තාක්ෂණය ඇසුරෙන් ඔවුන් වහන්සේගේ මුහුණේ තේජස්ශ්‍රීය කෙබඳුවී දැ යි සොයා ගෙන ඇත.  
See Holy Face - (Click)
  
** ශ්‍රී හිසට පැළඳු කටු ඔටුන්න **
රෝමානු නීතිය පරිදි කුරුස වල ඇණ ගසා මරණයට පත් කරන අපරාධකරුවන්ට විවිධ වධ හිංසා පැමිණවූවත්, හිසට කටු ගැසීමක් කරන්නේ නැත. ජේසුස් වහන්සේගේ හිසට කටු ඔටුන්නක් දැමීමට හේතුව, ලූක් තුමා සඳහන් කරන පරිදි ජේසුස් වහන්සේ, "ක්‍රිස්තුස් නම් රජෙක් කියා ගන්නා බවට"(ලූක් 23 : 2) පිලාත් හමුවේ නායක පූජකයන් කළ අයුතු චෝදනාව ය.(3) ජේසුස් වහන්සේගේ හිසට දමා තිබූ කටු ඔටුන්න පලස්තීනයේ වැවෙන උල් කටු සහිත විශාල කටු පඳුරු විශේෂයක් බව උද්භිද විද්‍යාඥයන් සොයා ගෙන ඇත. කෝර්ඩෝනීයර් නම් විද්වතා පෙන්වා දෙන ආකාරයට එය හිස වටා දමන රෝමානු ඔලිව් කොළ ඔටුන්නක් හා සමාන වූවක් නොවේ. සම්පූර්ණ කටු පඳුර ගලවා ගෙනැවිත් බේසමක් හෝ හෙල්මටයක් හිසට දමා ඇති ආකාරයෙන්, සම්පූර්ණ හිස වැසෙන සේ හිසට දමා, කිසියම් උපකරණයකින් හිසට කා වදින සේ ඔබා, අතු විසිරී නොයන පරිදි හිසට සවි වන සේ නිකට යට හා හිස් මුදුන හරහා ලණුවකින් හිසට තදකර බැඳ ඇත.‍(4) මේ පිළිබඳව සුභාරංචි පොත්වල සඳහන් වන්නේ මෙසේය.  
                                                                                                      Gundelia Tournefortii කටු පඳුරු ශාකය
"තවද ඔවුහු කටු ඔටුන්නක් ගෙන උන්වහන්සේගේ හිසමත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ අභිමුවෙහි දණ නමා, 'ජුදෙව්වරුන්ගේ රජුනි, සැරදේ!' කියා උන්වහන්සේට සරදම් කළහ. ඔවුහු උන්වහන්සේට කෙළ ගසා, බට දණඩ ගෙන, උන්වහන්සේගේ හිසට ගැසූහ." (මතෙව් 27: 29-30)
"....... කටු කිරුළක් ගෙන, උන් වහන්සේගේ හිස මත තබා, 'ජුදෙව්වන්ගේ රජුනි සැරදේ!' කියා ආචාර කරන්න පටන් ගත්හ. ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා, උන්වහන්සේට කෙළ ගසා, දණ නමා උන්වහන්සේගේ ඉදිරියෙහි වැඳවැටුණාහ." (මාර්ක් 15: 17-19)
 "හේවායෝ කටු ඔටුන්නක් ගෙන, උන්වහන්සේගේ හිසෙහි තබා, නීලරක්ත වස්ත්‍රයක් උන්වහන්සේට හඳවා, උන්වහන්සේගේ ළඟට පැමිණ 'ජුදෙව් රජතුමෙනි සැරදේ!' කියමින් උන්වහන්සේට අතුල් පහර දුන්හ." (ජොහාන් 19 :2-3)
ගුන්ඩේලියා ටූර්නෆෝර්තී නමැති කටු පඳුරු විශේෂය
 පෝල් විග්නොන් නමැති විද්වතා පෙන්වා දෙන්නේ, සාමාන්‍ය කටු වලින් මෙවැනි තුවාල හිස මත ඇති විය නොහැකි බවත්, ඒවා ප්‍රමාණයෙන් විශාල ඒවා විය යුතු බවත් ය.(5) මෙම කටු පඳුරු ඔටුන්න නිසා, හිසේ තුවාල 20 ක් හා නළලේ තුවාල 13 ක් ඇතිවී තිබෙන බව ශ්‍රී සළුව පරීක්ෂා කිරීමෙන් විද්වතුන් සොයා ගෙන ඇත. එසේම කටු කිරුළ හේතුවෙන් කෙස් කළඹ අවුල් වී, කටු වල පටළැවී තිබී ඇත.(6)  මුහුණ මතට හා උරහිස මතට වැටී තිබූ හිස කෙස් හා මුහුණේ රැවුළ හිසේ වූ තුවාල වලින් ගළා ආ රුධිර බිඳු වලින් තෙමී ඇත. එහෙත් එම රුධිර බිඳු පහතට රූරා වැටී නැත. පෝල් විග්නොන් මෙයට හේතුව වශයෙන් දක්වන්නේ, කටු ඔටුන්නේ බොහෝ වූ කටු හිස වසා හිසට තද වී තිබූ නිසා රුධිරය ගළා යාම වැළකී තිබීම ය.(7)
                                                                             වෛද්‍ය පේතෘස් සූන්ස් හා අවිනොන් ඩැනින් (දකුණ)   

ක්‍රිස්තු වර්ෂ 1990 න් පසුව ඇලන්, මේරි වෑන්ගර් යන ඇමෙරිකානු උද්භිද විද්‍යාඥයන් ‍දෙදෙනා හා හේබ්‍රෙව් විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා මහාචාර්ය අවිනොවාම් ඩැනින් (Avinoam Danin) යන ජෙරුසලමේ විද්‍යාඥයා එක්ව කළ පරීක්ෂණ වලින් මෙම කටු වර්ගය පළස්තීනයේ වැවෙන "ගුන්ඩේලියා ටූර්නෆෝර්තී " (Gundelia Tournefortii) යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන කටු පඳුරු විශේෂයක් බව සොයා ගෙන ඇත.(8) 
පැරිසියේ නොට්‍රෙඩාම් ආසන දෙව්මැදුරේ 
තිබෙන ශුද්ධ වූ කටු ඔටුන්නේ කටු දෙක                                                                                                      
ජේසුස් වහන්සේගේ හිසට පැළඳුවේ යැයි සැළකෙන ගෙතූ කටු කිරුළක් පැරිසියේ නොට්‍රෙඩාම් ආසන දෙව්මැදුරේ හි ද, ඉන් කටු දෙකක් රෝමයේ ශුද්ධ වූ කුරුසියේ දෙව්මැදුරේ ද ආරක්ෂිතව තිබේ. ඒවා දිගින් අඟලක් පමණ ඉතා තියුණු උල් කටු වෙති. එහෙත් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට එම කටු හිසේ පළඳවා තිබූ කටු පඳුරේ එක් කොටසක් පමණක් බවත්, අනෙක් කටු දිගින් අඟල් 2 - 3 අතර වන බවත් ය. මේවා පළස්තීනයේ පමණක් නොව ඝර්ම කළාපීය රටවල ද දැකිය හැකි බව ද පවසයි. මෙම කටු පඳුර ජේසුස් වහන්සේගේ හිසට සවි කිරීමේ දී එය හේවායන්ගේ අත් වල ඇනීමට ඉඩ ඇති බැවින් ද, එය ජේසුස් වහන්සේගේ හිසට හොඳින් සවි කිරීම සඳහා ද කිසියම් උපකරණයක් භාවිත කර ඇත. මතෙව් හා මාර්ක් ලියූ සුභාරංචි පොත් වල මෙය "බට දණ්ඩකින් පහර දීමක්" ලෙසින් දක්වා ඇත. මතෙව් ලියූ සුභාරංචියට අනුව, ජේසුස් වහන්සේගේ අතට දී ඇත්තේ ද එම බට දණ්ඩමය. බට දණ්ඩක් අතට දීමෙන් ඔවුන් සංඛේතාත්මකව ජේසුස් වහන්සේට "ජුදෙව්වරුන්ගේ රජතුමා" යනුවෙන් හාස්‍යයට ලක් කිරීමකි.


** ශ්‍රී මුහුණේ තුවාළ **
ශ්‍රී සළුවේ සටහන් වී ඇති රූපයේ මුහුණ පරීක්ෂා කිරීමේ දී, ඇස් බැමි තුවාල වී, නාසය පුපුරා ගොස්, තොල් පැළී හා කම්මුල් ඉදිමී ඇති බව විද්වතුන් සොයා ගත්හ. ජේසුස් වහන්සේගේ මුහුණ මෙතරම් විරූපී වීමට හේතුව කුමක්ද? කිලෝ 60 - 70 අතර බරැති කුරුසියේ හරස් ලී කොටය උරහිස මත තබා දෑත් ඊට තබා බැඳ තිබී ඇත.(9) එහි බර නිසා ඔවුන් වහන්සේ තුන් වතාවකට වඩා වාර ගණනක් රළු බොරළු ගල් බිමෙහි ඇද වැටී ඇති අතර, එසේ වැටීමේ දී ඇති වූ තුවාල වල සළකුණු මෙසේ දක්නට ලැබේ.(10) 
 
 ** කස පහර ගැසීම **
Flagrum නමැති රෝමානු කසය
සාමාන්‍යයෙන් රෝම නීතිය අනුව අපරාධකරුවන්ට දිය යුතු වන්නේ කස පහර 30 - 40 අතර ප්‍රමාණයකි. ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුවේ කස පහර නිසා ඇති වූ තුවාල සළකුණු 175 කට වැඩියෙන් දක්නට ලැබෙන බව විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.(11)  ජේසුස් වහන්සේට තැලීම සඳහා යොදා ගත් "Flagrum" නමැති රෝමානු කස විශේෂයේ ලී මිටකට හම් පටි 3 - 5 අතර සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත. එම කස අගට යකඩ කැබළි හා ඊයම් කටු බෝල සවිකර ඇත.(12) මෙවැනි කසයකින් පහර දෙන විට කසයේ අග කොටසෙහි ඇති යකඩ කැබළි හා කටු බෝල සමේ පැටලී සම ඉරාගෙන නැවත කසය ගැලවේ.(13) ජේසුස් වහන්සේට ද පහර දී ඇත්තේ එවැනි කස වලිනි. 
ජේසුස් වහන්සේව සම්පූර්ණයෙන් නිරුවත් කර, උසින් අසමාන මිනිසුන් දෙදෙනා (යුගලය) බැගින් කස පහර දීම සිදුකර ඇති බව විද්වතුන්ගේ මතයයි. කෙසේ වුවද ශ්‍රී සළුව පරීක්ෂා කළ බැලූ විද්‍යාඥයන්, ජේසුස් වහන්සේට කසයෙන් තැළීම පිළිබඳ පහත කරුණු අනාවරණය කරගෙන ඇත.Picture of Scourging or Whip Marks (Click)
  • ජේසුස් වහන්සේට කසයෙන් තලන විට ඔවුන් වහන්සේ ඉදිරියට හෝ පසුපසට  නොනැවී ඍජුව සිටගෙන සිට ඇති බව.
  • ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙපස හරවා ඉදිරියට හා පසුපසට කසයෙන් තැලීම සිදුකර ඇති බව.
  • ජේසුස් වහන්සේට කසයෙන් තැළූ අය, වරකට දෙදෙනා හෙවත් යුගලය බැගින් පහර දීම කර ඇති බව.
  • ජේසුස් වහන්සේට තැලීම සඳහා කස වර්ග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇති බව.
  • ජේසුස් වහන්සේට තැළූ අය එක් යුගලයකට වඩා සිට ඇති බව හා ඔවුන් උසින් අසමාන පුද්ගලයන් බව.
  • දෙපා වල සටහන්ව ඇති ආකාරයෙන් ජේසුස් වහන්සේගේ වැළමිටේ සිට මැණික් කටුව දක්වා කොටසේ කස පහර සළකුණු දක්නට නැති බව.
  • උරහිසේ ඇති කස පහර සළකුණු පහළ සිට ඉහළට හම ඉරී ගිය ආකාරයෙන් දිස්වන බව.
  • ශරීරය මැද කොටසේ කස පහර සළකුණු වැඩි ප්‍රමාණයක් සිරුර හරහට වැදී ඇති බව. 
  • දෙපා වල කස පහර සළකුණු ඉහළ සිට පහළට විහිදී යන‍ සේ සටහන්ව ඇති බව.(14)
කසයෙන් තැලීමේ දී ජේසුස් වහන්සේව හරවා ඉදිරිපසට ද පහර දී ඇති බව පෙනී යයි. මන්ද පිටුපස මෙන් ම ඉදිරිපස ද කස පහර සළකුණු තිබේ. එලෙසම සිරුරේ වම් හා දකුණු දෙපස ද ඒ හා සමානව ම කස පහර දුන් සළකුණු දැකිය හැකිය. ඒවා පිටුපස පෙදෙසේ සිට විහිදී ඇති ගැඹුරු තුවාල වෙති. පෙර සඳහන් කළ ආකාරයට මෙම පසුපස හා ඉදිරිපස කස පහර වලින් ලත් තුවාල සළකුණු නිරීක්ෂණය කිරීමෙන් විද්‍යාඥයන් පසක් කර ගත්තේ, කසකරුවන් යුගලය බැගින් ඔවුන් වහන්සේට පහර දී ඇති බවය.(15) ඉදරිපස කස පහර සළකුණු වලට වඩා පිටුපස කස පහර සළකුණු පැහැදිළිව හා වඩාත් හොඳින් දැකිය හැකිය. ඊට හේතුව ශ්‍රී සළුවෙන් ජේසුස් වහන්සේව එතූ පසුව, ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම්පූර්ණ බර සළුවේ පිටුපස කොටසට තදවීම නිසා රුධිරය හා තුවාල පැල්ලම් සළුවට හොඳින් කා වැදීම ය. ශ්‍රී සළුවේ දෙපස කස පහර සළකුණු පැහැදිළිව දක්නට ‍නොලැබීමෙන් පෙනී යන්නේ, එය ජේසුස් වහන්සේගේ ශ්‍රී සිරුරට තදවන සේ බැඳ නොමැති බවය.(16) 
ශ්‍රී සළුවේ දක්නට ලැබෙන කස පහර වලින් ලත් තුවාල වල විශාලත්වය මැන බැලීමේ දී ඇතැම් තුවාල අනික් ඒවාට වඩා ප්‍රමාණයෙන් දිගුය. එසේම ඒවා සමෙන් ඉහළට ඉළිප්පී, රැළී ගැසී ඇත. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ප්‍රිම්රෝස් ගේ මතය වන්නේ, කස වලට අමතරව දිගු කටු සහිත වේවැල් වැනි කෝටු විශේෂයක් භාවිත කර ඇති බවය.(17)  එහෙත් එයින් ලත් තුවාල විශාල ප්‍රමාණයක් නැත. මන්ද ඒවායින් ඕනෑවට වඩා පහර දුන් විට එය දරාගත නොහැකිව මරණය පවා සිදු විය හැකි බැවිනි.(18) 
ජේසුස් වහන්සේට කස පහර දීම පිළිබඳව ශුද්ධ බයිබලයේ මෙවැනි වාර්තා කොටස් දැකිය හැකිය.
"මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි." (යෙසායා 50 : 6)
"එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය." (මතෙව් 27 : 26b)
".......ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය." (මාර්ක් 15 : 15)
".....'එබැවින් මොහුට තළා මුදා හරිමි' යි කී ය." (ලූක් 23 : 22)
"ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය." (ජොහාන් 19 : 1)
ඉහත සඳහන් ප්‍රකාශන දෙස බලන කල පෙනී යන්නේ, ජේසුස් වහන්සේට කසයෙන් දිවැසිවැකියක් ඉටු වීමක් ලෙසින් සියලුම සුභාරංචි කතුවරුන්ගේ අවධානයට ලක් වූ අති වේදනාත්මක සංසිද්ධියක් බවය.

** උරහිස මත වූ තුවාල සළකුණු **
ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දක්නට ලැබෙන තුවාල අතර උරහිස මත වූ තුවාලය පළල් ව පැතිරී ගිය තරමක ගැඹුරු ස්වභාවයක් පෙන්නුම් කරන්නකි. ඒ පිළිබඳව පර්යේෂණ කළ මහාචාර්ය ජූඩිකා කොර්ඩිග්ලියා ශ්‍රී සළුවේ එය සටහන්ව ඇති ආකාරය මැන බැලුවේ ය.
මහාචාර්ය ජූඩිකා කොර්ඩිග්ලියා (දකුණ)
 මහාචාර්ය ජූඩිකා කොර්ඩිග්ලියාගේ පර්යේෂණ වලට අනුව, ශ්‍රී සළුවේ ඉහළ කොටසේ දක්නට හැකි දකුණු උරහිස තිබූ ස්ථා‍නයේ සිට පැතිරී යන තුවාලය සෙන්ටිමීටර් 9 - 10 අතර ප්‍රමාණයක් පෙන්වයි. සිරුරේ උරහිස ප්‍රදේශයේ විවිධ ප්‍රමාණවල ගැඹුරු සීරීම් සළකුණු තිබේ. මේවා කස පහර වලින් ලත් තවාල නොවන අතර, කිසියම් රළු බරැති යමක් උරහිස මත තබාගෙන බොහෝ දුරක් ගමන් කිරීමේ දී උරහිස පිරිමැදීමෙන් වූ තුවාල සළකුණු ය. ජේසුස් වහන්සේ කර තබානෙ ගිය එම බර රළු දෙය නම් ලී කුරුසිය යි.(19)
  
  ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසූ අයුරු
සාමාන්‍ය කුරුස වල අප දකින්නේ ජේසුස් වහන්සේගේ අත්ල සිදුරු වන සේ ඇණ ගසා ඇති ආකාරයයි. එහෙත් ශ්‍රී සළුවේ දැක්වෙන ආකාරයට හා විද්‍යාඥයන්ගේ මතයට අනුව, කුරුසියේ ඇණ ගැසීම මැණික් කටුව අසලින් සිදුකර ඇත. ජේසුස් වහන්සේගේ බර රාත්තල් 175ක් පමණ බව දැන විද්වතුන් සොයාගෙන ඇත. අත්ල හරහා ඇණ ගැසුවහොත් සිරුරේ බරට අත්ල ඉරාගෙන යන බව රෝම හේවායන් අත්දැකීමෙන් දැන සිටි නිසා, ඔවුන් මැණික් කටුව අසලින් ඇණ ගැසීම කර ඇත. ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන පරිදි දකුණු අතේ ඇණ සළකුණ නොපෙනේ. එයට හේතුව වම් අත දකුණු අත මත තැබීමේදී  දකුණු අතේ ඇණ සලකුණ වැසී යන පරිදි තබා තිබීමය. පෙර  ලිපියේ සඳහන් කළ ආකාරයට අත් දෙකෙහිම මහපට ඇඟිල්ල පෙනෙන්නට නැත්තේ ඊට අදාළ නහරය හසුවී හෝ තදවී එම ඇඟිලි අප්‍රාණිකවී අල්ල තුළට නැඹුරුවී දරඳඬුවීම නිසයි.(20) 

කෙසේ වුවත් ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව ඉදිරිපත් කරන කුරුසපත් කිරීමේ සාධක කිහිපයකි. 

  • ජේසුස් වහන්සේව කුරුසපත් කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ඇණ හතරක් නොව තුනක් බව.
  • දකුණු කකුළ මත වම් කකුළ තබා ඇණ ගැසීම කර ඇත. එනිසා වම් කකුළ දණහිසින් නැමී දරදඬුවී දකුණට වඩා මදක් කොට ස්වභාවයක් පෙන්වන බව.
  • අත්වල ඇණ ගැසීම අත්ල මත නොව මැණික් කටුව අසලින් සිදුකර ඇති බව.
  • ඇණ ගැසීමේදී දෙඅත් කුරුසිය මත අංශක 45 ක කෝණයක් සිටින සේ දෙපසට විහිදුවා ඇණ ගැසීම කර ඇති බව.
  • ඇණ ගැසීමට පෙර දෙපා කෲර ලෙස ඇදීමකට ලක්කර ඇති බව.(21) 
මෙම සාධක සැලකිල්ලට ගෙන බැලීමේ දී අපට පෙනී යන්නේ, ජේසුස් වහන්සේගේ කුරුසපත් කිරීමේ හා මරණයේ තිබෙන අමානුෂිකබව හා කෲරත්වයයි.   
ජේසුස් වහන්සේව කුරුසපත් කළ ඇණ වලින් එකක්
ඉහත සඳහන් කරුණු අතරින් පළමු හා දෙවන කරුණු සම්බන්ධයෙන් විද්‍යාඥයන් හා නිරීක්ෂකයන් අතර කිසිඳු විවාදයක් නැත. ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන ආකාරයට ජේසුස් වහන්සේ‍ගේ දකුණු කකුළ සෘජුව පහතට ඇද පාදය (foot) කොටස යටිපතුලට මදක් නැමී යන පරිදි කුරුස කඳ මතට තබා, ඉන්පසුව ඒමත වම් කකුළ තබා පසුව පාදය කොටස දකුණු කකුළේ පාදය කොටස මත තැබීමෙන් ඇණ ගැසීම කර ඇති බව සොයාගෙන ඇත. ඒනිසා සළුවේ පිටුපස කොටසේ නෙගටිව් රූපයේ වම් කකුළේ යටි පතුලේ සිට විලුඹ දක්වා කොටස නොපෙනේ.(22) 


වෛද්‍ය පියරේ බාර්බෙට් මළ සිරුරක් ගෙන කුරුසියකට තබා ඇණ ගැසීමේ පර්යේෂණයක් කොට, දකුණ කකුළ කුරුස ලී කඳට සෘජුවද, වම් කකුළ දණහිසින් මදක් ඇතුළට නමා දකුණු කකුළ මත තබා ඇණ ගසා ඇති ආකාරය ක්‍රියාවට නගා පෙන්විය.(23) කරුස කඳ බිම තබා එම මළ සිරුර කරුසියට තබා, ඇණ ගැසීමෙන් අනතුරුව කුරුසිය කෙළින් ඉහළට එසවීය. එසේ සිටුවීමේදී, ශරීරයේ බර නිසා දෙඅත් සෙන්ටි මීටර් 5 ක් පහතට ඇදී ඇති අතර, ශරීරය පහතට එල්ලීමෙන් දෙඅත් අංශක 65 ක කෝණාකාර පිහිටීමක් ද, අංශක 25 ක හරස් ලී කඳට සමාන්තරව තිබී ඇත. මෙම පරීක්ෂණයෙන් ලබා ගත් දත්ත හා ශ්‍රී සළුවේ රූපය සංසන්දනාත්මකව නිරීක්ෂණය කර බැලූ වෛද්‍ය බාර්බෙට්ගේ නිගමනය වූයේ, එවැනි ආකාරයටකට ජේසුස් වහන්සේව ද ඇණ ගැසීම සිදු කර ඇති බවය.(24)

වෛද්‍ය පියරේ බාර්බෙට්
එහෙත් ශ්‍රී සළුවේ ඇති රූපයේ සෙන්ටිමීටර් 22 ක ඇදීමක් පෙන්නුම් කරයි. බොහෝ දෙනෙකු වෛද්‍ය බාර්බෙට්ගේ අදහස පිළිගන්නා නමුත්, සෙන්ටිමීටර් 22 ක වෙනස පිළිබඳව විමතිය පළ කරති. මේ සම්බන්ධයෙන් ඉංජිනේරුවෙකු වූ කෝර්ඩොනීයර් නමැත්තාගේ මතය වන්නේ, දෙඅත් වල කෝණාකාර පිහිටීම අංශක 45 ක් බවය.(25) එසේම ‍දෙඅතේ මැණික් කටු අසලින් අත්ල කොටස අංශක 20 ක් කෝණාකාරව දෙපසට නැවී තිබීමක් ශ්‍රී සළුවේ දැකිය හැකිය.(26)   
කෝර්ඩොනීයර්ගේ පරීක්ෂණය හා නිගමනය වූයේ, ජේසුස් වහන්සේගේ දෙඅත් වලට ඇණ ගැසීම අත්ල හරහා නොව මැණික් කටුව අසලින් සිදුකර ඇති නිසා මැණික් කටුවට ඉහළ අත්ල කොටස් දෙපසට නැමී යාම සිදු විය හැකි බවත්, එනිසා ජේසුස් වහන්සේගේ දෙඅත් කුරුසිය මත පිහිටා තිබී ඇත්තේ අංශක 45 ක කෝණාකාර ස්වභාවයකින් බවත් ය.(27) අල්ලට මදක් ඉහළින් මැණික් කටුවට ඉතා ආසන්නව ගැසූ ඇණය අංශක 25 ක පමණ ඇලවීමකින් මැණික් කටුව අතරින් අතේ උඩු පැත්තෙන් පිටතට මතුවී කුරුස ක‍ඳේ හරස් ලී කඳට සවි වේ. (ඉහත දකුණු පස රූපයේ දැක්වෙන ඉඳිකටුව අත හරහා ගමන් කර ඇති ආකාරය හා පහත වම් පස රූපයේ අතේ ඇණ සිදුර පිහිටන ආකාරය නිරූපණය වේ. පහත දකුණු පස රූපයේ එක්ස් රේ කිරණ මගින් අතේ ඇණය මැණික් කටුව ආසන්නයෙන් ගමන් කර ඇති අයුරු පෙන්වයි.)    


කෙසේ වුව ද, විද්වතුන් අතර දෙඅත් වල පිහිටීම සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණ ද, පොදුවේ පිළිගත් වැදගත් සාධක දෙක වන්නේ,
  1. ඇණ ගැසීම අත්ල හරහා නොව, මැණික් කටුවට අසළින් සිදු කර ඇති බව හා
  2. ඇණ ගැසීමේ දී දකුණු අත බලාත්කාරයෙන් ඇදීමකට ලක් වී ඇති බවත් ය.
ශ්‍රී සළුව පෙන්වන කුරුසියේ ස්වභාවය ෴ 
ශ්‍රී සළුව පරීක්ෂා කළ විද්‍යාඥයන්, ජේසුස් වහන්සේව ඇණ ගැසූ කුරුසියේ ස්වභාවය සොයා බැලීමට යොමු වූහ. ශ්‍රී සළුව පරීක්ෂා කළ ‍බොහෝ දෙනා පිළිගත් විශේෂ කරුණු දෙකක් වන්නේ,
  • වෙනත් තුවාළ වලින් නොව, දෙඅත් වල තිබෙන කුරුසියේ ඇණ ගැසුම් තුවාල වලින් ආ රුධිරය උරහිස දෙපසට ගළා විත් තිබෙන බව හා රුධිර වහනය අවම කරනු පිණිස දෙඅත් කුරුස ලී කඳට තබා බැඳ ඇති බව හා
  • ජේසුස් වහන්සේගේ වම් අතේ පිටු පස හා කුරුස ලී කඳ අතරින් රුධිරය බේරීමක් පෙන්නුම් කරන අතර, ඒවා ඍජුව පහතට වැටී ඇති බව ය. 
ජේසුස් වහන්සේගේ කුරුසියට ඉහළින් සවිකර තිබූ
පුවරුවේ කොටසක් 
ඒ අනුව, ජේසුස් වහන්සේගේ දෙඅත් පොළොවට සමාන්තරව හා ලම්භාකාරව කුරුසියේ හරස් කඳ‍ට තබා ඇණ ගසා ඇති බව වැඩි දෙනාගේ පිළිගැනීම වේ. මෙම කරුණු දෙක වෛද්‍ය බාර්බෙට් පෙන්වා දුන්නේ ජේසුස් වහන්සේගේ දෙඅත් කුරුස ලීයට අංශක 25 ක් සමාන්තරව ද, අංශක 65 ක් ලම්භාකාරව ද පිහිටීම නිසා සිදු විය හැකි දෙයක් බවය.(28) එහෙත් කෝර්ඩොනීයර්ගේ පර්යේෂණයට අනුව, ජේසුස් වහන්සේ ඇණ ගැසූ හරස් ලී කඳ ඉංග්‍රීසි V අකුරේ හැඩයක් (එනම්, ඍජු ලී කඳ සමග බලන කළ කුරුසිය ඉංග්‍රීසි Y අකුරේ හැඩයක්) ගෙන ඇත. ඒ අනුව ජේසුස් වහන්සේගේ දෙඅත් අංශක 45 ක කෝණයකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ඇණ ගසා ඇති බව ඔහුගේ නිගමනය විය. දෙඅත් වල ඇණ ගැසුම් තුවාළ වලින් උරහිස දෙසට රුධිරය ගළා ආවේ එනිසා ය යන්න ඔහුගේ මතය ය.(29) 
එබැවින් ජේසුස් වහන්සේගේ කුරුසිය ගොතික් පූජා ඇඳුමේ (Gothic Chasuble) පිටුපස දිස්වන කුරුස ලාංඡනයේ ස්වරූපයක් ගෙන ඇත.(30)  එසේම ජේසුස් වහන්සේ කර තබාගෙන ආ කුරුසියේ ඇණ ගැසීමට ප්‍රථම ඇණ සවි කරන ස්ථාන කුරුස ලී ක‍ඳ විද සළකුණු කර තිබී ඇත. ජේසුස් වහන්සේව කුරුසිය මත බාවා වම් අත පළමුව අණ ගසා ඇත. දකුණු අත හා දෙපා ඇණ ගැසීමට යාමේ දී ලී ක‍ඳේ පෙර සළකුණු කර තිබූ සිදුරු අත හා දෙපා වලට වඩා මදක් ඈතින් පිහිටා තිබී ඇත. එනිසා රෝම හේවායන් තම ශරීර ශක්තිය යොදා බලාත්කාරයෙන් ජේසුස් වහන්සේගේ දකුණු අත හා දෙපා ඇද අදාළ සිදුරු වෙත ළඟා කරගෙන ඇණ ගැසීම කර ඇත. 
ජේසුස් වහන්සේව ඇණ ගැසූ ශ්‍රී කුරුසියේ හරස් 
ලී ක‍ඳේ කැබැල්ලක්
පෙර සඳහන් කළ ආකාරයට වෛද්‍ය බාර්බෙට්ගේ සොයා ගැනීමට අනුව ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සෙන්ටිමීටර් 22 ක ඇදීමක් පෙන්නුම් කරන්නේ එනිසා ය. එසේම ජේසුස් වහන්සේගේ දෙඅත් ඉතා තදින් කුරුසියේ හරස් ලී කඳට සිර කොට බැඳ ඇත. එම බැඳීම මැණික් කටුවට පහළින් හා ද්විශිෂී පේශිය (උරහිසට පහළ අත් මස් ගොබය) අසළින් ද කර ඇත. එමගින් රුධිරය රූරා පහළට වැටීම වැළකී ඇත.(31) මේ සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. ඇතැම් විශාරදයන් මෙය පෙන්වා දෙන්නේ කුරුසපත් වන්නා කුරුසිය මත සිට කරන දැඟළීම නවතාලීම එහි අරමුණ බවය. සිරුර කුරුස කඳට තදට හේත්තු කිරීමත්, ඇණ ගැසීමේ පහසුවත් හා සිරුරේ බරට එය පහතට එල්ලා වැටීම වැලැක්වීම සඳහාත් මෙය කරන බව සමහර විශාරදයන් කල්පනා කරති.
ජේසුස් වහන්සේගේ මරණයට හේතුව වෛද්‍ය බාර්බෙට් දක්වා ඇත්තේ, ආශ්වාස ප්‍රාශ්වාසය නිසි පරිදි සිදු නොවීම නිසා වූ හුස්ම හිරවීම ය. දෙපා නිසි ලෙස පොළොව හා ස්පර්ශ නොවීම හා මහා ප්‍රාචීරයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීමත්, පෙනහළු තුළට ඔක්සිජන් නිසි ලෙස ප්‍රවාහ නොවීමත් නිසාවෙන් ඒ තුළට රුධිරය ගළා ඒම සිදුවීමෙන් මෙවැනි තත්ත්වයක් උදා විය හැකිය බව වෛද්‍ය මතයයි. එයට තවත් පැහැදිළි කිරීමක් කළ වෛද්‍ය පී. ජේ. ස්මිත් පෙන්වා දුන්නේ, ජේසුස් වහන්සේගේ මරණය සිදුවීමට හේතුව, දැඩි වධ වේදනා දැරීමේ අපහසුතාවය හා අධික වෙහෙස නිසා වූ හෘදය අකරණිය (Heart Failure) සහ ශරීරයේ පැවතිය යුතු රුධිර ප්‍රමාණය අඩුවීම නිසා බවය.(32)  
                                                                 
හදවතේ වූ තුවාළය  
"එය සබත් දිනට පෙර සූදානම්වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. එබැවින් හේවායෝ අවුත් පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමග ඇණ ගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩා දැමූහ. එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඳට පැමිණි විට උන් වහන්සේ අපවත් වී සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නො කැඩූහ. එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය......" (ජොහාන් 19 : 31 - 34) 
ශ්‍රී සළුවේ දැක්වෙන රුධිර පැල්ලම් රූපය හා නෙගටිව් රූපය පරීක්ෂා කළ විද්‍යාඥයන් හෙල්ලයෙන් සිදුරු කර ඇති ස්ථානය විශේෂ සැලකිල්ලට භාජනය කළහ. එම ස්ථානයෙන් ගලා ආ රුධිර පැල්ලම පැහැදිළි ය. ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව, මෙම හෙල්ල පහර හෘදය වස්තුව වෙත ළඟා වී ඇත්තේ, දකුණු පස 5 වන හා 6 වන ඉළ ඇට අතරිනි. එම තුවාළ සළකුණ යට තද පැහැති රුධිර පැල්ලමක් දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් කළ පිරික්සීම් වලට අනුව, ජේසුස් වහන්සේ කුරුසියේ එල්ලී සිටිය දී වූ ගැඹුරු තුවාළයක් බවට නිගමනය වී ඇත.(33)  එසේම එම තද ලේ පැල්ලම වටා අවර්ණ දියර පැල්ලමක් ද දැකිය හැකිය. එය ජොහාන් 19 : 34b හි සඳහන් ලේ සමග ගලා ආ ජලය පැල්ලම ය. 
ජේසුස් වහන්සේගේ දකුණු ඇලය සිදුරු කළ හෙල්ල තුඩ
ශ්‍රී සළුවේ දැක්වෙන ආකාරයට හෘදය වස්තුව හා සම්බන්ධ තුවාළයෙන් ගැලූ රුධිරය සළුවේ ඉදිරිපස කොටසේ දකුණු පැත්තේ ද, එහි පිටු පස කොටසේ වම් පැත්තේ ද සටහන්ව ඇත. පිටු පස සටහන් වී ඇති රුධිරය පිට ප්‍රදේශයේ වූ හෙල්ලයේ තුඩින් පසාරු වී ගිය තුවාළයෙන් ගැලූ රුධිරය යි. එය ඉදිරිපස තුවාළයෙන් වැගිරී ගලා ගිය රුධිරය නොවන බව විද්වත් මතය යි.(34) මෙයින් පෙනී යන්නේ හදවත හරහා ගමන් ගත් හෙල්ලය පිටු පස පෙදෙසින් මතු වී ඇති බව ය. හදවතේ තුවාළ සිදුර සෙන්ටිමීටර් දෙකහමාරක් ගැඹුරු වන අතර, සෙන්ටිමීටර් භාගයක් පළල ය.(35)  හදවතේ මෙම සිදුර ඍජුව හෘදය මැදින් ගමන් ගත් පහරක් නොව එය හෘදයේ දකුණු පස අග කොටස සිදුරු කොට ගෙන ගිය හෙල්ල පහරකි. පසු කාලීනව ජේසුස් වහන්සේගේ විවිධ දර්ශනය වීම් වල දී වූ ඔවුන් වහන්සේගේ හෘදයේ රූපාකාරය දුටු දර්ශනලාභී ශුද්ධවරයන්ගේ වාර්තා වලින් ද මෙම කරුණ සනාථ වේ. (මෙම දර්ශනලාභීන් අතර, සාන්ත මාර්ගරීටා මරියා, ස්වීඩනයේ සාන්ත බ්‍රිජට්, භාග්‍යවන්ත මරියා අග්‍රිදා හා ඈන් කැතරින් එමරිච් යනාදීන් කැපී පෙනෙති.)              

ජේසුස් වහන්සේගේ දෙනෙත් මත තබා තිබූ කාසි ෴ 
ක්‍රිස්තු වර්ෂ 1979 දී ජෝන් ජැක්සන් හා එරික් ජම්පර් යන දෙදෙනා කළ පර්යේෂණයක දී ශ්‍රී සළුවේ දැක්වෙන රූප සටහනට අනුව ජේසුස් වහන්සේව සළුවෙන් එතීමට පෙර වැසී තිබූ ඇස් දෙක මත කිසියම් ඝන ද්‍රව්‍යයක් තැන්පත් කර තිබී ඇති බව සොයා ගත්හ. මෙම ඝන ද්‍රව්‍ය පැරණි රෝම කාසි දෙකක් බව පසුව සොයා ගැණුනි. මෙම කාසි දෙ‍කෙහි සළකුණ පිළිබඳව නිරීක්ෂණය කළ විද්වතුන් දකුණු ඇස මත පලස්තීනයේ රෝම ආණ්ඩුකාරයාව සිටි පොන්සියුස් පිලාත්ගේ පාලන කාලයට අයත් Pontius Pilate Lepton නමැති කාසිය තිබී ඇත. වම් ඇස මත රෝම අධිරාජ්‍යයෙකු වූ තිබේරියස් සීසර්ගේ මව වන ජූලියා රැජිනියව සිහිපත් කිරීම සඳහා ක්‍රිස්තු වර්ෂ 29 දී සය මසකට පමණක් භාවිත කිරීමට සකස් කළ Julia Lepton නමැති කාසිය තිබී ඇත. (පහත රූප දෙකෙන් දැක්වෙන්නේ එම කාසි වර්ග දෙකය. වම් පස ඇති පළමු කාසිය Pontius Pilot  Lepton කාසියේ දෙපස ‍රූපය වේ. දකුණු පස ඇති දෙවන කාසිය Julia Lepton කාසියේ දෙපස රූපය වේ.)    
 


මේ සම්බන්ධයෙන් පර්යේෂණ මෙහෙය වූ පුරා විද්‍යාඥයන් අතීතයේ මිනිස් මළ සිරුරු භූමදානය කිරීමේ දී ඒවායේ ඇස් මත කාසි තැබීමේ ඉපැරණි චාරිත්‍රයක් පැවතී ඇති බවත්, පැරණි සොහොන් ගෙවල වූ මිනිස් හිස්කබල් තුළ එවැනි කාසි තිබී හමුවී ඇති බවත් සොයා ගත්හ. ජේසුස් වහන්සේගේ මෘත ශරීරයේ දෙඇස් මත රෝම කාසි දෙකක් තැන්පත් කරන්ට ඇත්තේ එවකට පැවති මෙම ඉපැරණි චාරිත්‍රය හා රෝම පාලනය නිසයි. (36)

 ෴ ශ්‍රී සළුවේ තැවරී ඇති මල් පරාග ෴                        
ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව ඉතා සියුම් ලෙස විද්‍යාත්මකව පරීක්ෂා කළ විද්‍යාඥයන්ට එහි මල් පරාග තැවරී ඇති බව දැක ගැනීමට හැකි විය.  මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ උද්භිද විද්‍යාඥයන්ගේ මත කිහිපයක් පහතින් දැක්වේ. (මෙම මල් වල පින්තූර වලින් දැක්වෙන්නේ ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුවේ තැවරී ඇති මල් පරාග වලට අයත් පළස්තීනයේ අදටත් දැකිය හැකි මල් කිහිපයකි. ඒවා නම්, වම් පස පළමු මල Lomelosia Prolfera නමැති මල් විශේෂයයි. වම් පස දෙවන මල
Chrysanthemum Coronarium නමැති මල් විශේෂයයි. දකුණේ පළමු මල Cistus Creticus නමැති මල් විශේෂයයි. දකුණේ දෙවන මල Echinops Gillardotii නමැති මල් විශේෂය යි. මෙහි සඳහන් කර ඇත්තේ, මේවා සියල්ලේ උද්භිද විද්‍යා නාමය වේ.)              
                                                                                                                          


දකුණු පස පිහිටි ඉශ්රායෙල් සිතියමේ දැක්වෙන පරිදි නිල් පැහැති ඉලිප්සාකාර කොටසිනි පෙන්නුම් කරන්නේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශ සීමාවය. රතු පැහැති කොටසින් Cistus creticus නමැති මල් විශේෂය වැවෙන ප්‍රදේශය පෙන්වයි. සිතියමේ කොළ පැහැති සීමාව Gundelia Tournefortii නමැති කටු පඳුරු විශේෂය සඳහා ප්‍රසිද්ධය. මෙහි තිත් සහිත ප්‍රදේශය පුරා  zygophyllum dumosum නමැති මල් විශේෂය දැකිය හැකිය. දකුණු පස රූපයෙන් පෙන්නුම් කරන්නේ ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව මත තැවරී තිබුණු ඉහත කී එම  මල් විශේෂයයි.      

                                                                                               
 ** මැක්ස් ෆ්‍රෙයි නමැති උද්භිද විද්‍යාඥයාගේ මතය **
ක්‍රිස්තු වර්ෂ 1978 දී උද්භිද විද්‍යාඥයෙකු හා මිනීමැරුම් පර්යේෂකයෙකු වූ මැක්ස් ෆ්‍රෙයි (Dr. Max Frei) විශේෂ කැමරාවක් උපයෝගී කරගෙන ලබාගත් ඡායාරූප විමර්ශනය කොට ශ්‍රී සළුවේ තැවරී ඇති මල් පරාග වර්ග 48 ක් හඳුනා ගත්තේ ය. එම පරාග වර්ග 48 න් 28 ක් පලස්තීනයේ හා ඒ අවට ප්‍රදේශ වල බහුල වශයෙන් දැකිය හැකි මල් වල පරාග වෙති. ඉතිරි මල් වර්ග 20 තුර්කිය, ප්‍රංශය හා ඉතාලිය යන රටවල දැකිය හැකි මල් වර්ග වෙති. මේ අනුව මැක්ස් ෆ්‍රෙයි පෙන්වා දුන්නේ එම පරාග ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතීමෙන් අනතුරුව ඒ වටා තැබූ පලස්තීනයේ වැවෙන මල් හා පසුව එම සළුව වෙනත රටවලට ගෙන යාමේ දී බැතිමතුන් ඊට ගරු බුහුමන් දක්වන විට තැබූ වෙනත් රටවල වැවෙන මල් වලින් තැවරී ගිය මල් පරාග බව ය.(37) 

** ඇලන් වැන්ගර් හා මේරි වැන්ගර් යන විද්වතුන්ගේ මතය **       
ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව පිළිබඳව නිරන්තර විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වුණි. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ හා විවිධ මතවාද නව මගකට යොමු කළේ, ඇමෙරිකානු උද්භිද විද්‍යාඥයන් වූ මහාචාර්ය ඇලන් වැන්ගර් හා මේරි වැන්ගර් (Alan Whanger and Mary Whanger) යන දෙදෙනා නවීන විද්‍යාත්මක උපකරණ හා කැමරා යොදා ගනිමින් සළුවේ තැවරී ඇති සියලු සළකුණු හා රූප සියුම් ලෙස පරීක්ෂා කර බැලීමෙනි. එහිදී එම ශ්‍රී සළුවේ ස්ථාන බොහෝමයක මල් පරාග වර්ග ගණනාවක් දක්නට ලැබෙන බව පෙනී ගියේ ය. ඒවා නවීන විද්‍යා තාක්ෂණය ආධාරයෙන් හඳුනාගෙන ඔවුන් දෙදෙනා කරුණු කිහිපයක් ලොවට අනාවරණය කිරීමට සමත් වූහ. එනම්, 
  
                                                                                                                          Ca paris Aegyptia මල් විශේෂය
  • පලස්තීනයේ වැවෙන පැලෑටි වර්ග 28 න් 23 ක් මල් වර්ග වලට අයත් බව
  • වර්ග 3 ක් පඳුරු වර්ග වලට අයත් බව
  • වර්ග 2 ක් කටු පඳුරු වර්ග බව
  • මෙම මල් වර්ග 28 ම ඉශ්රායෙලයේ වැවෙන ඒවා බව
  • ප්‍රදේශ ව‍ශයෙන් ගත් කල මල් වර්ග 20 ක් ජෙරුසලමේ ද, අනෙක් වර්ග 8 ජුදා අර්ධ ශුෂ්ක පෙදෙස් හා මළ මුහුද අවට වැවෙන බව
 Ridolfia Segetum මල් විශේෂය                                                                                      Anemone Coronaria මල් විශේෂය 
යනාදිය සොයා ගෙන ඇත.(38) මෙම මල් වර්ග පිපෙනුයේ මාර්තු - අප්‍රේල් අතර කාලයේ ය. මේවායින් ඇතැම් මල් ජෙරුසලමේ පදික වේදිකා හා කුඩා කඩපිල් වල විකිණීමට ඇත. සමහර මල වර්ග විදී දෙපස හා වතු වල දැකිය හැකිය. "උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවෙකු තැන්පත් නො කළ අලුත් සොහොන් ගෙයක් විය," යි ජොහාන් 19 : 41 හි දැක්වේ. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එම ගල්ලෙනෙහි තැන්පත් කිරීමේ දී සිරුර වටා තැබූ මල් ඇතැම් විට එම උයනේ ම පිපී තිබෙන්නට ඇත. මෙම කරුණු වලින් හා උද්භිද විද්වතුන්ගේ සොයා ගැනීම් වලින් පසක් වූයේ ජේසුස් වහන්සේ පළස්තීනයේ උපන් එහිම ජීවත්ව මිය ගිය කෙනෙකු බවය.  


ජේසුස් වහන්සේගේ ශ්‍රී සිරුර එතූ සළුව කුමක්ද?  
මහාචාර්ය රෙබෙකා ජැක්සන් 
ක්‍රිස්තු වර්ෂ 1993 දී ජුදෙව් ජාතික විද්‍යාඥවරියක වූ මහාචාර්ය රෙබෙකා ජැක්සන් ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතා තිබූ මෙම ලිනන් රෙද්ද කුමක්ද? එය පැමි‍ණියේ කොහෙන්ද?යන්න නිරීක්ෂණය කර බැලුවාය. ඒ අනුව එය ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේ මේසයට දමා තිබූ මේස සළුව බව ඔප්පු කර පෙන්වූවාය. ‍ඇය මෙම නිගමනයට එළඹුණේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගෙන ය.
  1. එම සළුවේ ස්ථාන කිහිපයක රතු මිදියුෂ හෙවත් වයින් වැගිරුණු පැල්ලම් දක්නට ලැබීම හා
  2. සාම්ප්‍රදායිකව මෘත ශරීරයක් බෙහෙත් ගල්වා එතීමට භාවිත කරන ලිනන් වෙළුම් පටි වලින් ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතා නොතිබීම ය. 
මේ කරුණු ඉස්මතු කර ගැනීමේ ප්‍රතිඵලය වූයේ කිසිඳු ආගමක් නොඇදහූ, ජේසුස් වහන්සේව නොපිළිගත් ඇය සිත් හැරීමකට පත්ව කිතුනුවෙකු වීම ය.(38) ක්‍රිස්තු වර්ෂ 30 අප්‍රේල් 7 වෙනිදා මධ්‍යහනයේ පමණ කුරුසපත් වූ ක්‍රිස්තුස් වහන්සේ එදින සවස 3 පමණ වන විට අවසන් හුස්ම හෙළූ සේක. මළ සිරුරු සබත් දින හා පාස්කු මංගල්‍ය දින වල කුරුසියේ එල්ලී තිබීම අසුභ හා අශුද්ධ සළකුණක් වූයෙන් ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කුරුසියෙන් බා ගැනීමට අරිමාතියේ ජෝසප් නමැති ප්‍රභූ මන්ත්‍රීවරයා පිලාත්ගෙන් අවසර ලබාගත් බව ජොහාන් 19 : 38 හි දැක්වේ. කුරුසියෙන් බා ගෙන සුවඳ ද්‍රව්‍ය ආලේප කොට රෙදි වලින් එතීම සඳහා ඔවුනට තිබෙන්නට ඇත්තේ පැයකටත් අඩු කාලයකි. මන්ද හවස 6 ට සබත ආරම්භ වන බැවින් ඊට පෙර දවසේ සියලු වැඩ නතර කළ යුතු බවට සබත් නීතිය විය. සුළු කාලයක් තුළ වෙළඳපලෙන් ලිනන් වෙළුම් පටි මිළට ගෙන විත් ඒවා පිළියෙල කොට සිරුර වෙළීම කිරීමට අපහසුය. එනිසා ඔවුන් අන්තිම රාත්‍රී භෝජන මේසයේ රෙදිකඩ මේ සඳහා යොදා ගන්නට ඇතැයි සැකයක් නැත. 


෴ ‍ශ්‍රී සළුවේ ජේසුස් වහන්සේගේ රූපය සටහන් වූයේ කෙසේද? 
ජේසුස් වහන්සේගේ ශ්‍රී දේහය එතූ ශ්‍රී සළුවේ ඔවුන් වහන්සේගේ රූපය සටහන් වූයේ කෙසේද යන්න විද්‍යාඥයන්ගේ විශේෂ සැලකිල්ල යොමු වූ කරුණ විය. ‍එම ශ්‍රී සළුව මත මිනිස් ඇටසැකිල්ලක සළකුණක් දක්නට ලැබෙන බවත්, හිස, අත් හා පිට කොන්ද ප්‍රදේශය පැහැදිළිව දැකිය හැකි බවත් ක්‍රිස්තු වර්ෂ 1996 දී නිව්යෝර්ක් සම්මේලනය අනාවරණය කළේ ය. මෙම රූපය ශ්‍රී සළුව මත සටහන් වුණේ එක්ස් රේ (X-Ray or X-Radiation) වැනි අති ප්‍රබල ආලෝක ධාරාවක් තුළින් බවත්, එම ආලෝක ධාරාව ශ්‍රී සළුව තුළ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ බැබළීම සිදුව ඇති බවත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත. 
මෙම තත්ත්වය විද්වතුන් සමාන කළේ, ක්‍රිස්තු වර්ෂ 1945 දී හිරෝෂීමා හා නාගසාකි යන නගර වලට හෙළූ පරමාණු බෝම්බයේ ආලෝකයෙන් ඇති වූ මිනිස් රූප වල සළකණු එකී නගර වල බිත්ති හා ගල් පර්වත වල සටහන් වී අදටත් දැකිය හැකිවීමට ය. මෙම සංකල්පය පදනම් කරගෙන දේවධර්මාචාර්යවරුන් හා නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, ජේසුස් වහන්සේගේ උත්ථානයේ දී ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නිකුත් වූ ප්‍රබල ආලෝක ශක්තිධාරාවෙන් ජේසුස් වහන්සේගේ රූප ‍ස්වභාවය සළුව මත මුද්‍රණය වී ඇති බවය.(39) ජේසුස් වහන්සේගේ උත්ථානය මනංකල්පිතයක් නොවන බවට මෙය කදිම සාක්ෂියකි. පේදුරු තුමාගේ සාක්ෂි දැරීමට අනුව පුරාණ ගිවිසුමේ සඳහන් පරිදි (2 සාමුවෙල් 7 : 12 - 13/ ගීතාවලිය 132 : 11), "උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්" (ක්‍රියා 2 : 31) යන්න ඉටු වීමකි.  
ශ්‍රී  සළුව විද්‍යාත්මකව පරීක්ෂා කළ විද්‍යාඥයන්ගේ අවසන් නිගමනයන් වූයේ, එම සළුව තුළ මැරුණ මිනිස් සිරුරක් ඔතා තිබුණ බව අවිවාදයෙන් පිළිගන්නා බවත්, කිසිම ආකාරයකින් සළුව ලෙහා හෝ ඉවත් කර හෝ එම සිරුර ඉවතට නොගෙන ඇති බවත්ය. එසේ නම් එම සළුව තුළ රැඳී තිබුණු මිනිස් සිරුරට සිදු වූයේ කුමක්ද? විද්‍යාත්මකව සර්ව සම්පූර්ණයෙන් පැහැදිළි කිරීමට අපහසු, එහෙත් එම සිරුර වාෂ්ප වීමක් හෝ කිසියම් ප්‍රබල ආලෝක ශක්ති ප්‍රභවයක් බවට පත්වී සළුව තුළින් ඉවතට ගමන් කර ඇති බව විද්වත් මතය වේ. ශ්‍රී සළුව ලෙහා හෝ දිගහැර එහි තිබූ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය පිටතට ගෙන නොමැති බවට විද්වතුන් පහත කරුණ අවධාරණය කර ඇත. ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය පුරා වණ කැළැල් රාශියක් ඇති වී තිබුණු අතර, රෙදිවලින් සිරුර එතීමේ දී ඒවා රෙදි කඩට තද වී ඇලීමට ලක් වේ. පසුව එම රෙදිකඩ ඉවත් කිරීමේ දී තුවාල වල කුඩා කොටස් හා කැබලි අනිවාර්යයෙන් ම එහි ඇලී ගැළවී එයි. එහෙත් මෙම සළුව පරීක්ෂා කළ විද්‍යාඥයන්ට එවැනි කිසිඳු තුවාල කොටසක් හමුවී නැත. එමගින් ඔවුන්ගේ නිගමනය වූයේ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සළුව ඉවත් කිරීමට ලක් නොවී ඉන් පිටතට පැමිණ ඇති බවය.(40)
කිතුනු අප ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය අදහන්නේ මෙවැනි බාහිර සාක්ෂි දෙස බලා ඒවා සැලකිල්ලට ගෙන නොවේ. යම් දිනෙක කිසියම් විද්‍යාඥයෙක් මෙම ශ්‍රී සළුව මිනිස් අතින් කළ නිර්මාණයක් හා ප්‍රෝඩාවක් බව සනාථ කර පෙන්වුවහොත් එය ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ අපගේ විශ්වාසය බිඳ වැටීමට හේතු සාධකයක් ද නොවේ. සැබෑ කිතුනුවාට දේව විශ්වාසය ගොඩ නගා ගැනීමට බාහිර සාක්ෂි අනවශ්‍යය. කෙසේ වුව ද මෙම ශ්‍රී සළුවේ ඇති විශේෂ වැදගත්කම වනුයේ, ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහසේ විශේෂයෙන් දුක් ප්‍රාප්තියේ අභිරහස්‍යමය බව පසක් කර ගැනීමට මෙම ශ්‍රී සළුව අපට වැදගත් සහයක් ලබා දෙයි. එසේම, ශ්‍රී සළුව ජේසුස් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙකු නොවන බවට අසත්‍ය මතවාද රැගත් ලිපි ලේඛන හා YouTube වීඩියෝ පට ගෙන හැර පාමින් ක්‍රිස්තියානි ධර්මය විකෘති කිරීමට උත්සහ දරන අයට කදිම පිළිතුරක් හා ඔවුන් වහන්සේගේ ජීවමානතාවයට හා සත්‍ය වැඩසිටීමට තිබෙන කදිම සාක්ෂියකි.

  

වැඩිදුර අධ්‍යයන සටහන්
(1) දොම්. නිරන්ජන් විජේරත්න සා.බෙ.නි. පියනම, "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන ප්‍රකාශන, මොන්ටිෆානෝ, අම්පිටිය, 2001, පිටුව 10. මෙතැන් පටන් "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් " යනුවෙන් යෙදේ. 
(2) Rev' Patrick O'Coonnell, B.D., & Rev' Charles Carty, "The Holy Shroud and Four Visions", Tan Books and Publishers, INC., Rockford, Illinois, U.S.A., 1974, page 32. Hereafter "The Holy Shroud and Four Visions". 
(3) "එහෙත් ජුදෙව්වරු මොර ගසමින්, 'ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජ්‍යයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැයි කියා ගන්නේ ද, ඔහු අධිරාජ්‍යයාගේ හතුරෙකි,' යි කීහ." (ජොහාන් 19 : 12b)
(4) "The Holy Shroud and Four Visions", pages 29 - 30
(5) Ibidem, page 29  
(6) Ibidem, page 29
(7) Ibidem, page 39 
(8) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව 17
(9) එම, පිටුව 11
(10)  "The Holy Shroud and Four Visions", page 22
(11) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව 13
(12) "The Holy Shroud and Four Visions", page 24 
(13) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව 13 
(14)"The Holy Shroud and Four Visions", pages 23 - 24 
(15)  Ibidem, pages 23 - 24 
(16) ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව දිග හැර දිගු අතට තබා, ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඒ මත තබා, ඉන් අනතුරුව හිස මුදුනින් රෙදිකඩ දෙපා දෙසට නැවෙන සේ සළුවේ අනික් කෙළවර දෙපා කෙළවර තෙක් නැවීමෙන් එතීම සිදුකර ඇත. එනිසා ශරීරයේ වම්පස හා දකුණුපස සළුවට තදවීමක් සිදු නොවේ. එනිසා ‍එම සළුවේ රැළ සහිත බවක් ද දක්නට නැත. ("The Holy Shroud and Four Visions", page 24) 
(17) සිංගප්පූරුව වැනි රටවල වරදකරුවන්ට පහරදීම සඳහා තද වේවැල් භාවිතය තවමත් පවතී. 
(18) "The Holy Shroud and Four Visions", pages 24 - 25 
(19)  Ibidem, pages 32 - 33  
(20) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව 12.
(21) "The Holy Shroud and Four Visions", page 37
(22)  Ibidem, pages 37-38.
(23)  Ibidem, page 38
(24) Ibidem, pages 38 - 40
(25) Ibidem, page 38
(26) මෙම අංශක 20 කෝණාකාර දෙපසට විහිදී තිබීම කෝර්ඩොනීයර්ගේ ගණනය කිරීම් වල දී සැලකිල්ලට ගත් නමුත්, වෛද්‍ය බාර්බෙට් එය නොසලකා ඇත. එනිසා ජේසුස් වහන්සේගේ ‍දෙඅත් දෙපසට විහිද තිබීම අංශක 65 ක කෝණාකාර පිහිටීමක් බවට කළ වෛද්‍ය බාර්බෙට්ගේ ගණනය කිරීමේ කිසියම් වරදක් තිබේ.  (Ibidem, page 40)
(27) Ibidem, pages 40 - 41 
(28) Ibidem, page 42 
(29) Ibidem, page 43
(30) Ibidem, page 43 
(31) Ibidem, pages 43 - 44
(32) Ibidem, page 44
(33) Ibidem, pages 52 - 53
(34) Ibidem, page 56
(35) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව12
(36) එම, පිටුව 18  
(37) Alan Whanger & Mary Whanger, A.D., "The Shroud of Turin: An Adventure of Discovery," Providence House Publishers, Franklin, TN., 1998, page 78
(38) "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", පිටුව 21
(39) එම, පිටුව 19
(40) එම, පිටුව 16 

ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව I


ක්‍රිස්තු වර්ෂ 544 සිට විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, මතවාද හා විවිධ අනතුරු වලට ලක් වෙමින් ඉතාලියේ ටියුරින් නුවර සාන්ත ස්නාවක ජොහාන් තුමාගේ දෙව්මැදුරේ තැන්පත් කර තිබෙන ශ්‍රී සළුව යනු, මීට වසර 1980 කට පමණ පෙර ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය භූමදානය කිරීම සඳහා එතීමට යොදා ගත් දිගු රෙදිකඩය. ශ්‍රී සළුව තරම් විද්‍යාඥයන්ගේ විවිධ විද්‍යාත්මක පරීක්ෂණ හා මතවාද වලට ලක් වූ තවත් ශුද්ධ වූ වස්තුවක් නොමැති තරම්ය. මේ දිනවල මෙම ශ්‍රී සළුව බැතිමතුන්ගේ වන්දනාව සඳහා ටියුරින් නුවර ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 න් පසුවය. මේ පිළිබඳ ප්‍රවෘත්තිය "Priests' Secretary" නමැති කිතුනු බ්ලොග් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.
Shroud of Turin (San Francisco Sentinal)
Shroud of Turin (San Francisco Sentinal)
ROME (CNS) — The Italian Archdiocese of Turin has announced that the Shroud of Turin, which many believe is the burial cloth of Christ, will be on public display April 10-May 23, 2010. The public exposition in Turin’s cathedral will offer members of the public their first opportunity to see the shroud since it underwent major cleaning and restoration in 2002. The work involved removing 30 fabric patches and a fabric backing, known as the Holland Cloth, sewn onto the shroud in 1534 after a fire. At the time of the work, Cardinal Severino Poletto of Turin said trapped particles of dirt and scorched fabric had darkened parts of the Shroud of Turin and eventually could have made it difficult to see the shroud’s image of a crucified man. The removal of the Holland Cloth also permitted experts to photograph and digitally scan the back of the shroud. The last public exposition of the Shroud of Turin was in 2000.
මෙම ශ්‍රී සළුවේ ඇති විශේෂත්වය වන්නේ එය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතීමට භාවිත කළ රෙදිකඩ වීමත්, එහි ක්‍රිස්තුස් වහන්සේගේ යැයි සැලකෙන(1) රූප සටහන් දෙකක් සටහන් වී තිබීමත් නිසා ය. මතෙව්, මාර්ක් හා ලූක් යන සුභාරංචි පොත් වල ජේසුස් වහන්සේව තැන්පත් කර තිබූ සොහොන් ගෙය හිස්ව තිබීම පිළිබඳව වාර්තා දැක්වූවත්, ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතා තිබූ රෙදිකඩ පමණක් සොහොන් ගෙය තුළ දක්නට ලැබීම සම්බන්ධයෙන් අපට හොඳම ලිඛිත වාර්තා හමුවන්නේ ජොහාන් තුමාගේ සුභාරංචියෙනි. 
"ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ගෝලයෙකු වූ අරිමාතියේ ජෝසප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලීය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.
       
මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකදේමුස් ද, කිලෝ ග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ." (ජොහාන් 19 : 38 - 42)
"සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් ‍කොට තිබෙන බව දුටුවා ය. එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, 'ඔවුන් ස්වාමින් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු' යි කීවා ය. එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමග නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත." (ජොහාන් 20 : 1 - 10)
සොහොන් ගෙය වෙත දිව ගිය පේදුරු තුමා හා අනික් ශ්‍රාවකයා ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය නො දැක, එය ඔතා තිබූ සළුව පමණක් එහි තිබෙනු දැක පුදුමයට පත් විය. එහෙත් ඔවුන් හිස් අතින් ආපසු ගියේ යැයි සිතිය නොහැක. අනිවාර්යයෙන් ම ඔවුන් අනික් ශ්‍රාවකයන්ට පෙන්වීම පිණිස එම සළුව රැගෙන යන්නට ඇත.(2) දැනට අනාවරණය කරගෙන නොමැති වුවත්, කිනම් හෝ ආකාරයකින් මෙම ශ්‍රී සළුව අපෝස්තුළුවරුන්ගේ කාලයේ පටන් ශුද්ධ වූ වස්තුවක් ලෙසින් ආරක්ෂා වී, පැවතුණි. මුල් කිතුනු සියවස් තුන පුරා තිබූ කතෝලික ධර්මය මුලිනුපුටා දැමීමේ කිතුනු සංහාරය පැවති කතෝලික සභාවේ මහා අඳුර පීඩන යුගයේ දී මෙම ‍සළුව සතුරන් අතට පත් වුවහොත් විනාශ කර දැමීමට ඉඩකඩ ඇති බැවින් එය කිසියම් ආරක්ෂිත ස්ථානයක සඟවා තබන්ට ඇත. එනිසා මුල්කාලීන කිතුනු ලේඛන වල ද මේ පිළිබඳව සඳහන් වී නැත.(3) අතීතයේ දී කිතුනු බැතිමතුන් කල්පනා කළේ, ශුද්ධ වූ වස්තුවක් යැයි ගෞරවාදරයට පත් හැම දෙයක් ම සත්‍යයක් බවය.එහෙත් නූතනයේ ඒවායේ සත්‍යතාවය විද්‍යාත්මකව පැහැදිළි කර සනාළු කළ යුතුය. ඊට නිසි ගෞරවය දිය හැක්කේ එවිටය. මෙම ශ්‍රී සළුව සත්‍ය එකක් නොව, කිසියම් පුද්ගලයෙකුගේ පසුකාලීන සිතුවමක් බවට ඇතැම් අය කරුණු ඉදිරිපත් කරති. ශ්‍රී සළුව ද නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කොට එහි නියම සත්‍යය ඉස්මතු කර ගැනීමට කතෝලික සභාව විද්‍යාඥයන්ට සම්පූර්ණ අවසරය දුන්නේ එනිසා ය. විද්‍යාඥයන්ගේ හා නිරීක්ෂකයන්ගේ පර්යේෂණ හා විමසුමට ලක් වූ මෙවන් ශුද්ධ වූ වස්තුවක් ලොව තවත් නොමැති තරම් ය.(4) 
මෙම ශ්‍රී සළුව අඩි 14 අඟල් 3 ක් දිග වන අතර, අඩි 3 අඟල් 7 ක් පළල ය. මෙයට ගෞරවාදරය හා භක්ත්‍යාදරය දැක්වීම ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 544 දී එදෙස්සා (නූතන තුර්කිය) ප්‍රදේශයේ තිබිය දී, එහි මිනිස් මුහුණක හැඩයක් ඇති රූපයක් දක්නට ලැබෙන බව ප්‍රථම වරට සොයා ගැනීමත් සමගය. (එවකට මෙම ශ්‍රී සළුව දිග හැර නොව, කිහිප අතකට නවා තිබී ඇත.) ක්‍රිස්තු වර්ෂ 944 දී පමණ කොන්ස්තන්තිනෝපලය (නූතන ඉස්තාන්බුල්) නගරයට ගෙනැවිත් එහි බ්ලැචර්නෙස් නම් දෙව්මැදුරක තැන්පත් කර තිබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1147 දී ප්‍රංශයේ 7 වන ලුවී රජු එය බැහැදැක ඊට වන්දනාමාන කළේ ය. එහෙත් ශුද්ධ වූ දේශය හෙවත් ඉශ්රායෙලය අන්තවාදී සෙල්ජුක් තුර්කිවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව පැවති කුරුස යුද්ධ නිසා කොන්ස්තන්තිනෝපලය අනාරක්ෂිත ප්‍රදේශයක් විය. එනිසා ක්‍රිස්තු වර්ෂ 1204 දී බෙසන්කොන් හි රදගුරුතුමා විසින් එය බයිසන්තියන් ආසන දෙව්මැදුරේ තැන්පත් කර තැබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1349 දක්වා ම සෑම වසරකම පාස්කු ඉරුදින වල දී මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 
ක්‍රිස්තු වර්ෂ 1349 දී එම ආසන දෙව්මැදුරේ හටගත් ගින්නකින් ශ්‍රී සළුව බේරා ගෙන එතැනින් ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යද්දී, කිසියම් පිරිසක් විසින් එය පැහැර‍ ගනු ලැබ, ප්‍රංශයේ පිලිප් රජු වෙත බාර දී ඇත. එම රජු ද ඔහුගේ මිතුරෙකු වූ චාර්නි හි කවුන්ට්වරයා හා ලීරි හි සාමිවරයා වූ ජෙෆ්රි වෙත බාර දී ඇත. මෙම සාමිවරයා සැබෑ ශ්‍රී සළුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස එහි ආකෘතියක් චිත්‍ර ශිල්පියෙකු ලවා සිතුවම් කර ඇත. බෙසන්කොන් හි රදගුරුතුමා ද එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ එය රහසිගතව සඟවා තබා තිබූ බැවිනි. මේ හේතුවෙන් රදගුරුතුමා ද සැබෑ ශ්‍රී සළුවේ අනුරුවක් සකස් කරවා බැතිමතුන්ට ප්‍රදර්ශනය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1353 දී ප්‍රංශයේ ලීර් හි සඟවා තිබිය දී සොයා ගත් ශ්‍රී සළුව ඒ වන විට තිබූ එහි අනුරූ සිතුවම් වලින් වෙන්කර සැබෑ සත්‍ය සළුව බවට හඳුනා ගත්තේ, ක්‍රිස්තු වර්ෂ 1375 දී මළ මිනිසෙකුගේ මෘත ශරීරය මත එය පෙරවීමෙන් සිදු වූ හාස්කම මගිනි. මේ සම්බන්ධයෙන් දොම් චමාර්ඩ් නමැත්තා මෙසේ වාර්තා කර ඇත.
"13 වන සියවසේ සිට ශ්‍රී සළුව බෙසන්කොන් හි සාන්ත එටයිනිගේ ආසන දෙව්මැදුරේ ආරක්ෂිතව තැන්පත් කර ඇති බව ඩොනොඩ් (එවකට සිටි කතුවරයෙකි) ඔහුගේ 'History of the Church of Besancon' නමැති කෘතියේ සඳහන් කර ඇත. එසේම ක්‍රිස්තු වර්ෂ 1349 මාර්තුවේ දී ශ්‍රී සළුව බහාලූ කරඬුව තැන්පත් කර තිබූ එකී දෙව්මැදුර ගින්නකින් විනාශ වීමත් සමගම එය අතුරුදහන් විය. එහෙත් වාසනාවකට මෙන්, වසර කිහිපයකට පසුව එම ශුද්ධ වූ ධාතුව නැවත සොයා ගැනුණු අතර, එය සාන්ත එටයිනි හි තිබූ නියම සළුව බවට හඳුනා ගත්තේ, මිය ගිය තැනැත්තෙකුගේ සිරුර මත එය වැතිරීමෙන් ඒ මිනිසා නැවත ප්‍රාණය ලැබීම මගිනි. මේ හාස්කම පිළිබඳව තොරතුරු බෙසන්කොන් හි ආසන දෙව්මැදුරේ ආරක්ෂිත ඓතිහාසික වාර්තා වල පමණක් නොව, ක්‍රිස්තු වර්ෂ 1375 දී තමන්ගේ දෙනෙත් වලින් එය දැක ඊට සාක්ෂි දරමින් බෙසන්කොන් හි දෙව්මැදුරේ ‍ශ්‍රේෂ්ඨ පියතුමා වූ රිචර්ඩ් ලා පී ලියූ අත්පිටපත් (Manuscripts) වල ද මේ බව සඳහන්ව ඇත."(5) 
 බෙල්ජියමේ බාර්නෙස් මාහිමිපාණන්ගේ වාර්තාවක දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 1516 දී සකස් කළ ශ්‍රී සළුවේ තවත් ආකෘතියක් බෙල්ජියමේ සාන්ත ගොමායිර් දෙව්මැදුරේ තිබී හමුවී ඇත. එහෙත් එහි ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා චොම්බරි නම් දේවස්ථානයේ රිදී කරඬුවක් තුළ තැන්පත් කර තිබිය දී හසු වූ ගින්නේ දී රිදී උණු වී සළුව මත වැටීමෙන් වූ පිළිස්සීම් ස්ථාන දක්නට නැත. එයින් විද්වතුන් පසක් කර ගත්තේ, එය ක්‍රිස්තු වර්ෂ 1204 සිට බෙසන්කොන් හි තැන්පත් කර තිබූ ශ්‍රී සළුව නොවන බවය.
සියක් අවුරුදු යුධ සමයේ ලීර් හි ජෙෆ්රි නම් සාමිවරයා‍ගේ මිණිපිරියක වූ මාගරට් නැමැත්තිය කතෝලික සභාවේ අවසරය ඇතිව ශ්‍රී සළුව ලබාගෙන ලීර් රදගුරු පදවියෙන් පිටත තම ස්වාමි පුරුෂයාගේ ආරක්ෂාව යටතේ, රාජ මන්දිරයක තැන්පත් කර තැබුවා ය. ක්‍රිස්තු වර්ෂ 1452 දී ලීර් හි රදගුරුතුමා එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර, සැවෝයි හි ආදිපාද පළමුවන ලුවීගේ භාර්යාව වූ ඇනා නමැති තම ඥාතිවරියට එය ලබා දී තිබූ නිසයි. ක්‍රිස්තු වර්ෂ 1454 දී සතරවන සික්ස්ටස් පාප්තුමා පළමුවන ලුවී ආදිපාදවරයා හට චොම්බරි හි දේවස්ථානයේ ශ්‍රී සළුව තැන්පත් කිරීම පිණිස ශුද්ධස්ථානයක් (Sanctuary) ඉදි කිරීමට අවසර දුන්නේ ය.   
ක්‍රිස්තු වර්ෂ 1503 මහ සිකුරාදා දින ශ්‍රී සළුව චොම්බරි නුවරට අසල්වාසී වූ බොර්ග්-එන්-බ්‍රෙස්සේ නුවරට ගෙන ආවේ ඔස්ට්‍රියාවේ පිලිප් නමැති අග්‍ර ආදිපාදවරයාගේ අවමංගල්‍යය නිමිති කොට ගෙනය. එහිදී එය මහජන වන්දනාමානය පිණිස ප්‍රදර්ශනය කෙරුණි. මෙහිදී විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විණ. එනම්, මෙම ශ්‍රී සළුව ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සැබෑ සළුව ද නැතිනම් සිතුවම් කළ අනුරුවක් ද යන්න සොයා බැලීමය. පළමුව ඔවුන් මෙම සළුව උණු කළ තදින් රත් වූ තෙල් වල දමා, පසුව උණු කළ ජලයේ බහා හොඳින් තම්බා, කිහිප වතාවක් සිසිල් ජලයෙන් සේදීම කළහ. මෙවැනි පරීක්ෂණයකින් සිතුවමක් නම් එය සේදී යාම හෝ දුර්වර්ණවීම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. පසුව ක්‍රිස්තු වර්ෂ 1506 දී දෙවන ජූලියස් පාප්තුමා නිකුත් කළ "Romanus Pontifex" නම් විශ්ව ලේඛනය මගින් මෙම ශ්‍රී සළුවට වන්දනාමාන කිරීම සඳහා ජනවන්දනා පිළිවෙතක් සැකසීමට කටයුතු යෙදීය. 
(මීට ඉහත ක්‍රිස්තු වර්ෂ 313 දී පළමුවන සිල්වෙස්ටර් පාප්තුමා දිව්‍ය පූජාව සිදු කරන පූජාසනය හෝ අල්තාරය මත මෙම ශ්‍රී සළුව සිහිපත් කර ගෞරව කිරීම සඳහා දිගු හණ රෙද්දක් දැමීමට නියම කර ඇත. නූතන දිව්‍ය පූජාව පවත්වන පූජාසනය මත සුදු අල්තාර රෙද්දක් දැමීම ආරම්භ වූයේ එසේය. එසේම පූජාප්‍රසාදීතුමා දිව්‍ය පූජාවේ දී පළඳින "කොර්පොරල් " (Corporal) හෙවත් "ශුද්ධ වූ ශරීර වස්ත්‍රය" මගින් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව නිරූපණය කරයි.) 
රටේ දේශපාලන කැළඹීම් පැවති සමයේ මෙම ශ්‍රී සළුව ප්‍රංශයේ ස්ථාන කිහිපයකට මාරු කර යවමින් ආරක්ෂා කිරීමට පියවර ගැනුණි. පසුව මෙය නැවත චොම්බරි දේවස්ථානයට ගෙන ඒමට කටයුතු යෙදිණි. ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා රාත්‍රියේ දී එම දේවස්ථානයේ ඇති වූ මහා ගින්නකට හසුවූ, රිදී කරඬුවක බහා තිබූ ශ්‍රී සළුව බේරා ගත්තේ වහා එහි පැමිණි ප්‍රැන්සිස්කාන පූජකවරුන් දෙදෙනෙකු, එම නුවර ආදිපාදවරයාගේ ප්‍රධාන මෙහෙකරු හා කම්මල්කරුවෙකු විසින් යකඩ ඉබි දොරගුළු කඩා ජලය වත් කිරීමෙනි. දොළොස් අතකට නවා තිබූ මෙම ශ්‍රී සළුව මතට ගින්නේ රශ්මිය නිසා උණු වී දියවී තිබූ රිදී වැගිරීමෙන් සැලකිය යුතු ප්‍රමාණයේ සිදුරු 16 ක්, කුඩා ප්‍රමාණයේ සිදුරු 12 ක් ද ඇති වී තිබූ නමුත්, වාසනාවකට එහි තිබෙන ජේසුස් වහන්සේගේ රූපයට කිසිඳු හානියක් සිදු නොවී තිබිණ. පසුව ක්‍රිස්තු වර්ෂ 1534 අප්‍රේල් 15 සිට මැයි 2 දින දක්වා කාලය තුළ චොම්බරි හි දිළිඳු ක්ලාරා තාපසිකාවන් (Sisters of Poor Clare) එම සිදුරු හැකි පමණින් අලුත්වැඩියා කර ඇත. එහෙත් ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසුය. මන්ද එවකට පැවති තාක්ෂණය එවැනි කාර්යයක් සාර්ථක ලෙස කිරීමට ප්‍රමාණවත් නොවීම ය. එපමණක් නොව ඒවා අළුත්වැඩියා කරන්නට යාමේ දී එයට කිසියම් හානියක් ද විය හැකි අවස්ථා ද තිබේ. නූතනයේ නවීන තාක්ෂණය යොදා ගෙන එයට පිළියම් යොදන්නට යාමෙන් එය මිනිස් අතින් නිර්මාණය වූවක් බවට හේතු පාඨ දක්වන්නන්ට එය රුකුලක් වීමට ඉඩ ඇත.    
ශ්‍රී සළුවට වූ භාරයකින් ඉතාලියේ පැතිරී ගිය භයානක වසංගත රෝගයක් නවතාලීමට හැකි වූ නිසා ක්‍රිස්තු වර්ෂ 1578 දී එය ටියුරින් නුවරට ගෙන එන ලදුව, සාන්ත චාර්ල්ස් බොරෝමියෝ මුනිතුමාගේ වන්දනාමානයට ලක් විය. එසේම එය ක්‍රිස්තු වර්ෂ 1613 දී සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමා හා ක්‍රිස්තු වර්ෂ 1639 දී සාන්ත ජේන් ප්‍රැන්සෙස් ද චන්ටල් මුනිවරියගේ වන්දනාමානයට ද පාත්‍ර වී ඇත. පසුව ටියුරින් නුවර විශේෂ දෙව්මැදුරක් ඉදි කොට ක්‍රිස්තු වර්ෂ 1694 ජුනි 1 වෙනිදා සිට ශ්‍රී සළුව එහි තැන්පත් කර තැබුණි. එතැන් පටන් ක්‍රිස්තු වර්ෂ 1800 වනතුරු සෑම වසරක ම ශුද්ධ වූ කුරුසිය සොයා ගැනීමේ මංගල්‍ය දින දී මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කර ඇත. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1800 - 1900 දක්වා සියවස තුළ එය ප්‍රදර්ශනය කර ඇත්තේ 6 වතාවක් පමණි.(6)  
ශ්‍රී සළුව පිළිබඳව බොහෝ දෙනාගේ විශේෂයෙන් විද්‍යාඥයන්ගේ අවධානය හා කතාබහට ලක්වීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 1898 මැයි 25 - 28 දක්වා කාලය තුළ කළ මහජන ප්‍රදර්ශනයේ දී, සෙකුන්ඩෝ පියා නමැති නීතිඥයා විසින් කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් අනතුරුවය. මෙම කළු-සුදු ඡයාරූපයේ වූ විශේෂත්වය වූයේ, නෙගටිව් (Negative) රූපයක් වෙනුවට සජීවි පොසිටිව් (Positive) ඡයාරූපයක් ඔහුගේ දළ සේයා පටයේ සටහන්වීම ය. මේ පිළිබඳව අදහස් දැක්වූ විද්වතුන් කියා සිටියේ, ශ්‍රී සළුව මත ඇඳී ඇති නෙගටිව් රූපය නිසා, ඡයාරූපය පොසිටිව් වූ බවත්, එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් රූපය කිසියම් බලගතු ආලෝක ධාරාවක් මගින් සළුවට කා වැදී ඇති බවත් ය.(7) එසේම එම ශ්‍රී සළුවේ රූප දෙකක් එනම්,
  • රුධිර පැල්ලම් මගින් ඇති වූ රූප සටහන හා
  • පියවි ඇසට නිසි ලෙස නොපෙනෙන නෙගටිව් රූප සටහන
වශයෙන් මෙම කළු-සුදු ඡයාරූපය නිසා සොයා ගැනීමට හැකි විය. 
මෙම ශ්‍රී සළුවේ දැක්වෙන නෙගටිව් රූපය ඒ මත සටහන් වූයේ කෙසේ දැයි සොයා බැලීමට විද්‍යාඥයන්ට කතෝලික සභ ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසර ලැබුණි. එම නෙගටිව් රූපය, ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරයේ ආලේප කළ ගන්ධරස හා අගිල් මිශ්‍රණයෙන් (ජොහාන් 19 : 39 - 40) ඇති වූවක් නොවන බවත්,(8) චිත්‍ර ශිල්පියෙකුට පියවි ඇසට දැකීමට අපහසු නෙගටිව් රූපයක් එවකට පැවති තාක්ෂණය තත්ත්වය මගින් නිර්මාණය කිරීමට අපහසු බවත් ප්‍රකාශ විය. ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1931 - 33 දක්වා කාලය තුළ දෙවතාවක් පමණක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ක්‍රිස්තු වර්ෂ 1931 දී හෙන්රි ජුසෙප්පේ නමැත්තා විසින් එහි වර්ණ ඡායාරූපයක් ගන්නා ලදි. මෙම වර්ණ ඡායාරූපයේ ද පෙර සඳහන් කළ ආකාරයට නෙගටිව් හා පොසිටිව් වශයෙන් රූප සටහන් දෙක දක්නට ලැබුණි. 11 වන පියුස් පාප්තුමාගේ අවසරය ඇතිව ක්‍රිස්තු වර්ෂ 1933 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 15 දින දක්වා පැවැත් වූ ප්‍රදර්ශනයේ දී එය ඡයාරූපගත කිරීමටත්, ඒ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමටත් අවස්ථා සළසා දී ඇත. නැවත වතාවක් ක්‍රිස්තු වර්ෂ 1969 ජුනි 16 - 18 දක්වා කාලය තුළ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන, අපක්ෂපාතී කිසිඳු ආගමක් නො අදහන කොමිසමකට බාර දුණි. මෙහිදී මහාචාර්ය ජී. බී. ජුඩිකා කෝර්දිග්ලියෝ විසින් විසින් නැවත වර්ණ ඡායාරූපගත කර පර්යේෂණ වලට භාජනය කෙරුණි. එකල එම කණ්ඩායමේ ඇතැම් විද්වතුන්ගේ අදහස වූයේ, එම නෙගටිව් රූපය වාෂ්පීකරණයක් නිසා ඇති වූවක් බවය. එහෙත් මහාචාර්ය ජුඩිකාගේ මතය වූයේ, එය ඔක්සිඩයිකරණයක් (Oxidization) මගින් සිදුව ඇති බවය.(9) 
ක්‍රිස්තු වර්ෂ 1978 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පාප් පදවියට පත් වූ විගස ශ්‍රී සළුව වන්දනාමාන කිරීමට ගිය අතර, එය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමට විද්‍යාඥයන් එතුමාගෙන් අවසර පැතූහ. ක්‍රිස්තු වර්ෂ 1978 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 8 වෙනිදා දක්වා කාලය තුළ ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ මෙම ශ්‍රී සළුව පිළිබඳ වාර්තා වැඩසටහනක් ප්‍රථමවරට රූපවාහිනිය මගින් විකාශනය කෙරුණි. මෙය ඡයාරූපගත කිරීමටත්, විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමටත් අවසර දුණි. ඒ අනුව අන්තර්ජාතික විද්‍යාඥයන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පැය 120 ක් පුරා මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කර ඇත. තවද, බොහෝ කලක පටන් මෙම ශ්‍රී සළුව ආදිපාදවරුන්ගේ භාරකාරත්වය යටතේ පවතුණි. ක්‍රිස්තු වර්ෂ 1983 දී එහි භාරකාරත්වය දැරූ අවසන් ආදිපාදවරයා වූ උම්බේර්ටෝර් ගේ අවසන් කැමැත්ත පරිදි ශ්‍රී සළුව කතෝලික සභාවට අයත් ශුද්ධ වූ වස්තුවක් බවට පත් විය.
ක්‍රිස්තු වර්ෂ 1988 දී මෙම ශ්‍රී සළුව කාබන් C14 පරීක්ෂණයට භාජනය කෙරුණ අතර, එය ක්‍රිස්තු වර්ෂ 13 - 14 සියවස් වලට අයත් යැයි මතයක් පළ විය. මේ සම්බන්ධයෙන් වෙනත් විද්‍යාඥයන්ගේ මතය වූයේ, එම කාබන් පරීක්ෂණය එවකට නිවැරදි ලෙස කර නැති බැවින් එහි ප්‍රතිඵල වැරදි සහගත බවය. ක්‍රිස්තු වර්ෂ 1992 සැප්තැම්බර් 7 දින නවීන තාක්ෂණය යොදා ගෙන නැවත පරීක්ෂාවට ලක් කෙරුණු ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1997 අප්‍රේල් 11 දින නැවත මහා ගින්නකට භාජනය විය. එය තැන්පත් කර තිබූ දේවස්ථානය ගින්නෙන් විනාශ වුවත්, මරියෝ ට්‍රිමටෝරේ ඇතුලු ආරක්ෂක භට කණ්ඩායමක් විසින් ශ්‍රී සළුව නිරුපද්‍රිතව බේරා ගනු ලැබීය. 
                                                                                          (ශ්‍රී සළුව තැන්පත් කර ඇති ටියුරින් හි දෙව්මැදුර)
ක්‍රිස්තු වර්ෂ 1898 දී කළ කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් එහි සටහන්ව ඇති නෙගටිව් රූපය හඳුනාගෙන වසර සියයක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1998 අප්‍රේල් 16 සිට ජුනි 4 දක්වා නැවත ප්‍රසිද්ධ වන්දනාව හා මහජන ප්‍රදර්ශනයට තැබුණි. එහිදී ද එය නැවත ඡයාරූපගත කිරීමට හා විද්‍යඥයන්ගේ පරීක්ෂාවට ලක් විය.  දෙවන ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභාවේ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම නිමිති කොටගෙන ක්‍රිස්තු වර්ෂ 2000 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 22 දක්වා මෙම ශ්‍රී සළුව ප්‍රදර්ශනය කෙරුණු අතර, නැවත මෙය ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2025 දී බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා පසුව මෙය ක්‍රිස්තු වර්ෂ 2010 අප්‍රේල් 10 සිට මැයි 23 දක්වා දිනවල එය ඉතාලියේ ටියුරින් හි ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ යුතු යැයි තීරණය කළේ ය.  ඒ අනුව මේ දිනවල මෙය නැඹීම සඳහා විනාඩියකට බැතිමතුන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පමණ පැමිණෙන බව වාර්තා වේ.

(http://www.shroud.in/)ජේසුස් වහන්සේගේ මෙම ශ්‍රී සළුව සම්බන්ධයෙන් විවිධ මතවාද තිබේ. බොහෝ විද්‍යාඥයන් මෙය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සළුව බව විද්‍යාත්මකව සනාථ කර පෙන්වන අතර, තවත් සුළු පිරිසක් එය මිනිස් නිර්මාණයක් බවට තර්ක කරති. දැනට මෙම ශ්‍රී සළුවේ පහත ලක්ෂණ හඳුනාගෙන ඇත.                                               
  • ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන ආකාරයට දකුණු හස්තයේ අංශක 45 ක ඇද ස්වභාවයක් හා වම් හස්තයට වඩා කෙටි ස්වභාවයක් දක්නට ලැබේ. මේ සම්න්ධයෙන් විද්‍යාඥ මතය වන්නේ කුරුසියේ ඇණ ගැසීමේ දී ජේසුස් වහන්සේගේ දකුණු හස්තය ඇදීමකට ලක්ව ඇති බවය. 
  • හස්ත වල ඇණ සළකුණු දැක්වෙන්නේ මැණික් කටුව ප්‍රදේශයේ ය. නෙගටිව් රූපයෙන් හඳුනා ගන්නා තුරු ම ලෝක සම්මත පිළිගැනීම වූයේ ඇණ ගැසුවේ අත්ල මැදින් බවය.
  • නෙගටිව් රූපයට අනුව, අත් දෙකෙහි ම මහපට ඇඟිලි දෙක පෙනෙන්නට නැත. එයට හේතුව මැණික් කටුව අසලින් ඇණ ගැසීමේ දී මහපට ඇඟිල්ලට යන නහරය හසුවී එම ඇඟිලි දෙක අප්‍රාණිකව අල්ල තුළට නැමී දරඳඬු වී යාම ය.
  • වම් කකුල දකුණු කකුළට වඩා කෙටි ස්වභාවයක් පෙන්වයි. එයට හේතුව දකුණු කකුල මත වම් කකුල තබා ඇණ ගැසීමත්, එම කකුල දණ හිසෙන් නැමී දරඳඬු වී තිබීමත් ය.
  • මුහුණේ විශේෂ තුවාල ලකුණු පෙන්නුම් කරයි. මේවා කම්මුල් පහර, සීරීම් හා වැටීම් වලින් වූ ලකුණු වෙති.
  • ශ්‍රී සළුවේ පෙන්වන රූප සටහන් දෙකෙන් නෙගටිව් රූපය අනුව ජේසුස් වහන්සේගේ උස අඩි 6 ක පමණ පෙන්වන නමුත් සජීවී පොසිටිව් රූපය අනුව උස අඩි 5 අඟල් 11 ක් පමණ වේ. එයට හේතු වී ඇත්තේ කුරුසියේ එල්ලී සිටිය දී පිට කොන්ද මදක් නැමී තිබීමත්, ගල්ලෙනෙහි තැන්පත් කරන විට ද ශරීරය ඒ ආකාරයෙන් ම දරඳඬු වී තිබීමත් ය.
  • ශ්‍රී සළුවේ පැහැදිළි පොසිටිව් රූපයේ මිනිස් රුධිර සලකුණු තිබේ. ඒවා ඇණ සලකුණු, කටු ඔටුන්නේ සලකුණු, කස පහර වලින් ඇති වූ තුවාල හා හෙල්ලයෙන් සිදුරු වූ ඇලයෙහි තුවාලයෙන් ගැලූ රුධීරය වේ. එම රුධීරය AB පොසිටිව් වර්ගයේ රුධිරය බව ද හඳුනා ගෙන ඇත.(10)
  •  ශ්‍රී සළුවෙහි දැක්වෙන රූප දෙකෙන් නෙගටිව් රූපය පියවි ඇසින් දැකීමට අපහසුය.
(මෙම සළුවේ ඡායාරූප නිරීක්ෂණය සඳහා පහත වෙබ් අඩවිය මත "ක්ලික් " කරන්න.) http://www.shroud.com/examine.htm 
මෙම සාධක පරීක්ෂා කිරීමෙන් බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය ලිනන් රෙද්දක කළ සිතුවමක් නොවන බවය. මෙය සිතුවමක් වේ නම් එය කළ චිත්‍ර ශිල්පියා ඉහතින් දැක්වූ රෙදිකඩෙහි වන විශේෂ ලක්ෂණ ගැන නොදැන එය කිසිඳු ඇද කුදයක් නැතිව නිර්මාණය කරනු ඇත. එසේම එය සිතුවමක් වේ නම්, මෙය ගින්නට භාජනයවීම, ජලයෙන් සේදීම හා බොහෝ ඉපැරණිබව නිසා දුර්වර්ණවීම, වර්ණ සේදීයාම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. අතීතයේ තිබූ ස්වභාවයෙන් ම තවමත් එය දිස්වේ. කෙසේ වුව ද, මේ පිළිබඳව වමත් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් බී. බී. සී. ආයතනයේ මාධ්‍යවේදිනියක් පැවසූවේ එය විසඳීමට අපහසු අභිරහසක් බවය.
(දෙවන ලිපිය මතුවට.....)                 



------------ වැඩි දුර අධ්‍යයන සටහන් -----------
(1) දැනට මේ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධ මතවාද ඇත. එහෙත් දැනට කර ඇති බොහෝ නවීන විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් සාධක හා සාක්ෂි වලට අනුව, එය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එතූ රෙදි කඩ බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම ය. 
(2) දොම් නිරංජන් විජේරත්න, සා.බෙ.නි., "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන පියවරුන්ගේ ප්‍රකාශන, අම්පිටිය, 2001, පිටු 1 හා 2 මෙතැන් සිට "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් " යනුවෙන් යෙදේ.
(3) Rev. Patrick O'Connell, B.D. & Rev. Charles Carty, "The Holy Shroud and Four Visions", Tan Books and Publishers, Inc., Rockford, Illinois, U.S.A., 1974, page 5. Hereafter The Holy Shroud and Four Visions.
(4) ගරු හර්බට් ටයිටස් රුද්‍රිගෝ, සා.බෙ.නි., "උත්ථානයට සාක්ෂි දෙන අසිරිමත් රෙදි කඩ ", ඥානාර්ථ ප්‍රදීපය, 
(5) The Holy Shroud and Four Visions, page 8. 
(6) The Holy Shroud and Four Visions, page 10
(7) අසිරිමත් සිරි සළුවෙන් බිඳක්, පිටුව 9
(8) The Holy Shroud and Four Visions, pages 11 - 12
(9) The Holy Shroud and Four Visions, page 13 
(10) Analysis of Blood Stains
The blood on the Sudarium has been identified as human, and as type AB. There is very little blood actually remaining on the shroud. It is degraded, and most of it has been replaced by bacteria and fungi. However, Dr Baima Ballone has analysed samples taken from the cloth with adhesive tape, and reported that the blood on the shroud is also type AB. Interestingly, type AB is quite rare in Europe and most of the world, at of the 3.2% of population. However it is quite common (18%) among Jews from Northern Palestine. If these stains are Jesus' blood, does that indicate that Jesus had a biological father? Well, not if you believe in the miracle of the virgin birth as presented in the Gospels. Apart from the Y sex chromosome, all of Jesus' genetic material would have come from his mother Mary. The gene for blood type is not on the Y chromosome, and therefore came from Mary, who also would have blood type AB.
For those who doubt that blood residue this old could yield the information above, consider the evidence of Dr. Gaza-Valdes of the University of Texas. In 1995 he released the results of a DNA analysis of shroud blood samples in his book "The DNA of God?" (read Further details). The PCR laboratory at his university tested for and identified three key genes. The betaglobin gene on chromosome 11 yielded a sequence of 268 base pairs. The first 80 of these are:
AGCCAAGGAC AGGT-CCAAT GTCATCACTT TCCTAAGCCA GTGCCA AGACCTCACC CTGTGGAGCC ACACCCTAGG GTTGGCCAAT CTACTCCCAG
Apart from the short underlined string above, all 268 base pairs matched the control (HUMHBB221) used for testing for this gene. Of course, there are always small differences when comparing DNA of different individuals. That is the whole basis of DNA identification. It would be interesting, wouldn't it, if further testing identified sequences unique to, or prevelant among, Jewish populations?
උපුටා ගැනීම The Shroud of Turin: Ultimate Physical Evidence of Jesus?
By Alan Marshall B.Sc.  –  20 October 2003
 
 

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith