Recent Posts

ආදරවන්තයන් සමරන “වැලන්ටයින් දිනය”

හැඳින්වීම
පෙබරවාරි 14 වෙනිදා ලෝකයේ තරුණ වැඩිහිටි සැමට අමතක නොවන දිනයකි. මන්ද එදින වැලන්ටයින් දිනයඋත්සවාකාරයෙන් සමරන බැවිනි. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය ‍තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බෙහෝ දෙනෙකු මෙහි අර්ථය පවා නොදනිති. ඇතමුන්ට තම අශීලාචාරවත් සිතැඟි තෘප්තිමත් කර ගැනීමේ දවසකි.  ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර වැලන්ටයින් දිනය පැවැත්වීමේ රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියේ 1998 න් පසුවය. මෑතක බිහි වූ ඇතැම් මාධ්‍ය ආයතන මෙම දිනය පැවැත්වීම සඳහා විවිධ තරග හා කුසපත් ඇදීම් යනාදිය මගින් තරුණ තරුණියන්ට නොයෙක් අයුතු අවස්ථා ලබා දෙමින් විනෝද චාරිකා සංවිධානය කර ඊට මහත් ප්‍රසිද්ධියක් හා පෙළඹවීමක් ඇති කළහ.  එනිසා බෙහෝ අය මෙම දිනය දෙස බැලුවේ අශීලාචාරවත් පුද්ගලයන්ගේ දිනයක් ලෙසිනි. එබැවින් ඇතමුන් ඊට “වලත්යන්ගේ දිනය” යනුවෙන් අපහාසාත්මක නාමයක් පටබැන්දහ. එහෙත් මෙදින කතෝලික සභා කැලැන්ඩරයේ ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන් තෙනමක් ගෞරවාදරයෙන් සිහිපත් කරන දිනයක් බව දන්නෝ ස්වල්ප දෙනෙකි. ඉන් පළමුවැන්නා ක්‍රිස්තු වර්ෂ 269 දී පමණ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ නියමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වූ රෝමානු පූජක වැලන්ටයින්තුමා ය. දෙවැන්නා එම සියවසේ දීම පණ පිදූ ටර්නි හි රදගුරුතුමෙක් වූ වැලන්ටයින්තුමා ය. තෙවැන්නා අප්‍රිකාවේ ජීවත් වූයේ සැලකෙන එතුමාගේ බැතිමතුන් පිරිසක් සමග බොහෝ දුක් විඳ දිවි පිදූ එහෙත් වැඩි තොරතුරු නොදන්නා වැලන්ටයින්තුමා ය.  
  
සාන්ත වැලන්ටයින් පූජකතුමාගේ ජීවන තොරතුරු
සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ ජීවත් වූ රෝමයේ කතෝලික දෙව්මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වූයේ ය. එහෙත් මෙකල රෝම අධිරාජ්‍ය පුරා මිථ්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිර ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොට තිබුණි. කිතු දහම ඇදහීම සිරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපල රාජසන්තක කිරීම හා වධ බන්ධන වලට ලක් කර මරණයට පත් කිරීම යන දඬුවම් වලට හේතු සාධකයක් විය. එබැවින් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටි ධර්මදූතයන්ව අත් අඩංගුවට ගැණිනි.  ධර්මප්‍රචාරය නතර කිරීමට ද කිතු දහම අත්හැර දමා මිථ්‍යා දෘෂ්ථික දේව වන්දනාවන්ට යොමු වීමට ද බලපෑම් එල්ල විය.
කෲර පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසී රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැලී සිටියේ ය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් හමුදාවට එකතු වීමෙන් වැළකී සිටියහ. රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස්, තම යුධ හමුදාවට බැඳීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අත්හැර ඒමට තිබෙන අකමැත්ත බව තේරුම් ගත්තේ ය. එනිසා එවකට රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැඳිය යුතු බවත්, විවාහය ඔවුනට තහනම් බවත් ආඥාවකින් නියම කළේ ය. ඊට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකු නොවී ය. මෙම ආඥාවේ දුෂ්ඨකම අවබෝධ කර ගත් සාන්ත වැලන්ටයින්තුමා යුධ හුමදාවට බැඳී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවීය.  මේ සඳහා දෙව්මැදුරු භාවිත කිරීමට, නෑ හිතවතුන්ට සහභාගි වීමට හෝ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් නොවීය. පොළොව යට තනා තිබූ කිතුනු ජනවන්දනා රැස්වීම් පැවැත්වූ බිම් ගෙවල් හා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ මෘත ශරීර මිහිදන් කර තිබූ උමං සොහොන් ගෙවල් කිතුනු විවාහ මංගල චාරිත්‍ර පැවැත්වීමට යොදා ගැණිනි. මෙම කරුණ සැමදා රහසක්ව තබා ගැනීමට නොහැකි විය. යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් වුව ද ගැබිනි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වූ ක්ලෝඩියස් රජු චරපුරුෂයන් මගින් මේ පිළිබඳව සොයා බැලීය. මේ අනුව දිනක් උමං සොහොනක විවාහයක් සිදු කරමින් සිටිය දී වැලන්ටයින්තුමාව අත්අඩංගුවට පත් විය. දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට ලක් වූ එතුමාව දම්වැල් ලා සිර ගෙයක තැබිණි. මේ ගැන ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ. මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට වැලන්ටයින්තුමා සමත් විය. ඔහුගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටිය දීම විවාහ කරවීමට එතුමා සමත් විය. එබැවින් එම මුළාදෑනියා හා සෙබළාගේ සහයෙන් මෙම කාර්යය තව දුරටත් කිරීමට එතුමාට හැකි විය. සිරගෙදර ප්‍රධානි‍යාගේ දියණිය ‍මෙම කාර්යයෙහි ප්‍රධාන මැදහත්කාරිය වූවා ය. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින්තුමාගේ දුක සැප සොයා බැලීය. එහෙත් මෙය තව දුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැත. ක්ලෝඩියස් අගරජුගේ චරපුරුෂයන් මේ බව දැනගෙන ඔහුට දැන්වීය. මේ ගැන මහත් සේ උරණ වූ රජු ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විනෝද උත්සවයක් වූ ලුපර්කාලියා[1] [Lupercalia] පවත්වන දින ගෙළ සිඳ මරා දැමීමට නියම විය. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක [2] සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේ ය. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ, ඔබගේ වැලන්ටයින් ගෙනි["From Your Valentine"] යනුවෙනි. වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වූයේ මෙනිසා යැයි පිළිගැනීමක් ඇත.  එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල ‍වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම සඳහා ය. එබැවින් ක්‍රිස්තු වර්ෂ 496 දී ග්ලාසියුස් පාප්තුමා [Pope Gelasius] වලැන්ටයින්තුමාව සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍ය දිනය ලෙස නම් කළේ ය.


ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා සම්බන්ධ ජනප්‍රවාද
ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා එම නුවර රදගුරුවරයෙකු ලෙස සේවය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ දී පමණය. එතුමා සම්බන්ධ පැහැදිළි ජීවන තොරතුරු සපයා ගැනීමට නොමැත. එහෙත් එතුමා සම්බන්ධ ජනප්‍රවාදයක් තිබේ. එනම්, සෙරපියා නමැති කිතුනු තරුණියක් අකිතුනු රෝමානු හමුදා සෙබළෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තා ය. දිනක් මෙම තරුණිය භයානක බෝවන රෝගයකට ගොදුරු වී මරණාසන්න වූවා ය. රෝගී තරුණියව සමාජයෙන් වෙන් කර බිම් ගෙයක තැබුවා ය. මෙම අකිතුනු සෙබළා වැලන්ටයින් රදගුරුතුමා හමුවී තම පෙම්වතියගෙන් තමන්ව කිසිදා වෙන් නොකරන ලෙසට ආයාචනය කර ඇත. එම නිසා ඇයට සාත්තු කිරීමටත්, ඇය අසළ නිරතුරු රැඳී සිටීමටත් අවසර ලැබුණි. පසුව තරුණ සෙබළාට ද එම රෝගයට ගොදුරු වීමට සිදු විය.  දෙදෙනාව විවාහ කරවීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින් මරණයට පත් වූ බව කියවේ.   

වැලන්ටයින් දින විවිධ විශ්වාසයන්
අතීතයේ දී රෝමයේ සිටි මිථ්‍යා දෘෂ්ඨික ජනයා ජූනෝ නමැති රෝම දෙවඟනට පැවැත්වූ පුද පූජා උත්සවය අනාගත සහකරු / සහකාරිය සොයා ගැනීමේ හා තම ප්‍රේමය ඔවුනොවුන් වෙත ප්‍රකාශ කිරීමේ දිනයක් විය. “ලුපර්කාලියා” නම් වූ මෙම උත්සවයට එවකට සිටි කිතුනුවන් ද පුරුද්දකට මෙන් සහභාගි වූහ. එය පළමු දේව පණතට විරුද්ධ වූවක් බැවින් කතෝලික සභාව විසින් එයට සහභාගිවීම තහනම් කරන ලදි. එහෙත් එයින් ප්‍රතිඵලයක් නොවූයෙන් එම උත්සවය වෙනුවට සාන්ත වැලන්ටයින් දිනය හඳුන්වා දුණි. එදින දෙව්මැදුරු වලට රැස්වන කිතුනු බැතිමතුන් කිතුනු ලීලාවෙන් එය සැමරීමට යොමු විය.
අතීතයේ පටන් තම පෙම්වතා හෝ පෙම්වතියව ස්වකීය වැලන්ටයින්යන නමින් හඳුන්වා ඇත. අතීතයේ එංගලන්තයේ වේල්ස් හි කිතුනු ජනයා ලීයෙන් සකස් කළ හෘදයක හැඩතළ කැපූ හැඳි තම සිත් ගත් අය අතර හුවමාරුවක් කර ඇත. එහි අදහස වී ඇත්තේඔබ මගේ හදවතේ දොරගුළු විවර කරන්නයනු යි. මධ්‍යතන යුගයේ දී තම ඇඳුම් වල හදවතක රූපයක් සිතුවම් කර සතියක් පුරා ඇඳ පැළඳ සිටීම මගින් තමන්ගේ වැලන්ටයින්වන්නේ කවරෙක් දැ යි විමසිල්ලෙන් සිටීමේ සිරිතක් පැවතී ඇත. එමගින් තම සිතැඟි අන් අයට ප්‍රකාශ කර ඇත.
යුරෝපයේ ඇතැම් රටවල තරුණයන් තම සිත් ගත් තරුණියන්ට වැලන්ටයින් දිනයේ දී ත්‍යගයක් වශයෙන් ඇඳුමක් දී ඇත. එය ඊළඟ වසරේ පෙබරවාරි 14 තෙක් සුරක්ෂිතව තබා ගන්නා තැනැත්තිය තමන් හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නියක් ලෙසින් සළකා ඇත.
එසේම තරුණියන් තුළ මෙම දිනය සම්බන්ධ මිථ්‍යා විශ්වාස ද තිබී ඇත. වැලන්ටයින් දින දී කිසියම් තරුණියකගේ හිස උඩින් “රොබින්” කුරුල්ලෙකු පියඹා ගියේ නම් ඇයට නාවිකයෙකු සමග විවාහ වීමට සිදුවන බවත්,  ගේ කුරුල්ලෙකු පියඹා ගියහොත් දිළිඳු මිනිසෙකු හා විවාහ වී එහෙත් සතුටින් දිවි ගෙවිය හැකි බවත්, “ගෝල්ඩ් ෆින්ච්” වර්ගයේ කුරුල්ලෙකු නම් ධනවතෙකු සමග විවාහ වන බවත් විශ්වාස කර ඇත.
වැලන්ටයින් දින උත්සව වල දී ඉංග්‍රීසි ඒස් [S] අකුරේ හැඩයට තැනූ ආදර අසුන{Love Seat} මත අසුන් ගන්නා තරුණ තරුණියන් පසුකලෙක විවාහ ගිවිස ගන්නා බවට මතයක් යුරෝපය තුළ විය.
තවද, වැලන්ටයින් දින ඇපල් ගෙඩියක් ගෙන එහි නටුව අඹරා එය දිග හැරී ඇපල් ගෙඩිය බිම පතිත වනතුරු තමන් විවාහ වීමට කැමති සිත් ගත් තරුණ / තරුණියන් හය දෙනෙකුගේ නම් කියති. ඇපල් ගෙඩිය නටුවෙන් ගිළිහෙන විට තමන් තම උච්චාරණය කරමින් සිටි තරුණියව / තරුණයාව තමන්ට විවාහ කර ගැනීමට හැකි බවත් විශ්වාස කර ඇත.
වැලන්ටයින් දින දී කහ පැහැති මල් පිපෙනdandelionනමැති ග‍සක් වෙත ගොස් එහි පැළී ඇති කරලකට දීර්ඝ හුස්මක් ගෙන පිඹීම කරයි. එවිට එහි ඇට සුළ‍ඟේ පාවී යයි. කරල තුළ ඉතිරි වන ඇට සංඛ්‍යාව විවාහයෙන් තමන්ට හිමි වන දරුවන් සංඛ්‍යාව පෙන්වන බවට විශ්වාසයක් ද විය.
එසේම එදින දී ඇපල් ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා ඒ තුළ තිබෙන ඇට සංඛ්‍යාව නිවැරදිව ගණනය කළ හැකි නම් විවාහයෙන් හිමි වන දරුවන් සංඛ්‍යාව ද එයම වන බව ද විශ්වාස කර ඇත.

වැලන්ටයින් දින චාරිත්‍ර
වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමා‍ගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.
වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.
වැලන්ටයින් සින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් [ Miss Esther Howland] නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාර්ත්‍ර වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

නූතන වැලන්ටයින් දිනය
නූතනයේ බොහෝ රටවල් වැලන්ටයින් දිනය සමරන්නේ හුදු වාණිජමය හෝ අශිෂ්ඨ තෘෂ්ණා ඉටු කර ගැනීමේ දිනයක් වශයෙනි. තරු පහේ හෝටල වල ධනවතුන්ට අනඟ රැඟුම් නැටීමට හා දැක බලා ගැනීමට අවස්ථා සැළසේ. එහෙත් සාන්ත වැලන්ටයින් දිනය යනු, උදාර කිතුනු මංගල්‍ය දිනයකි. රෝමයේ සාන්ත වැලන්ටයින් පූජකතුමා දිවි පිදුවේ අමිල නිර්මල වෛවාහික ප්‍රේමය හා බැඳුණු පවුල් සංස්ථාව සුරක්ෂිත කිරීමට හා ගොඩ නැංවීමට ක්‍රියා කිරීමට යාම හේතුවෙනි. එබැවින් එදින අශෝභන හා අශීලාචාර හැඟීම් සපුරා ගැනීමට හෝ හුදු වාණිජමය අරමුණු ඉටු කර ගැනීමට හෝ යොදා ගැනීම එදින පවිත්‍රත්වය කෙළසන සාපරාධී ක්‍රියාවකි. එදින කිතුනු ආකල්පය විකෘති කිරීමකි. බාල හා තරුණ පරපුරට අවාදර්ශ දීමක් හා සදාචාර විරෝධී ක්‍රියාවක් ද වේ. එබැවින් වැලන්ටයින් දිනය වඩාත් අර්ථවත් හා සදාචාරත්මක නියම ආගමික හැඟීමකින් යුතුව සැමරීමට යොමු වීම අවශ්‍ය ය.  

෴ වැඩිදුර සටහන් ෴
[1] “ලුපර්කාලියා” [Lupercalia] යනු පැරණි රෝමානු මිථ්‍යා දෘෂ්ඨික උත්සවයකි. මෙය පවත්වා ඇත්තේ රෝමානු දෙවි දේවතාවරුන්ගේ ප්‍රධානියා ලෙසින් සැලකෙන ජූනෝ නමැති රෝමානු දේවතාවියගේ දිනය ලෙස සැලකූ පෙබරවාරි 14 වෙනි දා ය. එ‍සේම මෙම ජූනෝ වනිතාවන් හා විවාහයට අධිපති දෙවඟන ලෙසින් ද ඔවුන් සළකති. මෙම උත්සවයේ දී සිදු වන එක් විශේෂ ක්‍රියාවකට අනුව, එම උත්සවයට පැමිණෙන තරුණියන්ගේ නම් ලියූ කුඩා කොළ කැබලි බඳුනකට දමයි. එම බඳුනට අත දමා  ඉන් කොළ කැබැල්ලක් බැගින් ගැනීමට එහි සිටින තරුණයන්ට අවස්ථාව ලැබේ. තමන් ගන්නා කොළ කැබැල්ලේ නම දැක්වෙන තරුණිය සමග එම උත්සවයට සහභාගිවීමටත් නැටුම් දැක්වීමටත් අවස්ථාව සැළසේ. පසුව ඔවුනොවුන් අතර ප්‍රේම සබඳතා ඇති වී විවාහ වූ අවස්ථා ද විය. එහෙත්, ක්ලෝඩියස් අගරජු මෙම උත්සවය පැවැත්වීමේ දී කළ නියෝගය පරිදි ඔවුන්ගේ සබඳතා ඒ අවස්ථාවට පමණක් සීමා කෙරුණි.
[2] එවකට ලිපි ලිවීමට යොදාගත් පැපිරස් නමැති ශාකයේ කඳින් නිපද වූ පුස්කොළපත් විශේෂයකි. මිසරය, ඉශ්රායෙලය වැනි රටවල මේවා ඉතා ජනප්‍රිය ලිපි ද්‍රව්‍යයක් විය. ශුද්ධ බයිබලයේ මුල් පිටපත් මෙම පැපිරස් පුස්කොළ වල ග්‍රන්ථාරූඪ කර ඇත.

2011 නව වසර - ජනවාරිය

හැඳින්වීම 
නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝ වැසි සියලු දෙනා තුළ නව අපේක්ෂාවන්, අධිෂ්ඨානයන්, ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ජනවාරි පළමුවන දිනය උදාව ලෝ වැසි සියල්ලෝ උත්සවාකාරයෙන් සමරති. ඇතමුන් මෙදින "ජනේරුව" යන නමින් හඳුන්වති. සිංහලයේ සමහර අය ජනවාරියට "බෝතල් මාසය" යන නම හාස්‍යයට භාවිත කරති. මන්ද, දෙසැම්බර් මාසය පුරා විවිධ මධුපානෝත්සව පවත්වා හා ලෞකික අවශ්‍යතා සඳහා අධික ලෙස මුදල් නාස්ති කර, අවසානයේ ජනවාරි මාසය ගෙවා ගැනීමට නොහැකිව මත්පැන් බෝතල් විකිණීමට සිදු වීම නිසා විය යුතුය. පින්ලන්ත භාෂාවෙන් ජනවාරිය සඳහා "ඔර්ක් මාසය" යන අරුතැති "ටැමික්කු" [tammikuu] යන වචනය යෙදේ. [එහෙත් එහි නියම අරුත "ශිශිරයේ මධ්‍යභාගය" යන්න ය.] වෙක් රාජ්‍යයේ ජනවාරිය "අයිස් මාසය" යන අරුතැතිව "ලේඩන්" [leden] යන නමින් හඳුන්වයි. කොරේෂියන් භාෂාවෙන් "කැපීම" යන අර්ථය ඇතිව "සිජේකාන්ජ්" [siječanj] යන වදන යෙදේ. කෙසේ වුවද, ජනවාරිය බොහෝ ජාතීන්ට විශේෂ වූ මාසයකි. එසේම ලෝකයේ සෑම රටක්ම වාගේ ජනවාරි පළමු වෙනිදා මහත් ජයශ්‍රීයෙන් හා ප්‍රීති උත්සවයෙන් සමරති. එසේම, ලෝක ඉතිහාසය තුළ ද විවිධ සිදුවීම් ගණනාවක් ජනවාරි පළමුවෙනිදා ඉතිහාස පොතට එක් කර ඇත.[1]


සංක්ෂිප්ත ඉතිහාසය 
නව අවුරුදු උදාව හා ඒ සමග බැඳුණු උත්සව වල ඉපැරණි ඉතිහාසයක් ඇත. නව වසරක උදාව ප්‍රීති උත්සවකාරයෙන් පැවැත්වීම පිළිබඳ ඉපැරණි වාර්තා අපට හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ බැබිලෝනියන් ශිෂ්ඨාචාරයෙනි. ඔවුන් නව අවුරුදු උදාව වසන්ත ඍතුවේ පළමු දින ලෙස සැලකෙන මාර්තු 21 වෙනිදා මහා විෂුවයට [දහවල හා රාත්‍රිය එක සමානව පවතින දිනය - Vernal Equinox] පසුව එන පළමු නව සඳ උදාවත් සමග දින 11 ක් පුරා පවත්වා ඇත. මුල් ම රෝමානුවන් නව අවුරුදු උදාව මාර්තු මාසයේ දී සමරා ඇත. ක්‍රිස්තු වර්ෂ 153 දී රෝමානු සෙනෙට් සභාව ජනවාරි 1 වෙනිදා නව අවුරුද්දක් ආරම්භ වන දිනය ලෙස නම් කළ ද රෝමානු කොන්සල්වර ගයියුස් ජූලියස් සීසර් [ක්‍රි.පූ. 100 ජූලි 13 – 44 මාර්තු 15 March] ක්‍රිස්තු වර්ෂ 46 දී එය සම්මත භාවිතයට ගන්නා තුරු ප්‍රසිද්ධියට පත් නොවීය. 
World Book Encyclopedia  නමැති විශ්ව කෝෂයේ මෙය දක්වා ඇත්තේ මෙසේ ය. 
"The Roman ruler Julius Caesar established January 1 as New Year's Day in 46 BC The Romans dedicated this day to Janus, the god of gates, doors, and beginnings. The month of January was named after Janus, who had two faces - one looking forward and the other looking backward." [2]
‍‍මෙම වාර්තා කොටස අනුව පෙනී යන්නේ ජනවාරි මාසය හා එහි පළමු දිනය ඇරඹෙන්නේ මිථ්‍යා දේව විශ්වාසයක් පදනම් කර ගෙන බවය. පුරාණ රෝමයේ පළමුව භාවිත වී ඇත්තේ "රෝමානු කැලැන්ඩරය" යි. එය ක්‍රිස්තු වර්ෂ 713 දී පමණ රෝමය ගොඩ නැගුවේ යැයි සැලකෙන රොමියුලස් [Romulus] හා "නියුමා පොම්පිලීයස්" රජු [King Numa Pompilius] විසින් සකස් කර ඇතැයි රෝම ඉතිහාස රචකයන්ගේ පිළිගැනීමය. රොමියුලස්ගේ කැලැන්ඩරයට දින 304 ක මාස දහයක් ඇතුළත්ව තිබූ බව පෙනේ. එය පහතාකර වෙති.  

ක්‍රිස්තු පූර්ව 60 දී භාවිත වූ රෝමානු කැලැන්ඩරය
Calendar of Romulus
Martius       (31 days)
Aprilis          (30 days)
Maius          (31 days)
Iunius          (30 days)
Quintilis      (31 days)
Sextilis        (30 days)
September (30 days)
October      (31 days)
November  (30 days)
December  (30 days)
ග්‍රීසියේ චන්ද්‍ර මාස කැලැන්ඩරය ආශ්‍රයෙන් චන්ද්‍රයාගේ භ්‍රමණය [ලූනර් කැලැන්ඩරය - lunar calendar] පදනම් කොටගෙන සැකසුණ මෙම රෝමානු කැලැන්ඩරයේ පළමු මාසය වූයේ මාර්තු ය. පොම්පීලියස්ගේ කැලැන්ඩරයේ දින 355 ක චන්ද්‍ර මාස 12 ක් ඇතුළත්ව තිබූ අතර, ජනවාරි [Januarius] හා පෙබරවාරි [Februarius] මාස දෙක ද දක්නට ලැබුණි. එය පහතාකර ‍විය.
Calendar of Numa
Civil calendar                                       Religious Calender
මැක්‍රෝබියස්
(Macrobius) හා

ප්ලූටාර්ක් (Plutarch)
අනුව 
        ඕවිඩ් (Ovid)                  ෆ්ලවර් ට (Flower) අනුව
        ක්‍රි.පූ. දෙසැම්බර්
        450 (Decemviri) 

        තෙක්


Januarius   (29)
      Januarius                   Martius
Februarius (28)       Martius                     Aprilis    
Martius     (31)       Aprilis                       Maius
Aprilis       (29)       Maius                       Junius
Maius        (31)       Iunius                       Quintilis
Iunius        (29)       Quintilis                    Sextilis
Quintilis     (31)       Sextilis                     September
Sextilis       (29)       September               October
September (29)       October                   November
October    (31)       November               December
November (29)       December               Januarius
Decemviri  (29)       Februarius               Februarius

ඊජිප්තුව ජය ගත් ජූලියස් සීසර් රෝමයට පිවිසීමෙන් පසුව "ජානුස්" [Janus / Januarius] යන නමින් හඳුන්වන ඉදිරිපසට හා පිටු පසට දෙමුහුණක් ඇති රෝමානු දේවතාවාට විශේෂ ස්ථානයක් දුන්නේ ය.[3] ජූලියස් සීසර් ස්වකීය මරණයට පෙර රෝමානු කැලැන්ඩරය සංශෝධනය කිරීමට ක්‍රියා කිරීමේ දී තම "ජූලියස්" නමින් මාසයක් නම් කළ අතර, "ජානුස්" දේවතාවාට ගරු කිරීමක් වශයෙන් රෝමානු කැලැන්ඩරයේ 11 වන ස්ථානයේ තිබූ "ජනේරියස්" හෙවත් "ජනවාරි" මාසය වසරේ පළමු මාසය වශයෙන් නම් කළේ ය. ඒ අනුව "ජූලියස් කැලැන්ඩරය" නම් වූ එහි පහතාකාරයෙන් මාස සකස් විය.

මාසය
 ලතින්
මූලාරම්භය
January
 Januarius
 ජානුස් (Janus) දේවතාවා රෝමානු ජාතික දෙවියෙකු ලෙස පිළිගැනීමෙන් පසු
February
 Februarius
 ෆෙබෘආ (Februa) නමැති ශුද්ධවත්බවේ මංගල්‍යයෙන් පසු
March
 Martius
 මාර්ස් (Mars) නමැති දේවතාවා රෝමානු දෙවියෙකු ලෙස පිළිගත් පසු.
April
 Aprilis
 ඒප්‍රෝඩයිට් (Aphrodite) රෝමානු ජාතික දේවතාවියක ලෙස පිළිගත් පසු
May
 Maius
මේයියා (Maia) නම් දේවතාවියගේ නාමය යෙදේ
June
 Junius      
ජූනෝ (Juno) නම් වූ දේවතාවියට ගරු කිරීමක් ලෙස  යෙදීය.
July
 Julius
"පහ" යන අරුතැති "Quintilis" නම්වූ මාසයට ක්‍රි.පූ. 44 දී ජූලියස් සීසර් තම නම දුණි.
August
 Augustus
"හය" යන අරුතැති "Sextilis" නම් වූ මාසයට ක්‍රි.පූ. 8 දී ඔගස්ටස් සීසර් තම නම දුණි.
September
 September
"හත" යන අරුතැති "Septem" පැරණි රෝම ලිතේ 7 වන මාසය යි.
October
 October
"අට" යන අරුතැති "Octo" පැරණි රෝම ලිතේ 8 වන මාසය යි.
November
 November
"නවය" යන අරුතැති "Novem" පැරණි රෝම ලිතේ 9 වන මාසය යි.
December
 December
"දහය" යන අරුතැති "Decem" පැරණි රෝම ලිතේ 10 වන මාසය යි.
13 වන ග්‍රෙගරි පාප්තුමා
පසුකාලීනව 13 වන ග්‍රෙගරි පාප්තුමා [Pope Gregory XIII 1502 - 1585] සකස් කළ කැලැන්ඩරයේ ද ජනවාරි මාසය වසරේ මුල් ම මාසය වශයෙන් පිළිගෙන ඇතුළත් කර තිබේ. නූතනයේ එය බොහෝ දෙනා "අපරදිග කැලැන්ඩරය", "කතෝලික කැලැන්ඩරය" යනා දී නම් වලින් හඳුන්වති. අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති නූතනයේ අප භාවිත කරන ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරය එය යි. ක්‍රිස්තු වර්ෂ 1582 පෙබරවාරි 24 දින එම පාප්තුමා නිකුත් කළ "ඉන්ටර් ග්‍රැවිසිමස්" [ Inter gravissimas] නමැති ශුද්ධාසන හසුන් පතින් එය කිතුනු ලෝකය තුළ භාවිතයට ගැණුනි. 


"ජානුස්" දෙවියන් පිළිබඳ මිථ්‍යා සංකල්පය
Forum Romanum
"ජානුස්" දේවතා පිදීම පැරණි රෝමය නුවරක් වශයෙන් ගොඩනැගීමේ පටන් රෝමානුවන් අතර පැවති ඉපැරණි මිථ්‍යා ඇදහිල්ලක් විය. බොහෝ රෝමානු දේවතා ඇදහිළි වලට ග්‍රීක සම්භවයක් තිබුණ ද "ජානුස්" ඊට අයත් නොවේ. එම දේවතාවාගේ විශේෂත්වය නම්, හිසේ ඉදිරිපස හා පිටුපස යන දෙකොටසෙහි ම මුහුණ බැගින් තිබීම ය. එබැවින් "ඇතුළුවීම" හා "පිටවීම" ද, "ආරම්භය" හා "අවසානය" ද දැකිය හැකි යැයි විශ්වාසයක් පැරණි රෝමානුවන් තුළ විය. මෙයට පැරණි රෝම-ලතින් භාෂාවෙන් "Lanus" හා "Geminus" යන වචන භාවිත කෙරේ. "ජානුස්" දෙවොලේ ඉදි කර තිබූ එකිනෙකට මුහුණ ලා පිහිටි ද්වාර මණ්ඩපයේ (දොරටු) [Forum Romanum] එක් දොරටුවක් සූර්ය උදාවට ද, අනෙක සූර්ය අවරයට (හිරු බැසීමට) ද මුහුණ ලා පිහිටා තිබේ. මෙම දොරටු වසා තිබීම යන්න, රෝම රාජ්‍යය තුළ "සාමය" පවතින බවට සලකුණ විය. එහි දොරටු විවර කර තිබීම යන්න, රෝමය "යුද්ධයට" මුහුණ පා තිබෙන බවට සලකුණ විය. ඉතිහාසඥයන්ගේ වාර්තාවන්ට අනුව නියුමා හා ඔගස්ටස් සීසර් යන දෙපළගේ රාජ්‍ය පාලන කාලය අතරතුර මෙම ද්විත්ව දොරටු වසා තිබී ඇත්තේ එක් වරක් පමණි. 
"ජානුස්" දේව හිස රැගත් කාසියක්
"ජානුස්" දෙවියාගේ රූපය රැගත් ‍ඉපැරණි රෝම කාසි හා ඉබි යතුරු ද තිබේ. එහි සඳහන් ඉදිරිපස මුහුණ නව යොවුන් වියේ සිටින්නෙකුගේ පෙනුම ද, පිටුපස මුහුණ රැවුලක් ඇති මහළු පෙනුමක් ද දක්වයි. පසුකාලීන කාසි වල මුහුණු දෙකම රැවුල සහිතව, දකුණතේ යතුරක් ඇතිව දක්වා ඇත. රෝම-ලතින් රාජ්‍යයේ සමෘද්ධියට හා රාජ්‍ය පාලනයට "ජානුස්" දෙවියාගේ ආශිර්වාදයේ අවශ්‍යතාවය රජවරුන් උදක්  ම අපේක්ෂා කළ බව පෙනේ.[5]

"ජානුස්" ඉබි යතුර
        
ජනවාරි මාසයේ කිතුනු වැදගත්කම 
කිතුනු ආගමික මංගල්‍ය කිහිපයක් සැමරීමට ලක් වන නිසා ජනවාරි මාසය කිතුනු අපට වැදගත්කමක් උසුළයි. එනම්,
  • පරිශුද්ධ දේවමාතා මංගල්‍යය (ජේසුස් වහන්සේගේ මෑණියන් වහන්සේ ස්වකීය දරු ප්‍රසූතියෙන් පසුව ද ශුද්ධවන්ත තැනැත්තියක් වශයෙන් දෙවිඳුන් ඉදිරියෙහි පිළිගැනීමට පාත්‍රවීම ය.) මෙය ජනවාරි පළමුවන දින පවත්වන (අනිවාර්යෙන් ජනවන්දනාවට සහභාගිවිය යුතු) කිතුනු ණය මංගල්‍යයක් වේ.
  • ජනවාරි 2 - 6 අතර කාලය තුළ ඉරු දිනක දී ශාස්ත්‍රවන්තයන් (රජවරුන්) බිළිඳු ජේසු සමිඳුන්ට ප්‍රත්‍යක්ෂවීමේ (බැහැදැකීමේ) මංගල්‍යය පැවැත්වීම සිදුවේ. මෙය ද ණය මංගල්‍යයක් ලෙසින් සැලකේ.
  • යථෝක්ත මංගල්‍යයට පසු ඉරු දින ජේසුස් ස්වාමින් වහන්සේ‍ගේ බව්තීස්ම ස්නාපන මංගල්‍යය සමරන අතර, එයින් "නත්තල් සමය" නමැති ජනවන්දනා කාල පරිච්ඡේදය අවසන් වී "සාමාන්‍ය සමය" නමැති ජනවන්දනා කාල පරිච්ඡේදය ආරම්භ වේ.
  • එසේම, ශ්‍රී ලාංකේය කිතුනු අපට වැදගත් වන, ශ්‍රී ලංකාවේ නාම සාන්තුවරයා ලෙසින් සැලකෙන භාග්‍යවන්ත ජෝසප් වාස් පියතුමාණන්ගේ මංගල්‍යය ද යෙදී තිබෙන්නේ ජනවාරි 16 වෙනිදා ට ය. 
මෙවැනි හේතු කිහිපයක් නිසා ජනවාරි මාසය කිතුනුවාට සුවිශේෂී වෙයි. සාමාන්‍යයෙන් කිතුනුවන් ජනවාරි මස නව වසරේ උදාව දේවස්ථාන වල මධ්‍ය රාත්‍රී දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවට හා දිව්‍ය පූජාවට සහභාගිවීම තුළ සමරති. ඉන් අනතුරුව එකිනෙකාට සුභ ප්‍රාර්ථනය කරති. ඕලන්දය වැනි ඇතැම් යුරෝපා රටවල කිතුනුවන් ඉපැරණි චාරිත්‍රයකට අනුව මෙදින තෑගි බෝග යනාදිය හුවමාරු කර ගනිති. නෑ හිතවතුන් බැහදැකීමට යති. නිවසට පැමිණෙන අමුත්තන්ව හා නෑදෑයන්ව මහත් හරසරින් පිළිගෙන සංග්‍රහ කරති.   

එහෙත් ජනවාරි මස පළමු වෙනිදා උදාව බොහෝ දෙනා සමරන්නේ මධුපානෝත්සව, මහා හෝටල් වල නර්තන ප්‍රීති උත්සව හා සංගීත සැදෑවන් තුළ ය. ඇතැමුන් මෙය දුරාචාරයට ද මහඟු අවස්ථාවක් කර ගනිති. එය සැබවින්ම ඉතා කණගාටුවට කරුණකි. එහෙත් විය යුත්තේ ආගමානුකූල ක්‍රියාවකින් නව ජවයක් හා ජීවයක් ලබා පසුගිය වසරේ වූ ජීවිත දුබලතා නිවැරදි කරගෙන නව ජීවිතයක් ආරම්භ කිරීමට අධිෂ්ඨානයකින් යොමු වීම ය. 
ලැබුවා වූ 2011 නව වසර තුළ ඔබට එවැනි නව ජීවනයක් කරා යොමු වීමට අවශ්‍ය දේව බලය, ශක්තිය හා ‍මග පෙන්වීම ලැබී, ශුද්ධාත්ම ගමනක යෙදීමට අවැසි දේව වරම් ලැබේවා යි නිරතුරුවම ප්‍රාර්ථනය කරමි.  එසේම, නිරෝගී සුව සම්පත හිමි වූ පැතුම් ප්‍රාර්ථනා හා අපේක්ෂා සියල්ල ඉටු වුණු සෞභාග්‍යමත් නව වසරක් වේවා යි පතමි.  



Free Glitter Graphics



෴  වැඩිදුර සටහන්

[1] January 1
New Year's Day - The most celebrated holiday around the world.
January 1, 1502 - Portuguese explorers landed at Guanabara Bay on the coast of South America and named it Rio de Janeiro (River of January). Rio de Janeiro is currently Brazil's second largest city.
January 1, 1660 - Samuel Pepys began his famous diary in which he chronicled life in London including the Great Plague of 1664-65 and the Great Fire of 1666.
January 1, 1776 - During the American Revolution, George Washington unveiled the Grand Union Flag, the first national flag in America.
January 1, 1801 - Ireland was added to Great Britain by an Act of Union thus creating the United Kingdom of Great Britain and Ireland.
January 1, 1863 - The Emancipation Proclamation by President Abraham Lincoln freed the slaves in the states rebelling against the Union.
January 1, 1877 - Queen Victoria was proclaimed Empress of India.
January 1, 1892 - Ellis Island in New York Harbor opened. Over 20 million new arrivals to America were processed until its closing in 1954.
January 1, 1901 - The Commonwealth of Australia was founded as six former British colonies became six states with Edmund Barton as the first prime minister.
January 1, 1915 - During World War I, the British Battleship Formidable was hit by a torpedo in the English Channel, killing 547 crewmen.
January 1, 1942 - Twenty six countries signed the Declaration of the United Nations, in Washington, D.C., reaffirming their opposition to the Axis powers and confirming that no single nation would make a separate peace.
January 1, 1958 - The EEC (European Economic Community) known as the Common Market was formed by Belgium, France, West Germany, Italy, Luxembourg and The Netherlands in order to remove trade barriers and coordinate trade policies.
January 1, 1959 - Fidel Castro seized power in Cuba after leading a revolution that drove out Dictator Fulgencio Batista. Castro then established a Communist dictatorship.
January 1, 1973 - Britain, Ireland and Denmark became members of the Common Market (EEC).
January 1, 1975 - During the Watergate scandal, former top aides to President Nixon including former Attorney General John Mitchell, Domestic Affairs Advisor John Ehrlichman and Chief of Staff H.R. Haldeman, were found guilty of obstruction of justice.
January 1, 1979 - China and the U.S. established diplomatic relations, 30 years after the foundation of the People's Republic.
January 1, 1993 - Czechoslovakia broke into separate Czech and Slovak republics.
January 1, 1999 - Eleven European nations began using a new single European currency, the Euro, for electronic financial and business transactions. Participating countries included; Austria, Belgium, Finland, France, Germany, Ireland, Italy, Luxembourg, Netherlands, Portugal and Spain.
Birthday - American Patriot Paul Revere (1735-1818) was born in Boston, Massachusetts. Best known for his ride on the night of April 18, 1775, warning Americans of British plans to raid Lexington and Concord.
Birthday - Betsy Ross (1752-1836) was born in Philadelphia, Pennsylvania. She was a seamstress credited with helping to originate and sew the Stars and Stripes flag of America in 1776.
[2] 1984, volume 14, page 252
[3] "ජානුස්" යන්නෙහි අර්ථය "දොරටුව" යන්න ය. මෙම දේවතාවාට හිමි මුහුණු දෙක නිසා අතීතය හා අනාගතය දෙස බැලීමේ හැකියාව හිමි බව පැවසේ. එනිසා සියලු දෙයෙහි අවසානය හා ආරම්භය එම දෙවියන් ලෙස සැලකේ. 
[4]Calendar Name Origins - Names of Months

January      - ME Januari(us), OE Januarius, translation of Latin Januarius, named after JANUS, 
                    god of beginnings.
February
     - ME OE Februarius from Latin Februarius, named for Februa, the feast of 
                    purification.
March         - ME March(e), from Latin Martius, (month of) Mars.
April           - ME Averil, OF Avril, Latin Aprilis mensis (month). The name may derive from the 

                    Greek goddess of love, Aphrodite.
May            - ME OE Maius, Latin Maius mensis (month), from the Greek Maia, goddess of spring 

                    (growth).
June           - ME Jun(e), OE Iunius, from Latin mensis Junius, named after the goddess Juno, 

                    Queen of the gods.
July            - ME Julie, OE Julius, from Latin Julius (Caesar) after whom it was named in 44 BC. 

                    The original name was quintilis, fifth month in the early Roman calendar.
August       - ME OE Agustus from Latin Augustus (Caesar) 8 BC. The original name was sextilis, 
                    sixth month in the early Roman calendar.
September
- ME Septembre from Latin September, seventh month in the early Roman calendar
October     - ME OE from Latin October, eighth month in the early Roman calendar
November  - ME OE from Latin November, ninth month of the early Roman calendar, from 

                   novem NINE
December  - ME Decembre from OF and Latin December, tenth month of the early Roman 

                   calendar (decem TEN + membri from mens MONTH + ri suffix).

ME   =  Middle English
OE   =  Old English
OF   =  Old French
OHG =  Old High German

[5] රෝමයේ කතෝලික සභා පීඩන (ප්‍රාණ පරිත්‍යාගී) සමයේ "ජනේරියස්" හෙවත් "ජානුස්" නමින් ප්‍රාණ පරිත්‍යාගීවරයෙකු ද සිට ඇත. එතුමාව සාන්ත ජනේරියස් යන නමින් හඳුන්වයි.

ආධ්‍යාත්මික සූදානමකට අප කැඳවන ආගමන කාලය

හැඳින්වීම 
''ආගමන කාලය" වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාල පරිච්ඡේදයකි. "ආගමනය" යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් Advent යන්න භාවිත වේ. මෙය ලතින් භාෂාවේ "ඇඩ්වෙන්ටුස්" [Adventus] යන්නෙන් බිඳී එන්නකි. මෙම වචනයේ අර්ථය නම් "සම්ප්‍රාප්තිය" හෙවත් "පැමිණීම" [Coming] යන්නය. මෙම "ඇඩ්වෙන්ටුස්" නමැති ලතින් වචනය බිහිවීමට බලපෑවේ සාන්ත පාවුළු තුමා නිතර භාවිත කර ඇති "පරූසියා" [Parousia] [1]යන ග්‍රීක වචනයයි. මෙහි අර්ථය ද "නැවත වැඩම කිරීම" යන්න ය. මේ අනුව කිතුනුවෙකුට ආගමන කාලය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අපේක්ෂාවේ කාල පරිච්ඡේදයකි. එම පැමිණීම ගෞරවාන්විතව පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වන කාලයකි.

ආගමන කාලයේ ඉතිහාසයෙන් බිඳක්
ක්‍රි.ව. 70 දී සිදු වූ ජෙරුසලමේ විනාශය
අපෝස්තුළුවරුන්ගේ මුල් කිතුනු සභා යුගයේ සිට ම ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳව මහත් බලාපොරොත්තුවක් කිතුනු ජනතාව තුළ තිබේ. ජේසුස් වහන්සේ ද ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන පැමිණීම ගැන වරින් වර ප්‍රකාශ කර තිබේ. ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ක්‍රිස්තු අනුගාමිකයෝ ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීම බොහෝ ඉක්මනින් සිදුවේ යැයි අපේක්ෂා කළහ. ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමවරුන් අතින් ජෙරුසලම විනාශ වූවත් [2] ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදු නොවූ බැවින් එය තමන් නොදන්න අනාගතයක දී සිදු වන්නක් බව අවබෝධ කර ගෙන ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය සිහිපත් කරමින් ඒ සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම පිණිස නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙන් කළහ. ආගමන කාලය බවට පත් වූයේ මෙම කාලයයි. එහෙත්, බෙහෝ විද්වතුන්ගේ මතවාද වලට අනුව, "ආගමන කාලයට" පෙර ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට සූදානම් වීමේ දින 40 මහා උපවාස සමය පැවතී ඇත. "ආගමන කාලය" ජනවන්දනාවට සම්බන්ධ වී ඇත්තේ අවසාන වශයෙනි.  
ඓතිහාසික වාර්තාවන්ට අනුව, ආගමන කාලය සැමරීමේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දෙවන භාගයේ දී පමණ ගෝල් දේශයේ [නූතන ප්‍රංශය] හා ස්පාඤ්ඤයේ සිදු වී ඇත. එකල එම රටවල් නත්තල් මංගල්‍ය පවත්වා ඇත්තේ ජනවාරි 6 වෙනි දා ය. එම නත්තල් මංගල්‍යය පැවැත්වීම සඳහා පාස්කු මංගල්‍යයට මෙන් දැඩි උපවාස සමයක් පැවැත්විය යුතු බවට කතෝලික තපස්වරුන් අතර පොදු පිළිගැනීමක් තිබුණි. ආගමන කාලයේ නිරාහාරශීලය රැකීම පිළිබඳ මුල්ම ඓතිහාසික කරුණු අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ 490 දී ප්‍රංශයේ ටුඅර්ස් [Touars] නගරයේ සාන්ත පර්පේතුස් රදගුරු තුමා නිකුත් කළ නිර්දේශයක ය. එම නිර්දේශයට අනුව, ටුඅර්ස් හි සාන්ත මාර්ටින් මුනිතුමාගේ මංගල්‍ය දිනය වන නොවැම්බර් 11 දින සිට නත්තල් මංගල්‍යය දින තෙක් සතියකට දින 3 ක් නිරාහාර උපවාසශීලය රැකීම සිදු කර ඇත. පසුව සෙල්ටික් තපස්වරුන් [Celtic Monks - Click Here] රෝමයට පැමිණීමෙන් පසුව එය සති 3 - 8 ක කාලයක නිරාහාර උපවාස සමයක් බවට පත් වුණි. පසුකාලීනව චතාරික සමයේ දීර්ඝ උපවාසයට සමාන්තරව දින 40 දක්වා සංශෝධනය කෙරුණි. මෙවැනි කාලයක් පැවැත්වී‍ම ඇරඹීමට බලපෑ හේතු සාධකය වන්නේ (පහතින් දැක්වෙන පළමු කරුණ පරිදි) මුල් කිතුනුවන්ගේ ආධ්‍යාත්මික ජීවිත පිළිවෙල හා පසුව රෝමය ආක්‍රමණය කළ (මෙලේච්ඡයන් ලෙස සැලකූ) ගොත්වරුන්ව සදාචාරාත්මක කිතුනු ජීවිත පිළිවෙලකට හැඩගැස්වීමේ කිතුනු ආගමික ක්‍රියා පිළිවෙතය. එකල පෙරදිග යුරෝපා රටවල කතෝලික සභාව මෙම ගොත්වරුන්ට නිසි අධ්‍යාපනයක් හා සදාචාරාත්මක වටිනාකම් ප්‍රගුණ කිරීමෙන් පසුව ඔවුන්ට බව්තීස්මය දානය කර කිතුනුවන් බවට පත් කළා ය.[3] පෙරදිග කතෝලික සභාව ජනවාරි 6 වෙනිදා (නූතනයේ රෝමානු කතෝලික සභාව මෙන්) දිව්‍ය බිළිඳාණන් ශාස්ත්‍රවන්තයන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍යය පවත්වා ඇත. එම මංගල්‍යය දිනය පෙරදිග කතෝලික සභාවල මහා බව්තීස්ම දිනය වශයෙන් ගෙන ඇත. එබැවින් නත්තල, බව්තීස්මය දානය කිරීම හා තපස්වරුන්ගේ ඉගැන්වීම් සියල්ලේ සංකලනයක් ලෙසින් ආගමන කාලය බිහි වී ඇති බව පෙනේ. මෙකල යුරෝපයේ 
ආගමන කාලය ආකාර දෙකකට සැමරීම සිදු කර ඇත.

  1. රෝමානු කතෝලික සභාව - බටහිර යුරෝපයේ මුල්කාලීන කිතුනුවන් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමට මුහුණ දීම සඳහා සූදානම් වූ ආකාරයක් තිබුණි. එකල ඔවුනට විඳින්ට සිදුවූ විවිධ දේශපාලනික, සමාජයීය හා ආගමික දුක් පීඩා හා අභියෝග ක්‍රිස්තුස් වහන්සේගේ "යුගාන්තය" පිළිබඳ ඉගැන්වීම්[4] වලට අනුකූල වූ බැවින් ඔවුන් වහන්සේගේ දෙවන ආගමනය තම ජීවිත කාලය තුළ සිදුවේ යැයි සිතා එයට මුහුණ දීමට හැකි අන්දමේ ජීවිත ක්‍රියා පිළිවෙලකට සූදානම් වූහ. පසුකාලීනව සෙල්ටික් තපස්වරුන් ‍අපරදිග යුරෝපයට ගෙන ආ උපවාසයේ ජීවිත පිළිවෙත හා ජනවන්දනා වත් පිළිවෙත් නිසා ආගමන කාලයේ වාරිත්‍ර හා කිතුනු ආගමික ක්‍රියාවන් වලට නවෝදයක් ලබා දුණි. මේ අනුව අපරදිග ‍කතෝලික සභා ආගමනයේ ජනවන්දනා වත් පිළිවෙතක් පිළිබඳ මුල් ම තොරතුරු හමු වන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මැද භාගයේ ඉතාලියේ 'රවෙන්තා' නමැති ප්‍රදේශයෙනි. රෝමයට මෙය පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ දී පමණ යැයි සැලකේ. පළමුවන ග්‍රෙගරි පාප්තුමා [Pope Gregory 1] ආගමන කාලයේ කිතුනු ආධ්‍යාත්මික සූදානම සඳහා ඉරිදාවන් 4 ක කාල පරිච්ඡේදයක් ඇතුළත් වන පරිදි ජනවන්දනා යැදුම් හා පිළිවෙත් රෝමානු කතෝලික සභාවේ ජනවන්දනා පිළිවෙතට හඳුන්වා දෙන ලදි. මෙහි මූලික අරුත වූයේ ජේසුස් වහන්සේගේ "මාංශගතවීමේ අභිරහස" [Mystery of Incarnation] සැමරීමය. එහෙත් ප්‍රංශයේ ආගමන කාලය "යුගාන්තය" හෙවත් "ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය" යන සංකල්පය ප්‍රධාන අර්ථය වශයෙන් ගෙන පැවැත්වී ඇත.ඊට බලපෑ හේතු සාධකය වූයේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනිතුමා [Saint Colombanus] ඇතුළු තපස්වරුන්ගේ බලපෑමය.[5] එනිසා කතෝලික දේවස්ථාන වල අලංකාර සැරසිළි ඉවත් කෙරුණි. මනස්ස්ථාපනය හා ශෝකය ප්‍රකාශ කරන වර්ණ ලෙසින් එකල යුරෝපයේ පිළිගැනීමට ලක්ව තිබූ දම් වර්ණය අල්තාර රෙදිපිළි, පූජක ඇඳුම් හා වෙනත් සැරසිළි සඳහා යොදා ගැනුණි. දිව්‍ය පූජාවේ දී ගැයෙන මහිම ප්‍රශංසා ගීය [Gloria] හා අලේලුයියා ගායනය සිදු නොකළහ. මෙකල සියලු ප්‍රීති උත්සව හා විවාහ මංගලෝත්සව පැවැත්වීම ද සිදු නොකළහ. යැදුම, නිරාහාර උපවාසය රැකීම හා මර්ධන ක්‍රියා කිරීම වැනි දේට මුල් තැනක් දුණි. එහෙත් මෙම ආගමන ජනවන්දනා පිළිවෙත තපස්වරුන් මාර්ගයෙන් රෝමයට පැමිණ විට එකල සිටි සභා ප්‍රධානීන් ඉන් ඇතැම් ඒවා උකහා ගෙන අනෙක් කොටස් අත්හැර දැමූහ. නිදසුනක් ලෙසින් මහිම ප්‍රශංසා ගීය ගායනා නොකිරීම, දම් පැහැය භාවිතයට ගැනීම වැනි දේ පිළිගත් නමුත් ආලේලුයියා ගීය ගැයීම සිදු කිරීම දැක්විය හැකිය.[6] ආගමන කාලයේ දී පැවැත්වූ දැඩි නිරාහාරශීලී උපවාසය ක්‍රිස්තු වර්ෂ 1917 කතෝලික සභා නීති සංග්‍රහයෙන් අත්හැර දැමුණි. එයට හේතුව වූයේ පසුකාලීනව පෙරදිග යුරෝපයෙන් පැමිණි නත්තල් මංගල්‍යයට සූදානම් වීමේ බාහිර උත්සව සිරියේ බලපෑම ය. පසුකාලීනව පෙරදිග යුරෝපයේ ජේසුස් වහන්සේගේ උපන් මංගල්‍යය පැවැත්වීමට වන බාහිර සූදානමක් වශයෙන් පැවැත්වීම - මෙය බොහෝ දුරට බාහිරව වශයෙන් ප්‍රීතියේ හා විනෝදයේ උත්සව සමයක් ලෙසින් ගැණුනි. දෙසැම්බරය වන විට ඇතිවන ඍතු විපර්යාසය නිසා ශිශිර ඍතුව ආරම්භ වන කල පරිසරයේ ඇතිවන අමුතුම වෙනස මේ සඳහා වඩාත් හොඳ පරිසරයක් ඇති කෙරුණි.
  2. පෙරදිග කතෝලික සභාව - ඔර්තඩොක්ස් පෙරදිග කතෝලික සභාව "උත්පත්ති උපවාසය" [Nativity Fast]යන නමින්, නොවැම්බර් 14 සාන්ත පිළිප් අපෝස්තුළු තුමාගේ මංගල්‍යය දින සිට දෙසැම්බර් 24 වෙනිදා දක්වා දින 40 ක පමණ කාලයක් නිරාහාර උපවාසශීල කාලයක් පවත්වති. මෙහි මූලික අරමුණ මනස්ස්ථාපනය හා දැහැමි ජීවිත පරිවර්තනය යි. මෙම කාලය තුළ ප්‍රණීත ආහාර පානයෙන් වැළකීම, විවිධ පශ්චාත්තාපික ක්‍රියා කිරීම කරති. දෙවස්ථාන වල දිව්‍ය පූජා හා යාච්ඤා මෙහෙයයන් තුළ හා නිවෙස් වල මනස්ස්ථාපනය වෙත මිනිස් සිත් කැඳවන "උත්පත්ති ගීතිකා" [Nativity Hymns] ගායනා කිරීම ද කරති. මෙහිදී දැඩි නිරාහාර උපවාසයේ හා මනස්ස්ථාපනයේ දිනය ලෙස සැලකෙන්නේ, දෙසැම්බර් 24 වෙනිදා ය. එදින නිරාහාරශීලය රකින ඔවුන් එදින සන්ධ්‍යාවේ වෙස්පර්ස් යැදුම් මෙහෙයයක් පවත්වා එම කාලය අවසන් කරති.
ආගමන කාලයේ ආරම්භය හා අවසානය
ජනවන්දනා වර්ෂයක්[7] අවසන් කර නව ජනවන්දනා වර්ෂයක් ආරම්භ කරන්නේ "ආගමන කාලය" පටන් ගන්නා පළමු ඉරු දිනයේ සිට ය. ආගමන කාලය [ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය ඉරු දිනට පසු] නොවැම්බර් 30 සාන්ත අන්ද්‍රේ මුනිතුමාගේ මංගල්‍යයට [Feast of Saint Andrew] ආසන්න ඉරු දිනට පෙර දින සවස යාම යැදුම [Prayers of Hours - Divine Office Prayers] සමගින් ආරම්භ වේ. එබැවින් එය නොවැම්බර් 27 හා දෙසැම්බර් 3 අතර සතිය තුළ උදා වේ. ආගමන කාලය අවසන් වන්නේ දෙසැම්බර් 24 වෙනිදා සවස 6 ට යාම යැදුම උච්චාරණය කිරීම ඇරඹීමත් සමග ය. මෙය ඉරු දින 4 කින් යුත් සති 4 ක ආධ්‍යාත්මික සූදානම් වීමේ කාලයකි.

අප ආගමන කාලයේ සිහිපත් කරන්නේ කුමක්ද?
මෙම සති 4 ක සූදානම් වීමේ කාලය තුළ අප සිහිපත් කරන්නේ, 
  • පළමු නත්තල එනම්, ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ වන ජේසුස් වහන්සේ පාපී මිනිසා ගළවා ගැනීම පිණිස දේවත්වය අත්හැර මනුෂ්‍යත්වය ගෙන දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද මිනිස් දුවණියක වන මරිය තුමිය මගින් බෙත්ලෙහෙම් ග්‍රාමයේ දී ඉපදීම ආවර්ජනය කරන උත්සවාකාර හා ගරුගාම්භීර සැමරුම,
  • ජේසුස් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙන ආකාරයට සිදුවීමට නියමිත ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය වෙත කතෝලිකයන්ගේ අවධානය යොමු කර ආධ්‍යාත්මිකව ජීවිත සූදානමක් ඇති කර ගැනීමට යොමු වන කාලය, ["නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; මනස්ස්ථාපනය වන්න්, සුභ අස්න අදහා ගන්න." - මාර්ක් 1 : 15]
  • එහි ප්‍රතිඵලයක් වශයෙන් ජේසුස් ස්වාමින් වහන්සේව අප හදවත් තුළට පෞද්ගලිකව වැඩමවා ගනිමින් ඇතුළාන්ත සාමය, සුවය හා නත්තලේ ආධ්‍යාත්මික ප්‍රීතිය අත්දැකීමට යොමු වීම ය.
මේ සඳහා කිතුනු අපට දේව වචනය තුළින් ආධ්‍යාත්මික සූදානමකට හා දැහැමි ජීවිත පරිවර්තනයකට ලැබෙන දේව මග පෙන්වීමත්, සමගි සන්ධනයේ (පාපොච්චාරණයේ) ප්‍රසාද නිධානය හා දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීම තුළින් ලැබෙන ඇතුළාන්ත සුව සහනය අත්කර දීමත්, විවිධ සාංඝික ක්‍රියාවන් හා දිළිඳුන් සමග බෙදා ගැනීමේ පරිත්‍යාගශීලී ක්‍රියාවන්ට මග පෙන්වීමත් ලැබේ.[Season of Advent -Click Here]

ආගමන කාලයේ භාවිත වන වර්ණ 
ඉතා ඈත අතීතයේ සිට ම ආගමන කාලයේ දී භාවිත වන වර්ණය වන්නේ, දම් පැහැය යි. එයට බලපෑවේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනි තුමා ය. දම් පැහැය මනස්ස්ථාපනයේ, පසුතැවිල්ලේ හා ශෝකයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම විය. මෙම වර්ණය තුළින් ප්‍රකාශ කරන්නේ හා අපට මතක් කර දෙන්නේ සැබෑ මනස්ස්ථාපනය තුළින් විය යුතු දැහැමි ජීවිත පරිවර්තනය යි.
තවද, යුරෝපයේ බොහෝ දේවස්ථාන වල ජනේල, දොරවල්, බිත්ති හා අල්තාරය දෙපස සදා හරිත (කොළ) වර්ණයෙන් සකස් කළ සැරසිළි හා රෙදි පිළි වලින් අලංකාර කරති. කොළ පැහැය සෞභාග්‍යයේ, නවතාවයේ හා සදාතනිකත්වයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම වේ. එමගින් ක්‍රිස්තු උපත මගින් කළ දෙවියන් වහන්සේගේ දිව්‍ය අනාවරණය කෙරෙහි ශ්‍රද්ධාව හා ගැළවීමේ ආනන්දීය අපේක්ෂාව කිතුනුවන් තුළ ජනිත කරවීම අරමුණ ය. දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ මගින් අත් කර දුන් ජීවනය හා ගැළවීම පෞද්ගලිකව තමන් අත්පත් කර ගැනීමට හා අත්දැකීමට කිතුනුවා යොමු විය යුතු බව පසක් කරන්නකි.

ආගමන ඉටි පහන් කළඹ  - [Advent Candle Wreath]

ආගමන ඉටි පහන් කළඹ
සදා හරිත වර්ණ තුරු වැල් වලින් හෝ කෘත්‍රිම තුරු වැල් ඔතා මල් වලින් සැරසූ වෘත්තාකාර හැඩයකින් සෑදූ කළඹක හරි මැද සුදු ඉටි පහනක් ද, ඒ වටා දම් පැහැති ඉටි පහන් 3 ක් හා රෝස පැහැති ඉටි පහනක් ද වශයෙන් (ඉටි පහන් 5 ක්) සවිකර සකසන අලංකාර කුඩා සැරසිල්ල "ආගමන ඉටි පහන් කළඹ" [Advent Candle Wreath] නම්වේ. මෙය සාමාන්‍යයෙන් ආගමන කාලයේ පළමු ඉරු දින කතෝලික දෙව්මැදුරු සෑම එකකම සකස් කර පූජාසනය අසළ තබා ඉරු දින 4 ක් පුරා හා දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තුළ ඉටි පහන බැගින් දැල්වීම කරන්නකි. මෙම ඉටි පහන් කළඹ නව ජනවන්දනා වර්ෂයක ආරම්භය ප්‍රකාශ කරන අතර, මනස්ස්ථාපනය හා ගැළවීමේ අපේක්ෂාව සංඛේතවත් කරයි.
ඉටි පහන් දැල්වීමේ අර්ථය නම්, ජේසුස් ස්වාමින් වහන්සේ මිනිසත්බව ගැනීම මගින් පාපයෙන් හා නපුරෙන් අඳුරු වී ගිය ලෝකයට ආලෝකයක් වූ බව සංඛේතවත්ව ප්‍රකාශ කිරීම ය. එම ක්‍රිස්තු ආලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කර ගෙන අප ජීවත් වන සමාජයට අප ආලෝකයක් විය යුතු බව ද පසක් කරයි.[8] සති 4 ක් පුරා ඉටි පහන් දැල්වීම තුළින් පාපී අඳුර, පාපයේ භිතිය, අපේක්ෂා භංගත්වය හා නපුරේ බල සිඳ බිඳ දැමීම සඳහා ජේසුස් වහන්සේ ලොවට මානව විමුක්තියේ ආලෝකය වූ බව බව ප්‍රකාශ කරයි.

පළමුවන ඉටි පහන -  
දිවැසිබවේ හා අපේක්ෂාවේ ඉටි පහන - [The Candle of Prophecy and Hope] 
ඉහත නමින් හඳුන්වන දම් පැහැති මෙම ඉටි පහන මෙසියස් තුමාගේ (ජේසුස් ස්වාමින් වහන්සේගේ) පැමිණීම පිළිබඳව දෙවියන් වහන්සේ දිවැසිවරුන් ලවා කියවූ අනාවැකි අනාවරණය කරන්නකි. එනිසා ඔවුන් වහන්සේගේ පැමිණීම කෙරෙහි මහත් බලාපොරොත්තුවක් අප තුළ ගොඩ නගයි. [යෙසායා 60 : 1 - 3 අනාවැකිය මතෙව් 24 : 44 තුළින් ඉටු වූ බව පෙන්වයි.]
  
දෙවන ඉටි පහන -
ක්‍රිස්තු මාර්ගයේ ඉටි පහන - [The Candle of the Christ the Way]   
දම් පැහැති මෙම ඉටි පහන ක්‍රිස්තුස් වහන්සේ "ගැළවීමේ, සදාතන ජීවනයේ හා පරිපූර්ණත්වයේ මාර්ගය" බව අපට අනාවරණය කරයි. [මතෙව් 3 : 1 - 2 / ජොහාන් 14 : 6]

තෙවන ඉටි පහන - 
ආනන්දයේ ඉටි පහන - [The Candle of Joy]  
රෝස පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙසින් තම හදවතට පිළිගැනීම තුළින් අත් වන ආධ්‍යාත්මික ප්‍රීතිය අනාවරණය කරයි. [යෙසායා 35 : 10 අනාවැකිය ලූක් 19 : 37 - 38 තුළින් ඉටු වීම පෙන්වයි.] 
ආගමන කාලයේ දල්වන ඉටි පහන්

සිව්වන ඉටි පහන -
සාමයේ ඉටි පහන - [The Candle of Peace]  
දම් පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේ මිනිස් ශිෂ්ටාචාරය තුළ මිනිසත්බව ගැනීම මගින් ලෝකයටත්, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් හිමි වන සාමය හා සංහිඳියාව අපට අනාවරණය කරයි. [යෙසායා 9 : 6 - 7 අනාවැකිය ලූක් 1 : 78b - 79 මගින් ඉටු වී බව පෙන්වයි.]  

පස්වන ඉටි පහන -
ක්‍රිස්තු ඉටි පහන හෙවත් නත්තල් ඉටි පහන - [The Christ Candle or Christmas Candle]  
ආගමන ඉටි පහන් කළඹේ හරි මැද පිහිටි සුදු පැහැති මෙම ඉටි පහන දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ ආරම්භයත් සමගම දල්වන්නකි. මෙය මිනිස් පාප නසාලීමට හා අපව ගළවා ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙකු ලෙසින් බෙත්ලෙහෙමේ උපත ලැබීම අනාවරණය කරයි. එය පළමු ඉටි පහනින් අනාවරණය කළ දිවැසිවැකි හා ජනතාවගේ මෙසියානික බලාපොරොත්තු සම්පූර්ණත්වයට පත් කිරීමකි. එසේම එය යුගාන්තයේ දී ජේසුස් ස්වාමින් වහන්සේ මහිමාන්විතව හා ජයාන්විතව නැවත මෙලොවට වැඩම කර, දේව රාජ්‍යය පරිපූර්ණත්වයට පත් කිරීමත් අනාවරණය කරයි. [යෙසායා 9 : 2 - 7 අනාවැකිය ලූක් 2 : 11 න් ඉටු වූ බව පෙන්වයි.]

ආගමන කාලයේ කිතුනු චාරිත්‍ර 
ආගමන කාලයත් සමග බැඳුනු කිතුනු චාරිත්‍ර හා වත් පිළිවෙත් බොහෝ තිබේ. මින් සමහර ඒවා රටින් රට ට වෙනස් වේ. ඒසේම ඇතැම් රටවල් වලට ආවේනික චාරිත්‍ර ද වෙති. පොදුවේ ගත් කල සෑම රටක ම වාගේ කතෝලිකයන් අතර පවතින ආගමන සමයේ කිතුනු චාරිත්‍ර කිහිපයක් පහතින් දැක්වේ. 
දොරක එල්ලන ලද ආගමන සැරසිල්ලක්
  • බොහෝ කතෝලික නිවෙස් වල උළුවහු, ‍දොර, ‍ජනේල, බිත්ති සිවිලිම සදා හරිත වර්ණ මල් කළඹ, ඉටි පහන් යනාදිය වලින් අලංකාර ලෙස සැරසිළි කිරීම කරති. මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කතෝලික ජනගහණය වැඩි වශයෙන් සිටින රටවල ය. ශ්‍රී ලංකාවේ කොළඹ හා ඒ අවට නාගරික පරිසරය තුළ කතෝලික නිවෙස් වල මෙම සදා හරිත වර්ණ මල් කළඹ දැකිය හැකිය. මෙහි අර්ථය ඉදිරියේ දී උදාවන නත්තල හෙවත් ක්‍රිස්තු උත්පත්තිය මගින් එම නිවසට, එහි සාමාජිකයන්ට හා ප්‍රදේශයට ‍ක්‍රිස්තු සෞභාග්‍යය හා දිව්‍ය වරප්‍රසාද හිමි වීම ය. (එහෙත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මෙය කරන්නේ එහි සැබෑ අර්ථය හඳුනා නොගෙන හුදෙක් ගෘහස්ත අලංකාරය පදනම් කර ගෙන ය.)
කෑම මේසය මත තබන ආගමන සැරසිල්ලක්
  • ආගමන ඉටි පහන් කළඹ සකස් කර මලින් හා සදාහරිත තුරු වැල් වලින් සරසා කෑම මේසය මත තැබීම ද කරති. මෙම චාරිත්‍රය විදේශික කතෝලික පවුල් වල දැකිය හැකි නමුත්, ශ්‍රී ලාංකිකයන් අතර දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහි අර්ථය පෙර කී පරිදි ජේසුස් වහන්සේව පිළිගැනීමට මනස්සථාපනයෙන් හා යාච්ඤාවෙන් සූදානම් විය යුතු බව පසක් කර දීමය.
  • පෙර සඳහන් කළ එම ආගමන ඉටි පහන් කළඹ ආහාර ගැනීමට පෙර දල්වා දේව වචනයෙන් කොටසක් කියවා, යාච්ඤා කර ආහාර පාන බෙදා ගෙන අනුභව කිරීමේ චාරිත්‍රය ද බොහෝ කතෝලික රටවල දැකිය හැකි දෙයකි.
නිවසක එල්ලන ආගමන කාලයේ ජනවන්දනා ලිත
  • ආගමනයේ ජනවන්දනා ලිතක් [Advent Liturgical Calender] සාදා, නිවෙසේ හොඳින් පෙනෙන තැනක (බොහෝ විට අලංකාර ජනේලයක හෝ දොරක) එල්ලා තැබීම කරයි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 25 දින දක්වා එහි දින එම ලිතේ සළකුණු කර, ගළවා දැමිය හැකි ආකාරයේ කොළ කැබැලි වලින් එම දින වසා තබයි. දිනෙන් දින ඒය විවෘත කර එම දිනය මත සඳහන් කර තිබෙන බයිබල් පාඨයක් හෝ යාච්ඤා වගන්තියක් කියවීම කරයි. කුඩා දරුවන් තුළ මේ සඳහා උනන්දුවක් ඇති කිරීමට කුඩා රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ඊට සවි කර තබයි. මෙහි අර්ථය නම් නත්තල සඳහා යැදුමෙන් හා දේව වචනයෙන් සූදානම් කරවීම හා කිතු උපතට ඇති දින සංඛ්‍යාව මතක් කර දීමය. ඉතා අගය කළ යුතු වටිනාකමකින් යුත් මෙම චාරිත්‍රය ශ්‍රී ලාංකේය කතෝලිකයන් අතර බොහෝ දුරට දක්නට නැත. 
  • සෑම කතෝලික දෙව්මැදුරක ම වාගේ ආගමන කාලයේ දිව්‍ය පූජාව ආරම්භයේ දී "වඩිනු දෙව්මැසීයා" [O Come Divine Messiah] ගීතිකාව ගායන කරයි. මෙය ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහිපත් කරමින් අපගේ හදවත් තුළට වැඩම කිරීමට ඔවුන් වහන්සේට කරන සාදර ගෞරවාන්විත ඇරයුමකි. මෙය ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූවකි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 24 වෙනි දින දක්වා කාලය තුළ මෙම ගීතිකාව ගායනය කෙරේ. ලතින් භාෂාවෙන් ලියැවී ඇති මෙය විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. මෙහි මූලික අර්ථය වනුයේ ‍ගැළවුම්කාර මෙසියස් තුමාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටින දේව ජනතාව ඔවුන් වහන්සේට අප අතරට වැඩම කිරීමට කරන ගෞරවාන්විත ආරාධනාවකි.      
 ආගමන කාලයේ අරුත
කතෝලික ජනවන්දනා වසර පිළිබඳ නිළ උපදෙස් මාලාව මෙය හඳුන්වා ඇත්තේ ශ්‍රද්ධාවේ හා ආනන්දයේ (ප්‍රීතියේ) අපේක්ෂාවක කාල පරිච්ඡේදයක් ලෙස ය. එබැවින් "ආගමන කාලය" මනස්ස්ථාපනය තුළින් මහිමාන්විතව වඩින විමුක්තිදායකයාණන්ව පිළිගැනීමට යොමු වන, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් ඔවුන් වහන්සේ සමග ගොඩනැගෙන ඇතුළාන්ත සාමයේ සවුයේ හා ප්‍රීතියේ සංහිඳයාව ලබන කාලයකි. මෙකී පරමාර්ථය අත්කර ගැනීමට ආගමන කාලය ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදා ඇත.
  1. ආගමන කාලය පටන් ගන්නා දින සිට දෙසැම්බර් 16 දක්වා කාලය - මෙහිදී ජේසුස් වහන්සේගේ ‍මහිමාන්විත දෙවන ආගමනය පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම,
  2. දෙසැම්බර් 17 දින සිට දෙසැම්බර් 24 වන දින දක්වා කාලය - මෙහිදී ජේසුස් වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙසින් කළ පළමු ආගමනය ගරුගාම්භීරව ආවර්ජනය කිරීම,
සඳහා අවධානය යොමු කෙරේ. එබැවින් ආගමන කාලය දෙවියන් වහන්සේ ගැළවීමේ ඉතිහාසයට බැස කළ මහා බැහැපත්කමේ දේව අනාවරණය ලොවට ප්‍රකාශ කිරීමක් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය අප අතරට සම්ප්‍රාප්ත වීම පිළිබඳව සාක්ෂි දැරීමකි. ජේසුස් වහන්සේ බැහැපත්කමින් හා ස්වකීය පියාණන් වහන්සේට වූ අවනතභාවය තුළින් දුන් මහා ආදර්ශය අනුව අපගේ ජීවිත ද සමාජය තුළ බැහැපත්කමේ හා සේවයේ ක්‍රියාවලියකට යොමු කර වන කාලයකි. 





වැඩිදුර සටහන්
[1]1 තෙසලෝනි 2 : 19/ 2 තෙසලෝනි 2 : 2
[2] මෙය ක්‍රිස්තුස් වහන්සේගේ අනාවැකියක් ඉටු වීමකි. - ලූක් 21 : 5 - 6, 20, 23 - 24
[3] එම බව්තීස්ම ස්නාපන සූදානම් වීමේ පිළිවෙතේ ප්‍රධානම ආධ්‍යාත්මික ක්‍රියාව වූයේ (තම ශරීරයට දුක් වේදනා පමුණුවා ගැනීම, ආශාවන් මර්ධනය කර ගැනීම, මාංශ භක්ෂණය හා ප්‍රණීත ආහාරයෙන් ඈත්වීම, ප්‍රීති සාද වලින් වැළකී සිටීම වැනි) පශ්චාත්තාපික ක්‍රියාවන් කිරීම, නිරාහාරශීලය රැකීම හා තම පාප වලට මනස්ස්ථාපනය වීමය. 
[4] මතෙව් 24 : 3 - 14, 29 - 31/ ලූක් 21 : 12 - 18, 25 - 28, 34 - 36
[5] විශේෂයෙන් අයර්ලන්ත ජාතික සාන්ත කොලුම්බානුස් මුනිතුමා ප්‍රංශයට පැමිණ කතෝලික ජනවන්දනා පිළිවෙත් වලට නවෝදයක් ලබා දෙමින් ආගමන සමයේ මූලික පරමාර්ථය, "ජේසුස් වහන්සේගේ දෙවනවර වැඩම කිරීමට ආධ්‍යාත්මිකව සූදානම් වීම" බව පෙන්වා දුන්නේ ය. එනිසා මෙම කාලය විනෝදය නොව පාපී ජීවිත මනස්ස්ථාපනයෙන් වෙනස් කර ගෙන මහා ජීවිත පරිවර්තනයකට යොමු විය යුතු සමයක් බව අවධාරණය කළේ ය. [saint columbanus - Click Here]

[6] නූතනයේ ආගමන කාලයේ දී මහිම ප්‍රශංසා ගීය ගායනා නො කරන්නේ දැඩි මනස්ස්ථාපනය සංඛේතවත් කිරීමට නොව, නත්තල් පූර්ව රාත්‍රී - (දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී) - දිව්‍ය පූජා මෙහෙයේ දී  ඉතා ගරුගාම්භීරව හා ජයෝත්සවයෙන් ගායනා කිරීමට අවස්ථාව සලස්වනු සඳහා ය.
[7] කතෝලිකයන් ඒකරාශී වී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට කරන වන්දනා නමස්කාරය ජනවන්දනාව යන නමින් හඳුන්වයි. සාමාන්‍යයෙන් ජනවන්දනාව පවත්වන පිළිවෙත වර්ෂ තුනකට බෙදා ඇත. එය පිළිවෙලින්,
  • ජනවන්දනා පළමු වසර
  • ජනවන්දනා දෙවන වසර
  • ජනවන්දනා තෙවන වසර
යනුවෙන් නම් කෙරේ. මෙම ජනවන්දනා තෙවර්ෂ අනුපිළිවෙල හා ක්‍රමවේදය ජනවන්දනා චක්‍රය යන නමින් හඳුන්වයි. එයට හේතුව මෙම තෙවර්ෂ කරත්ත රෝදයක් මෙන් චක්‍රාකාරව නොකඩවා  යොදා ගැනීමය. සියලු මංගල්‍ය, කාල වකවානු, කතෝලික ආගමික උත්සව හා පිළිවෙත් සියල්ල මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අයත් වෙති. එසේම, දිනපතා පවත්වන දිව්‍ය පූජා වල දී උච්චාරණය කරන යැදුම්, කියවීම් සඳහා යොදා ගන්නා බයිබලීය කොටස්, මෙනෙහි කිරීමේ ගීතිකා කොටස් පමණක් නොව, ඒ ඒ දිනයේ දී සිහිපත් කරන මංගල්‍ය කුමක්ද? අල්තාරය සැරසීමට හා පූජාප්‍රසාදි තුමා භාවිත කළ යුතු පූජා ඇඳුම් වල වර්ණය යනාදිය පවා මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අනුව සකස් කර ඇත. එබැවින් මුළු ලෝකයේම කතෝලික සභාව භාෂාව කුමක් වුව ද  මෙම එකම ජනවන්දනා පිළිවෙත භාවිත කරයි. එනිසා මෙය කතෝලික සභාවේ සුලක්ෂණයක් වන ඒකත්වය යන්න අපට පසක් කර දෙයි.
[8] "ඔබ ලෝකයේ ආලෝකය ය......ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි බබළවන්න" - මතෙව් 5 : 14, 16
"යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවා ගතිමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, නුඹ සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කළෙමි" - යෙසායා 42 : 6

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith