Home » » ගොබ් ඉරු දින සම්ප්‍රදාය

ගොබ් ඉරු දින සම්ප්‍රදාය

ගොබ් ඉරු දිනය වනාහී, ශුද්ධ වූ සතිය (Holy Week) ආරම්භ කරන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට(1) සම්බන්ධ වීමට අපව යොමු කරවන චතාරික කාලයේ අවසන් ඉරු දිනයයි. මේ අනුව ශුද්ධ වූ සතිය ආරම්භ වන චතාරිකයේ 6 වන ඉරු දිනය ගොබ් ඉරු දිනය වේ. එය "දුඛෝත්සව ඉරු දින" (Passion Sunday) (2) නමින් ද, ඇතැම් රටවල ‍(ජේසුස් වහන්සේව ජෙරුසලම් නුවරට "හෝසන්නා" කියමින් පිළිගත් නිසා) "හෝසන්නා ඉරු දින" (Hosanna Sunday) යන නමින් ද හඳුන්වයි. මෙය ක්‍රිස්තු වර්ෂ 1513 දී මෙක්සිකෝ මුහුදු බොකු අර්ධද්වීපයේ "ෆ්ලොරිඩා ඉරුදින" (Florida Sunday) යන නමින් ද හඳුන්වා ඇත.  

ගොබ් ඉරු දින සිදුවන වත් පිළිවෙත් හා සාම්ප්‍රදායික කිතුනු ආගමික ක්‍රියාවන් අතර, 
  • පූජාප්‍රසාදිතුමා විසින් ගොබ් කොළ ආසිරි ගැන්වීම 
  • ආසිරි ගැන්වූ ගොබ් කොළ රැගෙන බැතිමතුන් පූජාප්‍රසාදීතුමා හා සමග ගීතිකා ගයමින් දේවස්ථානය වටා පෙරහරින් ගමන් කිරීම 
  • ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය රැගත් දීර්ඝ සුභාරංචිය සංවාද - දෙබස් ආකාරයෙන් ප්‍රකාශ කිරීම 
  • කිතුනුවන් ආසිරි ගැන්වුණු ගොබ් කොළ මගින් කුරුස සාදා ඒවා තම නිවසේ විවිධ ස්ථාන වල සවි කිරීම
යනාදිය කැපී පෙනෙයි. ගොබ් ඉරු දිනය තුළ මෙම ගොබ් අතු (ඇතැම් රටවල ෆාම් අතු හෝ ඔලිව් අතු) රැගෙන පෙරහැරකින් වීදි සංචාරය කිරීම ඇරඹුණේ ජෙරුසලමට වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අනුගමනය කළ චාරිත්‍රයක් නිසාවෙනි. පසුව එය කතෝලික සභාවේ පිළිවෙතක් බවට පත් විය. පසුව එම ආසිරි ගැන්වූ ගොබ් කොළයෙන් කුරුස ලාංඡනයක් සාදා නිවසේ සුදුසු ස්ථානයක සවි කෙරේ.(3)
 
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී ඒජීරියා (Egeria) නමැති ප්‍රදේශයේ බැතිමතුන් ගොබ් ඉරු දින ජෙරුසලම් දෙව්මැදුරට පෙරහැරකින් ගමන් කිරීමේ චාරිත්‍රයක් පැවතී ඇත. ක්‍රිසතු වර්ෂ 8 වන සියවසේ දී භාවිත වූ "ගැලිකන් ජූජා පොතේ" (Gallican Bobbio Missal) ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීය විජයග්‍රහණය සංකේතවත් කිරීම පිණිස ගොබ් අතු ආසිරි ගැන්වීමේ පිළිවෙතක් ඇතුළත් ව තිබී ඇත. 
  
මධ්‍යතන යුගය වන විට යුරෝපයේ පැවති ගොබ් ඉරු දින පිළිවෙතකට අනුව, ගොබ් ආසිරි ගැන්වූ වහාම නගරය වටා යන පෙරහැරේ ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන පිණිස ශුද්ධ වූ සුභාරංචි පොත් ඉතා ගරු ගාම්භීරව රැගෙන ගොස් ඇත. පෙරහැරේ එක් වන්දනා ස්ථානයක දී නැවතී තේවාචාර්යවරයෙකු (Deacon) එම සුභාරංචි ග්‍රන්ථය පෙරලා ජේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් ජෙරුසලමට ඇතුළුවීමේ සිද්ධිය කියවා එහි කොටස් ගායනය කරයි. මෙය සිදු කරන්නේ කුරුස ප්‍රතිමාවක් ඉදිරිපිටය. රෙදි කඩකින් ඔතා ඇති එම කුරුස ප්‍රතිමාවේ එකී රෙදි කඩ විවර කර, සියලු පැවිදි හා පූජකවරුන් පැමිණ එය සිපාචාර කර, එම කුරුසිය පාමුල ඔවුන් රැගෙන ආ ෆාම් අතු රිකිල්ලක් තබා වන්දනා කරති. නැවත එම පෙරහැර දේවස්ථානයට ළඟාවන තුරු එම කුරුස ප්‍රතිමාව විවෘතව තබයි.(4)
   
වර්තමානයේ ජෙරුසලමේ සිටි ප්‍රැන්සිස්කාන පැවිදි පූජකවරුන් සියලු දෙනා උදෑසන දී ජේසුස් වහන්සෙ කොටළු නාම්බාව සොයා ගත් බෙත්පාගය නමැති ප්‍රදේශයට රැස්වී, කොටළු නාම්බෙකු මත පූජා වස්ත්‍රයක් (Pontifical Robe) අතුරා ජෙරුසලමේ සිටින සියලු කතෝලික බැතිමතුන් සමග ෆාම් අතු රැගෙන ජෙරුසලමට ඇතුළු වී, ජේසුස් වහන්සේගේ සොහොන් ගෙය රැගත් දේවස්ථානයට (The Church of the Holy Sepulcher) පෙරහැරකින් පැමිණ දිව්‍ය පූජාව සිදු කරයි. එම දේවස්ථානයට ළඟාවන විට එහි ප්‍රධාන දොරටුව වසා තිබෙන අතර, පෙරහැර දොර ඉදිරිපිට නතර වී බැතිමතුන් ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගායනය කරයි. ඒ අතරතුර තේවාචාර්යවරයෙකු කුරුසියක් රැගෙන වසා ඇති ප්‍රධාන දොරටුව වෙත ගොස් එයට පහර දී දොර විවෘත කිරීමෙන් පසුව නැවත පෙරහැර ප්‍රශංසා ගීත ගයමින් දේවස්ථානය තුළට පැමිණේ. දේවස්ථානයේ ප්‍රධාන දොරටුව වසා තැබීමෙන් අපේ ආදි මව්පියන්ගේ පාපය නිසා ස්වර්ගයේ දොරටු වැසී ගිය බවත්, ක්‍රිස්තුස් වහන්සේ සිය කුරුසිය මගින් ස්වර්ගයේ දොරටුව විවෘත කර අපට ගැළවීම හා සදාතන ජීවනය ලබා දුන් බවත් සංඛේතාත්මකව සිහිකර ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම මේ පිළිවෙත මගින් සිදුවේ.

ගොබ් කොළ භාවිත කිරීම ශ්‍රී ලාංකේය කතෝලික අපට හඳුන්වා දුන්නේ පෘතුගීසි ධර්මදූතයන් විදේශ රටවල භාවිත වන ෆාම් අතු වෙනුවට විකල්පයක් වශයෙනි. ආසිරි ගන්වන ගොබ් කොළයෙන් කුරුස ලාංඡනය සකස් කර ඒවා අපගේ නිවෙස් වල සවි කිරීමේ චාරිත්‍රය අපට ඉගැන්වූයේ ලන්දේසි පීඩන සමයේ (ක්‍රි.ව. 1705) මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් (ක්‍රි.ව. 1676 - 1741) පියතුමා ය. මේ මගින් කිතුනු අපගේ ගැළවීමේ සළකුණ වන ශුද්ධ වූ කුරුසියට ගරු බුහුමන් දැක්වීමත්, මැවිල්ලේ දායාදයක් වන ගොබ් කොළයට දේවධාර්මික වටිනාකමක් ලබා දීමත් සිදු කිරීමකි.(5)
  
වියලී ගිය (පසුගිය වසරේ) ගොබ් කුරුසිය පුළුස්සා (අළු බදාදා) හිස මත එම අළු තවරා ගත් කතෝලික අපට ආසිරි ගැන්වූ නව ගොබ් කොළය මගින් චතාරික කාලය දින කිහිපයකින් අවසන් වන බවත්, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස ගරුගාම්භීරව සැමරීමට විය යුතු සූදානමත්, එමගින් අපට ලැබෙන ගැළවීම හා නව ජීවනයත් සංඛේතාත්මකව මතක් කර දෙයි. ගොබ් කොළයෙන් සාදන කුරුසියෙන් අපට පෙන්නුම් කරන්නේ, කුරුසිය මගින් අපට හිමිවන ගැළවීම හා නව ජීවනයයි.    


------ ----------------------------------෴
(1) ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස යනු, ඔවුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානයයි.
(2) Passion යන වචනය ලතින් භාෂාවෙන් බිඳී එන "දුක්විඳීම" හා "ඉවසීම" යන අරුත් දෙන වචනයකි. 
(3) ප්‍රංශයේ හා ඉතාලියේ මේ සඳහා යොදා ගන්නේ ෆාම් හෝ ඔලිව් අතුය. ඔවුන් එම ෆාම් හෝ ඔලිව් අතු රිකිල්ල මහා විනාශකාරී ස්වභාවික විපත් හා අනතුරු වලින් ඔවුන්ව ආරක්ෂා කරන ලෙස ඉල්ලා සාන්ත බාබරා තුමියට භාර හාර ද වෙති. 
(3) මෙම පිළිවෙත 11 වන සියවසේ දී එංගලන්තයේ හා නෝමැන්ඩි හි ද දක්නට ලැබී ඇත. 
(4) ආසිරි ගැන්වූ ගොබ් කොළයෙන් සාදන කුරුස ලාංඡනය නිවෙස් වල සවි කරන කතෝලිකයා, ඊළඟ වසරේ අළු බදාදා දින දී එය ‍තම දේවස්ථානයට රැගෙන ගොස් බාර දෙයි. එම පැරණි ගොබ් කුරුස පුළුස්සා එම අළු ආසිරි ගන්වා අළු බදාදා දින බැතිමතුන්ගේ නළල මත කුරුසියේ ලකුණින් ආලේප කෙරේ.  
Share this article :

4 comments:

  1. කතෝලික ධර්මයේ ගැඹුරු වත් පිළිවෙත් හා පුරාන සම්ප්‍රදායන් ඉතා හොදින් පැහැදිලි කර ගැනීමට මෙම බ්ලොග් අඩවිය උපකාර විය....... මෙම කාර්්‍යය ඉදිරියට කරගෙන යාමට ඔබට දෙව් ආසිරි පතමි. ජේසු පිහිටයි !

    ReplyDelete
  2. ස්තුතියි, ඔබගේ වැදගත් තොරතුරු වලට!

    ReplyDelete
  3. ධර්මෝපදේශකයා බ්ලොග් අඩවිය වෙත පැමිණි Jana සහ Prashan Fernando ඔබ දෙපළට බොහෝ ස්තුති! මෙහි දැක්වෙන කතෝලික ධර්මය හා සම්බන්ධ කරුණු වලින් ඔබට යහපතක් සිදු වූවා නම් එයයි මගේ පැතුම. ඔබගේ ආසිරි සුභපැතුම් වලට නැවත තුති! ඔබ දෙපළට යහපතක්ම වේවා!
    ස්තුතියි! ජේසු පිහිටයි!

    ReplyDelete
  4. ධර්මෝපදේශකයා බ්ලොග් අඩවියට පැමිණ එහි ලිපි අධ්‍යයනය කළ Jana ඔබට බොහෝ ස්තුතියි! මෙහි පළ වන ලිපි වලින් ඔබට යහපතක් ම වේවා යන්න මගේ පැතුමයි. මෙම කාර්යය ඉදිරියට කර ගෙන යාමට ඔබ දුන් ආශිර්වාදයට බොහෝ පින්!
    ඔබට ජය! ජේසු පිහිටයි!

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith