Home » » ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 1

ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 1


හැඳින්වීම-

මරණ මංඤ්චකයේ දී යමෙකු ප්‍රකාශ කරන වචන අවංකව ම ඔහුගේ හද පත්ලෙන් නැගෙන හැඟීම ය. ජේසුස් වහන්සේ ද තුන් පැයකට වඩා වැඩි කාලයක් කුරුසියේ එල්ලී සිට වරින් වර ප්‍රකාශ කළ වචන කිහිපය සුභාරංචි පොත් සතර තුළ විසිරී ඇත. සෑම වසරකම මහ සිකුරාදා කතෝලික දේවස්ථාන වල පැවැත්වෙන තුන් පැය ධ්‍යානය නමැති පිළිවෙතේ දී ජේසුස් වහන්සේ ප්‍රකාශ කළ වාක්‍ය සත භාවනා කරයි. මෙම බ්ලොග් ලිපි මාලාවෙන් ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ එම වාක්‍ය සත පිළිබඳ විමර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.

පියාණෙනි, ඔවුනට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති. [ලූක් 23 : 34]

රෝම නීතියට අනුව රෝමානු අධිරාජ්‍යයට යටත් ප්‍රදේශ වල සිටි විදේශික අපරාධකරුවන්ට දුන් ප්‍රධාන මරණීය දණ්ඩනය වූයේ කුරුසපත් කිරීමය. සාමාන්‍යයෙන් අපරාධකරුවන්ව කුරුසපත් කරන්නේ නිර්වස්ත්‍රව ප්‍රසිද්ධ ස්ථානයක ය. එය ජෙරුසලමෙන් පිටත ජනාකීර්ණ මාර්ගයක් අසල පිහිටා තිබී ඇත. මෙවැනි ප්‍රසිද්ධ මරණ දඬුවම් එක් අතකින් රෝමානු අධිරාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කළ කැරළි නායකයන්ට හා සොරුන්ට කළ මරණීය තර්ජනයක් හා බියගැන්වීමකි. තවත් අතකින් රෝමානු බලය ප්‍රකාශ කිරීමකි. 


Add caption
කුරුසපත් වන අපරාධකරුවන් බොහෝ දෙන තමා දෙස බලා සිටින්නන්ගේ‍් හා රෝම සෙබලුන්ගේ නින්දාවන්ට ලක් වේ. එවැනි අවස්ථා වල දී ඔවුනට විරුද්ධව දෝෂාරෝපණය කරමින්, අපහාස කරමින්, නොයෙක් පරුෂ වචන වලින් බැණ වැදීම ස්වභාවික ය. එහෙත් ජේසුස් වහන්සේ ඉගැන්වූ ආකාරය අනුව, (....ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.... - ලූක් 6 : 27 – 28), තම වධකයන්ට සමාව දුන් සේක. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ සේක. එය ජේසුස් වහන්සේට දෙවි පියාණන් වහන්සේගෙන් බාර වූ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගළවා ගැනීමේ හා පව් කමා කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. 


කුරුසපත් වූවන්ට හිමිවන ශාරීරික පීඩාවන් සේම දැඩි මානසික හා චිත්ත පීඩාව අති මහත් ය. මන්ද, විඳ දරා ගැනීමට තරම් අපහසු නින්දා සහගත ලැජ්ජාව ය. ‘‘මග යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්,‘හාහා! දේව මාළිගාව වනසා දමා තෙදිනකින් එය ගොඩනගන ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැකී හ. එලෙසම නායක පූජකවරු විනයධරයන් සමග තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, ‘මොහු අනුන් ගැළවීය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය. අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ යි කී හ. [මාර්ක් 15 : 29 - 32 ] “මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට ප්‍රිය මනාප සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමියි මොහු කීවේ යයි කී හ.” [මතෙව් 27 : 43] “මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා, ‘ඔබ ජුදයන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්නකියා සරදම් කළහ.” [ලූක් 23 : 36 - 37]  යනුවෙන් සමදර්ශක සුභාරංචි කතුවරුන් සඳහන් කර ඇත. මෙය වනාහී පුරාණ ගිවිසුමේ සඳහන් ජේසුස් වහන්සේ සම්බන්ධ දිවැසි වැකියක් සම්පූර්ණත්වයට පත් වීමකි. {“සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: ‘සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද? - ගීතාවලිය 22 : 7 - 8} එහෙත් ජේසුස් වහන්සේ එම සියලු නින්දා අපහාස ඉවසා දරා ගනිමින් එම සතුරුකම් කළ සියලු දෙනාට මෛත්‍රිය හා කරුණාව පෙන්වමින්, පියාණෙනි, ඔවුනට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති. යි [ලූක් 23 : 34] කියමින් සමාව දුන් සේක. 

අපට ලැබෙන කිතුනු පණිවුඩය

තම පීඩකයන් වෙනුවෙන් දෙවිඳුන් යැදීම සාමාන්‍ය මානුෂික ක්‍රියාවක් නොවේ. මෙවැනි උත්තරීතර ක්‍රියාවක් කිරීමට හැකියාව ඇත්තේ මනුෂ්‍යත්වය හා ලෞකිකත්වය ඉක්මවා ගිය උදාර දිව්‍ය පුත්‍රයෙකුට පමණි. ජේසුස් වහන්සේට මෙවැනි මෛත්‍රී සිතක් ඇතිකර ගැනීමට හැකිවූයේ ඔවුන් වහන්සේ මනුෂ්‍යාකාරයෙන් සිටිය දී දෙවියන් වහන්සේ සමග තිබූ ගැඹුරු සබැඳියාව නිසා ය. 
කිතුනු අප ද ජේසුස් වහන්සේගේ ආදර්ශය අනුව යමින් වෛරය, ක්‍රෝධය, පලිගැනීම යනාදී අවගුණ ඉවතලා ප්‍රේමය, මෛත්‍රිය හා සමාදීම වැනි ධර්මගුණ අප තුළ රෝපණය කර ගත යුතු ය. අපට සතුරුකම් කර අය උදෙසා දේව කරුණාව යැදිය යුතුය. අපට පීඩා කරන්නන්ට සමාව දීමේ ප්‍රේමයේ සිතක් අප තුළ මවා, සතුරන්ට පවා ප්‍රේම කිරීමට අප තුළ පෙළඹවීමක් ඇති කිරීමට ජේසුස් වහන්සේට ඉඩ දිය යුතු ය.   

 


Share this article :

1 comment:

  1. THANK U SIR
    MAY GOD BLESS U!

    AVISHKA SENEWIRATNE

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith