Home » » රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය

රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය

කිතුනු ආගමික ඉගැන්වීම් නාට්‍ය රංගනය මගින් මිනිස් මනසට කා වැද්දවීම සඳහා වේදිකාව මත රඟ දැක්වීම ශ්‍රී ලංකාවට පැමිණියේ 16 වන සියවසේ පෘතුගීසි ධර්මදූත පූජකවරුන්ගේ පැමිණීමත් සමගය. විශේෂයෙන් ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා යොදා ගත් එක් ඉගැන්වීම් ක්‍රමවේදයක් වූයේ නාට්‍ය රඟ දැක්වීමය.  "අල්ලා ගත් රටවල මිනිසුන්ගේ ආත්මය විනිවිද යාමට උචිත ආනුභාව සම්පන්න වූත්, මෘදු ගුණයෙන් සමන්විත වූත් ආයුධය වූයේ නාට්‍යය යි" යනුවෙන් ලුසියානා ස්ටේගාඤ්ඤෝ පිච්චියෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා පවසා ඇත.(1)
  
                                                                          ජේසුස් වහන්සේ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම
                                                                                           පහත රූපයෙන් පෙන්වයි
පෘතුගීසි ධර්මදූතයන් ශ්‍රී ලංකාවට ගෙන ආ නාට්‍ය සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකින් යුතු ය.
  • කිතුනු ආගමික පෙරහැර හා කිතුනු ආගමික උත්සව වල දී පෙන්වනු ලැබූ 'ජනවන්දනා නාට්‍ය' (මේවා අතර "පාස්කු නාට්‍ය" විශේෂයෙන් කැපී පෙනෙයි.)
  • කතෝලික ධර්මය ඉගැන්වීම අරමුණු කොට ගෙන රඟ දැක්වූ ධර්මෝපදේශ නාට්‍ය 
යනාදිය වෙති. මෙම නාට්‍ය අතරින් මෙම ලිපියට පදනම් කර ගන්නේ "පසං නාටක" හෙවත් "පාස්කු නාට්‍ය" පිළිබඳ විමසීමක් කිරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් Passion Play යන නමින් හඳුන්වන මෙම නාට්‍ය "පූජා කර්ම නාට්‍ය", "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නම් වලින් ද හඳුන්වයි. 13 වන කිතුනු සියවසේ සිට පෘතුගාලයේ පැවති මෙම "පාස්කු නාට්‍ය" යුරෝපයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්ප සම්ප්‍රදායක් බිහි කිරීමට සමත් වූවකි. අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා පෙන්වා දුන් අකාරයට මෙම නාට්‍ය වලට "පාස්කු" යන නම යෙදුණේ, පෘතුගීසි භාෂාවේ "පාස්සු" යන නම ඇසුරෙනි. "පාස්සු" යන වචනයේ අර්ථය "ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සුරුවම් නොහොත් ප්‍රතිමා මගින් පෙන්වීම" යන්නය.(2)

පාස්කු සංදර්ශනය සඳහා යොදා ගන්නා 
ජේසුස් වහන්සේගේ සුරුවමක ‍සේයා රුවක්
ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු සිද්ධිය (දුක්විඳීම, මරණය හා උත්ථානය) මහා ක්‍රිස්තියානි අභිරහසක් (A great Christian Mystery) හා ප්‍රාතිහාර්යක් බව මුල් කාල වල සිටම කිතුනු විශ්වාසය හා පිළිගැනීම විය. ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ එම පාස්කු සිද්ධිය දෘශ්‍ය කාව්‍ය ආකාරයෙන් පෙන්නුම් කර, කිතුනු බැතිමතුන්ගේ භක්ත්‍යාදරය හා විශ්වාසය තව තවත් වැඩි කිරීමත්, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අත්දැකීම කිතුනුවාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස ඔහුගේ ජීවිතය තුළට කා වැද්දවීමත්, එමගින් සැබෑ ජීවිත වෙනසක් ඇති කරවීමත් මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වීමේ අරමුණු විය. මෙම පාස්කු ජනවන්දනා නාට්‍ය ‍සෑම එකක්ම වාගේ ලියැවී ඇත්තේ, ශුද්ධ බයිබලය පදනම් ‍කොට ගෙනය. මන්ද, චතාරික කාලයේ ජනවන්දනාවට විශේෂයෙන් මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට කිතුනු බැතිමතුන්ව ගැඹුරින් යොමු කරවීමය. මේ නිසා ඇතැම් පාස්කු නාට්‍ය දීර්ඝ ඒවා විය. පසුකාලයේ දී මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" වන්දනා පිළිවෙතට සරිලන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය රඟ දැක්වීම පමණක් සිදු කර ඇත. අද බොහෝ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා දින ඉදිරිපත් කරන්නේ පාස්කු නාට්‍ය වලින් ගත් සංශෝධනය කළ කොටස් ය. 
                                                                      පාස්කු නාට්‍යයක අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම
පාස්කු නාට්‍ය මගින් කතෝලික ධර්මය ඉගැන්වීමට ක්‍රියා කළ ධර්මදූතයන් අතර ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් කැපී පෙනෙති. ඔවුන් අතරින් ජේසු නිකායිකයන් නාට්‍ය පෙන්වීම පිළිබඳ ප්‍රවීණයෝ වෙති. විදේශ රටවල ධර්ම ප්‍රචාරය සඳහා යාමට බලාපොරොත්තු වන සෑම ධර්මදූතයෙක් ම නාට්‍ය පුහුණුවක් ලැබීම ඔවුන්ගේ ආගමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් විය. මේ සඳහා පෘතුගාලයේ හා ඉතාලියේ නාට්‍ය පුහුණු පාසල් පිහිටුවා තිබුණි. පෘතුගාලයේ සිට ආසියානු රටවලට නැව් වලින් යාත්‍රා කිරීමේ දී පෙර පුහුණුවක් වශයෙනුත්, එහි මගීන්ගේ රසාස්වාදය පිණිසත් ජේසු නිකායික පූජකවරුන් නාට්‍ය රඟ දක්වා ඇති බව ඔවුන් පෘතුගාලයට යැවූ ලිපි වල සඳහන්ව ඇත. 
පාස්කු නාට්‍යයක ජේසුස් වහන්සේට වධ හිංසා පැමිණවීම
මෙම පාස්කු නාට්‍ය වලින් බොහෝමයක් දෙව්මැදුරු ආශ්‍රිතව රඟ දක්වා ඇත. ඇතැම් ඒවා "පැරිෂ් පාසල්"(3) වල රඟ දක්වා ඇත. ඇතැම් කතෝලික දෙව්මැදුරු අසල ස්ථිර රංගන වේදිකා ඉදි කර තිබූ බව ලන්දේසි පූජකවරයෙකු වූ පිලිප්පුස් බල්දේයුස් තුමා ඔහුගේ කෘතියේ සඳහන් කර ඇත.(4) 
ශ්‍රී ලංකාවේ මුල්කාලීන පාස්කු නාට්‍ය සම්පූර්ණයෙන් ම වාගේ රඟ දක්වා ඇත්තේ සුරුවම් ප්‍රතිමා හා රූකඩ භාවිතයෙනි. රූකඩ නාට්‍ය කලාවේ ආරම්භය පාස්කු නාට්‍ය යැයි කිව හැකි තරමට ම මේවා ඉපැරණිය. පාස්කු නාට්‍ය රඟ දැක්වීමට යොදා ගත් රූකඩ වර්ග තුනක් (3) දක්නට ලැබී ඇත. එනම්,

  • නූල් භාවිතයෙන් නටවන රූකඩ
  • කෝටු භාවිතයෙන් චලනය කරවන රූකඩ හා 
  • නූල් හා කෝටු භාවිතයෙන් රඟ දක්වන රූකඩ 
යනුවෙනි. මෙම නූල් රූකඩ ඇද ඇත්තේ (අම්බලන්ගොඩ රූකඩ මෙන්) වේදිකාවේ ඉහළ සිට නොව වේදිකාවේ යට පිහිටි සැඟවුණු කොටසක සිටය. ජීවමාන මිනිස් ශරීර ප්‍රමාණයෙන් යුක්ත මෙම රූකඩ අලංකාර ලෙස පල්ප වලින් සකසා ඇති අතර, පහළ කොටස රඟ දැක්වීමේ පහසුව සඳහා පිදුරු පිරවූ ගෝනි රෙදි වලින් නිම කර තිබී ඇත. පසුකාලීනව ජේසුස් වහන්සේ හා මරියතුමියගේ චරිත හැර අනෙක් චරිත ජීවමාන නළු නිළියන් විසින් රඟ දක්වා ඇත. මෙසේ සුරුවම් වලින් පණ ගැන්වුණු පාස්කු නාට්‍ය තුළට ජීවමාන නළු නිළියන් එක් වීමට බලපෑ හේතු කිහිපයක් ඇත. එනම්,

  • දිගු කාලයක් භාවිත කළ සුරුවම් අබලන්වීම නිසා ඒවා නිසි ලෙස රඟ දැක්වීමට යොදා ගැනීමේ අපහසුව ඇති වීම
  • මෙම සුරුවම් ක්‍රියා කළේ නූල් සූත්තර ක්‍රමයට නිසා ඒවා නිසි ලෙස හැසිරවීමට දන්නා දක්ෂ ශිල්පීන් ක්‍රමයෙන් අඩු වී යාම
  • මෙම සුරුවම් හා එමගින් ඉදිරිපත් කළ පාස්කු කථන්දරය දිගු කලක් පෙන්වීම නිසා ප්‍රේක්ෂකයන් ඒවා හොඳින් දනියි. එනිසා බලාපොරොත්තු වූ දේව පණිවුඩය එමගින් ලබා දීමට නොහැකි වීම
  • ජීවමාන නළු නිළියන් යොදා ගැනීමෙන් වසරින් වසර කථා පිටපත අළුත් කිරීමටත්, ජවනිකා වල නවතාවයක් ඇති කිරීමටත් හැකි බව පෙනී යාම
  • සුරුවම් භාවිතයෙන් කරන පාස්කු සංදර්ශන වලට වඩා ඉතා සාර්ථක අන්දමින් හා වඩාත් සිත් කාවදින සුළු ආකාරයට ජීවමාන නළු නිළියන් මගින් කළ හැකිවීම

යනාදිය දැක්විය හැකිය. නාට්‍යයට අවශ්‍ය පසුතලය හා ඇතැම් චරිත කොටස් නිරූපණය කර ඇත්තේ පසුබිමෙන් එල්ලා තිබූ චිත්‍ර වලිනි. නිදසුනක් ලෙස ජේසුස් වහන්සේ දෙපස ඇණ ගැසූ සොරුන් දෙදෙනා හා ඈතින් පෙනෙන ජෙරුසලම් නගරය සිතුවමකින් පෙන්වා ඇත. 
පාස්කු නාට්‍යයේ අරමුණ ජන වන්දනාවට බැතිමතුන්ව සූදානම් කිරීම හා ඊට භක්ත්‍යාදරයෙන් සහභාගි කරවීම නිසා පසුකාලීන පාස්කු නාට්‍යයේ ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබුණි.
  • ජීවමාන නළු නිළියන් යොදා ගෙන කරන ජවනිකා රඟ දැක්වීම
  • සුරුවම්-ප්‍රතිමා යොදා ගෙන කරන රඟ දැක්වීම

    මීගමුව දූවේ ඓතිහාසික පාස්කු සුරුවම
පාස්කු නාට්‍යයේ මුල් අවස්ථාවේ සිට පිලාත්ගේ නඩු තීන්දුවේ අවසානය දක්වා කොටස් වලට ජීවමාන නළු නිළියන් රංගන දායකත්වය දෙන අතර, ඉන් පසුව එහි දෙවන කොටස වන කල්වාරි ගමනේ සිට ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත්වීම දක්වා සුරුවම් - ප්‍රතිමා භාවිතයෙන් රඟ දැක්වෙන ජනවන්දනා කොටස ඇරඹේ. පාස්කු නාට්‍යයේ මෙම දෙවන කොටස එහි ප්‍රධානම හා වැදගත්ම කොටස වන අතර, එය ජනවන්දනා භක්ති අභ්‍යාසයක් ලෙසින් රඟ දැක්වෙන නිසා මෙම පාස්කු නාට්‍ය "පාස්කු ජනවන්දනා නාට්‍ය" යන නමින් ද හඳුන්වයි. එනිසා ජේසුස් වහන්සේ හා  මරියතුමිය යන චරිත සඳහා සුරුවම් උපයෝගී කර ගනියි. එහි අරමුණ ශ්‍රද්ධාව ඇති කිරීම හා මහ සිකුරාදා දින ජනවන්දනාවට ප්‍රවේශ වීමය. වර්තමානයේ කතෝලික දේවස්ථාන වල මහ සිකුරාදා "තුන් පැය ධ්‍යානය" මුල් කරගෙන ඉදිරිපත් කරන පාස්කු නාට්‍ය වල මෙම දෙකොටසම දැකිය හැකි නමුත්, කුරුසියේ ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ චරිතය හැර සෙසු චරිත සියල්ලම ජීවමාන නළු නිළියන් රඟ දක්වති. ජේසුස් වහන්සේගේ සුරුවම ජීවමාන මිනිස් සිරුරක ප්‍රමාණයෙන් යුක්තය. එය ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන සිහින් කඹ ආධාරයෙන් නූල් සූත්තර ක්‍රමයට ක්‍රියාත්මක කරයි. එම සුරුවමේ හිස, දෑස්, ‍දෙඅත් හා දෙපා එහා මෙහා චලනය කළ හැකි ආකාරයට වෙන වෙනම අවයව එකිනෙකට සම්බන්ධ කර ඇත.
                                                                                                                 වීදි සංචාරය කරන පාස්කු නාට්‍ය ජවනිකාවක්

මෙම පාස්කු නාට්‍ය වේදිකාවට පමණක් සීමා නොකොට එය ජීවමාන රංගන ක්‍රියාවලියක් බවට පත් කරමින්, ජේසුස් වහන්සේගේ කුරුස ගස බැතිමතුන් මාරුවෙන් මාරුවට කර තබා ගෙන යමින් එම ජනවන්දනා භක්ති අභ්‍යාසයට පූර්ණ දායකත්වය දෙමින් ජේසුස් වහන්සේගේ කුරුස ගමනේ අත්දැකීම විඳ ගනිති. එම පාස්කු පෙරහැරේ දී බැතිමතුන් කුරුසිය කර තබා ගෙන යන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නළුවාට එය ගෙන යාමට සහය වෙමින් සිරිනියේ සීමොන්, වෙරෝනිකා හා ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ චරිත වලට පණ පොවති. ඒ වටා හේවායන් මෙන් රඟපාන නළුවන් ද ගමන් කරති. අවසන් වශයෙන් කුරුසියේ ඇණ ගසූ ජේසුස් වහන්සේව නිරූපණය කරන්නේ සුරුවමය. පසුව කුරුසියෙන් බිමට බාන කුරුස පත් ජේසුස් වහන්සේගේ එම සුරුවම යහනක තබා ගෙන මළ බෙරය හඬවමින් පෙරහැරකින් දේවස්ථානය තුළ ගෙන එන අතර, එය සිපාචාර කිරීමට බැතිමතුන්ට අවස්ථාව සළසා දෙයි. මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා කුරුසියේ මරණය සුරුවම් භාවිතයෙන් හා රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරමින් එම ඓතිහාසික සිද්ධියට දුන් පණ පෙවීම නිසා පාස්කු නාට්‍ය ජීවමාන ස්වරූපයක් ගෙන ඇත. මහ සිකුරාදා දුක් ප්‍රාප්ති ජනවන්දනා මෙහෙයට සහභාගි වූ කතෝලිකයන් මෙම පාස්කු නාට්‍ය නරඹා කඳුළු සැලූ බව පැරණි වාර්තා වලින් පෙනී යයි. 

පසුකාලීනව පාස්කු නාට්‍ය වලට නව අර්ථ කථනයක් දීමටත්, එහි නාට්‍යමය ස්වරූපය වැඩි දියුණු කිරීමටත්, කතෝලික බැතිමතුන් තුළ භක්ත්‍යාදරය වැඩි දියුණු කිරීමටත් සහයක් වශයෙන් ගීතිකා හා කන්තාරු ඇතුළත් කෙරුණි. මෙම කන්තාරු ගීත ප්‍රධාන කොටස් දෙකකින් (2) යුතු විය. එනම්,
  • සාමූහික ගායනා - (උදාහරණ : සිරි මරණේ සාධුකාර ගීත ශ්‍රීය, බලනු බලනු සෙන‍ඟෙනි... වැනි ගී)
  • හුදෙකලා ගායනා - (වෙරෝනිකා ගයන "හඳපානේ පිපි වැටකෙයි මල සේ" ගීය)
යනුවෙනි. 
මෙම පාස්කු නාට්‍ය වලට මහත් කලඑළියක් හා නව පන්නරයක් ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා මගිනි. එතුමා පාස්කු නාට්‍ය කලාවට නවක අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් එතුමා එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පෙදෙස් වල සේවය කරද්දී එහි සිටි කාන්තාවන් මිය ගිය තම ස්වාමි-පුරුෂයාගේ දේහය ඉදිරියේ නැගූ විලාපය හා ලතෝනි හඬ තුළින් මතු වූ රිද්මය ඇසුරෙන් ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත "දේශනා නවයේ පසන් පොත" පාස්කු නාට්‍ය සමග සම්බන්ධ විය. 'ඔරතෝරියන් මිෂන් රිපෝට්' නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.
"ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමගින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස් වලින් ද, දෙදිනක හෝ තෙදිනක ගමනකින් බෝලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. ඔවුන් ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමතුන් දේශීයව සපයා හැකි පොල් අතු වලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, වෙැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, බෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වෙති. මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියළු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක්වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදි. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි ආර්යයාවෝ රවිකිඤ්ඤා වීනා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන්  සංගීතයට  ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරන ලදි. "(5)

මෙයින් පෙනී යන්නේ, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ "දේශනා නවයේ පසන් පොත" හා "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" කෘතිය පාස්කු නාට්‍ය වලට බලපෑ ආකාරයයි. පාස්කු නාට්‍ය රඟ දැක්වෙද් දී වේදිකාවේ කොණක සිටිගත් අර්ථ කථනය කරන්නකු මෙම සුරුවම් හා නාට්‍යයෙන් කියවෙන දේ පැහැදිළි කර බැතිමතුන්ට විස්තර කරයි. පාස්කු නාට්‍ය වල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ මෙම පුද්ගලයා තුළින් පසුකාලීන සිංහල නාට්‍ය වල "පොතේ ගුරාගේ චරිතය" බිහි විය.  

මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වුණු වේදිකාව භූමිකා තුනකින් එනම් ත්‍රිභාග වේදිකා වලින් යුක්ත විය. එමගින් එකම නාට්‍යයේ ජවනිකා අවස්ථා දෙකක් හෝ තුනක් එකවර රඟ දැක්වීමට හැකි විය. ප්‍රධාන ජවනිකාව මැද පිහිටි ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී දෙපස ඇති කුඩා වේදිකා වල වෙනත් ජවනිකා දෙකක් නිරූපණය විය. නිදසුනක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් සමග රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද් දී, පිලාත් සිය බිරිඳ ක්ලෝඩියාව හමුවීම කුඩා වේදිකාවක ඉදිරිපත් කෙරේ. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම ප්‍රධාන වේදිකාව මත රඟපාන අතර, ජුදාස් නායක පූජක කායාපස්ව හුමවීම අනෙක් පස රඟ දැක්වේ. එසේම මෙම පාස්කු වේදිකාවක ඉදිරිපස මුහුණත අඩි 25 ක් පමණ උස්වූ අතර, පිටිපස කොටස වියළි පොල් අතු වලින් ආවරණය කර ඇත. එම නිසා මෙම වේදිකා "පාස්කු මඩු" නම්වේ. එසේම වේදිකා භූමිය පොළොවේ සිට අඩි 6 ක් පමණ උස් විය. වේදිකාව යට කොටසේ සිට රූකඩ සුරුවම්-ප්‍රතිමා මෙහෙයවමින් එහා මෙහා ගෙන යමින් රඟ දක්වන නාට්‍ය ශිල්පීන්ව නොපෙනෙන පරිදි ආවරණය කර ඇත. එහෙත් ස්ථිර පාස්කු වේදකා දැකිය හැක්කේ පිටිපන පමණි. එය පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි 
කර ඇත. 

ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය කලාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ මුහුදුබඩ ප්‍රදේශ වලය. ධර්මදූතයන් අත පැවති මෙම පාස්කු මඩු හා සංදර්ශන වල නීත්‍යානුකූල භාරකාරත්වය හා අයිතිය පසුව එම ප්‍රදේශයේ සිටි පවුල් කිහිපයකට හෝ ප්‍රදේශවාසීන්ට හිමි විය. කෙසේ වුව ද මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ "කන්ද උඩරට පාස්කු නාට්‍ය" සම්ප්‍රදායක් දැකිය හැකිය. එහෙත් මෙරට වඩාත් ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය වන්නේ, පිටිපන, මීගමු දූව, බොරලැස්ස, යන ප්‍රදේශ වල රඟ දක්වන නාට්‍ය වෙති. මීට අමතරව මග්ගොන, දියලගොඩ, පයාගල, කලමුල්ල, වාද්දුව හා මොරටුව යන පෙදෙස් වල ද, හලාවත, බෝලවත්ත, කම්මල, නයිනමඩම, පුත්තලම යන ප්‍රදේශ වල ද, මඩකලපුව, මන්නාරම- පේසාල, යාපනයේ පේනඩට්රිප්පු, අරිප්පු, වත්කාල් හා සිලාවතුරෙයි යන පුදේශ වලද ද්‍රවිඩ පාස්කු නාට්‍ය රඟ දක්වා ඇත.

ශ්‍රී ලංකේය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා පාස්කු නාට්‍ය වලින් ලැබුණු සහය අප්‍රමාණය. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවක් බිහි කිරීමටත්, වර්ධනය වීමටත් පාස්කු නාට්‍ය වලින් විශාල දායකත්වයක් ලැබී ඇත. එහෙත් පාස්කු නාට්‍ය කලාව ක්‍රමයෙන් අප සමාජයෙන් වැළලී යන බවක් පෙනේ. එබැවින් මෙම ශ්‍රී ලාංකේය පාස්කු නාට්‍ය කලාව ගැන පර්යේෂණ පවත්වමින් එය රැක ගනිමින් ඒ තුළින් ඉස්මතු වන වටිනාකම් අනාගත පරපුර වෙත රැගෙන යාම කිතුනු අප සැමගේ යුතුකම නොවන්නේ ද?  


--------------------------------------------------------------------------------
(1) Luciana Stegagno Picchio, Historia do teatro Portuguese, Edicao Portugues, Lisboa, 1964, page 160 
(2) අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය, පිටුව 34
(3) "පැරිෂ් පාසල්" යනු, ‍කතෝලික දෙව්මැදුරු වලට යාබදව ඉදි කර තිබූ කතෝලික පාසල්ය. මේවා ඉංග්‍රීසි භාෂාවෙන් Parish Schools නම්වේ. මේවායේ කතෝලික ධර්මය, සංගීතය, ගණිතය, පෘතුගීසි හා ලතින් භාෂා, සාරධර්ම වැනි විෂයයන් පෘතුගීසි පූජකවරුන් විසින් උගන්වනු ලැබ ඇත. 
(4) "There are Stages attached to almost all their Churches there being a spacious for the Church of Telipole  (Tellippalai - Jaffna) built by Portugesche Padres, Jesuiten where some Spiritual dramas are wont to be represented to the people on their holy days." - Phillipus Baldaeus, A true and exact description of the great island of Ceylon, The Ceylon Historical Journal, Vol. VIII, July 1958 - April 1959, page 320 
(5) Rev. S.G. Perera, Orathorian Mission Report, 1957, page 16. ඉංග්‍රීසියෙන් සිංහලයට නැගීම ක්ලෙමන්ට් විසිනි.        
Share this article :

5 comments:

  1. පුලුවන්නම් වර්ඩ් වරිෆිකෙෂන් එක ඉවත් කරන්න

    ReplyDelete
  2. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් අපට කල හැක්කේ කුමක්ද ?

    ReplyDelete
  3. ධර්මෝපදේශකයා බ්ලොග් අඩවිය වෙත පැමිණ එය කියවීම ගැන ඔබට බොහෝ ස්තුති. ශ්‍රී ලාංකේය පාස්කු නාට්‍ය කලාව පිළිබඳව ඔබ දක්වන උනන්දුව බොහෝ අගය කොට සලකමි. දැනට ශ්‍රී ලංකාවේ මේ ක්ෂේත්‍රය පිළිබඳව විමර්ශනය හා අධ්‍යයනය කිරීම් ඉතාම අඩුයි. මහාචාර්ය එම්. ගුණතිලක මහතා, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, මහාචාර්ය ඇලෝයි පීරිස් පියතුමා හා විජිත් රොහාන් මහතා වැනි කිහිපදෙනෙකු මේ ගැන පොත පත පළ කර තිබෙනවා. දැනට හොඳ අධ්‍යයනයක් කර තිබෙන්නේ පිටිපන පාස්කු නාට්‍ය ගැන පමණයි. මේ පාස්කු නට්‍ය සම්බන්ධයෙන් අපට කළ හැකි කාර්යයන් අතර, මෙම නාට්‍ය පිළිබඳව හොඳ අධ්‍යයනයක් කිරීම, ඒවායේ පිටපත් සංරක්ෂණය කිරීමට කිසියම් පියවරයක් ගැනීම හා ඉතා හොඳම පහසුම දේ වන්නේ අපගේ කිතුනු මීසම් වල චතාරික කාලයේ දී හෝ මහ සිකුරාදා වැනි දින වල මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වීමට පියවර ගැනීමයි. එහෙත් අමතක නොකළ යුතුම වැදගත්ම කාරණය වන්නේ, මෙම පාස්කු නාට්‍යවල පිටපත් වලට (Original Copy) හානි නොවන පරිදි ඒවා රඟ දැක්වීමයි.
    ස්තුතියි! ඔබට ජේසු පිහිටයි!

    ReplyDelete
  4. දින කිහිපයකට කලින් මෙම ලිපිය දැක්කේ. ඒත් වැඩ නිසා මොකුත් ලියන්න බැරිවුනා. මෙම ලිපිය කියවන විට මට දැනුනේ මේක වෛද්‍ය ප්‍රභාත් ආලෝක නිර්මාණය කරපු ගොන්සාල්වේස් වේදිකා නාට්‍යයේ විවරණයක් කියල. ඒත් පස්සෙ දැන ගත්තෙ ඔබ තුමා ඒ ගැන දන්නේ නෑ කියල.

    ගොන්සාල්වේස් පියතුමාගේ ජීවිත කථාව අනුසාරයෙන් නිර්මාණය වුණු මේ නාට්‍යයය තුළ පාස්කු නාට්‍ය , පසන් ගායනා හා දුක්ප්‍රප්ති ප්‍රසංගය මැනවින් ඉදිරිපත් කර තිබෙනවා. මම මේ නාට්‍යයට සමගාමීව ‍බ්ලොග් අඩවියක් පටන් ගත්තා. (http://gonsalvesdrm.blogspot.com/)ඒත් යාවත්කාලීන කරන්න අතපසු වෙලා තියෙන්නෙ. මම වැඩිය මේ බ්ලොග් කිරිල්ල ගැන දන්නේ නෑ. අනික මම බෞද්ධයෙක්. මම මේකට ඉදිරිපත් වුනේ ගොන්සාල්වේස් නාට්‍යයෙ මම රඟපාන නිසා. මේ වෙබි අඩවිය දැක්කාම මට හිතුනා මගේ ගොන්සාල්වෙස් වෙබ් අඩවිය ලස්සනට ඉදිරිපත් කරන්න ඔබෙන් සහයෝගය ලැබෙයි කියල.

    ReplyDelete
  5. ධර්මෝපදේශකයාගෙන්....චිත්ති මහතා වෙත...
    මගේ බ්ලොග් අඩවිය බලන්න පැමිණි ඔබට බොහෝ ස්තුති! ඔබගේ comment එක දැකලා මට ඇති වුණේ හරීම සතුටක්. ඔබ බෞද්ධ බැතිමතෙකු වශයෙන් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළින් බැහැර වෙමින් යන ගොන්සාල්වේස් කලා කෘති විශේෂයෙන් නාට්‍ය කලාව සංරක්ෂණය කිරීමට ඔබ දරන උත්සහය හා වෙහෙස ඉතා අගය කරමි. එපමණක් නොව කිතුනු අපට එය ආදර්ශයක් බව ද පවසමි. ඔබ වැනි ලක් පුතුන් ඉතා විරලයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයත් බෞද්ධ බැතිමතෙකු වුවත් කිතුනු අපට අභියෝගාත්මක අගය කළ යුතු ප්‍රශංසනීය නිර්මාණ කළ කෙනෙක්. ඔබවත් මට දැනුනේ ඒ වගේ.
    ඔබේ බ්ලොග් අඩවිය මා බැලුවා. ඇත්තෙන් ම එය ඉතා හොඳයි. තව වැදගත් ප්‍රයෝජනවත් අර්ථවත් ලිපි ලියන්න. මමත් බ්ලොග් නිර්මාණකරණය ගැන විශේෂඥයෙක් නොවේ. මම දන්නෙත් බොහොම ටිකයි. මම තවමත් මේ ගැන විවිධ අත්හදා බැලීම් කරනවා. නමුත් මම දන්නා ස්වල්පයෙන් ඔබට පුළුවන් සහයක් දීම මට සතුටක්. ඔබ කැමති නම් ඔබේ Email ලිපිනය දැන්වූවොත් ඒ ගැන ලියන්නම්.
    ගෞරවනීය ගොන්සාල්වේස් පියතුමා ගැන බොහෝ අධ්‍යයනයන් කළ කෙනෙක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා. ඔබට යම් විදිහකින් එතුමාට කතා කළ හැකි නම් ඒ ගැන බොහෝ තොරතුරු ලබා ගැනීමට හැකි වෙයි. මා දන්නා තොරතුරු වෙතොත් ඔබව දැනුවත් කරන්නම්.
    ස්තුතියි! ඔබට ජය!
    ජේසු පිහිටයි.

    ReplyDelete

ROSARY MEDITATION

AUDIO BIBLE PLAYER

DAILY MASS READINGS

DIVINE OFFICE

DAILY DEVOTION BOX

WORLD CATHOLIC NEWS

AROUND THE WORLD

Flag Counter

VATICAN CHANNEL

CATHOLIC TUBE

Daily Bible Quiz

ChristiansUnite.com Daily Bible Trivia

LIVE TRAFFIC COUNTER

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith