Home » » ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව I

ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව I


ක්‍රිස්තු වර්ෂ 544 සිට විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, මතවාද හා විවිධ අනතුරු වලට ලක් වෙමින් ඉතාලියේ ටියුරින් නුවර සාන්ත ස්නාවක ජොහාන් තුමාගේ දෙව්මැදුරේ තැන්පත් කර තිබෙන ශ්‍රී සළුව යනු, මීට වසර 1980 කට පමණ පෙර ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය භූමදානය කිරීම සඳහා එතීමට යොදා ගත් දිගු රෙදිකඩය. ශ්‍රී සළුව තරම් විද්‍යාඥයන්ගේ විවිධ විද්‍යාත්මක පරීක්ෂණ හා මතවාද වලට ලක් වූ තවත් ශුද්ධ වූ වස්තුවක් නොමැති තරම්ය. මේ දිනවල මෙම ශ්‍රී සළුව බැතිමතුන්ගේ වන්දනාව සඳහා ටියුරින් නුවර ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 න් පසුවය. මේ පිළිබඳ ප්‍රවෘත්තිය "Priests' Secretary" නමැති කිතුනු බ්ලොග් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.
Shroud of Turin (San Francisco Sentinal)
Shroud of Turin (San Francisco Sentinal)
ROME (CNS) — The Italian Archdiocese of Turin has announced that the Shroud of Turin, which many believe is the burial cloth of Christ, will be on public display April 10-May 23, 2010. The public exposition in Turin’s cathedral will offer members of the public their first opportunity to see the shroud since it underwent major cleaning and restoration in 2002. The work involved removing 30 fabric patches and a fabric backing, known as the Holland Cloth, sewn onto the shroud in 1534 after a fire. At the time of the work, Cardinal Severino Poletto of Turin said trapped particles of dirt and scorched fabric had darkened parts of the Shroud of Turin and eventually could have made it difficult to see the shroud’s image of a crucified man. The removal of the Holland Cloth also permitted experts to photograph and digitally scan the back of the shroud. The last public exposition of the Shroud of Turin was in 2000.
මෙම ශ්‍රී සළුවේ ඇති විශේෂත්වය වන්නේ එය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතීමට භාවිත කළ රෙදිකඩ වීමත්, එහි ක්‍රිස්තුස් වහන්සේගේ යැයි සැලකෙන(1) රූප සටහන් දෙකක් සටහන් වී තිබීමත් නිසා ය. මතෙව්, මාර්ක් හා ලූක් යන සුභාරංචි පොත් වල ජේසුස් වහන්සේව තැන්පත් කර තිබූ සොහොන් ගෙය හිස්ව තිබීම පිළිබඳව වාර්තා දැක්වූවත්, ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතා තිබූ රෙදිකඩ පමණක් සොහොන් ගෙය තුළ දක්නට ලැබීම සම්බන්ධයෙන් අපට හොඳම ලිඛිත වාර්තා හමුවන්නේ ජොහාන් තුමාගේ සුභාරංචියෙනි. 
"ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ගෝලයෙකු වූ අරිමාතියේ ජෝසප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලීය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.
       
මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකදේමුස් ද, කිලෝ ග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ." (ජොහාන් 19 : 38 - 42)
"සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් ‍කොට තිබෙන බව දුටුවා ය. එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, 'ඔවුන් ස්වාමින් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු' යි කීවා ය. එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමග නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත." (ජොහාන් 20 : 1 - 10)
සොහොන් ගෙය වෙත දිව ගිය පේදුරු තුමා හා අනික් ශ්‍රාවකයා ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය නො දැක, එය ඔතා තිබූ සළුව පමණක් එහි තිබෙනු දැක පුදුමයට පත් විය. එහෙත් ඔවුන් හිස් අතින් ආපසු ගියේ යැයි සිතිය නොහැක. අනිවාර්යයෙන් ම ඔවුන් අනික් ශ්‍රාවකයන්ට පෙන්වීම පිණිස එම සළුව රැගෙන යන්නට ඇත.(2) දැනට අනාවරණය කරගෙන නොමැති වුවත්, කිනම් හෝ ආකාරයකින් මෙම ශ්‍රී සළුව අපෝස්තුළුවරුන්ගේ කාලයේ පටන් ශුද්ධ වූ වස්තුවක් ලෙසින් ආරක්ෂා වී, පැවතුණි. මුල් කිතුනු සියවස් තුන පුරා තිබූ කතෝලික ධර්මය මුලිනුපුටා දැමීමේ කිතුනු සංහාරය පැවති කතෝලික සභාවේ මහා අඳුර පීඩන යුගයේ දී මෙම ‍සළුව සතුරන් අතට පත් වුවහොත් විනාශ කර දැමීමට ඉඩකඩ ඇති බැවින් එය කිසියම් ආරක්ෂිත ස්ථානයක සඟවා තබන්ට ඇත. එනිසා මුල්කාලීන කිතුනු ලේඛන වල ද මේ පිළිබඳව සඳහන් වී නැත.(3) අතීතයේ දී කිතුනු බැතිමතුන් කල්පනා කළේ, ශුද්ධ වූ වස්තුවක් යැයි ගෞරවාදරයට පත් හැම දෙයක් ම සත්‍යයක් බවය.එහෙත් නූතනයේ ඒවායේ සත්‍යතාවය විද්‍යාත්මකව පැහැදිළි කර සනාළු කළ යුතුය. ඊට නිසි ගෞරවය දිය හැක්කේ එවිටය. මෙම ශ්‍රී සළුව සත්‍ය එකක් නොව, කිසියම් පුද්ගලයෙකුගේ පසුකාලීන සිතුවමක් බවට ඇතැම් අය කරුණු ඉදිරිපත් කරති. ශ්‍රී සළුව ද නවීන විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කොට එහි නියම සත්‍යය ඉස්මතු කර ගැනීමට කතෝලික සභාව විද්‍යාඥයන්ට සම්පූර්ණ අවසරය දුන්නේ එනිසා ය. විද්‍යාඥයන්ගේ හා නිරීක්ෂකයන්ගේ පර්යේෂණ හා විමසුමට ලක් වූ මෙවන් ශුද්ධ වූ වස්තුවක් ලොව තවත් නොමැති තරම් ය.(4) 
මෙම ශ්‍රී සළුව අඩි 14 අඟල් 3 ක් දිග වන අතර, අඩි 3 අඟල් 7 ක් පළල ය. මෙයට ගෞරවාදරය හා භක්ත්‍යාදරය දැක්වීම ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 544 දී එදෙස්සා (නූතන තුර්කිය) ප්‍රදේශයේ තිබිය දී, එහි මිනිස් මුහුණක හැඩයක් ඇති රූපයක් දක්නට ලැබෙන බව ප්‍රථම වරට සොයා ගැනීමත් සමගය. (එවකට මෙම ශ්‍රී සළුව දිග හැර නොව, කිහිප අතකට නවා තිබී ඇත.) ක්‍රිස්තු වර්ෂ 944 දී පමණ කොන්ස්තන්තිනෝපලය (නූතන ඉස්තාන්බුල්) නගරයට ගෙනැවිත් එහි බ්ලැචර්නෙස් නම් දෙව්මැදුරක තැන්පත් කර තිබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1147 දී ප්‍රංශයේ 7 වන ලුවී රජු එය බැහැදැක ඊට වන්දනාමාන කළේ ය. එහෙත් ශුද්ධ වූ දේශය හෙවත් ඉශ්රායෙලය අන්තවාදී සෙල්ජුක් තුර්කිවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව පැවති කුරුස යුද්ධ නිසා කොන්ස්තන්තිනෝපලය අනාරක්ෂිත ප්‍රදේශයක් විය. එනිසා ක්‍රිස්තු වර්ෂ 1204 දී බෙසන්කොන් හි රදගුරුතුමා විසින් එය බයිසන්තියන් ආසන දෙව්මැදුරේ තැන්පත් කර තැබූ අතර, ක්‍රිස්තු වර්ෂ 1349 දක්වා ම සෑම වසරකම පාස්කු ඉරුදින වල දී මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 
ක්‍රිස්තු වර්ෂ 1349 දී එම ආසන දෙව්මැදුරේ හටගත් ගින්නකින් ශ්‍රී සළුව බේරා ගෙන එතැනින් ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යද්දී, කිසියම් පිරිසක් විසින් එය පැහැර‍ ගනු ලැබ, ප්‍රංශයේ පිලිප් රජු වෙත බාර දී ඇත. එම රජු ද ඔහුගේ මිතුරෙකු වූ චාර්නි හි කවුන්ට්වරයා හා ලීරි හි සාමිවරයා වූ ජෙෆ්රි වෙත බාර දී ඇත. මෙම සාමිවරයා සැබෑ ශ්‍රී සළුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස එහි ආකෘතියක් චිත්‍ර ශිල්පියෙකු ලවා සිතුවම් කර ඇත. බෙසන්කොන් හි රදගුරුතුමා ද එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ එය රහසිගතව සඟවා තබා තිබූ බැවිනි. මේ හේතුවෙන් රදගුරුතුමා ද සැබෑ ශ්‍රී සළුවේ අනුරුවක් සකස් කරවා බැතිමතුන්ට ප්‍රදර්ශනය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1353 දී ප්‍රංශයේ ලීර් හි සඟවා තිබිය දී සොයා ගත් ශ්‍රී සළුව ඒ වන විට තිබූ එහි අනුරූ සිතුවම් වලින් වෙන්කර සැබෑ සත්‍ය සළුව බවට හඳුනා ගත්තේ, ක්‍රිස්තු වර්ෂ 1375 දී මළ මිනිසෙකුගේ මෘත ශරීරය මත එය පෙරවීමෙන් සිදු වූ හාස්කම මගිනි. මේ සම්බන්ධයෙන් දොම් චමාර්ඩ් නමැත්තා මෙසේ වාර්තා කර ඇත.
"13 වන සියවසේ සිට ශ්‍රී සළුව බෙසන්කොන් හි සාන්ත එටයිනිගේ ආසන දෙව්මැදුරේ ආරක්ෂිතව තැන්පත් කර ඇති බව ඩොනොඩ් (එවකට සිටි කතුවරයෙකි) ඔහුගේ 'History of the Church of Besancon' නමැති කෘතියේ සඳහන් කර ඇත. එසේම ක්‍රිස්තු වර්ෂ 1349 මාර්තුවේ දී ශ්‍රී සළුව බහාලූ කරඬුව තැන්පත් කර තිබූ එකී දෙව්මැදුර ගින්නකින් විනාශ වීමත් සමගම එය අතුරුදහන් විය. එහෙත් වාසනාවකට මෙන්, වසර කිහිපයකට පසුව එම ශුද්ධ වූ ධාතුව නැවත සොයා ගැනුණු අතර, එය සාන්ත එටයිනි හි තිබූ නියම සළුව බවට හඳුනා ගත්තේ, මිය ගිය තැනැත්තෙකුගේ සිරුර මත එය වැතිරීමෙන් ඒ මිනිසා නැවත ප්‍රාණය ලැබීම මගිනි. මේ හාස්කම පිළිබඳව තොරතුරු බෙසන්කොන් හි ආසන දෙව්මැදුරේ ආරක්ෂිත ඓතිහාසික වාර්තා වල පමණක් නොව, ක්‍රිස්තු වර්ෂ 1375 දී තමන්ගේ දෙනෙත් වලින් එය දැක ඊට සාක්ෂි දරමින් බෙසන්කොන් හි දෙව්මැදුරේ ‍ශ්‍රේෂ්ඨ පියතුමා වූ රිචර්ඩ් ලා පී ලියූ අත්පිටපත් (Manuscripts) වල ද මේ බව සඳහන්ව ඇත."(5) 
 බෙල්ජියමේ බාර්නෙස් මාහිමිපාණන්ගේ වාර්තාවක දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 1516 දී සකස් කළ ශ්‍රී සළුවේ තවත් ආකෘතියක් බෙල්ජියමේ සාන්ත ගොමායිර් දෙව්මැදුරේ තිබී හමුවී ඇත. එහෙත් එහි ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා චොම්බරි නම් දේවස්ථානයේ රිදී කරඬුවක් තුළ තැන්පත් කර තිබිය දී හසු වූ ගින්නේ දී රිදී උණු වී සළුව මත වැටීමෙන් වූ පිළිස්සීම් ස්ථාන දක්නට නැත. එයින් විද්වතුන් පසක් කර ගත්තේ, එය ක්‍රිස්තු වර්ෂ 1204 සිට බෙසන්කොන් හි තැන්පත් කර තිබූ ශ්‍රී සළුව නොවන බවය.
සියක් අවුරුදු යුධ සමයේ ලීර් හි ජෙෆ්රි නම් සාමිවරයා‍ගේ මිණිපිරියක වූ මාගරට් නැමැත්තිය කතෝලික සභාවේ අවසරය ඇතිව ශ්‍රී සළුව ලබාගෙන ලීර් රදගුරු පදවියෙන් පිටත තම ස්වාමි පුරුෂයාගේ ආරක්ෂාව යටතේ, රාජ මන්දිරයක තැන්පත් කර තැබුවා ය. ක්‍රිස්තු වර්ෂ 1452 දී ලීර් හි රදගුරුතුමා එය නැවත ලබා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූයේ, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර, සැවෝයි හි ආදිපාද පළමුවන ලුවීගේ භාර්යාව වූ ඇනා නමැති තම ඥාතිවරියට එය ලබා දී තිබූ නිසයි. ක්‍රිස්තු වර්ෂ 1454 දී සතරවන සික්ස්ටස් පාප්තුමා පළමුවන ලුවී ආදිපාදවරයා හට චොම්බරි හි දේවස්ථානයේ ශ්‍රී සළුව තැන්පත් කිරීම පිණිස ශුද්ධස්ථානයක් (Sanctuary) ඉදි කිරීමට අවසර දුන්නේ ය.   
ක්‍රිස්තු වර්ෂ 1503 මහ සිකුරාදා දින ශ්‍රී සළුව චොම්බරි නුවරට අසල්වාසී වූ බොර්ග්-එන්-බ්‍රෙස්සේ නුවරට ගෙන ආවේ ඔස්ට්‍රියාවේ පිලිප් නමැති අග්‍ර ආදිපාදවරයාගේ අවමංගල්‍යය නිමිති කොට ගෙනය. එහිදී එය මහජන වන්දනාමානය පිණිස ප්‍රදර්ශනය කෙරුණි. මෙහිදී විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විණ. එනම්, මෙම ශ්‍රී සළුව ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සැබෑ සළුව ද නැතිනම් සිතුවම් කළ අනුරුවක් ද යන්න සොයා බැලීමය. පළමුව ඔවුන් මෙම සළුව උණු කළ තදින් රත් වූ තෙල් වල දමා, පසුව උණු කළ ජලයේ බහා හොඳින් තම්බා, කිහිප වතාවක් සිසිල් ජලයෙන් සේදීම කළහ. මෙවැනි පරීක්ෂණයකින් සිතුවමක් නම් එය සේදී යාම හෝ දුර්වර්ණවීම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. පසුව ක්‍රිස්තු වර්ෂ 1506 දී දෙවන ජූලියස් පාප්තුමා නිකුත් කළ "Romanus Pontifex" නම් විශ්ව ලේඛනය මගින් මෙම ශ්‍රී සළුවට වන්දනාමාන කිරීම සඳහා ජනවන්දනා පිළිවෙතක් සැකසීමට කටයුතු යෙදීය. 
(මීට ඉහත ක්‍රිස්තු වර්ෂ 313 දී පළමුවන සිල්වෙස්ටර් පාප්තුමා දිව්‍ය පූජාව සිදු කරන පූජාසනය හෝ අල්තාරය මත මෙම ශ්‍රී සළුව සිහිපත් කර ගෞරව කිරීම සඳහා දිගු හණ රෙද්දක් දැමීමට නියම කර ඇත. නූතන දිව්‍ය පූජාව පවත්වන පූජාසනය මත සුදු අල්තාර රෙද්දක් දැමීම ආරම්භ වූයේ එසේය. එසේම පූජාප්‍රසාදීතුමා දිව්‍ය පූජාවේ දී පළඳින "කොර්පොරල් " (Corporal) හෙවත් "ශුද්ධ වූ ශරීර වස්ත්‍රය" මගින් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ ශ්‍රී සළුව නිරූපණය කරයි.) 
රටේ දේශපාලන කැළඹීම් පැවති සමයේ මෙම ශ්‍රී සළුව ප්‍රංශයේ ස්ථාන කිහිපයකට මාරු කර යවමින් ආරක්ෂා කිරීමට පියවර ගැනුණි. පසුව මෙය නැවත චොම්බරි දේවස්ථානයට ගෙන ඒමට කටයුතු යෙදිණි. ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 3 වෙනිදා රාත්‍රියේ දී එම දේවස්ථානයේ ඇති වූ මහා ගින්නකට හසුවූ, රිදී කරඬුවක බහා තිබූ ශ්‍රී සළුව බේරා ගත්තේ වහා එහි පැමිණි ප්‍රැන්සිස්කාන පූජකවරුන් දෙදෙනෙකු, එම නුවර ආදිපාදවරයාගේ ප්‍රධාන මෙහෙකරු හා කම්මල්කරුවෙකු විසින් යකඩ ඉබි දොරගුළු කඩා ජලය වත් කිරීමෙනි. දොළොස් අතකට නවා තිබූ මෙම ශ්‍රී සළුව මතට ගින්නේ රශ්මිය නිසා උණු වී දියවී තිබූ රිදී වැගිරීමෙන් සැලකිය යුතු ප්‍රමාණයේ සිදුරු 16 ක්, කුඩා ප්‍රමාණයේ සිදුරු 12 ක් ද ඇති වී තිබූ නමුත්, වාසනාවකට එහි තිබෙන ජේසුස් වහන්සේගේ රූපයට කිසිඳු හානියක් සිදු නොවී තිබිණ. පසුව ක්‍රිස්තු වර්ෂ 1534 අප්‍රේල් 15 සිට මැයි 2 දින දක්වා කාලය තුළ චොම්බරි හි දිළිඳු ක්ලාරා තාපසිකාවන් (Sisters of Poor Clare) එම සිදුරු හැකි පමණින් අලුත්වැඩියා කර ඇත. එහෙත් ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසුය. මන්ද එවකට පැවති තාක්ෂණය එවැනි කාර්යයක් සාර්ථක ලෙස කිරීමට ප්‍රමාණවත් නොවීම ය. එපමණක් නොව ඒවා අළුත්වැඩියා කරන්නට යාමේ දී එයට කිසියම් හානියක් ද විය හැකි අවස්ථා ද තිබේ. නූතනයේ නවීන තාක්ෂණය යොදා ගෙන එයට පිළියම් යොදන්නට යාමෙන් එය මිනිස් අතින් නිර්මාණය වූවක් බවට හේතු පාඨ දක්වන්නන්ට එය රුකුලක් වීමට ඉඩ ඇත.    
ශ්‍රී සළුවට වූ භාරයකින් ඉතාලියේ පැතිරී ගිය භයානක වසංගත රෝගයක් නවතාලීමට හැකි වූ නිසා ක්‍රිස්තු වර්ෂ 1578 දී එය ටියුරින් නුවරට ගෙන එන ලදුව, සාන්ත චාර්ල්ස් බොරෝමියෝ මුනිතුමාගේ වන්දනාමානයට ලක් විය. එසේම එය ක්‍රිස්තු වර්ෂ 1613 දී සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමා හා ක්‍රිස්තු වර්ෂ 1639 දී සාන්ත ජේන් ප්‍රැන්සෙස් ද චන්ටල් මුනිවරියගේ වන්දනාමානයට ද පාත්‍ර වී ඇත. පසුව ටියුරින් නුවර විශේෂ දෙව්මැදුරක් ඉදි කොට ක්‍රිස්තු වර්ෂ 1694 ජුනි 1 වෙනිදා සිට ශ්‍රී සළුව එහි තැන්පත් කර තැබුණි. එතැන් පටන් ක්‍රිස්තු වර්ෂ 1800 වනතුරු සෑම වසරක ම ශුද්ධ වූ කුරුසිය සොයා ගැනීමේ මංගල්‍ය දින දී මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කර ඇත. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1800 - 1900 දක්වා සියවස තුළ එය ප්‍රදර්ශනය කර ඇත්තේ 6 වතාවක් පමණි.(6)  
ශ්‍රී සළුව පිළිබඳව බොහෝ දෙනාගේ විශේෂයෙන් විද්‍යාඥයන්ගේ අවධානය හා කතාබහට ලක්වීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 1898 මැයි 25 - 28 දක්වා කාලය තුළ කළ මහජන ප්‍රදර්ශනයේ දී, සෙකුන්ඩෝ පියා නමැති නීතිඥයා විසින් කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් අනතුරුවය. මෙම කළු-සුදු ඡයාරූපයේ වූ විශේෂත්වය වූයේ, නෙගටිව් (Negative) රූපයක් වෙනුවට සජීවි පොසිටිව් (Positive) ඡයාරූපයක් ඔහුගේ දළ සේයා පටයේ සටහන්වීම ය. මේ පිළිබඳව අදහස් දැක්වූ විද්වතුන් කියා සිටියේ, ශ්‍රී සළුව මත ඇඳී ඇති නෙගටිව් රූපය නිසා, ඡයාරූපය පොසිටිව් වූ බවත්, එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් රූපය කිසියම් බලගතු ආලෝක ධාරාවක් මගින් සළුවට කා වැදී ඇති බවත් ය.(7) එසේම එම ශ්‍රී සළුවේ රූප දෙකක් එනම්,
  • රුධිර පැල්ලම් මගින් ඇති වූ රූප සටහන හා
  • පියවි ඇසට නිසි ලෙස නොපෙනෙන නෙගටිව් රූප සටහන
වශයෙන් මෙම කළු-සුදු ඡයාරූපය නිසා සොයා ගැනීමට හැකි විය. 
මෙම ශ්‍රී සළුවේ දැක්වෙන නෙගටිව් රූපය ඒ මත සටහන් වූයේ කෙසේ දැයි සොයා බැලීමට විද්‍යාඥයන්ට කතෝලික සභ ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසර ලැබුණි. එම නෙගටිව් රූපය, ජේසුස් වහන්සේගේ ශ්‍රී මෘත ශරීරයේ ආලේප කළ ගන්ධරස හා අගිල් මිශ්‍රණයෙන් (ජොහාන් 19 : 39 - 40) ඇති වූවක් නොවන බවත්,(8) චිත්‍ර ශිල්පියෙකුට පියවි ඇසට දැකීමට අපහසු නෙගටිව් රූපයක් එවකට පැවති තාක්ෂණය තත්ත්වය මගින් නිර්මාණය කිරීමට අපහසු බවත් ප්‍රකාශ විය. ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1931 - 33 දක්වා කාලය තුළ දෙවතාවක් පමණක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ක්‍රිස්තු වර්ෂ 1931 දී හෙන්රි ජුසෙප්පේ නමැත්තා විසින් එහි වර්ණ ඡායාරූපයක් ගන්නා ලදි. මෙම වර්ණ ඡායාරූපයේ ද පෙර සඳහන් කළ ආකාරයට නෙගටිව් හා පොසිටිව් වශයෙන් රූප සටහන් දෙක දක්නට ලැබුණි. 11 වන පියුස් පාප්තුමාගේ අවසරය ඇතිව ක්‍රිස්තු වර්ෂ 1933 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 15 දින දක්වා පැවැත් වූ ප්‍රදර්ශනයේ දී එය ඡයාරූපගත කිරීමටත්, ඒ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමටත් අවස්ථා සළසා දී ඇත. නැවත වතාවක් ක්‍රිස්තු වර්ෂ 1969 ජුනි 16 - 18 දක්වා කාලය තුළ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන, අපක්ෂපාතී කිසිඳු ආගමක් නො අදහන කොමිසමකට බාර දුණි. මෙහිදී මහාචාර්ය ජී. බී. ජුඩිකා කෝර්දිග්ලියෝ විසින් විසින් නැවත වර්ණ ඡායාරූපගත කර පර්යේෂණ වලට භාජනය කෙරුණි. එකල එම කණ්ඩායමේ ඇතැම් විද්වතුන්ගේ අදහස වූයේ, එම නෙගටිව් රූපය වාෂ්පීකරණයක් නිසා ඇති වූවක් බවය. එහෙත් මහාචාර්ය ජුඩිකාගේ මතය වූයේ, එය ඔක්සිඩයිකරණයක් (Oxidization) මගින් සිදුව ඇති බවය.(9) 
ක්‍රිස්තු වර්ෂ 1978 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පාප් පදවියට පත් වූ විගස ශ්‍රී සළුව වන්දනාමාන කිරීමට ගිය අතර, එය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමට විද්‍යාඥයන් එතුමාගෙන් අවසර පැතූහ. ක්‍රිස්තු වර්ෂ 1978 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 8 වෙනිදා දක්වා කාලය තුළ ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ මෙම ශ්‍රී සළුව පිළිබඳ වාර්තා වැඩසටහනක් ප්‍රථමවරට රූපවාහිනිය මගින් විකාශනය කෙරුණි. මෙය ඡයාරූපගත කිරීමටත්, විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමටත් අවසර දුණි. ඒ අනුව අන්තර්ජාතික විද්‍යාඥයන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පැය 120 ක් පුරා මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කර ඇත. තවද, බොහෝ කලක පටන් මෙම ශ්‍රී සළුව ආදිපාදවරුන්ගේ භාරකාරත්වය යටතේ පවතුණි. ක්‍රිස්තු වර්ෂ 1983 දී එහි භාරකාරත්වය දැරූ අවසන් ආදිපාදවරයා වූ උම්බේර්ටෝර් ගේ අවසන් කැමැත්ත පරිදි ශ්‍රී සළුව කතෝලික සභාවට අයත් ශුද්ධ වූ වස්තුවක් බවට පත් විය.
ක්‍රිස්තු වර්ෂ 1988 දී මෙම ශ්‍රී සළුව කාබන් C14 පරීක්ෂණයට භාජනය කෙරුණ අතර, එය ක්‍රිස්තු වර්ෂ 13 - 14 සියවස් වලට අයත් යැයි මතයක් පළ විය. මේ සම්බන්ධයෙන් වෙනත් විද්‍යාඥයන්ගේ මතය වූයේ, එම කාබන් පරීක්ෂණය එවකට නිවැරදි ලෙස කර නැති බැවින් එහි ප්‍රතිඵල වැරදි සහගත බවය. ක්‍රිස්තු වර්ෂ 1992 සැප්තැම්බර් 7 දින නවීන තාක්ෂණය යොදා ගෙන නැවත පරීක්ෂාවට ලක් කෙරුණු ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1997 අප්‍රේල් 11 දින නැවත මහා ගින්නකට භාජනය විය. එය තැන්පත් කර තිබූ දේවස්ථානය ගින්නෙන් විනාශ වුවත්, මරියෝ ට්‍රිමටෝරේ ඇතුලු ආරක්ෂක භට කණ්ඩායමක් විසින් ශ්‍රී සළුව නිරුපද්‍රිතව බේරා ගනු ලැබීය. 
                                                                                          (ශ්‍රී සළුව තැන්පත් කර ඇති ටියුරින් හි දෙව්මැදුර)
ක්‍රිස්තු වර්ෂ 1898 දී කළ කළු-සුදු ඡයාරූපගත කිරීමෙන් එහි සටහන්ව ඇති නෙගටිව් රූපය හඳුනාගෙන වසර සියයක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී සළුව ක්‍රිස්තු වර්ෂ 1998 අප්‍රේල් 16 සිට ජුනි 4 දක්වා නැවත ප්‍රසිද්ධ වන්දනාව හා මහජන ප්‍රදර්ශනයට තැබුණි. එහිදී ද එය නැවත ඡයාරූපගත කිරීමට හා විද්‍යඥයන්ගේ පරීක්ෂාවට ලක් විය.  දෙවන ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභාවේ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම නිමිති කොටගෙන ක්‍රිස්තු වර්ෂ 2000 අගෝස්තු 26 සිට ඔක්තෝබර් 22 දක්වා මෙම ශ්‍රී සළුව ප්‍රදර්ශනය කෙරුණු අතර, නැවත මෙය ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2025 දී බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා පසුව මෙය ක්‍රිස්තු වර්ෂ 2010 අප්‍රේල් 10 සිට මැයි 23 දක්වා දිනවල එය ඉතාලියේ ටියුරින් හි ප්‍රසිද්ධ වන්දනාව සඳහා ප්‍රදර්ශනය කළ යුතු යැයි තීරණය කළේ ය.  ඒ අනුව මේ දිනවල මෙය නැඹීම සඳහා විනාඩියකට බැතිමතුන් හා නිරීක්ෂකයන් 44 දෙනෙකු පමණ පැමිණෙන බව වාර්තා වේ.

(http://www.shroud.in/)ජේසුස් වහන්සේගේ මෙම ශ්‍රී සළුව සම්බන්ධයෙන් විවිධ මතවාද තිබේ. බොහෝ විද්‍යාඥයන් මෙය ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය එතූ සළුව බව විද්‍යාත්මකව සනාථ කර පෙන්වන අතර, තවත් සුළු පිරිසක් එය මිනිස් නිර්මාණයක් බවට තර්ක කරති. දැනට මෙම ශ්‍රී සළුවේ පහත ලක්ෂණ හඳුනාගෙන ඇත.                                               
  • ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන ආකාරයට දකුණු හස්තයේ අංශක 45 ක ඇද ස්වභාවයක් හා වම් හස්තයට වඩා කෙටි ස්වභාවයක් දක්නට ලැබේ. මේ සම්න්ධයෙන් විද්‍යාඥ මතය වන්නේ කුරුසියේ ඇණ ගැසීමේ දී ජේසුස් වහන්සේගේ දකුණු හස්තය ඇදීමකට ලක්ව ඇති බවය. 
  • හස්ත වල ඇණ සළකුණු දැක්වෙන්නේ මැණික් කටුව ප්‍රදේශයේ ය. නෙගටිව් රූපයෙන් හඳුනා ගන්නා තුරු ම ලෝක සම්මත පිළිගැනීම වූයේ ඇණ ගැසුවේ අත්ල මැදින් බවය.
  • නෙගටිව් රූපයට අනුව, අත් දෙකෙහි ම මහපට ඇඟිලි දෙක පෙනෙන්නට නැත. එයට හේතුව මැණික් කටුව අසලින් ඇණ ගැසීමේ දී මහපට ඇඟිල්ලට යන නහරය හසුවී එම ඇඟිලි දෙක අප්‍රාණිකව අල්ල තුළට නැමී දරඳඬු වී යාම ය.
  • වම් කකුල දකුණු කකුළට වඩා කෙටි ස්වභාවයක් පෙන්වයි. එයට හේතුව දකුණු කකුල මත වම් කකුල තබා ඇණ ගැසීමත්, එම කකුල දණ හිසෙන් නැමී දරඳඬු වී තිබීමත් ය.
  • මුහුණේ විශේෂ තුවාල ලකුණු පෙන්නුම් කරයි. මේවා කම්මුල් පහර, සීරීම් හා වැටීම් වලින් වූ ලකුණු වෙති.
  • ශ්‍රී සළුවේ පෙන්වන රූප සටහන් දෙකෙන් නෙගටිව් රූපය අනුව ජේසුස් වහන්සේගේ උස අඩි 6 ක පමණ පෙන්වන නමුත් සජීවී පොසිටිව් රූපය අනුව උස අඩි 5 අඟල් 11 ක් පමණ වේ. එයට හේතු වී ඇත්තේ කුරුසියේ එල්ලී සිටිය දී පිට කොන්ද මදක් නැමී තිබීමත්, ගල්ලෙනෙහි තැන්පත් කරන විට ද ශරීරය ඒ ආකාරයෙන් ම දරඳඬු වී තිබීමත් ය.
  • ශ්‍රී සළුවේ පැහැදිළි පොසිටිව් රූපයේ මිනිස් රුධිර සලකුණු තිබේ. ඒවා ඇණ සලකුණු, කටු ඔටුන්නේ සලකුණු, කස පහර වලින් ඇති වූ තුවාල හා හෙල්ලයෙන් සිදුරු වූ ඇලයෙහි තුවාලයෙන් ගැලූ රුධීරය වේ. එම රුධීරය AB පොසිටිව් වර්ගයේ රුධිරය බව ද හඳුනා ගෙන ඇත.(10)
  •  ශ්‍රී සළුවෙහි දැක්වෙන රූප දෙකෙන් නෙගටිව් රූපය පියවි ඇසින් දැකීමට අපහසුය.
(මෙම සළුවේ ඡායාරූප නිරීක්ෂණය සඳහා පහත වෙබ් අඩවිය මත "ක්ලික් " කරන්න.) http://www.shroud.com/examine.htm 
මෙම සාධක පරීක්ෂා කිරීමෙන් බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය ලිනන් රෙද්දක කළ සිතුවමක් නොවන බවය. මෙය සිතුවමක් වේ නම් එය කළ චිත්‍ර ශිල්පියා ඉහතින් දැක්වූ රෙදිකඩෙහි වන විශේෂ ලක්ෂණ ගැන නොදැන එය කිසිඳු ඇද කුදයක් නැතිව නිර්මාණය කරනු ඇත. එසේම එය සිතුවමක් වේ නම්, මෙය ගින්නට භාජනයවීම, ජලයෙන් සේදීම හා බොහෝ ඉපැරණිබව නිසා දුර්වර්ණවීම, වර්ණ සේදීයාම හෝ සිතුවම මැකී යාම සිදු විය යුතුය. අතීතයේ තිබූ ස්වභාවයෙන් ම තවමත් එය දිස්වේ. කෙසේ වුව ද, මේ පිළිබඳව වමත් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් බී. බී. සී. ආයතනයේ මාධ්‍යවේදිනියක් පැවසූවේ එය විසඳීමට අපහසු අභිරහසක් බවය.
(දෙවන ලිපිය මතුවට.....)                 



------------ වැඩි දුර අධ්‍යයන සටහන් -----------
(1) දැනට මේ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධ මතවාද ඇත. එහෙත් දැනට කර ඇති බොහෝ නවීන විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් සාධක හා සාක්ෂි වලට අනුව, එය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එතූ රෙදි කඩ බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම ය. 
(2) දොම් නිරංජන් විජේරත්න, සා.බෙ.නි., "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන පියවරුන්ගේ ප්‍රකාශන, අම්පිටිය, 2001, පිටු 1 හා 2 මෙතැන් සිට "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් " යනුවෙන් යෙදේ.
(3) Rev. Patrick O'Connell, B.D. & Rev. Charles Carty, "The Holy Shroud and Four Visions", Tan Books and Publishers, Inc., Rockford, Illinois, U.S.A., 1974, page 5. Hereafter The Holy Shroud and Four Visions.
(4) ගරු හර්බට් ටයිටස් රුද්‍රිගෝ, සා.බෙ.නි., "උත්ථානයට සාක්ෂි දෙන අසිරිමත් රෙදි කඩ ", ඥානාර්ථ ප්‍රදීපය, 
(5) The Holy Shroud and Four Visions, page 8. 
(6) The Holy Shroud and Four Visions, page 10
(7) අසිරිමත් සිරි සළුවෙන් බිඳක්, පිටුව 9
(8) The Holy Shroud and Four Visions, pages 11 - 12
(9) The Holy Shroud and Four Visions, page 13 
(10) Analysis of Blood Stains
The blood on the Sudarium has been identified as human, and as type AB. There is very little blood actually remaining on the shroud. It is degraded, and most of it has been replaced by bacteria and fungi. However, Dr Baima Ballone has analysed samples taken from the cloth with adhesive tape, and reported that the blood on the shroud is also type AB. Interestingly, type AB is quite rare in Europe and most of the world, at of the 3.2% of population. However it is quite common (18%) among Jews from Northern Palestine. If these stains are Jesus' blood, does that indicate that Jesus had a biological father? Well, not if you believe in the miracle of the virgin birth as presented in the Gospels. Apart from the Y sex chromosome, all of Jesus' genetic material would have come from his mother Mary. The gene for blood type is not on the Y chromosome, and therefore came from Mary, who also would have blood type AB.
For those who doubt that blood residue this old could yield the information above, consider the evidence of Dr. Gaza-Valdes of the University of Texas. In 1995 he released the results of a DNA analysis of shroud blood samples in his book "The DNA of God?" (read Further details). The PCR laboratory at his university tested for and identified three key genes. The betaglobin gene on chromosome 11 yielded a sequence of 268 base pairs. The first 80 of these are:
AGCCAAGGAC AGGT-CCAAT GTCATCACTT TCCTAAGCCA GTGCCA AGACCTCACC CTGTGGAGCC ACACCCTAGG GTTGGCCAAT CTACTCCCAG
Apart from the short underlined string above, all 268 base pairs matched the control (HUMHBB221) used for testing for this gene. Of course, there are always small differences when comparing DNA of different individuals. That is the whole basis of DNA identification. It would be interesting, wouldn't it, if further testing identified sequences unique to, or prevelant among, Jewish populations?
උපුටා ගැනීම The Shroud of Turin: Ultimate Physical Evidence of Jesus?
By Alan Marshall B.Sc.  –  20 October 2003
 
 

Share this article :

3 comments:

  1. මම දැනගෙන හිටියේ නැහැනෙ.
    හොද පෝස්ට් එකක්.ගොඩක් වටිනව.ගොඩක් විස්තර දැනගන්න ලැබුනා.

    http://lanka1.wordpress.com/2010/04/26/%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B1/

    ReplyDelete
  2. මගේ බ්ලොග් අඩවියට පැමිණ එය කියවා බලා ඒ ගැන ඔබගේ වටිනා අදහස් බිඳක් සඳහන් කිරීම ගැන ඔබට බොහෝ ස්තුතියි. ඔබ සඳහන් කර තිබූ ලිපිනය ඔස්සේ ඔබගේ බ්ලොග් අඩවිය වෙත පිවිසි මට එහි ඇති සාරවත් වැදගත් ලිපි දැක මහත් සතුටක් ඇති වුණා. විශේෂයෙන් ඉස්ලාම් ධර්මය සම්බන්ධව දක්වා ඇති කරුණු ඉතා හොඳයි. මටත් ඉස්ලාම් ධර්මය කෙරෙහි විශේෂ ලැදියාවක් ඇති අතර සිංහලයෙන් සකස් වූ ශුද්ධ වූ කුරාණයක් ද මා සතුව තිබෙනවා. තවත් කෙනෙකුගේ ආගම ධර්මයට හානියක් නොවන අයුරින් සාරවත් ලිපි පළ කිරීම අගය කළ යුතුයි. තවත් ලියන්න. ඔබට ජය!
    ධර්මෝපදේශකයා.

    ReplyDelete
  3. වැදගත් කරුණු තිබුනත් අකුරු වල පාට නිසා කියවන්න අමාරුයි....

    ReplyDelete

ROSARY MEDITATION

AUDIO BIBLE PLAYER

DAILY MASS READINGS

DIVINE OFFICE

DAILY DEVOTION BOX

WORLD CATHOLIC NEWS

AROUND THE WORLD

Flag Counter

VATICAN CHANNEL

CATHOLIC TUBE

Daily Bible Quiz

ChristiansUnite.com Daily Bible Trivia

LIVE TRAFFIC COUNTER

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith