“මාගේ දෙවියනී, මාගේදෙවියනී, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” - මාර්ක් 15 : 34
ජේසුස් වහන්සේ කුරුස ගසේ සිට කළ මෙම ප්‍රකාශනය මතෙව් 27 : 46 හි ද දැකිය හැකිය. ජේසුස් වහන්සේ කතා කළ අරමයික් භාෂාවෙන්‘එලොයි, එලොයි, ලාමා සබක්තානි' යන්න මතෙව් තුමා ‘ඒලී, ඒලී, ලාමා සබක්තානි'යනුවෙන් සඳහන් කර ඇත.[1]
කුරුසියේ එල්ලී සිටි ජේසුස් වහන්සේ මෙසේ මහ හඬින්
මොරගැසීම තමන්ට වූ ජරාජයක් හෝ අසරණවීමක් හෝ දෙවියන් වහන්සේ අත්හැර දැමීමක් නිසා හෝ
කළ ප්‍රකාශනයක් ලෙස යමෙකුට බැලූ බැල්මට පෙනී යාමට පුළුවන. එය වැරදි අදහසකි. මෙම ප්‍රකාශනය
වනාහී ගීතාවලිය 22 පරිච්ඡේදයේ සඳහන් යැදුමක කොටසකි. ජුදෙව්වන් තම දුක් පීඩා, කරදර,
රෝගීබව හා හදිසි විපත් උවදුරු වල දී දෙවියන් වහන්සේට කන්නලව් කිරීමට මෙම ගීතය
ගායනය හෝ උච්චාරණය කළහ.[2]
ජේසුස් වහන්සේ මෙම භයානක විපතින් හා දුඃඛිත තත්ත්වයෙන් තමන්ව මුදන ලෙසට දෙවි පියාණන් වහන්සේට මොරගැසුවේ නැත. එම පීඩාව දරා ගැනීමට නොහැකිව ඊට ශක්තිය ඉල්ලා හඬා වැටුණේ ද නැත. ජේසුස් වහන්සේ තම පියාණන් වූ දෙවියන් වහන්සේ සමග දැඩි ගැඹුරු සම්බන්ධතාවයකින් ජීවත් වූ සේක. මනුෂ්‍යත්වය තුළ ‘මරණය' යන්න ස්වල්ප මොහොතකට හෝ එම ගැඹුරු සබැඳියාවෙන් මිදී වෙන්වීමකි. එය ඔවුන් වහන්සේට දරා ගැනීමට නොහැකි දැඩි සිත් වේදනාවකි, චිත්ත සන්තාපයකි. කුරුසියේ එල්ලී සිටිය දී ලැබූ ශාරීරික වේදනාවට වඩා, මෙම ගැඹුරු සම්බන්ධතාවයෙන් වෙන්වීමට සිදුවීමෙන් වන චිත්ත පීඩාව හා ආධ්‍යාත්මයේ වේදනාව ප්‍රබල ය. ජේසුස් වහන්සේ කුරුස ගසේ සිට කළ එම මහා මොරගැසීමේ අර්ථය මෙය වේ.
කිතුනු අපට ලැබෙන දේව පණිවුඩය

....................................................෴ වැඩිදුර සටහන් ෴...............................................
[1]‘ඒලී’හෝ ‘එලොයි’යනු ‘දෙවියනී’ යන අර්ථය ඇතිව ‘ඒල්’ යන හේබ්‍රෙව් වචනයෙන් බිඳී එන දෙවියන් වහන්සේට පැරණි ඉශ්රායෙල්වරුන් (හේබ්‍රෙව්වරුන්) ආමන්ත්‍රණය කළ නාමය යි. ආබ්‍රහම් දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කළේ, ‘කඳුකරයේ දෙවියන් වහන්සේ’ යන අර්ථය ඇති, ‘ඒල් ෂඩ්ඩායි’ යන නාමයෙනි. දෙවියන් වහන්සේට පුරාණ ගිවිසුම තුළ විවිධ නම් භාවිත වනු දැකිය හැකිය. ‘සමිඳාණන් වහන්සේ’ යන අර්ථය ඇති ‘යාවේ’, ‘දෙවි සමිඳාණන් වහන්සේ’ යන අර්ථය ඇති ‘එලොහිම්’, ‘දෙවියන් වහන්සේ’ යන අර්ථය ඇති ‘අඳොනායි’ යනාදී නම් ඒ අතර කැපී පෙනෙති. ‘යාවේ’ යන නාමය දෙවියන් වහන්සේගේ පෞද්ගලික නාමය ලෙසින් සලකන ඉශ්රායෙල්වරුන් එය සාමාන්‍ය ජනතාවට භාවිත කිරීම තහනම් කොට ඇත. එම නාමය හේබ්‍රෙව් පුරාණ ගිවිසුම් (මෙසොරෙටික්) පිටපතේ පංච පුස්තකය (ශුද්ධ බයිබලයේ මුල් පොත් පහ) තුළ සඳහන්ව ඇති නමුත් එය හඬ නගා කියවීමේ දී ‘යාවේ’ නාමය හමුවූ විට තත්ත්පර 10 පමණ නිශ්ශබ්දව සිටීම හෝ ඒ වෙනුවට ‘අඳොනායි’ යන වචනය ප්‍රකාශ කිරීම හෝ කරයි. මෙම ‘යාවේ නාමය’ ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ නායක පූජකවරුන්ගේ ප්‍රධානියා වන උත්තම පූජකවරයාට පමණි. ඔහු ද ‘පව්කමා දිනය’ හෙවත් ‘වන්දි ගෙවීමේ මංගල්‍යය’ දින දී සමස්ත ඉශ්රායෙල්වරුන්ගේ පව් දෙවියන් වහන්සේට වෙනුවෙන් යාච්ඤා කිරීමේ දී එම නාමය එක්වරක් පමණක් රහසින් උච්චාරණය කරමින් දේව නාමයෙන් ජනතාවගේ පව් වලට සමාව යදියි.
[2] ජුදෙව් දරුවන් දොළොස්වියේ සිට ජුදෙව් රබ්බිවරුන් (පඬිවරුන්) වෙතින් ශුද්ධ ලියවිලි හා පංච පුස්තකය හදාරති. එසේ කිරීමේ දී විශේෂ ශුද්ධ ලියවිලි කොටස් හා ගීතාවලියේ ඇතැම් ගීතිකා කටපාඩම් කර ගනිති. දේව වචනය හැකිතාක් කටපාඩමින් දැන සිටීම ඔවුන්ගේ ජීවිතය යහමග ගෙන යාමට හා ජීවිතයේ විවිධ අවස්ථා වල දී ඒවා ආදේශ කිරීමට ප්‍රයෝජනවත් විය. ශුද්ධ ලියවිල්ල කටපාඩමින් දැන සිටින තරමට ඔහු ශුද්ධවත් දැහැමි පුද්ගලයෙකු ලෙසින් සැලකුණි. ජේසුස් වහන්සේ ද කුඩා කල සිට ම මෙම දේව වාක්‍ය කොටස් හා ගීතිකා කටපාඩම් කරන්නට ඇත. ඔවුන් වහන්සේ ද වෙනත් ඉශ්රායෙල්වරුන් මෙන් සුපුරුදු පරිදි අවස්ථානුකූලව මෙම ශුද්ධ ලියවිලි කොටස් ඉගැන්වීමේ දී ද, ජීවිතයේ විවිධ අවස්ථා වල දී ද භාවිත කළ සේක. ජේසුස් වහන්සේ කුරුස ගසේ සිටිය දී පවා එම ගීත කොටස් භාවිත කළේ එනිසා ය. (ගීතාවලිය 22 : 1, 6 – 9, 14 – 19 යන කොටස් බලන්න.)
0 comments:
Post a Comment