අතීතයේ දී පුරසඳ කාලයේ දී පැය හතළිසක (40) නිරාහාරශීලය රැකීමේ ආගමික භක්ති අභ්‍යාසයක් කිතුනුවන් අතර ප්‍රචලිතව තිබුණි. එම පැය 40 ගණන් ගත්තේ ජේසුස් වහන්සේව පාවා දුන් අවස්ථාවේ සිට මරණය දක්වා වූ පැය 40 ක පමණ කාලය සැලකිල්ලට ගැනීමෙනි. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස වන විට මෙම දැඩි නිරාහාරශීල කාලය දින 3ක් බවට පත්වී, පසුව සති 3 ක් ලෙස ගණන් ගැණුනි. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විට එය දින 40 දක්වා වර්ධනය විය. මේ අනුව, ක්‍රිස්තු වර්ෂ 325 දී පැවැත්වුණු I වන නිසියානු ධර්ම සංඝායනාව (Council of Nicaea)* චතාරිකයට අයත් දින සංඛ්‍යාව 40 ක් බව ප්‍රකාශ කර ඇත. මීට හේතු සාධක වශයෙන් දැක්වූයේ,
- ජේසුස් වහන්සේ හතළිස දිනක් පාළුකරයෙහි උපවාසයෙන් යාච්ඤාශීලීව සිටීම - මතෙව් 4 / 2, ලූක් 4/ 1- 2
- මෝසස් දස පණත දෙවන වර සකස් කිරීම සඳහා දින හතළිසක් කන්දකට නැගී නිරාහාරශීලීව සිටීම - නික්මයාම 34/ 28
- එලියා දිවැසිවයා හොරේබ් නමැති කන්ද වෙත දින 40 ක දුරක් ගමන කොට එහි පැමිණීම - 1 රාජාවලිය 19/ 8
- ඉශ්රායෙල්වරුන් සතළිස් වසරක් සීනයි පාළුකරයෙහි කූඩාරම් වල ජීවත්වීම
යනාදිය යි. එහෙත් "සතළිස් දිනය" පිළිබඳ සංකල්පයට ප්‍රධාන වශයෙන් බලපෑවේ, ඇලෙක්සැන්ඩ්‍රියානු වත්පිළිවෙත් හා සම්ප්‍රදායයන් වෙති. එම වත් පිළිවෙත් වලට අනුව, ශාස්ත්‍රවන්තයන් (රජතුන් කට්ටුව) දිව්‍ය බිළිඳාණන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍ය සමයේ සතළිස් දිනක පූර්ව බව්තීස්ම නිරාහාර කාලයක් පැවැත්වේ. පසුව බටහිර කතෝලික වත් පිළිවෙත් වලට ද එය බල පැවැත්වීය.
*(නිසියේ ධර්ම සංඝායනාව යනු, ක්‍රිස්තු වර්ෂ 325 දී පමණ පැවැත්වුණු කතෝලික මන්ත්‍රණ සභාවකි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ඒරියුස් නමැති පූජකවරයෙකු ජේසුස් වහන්සේගේ දේවත්වය පිළිබඳව කළ විකෘති ඉගැන්වීම් රැගත් "ඒරියන් වේදභේදයට" එරෙහි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් පළමුවන සිල්වෙස්ටර් (Pope Sylvester I, 314-335) පාප්තුමාගේ කැඳවීමෙන් නිසිය නමැති නගරයේ දී මෙම මන්ත්‍රණ සභාව පැවැත්වුණි.)
0 comments:
Post a Comment