Home » » කිතුනු පීඩන යුගයේ වගතුග - 1

කිතුනු පීඩන යුගයේ වගතුග - 1

හැඳින්වීම

සිංහයන්ට ගොදුරු කළ කිතුනුවන්
ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිදුවූයේ යැයි සැලකෙන ක්‍රිස්තු වර්ෂ 30 පටන් ක්‍රිස්තු වර්ෂ 325 පමණ වනතුරු කිතුනු පීඩන යුගය පැවතුණේ යැයි සැලකේ. කිතුනු පීඩනය යනුවෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීම හා ඔවුන් වහන්සේගේ ධර්මය පිළිගැනීම හේතුවෙන් රෝම අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ තුළ ජීවත් වූ කිතුනුවන්ට එහි රජවරුන්ගෙන් හා කිතු දහම ප්‍රතික්ෂේප කළ අදේවවාදීන්ගෙන් එල්ල වූ අමානුෂික වධ හිංසා හා මරණ බන්ධනය වේ.[1] 
කිතුනු ආගමික පීඩනයේ ස්වරූප දෙකකි.
  1. ජුදෙව්වරුන් මෝසස්ගේ ව්‍යවස්ථාවට එරෙහි වූ නව ආගමික ප්‍රවණතාවයක් ලෙස සළකා එම ධර්මය ප්‍රතික්ෂේප කොට ඉශ්රායෙලයෙන් එය මුලිනුපුටා දැමීමට කිතුනුවන්ට විරුද්ධව ගෙන ගිය පීඩනය.
  2. රෝම අධිරාජ්‍යය තුළ රජවරුන් හා ආණ්ඩුකාරවරුන් කිතු දහම තම දේවතා ඇදහිළි වලට පටහැනි ආගමක් ලෙසත්, කිතුනුවන් නොහික්මුණු මිලේච්ඡ ජන කණ්ඩායමක් ලෙසත් සළකා ගෙන ගිය දරුණු හිංසනය
ජේසුස් වහන්සේව ඇදහීමට හා ඔවුන් වහන්සේගේ ධර්මය පිළිගෙන ඒ අනුව ජීවත් වීමට උත්සහ කරන පුද්ගලයන්ට බොහෝ වධ හිංසනයන්ට මුහුණ පෑමට සිදුවන බව ඔවුන් වහන්සේම ස්වකීය මරණයට පෙර තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ප්‍රකාශ කළ සේක.
''එකල ඔවුහු වධ බන්ධන වලට පාවා දී මරන්නෝය. මා නිසා සියලු ජාතීහු ඔබට වෛර කරන්නාහ. එකල බොහෝ දෙනෙකුගේ ශ්‍රද්ධාව බිඳ වැටෙනු ඇත. ඔවුහු ඔවුනොවුන් පාවා දෙන්නාහ. ඔවුනොවුන්‍ කෙරෙහි වෛර බැඳ ගන්නාහ."(මතෙව් 24 : 9 - 10)
"එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවි වලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලා වලට ගෙනැවිත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද, රජුන් ද, අභිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත. පළමු කොට සියලු ජාතීන් හට සුභඅස්න දේශනා කළ යුතුය........තවද, සහෝදරයා සහෝදරයා ද, පියා දරුවා ද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මවුපියන්ට විරුද්ධව නැගී සිට ඔවුන් මරණයට පත් කරන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලන් ම ඔබට වෛර කරනු ඇත....." (මාර්ක් 13 : 9 - 10, 12)
"......මාගේ නාමය නිසා ඔවුහු ඔබ අල්ලා ගෙන ධර්මශාලා වලටත්, හිරගෙවලටත් ඔබ පාවා දෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. එය ඔබට සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය......දෙමව්පියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔවුහු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලෝම ඔබට වෛර වන්නෝ ය...." (ලූක් 21 : 12 - 13, 16 - 17)
සාන්ත ස්තේපන් තුමාගේ මරණය
 ජුදෙව් සංකල්පයට අනුව, ක්‍රිස්තුස් වහන්සේව තම ගැළවුම්කරුවාණන්, දේව පුත්‍රයාණන් හා ලොවට වඩින්නට සිටි දිවැසිවරුන් අනාවැකි මගින් හෙළි කළ මෙසියස් ලෙසින් පිළිගැනීමත්, කිතුනුවෙකු වීමත් බරපතල වරදක් හා ජුදෙව් වේදභේදයක් (ජුදෙව් ධර්මයට විරුද්ධ ආගමක්) ලෙස සැලකෙයි. එය මෝසස්-ජුදෙව් ව්‍යවස්ථාවට හා ජුදෙව් රබ්බිවරුන්ගේ (පඬිවරුන්ගේ) ඉගැන්වීම් වලට විරුද්ධව කැරළි ගැසීමකි. ජේසුස් වහන්සේ ජීවත් සිටිය දීම ඔවුන් වහන්සේට විරුද්ධව ජුදෙව් ප්‍රධානීන් නැගිට සිටියේ එනිසා ය. ශුද්ධ වූ පාවුළුතුමා ක්‍රිස්තු භක්තිකයෙකු වීමට පෙර ක්‍රිස්තියානි ධර්මයට හා කිතුනුවන්ට එරෙහිව නැගී සිටියේ ද, කිතු දහම ජුදෙව් ආගම හා ඔවුන්ගේ සම්ප්‍රදායගත ඉගැන්වීම් විනාශ කිරීමට පැමිණි සතුරෙකු ලෙසින් දුටු බැවිනි. එනිසා ක්‍රිස්තු විරෝධී ව්‍යාපාරයේ පළමු ගොදුර බවට පත් වූයේ කතෝලික සභාවේ පළමු ප්‍රාණ පරිත්‍යාගීවරයා ලෙසින් සැළකෙන සාන්ත ස්තේපන් තේවාචාර්ය තුමා ය.[2]  
මේ අනුව ක්‍රිස්තියානි ධර්මය මුළු පලස්තීනය පුරා ඇදහීමට සම්පූර්ණයෙන් තහනම් වූ ධර්මයක් විය. කිතුනුවන් අල්ලා සිරගත කිරීම, කස පහරදීම හා ගල් ගසා මරණයට පත් කිරීම වැනි හේතු නිසාවෙන්, "ප්‍රේරිතයන් හැර සෙසු සියල්ලෝ ජුදයේ ද, සමාරියෙහි ද පළාත් වල විසුරුවනු ලැබූහ." (ක්‍රියා 8 : 1b) සමහරු වෙනත් රටවල් හා ප්‍රදේශ කරා සංක්‍රමණය වූහ. "විසුරුවනු ලැබූ අය (විවිධ) දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ"(ක්‍රියා 8 : 4)  මෙම කිතුනු පීඩනය එක් අතකින් වෙස් වළාගෙන පැමිණි දේවාශිර්වාදයක් බඳු විය. මන්ද ජෙරුසලමට පමණක් සීමා වී තිබූ කිතු දහම රෝම අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වලට ද, වෙනත් රටවලට ද (විශේෂයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව හා චීනය වැනි රටවල් කරා ද) පැතිර ගියේ කිතුනු පීඩන නිසාවෙන් විසිරී ගිය කිතුනුවන් මගිනි. එය,
".....ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහුය. එවිට ඔබ, ජෙරුසලමෙහි ද, මුළු ජුදයෙහි හා සමාරියෙහි ද, පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය," (ක්‍රියා 1 : 8)
යන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශනය සම්පූර්ණ වීමකි.

රෝම අධිරාජ්‍යය තුළ කිතුනු පීඩනයට බලපෑ හේතු 

රෝම දෙවිදේවතාවුන්
පැරණි රෝමය බහුදේවතා වන්දනා හා ඇදහිළි ක්‍රම වලින් ගැවසීගත් පෞරාණික ශිෂ්ඨාචාරයකි. ක්‍රමයෙන් අල්ලා ගෙන රෝම අධිරාජ්‍යයට එක් කර ගත් රාජ්‍යවල දේවතා ඇදහිළි ක්‍රමක්‍රමයෙන් රෝමානු විශ්ව දේවතා සමූහයට [Pantheon] ඇතුළත් වූ අතර ඔවුන් එම දෙවිවරුන්ට රෝමානු නම් දුන්හ. එක් එක් දේ සඳහා අරක්ගත් දෙවිදේවතාවුන් ඔවුන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව, සමෘද්ධිය හා බලය ලබා දෙන බවද, රටවැසියන්ගේ යහපත සෞභාග්‍ය සළසන බව ද විශ්වාස කළහ. එනිසා රෝම සමාජය තුළ මෙම දෙවිවරුන් වන්දනාමානයට ලක් විය. 

අමු අමුවේ පුළුස්සන කිතුනු ප්‍රාණපරිත්‍යාගීවරුන්
පැරණි රෝමානුවන්ගේ පිළිගැනීමට අනුව, ජාතික එක්සත්භාවය හා රාජ්‍ය පක්ෂපාතභාවය ට පළමු හා ප්‍රධාන ස්ථානය දුන් සමාජ ක්‍රියාකාරී සන්ධානයක් ලෙස සැලකූ පැරණි රෝමානුවන්, එය 'පීටාස්' [Pietas] හෙවත් 'දයාව' යන නමින් හැඳින්වූහ. සයිමන් ඩික්මන් නමැති ඉතිහාස විශ්ලේෂකයාගේ අදහසට අනුව, 'ක්‍රිස්තියානිය' වනාහී 'දයාව' නමැති ආගමික සන්ධානයට අයත් නොවූ 'මිථ්‍යා විශ්වාසයක්' [superstitio] ලෙස සළකා ඇත. කණිටු ප්ලිනි ගේ [Pliny the younger] වාර්තාවන්ට අනුව, 'ක්‍රිස්තියානිය ප්‍රමාණය ඉක්මවූ දිගකින් යුත් මිථ්‍යා දෘෂ්ඨියක් ' ලෙස පැරණි රෝමානුවන් සළකා ඇත.[3] රෝමානු ඉතිහාසඥ ටැසිටස් [Tacitus] ක්‍රිස්තියානිය හඳුන්වා ඇත්තේ 'මාරාන්තික මිථ්‍යා දෘෂ්ඨිය' නමිනි. සූයිටෝනියස් [Suetonius] කිතුනුවන්ව 'නව හා දුෂ්ඨ මිථ්‍යා දෘෂ්ඨියකට ආරෝපණය වූ පුද්ගල පන්තියක් ' යනුවෙන් හඳුන්වා ඇත. මෙයින් පෙනී යන්නේ, නූතනයේ අප මිථ්‍යා දෘෂ්ඨිය යනුවෙන් හඳුන්වන අදහසට වඩා වෙනස් සංකල්පයක් පැරණි රෝමානු සමාජයේ පැවති බවය. එමනිසා කිතුනුවන් දෙස පැරණි රෝමානුවන් බැලුවේ 'මිථ්‍යා ඇදහිළිවතුන්' ලෙසිනි. මිථ්‍යා ඇදහිළි තිබෙන්නේ අර්ධ ශීලාචාර සමාජයන්හි බවත්, ශිෂ්ඨාචාරවත් යැයි පිළිගත් සමාජයක 'මිථ්‍යා දෘෂ්ඨිකයන්' නොසිටිය යුතු බවත් රෝමානු පිළිගැනීම විය. එබැවින් රෝමානුවන්ගේ පළමු පියවර වූයේ, කිතුනුවන්ව ඔවුන්ගේ දේවතා ඇදහිළි වලට හැරවීම තුළින් ඔවුන්ගේ ශිෂ්ඨ යැයි සම්මත ආගමික ක්‍රමයට සම්බන්ධ කර ගැනීමය. ඒකදේවවාදීන් වූ කිතුනුවන් එය ප්‍රතික්ෂේප කළේ, ඔවුන් පිළිපැදි කිතුනු ආගමික සාරධර්ම පද්ධතිය වූ දස පණතේ පළමු වගන්තියෙන් ම ''සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න" යන දේව ආඥාව නිසාය.
ප්‍රාණ පරිත්‍යාගී කිතුනු පිරිසක්
තවද, ‍මෙම දෙවිදේවතාවුන් රට හා ජාතිය තුළ අරක්ගත් මුනිවරුන් ලෙස රෝමානුවෝ සැලකූහ. ඔවුන් පිදීම, ඔවුන්ව සතුටු කිරීම වැනි ක්‍රියා තුළින් එම දෙවිවරුන් රෝම පුරවරය සශ්‍රීක කොට, බලවත් රජවරුන් පත් කර, ජන ජීවිත සුඛිත මුදිත කරන්නේ යැයි විශ්වාස කළහ. එවන් පිරිවරක් මැද ඔවුන් විසින් 'මිථ්‍යා දෘෂ්ඨිකයන් ' ලෙස හැඳින්වූ ජන කණ්ඩායමක් සිටීම එම දෙවිවරුන් කෝප කරවන දෙයක් ලෙසින් සැළකුණි. රෝමය පුරා වරින්වර පැතිරී ගිය වසංගත රෝග පීඩාදිය හා දුර්භික්ෂ වලට හේතුවත්, අයහපත් රජවරුන් රෝම අධිරාජ්‍යයට පත්වීමට හේතුවත් කිතුනුවන්‍ හා ඔවුන්ගේ ඒකදේවවාදී ක්‍රියා කලාපය නිසා දෙවිවරුන් දුන් දඬුවම් යැයි විශ්වාස කළෝය.
හිංසනයට පත් වූ කිතුනු තරුණියන්
ක්‍රිස්තියානි ධර්මය හා කිතුනුවන් පිළිබඳව රෝම සමාජය පුරා පැතිරී ගිය විකෘති, වැරදි කටකතා නිසා ඔවුන්ව පිටු වහලුන්  හා මිලේච්ඡයන් ලෙසින් සැලකීමට හේතු විය. නීරෝ නමැති අගරජුගේ පාලන කාලයේ දී රෝම සෙබළුන් නගරය පුරා චර පුරුෂ සේවයේ යෙදෙමින් රජුට විරුද්ධ කුමන්තුණකරුවන් හා අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවන් ගැන රෝම අධිකාරියට වාර්තා කළ යුතු විය. නිවෙස් තුළ රහසිගතව දිව්‍ය පූජාව පැවැත්වූ කිතුනුවන් අතර භාවිත වූ 'ප්‍රේමයේ මංගල්‍යය' [Love Feast], 'ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අනුභව කිරීම', 'ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය පානය කිරීම' වැනි වචන ප්‍රකාශ කරන කල ඒ ගැන කිසිත් නොදත් චර පුරුෂයන් නිවස තුළ සිදුවන ක්‍රියාව නොදැක කල්පනා කළේ එතැන මිනී මැරීමක් සිදුකර හා මිනිස් මාංශ අනුභව කර , මිනිස් රුධිරය පානය කරන ම්ලේච්චයන් පිරිසක් සිටින බව ය. එය ශිෂ්ඨ යැයි පිළිගත් රෝමානු සමාජය තුළ මිලේච්ඡත්වය හා ප්‍රචණ්ඩත්වය විදහාපෑමක් විය. එනිසා රෝමානුවන් කිතුනුවන් දෙස බැලුවේ 'මාංශභක්ෂක ගෝත්‍රිකයන්' ලෙසය. එබැවින් මෙවැනි පුද්ගලයන් නැසීම රෝම සභ්‍යත්වය සුරකින, රෝම දෙවිවරුන් සතුටු කරවන, තම පෞඪත්වය හා වීරත්වය රෝම සමාජය තුළ විදහාපාන ක්‍රියාවක් ලෙස පිළිගැණුනි. 
ජූලියස් සීසර් ප්‍රතිමාව
මෙකල රෝමයේ පැවති තවත් ජනප්‍රිය දේව වන්දනාවක් වූයේ අධිරාජ්‍යයාව දේවත්වයෙන් පිදීම ය.'අධිරාජ්‍ය වන්දනාව' නම් වූ එය රෝමයට හඳුන්වා දුන්නේ, ජූලියස් සීසර් ය.(වම් පස රූපය)[4] රෝම සෙනෙට් සභාවේ සිටි සභිකයන් කවදත් ප්‍රිය කළේ කොන්සල් ධූරයට ය. ඊජිප්තුවේ දේශපාලනික ආභාෂය ලත් ජූලියස් සීසර් අධිරාජ්‍යයෙකු වීමට ප්‍රිය කළේ ය. එහෙත් තම බලතල හා අයිතිවාසිකම් අහිමිවන එම අධිරාජ්‍යය ක්‍රමයට රෝම සෙනෙට් සභිකයෝ විරුද්ධ වූහ. එවැනි අධිරාජ්‍යවාදී ආකල්ප වලින් විකෘති මනසක් ඇතිව සිටි ‍නීරෝ වැනි රෝම අධිරාජ්‍යයන්ට එරෙහිව රහසිගත කුමන්ත්‍රණ මෙහෙය වෙමින් පැවතුණි. එහෙත් අධිරාජ්‍යයාගෙන් ඔවුන් තමන්ගේ ආරක්ෂාව තකා මෙම කුමන්ත්‍රණ වලට වගකිව යුත්තෝ කිතුනුවන් ලෙසින් පෙන්වා දුන්හ. එනිසා කිතුනුවන් යනු නීරෝ රජුට ඉතා අප්‍රසන්න වූ පිරිසක් විය.   
ජූලියස් සීසර්ගෙන් පසුව තාවකාලිකව යටපත් වූ අධිරාජ්‍ය වන්දනාව යළි පණගැන්වූයේ නීරෝ ය. පසුව පත් වූ රෝම අධිරාජ්‍යයන් කිහිප දෙනෙ‍කුම මෙය ක්‍රියාත්මක කළෝය. එවකට රෝමයේ සිටි කිතුනුවන් ‍අධිරාජ්‍යයාට විරුද්ධත්වය නොපෑව ද, ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්ති හෙළා දුටුහ. ඔවුන් අධිරාජ්‍ය වන්දනාව ප්‍රතික්ෂේප කළෝය. ඇතැම් රෝම අධිරාජ්‍යයන් කිතුනුවන්ට තම සතුරන් ලෙසින් සැළකූ අතර, තම පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු සාක්ෂාත් කර ගැනීමට කිතුනුවන් පිට වරද පටවමින් ඔවුන්ට දඩුවම් කළහ.[5]  
[නීරෝගේ රූපය]
එබැවින් එකල රෝම අධිරාජ්‍යය තුළ සිටි බොහෝ කිතුනුවන්ට අධික දුක් පීඩා වලට හා සමහරුන්ට මරණයට පවා ගොදුරු වීමට සිදු විය. බොහෝ කිතුනුවන්ට උමං සොහොන් හා බිම් ගෙවල් වල රැකවරණය පතා සැඟවී ගැනීමට සිදු විය. රහස් සංඛේත හා සළකුණු භාවිත කිරීමට සිදු විය. එහෙත් තම කිතු දහම වෙනුවෙන් දිවි පිදීම කිතුනුවන්ට හේතු කිහිපයක් නිසා වැදගත් විය. එනම්, තම ක්‍රිස්තියානි ධර්මයේ ඇත සත්‍යතාවය හා බලය රෝමානු සමාජයට පෙන්වා දීමත්, හිංසනය හා මරණය දැකීමෙන් විශ්වාසය සෙළවෙන කිතුනුවන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත්, ප්‍රාණ පරිත්‍යාගී බව හිමිකර ගැනීම ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි වන උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හා දේව රාජ්‍යය කිසිඳු බාධාවකින් තොරව හිමිකර ගැනීමේ ප්‍රබල අවස්ථාවක් බව පිළිගැනීමත්, තම ශ්‍රේෂ්ඨ කිතු දහම හා කිතුනු සභාව ආරක්ෂා කර ගැනීමේ අරමුණත් නිසාය.


[ඉදිරියට......] 

 

------------------- වැඩිදුර සටහන් -------------------
[1] ජෝසප් ජයසූරිය පියනම, සාන්ත සභා ඉතිහාසය, මලලසේකර යන්ත්‍රාලය, පානදුර, 1963, පි. 29. මෙතැන් සිට සාන්ත සභා ඉතිහාසය යනුවෙන් යෙදේ.
[2] ස්තෙපන් වනාහී හෙළනිස්ත (ග්‍රීක-ජුදෙව්) කිතුනුවන්ට සහනාධාර බෙදීම සඳහා අපෝස්තුළුවරුන් විසින් තෝරා පත් කරන ලද උපාස්ථායක තේවාචාර්යවරුන් සත්දෙනාගෙන් එක් අයෙකි.(ක්‍රියා 6 : 5) ''ස්තේපන් දේව වරප්‍රසාදයෙන් ද, ආනුභාවයෙන් ද පූර්ණව මහත් ලකුණු හා අරුම පුදුම දේ ජනතාව අතර සිදු කළේය."(ක්‍රියා 6 : 8) ක්‍රිස්තුස් වහන්සේ හා ඔවුන් වහන්සේගේ ධර්මය ගැන කළ ඉගැන්වීම් නිසා එතුමන්ව අත්අඩංගුවට ගෙන ජුදෙව් සැන්හෙඩ්‍රින් අධිකරණ සභාව වෙත පමුණුවා නඩු විභාගයක් පැවැත්වූහ. එහිදී ස්තේපන් තුමා පැවැත්වූ ගැළවීමේ ඉතිහාසය හා බැඳුණු දීර්ඝ දේශනය අසා මහත් කෝපයට පත් ජුදෙව් ප්‍රධානීන් (ක්‍රියා 7 : 1 - 53), එතුමාව ජෙරුසලම් නගරයෙන් පිටතට ඇදගෙන ගොස් ජුදා නීතිය පරිදි ගල් ගසා මරණයට පත් කළහ.(ක්‍රියා 7 : 54 - 60)
[3] Circa 110 CE 
[4] තම ප්‍රතිවාදියා වූ පොම්පෙයි (Pompeii) නමැති සෙනෙට් සභිකයා තම රැකවරණය පතා ඊජිප්තුවට පැන ගොස් සිටිය දී එරට ආක්‍රමණය කළ ජූලියස් සීසර් ඔහුව මරණයට පත් කළ අතර, ක්ලෙයොපැට්රා සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් එහි රාජකීයත්වයට හමිකාරත්වයක් ලබා ගත්තේ ය. එහි සිටිය දී ඔහු ලැබූ අත්දැකීම වූයේ, ඊජිප්තු වැසියන් තම පාරාවෝ රජවරුන් ව දේවත්වයෙන් පුදන ආකාරයයි. ඉතා තදින් සිත් තුළට කාවැදුණු එම සංකල්පනාව ඇතිව රෝමයට පිවිසි ජූලියස් තමන්ගේ උඩුකය ප්‍රතිමාවක් කිරිගරුඬින් නිමවා දේවාළයක තැන්පත් කර ඊට 'අනභිවනීය දෙවියන්' යන නාමය තැබීය.
[5] තම නමින් නව පුරවරයක් ඉදි කිරීමේ ආශාවෙන් පෙළී, ක්‍රිස්තු වර්ෂ 64 දී රෝමයට ගිනි තැබීමට සැලැස්වූ නීරෝ සෙනෙට් සභාවෙන් එය සැඟවීමට එම වරද කිතුනුවන් පිට පැටවීය. මැක්සිමියන්, වැලේරියන් හා දියොක්ලේෂියන් වැනි රෝම අධිරාජ්‍යයන් කිතුනුවන් වහල්කමට, යුධ කටයුතු වලට හා ග්ලැඩියේටර් මාරාන්තික සටන් ක්‍රීඩාව සඳහා යොදා ගත්හ.
 
   
Share this article :

0 comments:

Post a Comment

ROSARY MEDITATION

AUDIO BIBLE PLAYER

DAILY MASS READINGS

DIVINE OFFICE

DAILY DEVOTION BOX

WORLD CATHOLIC NEWS

AROUND THE WORLD

Flag Counter

VATICAN CHANNEL

CATHOLIC TUBE

Daily Bible Quiz

ChristiansUnite.com Daily Bible Trivia

LIVE TRAFFIC COUNTER

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith