Home » » ආදරවන්තයන් සමරන “වැලන්ටයින් දිනය”

ආදරවන්තයන් සමරන “වැලන්ටයින් දිනය”

හැඳින්වීම
පෙබරවාරි 14 වෙනිදා ලෝකයේ තරුණ වැඩිහිටි සැමට අමතක නොවන දිනයකි. මන්ද එදින වැලන්ටයින් දිනයඋත්සවාකාරයෙන් සමරන බැවිනි. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය ‍තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බෙහෝ දෙනෙකු මෙහි අර්ථය පවා නොදනිති. ඇතමුන්ට තම අශීලාචාරවත් සිතැඟි තෘප්තිමත් කර ගැනීමේ දවසකි.  ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර වැලන්ටයින් දිනය පැවැත්වීමේ රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියේ 1998 න් පසුවය. මෑතක බිහි වූ ඇතැම් මාධ්‍ය ආයතන මෙම දිනය පැවැත්වීම සඳහා විවිධ තරග හා කුසපත් ඇදීම් යනාදිය මගින් තරුණ තරුණියන්ට නොයෙක් අයුතු අවස්ථා ලබා දෙමින් විනෝද චාරිකා සංවිධානය කර ඊට මහත් ප්‍රසිද්ධියක් හා පෙළඹවීමක් ඇති කළහ.  එනිසා බෙහෝ අය මෙම දිනය දෙස බැලුවේ අශීලාචාරවත් පුද්ගලයන්ගේ දිනයක් ලෙසිනි. එබැවින් ඇතමුන් ඊට “වලත්යන්ගේ දිනය” යනුවෙන් අපහාසාත්මක නාමයක් පටබැන්දහ. එහෙත් මෙදින කතෝලික සභා කැලැන්ඩරයේ ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන් තෙනමක් ගෞරවාදරයෙන් සිහිපත් කරන දිනයක් බව දන්නෝ ස්වල්ප දෙනෙකි. ඉන් පළමුවැන්නා ක්‍රිස්තු වර්ෂ 269 දී පමණ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ නියමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වූ රෝමානු පූජක වැලන්ටයින්තුමා ය. දෙවැන්නා එම සියවසේ දීම පණ පිදූ ටර්නි හි රදගුරුතුමෙක් වූ වැලන්ටයින්තුමා ය. තෙවැන්නා අප්‍රිකාවේ ජීවත් වූයේ සැලකෙන එතුමාගේ බැතිමතුන් පිරිසක් සමග බොහෝ දුක් විඳ දිවි පිදූ එහෙත් වැඩි තොරතුරු නොදන්නා වැලන්ටයින්තුමා ය.  
  
සාන්ත වැලන්ටයින් පූජකතුමාගේ ජීවන තොරතුරු
සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ ජීවත් වූ රෝමයේ කතෝලික දෙව්මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වූයේ ය. එහෙත් මෙකල රෝම අධිරාජ්‍ය පුරා මිථ්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිර ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොට තිබුණි. කිතු දහම ඇදහීම සිරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපල රාජසන්තක කිරීම හා වධ බන්ධන වලට ලක් කර මරණයට පත් කිරීම යන දඬුවම් වලට හේතු සාධකයක් විය. එබැවින් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටි ධර්මදූතයන්ව අත් අඩංගුවට ගැණිනි.  ධර්මප්‍රචාරය නතර කිරීමට ද කිතු දහම අත්හැර දමා මිථ්‍යා දෘෂ්ථික දේව වන්දනාවන්ට යොමු වීමට ද බලපෑම් එල්ල විය.
කෲර පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසී රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැලී සිටියේ ය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් හමුදාවට එකතු වීමෙන් වැළකී සිටියහ. රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස්, තම යුධ හමුදාවට බැඳීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අත්හැර ඒමට තිබෙන අකමැත්ත බව තේරුම් ගත්තේ ය. එනිසා එවකට රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැඳිය යුතු බවත්, විවාහය ඔවුනට තහනම් බවත් ආඥාවකින් නියම කළේ ය. ඊට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකු නොවී ය. මෙම ආඥාවේ දුෂ්ඨකම අවබෝධ කර ගත් සාන්ත වැලන්ටයින්තුමා යුධ හුමදාවට බැඳී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවීය.  මේ සඳහා දෙව්මැදුරු භාවිත කිරීමට, නෑ හිතවතුන්ට සහභාගි වීමට හෝ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් නොවීය. පොළොව යට තනා තිබූ කිතුනු ජනවන්දනා රැස්වීම් පැවැත්වූ බිම් ගෙවල් හා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ මෘත ශරීර මිහිදන් කර තිබූ උමං සොහොන් ගෙවල් කිතුනු විවාහ මංගල චාරිත්‍ර පැවැත්වීමට යොදා ගැණිනි. මෙම කරුණ සැමදා රහසක්ව තබා ගැනීමට නොහැකි විය. යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් වුව ද ගැබිනි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වූ ක්ලෝඩියස් රජු චරපුරුෂයන් මගින් මේ පිළිබඳව සොයා බැලීය. මේ අනුව දිනක් උමං සොහොනක විවාහයක් සිදු කරමින් සිටිය දී වැලන්ටයින්තුමාව අත්අඩංගුවට පත් විය. දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට ලක් වූ එතුමාව දම්වැල් ලා සිර ගෙයක තැබිණි. මේ ගැන ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ. මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට වැලන්ටයින්තුමා සමත් විය. ඔහුගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටිය දීම විවාහ කරවීමට එතුමා සමත් විය. එබැවින් එම මුළාදෑනියා හා සෙබළාගේ සහයෙන් මෙම කාර්යය තව දුරටත් කිරීමට එතුමාට හැකි විය. සිරගෙදර ප්‍රධානි‍යාගේ දියණිය ‍මෙම කාර්යයෙහි ප්‍රධාන මැදහත්කාරිය වූවා ය. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින්තුමාගේ දුක සැප සොයා බැලීය. එහෙත් මෙය තව දුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැත. ක්ලෝඩියස් අගරජුගේ චරපුරුෂයන් මේ බව දැනගෙන ඔහුට දැන්වීය. මේ ගැන මහත් සේ උරණ වූ රජු ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විනෝද උත්සවයක් වූ ලුපර්කාලියා[1] [Lupercalia] පවත්වන දින ගෙළ සිඳ මරා දැමීමට නියම විය. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක [2] සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේ ය. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ, ඔබගේ වැලන්ටයින් ගෙනි["From Your Valentine"] යනුවෙනි. වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වූයේ මෙනිසා යැයි පිළිගැනීමක් ඇත.  එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල ‍වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම සඳහා ය. එබැවින් ක්‍රිස්තු වර්ෂ 496 දී ග්ලාසියුස් පාප්තුමා [Pope Gelasius] වලැන්ටයින්තුමාව සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍ය දිනය ලෙස නම් කළේ ය.


ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා සම්බන්ධ ජනප්‍රවාද
ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා එම නුවර රදගුරුවරයෙකු ලෙස සේවය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ දී පමණය. එතුමා සම්බන්ධ පැහැදිළි ජීවන තොරතුරු සපයා ගැනීමට නොමැත. එහෙත් එතුමා සම්බන්ධ ජනප්‍රවාදයක් තිබේ. එනම්, සෙරපියා නමැති කිතුනු තරුණියක් අකිතුනු රෝමානු හමුදා සෙබළෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තා ය. දිනක් මෙම තරුණිය භයානක බෝවන රෝගයකට ගොදුරු වී මරණාසන්න වූවා ය. රෝගී තරුණියව සමාජයෙන් වෙන් කර බිම් ගෙයක තැබුවා ය. මෙම අකිතුනු සෙබළා වැලන්ටයින් රදගුරුතුමා හමුවී තම පෙම්වතියගෙන් තමන්ව කිසිදා වෙන් නොකරන ලෙසට ආයාචනය කර ඇත. එම නිසා ඇයට සාත්තු කිරීමටත්, ඇය අසළ නිරතුරු රැඳී සිටීමටත් අවසර ලැබුණි. පසුව තරුණ සෙබළාට ද එම රෝගයට ගොදුරු වීමට සිදු විය.  දෙදෙනාව විවාහ කරවීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින් මරණයට පත් වූ බව කියවේ.   

වැලන්ටයින් දින විවිධ විශ්වාසයන්
අතීතයේ දී රෝමයේ සිටි මිථ්‍යා දෘෂ්ඨික ජනයා ජූනෝ නමැති රෝම දෙවඟනට පැවැත්වූ පුද පූජා උත්සවය අනාගත සහකරු / සහකාරිය සොයා ගැනීමේ හා තම ප්‍රේමය ඔවුනොවුන් වෙත ප්‍රකාශ කිරීමේ දිනයක් විය. “ලුපර්කාලියා” නම් වූ මෙම උත්සවයට එවකට සිටි කිතුනුවන් ද පුරුද්දකට මෙන් සහභාගි වූහ. එය පළමු දේව පණතට විරුද්ධ වූවක් බැවින් කතෝලික සභාව විසින් එයට සහභාගිවීම තහනම් කරන ලදි. එහෙත් එයින් ප්‍රතිඵලයක් නොවූයෙන් එම උත්සවය වෙනුවට සාන්ත වැලන්ටයින් දිනය හඳුන්වා දුණි. එදින දෙව්මැදුරු වලට රැස්වන කිතුනු බැතිමතුන් කිතුනු ලීලාවෙන් එය සැමරීමට යොමු විය.
අතීතයේ පටන් තම පෙම්වතා හෝ පෙම්වතියව ස්වකීය වැලන්ටයින්යන නමින් හඳුන්වා ඇත. අතීතයේ එංගලන්තයේ වේල්ස් හි කිතුනු ජනයා ලීයෙන් සකස් කළ හෘදයක හැඩතළ කැපූ හැඳි තම සිත් ගත් අය අතර හුවමාරුවක් කර ඇත. එහි අදහස වී ඇත්තේඔබ මගේ හදවතේ දොරගුළු විවර කරන්නයනු යි. මධ්‍යතන යුගයේ දී තම ඇඳුම් වල හදවතක රූපයක් සිතුවම් කර සතියක් පුරා ඇඳ පැළඳ සිටීම මගින් තමන්ගේ වැලන්ටයින්වන්නේ කවරෙක් දැ යි විමසිල්ලෙන් සිටීමේ සිරිතක් පැවතී ඇත. එමගින් තම සිතැඟි අන් අයට ප්‍රකාශ කර ඇත.
යුරෝපයේ ඇතැම් රටවල තරුණයන් තම සිත් ගත් තරුණියන්ට වැලන්ටයින් දිනයේ දී ත්‍යගයක් වශයෙන් ඇඳුමක් දී ඇත. එය ඊළඟ වසරේ පෙබරවාරි 14 තෙක් සුරක්ෂිතව තබා ගන්නා තැනැත්තිය තමන් හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නියක් ලෙසින් සළකා ඇත.
එසේම තරුණියන් තුළ මෙම දිනය සම්බන්ධ මිථ්‍යා විශ්වාස ද තිබී ඇත. වැලන්ටයින් දින දී කිසියම් තරුණියකගේ හිස උඩින් “රොබින්” කුරුල්ලෙකු පියඹා ගියේ නම් ඇයට නාවිකයෙකු සමග විවාහ වීමට සිදුවන බවත්,  ගේ කුරුල්ලෙකු පියඹා ගියහොත් දිළිඳු මිනිසෙකු හා විවාහ වී එහෙත් සතුටින් දිවි ගෙවිය හැකි බවත්, “ගෝල්ඩ් ෆින්ච්” වර්ගයේ කුරුල්ලෙකු නම් ධනවතෙකු සමග විවාහ වන බවත් විශ්වාස කර ඇත.
වැලන්ටයින් දින උත්සව වල දී ඉංග්‍රීසි ඒස් [S] අකුරේ හැඩයට තැනූ ආදර අසුන{Love Seat} මත අසුන් ගන්නා තරුණ තරුණියන් පසුකලෙක විවාහ ගිවිස ගන්නා බවට මතයක් යුරෝපය තුළ විය.
තවද, වැලන්ටයින් දින ඇපල් ගෙඩියක් ගෙන එහි නටුව අඹරා එය දිග හැරී ඇපල් ගෙඩිය බිම පතිත වනතුරු තමන් විවාහ වීමට කැමති සිත් ගත් තරුණ / තරුණියන් හය දෙනෙකුගේ නම් කියති. ඇපල් ගෙඩිය නටුවෙන් ගිළිහෙන විට තමන් තම උච්චාරණය කරමින් සිටි තරුණියව / තරුණයාව තමන්ට විවාහ කර ගැනීමට හැකි බවත් විශ්වාස කර ඇත.
වැලන්ටයින් දින දී කහ පැහැති මල් පිපෙනdandelionනමැති ග‍සක් වෙත ගොස් එහි පැළී ඇති කරලකට දීර්ඝ හුස්මක් ගෙන පිඹීම කරයි. එවිට එහි ඇට සුළ‍ඟේ පාවී යයි. කරල තුළ ඉතිරි වන ඇට සංඛ්‍යාව විවාහයෙන් තමන්ට හිමි වන දරුවන් සංඛ්‍යාව පෙන්වන බවට විශ්වාසයක් ද විය.
එසේම එදින දී ඇපල් ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා ඒ තුළ තිබෙන ඇට සංඛ්‍යාව නිවැරදිව ගණනය කළ හැකි නම් විවාහයෙන් හිමි වන දරුවන් සංඛ්‍යාව ද එයම වන බව ද විශ්වාස කර ඇත.

වැලන්ටයින් දින චාරිත්‍ර
වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමා‍ගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.
වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.
වැලන්ටයින් සින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් [ Miss Esther Howland] නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාර්ත්‍ර වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

නූතන වැලන්ටයින් දිනය
නූතනයේ බොහෝ රටවල් වැලන්ටයින් දිනය සමරන්නේ හුදු වාණිජමය හෝ අශිෂ්ඨ තෘෂ්ණා ඉටු කර ගැනීමේ දිනයක් වශයෙනි. තරු පහේ හෝටල වල ධනවතුන්ට අනඟ රැඟුම් නැටීමට හා දැක බලා ගැනීමට අවස්ථා සැළසේ. එහෙත් සාන්ත වැලන්ටයින් දිනය යනු, උදාර කිතුනු මංගල්‍ය දිනයකි. රෝමයේ සාන්ත වැලන්ටයින් පූජකතුමා දිවි පිදුවේ අමිල නිර්මල වෛවාහික ප්‍රේමය හා බැඳුණු පවුල් සංස්ථාව සුරක්ෂිත කිරීමට හා ගොඩ නැංවීමට ක්‍රියා කිරීමට යාම හේතුවෙනි. එබැවින් එදින අශෝභන හා අශීලාචාර හැඟීම් සපුරා ගැනීමට හෝ හුදු වාණිජමය අරමුණු ඉටු කර ගැනීමට හෝ යොදා ගැනීම එදින පවිත්‍රත්වය කෙළසන සාපරාධී ක්‍රියාවකි. එදින කිතුනු ආකල්පය විකෘති කිරීමකි. බාල හා තරුණ පරපුරට අවාදර්ශ දීමක් හා සදාචාර විරෝධී ක්‍රියාවක් ද වේ. එබැවින් වැලන්ටයින් දිනය වඩාත් අර්ථවත් හා සදාචාරත්මක නියම ආගමික හැඟීමකින් යුතුව සැමරීමට යොමු වීම අවශ්‍ය ය.  

෴ වැඩිදුර සටහන් ෴
[1] “ලුපර්කාලියා” [Lupercalia] යනු පැරණි රෝමානු මිථ්‍යා දෘෂ්ඨික උත්සවයකි. මෙය පවත්වා ඇත්තේ රෝමානු දෙවි දේවතාවරුන්ගේ ප්‍රධානියා ලෙසින් සැලකෙන ජූනෝ නමැති රෝමානු දේවතාවියගේ දිනය ලෙස සැලකූ පෙබරවාරි 14 වෙනි දා ය. එ‍සේම මෙම ජූනෝ වනිතාවන් හා විවාහයට අධිපති දෙවඟන ලෙසින් ද ඔවුන් සළකති. මෙම උත්සවයේ දී සිදු වන එක් විශේෂ ක්‍රියාවකට අනුව, එම උත්සවයට පැමිණෙන තරුණියන්ගේ නම් ලියූ කුඩා කොළ කැබලි බඳුනකට දමයි. එම බඳුනට අත දමා  ඉන් කොළ කැබැල්ලක් බැගින් ගැනීමට එහි සිටින තරුණයන්ට අවස්ථාව ලැබේ. තමන් ගන්නා කොළ කැබැල්ලේ නම දැක්වෙන තරුණිය සමග එම උත්සවයට සහභාගිවීමටත් නැටුම් දැක්වීමටත් අවස්ථාව සැළසේ. පසුව ඔවුනොවුන් අතර ප්‍රේම සබඳතා ඇති වී විවාහ වූ අවස්ථා ද විය. එහෙත්, ක්ලෝඩියස් අගරජු මෙම උත්සවය පැවැත්වීමේ දී කළ නියෝගය පරිදි ඔවුන්ගේ සබඳතා ඒ අවස්ථාවට පමණක් සීමා කෙරුණි.
[2] එවකට ලිපි ලිවීමට යොදාගත් පැපිරස් නමැති ශාකයේ කඳින් නිපද වූ පුස්කොළපත් විශේෂයකි. මිසරය, ඉශ්රායෙලය වැනි රටවල මේවා ඉතා ජනප්‍රිය ලිපි ද්‍රව්‍යයක් විය. ශුද්ධ බයිබලයේ මුල් පිටපත් මෙම පැපිරස් පුස්කොළ වල ග්‍රන්ථාරූඪ කර ඇත.

Share this article :

2 comments:

  1. හොඳින් කරුණු අධ්‍ය්නය කර ඉතා සිත් ගන්නා ආකාරයට ඉදිරිපත් කිරීමට ඔබ දක්වන කුසලතාවය මම ඉතා අගය කරමි...

    ඔබේ බ්ලොගයේ මා දකින විශේෂත්වය නම් එය කරුණු වලින් ඉතා පොහොසත් වීමයි...

    මේ ගැන ඔබට තුති...

    ඉහත සිද්ධියම කෙටියෙන් මගේ බ්ලොගයේද ලීවෙමි...

    එයට ප්‍රතිචාර දැක්වූවෙකු මගෙන් අසා සිටියේ ශුද්ධවරයට ඔසවනවා කියන්නේ කුමක්ද කියාය...

    ඒ ගැන සොයා post එකක් දැමීමට මට සිතුනත් මට වඩා ඔබ කරුණු දන්න බැවින් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි......

    ReplyDelete
  2. හරී මහත්මාට...
    ඔබතුමන්ගේ අවංක ලස්සන අදහස් වලට හා අගය කිරීමට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ‍මාගේ අදහස් හා ස්තුතිය ඔබතුමන් වෙත පළ කිරීමට සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කමාව යදිමි. මාගේ බ්ලොග් අඩවියේ වූ කිසියම් දෝෂ සහගත තත්ත්වයක් නිසා මට එහි කිසිඳු අදහසක් පළ කිරීමට නොහැකි විය.
    කෙනෙකුව ශුද්ධවරයට එසවීම පිළිබඳව සුදුසු ලිපියක් පසු කලෙක පළ කිරීමට උත්සහ කරන්නම්.
    ස්තුතියි, ඔබට ජය!
    ජේසු පිහිටයි!
    ෴ ධර්මෝපදේශකයා ෴

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith