Home » » ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

හැඳින්වීම
කතෝලික බැතිමතුන්ගේ දේව වන්දනාව වර්ෂ තුනකින් යුක්ත කතෝලික ලිතකින් සකස් වී ඇත. එක් එක් වර්ෂය "ජනවන්දනා වසර" 1,2 හා 3 යන යනාදී වශයෙන් නම් කෙරේ. එම කතෝලික ජනවන්දනා ලිතට අනුව විවිධ මංගල්‍ය උත්සව සැමරීම සිදුවේ. ජනවන්දනා ලිතේ 3 වන වර්ෂය අවසන් වූ විට නැවත 1 වන වර්ෂය ආරම්භ වේ. මේ අනුව මෙම ජනවන්දනා වර්ෂ තුන චක්‍රාකාර ස්වභාවයක් ගනියි. එබැවින් එය "ජනවන්දනා චක්‍රය" යන නමින් ඇතැම් අය හඳුන්වති. සාමාන්‍යයෙන් ජනවන්දනා වර්ෂයක් ආරම්භ වන්නේ "ආගමන කාලය" යන නමින් හඳුන්වන සති හතරකින් යුත් ආධ්‍යාත්මික සූදානම් වීමේ විශේෂ කාලයක (පළමුවන) ඉරු දිනක දී ය. (1) ජනවන්දනා වර්ෂයක් අවසන් වන්නේ "ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය"යන නමින් හඳුන්වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ සැමරුමකිනි.  මිනිස් වර්ගයාට ගැළවීම හා විමුක්තිය අත්කර දුන් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට විශේෂාකාරයෙන් ගෞරව නමස්කාර කිරීම මෙම මංගල්‍යය සැමරීමෙන් සිදු කෙරේ.

ක්‍රිස්තු රජාණන් පිළිබඳ ශුද්ධ බයිබලීය ඉගැන්වීම්
ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට දැනුම් දීම පිලිබඳ සිද්ධියේ දී, "දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරේ සදහට ම රජකම් කරන සේක, උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොවන්නේ ය" යනුවෙන් ලූක් තුමා පෙන්වා දී ඇත. (ලූක් 1 : 32 - 33) 
දාවිත් රජුගේ නුවර වූ බෙත්ලෙහෙම හි "ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණන් කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, උන් වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු" යි පෙරදිගින් පැමිණි ශාස්ත්‍රවන්තයෝ මහ හොරෝද් රජුට කීහ. (මතෙව් 2 : 1 - 2) 
"වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ ද?" යි ප්‍රශ්න කළ අවංකයෙකු වූ නතානියෙල් නමැති පරිසිවරයා ජේසුස් වහන්සේව දැක, "....ඔබ වහන්සේ නම් ඉශ්රායෙල් හී රජිඳාණෝ ය" යි පිළිතුරු දුන්නේ පුරාණ ගිවිසුමේ ජනතාව බලාපොරොත්තු වූ ස්වර්ගයෙන් මෙලොවට වඩින ස්වර්ගීය රජාණන් ජේසුස් වහන්සේ බව පසක් කර ගැනීම නිසා ය. ජේසුස් වහන්සේ රාජ තේජසින් ජෙරුසලම් නුවරට කොටළුවෙකු පිට නැගී සම්ප්‍රාප්ත වීම පිළිබඳ සිද්ධිය මතෙව් තුමා සෙකරියස් (9 : 9) දිවැසිවරයාගේ දිවැස්වැකිය උපුටා දක්වමින්, 
"බලන්න, ඔබේ රජ
කොටළුවෙකු පිට,
එසේය, කොටළු වස්සෙකු පිට නැගී,
යටහත් පහත් ලෙස
ඔබ වෙත එන්නේ යයි 
සියොන් වැසියන්ට දන්වන්න" (මතෙව් 21 : 5) 
යනුවෙන් ඔවුන් වහන්සේගේ රාජකීයත්වය පෙන්නුම් කර ඇත. සියොනය යනු පුරාණ ගිවිසුමේ මිනිසුන් ජෙරුසලමට භාවිත කළ නාමයකි. බොහෝ විශාරදයන් මෙහිදී සියොනය යන්න පැමිණීමට නියමිත නව දේව රාජ්‍යය අදහස් කරන බව දක්වති. නව දේව රාජ්‍යය වනාහී අවසාන විනිශ්චයෙන් පසුව උදාවන යහපතුන්ගේ රාජ්‍යය ය. එහි රජාණන් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. සම්පූර්ණත්වයට පත් වීමට නියමිත දේව රාජ්‍යය කරා තේජශ්‍රීයෙන් වැඩම කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ව සලකුණක් ලෙස මෙම ජෙරුසලමට කොටළුවෙකු පිට වැඩම කිරීම දක්වා ඇත. ජොහාන් තුමාගේ සුභාරංචි පොතේ මෙය,

 "හෝසන්නා !
ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩනා
තැනැන් වහන්සේට ආසිරි වේවා!
ඉශ්රායෙල් රජු හට ආසිරි වේවා
යි, ඔල්වර හඬ නගමින් උන් වහන්සේ පෙරමගට පැමිණි' බවය. (ජොහාන් 12 : 13)
පිළාත් ‍නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේව විනිශ්චය කරමින්, "එසේ නම් නුඹ රජෙක් ද" යි ඇසූ ප්‍රශ්නයට, "මම රජෙක් යැයි ඔබ ම කියන්නෙහි ය" යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුර තුළ ඔවුන් වහන්සේගේ රාජකීයත්වය ප්‍රකාශ වේ. පිලාත් ජේසුස් වහන්සේව ජුදෙව් ජනතාවට හඳුන්වා දුන්නේ, "මෙන්න ඔබේ රජ" යනුවෙනි. (ජොහාන් 19 : 14) එසේම ඔහු ජේසුස් වහන්සේගේ කුරුසිය මුදුනේ එල්ලා තැබූ පුවරුවේ "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්" යැයි ලියවීය. (ජොහාන් 19 : 19)
  ක්‍රෑර සෙබළුන් ජේසුස් වහන්සේට වධ හිංසා පමුණුවමින් නින්දා අපහාස කළේ, "ජුදෙව් රජතුමෙනි, සැරදේ!" යැයි කියමිනි. (ජොහාන් 19 : 3) ජේසුස් වහන්සේ කුරුසිය මත සිටිනු දුටු ජුදා ශ්‍රේෂ්ඨයන් අපහාස කරමින් කීවේ, "...මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේද? එසේ නම් දැන් කුරුසියෙන් බසීවා..." යනුවෙනි. (මතෙව් 27 : 42) 
මතෙව් 25 : 31 - 46 හි දැක්වෙන "ජාතීන්ගේ විනිශ්චය දවස" පිළිබඳ ඉගැන්වීමෙහි ජේසුස් වහන්සේව "රජ්ජුරුවන් වහන්සේ" ලෙසින් හඳුන්වා ඇත. (මතෙව් 25 : 31, 34) ජේසුස් වහන්සේ ස්වකීය උත්ථානයෙන් පසුව ස්වර්ගාරෝහණයට පෙර ඔලීව කන්ද වෙතට කැඳවා ගෙන ගිය තම ශ්‍රාවකයන්ට කීවේ, "ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා දී ඇත" යනුවෙනි. (මතෙව් 28 : 17) ජේසුස් වහන්සේ නැවත රාශ්‍රීයෙන් මෙලොවට වැඩම කරන තුරු ලෝකය තුළ ධර්මදූත කාර්යයෙහි නිරත වෙමින් දේව රාජ්‍යය සම්පූර්ණත්වය කරා ගෙන යාමේ වගකීම හා බලය ශුද්ධ සභාවට පැවරූ සේක. ඒ අනුව කිතුනු සභාවට ඇතුළුවීම යන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි කොටස්කරුවන් වීමකි. ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වයට පංගුකාර වීමකි. 
ශුද්ධ වූ පාවුළු තුමා පෙන්වා දෙන පරිදි  ‍ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ "වනාහී භාග්‍යවත්, අසහාය, අධිපති රාජති රාජ, දේවාති දේව තැනැන් වහන්සේ ය."(1 තිමෝති 6 : 15) ".....කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුස් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය" (එපීස 5 : 5)  යනුවෙන් ද දක්වයි. එළිදරව්ව 1 : 5 හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ "මිහි පිට රජුන්ගේ අධිපතියාණන්" ලෙසින් හඳුන්වන අතර, 19 : 16 හි "අන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කළවයෙහි ද 'රජවරුන්ගේ රජ ය, ස්වාමිවරුන්ගේ ස්වාමිය' යන නාමය ලියා තිබේ" යැයි දැක්වේ.
   
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ ඉතිහාසය
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට වැඳ නමස්කාර කිරීම කතෝලික සභාව විසින් පවත්වනු ලැබිය යුතු මංගල්‍යයක් වශයෙන් නියම කළේ ක්‍රිස්තු වර්ෂ 1925 දී 11 වන පියුස් පාප්තුමා ය. [Pope Pius XI, - Click Here]ට හේතුව යුරෝපීය සමාජයෙන් ආර්මභ වී පසුව වෙනත් රටවල් තුළ ව්‍යාප්ත වෙමින් තිබූ නොයෙකුත් ජාතිවාදී සංකල්ප හා ලෝකයත්තවාදය [Secularism] යි. එම පාප්තුමා ක්‍රිස්තු වර්ෂ 1925 දෙසැම්බර් 11 දින නිකුත් කළ, "Quas Primas" (ලතින් භාෂාවෙන් "පළමුවෙන්" යන අදහස දෙන) විශ්ව හසුන් පතේ, ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය විශේෂ මංගලෝත්සවයක් ලෙසින් විස්තර කර ඇත. ඊට පෙර 13 වන ලියෝ පාප්තුමා  රචිත "අන්නුම් සේකෘම්" [Annum Sacrum - ශුද්ධ වූ වසර] නම් වූ විශ්ව හසුන් පතේ ද, "ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය සමස්ත මානව වර්ගයාව පිළිගෙන වැළඳ ගන්නා බව" සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1960 දී 23 වන ජුවාම් පාප්තුමා [Pope John XXIII, - Click Here] සංශෝධනය කර සකස් කළ කැලැන්ඩරයේ ද මෙම ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය පළමු පෙළ මංගලෝත්සවයක් ලෙසින් ඇතුළත්ව තිබේ.(2) ක්‍රිස්තු වර්ෂ 1969 දී 6 වන පාවුළු පාප්තුමා "මිස්ටරී පාස්කාලිස්" [Mysterii Paschalis] නමින්, කතෝලික ජනවන්දනා කැලැන්ඩරය පාදක කොට ගෙන නිකුත් කළ ලේඛනයේ, "අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණෝ ය" ["D. N. Iesu Christi universorum Regis"] යන විශ්වාසයේ සත්‍යතා වගන්තියක් ප්‍රකාශයට පත් කළේ ය. එය මංගලෝත්සවයක් වශයෙන් නොවැම්බර් මස දී, ආගමන කාලයේ පළමු ඉරු දිනට පෙර ඉරුදින(3) පැවැත්විය යුතු බවට ද නියම කළේ ය. 

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ වැදගත්කම
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය වනාහී දේවධාර්මික වශයෙන් වැදගත්කමක් උසුළන සැමරුමක් වන්නේ, එමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වය ලොවට ප්‍රකාශ කරන අතර, (කතෝලික විශ්වාසය පරිදි) එය ඔවුන් වහන්සේගේ රාජශ්‍රීය දෙවන ආගමනය හා සම්බන්ධ වූවක් වන බැවිනි. එසේම මෙම මංගල්‍යය වෙනත් කිතුනු සභාවන් ද විශේෂ කොට සළකන්නකි. 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්තුමා පෙන්වා දෙන ආකාරයට, "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රජකම මෙලොව මනුෂ්‍ය බලයක් හෝ අධිකාරයක් මත නොව, ලෝකය තුළ සේවය කිරීම හා ප්‍රේමය දැක්වීම මත ගොඩනැගුණු දෙයක්" බව ප්‍රකාශ කර ඇත. එසේම කිතුනුවා එය පිළිගෙන එය තම ජීවිත ආදර්ශය තුළින් ප්‍රකාශ කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. ජේසුස් වහන්සේගේ රාජකීයත්වය ලෞකික දේශපාලනමය රාජ්‍යයක් බිහි කිරීම සම්බන්ධයෙන් නොව, එය ඔවුන් වහන්සේව අදහන මිනිස් හදවත් තුළ ගොඩනැගුණකි. පිලාත් නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේගෙන් ඇසූ, "නුඹ ජුදෙව්වරුන්ගේ රජ ද?" යන ප්‍රශ්නයට ඔවුන් වහන්සේ දුන් දුන් පිළිතුර වන, ".....මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත, .....මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ" යන්නෙන් එය පැහැදිලි ය. ක්‍රිස්තුස් වහන්සේ රජාණන් වන්නේ අපගේ හදවත තුළය. කතෝලික සභාව ඇගේ අදෘෂ්‍යමාන නායකයාණන් වන ජේසුස් වහන්සේව ස්වකීය රජාණන් ලෙසින් සළකන්නීය.  16 වන බෙනඩික්ට් පාප්තුමා 2009 වසරේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය දින කළ දේශනයට අනුව,(4) ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දුන් මොහොතේ ඔවුන් වහන්සේ දාවිත් රජුගේ පරපුරෙන් පැමිණෙන බවත් ඔවුන් වහන්සේගේ රාජ්‍යය කිසිදා කෙළවර නොවන බවත් කී අතර, මරිය තුමිය ජේසුස් වහන්සේ උපත ලබන්නට පෙර සිට එය පිළිගෙන අදහා ගත්තා ය. මෙම නව රාජකීයත්වය වනාහී, ජේසුස් වහන්සේගේ වචනයට සවන් දීම එය වටහා ගෙන, විශේෂයෙන් ඔවුන් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානයට (පාස්කු අභිරහසට) වඩාත් සමීපව ජීවත්වීම තුළ අත්දැකිය යුත්තක් බව ඇය අවබෝධ කරගත්තා ය. 
 දෙවියන් වහන්සේ ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තිලොව රජාණන් ලෙස පත් කර ඇති බව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
"එබැවින් දෙවියන් වහන්සේ  
උන් වහන්සේ අති උසස් තැනට නංවා,
සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය 
උන් වහන්සේට දුන් සේක. 
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, 
පාතාල ලොකයෙහි ද සියල්ලන්,
'ජේසුස්' යන නාමයට දණ නමන පිණිසත්,
  ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි
දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා,
සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය" (පිලිප්පි 2 : 9 - 11) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටමෙම රාජකීයත්වයේ උරුමය ස්වර්ගයේ දී ම හිමිව තිබූවකි. ඔවුන් වහන්සේ මෙලොවට වැඩම කළේ එම රාජකීය දේවත්වය ඉවත ලා මනුෂ්‍ය ස්වභාවය ගෙන මිනිස් සංහතියට ගැළවීම හා විමුක්තිය උදා කරනු සඳහා ය. දේව කැමැත්ත හා සැලැස්මට සම්පූර්ණයෙන් අවනත වෙමින් කළ උදාර ප්‍රේමයේ ජීවිත පූජාවට ඔවුන් වහන්සේට ලැබුනු දේව තිළිණය වන්නේ මහිමාන්විත උත්ථානය හා නැවත එම රාජශ්‍රීයයේ උරුමය යි.  
ක්‍රිස්තු රජාණන්ගේ මෙම මංගල්‍යය කිතුනු අප උත්සවාකාරයෙන් සැමරීම යනු, ක්‍රිස්තුස් වහන්සේව අප ජීවිත තුළට රාජකීයත්වයෙන් පිළිගැනීමක් වන අතර ඔවුන් වහන්සේගේ රාජකීයත්වයට ලොවට ප්‍රකාශ කිරීමකි. යහපත් ශුද්ධවන්ත ජීවිත ගත කිරීම මගින් ඔවුන් වහන්සේගේ අනාගත දිව්‍යමය රාජ්‍යයට ඇතුළත් වීමේ වරම හිමිකර ගැනීමට අප සැමට දිව්‍යමය කැඳවීමක් හිමි ය.එම කැඳවීම තුළ ජීවත් වෙමින් එම රාජ්‍යය අත්පත් කර ගැනීමට කිතුනු සැම දෙන උත්සහ කළ යුතුය.    


වැඩිදුර සටහන්
(1) "ආගමන කාලය" පිළිබඳව පසුව ලිපියක් ඉදිරිපත් කිරීමට නියමිතය.  
(2) Movable (General Catholic Liturgical Calendar)
  • Sunday after Epiphany or, if Epiphany is celebrated on 7 or 8 January, the following Monday: Baptism of the Lord – Feast
  • Sunday after the first full moon occurring after 20 March: Easter – Solemnity
  • Fortieth day from Easter (Thursday of the Sixth Week of Easter): Ascension of the Lord – Solemnity
  • Fiftieth day from Easter: Pentecost – Solemnity
  • First Sunday after Pentecost: Holy Trinity – Solemnity
  • Thursday after Holy Trinity: Body and Blood of Christ – Solemnity
  • Friday following the second Sunday after Pentecost: Sacred Heart of Jesus – Solemnity
  • Saturday following the second Sunday after Pentecost: Immaculate Heart of Mary – Memorial (if the date coincides with that of another Memorial, both become optional)
  • Last Sunday in Ordinary Time (last Sunday before 27 November): Christ the King – Solemnity
  • Sunday within the Octave of Christmas or, if there is no such Sunday, 30 December: Holy Family – Feast
Epiphany is celebrated on the Sunday after 1 January, the Ascension of the Lord on the Seventh Sunday of Easter, and the Body and Blood of Christ (Corpus Christi) on the Sunday after Holy Trinity in countries where the Episcopal Conference, with the prior approval of the Apostolic See, has decided that they are not treated as Holy Days of Obligation.
"For the pastoral advantage of the people, it is permissible to observe on the Sundays in Ordinary Time those celebrations that fall during the week and have special appeal to the devotion of the faithful, provided the celebrations take precedence over these Sundays in the Table of Liturgical Days" (General Norms for the Liturgical Year and the Calendar, 58).
(3) 2010 වසරේ එය නොවැම්බර් 21 ඉරු දින යෙදී ඇත.
(4) Dear brothers and sisters, when the Angel Gabriel brought the announcement to Mary, he predicted that her Son would inherit the throne of David and reign forever (cf. Lk 1: 32-33). And even before she gave him to the world, the Blessed Virgin believed. Thus she must certainly have wondered what new kind of kingship Jesus' would be; she came to understand by listening to his words, and especially by closely participating in the mystery of his death on the Cross and in his Resurrection. Let us ask Mary to help us too to follow Jesus, our King, as she did, and to bear witness to him with our entire existence.
— Pope Benedict XVI, Angelus Address, November 22, 2009
   
 

Share this article :

10 comments:

  1. වෙනදා වගේම වටිනා කියන ලිපියක්.මාතෘකාවට අදාළ සියලුම කරුණු සාරාංශගතව අන්තර්ගත වීම මේ බ්ලොග් අඩවියේ ලක්ෂණයක්. ඒක පාඨකයාව අතරමං නොකර තබා ගැනීමට ගන්නා හොඳ උත්සහයක්. ස්තූතියි ඔබට. හොඳ එඬේරික කාර්යයක්. ජේසු පිහිටයි.

    ReplyDelete
  2. ඇත්තටම කාටවත් වැඩක් නැති ලිපියක්.

    දෙවියන් හරි ජේසු කියල හරි කෙනෙකු හෝ ආත්මයක් නැති බව හෝ හිටියේ ත් නැති බව දන්නේ නැද්ද?

    ඇයි මිනිසුන් මුලා කරන්නේ????

    ReplyDelete
  3. තමාගේ ධෛවය වත් වෙනස්කර ගන්න බැරුව කුරුසියේ ගිහිල්ලා ඇණ ගහ ගත්තු කෙනෙකුට වදින්නේ ඇයි.

    ජේසු එහෙම ‍කලේ පව් මුලු ලෝකෙම පව් සමා කරවන්න නම්, ඇයි තාම මනිස්සු දුක් විදින්නේ???

    පියවි සිහියට එන්න තමා මුලාවෙන් මිදී ඉන්න...

    ReplyDelete
  4. ශිරෝෂන් හා ඇන්ටන් මහත්වරුන්ට...
    ඔබතුමන්ලා මගේ බ්ලොග් ලිපිය කියවා පළ කළ අවංක ලස්සන අදහස් හා සුභ පැතුම් වලට බොහෝ ස්තුතියි!
    ඔබට ජේසු පිහිටයි!
    ෴ධර්මෝපදේශකයා෴

    ReplyDelete
  5. Anonymous නමින් නිර්ණාමික ලිපි පළ කරන අයට....
    ඔබගේ අවංක අදහස් වලට ස්තුතියි! ද්‍රව්‍යවාදයෙන් හා අදේවවාදයෙන් පිරී ගිය මෙවැනි භෞතික සමාජයක ඔබතුමා වැනි අදහස් දරන අය සිටීම අරුමයක් නොවේ. ඔබ වැන්නන් ජේසුස් වහන්සේගේ කාලයටත් පෙර සිට ම සිට ඇති බව මම දනිමි. මා ඔබට දොස් නගන්නේ හෝ ශාප නොකරන්නේ, ඔබ හා සමාන අදහස් දැරූ මුල දී ක්‍රිස්තු විරෝධියෙකු වූ පාවුළු වැනි පුද්ගලයන්ව ද පසුව ජේසුස් වහන්සේ සත්‍ය ඇදහිල්ලට හරවා ගෙන ඔවුන් වහන්සේගේ ධර්මය සිය ජීවිත පූජාවෙන් මධ්‍යධරණී ලෝකය පුරා ව්‍යාප්ත කර හැරීමට තෝරා ගත් නිසයි.
    ඔබ කියන පරිදි ජේසුස් වහන්සේට තමාගේ දෛවය වෙනස් කර ගන්න බැරි වුනේ ඔබගේ වැනි අදහස් දරන අදමිටුවන් එදා පටන් තවමත් ලොව සිටින නිසයි. හැබැයි ඒ දෛවය වෙනස් කරගන්න බැරි වුණ ජේසුස් කියන මිනිසා වෙනුවෙන් දිවි පිදූ අය දහස් ගණනක් සිටිනව. ඔබ කියන ඒ මිනිසාව අදහන ජනතාව අද ලෝකයේ කෝටි 150 ක් ඉන්නවා. ඒ සියලු දෙනා අඥානයන් ද? (මෙසේ වචන භාවිත කිරීමට සිදුවීම ගැන සමාවන්න)
    ඔබට මෙම ලිපිය කිසිම වැඩක් නැති වූවත් ඉන් ප්‍රයෝජන ලබන අය ඕනෑ තරම් සිටිති. ඒ බව ඉහත Comment වලින් පෙනී යනු ඇත. ඔබට යමක් ‍නොලැබේ නම් මෙම බ්ලොග් අඩවියට නොපැමිණ සිටින්න. එහෙත් නිර්ණාමිකව පෙනී සිටිමින් අනුන්ගේ ආගම් ගැන හරි හැටි කිසිත් නොදැන ඒවායේ සත්‍යතාවයන් හා සංකල්ප උඩින් පල්ලෙන් බලා විවේචනයට හෝ පරිභවයට ලක් කරන්නේ විචාර බුද්ධියක් ඇති උගතුන් නම් නොවේ.

    ReplyDelete
  6. Anonymous නමින් අදහස් පළ කරන්නාට....
    ShoutMix තීරුවේ පවා තම අදහස නැවත පළ කිරීමෙන් ම ඔබගේ ආධ්‍යාත්මය තුළට ජේසුස් වහන්සේගේ හඬ ශබ්දය කා වැදී තිබෙන බව පෙනී යයි.
    දුක වේදනාව මනුෂ්‍ය සංහතියට උරුම දෙයක්. දුකට හේතුව මිනිසාගේ ම සිතුවිළි හා ක්‍රියාවන් මිස එය දේව බලපෑමක් නොවේ. "මිහිපිට මිනිසාගේ දුඩි දුෂ්‍ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.... ලෝවැසි සෙසු හැම දෙන ම දූෂ්‍ය වී සිටියහ; ඔවුහු සැහැසිකමින් පිරී සිටියහ. දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල් ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය" (උත්පත්ති 6 ඥ 5 - 6, 11 - 12)යන්නේ මිනිසාගේ ප්‍රචණ්ඩත්වය පිළිබිඹු වේ.
    ජේසුස් වහන්සේ මෙලොවට පැමිණ ඔබ වැනි අය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඔබව දුකින් මුදන්නට නොව, නැතී ගොස් තිබූ දේව සම්බන්ධතාවය හා ස්වර්ගය මිනිසාට දිනා දීමට ය.

    ReplyDelete
  7. post එක හොඳයි.. ඒත් මට හිතුනා ටිකක් කියවන්න හිතෙන ගතිය අඩුයි කියලා.

    මේ comment එක (Anonymous said... ඇත්තටම කාටවත් වැඩක් නැති ලිපියක්.
    දෙවියන් හරි ජේසු කියල හරි කෙනෙකු හෝ ආත්මයක් නැති බව හෝ හිටියේ ත් නැති බව දන්නේ නැද්ද?)
    දීපු කෙනා නම් අඩුම ගානෙ ඉතිහාසයවත් නොදන්නා කෙනෙක්..



    ස්තුතියි.

    ReplyDelete
  8. word verification mala karadarayakne...eka ayin karanawanam hondai...

    ReplyDelete
  9. හරී මහත්මාට....
    ඔබතුමාගේ අවංක අදහස් වලට හා ඇගයීමට බොහෝ ස්තුතියි.
    කියවීමට හිතෙන ගතිය අඩුවන්නට ඇත්තේ බ්ලොග් පෝස්ට් එක දීර්ඝ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා. එසේ අපහසුතාවයකට පත් වූවා නම් සමාවන්න. ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය ගැන කීමට තිබෙන දේ බොහෝ ය. එම සංක්ෂිප්ත කළේ ඉතා අපහසුවෙන්.
    "Anonymous" නමින් විවිධ අදහස් පළ කරන අය සිටිනවා. කාර්ඩිනල්වරුන් පිළිබඳව මා ලියූ ලිපියට ඉතා පරුෂ හා අවිනීත නොසරුප් වදනින් බැණ වැදුණ කෙනෙකුත් සිටියා. මාධ්‍ය සදාචාරය සුරැකිය යුතු නිසා එය පළ කළේ නැහැ. කෙසේ වුවත් එවැනි විවේචන වලින් මගේ අන්‍ය මතවාද ඉවසීමේ ගුණය හා අභියෝග වලට මුහුණ දීමේ හැකියාව තව තවත් වර්ධනය වෙනවා කියා මට හිතෙන්නේ. එහෙත් ඔබ වැනි යහපත් අයගේ අගය කිරීම් මා දකින විට විශාල ධෛර්යක් හා සතුටක් ඇති වෙනවා.
    ඔබට ස්තුතිය.
    ජයෙන් ජය.
    ජේසු පිහිටයි!
    ෴ ධර්මෝපදේශකයා ෴

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith